Instagram
English
A A A A A
යෙසායා 63:1-19
1. ඒදොමේ සිට දීප්තිමත් රතු ඇඳුම් ඇතුව, තමාගේ වස්ත්‍රවලින් ඉසුරුමත්ව, තමාගේ මහත් බලයෙන් ගමන්කොට, බොශ්රායෙන් එන්නාවූ මේ තෙම කවුද? ධර්මිෂ්ඨකමින් කථාකරන්නාවූ ගළවන්ට බලවත්වූ මමය.
2. ඔබගේ ඇඳුම් රතුව, ඔබගේ වස්ත්‍ර මුද්‍රික පැස පාගන්නෙකුගේ ඇඳුම් මෙන් තිබෙන්නේ මක්නිසාද?
3. මම තනියම මිදියන්ත්‍රය පෑගීමි; ජනයන්ගෙන් කිසි මනුෂ්‍යයෙක් මා සමඟ නොසිටියේය. එසේය, මාගේ උදහසින් ඔවුන් පෑගීමි, මාගේ කෝපයෙන් ඔවුන් පොඩිකෙළෙමි; ඔවුන්ගේ රුධිරය මාගේ ඇඳුම්වල ඉසිරී තිබේ, එයින් මාගේ සියලු ඇඳුම් කැලැල්කරගතිමි.
4. මක්නිසාද පළිගැනීමේ දවස මාගේ සිතේ තිබුණේය, මා විසින් මුදනු ලැබූවන්ගේ අවුරුද්දත් පැමිණ තිබේ.
5. මම බැලීමි, පිහිටවෙන්ට කිසිවෙක් නොවීය; උසුලන්ට කිසිවෙක් නැති බැවින් පුදුමවීමි. ඒ නිසා මාගේම හස්තය මට ගැළවීම ගෙනදුන්නේය; මාගේ කෝපය මා උසුලාගත්තේය.
6. මාගේ උදහසින් ජනයන් පාගා, මාගේ කෝපයෙන් ඔවුන් මත්කරවා, ඔවුන්ගේ රුධිරය බිම වැගිරෙවුවෙමි.
7. මම ස්වාමීන්වහන්සේ ගේ කරුණාවල්ද, ස්වාමීන්වහන්සේ අපට ගෙන දුන් සියල්ල ලෙස ස්වාමීන්වහන්සේ ගේ ප්‍රශංසාවල්ද, උන්වහන්සේගේ අනුකම්පාවල හැටියටත් උන්වහන්සේගේ කරුණා රාශියේ හැටියටත් ඉශ්‍රායෙල් වංශයට පැවැත්වූ මහත් යහපත්කමද සඳහන්කරන්නෙමි.
8. මක්නිසාද උන්වහන්සේ කථාකොට: සැබවින් ඔව්හු මාගේ සෙනඟය, ද්‍රෝහිකමින් ක්‍රියානොකරන දරුවෝයයි කීසේක. උන්වහන්සේද ඔවුන්ගේ ගැළවුම්කාරයා වූසේක.
9. ඔවුන්ගේ සියලුම දුක්වලදී උන්වහන්සේ දුක්වූසේක, උන්වහන්සේගේ අභිමුඛය වන දූත තෙමේ ඔවුන් ගැළෙවුවේය. උන්වහන්සේ තමන්ගේ ප්‍රේමයෙනුත් දයාවෙනුත් ඔවුන් මුදා, පුරාණයේ සියලුම දවස්වල ඔවුන් උසුලා ගෙන ගියසේක.
10. නුමුත් ඔව්හු කැරළිගසා, උන්වහන්සේගේ ශුද්ධාත්මයට දුක් ඉපදෙවුවෝය. ඒ නිසා උන්වහන්සේ ඔවුන්ට සතුරෙක් වී, උන්වහන්සේම ඔවුන්ට විරුද්ධව යුද්ධකළසේක.
11. එවිට උන්වහන්සේ පුරාතන දවස්ද මෝසෙස් සහ තමන්ගේ සෙනඟද සිහිකළසේක. තමන්ගේ රැළේ එඬේරා සමඟ ඔවුන් මුහුදෙන් ගෙනා තැනන්වහන්සේ කොයිද? තමන් ශුද්ධාත්මය ඔවුන් මැද තැබූ තැනන්වහන්සේ කොයිද?
