Instagram
English
A A A A A
ජෙරමියා 1:1-19
1. බෙන්යමින් රටේ අනාතෝත්හි විසූ පූජකයන්ගෙන් එක්කෙනෙක්වූ හිල්කියාගේ පුත්‍රවූ යෙරෙමියාගේ වචනයි.
2. ආමොන්ගේ පුත්‍රවූ යූදාහි රජවූ යොෂියාගේ දවස්වල, ඔහුගේ රජකමේ දහතුන්වෙනි අවුරුද්දේදී, ස්වාමීන්වහන්සේ ගේ වචනය යෙරෙමියා වෙතට පැමිණියේය.
3. යොෂියාගේ පුත්‍රවූ යූදාහි රජවූ යෙහෝයාකීම්ගේ දවස්වලදීද යොෂියාගේ පුත්‍රවූ යූදාහි රජවූ ශෙදෙකියාගේ එකොළොස්වෙනි අවුරුද්දේ කෙළවර දක්වා, එනම් පස්වෙනි මාසයේ යෙරුසලමේ වැසියන් දාස කොට අල්ලා ගෙනයාම දක්වාද, ඒ පණිවුඩය පැමිණියේය.
4. ස්වාමීන්වහන්සේ ගේ වචනය මා වෙතට පැමිණ කියනුයේ:
5. මම ඔබ ගර්භයෙහි සාදන්ට පළමුවෙන් ඔබ හඳුනාගෙන සිටියෙමි, ඔබ කුසෙන් නික්මෙන්ට පළමුවෙන් මම ඔබ කැපකොට, ජාතීන්ට අනාගතවක්තෘ කෙනෙකු කොට ඔබ නියමකෙළෙමියි කීය.
6. එවිට මම: අනේ, ස්වාමිවූ දෙවියන්වහන්ස, මම කථාකරන්ට නොදනිමි, මක්නිසාද මම බාලයෙක්මියි කීමි.
7. නුමුත් ස්වාමීන්වහන්සේ මට කථාකොට: මම බාලයෙක්මියි නොකියා, මා විසින් ඔබ යවන සියල්ලන් ළඟට ගොස්, මා ඔබට අණකරන සියල්ල කියන්න.
8. ඔවුන්ට භය නොවන්න; මක්නිසාද ඔබ ගළවන්ට මම ඔබ සමඟ සිටිමියි ස්වාමීන්වහන්සේ කියනසේකැයි කීසේක.
9. එවිට ස්වාමීන්වහන්සේ ස්වකීය අත දිඟුකොට මාගේ මුඛය ස්පර්ශකළසේක. තවද ස්වාමීන්වහන්සේ මට කථාකොට: මෙන්න, මාගේ වචන ඔබේ මුඛයෙහි තැබීමි.
10. බලව, උදුරන්ට හා කඩාදමන්ටත් නැතිකරන්ට හා හෙළාදමන්ටත් ගොඩනගන්ට හා සිටුවන්ටත් අද දවසේ මම ඔබ ජාතීන් කෙරෙහිද රාජ්‍යවල් කෙරෙහිද පත්කෙළෙමියි කීසේක.
11. තවද ස්වාමීන්වහන්සේ ගේ වචනය මා වෙතට පැමිණ: යෙරෙමියා ඔබට පෙනෙන්නේ කුමක්දැයි ඇසීය. මමද: කොට්ටම්බා අත්තක් මට පෙනේයයි කීමි.
12. එවිට ස්වාමීන්වහන්සේ: ඔබට පෙනුණා හරිය. මක්නිසාද මාගේ වචනය ඉෂ්ටකරන පිණිස මම ඒ ගැන පිබිද සිටිමියි මට කීසේක.
13. ස්වාමීන්වහන්සේ ගේ වචනය දෙවෙනිවර මා වෙතට පැමිණ: ඔබට පෙනෙන්නේ කුමක්දැයි ඇසීය. මමද: උතුරන හැළියක් මට පෙනෙයි; එහි කට උතුරු දෙසින් අහකට හැරී තිබේයයි කීමි.
