A A A A A
අවුරුද්දකින් බයිබලය
නොවැම්බර් 1

ජෙරමියා 49:1-39
1. අම්මොන් පුත්‍රයන් ගැනය. ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: ඉශ්‍රායෙල්ට පුත්‍රයෝ නැද්ද? ඔහුට උරුමක්කාරයෙක් නැද්ද? ඇත්නම් මල්කාම් ගාද් රට හිමිකරගත්තෙත් ඔහුගේ සෙනඟ එහි නුවරවල වාසයකරන්නෙත් මක්නිසාද?
2. එබැවින් අම්මොන් පුත්‍රයන්ගේ රබ්බාහි යුද්ධ ඝෝෂාවක් ඇසෙන්ට මා විසින් සලස්වන දවස් පැමිණෙන්නේයයි ස්වාමීන්වහන්සේ කියනසේක; ඒක පාළුවූ ගොඩක් වන්නේය, ඊට අයිති ගම්ද ගින්නේ දවා දමනු ලබන්නේය. ඉශ්‍රායෙල්ද තමුන්ගේ දේශය හිමිකරගත් අයගේ දේශය හිමිකරගන්නවා ඇතැයි ස්වාමීන්වහන්සේ කියනසේක.
3. අහෝ හෙෂ්බොන්, කෑමොරගසන්න, මක්නිසාද හායි නටබුන්විය; එම්බා රබ්බාහි ගම්, කෑගසා, ගෝණි රෙදි හැඳගන, විලාප කියා තාප්ප අතරේ එහා මෙහා දුවන්න; මක්නිසාද මල්කාම්ද ඔහුගේ පූජකයෝද අධිපතීහුද එක්ව වාල්කමට යන්නෝය.
4. පසුබටවන දියණිය, ඔබ මිටියාවත් ගැන එනම් ඔබේ ගලායන මිටියාවත් ගැන පාරට්ටුකරගන්නේ මක්නිසාද? මට විරුද්ධව පැමිණෙන්නේ කවුදැයි කියා ඔබේ වස්තු කෙරෙහි ඔබ විශ්වාසකරන්නෙහිය.
5. බලව, ඔබ වටකර සිටින සියල්ලන්ගෙන් ඔබ පිටට භීතියක් පමුණුවන්නෙමියි මහෝත්තමවූ සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක; ඔබ සැම එකිනෙකා තම තමා ඉදිරිපිටින් පන්නනු ලබන්නහුය, පලායන අය පිළිගැනීමටද කිසිවෙක් නොවන්නේය.
6. නුමුත් පසුව මම අම්මොන් පුත්‍රයන්ගේ වාල්කම පහකරන්නෙමියි ස්වාමීන්වහන්සේ කියන සේක.
7. ඒදොම ගැනය. සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: තේමාන්හි තවත් ප්‍රඥාව නැද්ද? බුද්ධිමත් අය අතරෙන් මන්ත්‍රණය නැතිවීද? ඔවුන්ගේ ප්‍රඥාව පහවගියාද?
8. දෙදාන් වැසියෙනි, දුවන්න, හැරී දුරස්තරයටම ගොස් වාසයකරන්න; මක්නිසාද ඒසව්ගේ විපත්තිය, එනම් මා ඔහුට දඬුවම්කරන කාලය ඔහු පිටට පමුණුවමි.
9. මිදිඵල නෙළන්නෝ ඔබ ළඟට ආවොත් ඔව්හු මිදිඵල ස්වල්පයක්වත් ඉතුරු නොකරද්ද? රාත්‍රියේ සොරු ආවොත් ඔව්හු තමුන්ට සෑහෙන පමණ ගන්නා තුරු නාස්ති නොකරන්නෝද?
10. නුමුත් මම ඒසව් නිර්වස්ත්‍රකෙළෙමි, ඔහු සැඟවෙන ස්ථාන එළිදරව් කෙළෙමි, ඔහුට සැඟවී සිටින්ට බැරි වන්නේය. ඔහුගේ වංශයද සහෝදරයෝද අසල්වාසීහුද නාස්තිවුණෝය, ඔහුද නැත.
11. ඔබේ පියා නැති දරුවන් අත්හරින්න, මම ඔවුන් පණපිටින් ආරක්ෂාකරන්නෙමි; ඔබේ වැන්දඹුවෝ ද මා කෙරෙහි විශ්වාසකරත්වා.
12. මක්නිසාද ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: බලව, කුසලානෙන් බොන්ට නියම නැති අය බොනවාම ඇත; එසේවීනම් ඔබ කිසි දඬුවමක් නොලැබ සිටින්නෙහිද? ඔබ දඬුවම් නොලැබ නොසිට බොනවාම ඇත.
