A A A A A
අවුරුද්දකින් බයිබලය
නොවැම්බර් 2

ජෙරමියා 51:1-64
1. ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක. බලව, මම බබිලෝනියට විරුද්ධවද ලෙබ්-කමයි වැසියන්ට විරුද්ධවද නාස්තිකරන හුළඟක් හටගන්වන්නෙමි.
2. මම බබිලෝනියට පොළන්නන් යවන්නෙමි, ඔවුන් ඈ පොළා ඇගේ දේශය හිස්කරදමනවා ඇත. මක්නිසාද ඔව්හු විපත්ති දවසේදී වටකරින්ම ඈට විරුද්ධවන්නෝය.
3. දුනුවායා තමාගේ දුන්න තැත් නොකවාවා, ඔහු තමාගේ යුද්ධ සැට්ටය හැඳගෙන නැගිට නොසිටීවා. ඔබ සැම ඇගේ යෞවනයන්ට කරුණා නොකොට ඇගේ මුළු සේනාව සිඳදමන්න.
4. ඔව්හු මැරුම්කා කල්දිවරුන්ගේ දේශයෙහිද අනිනු ලැබ එහි වීථිවලද වැටෙන්නෝය.
5. මක්නිසාද ඉශ්‍රායෙල්වරුන්ගේද යූදාවරුන්ගේද දේශය ඉශ්‍රායෙල්හි ශුද්ධ තැනන්වහන්සේට විරුද්ධව කළ වරදෙන් පිරී තිබෙන නුමුත්, ඔවුන්ගේ දෙවිවූ සේනාවල ස්වාමීන්වහන්සේ විසින් එය අත්හරිනු නොලැබීය.
6. බබිලෝනිය කෙරෙන් පලා ගොස් ඔබ සැම එකිනෙකා තම තමාගේ ප්‍රාණය ගළවාගන්න; ඇගේ අයුතුකමෙන් නාස්ති නොවෙන්න. මක්නිසාද මෙය ස්වාමීන්වහන්සේ ගේ පළිගැනීමේ කාලයය; උන්වහන්සේ ඈට ප්‍රතිඵලදෙනසේක.
7. බබිලෝනිය වනාහි ස්වාමීන්වහන්සේ ගේ අතේ තිබුණු මුළු පොළොව මත් කළාවූ රන් කුසලානක්ය. ඇගේ මුද්‍රික පානයෙන් ජාතීහු බීවෝය; එබැවින් ජාතීහු උමතුව සිටිති.
8. බබිලෝනිය හදිසියෙන් වැටී විනාශවූවාය. ඈ ගැන කෑමොරගසන්න; ඈට සුවවේදෝ කියා බලන පිණිස ඇගේ තුවාලයට ගුගුල් ගෙනෙන්න.
9. අපි බබිලෝනිය සුවකරන්ට උත්සාහකෙළෙමුව, නුමුත් ඈට සුවවෙලා නැත. ඇය අත්හරින්න, අපි එකිනෙකා තම තමාගේ රටට යමු. මක්නිසාද ඇගේ විනිශ්චය අහසට ළංවී වලාකුල් දක්වා නැගුණේය.
10. ස්වාමීන්වහන්සේ අපේ ධර්මිෂ්ඨකම එළිදරව්කළසේක. එන්න, අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ගේ ක්‍රියාකිරීම සියොන්හි ප්‍රකාශකරමු.
11. ඊතල මැදලා උල්කර පලිස් තදින් අල්ලාගන්න. ස්වාමීන්වහන්සේ මේදියාවේ රජවරුන්ගේ සිත් පෙළඹෙවුසේක; මක්නිසාද බබිලෝනිය නටබුන් කිරීමට උන්වහන්සේගේ යෝජනාව ඊට විරුද්ධව තිබේ. මෙය වනාහි ස්වාමීන්වහන්සේ ගේ පළිගැනීමය, උන්වහන්ගේ මාළිගාව ගැන පළිගැනීමය.
12. බබිලෝනියේ පවුරුවලට විරුද්ධව කොඩියක් ඔසවා, මුරපළ සවිකර, මුරකාරයන් සිටවා, රහස් සේනාව සූදානම්කරන්න. මක්නිසාද ස්වාමීන්වහන්සේ බබිලෝනියේ වැසියන්ට විරුද්ධව කී දේ උන්වහන්සේ යෝජනාකළාක්මෙන්ම ඉෂ්ටකළසේක.
13. එම්බා බොහෝ ජලයන් පිට වසන්නාවූ, බොහෝ වස්තු ඇත්තාවූ තැනැත්තිය, ඔබේ තණ්හාවේ මිම්ම වන ඔබේ අන්තිමය පැමුණුණේය.
