Instagram
English
A A A A A
අවුරුද්දකින් බයිබලය
ඔක්තෝම්බර් 5

යෙසායා 61:1-11
1. ස්වාමිවූ දෙවියන්වහන්සේගේ ආත්මය මා කෙරෙහිය; මක්නිසාද දිළිඳුන්ට ශුභාරංචිය දේශනා කරන්ට ස්වාමීන්වහන්සේ මා ආලේප කළසේක; බිඳුණු සිත් ඇත්තන් සුවකරන්ටද, වහලුන්ට නිදහසත් හිරකාරයන්ට හිරගෙයින් මිදීමත් ප්‍රකාශකරන්ටද,
2. ස්වාමීන්වහන්සේ ගේ කරුණාවේ අවුරුද්ද සහ අපේ දෙවියන්වහන්සේගේ පළිගැනීමේ දවසත් ප්‍රකාශකරන්ටද, වැලපෙන සියල්ලන් සනසන්ටද,
3. සියොන්හි වැලපෙන්නන් පළඳවමින්, අළු වෙනුවට මාලාවකුත් වැලපීම වෙනුවට ප්‍රීතිය නැමති තෛලයත් ක්ලාන්ත සිතක් වෙනුවට ප්‍රශංසාව නැමති වස්ත්‍රයත් ඔවුන්ට දෙන්ටද උන්වහන්සේ මා එවූසේක. මෙසේ කළේ ස්වාමීන්වහන්සේ ට ගෞරව ලැබීමට උන්වහන්සේ විසින් හිටෙවුවාවූ ධර්මිෂ්ඨකමේ අලෝන ගස්ය කියා ඔවුන් ගැන කියනු ලබන පිණිසය.
4. ඔව්හු පරණ නටබුන් ඉඩම් ගොඩනගන්නෝය, ඉස්සර කාලයේ නටබුන්වූ තැන් හරිගස්සන්නෝය, නාස්තිවී පරම්පරාවෙන් පරම්පරාවට පාළුවට ගොස් තිබුණු නුවරවල් අලුත්වැඩියාකරන්නෝය.
5. විදේශියෝ සිට ඔබ සැමගේ බැටළු රැළවල් පෝෂ්‍යකරන්නෝය, විදේශියෝ ඔබ සැමගේ ගොවියෝද ඔබ සැමගේ මිදිවතු වවන්නෝද වන්නෝය.
6. ඔබ සැම වනාහි ස්වාමීන්වහන්සේ ගේ පූජකයෝයයි කියනු ලබන්නෝය. මනුෂ්‍යයන් ඔබ සැමට: අපේ දෙවියන්වහන්සේගේ සේවකයෝයයි කියනවා ඇත. ඔබ සැම ජාතීන්ගේ සම්පත් භුක්තිවිඳ, ඔවුන්ගේ තේජස හිමිකරගන්නවා ඇත.
7. ඔබ සැමගේ ලජ්ජාව වෙනුවට දෙගුණයක් ලබන්නහුය; නින්දාව වෙනුවට ඔව්හු තමුන්ගේ කොටස ගැන ප්‍රීතිමත්වන්නෝය. එබැවින් ඔව්හු තමුන්ගේ දේශයෙහි දෙපංගුවක් භුක්තිවිඳින්නෝය. සදාකාල ප්‍රීතිය ඔවුන්ට වන්නේය.
8. මක්නිසාද ස්වාමීන්වහන්සේ වන මම යුක්තියට ප්‍රියව, අධර්මිෂ්ඨකමින් කොල්ලකෑමට ද්වේෂකරමි; ඉන් නිසා මම ඔවුන්ගේ විපාකය සැබෑකමින් දෙන්නෙමි, සදාකාල ගිවිසුමක්ද ඔවුන් සමඟ කරන්නෙමි.