13. මක්නිසාද බොශ්රා විස්මයක්ද නින්දාවක්ද පාළුවක්ද ශාප-වචනයක්ද එහි සියලු නුවරවල් සදාකාල පාළු ඉඩම්ද වන්නෝයයි මා ගැනම දිවුළෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.
14. රැස්වී ඈට විරුද්ධව ඇවිත් යුද්ධයට නැගිටින්නැයි කියන්ට ජාතීන් අතරට තානාපතියෙක් යවනලද්දේය යන ආරංචිය ස්වාමීන්වහන්සේ ගෙන් ලැබීමි.
15. මක්නිසාද: මෙන්න මම ඔබ ජාතීන් අතරේ කුඩා කෙළෙමි, මනුෂ්‍යයන් අතරේ සුළුකෙළෙමි.
16. අහෝ පර්වත විවරවල වසන්නාවූ, හෙල්මුදුන් අල්ලාගෙන සිටින්නාවූ තැනැත්ත, ඔබේ සිතේ භයංකරකම ගැන ඔබේ සිතේ උඩඟුකමෙන් ඔබ රැවටුණෙහිය. ඔබේ කූඩුව රාජාලියාමෙන් ඉහළින් සෑදුවත් එතැනින් ඔබ පහළට හෙළන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.
17. ඒදොම විස්මයට හේතුවක් වන්නේය. ඒ ළඟින් යන සියල්ලෝ විස්මපත්ව, ඊට පැමුණුණු සියලු විපත්ති ගැන සරදම්කරන්නෝය.
18. සොදොම සහ ගොමොරාවේද එහි අසල නුවරවලද විනාශය මෙන්, කිසි මනුෂ්‍යයෙක් එහි වාසය නොකරන්නේය, කිසි මනුෂ්‍ය පුත්‍රයෙක් එහි පොරොත්තුව නොසිටින්නේයයි ස්වාමීන්වහන්සේ කියනසේක.
19. බලව, ඔහු සිංහයෙකු මෙන් යොර්දාන් වනයේ සිට බලවත් නිවාසයට විරුද්ධව නැගී එන්නේය. මක්නිසාද මම ඇසිල්ලකින් ඈ වෙතින් ඔහු දුවන්ට සලස්වන්නෙමි; තෝරාගන්නාලද කවරෙකු නුමුත් මම ඈ කෙරෙහි පත්කරන්නෙමි. මක්නිසාද මට සමාන කවුද? මට කාලයක් නියමකරන්නේ කවුද? මා ඉදිරියෙහි සිටින්ට පුළුවන් එඬේරාත් කවුද?
20. එබැවින් ස්වාමීන්වහන්සේ ඒදොමට විරුද්ධව කරගත් මන්ත්‍රණයද තේමාන්හි වැසියන්ට විරුද්ධව කරගත් උන්වහන්සේගේ යෝජනාද අසන්න. සැබවින්ම ඔවුන් රැළේ කුඩා අය ඇදගන යනවා ඇත; සැබවින්ම උන්වහන්සේ ඔවුන්ගේ වාසස්ථානය ඔවුන් සමඟ පාළුකරනසේක.
21. ඔවුන්ගේ වැටීමේ ශබ්දයට පොළොව සෙලවේ; කෑගැසීමේ හඬ රතු මුහුද දක්වා ඇසෙයි.
22. බලව, ඔහු රාජාලියෙකු මෙන් නැගී ඉගිලී ඇවිත්, බොශ්රා පිට තමාගේ පියාපත් විදහනවා ඇත. ඒ දවසේ ඒදොමේ බලවතුන්ගේ සිත බිහිකරන ස්ත්‍රියෙකුගේ සිත මෙන් වන්නේය.
23. දමස්කය ගැනය. හමාත්ද අර්පාද්ද ලජ්ජාවට පැමුණුණෝය; මක්නිසාද ඔව්හු නරක ආරංචියක් අසා දියවී ගියෝය. මුහුද පිට චංචලය ඇත්තේය; ඊට නිශ්චලවෙන්ට බැරිය.
24. දමස්කය බෙලහීනව පලායන්ට හැරුණාය, වෙවුලුම ඈ අල්ලාගත්තේය. බිහිකරන ස්ත්‍රියෙකුට මෙන්, විපත්තියද වේදනාවද ඈට පැමිණ තිබේ.
25. කීර්තිමත් නුවරවන මාගේ ප්‍රීතියේ නුවර අත්හරිනු ලැබූ හැටි!
26. එබැවින් ඒ දවසේදී ඇගේ යෞවනයෝ එහි වීථිවල වැටෙන්නෝය, එහි සියලු යුද්ධකාරයෝද නිශ්ශබ්ද කරනු ලබන්නෝයයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.