14. පළඟැටියන් මෙන් මනුෂ්‍යයන්ගෙන් ඔබ පුරවන්නෙමි; ඔවුන් ඔබට විරුද්ධව ඝෝෂාවක් නගනවා ඇත කියා සේනාවල ස්වාමීන්වහන්සේ තමන් ගැනම දිවුළසේක.
15. උන්වහන්සේ තමන්ගේ බලයෙන් පොළොව සාදා, තමන්ගේ ප්‍රඥාවෙන් ලෝකය පිහිටුවා, තමන්ගේ බුද්ධියෙන් අහස දිගහැරියසේක.
16. උන්වහන්සේ ස්වකීය හඬ පවත්වන කල අහසෙහි ජල ඝෝෂාවක් ඇත්තේය. උන්වහන්සේ පොළොවේ කෙළවරෙන් වලාකුල් නැගී එන්ට සලස්වනසේක; වර්ෂාවට විදුලි සාදනසේක, තමන්ගේ ගබඩා වලින් හුළඟ ගෙනෙනසේක.
17. සියලු මනුෂ්‍යයෝ දැනගැන්ම නැතුව මෘගයන් මෙන් සිටිති; සියලු රන්කරුවෝද තමුන්ගේ කැපූ රූප නිසා ලජ්ජාවට පැමිණ සිටිති. මක්නිසාද ඔවුන්ගේ වාත්තු රූප බොරුවක්ය, ඒවා තුළ හුස්ම නැත.
18. ඒවා නිෂ්ඵලකමය, රැවටිල්ලේ වැඩක්ය. ඒවාට දඬුවම්කරන කාලයේදී ඒවා නැතිවන්නේය.
19. යාකොබ්ගේ කොටසවූ තැනන්වහන්සේ ඒවාට සමාන නැත; උන්වහන්සේ වනාහි සෑම දේම මැවූ තැනන්වහන්සේය; ඉශ්‍රායෙල් උන්වහන්සේගේ උරුම ගෝත්‍රයය. උන්වහන්සේගේ නාමය සේනාවල ස්වාමීන්වහන්සේ ය.
20. ඔබ මාගේ යුද්ධ කෙටේරිය හා යුද්ධායුධය. මම ඔබ ලවා ජාතීන් පොඩි කරවා, රාජ්‍යයන් නටබුන්කරවන්නෙමි;
21. ඔබ ලවා අශ්වයාත් ඌ පිට නගින්නාත් පොඩිකරවන්නෙමි;
22. ඔබ ලවා රථය සහ එහි නැගීයන්නාත් පොඩිකරවන්නෙමි; ඔබ ලවා ස්ත්‍රිය සහ පුරුෂයාත් පොඩිකරවන්නෙමි; ඔබ ලවා මහල්ලා සහ බාලයාත් පොඩිකරවන්නෙමි; ඔබ ලවා තරුණයා සහ කන්‍යාවත් පොඩිකරවන්නෙමි;
23. ඔබ ලවා එඬේරා සහ ඔහුගේ රැළත් පොඩිකරවන්නෙමි; ඔබ ලවා ගොවියා සහ ඔහුගේ ගොන්බානත් පොඩිකරවන්නෙමි; ඔබ ලවා ආණ්ඩුකාරයන් සහ මුලාදෑනීන්ද පොඩිකරවන්නෙමි.
24. මෙසේ මම බබිලෝනියට සහ කල්දියාවේ සියලු වැසියන්ට ඔබ සැමගේ ඇස් හමුයේ සියොන්හිදී ඔවුන් විසින් කළාවූ සියලු නපුරුකම් ගැන ප්‍රතිඵල දෙන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.
25. එම්බා මුළු පොළොව නාස්තිකරන්නාවූ නාස්තිකාර කන්ද, මම ඔබට විරුද්ධයයි ස්වාමීන්වහන්සේ කියනසේක. මම මාගේ අත ඔබට විරුද්ධව දිඟුකොට, පර්වතවලින් ඔබ පෙරළා දමා, දාලාගිය කන්දක් කරන්නෙමි.
26. කොනකට ගලක්වත් අත්තිවාරම්වලට ගලක්වත් ඔබෙන් ගනු නොලබන්නේය; ඔබ සදාකාලයටම පාළුවක් වන්නෙහියයි ස්වාමීන්වහන්සේ කියනසේක.
27. දේශයෙහි කොඩියක් ඔසවා, ජාතීන් අතරෙහි හොරණෑවක් පිඹ, ඈට විරුද්ධව ජාතීන් සූදානම්කරන්න, අරාරාත්ද මින්නීද අෂ්කෙනස්ද යන රාජ්‍යයන් ඈට විරුද්ධව අඬගසාගෙන, ඈට විරුද්ධව සේනාධිපතියෙකු පත්කොට, කෙඳි-පළඟැටියන් මෙන් අශ්වයන් නැගී එන්ට සලස්වන්න.