12. මෝසෙස්ගේ දකුණත ළඟ ස්වකීය තේජවත් බාහුව යන්ට සැලැස්සුවාවූ, තමන්ට සදාකාල නාමයක් ලබාගැනීමට ඔවුන් ඉදිරියෙන් ජලය බෙදා,
13. කාන්තාරයෙහි යන අශ්වයෙකු මෙන් නොපැකිලෙන හැටියට ඔවුන් ගැඹුරු මැදින් ගෙන ගියාවූ තැනන්වහන්සේ කොයිද?
14. ගවරැළ මිටියාවතට බසින්නාක්මෙන් ස්වාමීන්වහන්සේ ගේ ආත්මය ඔවුන් නිශ්චල භාවයට පැමිණෙවුසේක. තේජවත් නාමයක් ලබාගැනීමට ඔබ එසේ ඔබගේ සෙනඟ ගෙනගියසේක.
15. ස්වර්ගයේ සිට ඇස් යොමා, ඔබගේ ශුද්ධකම සහ තේජසේ නිවාසයේ සිට බැලුව මැනව. ඔබගේ ජ්වලිතකම සහ බලවත් ක්‍රියා කොයිද? මා කෙරෙහි වූ ඔබගේ දයාවද අනුකම්පාද නැවතී තිබේ.
16. මක්නිසාද ඔබ අපේ පියාණෝය, ආබ්‍රහම් අප නොදන්න නුමුත්, ඉශ්‍රායෙල් අප නාඳුනන නුමුත්, ස්වාමීන්වහන්ස, ඔබම අපේ පියාණෝය, අපේ මිදුම්කාරයාණෝය; එය පුරාණයේ සිට ඔබගේ නාමයය.
17. ස්වාමීන්වහන්ස, ඔබගේ මාර්ගවලින් අප මුළාවයන්ටත් ඔබ කෙරෙහි භය නොවන සේ අපේ සිත් දැඩිවෙන්ටත් හරින්නේ මක්නිසාද? ඔබගේ උරුම-ගෝත්‍ර වන ඔබගේ මෙහෙකරුවන් නිසා හැරී අව මැනව.
18. ස්වල්ප කලකට ඔබගේ ශුද්ධවූ සෙනඟ එය භුක්තිවින්දෝය. අපේ එදිරිකාරයෝ ඔබගේ ශුද්ධස්ථානය පාගාදැමුවෝය.
19. අපි ඔබ විසින් කිසිකලක ආණ්ඩු නොකළවුන් මෙන්ද ඔබගේ නාමය නොදැරූ අය මෙන්ද වී සිටිමුව.

යෙසායා 64:1-12
1. අහෝ ඔබගේ එදිරිකාරයන්ට ඔබගේ නාමය දන්වන පිණිසද ඔබ ඉදිරියෙහි ජාතීන් වෙවුලවන පිණිසද ඔබවහන්සේ අහස පළාගන බසින්ටත්,
2. ගින්න කැලෑව දල්වන්නාක්මෙන්ද ගින්න වතුර උතුරවන්නාක්මෙන්ද ඔබ ඉදිරියෙන් කඳු දියවයන්ටත් යෙදුණොත් හොඳය!
3. අප බලා නොසිටිය භයානක දේ කරමින් ඔබ බැස්සසේක,
4. ඔබ ඉදිරියේ කඳු දියව ගියේය. තමන් ගැන බලා සිටින අය උදෙසා ක්‍රියා කරන්නාවූ ඔබ හැර වෙන දෙවිකෙනෙක් ඇති බවක් පුරාණයේ සිට අසන්ට යෙදුණේවත් කනට වැටුණේවත් ඇසින් දකින්ට යෙදුණේවත් නැත.