27. මම දමස්කයේ පවුර ඇතුළෙහි ගින්නක් අවුළුවන්නෙමි, එයින් බෙන්-හදද්ගේ මාළිගා දාලායන්නේය.
28. කේදාර් ගැනත් බබිලෝනියේ රජවූ නෙබුකද්රෙශර් විසින් පහරදුන් හාශෝර්හි රාජ්‍යවල් ගැනත්ය. ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: ඔබ සැම නැගිට කේදාර්ට නැගීගොස්, නැගෙනහිර දිශාවේ පුත්‍රයන් නාස්තිකරන්න.
29. ඔවුන්ගේ කූඩාරම්ද බැටළු රැළවල්ද ගෙනයනු ලබන්නෝය, ඔවුන්ගේ තිරද ඔවුන්ගේ සියලු භාණ්ඩද ඔවුන්ගේ ඔටුවන්ද තමුන්ටම අරගෙන යන්නෝය. භීතිය වටකරින්ම ඇත්තේය කියා ඔව්හු ඔවුන්ට මොරගසන්නෝය.
30. හාශෝර් වැසියෙනි, දුවන්න, ඈතට පලාගොස් දුරස්තරයෙහි වාසයකරන්නැයි ස්වාමීන්වහන්සේ කියනසේක. මක්නිසාද බබිලෝනියේ රජවූ නෙබුකද්රෙශර් ඔබ සැමට විරුද්ධව මන්ත්‍රණයක් කරගෙන, ඔබ සැමට විරුද්ධව යෝජනාවක්ද කර තිබේ.
31. ඔබ සැම නැගිට, නොසැලකිලිව අප්‍රවේසම්ලෙස වාසයකරන්නාවූ, දොරවල්ද අගුල්ද නැතිව තනිව වාසය කරන්නාවූ ජාතියට විරුද්ධව යන්නැයි ස්වාමීන්වහන්සේ කියනසේක.
32. ඔවුන්ගේ ඔටුවෝ කොල්ලයක්ද ඔවුන්ගේ ගව සමූහයා ගොදුරක්ද වන්නෝය. හිසකේ කොන් කපාදමන අය මම සියලු දිශාවලට විසුරුවන්නෙමි; එහි සෑම පැතිවලින්ද ඔවුන්ට විනාශය පමුණුවන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.
33. හාශෝර් වනාහි සිවලුන්ගේ වාසයක්ද සදාකාල පාළුවක්ද වන්නේය. කිසි මනුෂ්‍යයෙක් එහි වාසයකරන්නේවත් කිසි මනුෂ්‍ය පුත්‍රයෙක් එහි නැවතී සිටින්නේවත් නැත.
34. යූදාහි රජවූ ශෙදෙකියාගේ රජකම්කිරීමේ පටන්ගැන්මේදී ඒලාම ගැන අනාගතවක්තෘවූ යෙරෙමියා වෙතට පැමිණි ස්වාමීන්වහන්සේ ගේ වචනයය.
35. සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: බලව, ඒලාමේ ප්‍රධාන බලයවූ ඔවුන්ගේ දුන්න කඩා දමමි.
36. මම ඒලාමට විරුද්ධව අහසේ සතර කොනෙන් හුළං සතරක් පමුණුවා, ඒ සියලු හුළංවලට ඔවුන් විසුරුවා දමන්නෙමි; පන්නනු ලබන ඒලාම්වරුන් නොපැමිණෙන්නාවූ කිසි ජාතියක් නොවන්නේය.
37. එසේය. මම ඒලාම්වරුන් ඔවුන්ගේ සතුරන්ද ඔවුන්ගේ ප්‍රාණය හානිකරන්ට සොයන්නන්ද ඉදිරියෙහි කලඹා, ඔවුන් පිටට විපත්තිය වන මාගේ බලවත් උදහස පමුණුවා, මා විසින් ඔවුන් විනාශකරන තුරු ඔවුන් පස්සේ කඩුව හරින්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.
38. මාගේ සිංහාසනයද ඒලාමේ පිහිටුවා, එතැනින් රජු සහ අධිපතීන් නැතිකරන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.
39. එහෙත් මතු දවස්වලදී ඒලාමේ වාල්කම පහකරන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.

ජෙරමියා 50:1-46
1. බබිලෝනිය සහ කල්දිවරුන්ගේ දේශය ගැන ස්වාමීන්වහන්සේ අනාගතවක්තෘවූ යෙරෙමියා ලවා කියෙවු වචනයය.
