Instagram
English
A A A A A
යෙසායා 65:1-25
1. මා ගැන විභාග නොකළ අයට ප්‍රකාශවුණෙමි; මා නොසෙවු අයට සම්බවුණෙමි. මාගේ නාමය නොදැරූ ජාතියකට: මම මෙහිය, මම මෙහියයි කීවෙමි.
2. කැරළිකාරවූ, තමුන්ගේ යෝජනා අනුව හොඳ නැති මාර්ගයක යන්නාවූ සෙනඟක් දෙසට දවස මුළුල්ලේම මාගේ අත් විදහාගන සිටියෙමි.
3. ඒ සෙනඟ මා ඉදිරියේදී නිතරම මා කෝපකරති, උයන්වල පූජාකරති, ගඩොල් පිටද සුවඳ දුම් ඔප්පුකරති.
4. ඔව්හු සොහොන් අතරේ හිඳිති, රහස් ස්ථානවලද රාත්‍රිය පසුකරති. ඔව්හු ඌරු මස් කති, පිළිකුල් ද්‍රව්‍යවල හොදිද ඔවුන්ගේ භාජනවල තිබේ.
5. මට ළංනොවී ඈතින් සිටින්න, මම ඔබට වඩා ශුද්ධයෙමියි ඔව්හු කියති. මොව්හු මාගේ නාසයට ධූමයක්ය, දවස මුළුල්ලේම ඇවිළෙන ගින්නක්ය.
6. බලව, ඒක මා ඉදිරියෙහි ලියා තිබේ. මම විපාක දෙනතුරු නිශ්ශබ්දව නොසිටිමි.
7. එසේය, ඔබ සැමගේ අයුතුකම්ද කඳු උඩ සුවඳ දුම් ඔප්පුකො ට හෙල් උඩ මට අපහාස කළාවූ ඔබ සැමගේ පියවරුන්ගේ අයුතුකම්ද නිසා ඔවුන්ගේ ළයට ප්‍රතිඵල දෙන්නෙමි, ඔවුන්ගේ පළමු ක්‍රියාවල් ඔවුන්ගේ ළයට මැනදෙන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.
8. ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මිදිවල්ලෙහි යුස තිබෙන බව යමෙක් දැක-එහි ආශීර්වාදයක් තිබෙන බැවින් එය නාස්ති නොකරන්නැයි කියන්නාක්මෙන්, මාගේ මෙහෙකරුවන් නිසා කරන්නෙමි, මම සියල්ලන් විනාශ නොකරන්නෙමි.
9. මම යාකොබ්ගෙන් වංශයකද යූදාගෙන් මාගේ කඳුවල උරුමක්කාරයෙක්ද නැඟුටුවන්නෙම්. මාගේ තෝරාගත් අය ඒක උරුම කරන්නවා ඇත.
10. මා සෙවුවාවූ මාගේ සෙනඟ උදෙසා ෂාරොන් එළු බැටළු රැළවලට තෘණ බිමක්ද ආකොර් මිටියාවත ගව රැළවලට ලැගුම්පළක්ද වන්නේය.
11. නුමුත් ස්වාමීන්වහන්සේ, අත්හැර, මාගේ ශුද්ධ කන්ද සිහිනැති කර, ශ්‍රීකාන්තාවට මේසයක් පිළියෙළ කරන්නාවූ, මිශ්‍රවූ මද්‍යපානය ඉරණම නම් දේවතාවීට පුරවා දෙන්නාවූ තැනැත්තෙනි,
12. ඔබ සැම මම කඩුවට නියමකරන්නෙමි; ඔබ සැම සියල්ලෝම මැරුම්කෑමට අසුවන්නහුය. මක්නිසාද මා අඬගැසූ විට ඔබ සැම උත්තර නුදුන්නහුය, මා කථාකළ විට ඔබ සැම නොඅසා, මාගේ ඇස් හමුයෙහි නපුරුව තිබෙන දේ කොට, මා කැමැති නැති දේ තෝරාගත්තහුය.