5. ප්‍රීතිවී ධර්මිෂ්ඨකම් කරන්නාවූ, ඔබගේ මාර්ගවලදී ඔබ සිහිකරන්නාවූ අයට ඔබ සම්බවනසේක. මෙන්න, ඔබ කෝපවූසේක. අපි පව්කෙළමුව. බොහෝ කලක සිට අපි ඒවායේ පැවතුණෙමුව, අපට ගැළවීම ලැබේද?
6. අපි සියල්ලෝම අපවිත්‍ර කෙනෙකු මෙන් වී සිටිමුව, අපේ සියලුම ධර්මිෂ්ඨකම්ද කිලුටු වස්ත්‍රයක් මෙන්ය. අපි සියල්ලෝම කොළයක් මෙන් පරවෙමුව; අපේ අයුතුකම්ද සුළඟ මෙන් අප පහකරගනයයි.
7. ඔබගේ නාමය කියා යාච්ඤාකරන්නාවූ, ඔබ අල්වාගන්න පිණිස තමාම ප්‍රබෝධ කරගන්නාවූ කිසිවෙක් නැත. මක්නිසාද ඔබවහන්සේ ඔබගේ මුහුණ අපෙන් සඟවා අපේ අපරාධ නිසා අප දියව යන්ට හැරියසේක.
8. ඉතින් ස්වාමීන්වහන්ස, ඔබ අපේ පියාණෝය, අපි මැටිය. ඔබ අපේ කුම්භකාරයාය; අපි සියල්ලෝ ඔබගේ අතේ කර්මාන්තයය.
9. ස්වාමීන්වහන්ස, ඉතා උදහස්නූව මැනව, අයුතුකම් සෑම කල්ම සිහිනොකළ මැනව. අනේ බැලුව මැනව, අපි සියල්ලෝම ඔබගේ සෙනඟය.
10. ඔබවහන්සේගේ ශුද්ධ නුවරවල් කාන්තාරයක්වී, සියොන් කාන්තාරයක්වී, යෙරුසලම පාළුවී තිබේ.
11. අපේ පියවරුන් විසින් ඔබ වර්ණනාකළාවූ අපේ ශුද්ධවූ අලංකාර ගෘහය ගින්නෙන් දවා තිබේ; අපේ සියලු ප්‍රසන්න දේවල් නාස්තිවී තිබේ.
12. ස්වාමීන්වහන්ස, ඔබ මේවා තිබෙද්දීත් නිකම් සිටිනසේක්ද? ඔබ නිශ්ශබ්දව සිට අප තද දුකට පමුණුවනසේක්ද?

ගීතාවලිය 115:14-18
14. ස්වාමීන්වහන්සේ ඔබ සැම හා ඔබ සැමගේ දරුවන් වඩ වඩා වර්ධනයකරනසේක්වා.
15. අහසත් පොළොවත් මැවූ ස්වාමීන් ගෙන් ඔබ සැම ආශීර්වාදලද්දෝය.
16. ස්වර්ග වනාහි ස්වාමීන් ගේ ස්වර්ගය; නුමුත් පොළොව උන්වහන්සේ මනුෂ්‍ය පුත්‍රයන්ට දුන්සේක.
17. මළාහුවත් නිශ්ශබ්ද ස්ථානයට යන්නාහුවත් ස්වාමීන් ට ප්‍රශංසා නොකෙරෙති;
18. නුමුත් අපි මෙතැන් පටන් සදාකල්ම ස්වාමීන් වර්ණනාකරන්නෙමුව. ස්වාමීන් ට ප්‍රශංසාකරව්.

හිතෝපදේශ 26:27-27
27. වළක් හාරන්නා එහි වැටෙන්නේය; ගලක් පෙරළාගන යන්නා පිටටම ඒක හැරී එන්නේය.

පිලිප්පි 1:1-30
1. ක්‍රිස්තුස් යේසුස්වහන්සේගේ දාසයන්වූ පාවුල්ද තිමෝතියස්ද ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ පිලිප්පියෙහි සිටින සියලු ශුද්ධවන්තයන්ටත් නායකයන් හා උපස්ථායකයන්ටත් ලියා එවන වග නම්:
2. අපගේ පියවූ දෙවියන්වහන්සේගෙන්ද ස්වාමීවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගෙන්ද කරුණාවත් සමාදානයත් ඔබ සැමට වේවා.