14. එවිට ස්වාමීන්වහන්සේ මට කථාකොට: දේශයේ සියලු වැසියන් පිටට උතුරෙන් විපත්තිය නික්ම එන්නේය.
15. මක්නිසාද උතුරු දිග රාජ්‍යවල සියලුම වංශවලට අඬගසන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක; ඔව්හු ඇවිත් තම තමුන්ගේ සිංහාසන යෙරුසලමේ දොරටුවලද එහි වටකරින් සියලු පවුරුවලට විරුද්ධවද යූදාහි සියලුම නුවරවලට විරුද්ධවද තබන්නෝය.
16. ඔවුන් මා අත්හැර, අන් දෙවිවරුන්ට සුවඳ දුම් ඔප්පුකර, තමුන්ගේ අත්වල වැඩට නමස්කාරකළ බැවින්, ඔවුන්ගේ සියලු නපුරුකම් ගැන මම ඔවුන්ට විරුද්ධව මාගේ විනිශ්චයන් ප්‍රකාශකරන්නෙමි.
17. ඒ නිසා ඔබ ඔබේ ඉඟටිය බැඳගෙන නැගිට සිට, මා ඔබට අණකරන සියල්ල ඔවුන්ට කියන්න. මා විසින් ඔවුන් ඉදිරියේදී ඔබ නොකලඹන පිණිස ඔබ ඔවුන් ඉදිරියෙහි නොකැලඹී සිටින්න.
18. මෙන්න, මම මුළු දේශය වන යූදාහි රජවරුන්ටත් එහි අධිපතීන්ටත් එහි පූජකයන්ටත් දේශයේ සෙනඟටත් විරුද්ධව අද ඔබ සුරක්ෂිත නුවරක්ද යකඩ කුළුනක්ද පිත්තල පවුරුද කෙළෙමි.
19. ඔව්හු ඔබට විරුද්ධව යුද්ධකරන්නෝය; නුමුත් ඔබෙන් ජයගන්ට ඔවුන්ට බැරිවන්නේය. මක්නිසාද ඔබ ගළවන්ට මම ඔබ සමඟ සිටිමියි ස්වාමීන්වහන්සේ කියනසේකැයි කීසේක.

ජෙරමියා 2:1-37
1. තවද ස්වාමීන්වහන්සේ ගේ වචනය මා වෙතට පැමිණ කියනුයේ:
2. ඔබ ගොස්- ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේකැයි යෙරුසලම් වැසියන්ට ඇසෙන ලෙස ප්‍රකාශකර කියන්නැයි කීය. ඔබේ යෞවන කාලයේ ඇලුම්කමත් ඔබේ විවාහබස්දීමේ ආදරයත් නොවපුළ දේශයක් වන කාන්තාරයෙහි මා පස්සේ ඔබ ආ හැටිත් ඔබේ යහපත පිණිස මම සිහිකරමි.
3. ඉශ්‍රායෙල් වනාහි ස්වාමීන්වහන්සේ ට ශුද්ධකමව උන්වහන්සේගේ අස්වැන්නේ ප්‍රථම ඵලව සිටියේය. ඔහුව නාස්තිකරන සියල්ලෝ වරදකාරයෝ වන්නෝය; විපත්තිය ඔවුන් පිටට පැමිණෙන්නේයයි ස්වාමීන්වහන්සේ කියනසේක.
4. එම්බා යාකොබ් වංශය සහ ඉශ්‍රායෙල් වංශයේ හැම පවුල්වල සෙනඟෙනි, ස්වාමීන්වහන්සේ ගේ වචනය අසන්න.
5. ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: ඔබ සැමගේ පියවරුන් මා වෙතින් ඈත්වී දේවරූප පස්සේ ගොස් නිෂ්ඵලකම් කළේ මා තුළ මොන අධර්මිෂ්ඨකමක් සම්බවූ නිසාද?