13. එබැවින් ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: මෙන්න, මාගේ මෙහෙකරුවන්ට කන්ට තිබෙද්දී ඔබ සැමට බඩගිනි වන්නේය. මෙන්න, මාගේ මෙහෙකරුවන්ට බොන්ට තිබෙද්දී ඔබ සැමට පිපාසා වන්නේය. මෙන්න, මාගේ මෙහෙකරුවන් ප්‍රීතිවෙද්දී ඔබ සැමට ලජ්ජාව ඇතිවන්නේය.
14. මෙන්න, මාගේ මෙහෙකරුවන් සිතේ ප්‍රීතියෙන් ගීකියන කල්හි ඔබ සැම සිතේ වේදනාවෙන් කෑගසමින් ආත්මයේ පෙළීම නිසා කෑමොර ගසන්නහුය.
15. ඔබ සැමගේ නාමය ශාපයක් පිණිස මාගේ තෝරාගත්තවුන්ට ඔබ සැම තබා යන්නහුය, ස්වාමිවූ දෙවියන්වහන්සේ ඔබ නසා තමන්ගේ මෙහෙකරුවන්ට වෙන නාමයක් තබනවා ඇත.
16. එයින් පොළොවෙහි තමාට ආශීර්වාදකරගන්න අය සත්‍යතාවේ දෙවියන්වහන්සේගේ නම කියා ආශීර්වාදකරගන්නේය; පොළොවෙහි දිවුරන අයද සත්‍යතාවේ දෙවියන්වහන්සේගේ නම කියා දිවුරන්නේය; මෙසේ වන්නේ පළමු විපත්ති මතක නැතිවී, ඒවා මාගේ ඇස්වලින් සැඟවී තිබෙන නිසාය.
17. මක්නිසාද, බලව, මම අලුත් අහසක්ද අලුත් පොළොවක්ද මවමි. පළමු දේ මතක්කරනු ලබන්නේවත් සිහිවෙන්නේවත් නැත.
18. එසේය, මා විසින් මවන දෙය ගැන සදාකාලේටම සතුටුව ප්‍රීතිවෙන්න. මක්නිසාද මම යෙරුසලම ප්‍රීතිමත්කමක්ද එහි සෙනඟ ප්‍රීතියක්දකොට මවමි.
19. මම යෙරුසලම කෙරේ ප්‍රීතිමත්ව, මාගේ සෙනඟ කෙරේ ප්‍රීතිවන්නෙමි. ඇඬීමේ ශබ්දයක්වත් කෑගැසීමේ හඬක්වත් එහි තවත් නොඇසෙන්නේය.
20. දවස් ගණනක ළදරුවෙක්වත් වයස් නොපිරුණු මහල්ලෙක්වත් එතනින් තවත් තුරන්දු නොවී, බාල දරුවා අවුරුදු සියයක් වයස්ව නසිනවා ඇත. නුමුත් අවුරුදු සියයක් වයස්වූ පව්කාරයා ශාප ලබනවා ඇත.
21. ඔව්හු ගෙවල් ගොඩනගාගන එහි වාසයකරන්නෝය; මිදිවතු වවා එහි ඵල කන්නෝය.
22. ඔවුන් ගෙවල් ගොඩනැගුවාම වෙන කෙනෙක් වාසයකරන්නේවත් ඔවුන් වැවුවාම වෙන කෙනෙක් කන්නේවත් නැත. මක්නිසාද මාගේ සෙනඟගේ දවස් වෘක්ෂයක දවස් මෙන් වන්නේය, මාගේ තෝරාගත් අය තමුන්ගේ අත් වැඩ බොහෝ කල් භුක්ති විඳින්නෝය.
23. ඔවුන් නිරර්ථකයේ වෙහෙසෙන්නේවත් විපත්තිය පිණිස උපදවන්නේවත් නැත; මක්නිසාද ඔව්හු ස්වාමීන්වහන්සේ ගෙන් ආශීර්වාද ලබන්නන්ගේ වංශයය, ඔවුන්ගෙන් පැවත එන්නෝද ඔවුන් සමඟ වන්නෝය.