28. ජාතීන්ද මේදයේ රජවරුන්ද එහි ආණ්ඩුකාරයන්ද එහි සියලු මුලාදෑනීන්ද ඔවුන්ගේ ආණ්ඩුවේ මුළු දේශයද ඈට විරුද්ධව සූදානම්කරන්න.
29. දේශය චංචලවී වේදනා විඳියි. මක්නිසාද බබිලොන් දේශයෙහි වැසියෙක් නොසිටින හැටියට පාළුකිරීමට තිබෙන ස්වාමීන්වහන්සේ ගේ යෝජනා බබිලෝනියට විරුද්ධව ස්ථිරව තිබේ.
30. බබිලෝනියේ බලවන්තයෝ සටනින් වැලකී තමුන්ගේ බලකොටුවල නැවතී සිටිති; ඔවුන්ගේ බලය හීනවී ඔව්හු ස්ත්‍රීන් මෙන් වී සිටිති. ඇගේ වාසස්ථාන ගිනිලා තිබේ; ඇගේ අගුල් කඩාදමනු ලැබීය.
31. ඔහුගේ නුවර හැම පැත්තෙන්ම අසුවී, තොටුපළවල් අල්ලනු ලැබූ බවත්, බටගස් ගිනිලෑ බවත්, යුද්ධකාරයන් කැලඹී ඉන්න බවත්,
32. බබිලෝනියේ රජුට දන්වන පිණිස පණිවිඩකාරයෙකුගේ පෙරමගට පණිවිඩකාරයෙක්ද දැනුම්දෙන අයගේ පෙරමගට දැනුම්දෙන අයෙක්ද දුවනවා ඇත
33. මක්නිසාද: බබිලොන් දුව මඩිනු ලබන කලවිටක් මෙන්ය; තව ටිකකින් ගොයම් කපන කාලය ඈට පැමිණේයයි ඉශ්‍රායෙල්ගේ දෙවිවූ සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.
34. බබිලෝනියේ රජවූ නෙබුකද්රෙශර් මා කාදමා, මා නාස්තිකොට, මා හිස් භාජනයක් කෙළේය, ඔහු දීර්ඝයෙකු මෙන් මා ගිල, මාගේ ප්‍රියවූ දේවලින් තමාගේ බඩ පුරවාගෙන, මා අහකදැම්මේය.
35. මටත් මාගේ මාංශයටත් කළ බලාත්කාරය බබිලෝනිය පිටට පැමිණේවයි සියොන්හි වැසියා කියනවා ඇත; මාගේ ලේ කල්දියාවේ වැසියන් පිටට පැමිණේවයි යෙරුසලමද කියනවා ඇත.
36. එබැවින් ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: බලව, මම ඔබට යුක්තිය කරදී, ඔබ උදෙසා පළිගන්නෙමි; මම ඇගේ මුහුද හින්දවා,
37. ඇගේ උල්පත් වියළවන්නෙමි. බබිලෝනිය වැසියෙක් නැතුව ජරාවාස ගොඩවල්ද සිවලුන්ගේ වාසයක්ද විස්මයක්ද කවටකමක්ද වන්නීය.
38. ඔවුන් සිංහයන් මෙන් එක්ව නාදකර සිංහපැටියන් මෙන් ගොරවනවා ඇත.
39. ඔවුන් රත්ව සිටින කල මම ඔවුන්ට මංගල්‍යය පිළියෙළකරදී, ඔවුන් ප්‍රීතිමත්ව, නොපිබිදෙන හැටියට සදාකාල නින්දකට පැමිණෙන පිණිස, ඔවුන් මත්කරවන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.
40. බැටළුපැටවුන්ද බැටළුවන් සහ එළුවන්ද මෙන් මැරුම්කෑමට ඔවුන් ගෙනෙන්නෙමි.
41. ෂේෂක් අසුවූ හැටි! මුළු පොළොවේ කීර්තිය ඇත්තී අල්ලනු ලැබූ හැටි! බබිලෝනිය ජාතීන් අතරේ පාළුවක්වූ හැටි!
42. මුහුද බබිලෝනිය පිටට ගලා ආයේය. ඈ එහි රැළ රාශියෙන් වැසීගියේය.
43. ඇගේ නුවරවල් පාළුවක්ද වියළි භූමියක්ද මරුකතරක්ද කිසි මනුෂ්‍යයෙක් වාසය නොකරන්නාවූ, කිසි මනුෂ්‍ය පුත්‍රයෙක් ගමන් නොකරන්නාවූ දේශයක්ද වී තිබේ.
44. මම බබිලෝනියේදී බේල්ට දඬුවම්කොට, ඔහු ගිලගත් දේ ඔහුගේ මුඛයෙන් එළියට නික්මවන්නෙමි; ජාතීහු ඔහු වෙතට තවත් ගලාගන නොයන්නෝය. එසේය, බබිලෝනියේ පවුර වැටෙන්නේය.