2. ජාතීන් අතරේ දන්වා ප්‍රකාශකොට, කොඩියක් නගන්න; නොසඟවා, ප්‍රසිද්ධකොට, මෙසේ කියන්න: බබිලෝනිය අසුවිය, බේල් ලජ්ජාවට පැමුණුණේය, මෙරොදක් කැලඹී සිටියි; ඇගේ දේවරූප ලජ්ජාවට පැමුණුණේය, ඇගේ රූප කැලඹී තිබේ.
3. මක්නිසාද ඈට විරුද්ධව උතුරු දිගින් ජාතියක් එන්නේය, ඔවුන් ඇගේ දේශය පාළුවක් කරනවා ඇත, කිසිවෙක් එහි නොවසන්නේය. මනුෂ්‍යයෝද මෘගයෝද දෙගොල්ලම පලාගියෝය, අහක්ව ගියෝය.
4. ඒ දවස්වලදීත් ඒ කාලයේදීත් ඉශ්‍රායෙල් පුත්‍රයන් සහ යූදා පුත්‍රයෝ එක්ව ඇවිත්, අඬ අඬා යමින්, තමුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ සොයන්නෝයයි ස්වාමීන්වහන්සේ කියනසේක.
5. එන්න, මතකනැති නොවන සදාකාල ගිවිසුමකින් ස්වාමීන්වහන්සේ ට එකතුවෙමුයයි කියා ඔවුන් මේ දේශයට මුහුණු හරවාගෙන සියොන්ට පැමිණෙන මාර්ගය විභාගකරනවා ඇත.
6. මාගේ සෙනඟ වනාහි නැතිවූ බැටළුවෝ සිටියෝය. ඔවුන්ගේ එඬේරු ඔවුන් මුළාකරවා, කඳුවල ඉවත යන්ට සැලැස්සුවෝය. ඔව්හු කන්දෙන් හෙලට ගොස්, තමුන්ගේ ලැගුම්පල මතක නැතිකළෝය.
7. ඔවුන්ට සම්බවුණු සියල්ලෝම ඔවුන් ගොදුරට ගත්තෝය. ඔවුන්ගේ එදිරිකාරයෝ කථාකොට: ඔවුන් ස්වාමීන්වහන්සේ වන ධර්මිෂ්ඨකමේ වාස භූමියවූ තමුන්ගේ පියවරුන්ගේ බලාපොරොත්තුවවූ ස්වාමීන්වහන්සේ ට විරුද්ධව පව්කළ නිසා, අපි වැරදිකාරයෝ නොවෙමුයයි කීවෝය.
8. බබිලෝනිය ඇතුළෙන් පලාගොස්, කල්දිවරුන්ගේ දේශයෙන් පිටත්වී, රැළට පෙරටුවෙන් යන එළුවන් මෙන් වෙන්න.
9. මක්නිසාද මම උතුරු දේශයෙන් මහත් ජාතීන් රාශියක් බබිලෝනියට විරුද්ධව පොළඹවා ගෙනෙන්නෙමි. ඔවුන් ඈට විරුද්ධව සැරසී සිටිනවා ඇත; ඈ ඔවුන්ගේ අතට අසුවෙනවා ඇත. ඔවුන්ගේ ඊගස් දක්ෂ බලවන්තයෙකුගේ ඊගස් වැනිය; ඒවා නිකම් හැරී එන්නේ නැත.
10. කල්දියාව කොල්ලයක් වන්නීය. ඇගෙන් කොල්ලකන සියල්ලෝම තෘප්තියට පැමිණෙන්නෝයයි ස්වාමීන්වහන්සේ කියනසේක.
11. මාගේ උරුමය කොල්ලකන තැනැත්තෙනි, ඔබ සැම ප්‍රීති සන්තෝෂවෙන නිසාත්, ගොයම් මඩින එළනෑම්බියෙකු මෙන් පැනනගින නිසාත්, ශක්තිමත් අශ්වයන් මෙන් හේෂාරවය කරන නිසාත්,
12. ඔබ සැමගේ මවු ඉතා ලජ්ජාවන්නීය; ඔබ සැම බිහිකළ තැනැත්තී නින්දාවට පත්වන්නීය; බලව, ඈ ජාතීන්ගෙන් ඉතා පහත් තැනැත්තීද කාන්තාරයක්ද වියළි භූමියක්ද මරුකතරක්ද වන්නීය.
13. ස්වාමීන්වහන්සේ ගේ කෝපය නිසා ඒක වැසියෙක් නැතිව සහමුලින්ම පාළුවන්නේය. බබිලෝනිය ළඟින් යන සියල්ලෝම විස්මයට පත්ව ඇගේ සියලු විපත්තිවලට නින්දාකරන්නෝය.
14. දුනු තැත්කවන සියල්ලෙනි, බබිලෝනියට විරුද්ධව වටකරින් සැරසී සිට, එක ඊගසක්වත් ඉතිරිකර නොගෙන ඈට විදින්න. මක්නිසාද ඈ ස්වාමීන්වහන්සේ ට විරුද්ධව පව්කළාය.