24. ඔවුන් යාච්ඤාකරන්ට පළමුවෙන් මම උත්තරදෙන්නෙමි, ඔවුන් කථාකරද්දීම අසන්නෙමි.
25. වෘකයාද බැටළුවස්සාද එකට තෘණ කන්නෝය, සිංහයා හරකා මෙන් පිදුරු කන්නේය. ධූලි සර්පයාගේ කෑම වන්නේය. මාගේ ශුද්ධ කන්දේ සීමා තුළෙහි කිසි අනතුරු කිරීමක්වත් විනාශකිරීමක්වත් නැතැයි ස්වාමීන්වහන්සේ කියනසේක.

යෙසායා 66:1-24
1. ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: අහස මාගේ සිංහාසනයය, පොළොව මාගේ පාපුටුවය. ඔබ සැම කෙබඳු ගෘහයක් මට සාදන්නහුද? නොහොත් මාගේ නිවාසස්ථානය කොතැනද?
2. මේ සියල්ල මාගේ අතින් සාදනලද්දේය, එසේ මේ සියල්ල සිදුවීයයි ස්වාමීන්වහන්සේ කියනසේක. එහෙත් යටහත්වූ, තැළුණු ආත්මයක් ඇත්තාවූ, මාගේ වචනයට වෙවුලන්නාවූ මනුෂ්‍යයා දෙස බලමි.
3. ගොනෙකු මරන අය මනුෂ්‍යයෙකු මරන්නෙකු මෙන් වේ; බැටළු වස්සෙකු පූජාකරන අය බල්ලෙකුගේ බෙල්ල කඩන අය මෙන් වේ; ආහාර පූජාවක් ඔප්පු කරන්නා ඌරු ලේ පුදන්නෙකු මෙන් වේ; කට්ටකුමංචල් දවන අය පිළිමයකට බුහුමන් කරන අය මෙන් වේ. එසේය, ඔව්හු තමුන්ගේම මාර්ග තෝරාගත්තෝය, ඔවුන්ගේ ආත්මයද ඔවුන්ගේ පිළිකුල්වලට ප්‍රියවේ.
4. මමත් ඔවුන්ට නිසි විපත්ති නියමකොට, ඔවුන් භයවන දේ ඔවුන් පිටට පමුණුවන්නෙමි; මක්නිසාද මා අඬගැසූ විට කිසිවෙක් උත්තර නුදුන්නේය; මා කථාකළ විට ඔව්හු නොඇසුවෝය; ඔව්හු මාගේ ඇස් හමුයෙහි නපුරුව තිබෙන දේ කර, මා කැමැති නැති දේ තෝරාගත්තෝය.
5. ස්වාමීන්වහන්සේ ගේ වචනයට වෙවුලන තැනැත්තෙනි, උන්වහන්සේගේ වචනය අසන්න. මාගේ නාමය නිසා ඔබ සැමට වෛරවී ඔබ සැම පන්වා දැමුවාවූ ඔබ සැමගේ සහෝදරයෝ ස්වාමීන්වහන්සේ ගෞරව ලබාගන්නසේක්වා, එවිට ඔබ සැමගේ ප්‍රීතිය අපට දකින්ට ලැබේයයි කියති; නුමුත් ඔවුන්ම ලජ්ජාවට පැමිණෙනවා ඇත.
6. ඝෝෂා හඬක් නුවරින් පැමිණෙන්නේය, දේව මාළිගාවෙන් හඬක් පැමිණෙන්නේය; එය වනාහි තමන්ගේ සතුරන්ට ප්‍රතිඵලදෙන ස්වාමීන්වහන්සේ ගේ හඬය.