9. ඔවුන්ගේ වංශය ජාතීන් අතරේද ඔවුන්ගෙන් පැවතඑන්නෝ ජනයන් අතරේද ඇඳිනගනු ලැබෙත්. ඔවුන් ස්වාමීන්වහන්සේ ගෙන් ආශීර්වාදලත් වංශය බව ඔවුන් දකින සියල්ලෝම දැනගන්නෝය.
10. මම ස්වාමීන්වහන්සේ තුළ බොහෝසේ ප්‍රීතිවන්නෙමි, මාගේ ආත්මය මාගේ දෙවියන්වහන්සේ තුළ සන්තෝෂවන්නේය; මක්නිසාද මනමාලයා පූජක මකුටයක් දමාගන්නාක්මෙන්ද මනමාලි ඇගේ ආභරණ පැළඳගන්නාක් මෙන්ද උන්වහන්සේ ගැළවීම නැමති වස්ත්‍ර මට පැළදෙවුසේක, ධර්මිෂ්ඨකම නැමති සළුවද මට පෙරෙවුසේක.
11. මක්නිසාද පොළොව ස්වකීය දළු උපදවන්නාක්මෙන්ද උයන එහි වපුළ දේ ලියලවන්නාක්මෙන්ද ස්වාමිවූ දෙවියන්වහන්සේ ධර්මිෂ්ඨකම සහ ප්‍රශංසාව සියලු ජාතීන් ඉදිරියෙහි හටගන්වනවා ඇත.

යෙසායා 62:1-12
1. මම සියොන් උදෙසාත් යෙරුසලම උදෙසාත් නිශ්ශබ්දව නොසිටින්නෙමි, එහි ධර්මිෂ්ඨකම ආලෝකය මෙන්ද එහි ගැළවීම ඇවිලෙන පහනක් මෙන්ද නික්මෙන තුරු නොනවතින්නෙමි.
2. ජාතීන් ඔබේ ධර්මිෂ්ඨකමත් සියලු රජවරුන් ඔබේ තේජසත් දකිනවා ඇත. ස්වාමීන්වහන්සේ ගේ මුඛයෙන් කියවෙන අලුත් නමක්ද ඔබට කියන්ට යෙදෙනවා ඇත.
3. ඔබ ස්වාමීන්වහන්සේ ගේ අතෙහි අලංකාර ඔටුන්නක්ද ඔබේ දෙවියන්වහන්සේගේ අතෙහි රාජකිරීටයක්ද වන්නෙහිය.
4. ඔබ අත්හරිනලද්දීයයි තවත් කියනු නොලබන්නෙහිය, ඔබේ දේශයට පාළුයයි තවත් නොකියන්නෝය. ඔබ ‍හෙප්ශීබා කියාද ඔබේ දේශය‍ බෙයුලා කියාද කියනු ලබන්නේය. මක්නිසාද ස්වාමීන්වහන්සේ ඔබ කෙරෙහි ප්‍රසන්නය, ඔබේ දේශයද සරණපාවාගනු ලැබේ.
5. මක්නිසාද තරුණයෙකු විසින් කන්‍යාවක් පාවගන්නාක්මෙන් ඔබේ පුත්‍රයෝ ඔබ සරණපාවාගන්නෝය. මනමාලයා මනමාලී කෙරෙහි ප්‍රීතිවන්නාක්මෙන් ඔබේ දෙවියන්වහන්සේ ඔබ කෙරෙහි ප්‍රීතිවනසේක.
6. එම්බා යෙරුසලම, ඔබේ පවුරු පිට මුරකාරයන් සිටෙවුවෙමි; ඔව්හු රෑවත් දවල්වත් කොහෙත්ම නිශ්ශබ්ද නොවන්නෝය. ස්වාමීන්වහන්සේ ට මතක්කරවන තැනැත්තෙනි,
7. උන්වහන්සේ යෙරුසලම පිහිටුවා පොළොවෙහි ඒක ප්‍රශංසාවක් කරන තුරු ඔබ සැම නිෂ්කලංක නොගන්න, උන්වහන්සේට නිෂ්කලංක නොදෙන්න.