15. ඈට විරුද්ධව වටකරින් ඝෝෂාකරන්න; ඈ යටත්වූවාය; ඇගේ ප්‍රාකාර වැටුණේය, ඇගේ පවුරුද කඩාදමනලද්දේය. මක්නිසාද එය ස්වාමීන්වහන්සේ ගේ පළිගැනීමය; ඇගෙන් පළිගෙන, ඈ කළ හැටියට ඈට කරන්න.
16. වපුරන්නා සහ ගොයම්කපන කාලයෙහි දෑකැත්ත පාවිච්චිකරන්නා බබිලෝනියෙන් සිඳදමන්න. පීඩාකරන කඩුවට භයින් ඔව්හු තම තමුන්ගේ සෙනඟ වෙතට හැරී තම තමුන්ගේ දේශයට පලායන්නෝය.
17. ඉශ්‍රායෙල් විසිරගිය බැටළුවෙක්ය; සිංහයෝ ඔහු පන්නාදැමුවෝය. පළමුකොට අෂූර්හි රජ ඔහු ගොදුරට ගත්තේය; අන්තිමට බබිලෝනියේ රජවූ නෙබුකද්රෙශර් ඔහුගේ ඇට බින්දේය.
18. එබැවින් ඉශ්‍රායෙල්ගේ දෙවිවූ සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: බලව, මා විසින් අෂූර්හි රජුට දඬුවම්කළාක්මෙන් බබිලෝනියේ රජුටත් ඔහුගේ දේශයටත් දඬුවම්කරන්නෙමි.
19. ඉශ්‍රායෙල් නැවත ඔහුගේ තෘණ බිමට ගෙනෙන්නෙමි, එවිට ඔහු කර්මෙල්හිද බාෂාන්හිද පෝෂ්‍යවෙනවා ඇත, එප්‍රායිම් හෙල් පිටද ගිලියද්හිද ඔහුගේ ප්‍රාණය තෘප්තියට පැමිණෙන්නේය.
20. ඒ දවස්වල සහ ඒ කාලයේදී ඉශ්‍රායෙල්ගේ අයුතුකම සොයන නුමුත් එය නොතිබෙයි; යූදාගේ පාපයන් සොයන නුමුත් ඒවා සම්බ නොවෙයි. මක්නිසාද මා විසින් ඉතුරුකරන අයින්ට කමාවන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.
21. මෙරාතයිම් දේශයටත් පෙකොඩ්හි වැසියන්ටත් විරුද්ධව නැගී ගොස් ඔවුන් මරා, පසුපස්සේ ගොස් නාස්තිකර, මා ඔබට අණකළ සියල්ල ලෙස කරන්නැයි ස්වාමීන්වහන්සේ කියනසේක.
22. යුද්ධකිරීමේද මහත් විනාශයේද ශබ්දයක් දේශයෙහි තිබේ.
23. මුළු පොළොවේ කුළුගෙඩිය දෙකට කපා කඩාදමනු ලැබූ හැටි! ජාතීන් අතරේ බබිලෝනිය පාළුවක් වූ හැටි!
24. අහෝ බබිලෝනිය, මම ඔබට මලපතක් තැබීමි, ඔබද නොදැනුවත්ව අසුවුණෙහිය. ඔබ ස්වාමීන්වහන්සේ ට විරුද්ධව යුද්ධකළ නිසා ඔබ අසුවී, අල්ලනලද්දේය.
25. ස්වාමීන්වහන්සේ තමන්ගේ ගබඩාව ඇර, තමන්ගේ කෝපයේ ආයුධ එළියට ගත්සේක. මක්නිසාද කල්දිවරුන්ගේ දේශයෙහි ස්වාමිවූ සේනාවල ස්වාමීන්වහන්සේ විසින් කරන්ට වැඩක් තිබේ.
26. ඉතා දුර සීමාවේ සිටම ඈ ළඟට ඇවිත්, ඇගේ ගබඩාවල් ඇර, ගොඩැලි මෙන් ඈ ගොඩකර, ඈට කිසිවක් ඉතිරි නොකර, ඈ සිඳදමන්න.
27. ඇගේ සියලු ගොනුන් මරන්න; උන් මැරුම්කෑමට බසිත්වා. ඔවුන්ට දුක්වේ! මක්නිසාද ඔවුන්ගේ දවස වන, ඔවුන්ට දඬුවම්කරන කාලය පැමිණ තිබේ.
28. අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ගේ පළිගැනීමද උන්වහන්සේගේ මාළිගාව ගැන පළිගැනීමද සියොන්හි දන්වන්ට බබිලොන් දේශයෙන් ගැළවී පලාඑන්නන්ගේ හඬක් ඇසෙන්නේය.