6. මිසර දේශයෙන් අප පිටතට ගෙන, මරුකතර සහ වළවල් ඇත්තාවූ දේශයක්ද මරණයේ සෙවණ ඇත්තාවූ දේශයක්ද කිසිවෙකු නොගැවසුණාවූ කිසි මනුෂ්‍යයෙකු වාසය නොකළාවූ දේශයක්ද වන කාන්තාරය මැදින් අප ගෙනාවාවූ ස්වාමීන්වහන්සේ කොයිදැයි ඔව්හු නෑසුවෝය.
7. තවද මම සාරවත් දේශයකට, ඔබ සැම එහි ඵලද එහි හොඳ දේවල්ද අනුභවකරන පිණිස ඔබ සැම ගෙනාවෙමි; නුමුත් ඔබ සැම ඇතුල්ව මාගේ දේශය අපිරිසිදුකර, මාගේ උරුමය පිළිකුලක් කළහුය.
8. පූජකයෝ: ස්වාමීන්වහන්සේ කොයිදැයි නෑසුවෝය. ව්‍යවස්ථාවේ යෙදී සිටින්නෝ මා නෑඳින සිටියෝය. පාලකයෝද මට විරුද්ධව කැරළිගැසුවෝය, ප්‍රොපේතවරුද බාල්ගේ නමින් අනාගතවාක්‍ය කියා ප්‍රයෝජන නොවන දේවල් අනුව ගියෝය.
9. එබැවින් ඔබ සැම සමඟ මම තවමත් කාරණා ගෙනහැර දක්වමි, ඔබ සැමගේ දරුවන්ගේ දරුවන් සමඟත් කාරණා ගෙනහැර දක්වන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.
10. මක්නිසාද ඔබ සැම කිත්තිවරුන්ගේ ද්වීපවලට ගොස් බලා, කේදාර්ටත් අසා යවා, හොඳට කල්පනාකර, මෙයාකාර දෙයක් වුණාද කියා බලන්න.
11. යම් ජාතියක් තමුන්ගේ දෙවිවරුන් දෙවි නොවන නුමුත් ඔවුන් මාරුකළෝද? එහෙත් මාගේ සෙනඟ තමුන්ගේ මහිමය ප්‍රයෝජන නොවන දේවලට මාරුකරගත්තෝය.
12. අහෝ ස්වර්ගයෙනි, මේ ගැන විස්මයට පත්වී ත්‍රස්තවී ඉතා මවිතවෙන්නැයි ස්වාමීන්වහන්සේ කියනසේක.
13. මක්නිසාද මාගේ සෙනඟ නපුරු දේවල් දෙකක් කළෝය; ඔව්හු ජීවන වතුර උල්පතවූ මා අත්හැර, කටාරම්, එනම් වතුර නාල්ලන්නාවූ බිඳුණාවූ කටාරම් තමුන්ට කපාගත්තෝය.
14. ඉශ්‍රායෙල් දාසයෙක්ද? නොහොත් ඔහු ගෙයි උපන් වහලෙක්ද? ඔහු කොල්ලයක් වී සිටින්නේ මන්ද?
15. තරුණ සිංහයෝ ඔහුට විරුද්ධව ගොරවා, තමුන්ගේ හඬ පවත්වා ඔහුගේ දේශය පාළුවක් කළෝය; ඔහුගේ නුවරවල වැසියෙක් නොවසන ලෙස ඒවා දාලාගියේය.
16. නොප් සහ තාහ්පන්හේස්හි පුත්‍රයොත් ඔබේ ඉස්මුදුන කාදැම්මෝය.
17. මේ දේ ඔබට පමුණුවා ගත්තේ ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබ මාර්ගයෙහි ගෙනෙන කල ඔබ විසින් උන්වහන්සේ අත්හැරිය නිසා නොවේද?
18. ඉතින් ෂීහෝර්හි වතුර බොන පිණිස මිසරයට යන මාර්ගයෙන් ඔබට ඇති කම මොකද? නොහොත් ගංගාවේ ජලය බොන පිණිස අෂූර්ට යන මාර්ගයෙන් ඔබට ඇති කම මොකද?
