Instagram
English
A A A A A
ජෙරමියා 3:1-25
1. මනුෂ්‍යයෙක් තමාගේ භාර්යාව අත්හැරිය කල, ඈ ඔහු වෙතින් ගොස් වෙන මනුෂ්‍යයෙකුට වුණොත්, ඔහු නැවත ඈ වෙතට හැරෙනවා ඇද්ද? ඒ දේශය ඉතා පිළිකුල් නොවන්නේදැයි ඔව්හු කියති. ඔබ වනාහි ආලය ඇත්තන් බොහෝදෙනෙකු සමඟ වේශ්‍යාකම්කෙළෙහිය; එහෙත් මා වෙතට හැරීඑන්නැයි ස්වාමීන්වහන්සේ කියනසේක.
2. මුඩු කඳු දෙස ඔබේ ඇස් ඔසවා, ඔබ සංවාසය නොකළේ කොතැන්හිද කියා බලන්න. කාන්තාරයෙහි අරාබියා මෙන් ඔබ ඔවුන් ගැන බලා ඉඳ, ඔබේ වේශ්‍යාකම්වලින්ද දුෂ්ටකමින්ද දේශය කිලුටුකෙළෙහිය.
3. ඒ නිසා වැහිවලා නැවතුණේය, අන්තිම වර්ෂාවද නොආයේය; එහෙත් ඔබ වේශ්‍යාවෙකුගේ නළල ඇතුව, කිසි ලජ්ජාවක් නැතුව සිටියෙහිය.
4. මාගේ පියාණෙනි, ඔබ මාගේ තරුණ වයසේ මිත්‍රයාව සිටිසේකැයි ඔබ මෙවක් පටන් මට අඬ නොගසන්නෙහිද?
5. උන්වහන්සේ තමන් උදහස සදාකාලේටම තබාගන්නාසේක්ද? එය කෙළවර දක්වා පවත්වනසේක්ද? මෙන්න, ඔබ මෙසේ කථාකළ නුමුත් නපුරු දේවල් කොට ඔබේ කැමැත්ත ඉෂ්ටකරගත්තෙහිය.
6. තවද යොෂියා රජුගේ දවස්වලදී ස්වාමීන්වහන්සේ මට මෙසේ කීසේක: අහක්ව ගියාවූ ඉශ්‍රායෙල් කළ දේ ඔබ දුටුවෙහිද? ඈ උස්වූ සියලු කඳු උඩටත් සියලු අමුගස් යටටත් ගොස් එහිදී වේශ්‍යාකම්කළාය.
7. ඈ ඒ සියල්ල කළායින් පසු: ඈ මා වෙතට හැරීඑනවා ඇතැයි කීවෙමි; නුමුත් ඈ හැරී ආවේ නැත. ඇගේ ද්‍රෝහිකාර සහෝදරීවූ යූදා එය දුටුවාය.
8. එහෙත් ඒ සියලු කාරණා නිසා එනම් අහක්ව ගියාවූ ඉශ්‍රායෙල් කාමමිථ්‍යාචාරය කළ නිසා මම ඈ අත්හැරදමා ඇගේ අත්හැරීම් පත්‍රය ඈට දුන් නුමුත්, ඇගේ ද්‍රෝහිකාර සහෝදරීවූ යූදාත් භය නොවී ගොස් වේශ්‍යාකම් කරන බව දුටිමි.
9. ඇගේ වේශ්‍යාකමේ නින්දිතකමින් ඈ දේශය පිළිකුල් කළාය, ඈ ගල් සහ දඬු සමඟ කාමමිථ්‍යාචාරය කළාය.
10. මේ සියල්ල සිදුවූ නුමුත් ඇගේ ද්‍රෝහිකාර සහෝදරීවූ යූදා ඇගේ මුළු සිතින් නොව බොරුවෙන් මා වෙතට හැරී ආවායයි ස්වාමීන්වහන්සේ කියනසේක.