29. බබිලෝනියට විරුද්ධව දුනුකාරයන් වන දුනු තැත්කවන සියල්ලන් අඬගසන්න; ඈට විරුද්ධව වටකරින් අන්දායම් බැඳ, කිසිවෙකුට ගැළවීයන්ට ඉඩනෑර, ඇගේ ක්‍රියාකිරීමේ හැටියට ඈට ප්‍රතිඵලදී, ඈ කළ සියල්ල ලෙස ඈට කරන්න, මක්නිසාද ඈ ස්වාමීන්වහන්සේ වන ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සේට විරුද්ධව එඩිතරවූවාය.
30. එබැවින් ඒ දවසේදී ඇගේ යෞවනයන් ඇගේ වීථිවලට වැටෙනවා ඇතැයිද ඇගේ සියලු යුද්ධකාරයන් මැරී නිශ්ශබ්දවෙනවා ඇතැයිද ස්වාමීන්වහන්සේ කියනසේක.
31. බලව, උඩඟුවූ තැනැත්ත, මම ඔබට විරුද්ධයයි ස්වාමිවූ සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක. මක්නිසාද ඔබේ දවස වන මා ඔබට දඬුවම්කරන කාලය පැමිණ තිබේ.
32. උඩඟු තැනැත්තා පැකිල වැටෙයි, කිසිවෙක් ඔහු නොනැගුටුවන්නේය. මම ඔහුගේ නුවරවල ගින්නක් අවුළුවන්නෙමි, එයින් ඔහු වටකර තිබෙන සියල්ල දාලායනවා ඇත.
33. සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: ඉශ්‍රායෙල් පුත්‍රයෝද යූදා පුත්‍රයෝද එක්ව පීඩා විඳින්නෝය. ඔවුන් වාලට ගත් සියල්ලෝ ඔවුන් අත්හරින්ට අකමැතිවී ඔවුන් අල්ලාගනම සිටිති.
34. ඔවුන්ගේ මිදුම්කාරයා බලවත්ව සිටිනසේක; උන්වහන්සේගේ නාමය සේනාවල ස්වාමීන්වහන්සේ ය. පොළොව නිශ්චලකරන පිණිසත් බබිලෝනියේ වැසියන් චංචල කරන පිණිසත් උන්වහන්සේ ඔවුන්ට යුක්තිය කරදෙනවාම ඇත.
35. කඩුවක් කල්දිවරුන්ද බබිලෝනියේ වැසියන්ද ඇගේ අධිපතීන්ද ඇගේ ප්‍රඥාවන්තයන්ද පිටට පැමිණේයයි ස්වාමීන්වහන්සේ කියනසේක.
36. කඩුවක් පේනකියන්නන් පිටට පැමිණ, ඔවුන් මෝඩයන් වෙනවා ඇත. කඩුවක් ඇගේ හේවායින් පිටට පැමිණ ඔවුන් කැලඹෙනවා ඇත.
37. කඩුවක් ඔවුන්ගේ අශ්වයන් පිටටත් ඔවුන්ගේ රථ පිටටත් ඈ තුළ සිටින මිශ්‍රවූ මුළු සේනාව පිටටත් පැමිණ, ඔවුන් ස්ත්‍රීන් මෙන් වෙනවා ඇත. කඩුවක් ඇගේ වස්තු පිටට පැමිණ, ඒවා කොල්ලකනු ලබනවා ඇත.
38. නියඟක් ඇගේ ජලයන් පිටට පැමිණ, ඒවා හිදීයනවා ඇත. මක්නිසාද එය කැපූ රූප ඇති දේශයක්ය, ඒ භයානක දේවල් ගැනද ඔව්හු උමතුවී සිටිති.
39. එබැවින් වනයේ සත්තුද වෘකයෝද එහි වසන්නෝය, පැස්බරුද එහි වාසයකරන්නෝය. එහි තවත් කවදාවත් වැසියෝ නොවන්නෝය; පරම්පරාවෙන් පරම්පරාවට කිසිවෙක් එහි නොවසන්නේය.
40. දෙවියන්වහන්සේ විසින් සොදොමද ගොමොරාවද එහි අසල නුවරවල්ද නාස්තිකළ කාලයේ මෙන්, මනුෂ්‍යයෙක් එහි වාසය නොකරන්නේය, කිසි මනුෂ්‍ය පුත්‍රයෙක් එහි පොරොත්තුව නොසිටින්නේයයි ස්වාමීන්වහන්සේ කියනසේක.