7. ප්‍රසව වේදනාව පැමිණෙන්ට පළමුවෙන් ඈ බිහිකළාය; ඈට විළිරුජාව අල්ලන්ට පළමුවෙන් ඈ පිරිමි දරුවෙකු ප්‍රසූතකළාය.
8. මෙබඳු දෙයක් ඇසුවේ කවුද? මෙබඳු දේ දුටුවේ කවුද? එක දවසකදී දේශයක් උපදිනවා ඇද්ද? නොහොත් සෙනඟක් එකවිටම උපදිනවා ඇද්ද? සියොන් ප්‍රසව වේදනා වින්ද ඇසිල්ලෙහිම ඇගේ දරුවන් බිහිකළාය.
9. බිහිවෙන්ට ළංකරන්නාවූ මම උපදින්ට නොසලස්වන්නේම්දැයි ස්වාමීන්වහන්සේ කියනසේක. නොහොත් බිහිවන්ට සලස්වන්නාවූ මමම ගර්භය පියන්නෙම්දැයි ඔබේ දෙවියන්වහන්සේ කියනසේක.
10. යෙරුසලමට ප්‍රේමකරන සියල්ලෙනි, ඈ සමඟ සන්තෝෂවී, ඈ කෙරෙහි ප්‍රීතිමත්වෙන්න; ඈ ගැන වැලපෙන සියල්ලෙනි, ප්‍රීතියෙන් ඈ සමඟ ප්‍රීතිවෙන්න.
11. මෙසේ ඔබ සැම ඇගේ සැනසිලි නැමති තන උරා තෘප්තියට පැමිණෙනවා ඇත; ඇගේ තේජසේ පූර්ණකමින් දොවාගන භුක්තිවිඳිනවා ඇත.
12. මක්නිසාද ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: බලව, මම සමාදානය ගංගාවක් මෙන්ද ජාතීන්ගේ තේජස ඉතිරෙන ඔයක් මෙන්ද ඈ වෙතට හරවමි, ඔබ සැම එයින් උරා බොන්නහුය; උකුළේ ගෙනයනු ලබන්නහුය, දෙදණ පිට සුරතල්කරනු ලබන්නහුය.
13. මනුෂ්‍යයෙකු තමාගේ මවු විසින් සනසනු ලබන්නාක්මෙන් මම ඔබ සැම සනසන්නෙමි; යෙරුසලම තුළද ඔබ සැම සැනසෙනවා ඇත.
14. ඔබ සැම එය දැක ඔබ සැමගේ සිත් ප්‍රීතිවන්නේය, ඔබ සැමගේ ඇටද තෘණ මෙන් සශ්‍රීකවන්නේය. ස්වාමීන්වහන්සේ ගේ හස්තයද තමන්ගේ මෙහෙකරුවන්ට ප්‍රකාශවන්නේය, උන්වහන්සේ තමන්ගේ සතුරන්ට විරුද්ධව කෝපවෙනවා ඇත
15. මක්නිසාද ස්වාමීන්වහන්සේ තමන්ගේ උදහස කෝපයෙන්ද තමන්ගේ තර්ජනය ගිනිදැල්වලින්ද ඉෂ්ටකරන පිණිස ගිනි සහිතවද උන්වහන්සේගේ රථ සුළිහුළඟ මෙන්ද එනවා ඇත.
16. එසේය, ස්වාමීන්වහන්සේ ගින්නෙන්ද තමන්ගේ කඩුවෙන්ද මාංසමයවූ සියල්ලන් සමඟ විනිශ්චයට පැමිණෙනවා ඇත. බොහෝ දෙනෙක්ද ස්වාමීන්වහන්සේ ගෙන් මැරුම් කනවා ඇත.
17. මැද සිටින කෙනෙකුට පස්සෙන් උයන්වලට යන පිණිස තමුන් ශුද්ධ පවිත්‍රකරගන්නාවූ, ඌරු මස් සහ පිළිකුල් දේද මීයන්ද කන්නාවූ අය එක්ව නැතිවන්නෝයයි ස්වාමීන්වහන්සේ කියනසේක.