19. ඔබේ දුෂ්ටකම ඔබ සැමට දඬුවම්කරන්නේය, ඔබේ පසුබටවීම්ද ඔබට අච්චුකරනවා ඇත. එබැවින් ඔබ විසින් ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ අත්හැර සිටින කාරණයද මා කෙරෙහි භය ඔබට නැතිකමද නපුරුවූ තික්තවූ දෙයක් බව බලා දැනගන්නැයි සේනාවල ස්වාමීවූ ස්වාමීන්වහන්සේ කියනසේක.
20. මක්නිසාද පුරාණයේ සිට ඔබ ඔබේ වියගහ බිඳ, ඔබේ බැමි කඩාදමා: මම සේවය නොකරන්නෙමියි කීයෙහිය. මෙසේ උස්වූ සියලු හෙල් පිටද සියලු අමුගස් යටද ඔබ නැඹුරුව වේශ්‍යාකම්කෙළෙහිය.
21. එහෙත් මා විසින් ඔබ හොඳ මිදිවැළක්ද මුළුමනින්ම හරිවූ බීජයක්ද කොට හිටවා තිබුණේය. එසේ වී නම් ඔබ වෙනස්වී මට වල් මිදිවැළක නරක්වූ පැළයක් වුණේ කොහොමද?
22. ඔබ යවාක්ෂර දියෙන් ඔබම සෝදාගන බොහෝ සබන් ගාගත්තත් ඔබේ අපරාධය මා ඉදිරියෙහි නොමැකී තිබේයයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.
23. මම අපවිත්‍ර නොවීමි, මම බාල්වරුන් පස්සේ නොගියෙමියි ඔබ කියන්නේ කොහොමද? මිටියාවතෙහි තිබෙන ඔබේ හැසිරීම බලන්න, ඔබ කළේ මොකද කියා දැනගන්න. ඔබ එහා මෙහා දුවන ශීඝ්‍ර ඔටුදෙනකි;
24. කාන්තාරයට පුරුදුවූ, තෘෂ්ණාවට ඉව අල්ලන්නාවූ වල් කොටළුදෙනකි; ඇගේ කාලයේදී ඈ නවත්වන්නේ කවුද? ඈව සොයන කිසිවෙක් වෙහෙසෙන්නේ නැත; ඇගේ මාසයේදී ඈ සම්බවෙයි.
25. වහන් නැතුව නොතිබෙන හැටියට ඔබේ පාදද පිපාස නොවන හැටියට ඔබේ උගුරද ආරක්ෂාකර ගන්න. නුමුත් ඔබ: ඒක නිෂ්ඵලය, එසේ නොව මම අන්‍යයන්ට ආදරේවීමි, ඔවුන් පස්සේද යන්නෙමියි කීවෙහිය.
26. හොරෙක් අසුවූ විට ලජ්ජාවට පැමිණෙන්නාක්මෙන් ඉශ්‍රායෙල් වංශයද ඔවුන්ගේ රජවරුද ඔවුන්ගේ අධිපතියෝද ඔවුන්ගේ පූජකයෝද ඔවුන්ගේ ප්‍රොපේතවරුද ලජ්ජාවට පැමිණෙති.
27. ඔව්හු: මාගේ පියාණෝ ඔබයයි දණ්ඩකටද: ඔබ මා ඉපදෙවුවෙහියයි ගලකටද කියති. මක්නිසාද ඔව්හු මට තමුන්ගේ මුහුණ නොව පිට පෑවෝය. එහෙත් ඔවුන්ගේ විපත්ති කාලයේදී: ඔබ නැගිට අප ගැළෙවුව මැනවයි ඔවුන් කියනවා ඇත.