41. අන්න, උතුරෙන් සෙනඟක් එන්නේය; මහත් ජාතියක්ද බොහෝ රජවරුද පොළොවේ ඉතා දුර සීමාවලින් නැගිට එන්නෝය.
42. ඔව්හු දුනුද හෙල්ලද දරන්නෝය; ඔව්හු කෲරය, කරුණාවක් නොපෙන්වති; ඔවුන්ගේ හඬ මුහුද මෙන් ඝෝෂාකරයි, ඔව්හු අසුන් පිට නැගීඑති; බබිලොන් දියණිය, ඔව්හු එකෙකු මෙන් ඔබට විරුද්ධව යුද්ධකරන්ට පෙළට සෑදී සිටිති.
43. බබිලෝනියේ රජු ඔවුන් ගැන කීර්තිය අසා තිබේ, ඔහුගේ අත් හෙළා වැටී තිබේ. දුක්ද බිහිකරන ස්ත්‍රියෙකුට මෙන් වේදනාවද ඔහුට අල්ලා තිබේ.
44. බලව, ඔහු සිංහයෙකු මෙන් යොර්දානේ වනයේ සිට බලවත් නිවාසයට විරුද්ධව නැගී එන්නේය. මක්නිසාද මම ඇසිල්ලකින් ඈ වෙතින් ඔවුන් දුවන්ට සලස්වන්නෙමි; තෝරාගන්නා ලද කවරෙකු නුමුත් මම ඔහු ඈ කෙරෙහි පත්කරන්නෙමි. මක්නිසාද මට සමාන කවුද? මට කාලයක් නියමකරන්නේ කවුද? මා ඉදිරියෙහි සිටින්ට පුළුවන් එඬේරාත් කවුද?
45. එබැවින් ස්වාමීන්වහන්සේ බබිලෝනියට විරුද්ධව කරගත් මන්ත්‍රණයද කල්දිවරුන්ගේ දේශයට විරුද්ධව කරගත් උන්වහන්සේගේ යෝජනාද අසන්න. සැබවින්ම ඔවුන් රැළේ කුඩා අය ඇදගන යනවා ඇත. සැබවින්ම උන්වහන්සේ ඔවුන්ගේ වාසස්ථානය ඔවුන් සමඟ පාළුකරනසේක.
46. බබිලෝනිය අසුවුණේය යන හඬට පොළොව සෙලවෙන්නේය, කෑගැසීමද ජාතීන් අතරේ ඇසෙන්නේය.

ගීතාවලිය 119:121-128
121. යුක්තියත් ධර්මිෂ්ඨකමත් කෙළෙමි. මට පීඩාකරන්නන්ට මා නොහැරිය මැනව.
122. යහපත පිණිස ඔබගේ මෙහෙකරුවාට ඇපවුව මැනව. උඩඟු අය මට පීඩා නොකෙරෙත්වා.
123. ඔබ දෙන ගැළවීම හා ඔබගේ ධර්මිෂ්ඨ වචනය ගැන බලා සිටීමෙන් මාගේ ඇස් ක්ෂයවේ.
124. ඔබගේ කරුණාව පරිද්දෙන් ඔබගේ මෙහෙකරුවාට ක්‍රියාකරමින්, ඔබගේ පනත් මට ඉගැන්නුව මැනව.
125. මම ඔබගේ මෙහෙකරුයෙමි; ඔබගේ ශික්ෂා දැනගන්නා පිණිස මට නුවණ දුන මැනව.
126. ස්වාමීන්වහන්සේ විසින් ක්‍රියා කිරීමට සුදුසු කාලය දැන්ය; මක්නිසාද ඔව්හු ඔබගේ ව්‍යවස්ථාව කඩකළෝය.
127. එබැවින් රනට වඩා, එසේය, පවිත්‍ර රනට වඩා, ඔබගේ ආඥාවලට ප්‍රේමකරමි.
128. එබැවින් සියලු දේ ගැන ඔබගේ නියෝග සියල්ල හරියයි සලකමි; සියලු වංක මාර්ග නුරුස්සා හරිමි.

හිතෝපදේශ 28:6-6
6. වංක මාර්ග ඇත්තාවූ වස්තුකාරයෙක්ට වඩා තමාගේ ඇදනැතිකමින් හැසිරෙන දිළින්දා හොඳය.