45. මාගේ සෙනඟ, ඈ මධ්‍යයෙන් පිටවී ගොස් එකිනෙකා තම තමාගේ ප්‍රාණය ස්වාමීන්වහන්සේ ගේ බලවත් උදහසෙන් ගළවාගන්න.
46. දේශයේදී අසන ආරංචියට ඔබ සැමගේ සිත් දුර්වලවෙන්ට ඉඩ නොදෙන්න, භය නොවෙන්න; මක්නිසාද එක අවුරුද්දකදී ආරංචියක්ද ඊට පසු අවුරුද්දේ ආරංචියක්ද දේශයෙහි බලාත්කාරකමද ආණ්ඩුකාරයෙක් ආණ්ඩුකාරයෙකුට විරුද්ධවීමද පැමිණෙන්නේය.
47. එබැවින් බබිලෝනියේ තිබෙන කැපූ රූපවලට මා විසින් දඬුවම්කරන දවස් පැමිණෙන්නේය, ඇගේ මුළු දේශය ලජ්ජාවට පැමිණෙන්නේය; ඈ තුළ මැරුම්කන සියල්ලෝ ඈ තුළම වැටෙන්නෝය.
48. එකල ස්වර්ගයද පොළොවද එහි සිටින සියල්ලෝද බබිලෝනිය ගැන ප්‍රීතියෙන් ගීකියන්නෝය; මක්නිසාද නාස්තිකරන්නෝ උතුරුදිග සිට ඈ ළඟට එන්නෝයයි ස්වාමීන්වහන්සේ කියනසේක.
49. ඉශ්‍රායෙල්වරුන් මැරුම්කා වැටෙන්ට බබිලෝනිය විසින් සැලැස්සුවාක්මෙන් මුළු දේශයේ මැරුම්කෑවුන් බබිලෝනියේදී වැටෙනවා ඇත.
50. කඩුවෙන් ගැළවුණාවූ තැනැත්තෙනි, නැවතී නොසිට යන්න; දුරදීම ස්වාමීන්වහන්සේ සිහිකොට යෙරුසලම මතක්කරගන්න.
51. අපි නින්දාව ඇසූ බැවින් ලජ්ජාවට පැමිණියෙමුව; විදේශීන් ස්වාමීන්වහන්සේ ගේ ගෘහයේ ශුද්ධස්ථානවලට ඇතුල්වූ බැවින් අපේ මුහුණු වියවුල්කමින් වැසී තිබේ.
52. එබැවින් මා විසින් ඇගේ රූපවලට දඬුවම්කරන දවස් පැමිණෙන්නේය; ඇගේ දේශය මුළුල්ලෙහි තුවාල ලැබූ අය කෙඳිරිගානවා ඇතැයි ස්වාමීන්වහන්සේ කියනසේක.
53. බබිලෝනිය අහස දක්වා නැගුණත්, ඇගේ ශක්තියේ උස් කොටුව ඉතා බලවත්කළත්, මා වෙතින් නාස්තිකරන්නන් ඈ කරා පැමිණෙනවා ඇතැයි ස්වාමීන්වහන්සේ කියනසේක.
54. මොරගැසීමේ ශබ්දයක් බබිලෝනියෙන්ද මහත් විනාශයේ ශබ්දයක් කල්දිවරුන්ගේ දේශයෙන්ද ඇසෙන හැටි!
55. මක්නිසාද ස්වාමීන්වහන්සේ බබිලෝනිය නාස්තිකරනසේක, එතනින් මහත් ශබ්දයද නැතිකරනසේක; ඔවුන්ගේ රැළවල් මහත් ජලයන් මෙන් ඝෝෂාකෙරෙති, ඔවුන්ගේ කෝලාහල ශබ්දය නගියි.
56. මක්නිසාද ඈට එනම් බබිලෝනියට විරුද්ධව නාස්තිකරන්නා පැමිණියේය, ඇගේ බලවන්තයෝ අසුවුණෝය, ඔවුන්ගේ දුනුද කඩාදමනු ලැබුවේය. මක්නිසාද ස්වාමීන්වහන්සේ විපාකදෙන දෙවියන්වහන්සේය, උන්වහන්සේ ප්‍රතිඵලදෙනවාම ඇත.
57. මම ඇගේ අධිපතීන්ද ඇගේ ප්‍රඥාවන්තයන්ද ඇගේ ආණ්ඩුකාරයන්ද ඇගේ මුලාදෑනීන්ද ඇගේ බලවතුන්ද මත්කරවන්නෙමි; ඔව්හුද නොපිබිදෙන හැටියට සදාකාල නින්දකට පැමිණෙන්නෝයයි සේනාවල ස්වාමීන්වහන්සේ නම් වූ රජ්ජුරුවන්වහන්සේ කියනසේක.
58. සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: බබිලෝනියේ පළල්වූ පවුරු සහමුලින්ම හෙළාදමනු ලබන්නේය, ඇගේ උස් දොරටුද ගින්නෙන් දවනු ලබන්නේය; මෙසේ ජනයෝ හිස්කමටද ජාතීහු ගින්නටද පමණක් වීර්යකර වෙහෙසෙන්නෝය.
59. මයසේයාගේ පුත්‍රවූ නේරියාගේ පුත්‍රයාවන සෙරායා යූදාහි රජවූ ශෙදෙකියාගේ රජකම්කිරීමේ සතරවෙනි අවුරුද්දේදී ඔහු සමඟ බබිලෝනියට යනවිට අනාගතවක්තෘවූ යෙරෙමියා සෙරායාට අණකළ වචනයය. සෙරායා වනාහි ගබඩා නිලමේ විය.
60. බබිලෝනියට පැමිණෙන සියලු විපත්ති වන බබිලෝනියට විරුද්ධව ලියා තිබෙන මේ සියලුම වචන යෙරෙමියා පොතක ලිවීය.
61. යෙරෙමියා සෙරායාට කියනුයේ: ඔබ බබිලෝනියට පැමිණි කල මේ සියලු වචන කියවා කථාකොට-
62. අහෝ, ස්වාමීන්වහන්ස, මේ ස්ථානයෙහි මනුෂ්‍යයෙක් වුවත් මෘගයෙක් වුවත් කිසිම වැසියෙක් නැතුව එය සදාකාල පාළුවක් වෙන හැටියට එය සිඳදැමීමට ඔබ ඊට විරුද්ධව කථාකර තිබේයයි කියන්න.
63. තවද ඔබ මේ පොත කියවා නිමවූ විට ඊට ගලක් බැඳ ප්‍රාත් ගංගාව මැදට හෙළා: මෙසේම බබිලෝනිය කිදී,
64. මා විසින් ඈ පිටට පමුණුවන විපත්තියෙන් ගොඩනොඑන්නීය. ඔව්හු වෙහෙසවන්නෝයයි කියන්නැයි කීවේය. යෙරෙමියාගේ වචන මෙසේ නිමි.

ජෙරමියා 52:1-34
1. ශෙදෙකියා විසි එක් අවුරුදු වයසේදී රජකමට පැමිණ එකොළොස් අවුරුද්දක් යෙරුසලමෙහි රජකම්කෙළේය. ඔහුගේ මවුගේ නම හමූටල්ය, ඈ ලිබ්නාහි යෙරෙමියාගේ දුවෙක්ය.
2. ඔහු යෙහෝයාකීම් කළ සියල්ල ලෙස ස්වාමීන්වහන්සේ ගේ ඇස් හමුයෙහි නපුරුව තිබෙන දේ කෙළේය.
3. මක්නිසාද ස්වාමීන්වහන්සේ ඔවුන් තමන් ඉදිරියෙන් පහකරදමනතුරු උන්වහන්සේගේ උදහස නිසා යෙරුසලමටත් යූදාටත් මෙසේ සිද්ධවිය. ශෙදෙකියාද බබිලෝනියේ රජුට විරුද්ධව කැරළිගැසුවේය.
4. ඔහුගේ රජකම් කිරීමේ නවවෙනි අවුරුද්දේ දසවෙනි මස දසවෙනිදා බබිලෝනියේ රජවූ නෙබුකද්රෙශර් තමාගේ මුළු සේනාව සමඟ යෙරුසලමට විරුද්ධව ඇවිත්, ඊට විරුද්ධව කඳවුරු බැඳ, වටකරින් ඊට විරුද්ධව බලකොටු ගොඩනැගුවේය.
5. එසේ ශෙදෙකියා රජුගේ එකොළොස්වෙනි අවුරුද්ද දක්වා නුවර වටලනලද්දේ විය.
6. හතරවෙනි මස නවවෙනිදා දේශයේ සෙනඟට කිසි කෑමක් නැතිවන තරම් සාගතය නුවර තුළ බලවත්විය.
7. එවිට නුවර බිඳිනු ලැබීය, සියලු යුද්ධකාරයෝ වනාහි කල්දිවරුන් නුවරට විරුද්ධව වටකර සිටියදී, රජ උයන ළඟ පවුරු දෙකට අතරේ තිබෙන දොරටුවෙන් රාත්‍රියෙහි නුවරින් පිටත්වී, අරබා සමභූමි මාර්ගයෙන් පලාගියෝය.
8. නුමුත් කල්දිවරුන්ගේ සේනාව රජු පස්සේ එළවාගන ගොස්, යෙරිකෝවේ සමභූමිවලදී ශෙදෙකියාට ළංව, ඔහු අල්ලාගත්තේය; ඔහුගේ මුළු සේනාව ඔහු වෙතින් විසිර ගියේය.