8. ස්වාමීන්වහන්සේ තමන්ගේ දකුණත සහ තමන්ගේ බලවත් හස්තය ගැන දිවුරමින්: සැබවින් ඔබේ ධාන්‍ය ඔබේ සතුරන්ට කෑම පිණිස මම තවත් නොදෙන්නෙමි; ඔබ වැඩකර ලබාගත් ඔබේ මුද්‍රිකයුෂ විදේශීහු නොබොන්නෝය.
9. නුමුත් ඒවා එකතුකළ අය ඒවා කා, ස්වාමීන්වහන්සේ ට ප්‍රශංසා කරන්නෝය; ඒවා රැස්කළ අය මාගේ ශුද්ධ මළුවලදී ඒවා බොන්නෝයයි කීසේක.
10. දොරටුවලින් ඇතුල්වෙන්න, ඇතුල්වෙන්න; සෙනඟගේ මාර්ගය පහදන්න; මහ මාවත සමතලාකරන්න, සමතලාකරන්න; ගල් අහක්කරන්න; ජනයන්ට කොඩියක් නගන්න.
11. බලව, ස්වාමීන්වහන්සේ පොළොවේ කෙළවර දක්වා මෙසේ ප්‍රකාශකර තිබේ; අන්න ඔබේ ගැළවීම එන්නේය; අන්න උන්වහන්සේගේ බලය උන්වහන්සේ සමඟය, උන්වහන්සේගේ විපාකය උන්වහන්සේ ඉදිරියෙහිය කියා සියොන් දුවට කියන්න.
12. ඔව්හු: ශුද්ධ සෙනඟය කියාත් ස්වාමීන්වහන්සේ ගේ මුදාගත් අයය කියාත් කියනු ලබන්නෝය. ඔබ වනාහි: සොයාගත් තැනැත්තීය, අත්නෑරිය නුවරක්ය කියා කියනු ලබන්නෙහිය.

ගීතාවලිය 115:9-13
9. එම්බා ඉශ්‍රායෙල්, ස්වාමීන් කෙරෙහි විශ්වාසකරව. ඔවුන්ගේ උපකාරයත් පලිහත් උන්වහන්සේය.
10. එම්බා ආරොන්ගේ වංශය, ස්වාමීන් කෙරෙහි විශ්වාසකරව්. ඔවුන්ගේ උපකාරයත් පලිහත් උන්වහන්සේය.
11. ස්වාමීන් කෙරෙහි භය ඇත්තෙනි, ස්වාමීන් කෙරෙහි විශ්වාසකරව්.’ ඔවුන්ගේ උපකාරයන් පලිහත් උන්වහන්සේය.
12. ස්වාමීන්වහන්සේ අප සිහිකළසේක; අපට ආශීර්වාදකරනසේක. උන්වහන්සේ ඉශ්‍රායෙල් වංශයට ආශීර්වාදකරනසේක; උන්වහන්සේ ආරොන්ගේ වංශයට ආශීර්වාදකරනසේක.
13. ස්වාමීන් කෙරෙහි භය ඇති ලොකු කුඩා සියල්ලන්ට උන්වහන්සේ ආශීර්වාදකරනසේක.

හිතෝපදේශ 26:24-26
24. වෛරවෙන්නා තමාගේ තොල්වලින් වංචාකම් කර, තමා තුළ ප්‍රයෝග තබාගනියි.
25. ඔහු ප්‍රිය වචන කථාකරන කල විශ්වාස නොකරන්න; මක්නිසාද ඔහුගේ සිතේ පිළිකුල් කාරණා සතක් ඇත්තේය.
26. ඔහුගේ වෛරය ප්‍රයෝගයෙන් වසා තිබෙන නුමුත් ඔහුගේ දුෂ්ටකම සභාව ඉදිරියෙහි එළිදරව්වන්නේය.

එපීස 6:1-24
1. දරුවෙනි, ඔබ සැමගේ දෙමවුපියන්ට ස්වාමීන්වහන්සේ තුළ කීකරුවෙන්න. මක්නිසාද එසේ කරන්ට යුතුය.