3. ඔබ සැම මට සිහිවෙන හැම වේලේම නිතරම මාගේ සියලු යාච්ඤාවලදී ඔබ සැම සියල්ලන් උදෙසා ප්‍රීතියෙන් යාච්ඤාව ඔප්පුකරමින්,
4. පළමුවෙනි දවස පටන් දැන් දක්වා ශුභාරංචියේ වර්ධනය සඳහා තිබෙන,
5. ඔබ සැමගේ පංගුකාරකම ගැන මාගේ දෙවියන්වහන්සේට ස්තුතිකරමි.
6. ඔබ සැම තුළ යහපත් වැඩක් පටන්ගත් උන්වහන්සේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ දවස දක්වා ඒක සම්පූර්ණකරනසේකැයි යන මේ විශ්වාසය ඇතිව සිටිමි.
7. ඔබ සැම සියල්ලන් ගැන මෙසේ කල්පනාකරන්ට මට යුතුය, මක්නිසාද මාගේ බැඳුම්වලදීද ශුභාරංචිය ගැන උත්තරදීමේදීද ඒක ස්ථිර කිරීමේදීද ඔබ සැම සියල්ලන් මා සමඟ අනුග්‍රහයට පංගුකාරයන්ව සිටින බැවින් ඔබ සැම මාගේ සිතේ දරමි.
8. එසේය, ක්‍රිස්තුස් යේසුස්වහන්සේගේ ඇලුම්කමින් මට ඔබ සැම සියල්ලන් කෙරෙහි කොපමණ ආශා ඇත්තෙම්ද කියා දෙවියන්වහන්සේ මට සාක්ෂි වනසේක.
9. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන දෙවියන්වහන්සේට ගෞරවය හා ප්‍රශංසාව සඳහා, ඔබ සැම ධර්මිෂ්ඨකමේ ඵලවලින් පූර්ණව,
10. උතුම්වූ දේවල් ඒත්තුගන්ට ඔබ සැමට පුළුවන්වෙන්ටත්, ක්‍රිස්තුස්වහන්සේගේ දවස දක්වා අවංකව නිදොස්ව සිටින්ටත්,
11. ඔබ සැමගේ ප්‍රේමය දැනගැන්මෙන් හා සියලු ආකාර විමසීමෙන් තව වඩ වඩා බොහෝ වන පිණිස යාච්ඤාකරමි.
12. සහෝදරයෙනි, මට සිදුවූ කාරණා වැඩි වශයෙන් ශුභාරංචියේ දියුණුවීමටම හැරී තිබෙන බව ඔබ සැම දැනගන්නවාට කැමැත්තෙමි.
13. මෙසේ මාගේ බැඳුම් ක්‍රිස්තුස්වහන්සේ නිසා පැමුණුණ බව මුළු රජගෙදරද අනිකුත් සියල්ලන්ටද ප්‍රකාශවී තිබේ.
14. ස්වාමීන්වහන්සේ තුළවූ සහෝදරයන්ගෙන් වැඩිදෙනාද මාගේ බැඳුම් නිසා ධෛර්යය ලැබ, දෙවියන්වහන්සේගේ වචනය භය නැතුව කියාදෙන්ට ඉතා වැඩිලෙස නිර්භීතවී සිටිති.
15. සමහරු ඊර්ෂ්‍යාවෙන්ද විවාදයෙන්ද සමහරු හොඳ සිතින්ද ක්‍රිස්තුස්වහන්සේ දේශනාකරති.
16. එක පක්ෂයක් මා ශුභාරංචිය ගැන උත්තරදෙන්ට සිටින බව දැන ප්‍රේමෙයන්ද,
17. අනික් පක්ෂය මාගේ බැඳුම්වලදී මට පීඩා උපදවන්ට සිතා පිරිසිදුලෙස නොව පක්ෂවාදිකමෙන්ද, ක්‍රිස්තුස්වහන්සේව ප්‍රකාශකරති.