11. තවද ස්වාමීන්වහන්සේ මට කථාකොට: අහක්ව ගිය ඉශ්‍රායෙල් ද්‍රෝහිකාර යූදාට වඩා තමුන් ධර්මිෂ්ඨ බව පෙන්වා තිබේ.
12. ඔබ ගොස් උතුරු දෙසට මේ වචන ප්‍රකාශකරන්න: අහක්ව ගියාවූ ඉශ්‍රායෙල්, හැරී එන්නැයි ස්වාමීන්වහන්සේ කියන සේක; මම ඔබ සැම දෙස කෝපයෙන් නොබලන්නෙමි; මක්නිසාද මම කරුණාවන්තයෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක, මම සදාකාලේටම උදහස තබා නොගන්නෙමි.
13. ඔබේ අයුතුකම පමණක් දැනගන්න, මක්නිසාද ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ට විරුද්ධව ඔබ කැරළිගසා, එහා මෙහා සියලු අමුගස් යට අන්‍යයන් ළඟට ගියෙහිය, මාගේ හඬට අකීකරුවුණෙහියයි ස්වාමීන්වහන්සේ කියනසේක.
14. අහක්ව ගියාවූ දරුවෙනි, මා වෙතට හැරීඑන්නැයි ස්වාමීන්වහන්සේ කියනසේක; මක්නිසාද මම ඔබ සැමට ස්වාමිපුරුෂයෙක්ය. මම නුවරකින් එක්කෙනෙක්ද වංශයකින් දෙදෙනෙක්ද වුවත් ඔබ සැම පිළිගෙන සියොන්ට ගෙනෙන්නෙමි.
15. මාගේ සිතට එකඟවූ එඬේරුන්ද ඔබ සැමට දෙන්නෙමි, ඔවුන් දැනගැන්මෙන්ද නුවණින්ද ඔබ සැම පෝෂ්‍යකරනවා ඇත.
16. ඔබ සැම ඒ දවස්වලදී දේශයෙහි වැඩිවී සශ්‍රීකවෙන කල, මනුෂ්‍යයන්: ස්වාමීන්වහන්සේ ගේ ගිවිසුම් පෙට්ටියයයි තවත් කියන්නේවත්, ඒ ගැන සිහිවීමක් වන්නේවත් නැත. ඔව්හු ඒ ගැන සිහි නොකරන්නෝය; ඒක නැති බවත් නොදැනෙන්නේය; ඒක තවත් සාදනු නොලබන්නේයයි ස්වාමීන්වහන්සේ කියනසේක.
17. ඒ කාලයෙහි යෙරුසලමට: ස්වාමීන්වහන්සේ ගේ සිංහාසනයයයි කියනවා ඇත; සියලු ජාතීහුද ඒක ළඟට, ස්වාමීන්වහන්සේ ගේ නාමය නිසා යෙරුසලමට, රැස්වන්නෝය. ඔව්හු තමුන්ගේ නපුරු සිත්වල මුරණ්ඩුකමේ හැටියට තවත් නොහැසිරෙන්නෝය.
18. ඒ දවස්වලදී යූදා වංශය ඉශ්‍රායෙල් වංශය සමඟ ගමන්කර, උතුරු දේශයේ සිට මා විසින් ඔබ සැමගේ පියවරුන්ට උරුමකරදුන් දේශයට එක්ව එනවා ඇත.
19. නුමුත් මම කථාකොට: ඔබ දරුවන් අතරේ ගණන්ගෙන ප්‍රියවූ දේශයක් වන රාශි ගණන් ජාතීන් අතරෙන් ඉතා අලංකාර උරුමය ඔබට දෙන්නේ කොහොමදැයි කීවෙමි. එවිට-මාගේ පියාණෙනියි ඔබ මට කියා, මා වෙතින් අහක් නොවී සිටින්ට ඕනෑයයි කීවෙමි.