28. නුමුත් ඔබ සාදාගත් දෙවිවරු කොයිද? ඔබේ විපත්ති කාලයේදී ඔබ ගළවන්ට ඔවුන්ට පුළුවන් නම් ඔව්හු නැගිටිත්වා. මක්නිසාද, එම්බා යූදා, ඔබේ නුවරවල ගණනට ඔබට දෙවිවරු සිටිති.
29. ඔබ සැම මා සමඟ විවාදකරන්නේ මක්නිසාද? ඔබ සැම සියල්ලෝම මට විරුද්ධව කැරළිගැසුවහුයයි ස්වාමීන්වහන්සේ කියනසේක.
30. මා විසින් ඔබ සැමගේ දරුවන්ට පහරදුන්නා නිෂ්ඵලය; ඔවුන් දැනමුතුකම පිළිගත්තේ නැත. ඔබ සැමගේ කඩුව වනාහි විනාශකරන සිංහයෙකු මෙන් ඔබ සැමගේ ප්‍රොපේතවරුන් කාදැමුවේය.
31. එම්බා වංශය, ස්වාමීන්වහන්සේ ගේ වචනය බලන්න. මම ඉශ්‍රායෙල්වරුන්ට කාන්තාරයක්ව නොහොත් ඝනාන්ධකාර දේශයක්ව සිටියෙම්ද? අපි නිදහසට පැමුණුණෙමුව, අපි තවත් ඔබ ළඟට නොඑන්නෙමුයයි මාගේ සෙනඟ කියන්නේ මක්නිසාද?
32. කන්‍යාවක් ඇගේ ආභරණද මනමාලියක් ඇගේ ඉඟපටියද සිහිනැති කරනවා ඇද්ද? එහෙත් මාගේ සෙනඟ ගණන් නැති දවස්වල මා සිහිනැතිකළෝය.
33. ඔබ ආදරය සොයන පිණිස ඔබ ඔබේ මාර්ග හොඳකරගන්න හැටි! එසේ ඔබ නපුරු ස්ත්‍රීන්ට පවා ඔබේ මාර්ග ඉගැන්වුවෙහිය.
34. තවද නිර්දෝෂවූ දිළිඳුන්ගේ ප්‍රාණවල ලේ ඔබේ වස්ත්‍ර කොන්වල සම්බවිය. රහස් තැන්වල නොව මේ සියල්ල පිට එය තිබෙනවා මට සම්බවිය.
35. එහෙත්: මම නිර්දෝෂයෙමි; සැබවින්ම උන්වහන්සේගේ උදහස මාගෙන් පහව ගියේයයි ඔබ කියන්නෙහිය. බලව: මම පව් නොකෙළෙමියි ඔබ කියන නිසා මම ඔබ සමඟ විනිශ්චයට පැමිණෙන්නෙමි.
36. ඔබේ මාර්ගය වෙනස්කරන්ට ඔබ ඔපමණ තැනින් තැන යන්නේ මක්නිසාද? අෂූර් නිසා ඔබ ලජ්ජාවට පැමුණුණාක්මෙන් මිසරය නිසාත් ඔබ ලජ්ජාවට පැමිණෙන්නෙහිය.
37. එතනිනුත් ඔබ ඔබේ අත් ඉස පිට තබාගෙන පිටත්ව යන්නෙහිය. මක්නිසාද ස්වාමීන්වහන්සේ ඔබේ විශ්වාසයන් එපාකර තිබේ, ඒවායින් ඔබ සඵල නොවන්නෙහිය.

ගීතාවලිය 116:5-14
5. ස්වාමීන්වහන්සේ දයාවන්තය, ධර්මිෂ්ඨය; එසේය, අපේ දෙවියන්වහන්සේ අනුකම්පාවෙන් යුක්තය.
6. ස්වාමීන්වහන්සේ යටහතුන් ආරක්ෂාකරනසේක. මම පහත්කරනු ලැබීමි, උන්වහන්සේ මා ගළවාගත්සේක.
7. මාගේ ආත්මය, තාගේ නිවාඩුවට හැරී යව; මක්නිසාද ස්වාමීන්වහන්සේ ඔබට බොහෝසේ යහපත්කම් කළසේක.