18. ඉතින් කිමෙක්ද? වංචාවෙන් වේවා, සැබෑකමෙන් වේවා, ඒ කොහොම වෙතත් සියලු ආකාරයෙන් ක්‍රිස්තුස්වහන්සේ ප්‍රකාශකරනු ලබනසේක; ඊට ප්‍රීතිවෙමි, එසේය, තවත් ප්‍රීතිවන්නෙමි.
19. මක්නිසාද මේ කාරණය ඔබ සැමගේ ඉල්ලීමෙන්ද ක්‍රිස්තුස්වහන්සේගේ ආත්මයාණන් ලැබීමෙන්ද මාගේ ගැළවීමට හැරෙන බව දනිමි.
20. ඒ හැටියට මම කිසිවක් ගැන ලජ්ජාවට නොපැමිණ, සියලු ආකාරයෙන් නිර්භීතව සිටීමෙන්, මාගේ ශරීරය කරණකොටගෙන, ජීවිතයෙන් වේවා, මරණයෙන් වේවා, නිතරම වාගේ දැනුත් ක්‍රිස්තුස්වහන්සේ ගෞරවයට පැමිණේයයි මාගේ තද බලාපොරොත්තුවක්ද ප්‍රාර්ථනාවක්ද ඇත්තේය. ජීවිතය නොහොත් මරණය, වඩා හොඳ කොයි එකද?
21. මක්නිසාද මාගේ ජීවත්වීම නම් ක්‍රිස්තුස්වහන්සේ (උදෙසා) ය, මරණයද මට ලාභයක්ය.
22. නුමුත් මාංසයෙහි ජීවත්වීම [මාගේ කොටස නම්], මාගේ වැඩවලින් ප්‍රයෝජන ඇති නිසා කොයි එක තෝරාගනිම්දැයි නොදනිමි.
23. නුමුත් මම මේ දෙක මැද හිරවී සිටිමි; මාගේ ආශාව නම් තුරන්ව ගොස් ක්‍රිස්තුස්වහන්සේ සමඟ විසීමටය; මක්නිසාද ඒක බොහෝසෙයින් වඩා හොඳය.
24. නුමුත් මාංසයෙහි සිටීම ඔබ සැම නිසා වඩා ඕනෑකෙරේ.
25. මම මේක විශ්වාස කරන බැවින්, මා ජීවත්වී, ඇදහීමෙහි ඔබ සැමගේ දියුණුවීමද ප්‍රීතියද සඳහා ඔබ සැම සියල්ලන් සමඟ සිටින්ට යෙදෙන බව දනිමි.
26. මෙසේ වන්නේ, මා ගැන ඔබ සැමගේ පාරට්ටුකරගැන්ම නැවත ඔබ සැම වෙතට මාගේ ඊමෙන් ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ වැඩිවෙන පිණිසය.
27. මම ඇවිත් ඔබ සැම දක්නෙම් නුමුත්, ඈත්ව සිටින්නෙම් නුමුත්, ඔබ සැම එකම ආත්මයෙන් ස්ථිරව, එක සිතකින් ශුභාරංචියේ ඇදහිල්ල ගැන වීර්යකරමින්, විරුද්ධව සිටින්නන්ට කිසිවක් ගැන භීත නොවී සිටින බව මට අසන්නට පුළුවන්වන පිණිස, ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචියට ඔබිනලෙසම හැසිරෙන්න.
28. ඒ [නිර්භීතකම] ඔවුන්ට විනාශයේද ඔබ සැමට ගැළවීමේද ලකුණක්ව තිබේ; එය දෙවියන්වහන්සේගෙන්ම පැමිණෙන්නේය.
29. මක්නිසාද ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි අදහන්ට පමණක් නොව, උන්වහන්සේ උදෙසා දුක්විඳින්ටත් ක්‍රිස්තුස්වහන්සේ උදෙසා ඔබ සැමට වරප්‍රසාදය දෙනලද්දේය.
30. මා කෙරෙහි තිබෙන බව ඔබ සැම දුටුවාවූ, දැන් මට ඇතැයි ඔබ සැම අසන්නාවූ එම සටනම ඔබ සැමටත් ඇත්තේය.