20. එහෙත්, ඉශ්‍රායෙල් වංශය, භාර්යාවක් ඇගේ පුරුෂයාට ද්‍රෝහිකම්කරන්නාක්මෙන් ඔබ සැම මට විරුද්ධව ද්‍රෝහිකම්කළහුයයි ස්වාමීන්වහන්සේ කියනසේක.
21. හඬක් මුඩු කඳු උඩ ඇසෙයි, එය වනාහි ඉශ්‍රායෙල් පුත්‍රයන් තමුන්ගේ මාර්ගය පෙරළාගෙන, තමුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ සිහිනැති කළ නිසා ඔවුන්ගේ ඇඬීම සහ කන්නලව්කිරීමත්ය.
22. අහක්ව ගියාවූ දරුවෙනි, හැරීඑන්න, මම ඔබ සැමගේ පසුබටවීම් සුවකරන්නෙමි. මෙන්න, අපි ඔබ වෙතට ඇවිත් සිටිමුව; මක්නිසාද ස්වාමීන්වහන්ස, ඔබම අපේ දෙවියන්වහන්සේය.
23. සැබවින්ම හෙල්ද කඳු රාශියද කෙරෙහි විශ්වාසකිරීම නිෂ්ඵලය. සැබවින්ම ඉශ්‍රායෙල්ගේ ගැළවීම අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ තුළ තිබේ
24. එහෙත් නින්දිතයා අපේ බාල වයසේ පටන් අපේ පියවරුන්ගේ වස්තුද ඔවුන්ගේ බැටළුවන් සහ ගවයන්ද ඔවුන්ගේ පුත්‍රයන් සහ දූවරුන්ද, කාදැමුවේය.
25. අපේ ලජ්ජාවෙහි අපි වැටී ඉඳිමු, අපේ නින්දාවද අප වසාගනීවා. මක්නිසාද අපේ බාල වයසේ පටන් අද දවස දක්වා අපිද අපේ පියවරුද අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ගේ හඬට කීකරු නොවී, අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ට විරුද්ධව පව්කෙළෙමුව.

ජෙරමියා 4:1-31
1. ඉදින් ඉශ්‍රායෙල්, ඔබ හැරීඑන්නෙහිනම් ඔබ හැරීඑන්ට ඕනෑ මා වෙතටයයි ස්වාමීන්වහන්සේ කියනසේක. ඔබේ පිළිකුල්කම් ඔබ මා ඉදිරියෙන් පහකළොත්, ඔබ අහක්කරනු නොලබන්නෙහිය.
2. ඔබ: ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවා සේම කියා සැබෑකමෙන්ද යුක්තියෙන්ද ධර්මිෂ්ඨකමින්ද දිවුරුවොත්, ජාතීහු උන්වහන්සේගේ නාමයෙන් තමුන්ටම ආශීර්වාදකරගෙන, උන්වහන්සේ තුළ පාරට්ටුකරගන්නෝය.
3. මක්නිසාද ස්වාමීන්වහන්සේ යූදාහි මනුෂ්‍යයන්ටත් යෙරුසලමටත් මෙසේ කියනසේක: කටු අතරේ නොවපුරා පුරන්බිම කොටාගන්න.
4. යූදාහි මනුෂ්‍යයෙනි, යෙරුසලමේ වැසියෙනි, ඔබ සැම ස්වාමීන්වහන්සේ උදෙසා චර්මඡේදිතවී, ඔබ සැමගේ සිත්වල චර්මාග්‍රය පහකරන්න. නැත්නම් ඔබ සැමගේ ක්‍රියාවල නපුරුකම නිසා මාගේ කෝපය ගිනි මෙන් නික්ම කිසිවෙකුට නිවන්ට බැරිලෙස ඇවිළෙනවා ඇත.