18. මක්නිසාද මම ඔවුන්ගේ ක්‍රියා සහ යෝජනා දනිමි. සියලු ජාතීන් සහ භාෂාවන් මා විසින් රැස්කිරීමට කාලය පැමිණෙන්නේය; ඔව්හු ඇවිත් මාගේ තේජස දකින්නෝය.
19. මම ඔවුන් අතරේ ලකුණක් තබා, ඔවුන්ගෙන් ගැළවීයන අය මාගේ කීර්තිය නෑසුවාවූ, මාගේ තේජස නුදුටුවාවූ දුරස්තර ද්වීපයන් වන තර්ෂිෂ්හිද පූල්හිද දුනුවායන් සිටින ලූද්හිද තුබල්හිද යාවාන්හිද සිටින ජාතීන් වෙතට යවන්නෙමි; ඔවුන් ජාතීන් අතරෙහි මාගේ තේජස දන්වනවා ඇත.
20. ඉශ්‍රායෙල් පුත්‍රයන් පිරිසිදු භාජනයක ස්වාමීන්වහන්සේ ගේ ගෘහයට පඬුරු ගෙනෙන්නාක්මෙන් ඔවුන් ඔබ සැමගේ සියලු සහෝදරයන් සියලු ජාතීන් අතරෙන් අශ්වයන් පිටින්ද රථවලින්ද දෝලාවලින්ද අශ්වතරයන් පිටින්ද ඔටුවන් පිටින්ද මාගේ ශුද්ධ කන්ද වන යෙරුසලමට ස්වාමීන්වහන්සේ ට පඬුරක් කොට ගෙනෙනවා ඇතැයි ස්වාමීන්වහන්සේ කියනසේක.
21. ඔවුන් ගෙන්ද සමහරුන් මම පූජකයන් සහ ලෙවීවරුන් කොට ගන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.
22. මක්නිසාද මා විසින් සාදන අලුත් අහසත් අලුත් පොළොවත් මා ඉදිරියෙහි පවතින්නාක් මෙන් ඔබ සැමගේ වංශය සහ ඔබ සැමගේ නාමය පවතින්නේයයි ස්වාමීන්වහන්සේ කියනසේක.
23. තවද අමාවකක් අමාවකක් පාසාද සබත් දවසක් සබත් දවසක් පාසාද මා ඉදිරියෙහි නමස්කාරකරන්ට සියලු මනුෂ්‍යයෝ එන්නෝයයි ස්වාමීන්වහන්සේ කියනසේක.
24. ඔවුන් පිටතට ගොස් මට විරුද්ධව වරදකළ අයින්ගේ මළකඳන් බලනවා ඇත. මක්නිසාද ඔවුන්ගේ පණුවා නහින්නේවත් ඔවුන්ගේ ගින්න නිවෙන්නේවත් නැත; ඔව්හුද මාංසමයවූ සියල්ලන්ට පිළිකුලක් වන්නෝය.

ගීතාවලිය 116:1-4
1. ස්වාමීන් ට ප්‍රේමකරමි, මක්නිසාද උන්වහන්සේ මාගේ ශබ්දයද මාගේ කන්නලව්වද ඇසූසේක.
2. උන්වහන්සේ මා දෙසට කන් නැමූ බැවින් ජීවත්ව සිටින තෙක් මම උන්වහන්සේට යාච්ඤාකරන්නෙමි.
3. මරණයේ රැහැනෙන් වටකරනු ලැබීමි, ෂෙයෝලේ වේදනා මා අල්වාගත්තේය. විපත හා දුක මට පැමුණුණේය.
4. එවිට මම ස්වාමීන් ගේ නාමයෙන් යාච්ඤාකරමින්: ස්වාමිනි, මාගේ ප්‍රාණය මිදුව මැනවයි කීයෙමි.

හිතෝපදේශ 26:28-28
28. බොරුකාර දිව එයින් තුවාලවූවන්ට වෛරකරයි; ඉච්චා මුඛයද නාස්තිය උපදවයි.