තීතස් 1:1-16
1. බොරු නොකියන දෙවියන්වහන්සේ පූර්ව කාලවලට ප්‍රථමයෙන් පොරොන්දුවුණාවූ,
2. අපේ ගැළවුම්කාරයා වන දෙවියන්වහන්සේගේ ආඥාව ලෙස මට භාරදෙනලද පණිවිඩයෙන් තමන්වහන්සේගේ වචනය ප්‍රකාශකිරීමෙන් නියම කාලවලදී එළිදරව්කළාවූ සදාකාල ජීවනයේ බලාපොරොත්තුව සඳහා,
3. දෙවියන්වහන්සේගේ තෝරාගත් අයවලුන්ගේ ඇදහිල්ලද දේවභක්තියේ හැටියට තිබෙන සත්‍යය දැනගැන්මද උදෙසා, දෙවියන්වහන්සේගේ දාසයෙක්ව යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ප්‍රේරිතයෙක්ව සිටින පාවුල් නම් මා විසින්,
4. පොදු ඇදහිල්ලේ හැටියට මාගේ සැබෑ දරුවාවූ තීතස්ට ලියා එවන වග නම්: පියවූ දෙවියන්වහන්සේගෙන්ද අපගේ ගැළවුම්කාරයාවූ ක්‍රිස්තුස් යේසුස් වහන්සේගෙන්ද කරුණාවත් සමාදානයත් වේවා.
5. මා එන විට ඔබ ක්‍රීතෙහි නැවැත්වූ කාරණය නම්, අඩුව තිබුණූ දේවල් ඔබ විසින් පිළිවෙළට යොදන පිණිසත් මා ඔබට ආඥාකළ ලෙස නුවරක් පාසා වැඩිමහල්ලන් පත්කරන පිණිසත්ය;
6. පත්වෙන අය වනාහි නිදොස්ව, එක භාර්යාවකට පුරුෂයාව, අවකල් ක්‍රියාව ගැන දෝෂාරෝපණය නොලත් කීකරුවූ ඇදහිලිවන්ත දරුවන් ඇතුව සිටින්ට ඕනෑය.
7. මක්නිසාද නායකයා දෙවියන්වහන්සේගේ ගබඩාකාරයෙක්මෙන් නිදොස්වූ, හිතුවක්කාර නොවූ, නොකිපෙන්නාවූ, බේබද්දෙක් නොවූ, ගහගන්නෙක් නොවූ, නින්දිත ලාභයට ගිජු නොවූ,
8. ආගන්තුක සත්කාරයට කැමතිවූ, යහපතට ප්‍රේමකරන්නාවූ, සන්සුන් සිතක් ඇත්තාවූ, ධර්මිෂ්ඨවූ, ශුද්ධවූ, පමණ දැන ක්‍රියාකරන්නාවූ කෙනෙක්ව සිටින්ට ඕනෑය.
9. තවද ඔහු සාරවත් ගුරුකමින් අවවාදකරන්ටත් විරුද්ධවාදීන් නිශ්ශබ්දකරන්ටත් පුළුවන්වන පිණිස ඉගැන්වීමට එකඟවූ විශ්වාස වචනය තදින් අල්ලාගෙන සිටින්ට ඕනෑය.
10. මක්නිසාද මුරණ්ඩුවූ, නිෂ්ඵල කථාකාරයෝවූ, රැවටිලිකාරවූ බොහෝදෙනෙක් සිටිති, ප්‍රධානකොට එසේව සිටින්නේ චර්මඡේදිතයෝය.
11. ඔවුන්ගේ කට පියවන්ට ඕනෑය; ඔව්හු නීච ලාභය නිසා යුතු නැති දේ උගන්වමින් මුළු පවුල් පෙරළති.
12. ක්‍රීත්වරු නිතරම බොරුකාරයෝය, නපුරු මෘගයෝය, කම්මැලි කෑදරයෝයයි ඔවුන්ගෙන් එක්කෙනෙක්වූ ඔවුන්ගේම ප්‍රොපේත කෙනෙක් කියා තිබේ.
13. මේ සාක්ෂිය සැබෑය. මේ කාරණය නිසා ඔවුන් යුදෙව් ප්‍රබන්ධද සැබෑකමෙන් අහක්ව යන මනුෂ්‍යයන්ගේ ආඥාද නොසලකා,
14. ඇදහිල්ලෙහි හරිලෙස සිටින පිණිස ඔවුන්ට තදින් තරවටුකරන්න.
15. පවිත්‍ර අයට සියලු දේ පවිත්‍රය. නුමුත් කිලුටුවූ නොඇදහිලිකාරවූ අයට කිසිවක් පවිත්‍ර නැත; ඔවුන්ගේ සිහියත් හෘදයසාක්ෂියත් කිලුටුව තිබේ.
16. ඔව්හු දෙවියන්වහන්සේ දැනගන සිටින බව කියති; නුමුත් ඔව්හු පිළිකුල්ව, අකීකරුව, සියලු යහපත් ක්‍රියා ගැන නිෂ්ප්‍රයෝජනව සිටින බැවින් තමුන්ගේ ක්‍රියාවලින් උන්වහන්සේව නාඳුනන බව ප්‍රකාශකරති.