5. දේශයෙහි හොරණෑව පිඹින්නැයි කියා යූදාහි දන්වා, යෙරුසලමෙහි ප්‍රකාශකරන්න. බලකොටු සහිත නුවරවලට අප ඇතුල්වෙන පිණිස රැස්වෙන්නය කියා හයියෙන් මොරගසන්න
6. කොඩියක් සියොන් දෙසට නගන්න. ගැළවෙන පිණිස නොනැවතී දුවන්න. මක්නිසාද මම උතුරෙන් විපත්තියක්ද මහත් විනාශයක්ද පමුණුවන්නෙමි.
7. සිංහයෙක් තමාගේ කැලෑවෙන් නික්මුණේය; ජාතීන් නාස්තිකරන්නෙක්ද නික්ම ගියේය; ඔබේ දේශය පාළුකරන පිණිස ඔහු තමාගේ ස්ථානයෙන් පිටත්වී ගමන්කරන්නේය; වැසියෙක් නොසිටින හැටියට ඔබේ නුවරවල්ද විනාශවන්නේය.
8. ඉන්නිසා ගෝණි රෙදි බැඳගෙන, විලාප කියමින් කෑමොරගසන්න. මක්නිසාද ස්වාමීන්වහන්සේ ගේ බලවත් උදහස අපෙන් පහව නොගියේය.
9. ඒ දවසේදී රජුගේ සිතද අධිපතීන්ගේ සිත්ද බයාදුවන්නෝය; පූජකයෝ විස්මපත්වන‍්නෝය, අනාගතවක්තෘවරුද ත්‍රස්තවන්නෝයයි ස්වාමීන්වහන්සේ කියනසේක.
10. එවිට මම: අහෝ ස්වාමිවූ දෙවියන්වහන්ස -ඔබ සැම මට සමාදානය වන්නේය කියා සැබවින්ම ඔබ මේ සෙනඟත් යෙරුසලමත් බොහෝසෙයින් රැවටූසේක; එහෙත් කඩුව ප්‍රාණය දක්වාම වදින්නේයයි කීවෙමි.
11. ඒ කාලයේදී මේ සෙනඟටත් යෙරුසලමටත් මෙසේ කියනු ලබන්නේය: කාන්තාරයේ මුඩු කඳුවල ග්‍රීෂ්ම හුළඟක් එනම් පෙළීමටවත් ශුද්ධකිරීමටවත් නොව,
12. ඊට වඩා සැරවූ හුළඟක් මා උදෙසා මාගේ සෙනඟවූ දියණියන් දෙසට පැමිණෙයි. දැන් මමත් ඔවුන්ට විරුද්ධව විනිශ්චයන් ප්‍රකාශකරන්නෙමි.
13. බලව, ඔහු වලාකුල් මෙන්ද ඔහුගේ රථ සුළි හුළඟක් මෙන්ද නැගී එන්නේය. ඔහුගේ අශ්වයෝ රාජාලීන්ට වඩා ශීඝ්‍රය. අහෝ අපට දුක්වේ! මක්නිසාද අපි නාස්තිවීමුව.
14. එම්බා යෙරුසලම, ඔබ ගැළවෙන පිණිස ඔබේ සිත සෝදා එහි නපුරුකම පහකරන්න. ඔබේ නිෂ්ඵල යෝජනා කොපමණ කල් ඔබ තුළ පවතිනවා ඇද්ද?
15. මක්නිසාද හඬක් දාන් සිට ප්‍රකාශකරමින්, එප්‍රායිම් කඳුරටේ සිට විපත ප්‍රසිද්ධකරන්නේය.
16. ජාතීන්ට සඳහන්කරන්න; මෙන්න, දුර දේශයකින් රැකවලුන් ඇවිත් යූදාහි නුවරවලට විරුද්ධව තමුන්ගේ හඬ පවත්වන බව යෙරුසලමට විරුද්ධව ප්‍රකාශකරන්න.
17. යෙරුසලම මට විරුද්ධව කැරළිගැසූ බැවින් කෙතක රැකවලුන් මෙන් ඔව්හු ඈ වටකරගෙන සිටිතියි ස්වාමීන්වහන්සේ කියනසේක.