පිලිප්පි 2:1-30
1. ඉතින් ක්‍රිස්තුස්වහන්සේ තුළ යම් අස්වැසිල්ලක් ඇත්නම්, ප්‍රේමයේ යම් සැනසිල්ලක් ඇත්නම්, ආත්මයාණන් වහන්සේගේ යම් පංගුකාරකමක් ඇත්නම්, යම් ආදරයක් සහ දයාබරකමක් ඇත්නම්,
2. ඔබ සැම එක ප්‍රේමය ඇතුව, එකඟව සිට, එක කාරණයම අභිප්‍රායකරගෙන එක්සිත්ව සිටීමෙන්, මාගේ ප්‍රීතිය සම්පූර්ණකරන්න.
3. පක්ෂවාදිකමෙන්වත් නිෂ්ඵල පාරට්ටුකාරකමෙන්වත් කිසි දෙයක් නොකොට, එකිනෙකා තම තමාට වඩා වෙන කෙනෙක් උතුමැයි යටහත්කමින් සිතාවා.
4. ඔබ සැම එක් එක්කෙනා තම තමාගේම කාරණා නොව අනුන්ගේ කාරණත් බලන්න.
5. ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ තිබුණු සිතම ඔබ සැම තුළත් තිබේවා.
6. උන්වහන්සේ දෙවියන්වහන්සේගේ රූපාකාරය දරනසේක්, දෙවියන්වහන්සේට සමානව සිටීම තමන් විසින් අල්ලාගනම සිටිය යුතුවූ වස්තුවකැයි නොසිතා,
7. එය ඉවත්කර, දාසයෙකුගේ ස්වරූපය ගෙන, මනුෂ්‍යයන්ගේ සමානත්වයට පැමිණිසේක.
8. මනුෂ්‍යාකාරයෙන් සිටිය කලත්, මරණය, එසේය, කුරුසියේ මරණය දක්වා කීකරුවූසේක.
9. එබැවින් දෙවියන්වහන්සේ උන්වහන්සේව ඉතා උසස්කොට, සියලු නාමවලට වඩා උසස් නාමය උන්වහන්සේට දුන්සේක.
10. එසේ කළේ, ස්වර්ගයෙහිද පොළොවෙහිද පොළොව යටද සියල්ලන් යේසුස් යන නාමයෙන් දණ නමන පිණිසත්,
11. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ස්වාමීන්වහන්සේ බව පියවූ දෙවියන්වහන්සේගේ ගෞරවය සඳහා සියලු දිව්වලින් ඒත්තුගන්න පිණිසත්ය.
12. එබැවින්, මාගේ ප්‍රේමවන්තයෙනි, ඔබ සැම නිතරම කීකරුව සිටියාක්මෙන්ම, මා ළඟ සිටියදී පමණක් නොව දැන් මා ඈත්ව සිටින විටද ඊට වඩා කීකරුව, භයෙනුත් වෙවුලුමෙනුත් ඔබ සැමගේ ම ගැළවීම ඉෂ්ටකරගන්න;
13. මක්නිසාද තමන්වහන්සේගේ යහපත් කැමැත්ත නිසා, කැමතිවෙන්ටත් වැඩකරන්ටත් ඔබ සැම තුළ ක්‍රියාකරන්නේ දෙවියන්වහන්සේමය.
14. වංකවූ හිතුවක්කාරවූ පරම්පරාවක් අතරේ ඔබ සැම නිදොස්ව, අහිංසකව, දෙවියන්වහන්සේගේ නිර්දෝෂ දරුවන්ව සිටින පිණිස, කෙඳිරීම්ද විවාදද නැතුව සියල්ල කරන්න.
15. ඔවුන් අතරේ ඔබ සැම ජීවනයේ වචනය පාමින් ආලෝකවල් මෙන් ලෝකයෙහි දක්නා ලබන්නහුය.