8. මක්නිසාද ඔබවහන්සේ මාගේ ආත්මය මරණයෙන්ද මාගේ ඇස් කඳුළෙන්ද මාගේ පාද පැකිලීමෙන්ද ගැළවූසේක.
9. ජීවතුන්ගේ දේශයෙහි ස්වාමීන් ඉදිරියෙහි හැසිරෙන්නෙමි.
10. මම විශ්වාසකරමි, එබැවින් කථාකරන්නෙමි. මම බොහෝසේ පීඩිතවීමි.
11. සියලු මනුෂ්‍යයෝම බොරුවකැයි මාගේ ඉක්මන්කමින් කීමි.
12. ස්වාමීන් විසින් මට කළාවූ සියලු යහපත්කම් ගැන උන්වහන්සේට කුමක් දෙම්ද?
13. මම ගැළවීමේ කුසලාන රැගෙන, ස්වාමීන් ගේ නාමයෙන් යාච්ඤාකරන්නෙමි.
14. එසේය, ස්වාමීන් ගේ මුළු සෙනඟ ඉදිරියෙහි මාගේ භාර උන්වහන්සේට ඉෂ්ටකරන්නෙමි.

හිතෝපදේශ 27:1-1
1. හෙට ගැන පාරට්ටුකර නොගන්න; මක්නිසාද දවසක් ඇතුළතදී මොනවා සිදුවේදැයි ඔබ නොදන්නෙහිය.

පිලිප්පි 3:1-21
1. ඉතින්, මාගේ සහෝදරයෙනි, ස්වාමීන්වහන්සේ තුළ ප්‍රීතිවෙන්න. එම කාරණා ඔබ සැමට ලියා එවීම මට වෙහෙස නැත, ඔබ සැමගේ ප්‍රවේසම පිණිසත් ඒක හොඳය.
2. බල්ලන්ගෙන් ප්‍රවේසම්වෙන්න, නපුරු ක්‍රියාකාරයන්ගෙන් ප්‍රවේසම්වෙන්න. ජේද්‍යකරන්නන්ගෙන් ප්‍රවේසම්වෙන්න.
3. මක්නිසාද චර්මඡේදිතයෝ නම් දෙවියන්වහන්සේගේ ආත්මයාණන් කරණකොටගෙන නමස්කාරකරන්නාවූ, ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ පාරට්ටුකරගන්නාවූ, මාංසය තුළ විශ්වාසයක් නැත්තාවූ අපිය.
4. ඕනෑ නම් මට මාංසය කෙරෙහි පවා විශ්වාසය තබන්ට පුළුවන. වෙන යමෙක් මාංසය කෙරෙහි තමාට විශ්වාසය තබන්ට පුළුවනැයි සිතන්නේ නම්, මට ඊට වඩා පුළුවන.
5. අටවෙනිදා චර්මජේදිතවූයෙමි, ඉශ්‍රායෙල් වංශයේ, බෙන්යමින්ගේ ගෝත්‍රයේ කෙනෙක්මි, හෙබ්‍රෙව්වරුන්ගෙන් හෙබ්‍රෙව්වෙක්මි; ව්‍යවස්ථාව ගැන නම්, පරිසියෙක්මි;
6. ජ්වලිතකම ගැන නම්, සභාවට පීඩාකෙළෙමි; ව්‍යවස්ථාවෙන් පැමිණෙන ධර්මිෂ්ඨකම ගැන නම්, නිර්දෝෂව සිටියෙමි.
7. එසේවී නුමුත් මට ලාභව තිබුණු යම් යම් දේම ක්‍රිස්තුස්වහන්සේ නිසා අලාභයයි සිතීමට පැමිණියෙමි.