18. ඔබේ මාර්ගයත් ඔබේ ක්‍රියාවලුත් නිසා මේවා ඔබට පැමිණියේය; මෙය ඔබේ දුෂ්ටකමය; මක්නිසාද ඒක තික්තය, ඔබේ සිතටම වදින්නේය.
19. අහෝ මාගේ අතුණු! මාගේ අතුණු! මාගේ සිත තුළම වේදනා විඳිමි; මාගේ සිත මා තුළ කැලඹෙන්නේය; මට නිශ්ශබ්දව සිටින්ට බැරිය; මක්නිසාද හොරණෑ හඬත් යුද්ධ ඝෝෂාවත්, අහෝ මාගේ ආත්මය, ඔබට ඇසුණේය.
20. නාස්තියක් පිට නාස්තියක් ප්‍රකාශකරනු ලබන්නේය; මක්නිසාද මුළු දේශයම නාස්තිවී තිබේ. හදිසියෙන් මාගේ කූඩාරම්ද මොහොතකින් මාගේ තිරද නාස්තිවුණේය.
21. මට කොඩිය දකින්ටත් හොරණෑ හඬ ඇසෙන්ටත් වෙන්නේ කොපමණ කල්ද?
22. මක්නිසාද මාගේ සෙනඟ අඥානය, ඔව්හු මා නොහඳුනති; ඔව්හු මෝඩ දරුවෝය, ඔවුන්ට කිසි තේරුමක් නැත. ඔව්හු නපුර කිරීමට ප්‍රඥාවන්තය, නුමුත් යහපත කරන්ට නොදනිති.
23. මම පොළොව දෙස බැලූ විට ඒක පාළුව හිස්ව තිබෙන බවත් අහස දෙස බැලූ විට එහි එළිය නැති බවත් දුටිමි.
24. කඳු දෙස බැලූ විට ඒවා සෙලවෙන බවත් සියලු හෙල් වැනෙන බවත් දුටිමි.
25. මම බැලූ විට මනුෂ්‍යයෙක් නැති බවත් ආකාශයේ සියලු පක්ෂීන් පලාගිය බවත් දුටිමි.
26. මම බැලූ විට ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි උන්වහන්සේගේ බලවත් උදහස නිසා සාරවත් දේශය කාන්තාරයක්වූ බවත් එහි සියලු නුවරවල් කඩාදමා තිබෙන බවත් දුටිමි.
27. මක්නිසාද ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මුළු දේශය පාළුවක් වන්නේය; නුමුත් තීන්දුවටම මම ඒක විනාශ නොකරන්නෙමි.
28. මේ නිසා පොළොව වැලපෙන්නීය, ඉහළ අහසද කළුවර වන්නේය; මක්නිසාද මම ඒක කියා නියමකෙළෙමි, මා ඒ ගැන තැවුණේවත් එයින් අහක්වයන්නේවත් නැත.
29. සියලු නුවරවල වැසියෝ අසරුවන්ගේද දුනුවායින්ගේද ඝෝෂාවට පලාගොස් බැදිවලට ඇතුල්වෙති, පර්වතවලටද නගිති. සියලුම නුවරවල් කිසි මනුෂ්‍යයෙක් ඒවායේ වාසය නොකරන හැටියට අත්හරිනු ලබති.
30. ඉතින් ඔබ නාස්තිවුණාම කරන්නේ කුමක්ද? ඔබ රතු වස්ත්‍ර පැළඳ ගත්තත් ස්වර්ණාභරණවලින් සැරසුණත් ඔබේ ඇස්වල අඳුන් ගාගත්තත් ඔබේ අලංකාරවීම නිෂ්ඵලවන්නේය; ඔබේ ප්‍රේමවන්තයෝ ඔබ ප්‍රතික්ෂේපකරති, ඔව්හු ඔබේ ප්‍රාණය හානිකරන්ට සොයන්නෝය.