9. එකල ඔව්හු රජු අල්වා හමාත් දේශයේ රිබ්ලාට, බබිලෝනියේ රජු ළඟට, ගෙනගියෝය; හෙතෙම ඔහු ගැන නඩු තීන්දුව දුන්නේය.
10. එවිට බබිලෝනියේ රජ ශෙදෙකියාගේ පුත්‍රයන් ඔහුගේ ඇස් ඉදිරියෙහි මැරීය; යූදාහි සියලු අධිපතීන්ද රිබ්ලාහිදී මැරුවේය.
11. තවද බබිලෝනියේ රජ ශෙදෙකියාගේ ඇස් අන්ධකර, ඔහුට විලංගු දමා, බබිලෝනියට ගෙනගොස්, ඔහුගේ මරණ දවස දක්වා ඔහු හිරගෙයි දමා තැබීය.
12. තවද බබිලෝනියේ රජවූ නෙබුකද්රෙශර් රජුගේ දහනවවෙනි අවුරුද්දේ පස්වෙනි මස දසවෙනිදා බබිලෝනියේ රජුට සේවයකළාවූ රැකවලුන්ගේ අධිපතියාවූ නෙබුසරදාන් යෙරුසලමට ඇවිත්,
13. ස්වාමීන්වහන්සේ ගේ ගෘහයද රජගෙයද ගිනිලැවුවේය; යෙරුසලමේ සියලු ගෙවල්ද එනම් හැම ලොකු ගෙවල්ද ගිනි ලැවුවේය.
14. රැකවලුන්ගේ අධිපතියා සමඟ සිටි කල්දිවරුන්ගේ මුළු සේනාව යෙරුසලම හාත්පස පවුරු සියල්ල බිඳදැමුවෝය.
15. තවද රැකවලුන්ගේ අධිපතියාවූ නෙබුසරදාන් දිළිඳු සෙනඟගෙන් සමහරෙක්ද සෙනඟගෙන් නුවර ඉතිරිව සිටි අයද සැඟවී ගොස් බබිලෝනියේ රජුගේ පක්ෂයට වූ අයද සමූහයාගෙන් අනික් අයද අල්ලාගෙන ගියේය.
16. නුමුත් මිදිවතු වවන්ටත් ගොවිතැන්කරන්ටත් රැකවලුන්ගේ අධිපතියාවූ නෙබුසරදාන් දේශයේ දිළිඳුන්ගෙන් සමහරෙකු ඉතිරිකර ගියේය.
17. තවද ස්වාමීන්වහන්සේ ගේ ගෘහයට අයිති පිත්තල කුළුනුද ස්වාමීන්වහන්සේ ගේ ගෘහයෙහි තිබුණු මැසිද පිත්තල මුහුදද කල්දිවරු කඩාගෙන, ඒවායේ පිත්තල සියල්ලම බබිලෝනියට ගෙනගියෝය.
18. ඇතිළිද හැඳිද පහන් කතුරුද තාළිද පාත්‍රාද සේවයට පාවිච්චිකළ පිත්තල බඩු සියල්ලද ඔව්හු ගෙනගියෝය.
19. තළිද ගිනි-භාජනද තාළිද ඇතිළිද පහන් කඳුද පාත්‍රාද කෙන්ඩිද යන රන් බඩුවල රන්ද රිදී බඩුවල රිදීද රැකවලුන්ගේ අධිපතියා ගෙනගියේය.
20. සාලමොන් රජ ස්වාමීන්වහන්සේ ගේ ගෘහයට සෑදූ කුළුනු දෙකත් එක මුහුදත් මැසි යට තිබුණු පිත්තල ගව රූප දොළොසත් යන සියලු භාණ්ඩයන්හි පිත්තලවල බර ගණනක් නැතුව තිබුණේය.
21. ඒ කුළුනුවලින් එක එක කුළුනේ උස දහඅට රියනක්ය; ඒ වටේට දොළොස් රියන් පටියක් තිබුණේය; එහි ගනකම අඟල් සතරක්ය. ඒක කුහරව තිබුණේය.
22. එය පිට පිත්තල පේකඩයක් විය; එක එක පේකඩයේ උස පස්රියනක්ය, පේකඩය පිට වටකරින් දැල් වැඩක් සහ දෙළුම් ගෙඩිත් තිබුණේය, ඒ සියල්ල පිත්තලෙන්ය. දෙවෙනි කුළුනත් ඒ ආකාරව දෙළුම් සහිතව තිබුණේය.
23. දෙළුම් අනූහයක් පැතිවල තිබුණේය; දැල් වැඩ පිට වටකරින් තිබුණු දෙළුම් සියල්ල සියයක් විය.