8. එසේය, මාගේ ස්වාමිවූ ක්‍රිස්තුස් යේසුස්වහන්සේ ඇඳිනගැනීමේ උතුම්කම නිසා සියල්ල අලාභයයි සලකමි. උන්වහන්සේ නිසා සියලු දේ මට නැතිවී ගියා පමණක් නොව; ඒවා කුණුයයි සලකමි. එසේ කරන්නේ මම ක්‍රිස්තුස්වහන්සේ ලබාගන්නා පිණිසත්,
9. ව්‍යවස්ථාවෙන් පැමිණෙන මාගේම ධර්මිෂ්ඨකම නොව, ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල කරණකොටගෙන, ඇදහිල්ල නිසා දෙවියන්වහන්සේගෙන් පැමිණෙන ධර්මිෂ්ඨකම ඇතුව ක්‍රිස්තුස්වහන්සේ තුළ සිටින පිණිසත්,
10. යම් අන්දමකින් මළවුන්ගෙන් නැගිටීමට පැමිණෙන ලෙස,
11. උන්වහන්සේ සහ උන්වහන්සේගේ නැවත-නැගිටීමේ බලයත් උන්වහන්සේගේ දුක්වල පංගුකාරකමත් දැනගන්නා පිණිසත්ය.
12. මා දැනට ලබාගෙන සිටිනවාවත් දැනටම සම්පූර්ණවී සිටිනවාවත් නොවේ. නුමුත් යමක් පිණිස ක්‍රිස්තුස් යේසුස්වහන්සේ මා අල්ලාගත්සේක්ද, ඒක අල්ලාගන්ට වීර්යකරමින් මමත් දුවගනයමි.
13. සහෝදරයෙනි, මම තවමත් අල්ලාගත්තෙමියි නොසිතමි. නුමුත් එකක් කරමි, එනම්, පස්සෙන් තිබෙන දේ මතකනැතිකොට, ඉස්සරහට තිබෙන ඒවා දෙසම බලාගන යමින්,
14. ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ දෙවියන්වහන්සේගේ උතුම් කැඳවීමේ දිනුම පිණිස දිනුම්පළ කරා දුවමි.
15. එබැවින් අපෙන් යම් පමණ දෙනෙක් සම්පූර්ණව සිටිද්ද, ඔව්හු ඒ ආකාරයෙන් කල්පනාකරත්වා. ඔබ සැම යම් කාරණයක් ගැන වෙන අභිප්‍රායක් ඇත්තාහු නම්, ඒකත් දෙවියන්වහන්සේ ඔබ සැමට එළිදරව්කරනවා ඇත.
16. නුමුත් අපි යම් ස්වභාවකට පැමිණ සිටිමුද, ඒ ප්‍රකාරයට හැසිරෙමුව.
17. සහෝදරයෙනි, එක්ව මා අනුව යන්නෝ වෙන්න. අප ඔබ සැමට ආදර්ශයක්ව සිටින්නේ යම් සේද, එසේ හැසිරෙන්නන් බලාගන්න.
18. මක්නිසාද, මා ඔබ සැමට බොහෝ වර කී ලෙසත්, දැනුත් අඬමින් කියන ලෙසත්, බොහෝදෙනෙක් ක්‍රිස්තුස්වහන්සේගේ කුරුසියට සතුරෝව හැසිරෙති.
19. ඔවුන්ගේ කෙළවර විනාශයය, ඔවුන්ගේ දෙවියෝ බඩය, ඔවුන්ගේ පාරට්ටුව නම් තමුන්ගේ ලජ්ජාව ගැනය. ඔවුන් සලකන්නේ ලෝක දේවල්ය.
20. නුමුත් අපේ නාගරිකත්වය ස්වර්ගයෙහිය; එතැනින් ගැළවුම්කාරයෙක් වන ස්වාමීවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ එනවා අපි බලාසිටිමුව.
21. සියලු දේ පවා තමන්ට යටත්කරන්ට පුළුවන්වූ බලය ලෙස, උන්වහන්සේ අපේ පහත්කමේ ශරීර තමන්වහන්සේගේ තේජසේ ශරීරයට සමානවන පිණිස ඒවා වෙනස්කරනවා ඇත.