31. මක්නිසාද විළිරුජා ඇති ස්ත්‍රියෙකුගේ හඬ මෙන්ද කුලුඳුලා බිහිකරන ස්ත්‍රියෙකුගේ ගාවිනාව මෙන්ද සියොන් දුවගේ හඬ මට ඇසුණේය, ඈ හතිදමා, කෙඳිරිගාමින්, ඇගේ අත් විදහාගන: අහෝ මට දුකය! මක්නිසාද ඇගේ ප්‍රාණය මිනීමරුවන් නිසා ක්ලාන්තවී තිබේයයි කියන්නීය.

ගීතාවලිය 116:15-16
15. ස්වාමීන් ගේ ශුද්ධවන්තයන්ගේ මරණය උන්වහන්සේ ඉදිරියෙහි අනර්ඝය.
16. ස්වාමිනි, සැබවින් මම ඔබගේ මෙහෙකරුයෙමි. ඔබගේ මෙහෙකරුයෙමි, ඔබගේ දාසියගේ පුත්‍රයෙමි; ඔබ මාගේ බැඳුම් මිදූසේක.

හිතෝපදේශ 27:2-2
2. ඔබේම මුඛය නොව වෙන කෙනෙක්ද ඔබේම තොල් නොව අන්‍යයෙක්ද ඔබට ප්‍රශංසාකෙරේවා.

පිලිප්පි 4:1-23
1. එහෙයින්, මාගේ ප්‍රේමවන්තවූ, මා ඉතා ඇලුම්වෙන්නාවූ සහෝදරයෙනි, මාගේ ප්‍රීතියත් ඔටුන්නත්වූ මාගේ ප්‍රේමවන්තයෙනි, මෙසේ ස්වාමීන්වහන්සේ තුළ ස්ථිරව සිටින්න.
2. ස්වාමීන්වහන්සේ තුළ එක්සිත්වෙන මෙන් එවෝදියාගෙන් ඉල්ලමි, සින්තිකීගෙන්ද ඉල්ලමි.
3. එසේය, මේ ස්ත්‍රීන්ට උපකාරකරන ලෙස සැබෑ හවුල් වැඩකරන්නෙක්වූ ඔබෙනුත් ඉල්ලමි. ඔව්හු ක්ලෙමෙන්ත් සහ මාගේ අනික් හවුල් සේවකයන් ඇතුළුව මා සමඟ ශුභාරංචියෙහි වැඩකළෝය, ඔවුන්ගේ නාම ජීවන-පොතෙහි තිබේ.
4. ස්වාමීන්වහන්සේ තුළ නිතරම ප්‍රීතිවෙන්න. ප්‍රීතිවෙන්නැයි නැවතත් කියමි.
5. ඔබ සැමගේ ඉවසිලිවන්තකම සියලු මනුෂ්‍යයන්ට දැනගන්ට ලැබේවා. ස්වාමීන්වහන්සේ ළංව සිටිනසේක.
6. ඔබ සැම කිසිවක් ගැන කනගාටු නොසිතා, සියල්ලෙහිදී ස්තුතිදීම සමඟ යාච්ඤාවෙන්ද කන්නලව්වෙන්ද ඔබ සැමගේ ඉල්ලීම් දෙවියන්වහන්සේට දන්වන්න.
7. එවිට කිසි නුවණකින් දැනගත නොහැකිවූ දෙවියන්වහන්සේගේ සමාදානය ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ ඔබ සැමගේ සිත්ද සිතිවිලිද ආරක්ෂාකරනවා ඇත.
8. ඉතින්, සහෝදරයෙනි, යම් පමණ දේ සැබෑද, යම් පමණ දේ ගරුකටයුතුද, යම් පමණ දේ සාධාරණද, යම් පමණ දේ පිරිසිදුද, යම් පමණ දේ ආදරණීයද, යම් පමණ දේ යහපත් කීර්තියක් ඇතිව තිබේද, යම් ගුණයක්, යම් ප්‍රශංසාවක් ඇද්ද, ඒ දේවල් මෙනෙහිකරන්න.