24. තවද රැකවලුන්ගේ අධිපතියා උත්තම පූජකයාවූ සෙරායාද දෙවෙනි පූජකයාවූ ශෙපනියාද දොරටුපාලයන් තුන්දෙනාද අල්ලාගත්තේය.
25. යුද්ධකාරයන්ගේ අධිපතියෙක්වූ ඇමතියෙක්ද රජු ඉදිරියේ සිට මනුෂ්‍යයන්ගෙන් නුවරෙහි සම්බවූ සත්දෙනෙක්ද දේශයේ සෙනඟ යුද්ධයට රැස්කළ සේනාධිපතියාගේ ලේකමද නුවර සම්බවූ දේශයේ සෙනඟගෙන් හැටදෙනෙක්ද අල්ලාගත්තේය.
26. එවිට රැකවලුන්ගේ අධිපතියාවූ නෙබුසරදාන් මොවුන් රිබ්ලාට, බබිලෝනියේ රජු ළඟට, ගෙනගියේය.
27. බබිලෝනියේ රජ හමාත් දේශයේ රිබ්ලාහිදී ඔවුන්ට පහරදී ඔවුන් මැරුවේය. මෙසේ යූදාවරු තමුන්ගේ දේශයෙන් වහල්කමට ගෙනයනලද්දෝය.
28. නෙබුකද්රෙශර් විසින් අල්ලාගන ගිය සෙනඟ නම්: හත්වෙනි අවුරුද්දේදී යුදෙව්වරුන් තුන්දාස් විසිතුන් දෙනෙක්ය.
29. නෙබුකද්රෙශර්ගේ දහඅටවෙනි අවුරුද්දේදී ඔහු යෙරුසලමේ සිට අටසිය තිස්දෙදෙනෙකු අල්ලාගනගියේය.
30. නෙබුකද්රෙශර්ගේ විසිතුන්වෙනි අවුරුද්දේදී රැකවලුන්ගේ අධිපතියාවූ නෙබුසරදාන් යුදෙව්වරුන් හත්සිය හතළිස් පස්දෙනෙකු අල්ලාගෙන ගියේය. ඒ සියල්ලෝම හාරදාස් හසියයක්ය.
31. තවද යූදාහි රජවූ යෙහෝයාඛින් ගෙනයනු ලැබ තිස්හත්වෙනි අවුරුද්දේ දොළොස්වෙනි මාසයේ විසිපස්වෙනිදා එනම් බබිලෝනියේ රජවූ එවිල්මෙරොදක් රජවුණු අවුරුද්දේදී ඔහු යූදාහි රජවූ යෙහෝයාඛින්ගේ හිස ඔසවා, හිරගෙයින් ඔහු නිදහස්කොට,
32. ඔහුට කරුණාවෙන් කථාකොට, බබිලෝනියේ ඔහු සමඟ සිටි රජුන්ගේ සිංහාසනවලට වඩා ඔහුගේ සිංහාසනය උසස්කළේය.
33. ඔහුගේ හිර ඇඳුම්ද මාරුකෙළේය. තවද ඔහු තමාගේ ජීවිතයේ සියලු දවස්වලදී නිතරම රජු ඉදිරියෙහි කෑම කෑවේ ය.
34. ඔහුගේ කෑම කොටසද නියමලෙස දවස්පතාම බබිලෝනියේ රජු වෙතින් ඔහුගේ මරණයේ දවස දක්වා, ඔහුගේ ජීවිතයේ සියලු දවස්වල ඔහුට දෙනලද්දේය.

ගීතාවලිය 119:129-136
129. ඔබගේ ශික්ෂා ආශ්චර්යමත්ය. එබැවින් මාගේ ආත්මය ඒවා රක්ෂා කරයි.
130. ඔබගේ වචන එළිදරව්වීමෙන් ආලෝකය ලැබේ; එයින් නුවණ නැත්තන්ට තේරුම් ලැබේ.
131. මම ඔබගේ ආඥාවලට ආශාවූ නිසා කට ඇර හතිදැමීමි.
132. ඔබගේ නාමයට ප්‍රේමවන්නන්ට ඔබගේ ව්‍යවහාරය ලෙස, මා දෙසට හැරී මට කරුණාකළ මැනව.
133. ඔබගේ වාක්‍ය මාර්ගයෙහි මාගේ පාද හැසිරෙවුව මැනව; කිසි අයුත්තකට මා කෙරෙහි බල පවත්වන්ට ඉඩ නුදුන මැනව.
134. මනුෂ්‍යයාගේ බලාත්කාරයෙන් මා මිදුව මැනව. එවිට ඔබගේ නියෝග පවත්වන්නෙමි.
135. ඔබගේ මුහුණ ස්වකීය මෙහෙකරුවා කෙරෙහි බබළවමින්, ඔබගේ පනත් මට ඉගැන්නුව මැනව.