16. මෙසේ, මම නිෂ්ඵලලෙස නොදිවීමි, නිෂ්ඵලලෙස වීර්ය නොකෙළෙමියි කියා ක්‍රිස්තුස්වහන්සේගේ දවසේදී මට පාරට්ටුවක් ඇතිවන්නේය.
17. එසේය, මා ඔබ සැමගේ ඇදහිල්ල නැමති පූජාවත් මෙහෙයත් පිට පූජාකරනු ලබන නුමුත් සන්තෝෂවෙමි, ඔබ සැම සියල්ලන් සමඟ ප්‍රීතිවෙමි.
18. එසේම ඔබ සැමත් සන්තෝෂවෙන්න, මා සමඟ ප්‍රීතිවෙන්න.
19. මමත් ඔබ සැමගේ කාරණා දැන හොඳ සැනසිල්ල ලබන පිණිස ඔබ සැම ළඟට තිමෝතියස් නොබෝ කලකින් එවන්ට ස්වාමීවූ යේසුස්වහන්සේ තුළ බලාපොරොත්තුවෙමි.
20. මක්නිසාද ඔබ සැමගේ කාරණා ගැන ඔහු වාගේ සැබෑලෙස සලකන්නාවූ වෙන කෙනෙක් මට නැත.
21. මක්නිසාද සියල්ලෝ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ කාරණා නොව තම තමුන්ගේම කාරණ සොයන්නෝය.
22. ඔහු නම් දරුවෙක් පියෙකුට සේවයකරන්නාක්මෙන් ශුභාරංචියේ වර්ධනය සඳහා මා සමඟ සේවයකළේය යන ඔහුගේ ඔප්පුව ඔබ සැම දනිහුය.
23. එබැවින් මාගේ කාරණා කොයි ආකාරවේද කියා මම දුටු කෙණෙහිම, ඔහු එවන්ට බලාපොරොත්තුවෙමි.
24. මටත් නොබෝ කලකින් එන්ට ලැබේය කියා ස්වාමීන්වහන්සේ තුළ විශ්වාසය ඇතුව සිටිමි.
25. එහෙත් මාගේ සහෝදරයාවූ, හවුල් සේවකයෙක්වූ, හවුල් හේවායෙක්වූ, ඔබ සැමගේ ප්‍රේරිතයෙක්ද මාගේ වුවමනාවලට උපස්ථානකරන්නාදවූ එපප්‍රොදිතස් ඔබ සැම වෙතට එවන්ට ඕනෑයයි සිතුවෙමි.
26. මක්නිසාද ඔහු ඔබ සැම හැමදෙනාම දකින්ට බොහෝ ආශාවක් ඇතුව, තමා ලෙඩින් සිටිය බව ඔබ සැම ඇසූ බැවින් ඉතා කනගාටුවෙන් සිටියේය.
27. එසේය, මරණාසන්නවෙන තරමට ඔහු ලෙඩින් සිටියේය. නුමුත් දෙවියන්වහන්සේ ඔහුට කරුණාකළසේක; ඔහුට පමණක් නොව සෝකය පිට සෝකය මට නොපැමිණෙන පිණිස මටත් කරුණාකළසේක.
28. එබැවින් ඔබ සැම ඔහු නැවත දැක ප්‍රීතිවෙන පිණිසත් මාගේ සෝකයද අඩුවෙන පිණිසත් ඔහු වඩා ඉක්මන්කොට එවීමි.
29. එබැවින් ස්වාමීන්වහන්සේ තුළ සියලු ආකාර ප්‍රීතියෙන් ඔහු පිළිගන්න; එබඳු අය ගරුකොට සලකන්න.
30. මක්නිසාද මට කළාවූ ඔබ සැමගේ සේවයෙහි අඩුපාඩුව පිරිමසන්ට ඔහු තමාගේ ජීවිතය නොසලකා ක්‍රිස්තුස්වහන්සේගේ මෙහෙය නිසා මරණාසන්නවුණේය.