9. ඔබ සැම ඉගෙනගත්තාවූ, පිළිගත්තාවූ, මා තුළ තිබෙන බව ඇසුවාවූ, දුටුවාවූ දේවලුත් කරන්න. එවිට සමාදානයේ දෙවියන්වහන්සේ ඔබ සැම සමඟ සිටිනවා ඇත.
10. මෙපමණ කාලයකට පසු මා ගැන කල්පනාකිරීමට ඔබ සැම නැවත පිබිදුණු බැවින් ස්වාමීන්වහන්සේ තුළ බොහෝසෙයින් ප්‍රීතිවෙමි. ඒ ගැන ඔබ සැම ඇත්තටම කල්පනාකළහුය, නුමුත් ප්‍රස්තාවක් ලැබුණේ නැත.
11. හිඟකමක් ගැන මෙසේ කියනවා නොවේ. මක්නිසාද මම මොන ස්වභාවක සිටිම් නුමුත්, ඊට සතුටුවෙන්ට මම ඉගෙනගෙන සිටිමි.
12. පහත්ව සිටින්ට දනිමි, පූර්ණව සිටින්ටත් දනිමි. සෑම සියලු කාරණාවලදී තෘප්තියට පැමිණ සිටින්ට සහ ක්ෂුධාවෙන් සිටින්ටත්, පූර්ණව සිටින්ට සහ හිඟව සිටින්ටත් පුළුවන් රහස ඉගෙනගෙන සිටිමි.
13. මා බලවත්කරන්නාවූ තැනන්වහන්සේ තුළ මට සියලු දේ කරන්ට පුළුවන.
14. එසේවී නුමුත් ඔබ සැම මාගේ පීඩාවට හවුල්වුණා හොඳය.
15. පිලිප්පිවරුනි, ශුභාරංචියේ පටන්ගැන්මේදී මා මකිදෝනියෙන් ගිය කල ඔබ සැම මිස වෙන කිසි සභාවක් දීමත් ලැබීමත් යන කාරණය ගැන මට හවුල්නුවූ බව ඔබ සැමත් දනිහුය.
16. මක්නිසාද තෙසලෝනිකයට පවා ඔබ සැම මාගේ ඕනෑකම් ගැන වරක් දෙවරක් මට දීලා එවුවහුය.
17. මා තෑග්ග සොයනවා නොව, ඔබ සැමගේ ගණනට වැඩිවන්නාවූ ඵල සොයමි.
18. නුමුත් මට සියල්ල ලැබී, පූර්ණව සිටිමි. ඔබ සැම විසින් එවන ලද දේවල් එපප්‍රොදිතස්ගෙන් ලැබ පිරී සිටිමි. ඒවා දෙවියන්වහන්සේට මිහිරි සුවඳක්ව, ප්‍රියවූ ප්‍රසන්නවූ පූජාවක්ව තිබේ.
19. මාගේ දෙවියන්වහන්සේ ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ තමන්ගේ තේජස් සම්පතේ ප්‍රකාරයට ඔබ සැමගේ සියලු හිඟකම සම්පූර්ණකරනසේක.
20. ඉතින් අපගේ පියවූ දෙවියන්වහන්සේට සදාකාලයටම ගෞරවය වේවා. ආමෙන්.
21. ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ ශුද්ධවන්තයන් සෑමදෙනාට ආචාරකරන්න. මා සමඟ සිටින සහෝදරයෝ ඔබ සැමට ආචාරකරති.
22. සියලු ශුද්ධවන්තයෝද ප්‍රධානකොට කායිසර්ගේ ගෙදර සිටින ශුද්ධවන්තයෝද ඔබ සැමට ආචාර කරති.
23. ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ කරුණාව ඔබ සැමගේ ආත්මය සමඟ වේවා.