136. මනුෂ්‍යයන් ඔබගේ ව්‍යවස්ථාව නොපවත්වන බැවින්, මාගේ ඇස්වලින් දිය ධාරා ගලා යෙති.

හිතෝපදේශ 28:7-8
7. ව්‍යවස්ථාව රක්ෂාකරන්නා ඥානවත් පුත්‍රයෙක්ය; එහෙත් නාස්තිකාරයන්ගේ යහළුවා තමාගේ පියා ලජ්ජාවට පමුණුවයි.
8. පොළිය හා ලාභයෙන් තමාගේ වස්තුව වැඩිකරගන්න අය ඒවා එකතුකර තබන්නේ දිළිඳුන්ට කරුණාකරන්නාටය.

තීතස් 2:1-15
1. නුමුත් ඔබ සාරවූ ගුරුකමට හොබනා දේ කථාකරන්න.
2. එනම් මහලු පුරුෂයන් පමණ දැන, සන්සුන්ව, සිහියෙන් යුක්තව, ඇදහිල්ලෙහිත් ප්‍රේමයෙහිත් ඉවසීමෙහිත් හරිලෙස සිටිය යුතුය.
3. එසේම මහලු ස්ත්‍රීවරුන් ශුද්ධකමට ඔබිනලෙස හැසිරෙන, කේලාම් නොකියන, බොහෝ මුද්‍රිකපානයට නොවහල්වූ, යහපත් දේ උගන්වන්නාවූ තැනැත්තියන්ව සිටිය යුතුය.
4. මෙසේ සිටිය යුතු වන්නේ, දෙවියන්වහන්සේගේ වචනයට අපහාස නොපැමිණෙන පිණිස යෞවන ස්ත්‍රීන් තමුන්ගේ පුරුෂයන්ටත් දරුවන්ටත් ප්‍රේමකරමින්,
5. සිහියෙන් යුක්තව, පිරිසිදුව, ගෙදර වැඩ කරන්නියන්ව, කරුණාවන්තව, තමුන්ගේම පුරුෂයන්ට යටත්ව සිටින්ට ඔවුන් විසින් පුරුදුකර වන පිණිසය.
6. එසේම යෞවනයන්ට සිහියෙන් යුක්තව සිටින්ට අවවාදකරන්න.
7. සියල්ලෙහිදී ඔබම යහපත් ක්‍රියාවල ආදර්ශයක් වෙන්න; විරුද්ධකාරයාට අප ගැන කිසි නපුරක් කියන්ට නැතුව,
8. ලජ්ජාවන පිණිස ඔබේ ගුරුකමෙන් පිරිසිදුකමත් සන්සුන්කමත් නිවැරදිවූ සාරවූ කථාවත් පෙන්වන්න.
9. දාසයන් විසින්, අපේ ගැළවුම්කාරයාණන් වන දෙවියන්වහන්සේගේ ධර්මය සියලු කාරණාවලදී අලංකාර කරන පිණිස තමුන්ගේ ස්වාමිවරුන්ට යටත්ව සිට, සියලු කාරණාවලදී ඔවුන් ප්‍රසන්නකරන හැටියටද,
10. විරුද්ධවාදිව නොසිට, සොරකම් නොකොට, සියලු ආකාර හොඳ විශ්වාසකම පෙන්වන හැටියටද ඔවුන්ට අවවාදකරන්න.
11. මක්නිසාද සියලු මනුෂ්‍යයන්ට ගැළවීම ගෙනෙන්නාවූ දෙවියන්වහන්සේගේ කරුණාව ප්‍රකාශවී තිබේ.
12. අභක්තිකකමද ලෞකික තෘෂ්ණාද එපාකර, ආශීර්වාදලත් බලාපොරොත්තුව ගැනත් මහෝත්තම දෙවියන්වහන්සේගේද අපගේ ගැළවුම්කාර යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේද තේජසේ ප්‍රකාශවීම ගැනත් බලාසිටිමින්,
13. සිහියෙන් යුක්තවද ධර්මිෂ්ඨලෙසද භක්තිවන්තලෙසද මේ ලෝකයෙහි ජීවත්වෙන පිණිස ඒ කරුණාව අප දැනුමැතිකරන්නේය.
14. උන්වහන්සේ සියලු අධර්මිෂ්ඨකම්වලින් අප මුදා, යහපත් ක්‍රියා ගැන ජ්වලිතවූ සෙනඟක් ස්වකීය සම්පතක් කොට පවිත්‍රකරගන්න පිණිස, අප උදෙසා තමන්ම දුන්සේක.
15. මේ දේවල් සියලු ආකාර බලය ඇතුව කියා, අවවාදකොට, තරවටුකරන්න. කිසිවෙකුට ඔබ සුළුකොට සිතන්ට ඉඩනාරින්න.