2. ඔබට වැඩසිද්ධවන පිණිසද ඔබ පොළොවෙහි බොහෝ කල් ජීවත්වන පිණිසද,
3. ඔබේ පියාටත් මවුටත් ගෞරවකරන්න. එය පොරොන්දුවක් ඇති පළමුවෙනි ආඥාවය.
4. පියවරුනි, ඔබ සැමගේ දරුවන්ට කෝප නූපදවා, ස්වාමීන්වහන්සේගේ හික්මවීමෙන්ද අවවාදයෙන්ද ඔවුන් ඇතිකරන්න.
5. දාසයෙනි, ක්‍රිස්තුස්වහන්සේට මෙන් මාංසාකාරයෙන් ඔබ සැමගේ ස්වාමිවරුන්ව සිටින්නන්ට භයෙනුත් වෙවුලුමෙනුත් ඔබ සැමගේ සිත්වල ඒකාන්තකමින් කීකරුවෙයන්න;
6. මනුෂ්‍යයන් සතුටුකරන්නන් මෙන් පෙනීමට වැඩ නොකොට, ක්‍රිස්තුස්වහන්සේගේ දාසයන් මෙන් සිතින් දෙවියන්වහන්සේගේ කැමැත්ත කරන්න.
7. දාසයෙක් වේවා, නිර්දාසයෙක් වේවා, එක් එක් අය කරන්නාවූ යම් යහපතක් ඇද්ද, ඊට ස්වාමීන්වහන්සේගෙන් නැවත විපාක ලැබෙන බව දැන,
8. මනුෂ්‍යයන්ට නොව ස්වාමීන්වහන්සේට මෙන් කැමැත්තෙන් මෙහෙකරන්න.
9. ස්වාමිවරුනි, ඔබ සැමගෙත් ඔවුන්ගෙත් ස්වාමීන්වහන්සේ ස්වර්ගයෙහි සිටින බවද උන්වහන්සේ මනුෂ්‍යයන්ගේ තරාතිරම් නොබලන බවද දැන, තර්ජනකිරීමෙන් වැලකී, ඔවුන්ට එම දේවල් කරන්න.
10. ඉතින් ස්වාමීන්වහන්සේ තුළද උන්වහන්සේගේ ශක්තියේ බලවත්කමෙහිද බලවත්වෙන්න.
11. යක්ෂයාගේ උපායවලට විරුද්ධව සිටින්ට ඔබ සැමට පුළුවන්වන පිණිස දෙවියන්වහන්සේගේ සියලු යුද්ධායුධ පැළඳගන්න.
12. මක්නිසාද අපේ පොරබැදීම වනාහි මාංසයට සහ රුධිරයට විරුද්ධව නොව, අධිපතිකම්වලටත් පරාක්‍රමධාරීන්ටත් මේ අන්ධකාරයේ ලෝක මුලාදෑනීන්ටත් ස්වර්ගීය ස්ථානවල සිටින දුෂ්ටකමේ ආත්ම සේනාවන්ටත් විරුද්ධවය.
13. එබැවින් නපුරු දවසේදී විරුද්ධව සිටින්ටත් සියල්ල සම්පූර්ණකරගන ස්ථිරව සිටින්ටත් පුළුවන්වෙන පිණිස, දෙවියන්වහන්සේගේ සියලු යුද්ධායුධ අරගන්න.
14. එබැවින් ඔබ සැමගේ ඉඟටි සැබෑකම නැමති පටියෙන් බැඳගෙන, ධර්මිෂ්ඨකම නැමති ළයවැස්ම පැළඳගෙන,
15. සමාදානයේ ශුභාරංචියේ සූදානම නැමති වහන් පය ලා සිටින්න.
16. ඒ සියල්ල ඇර, ඇදහිල්ල නමැති පලිහ අරගන්න. එයින් නපුරාගේ සියලු ගිනිහෙල්ල නිවන්ට ඔබ සැමට පුළුවන්වන්නේය.
17. ගැළවීම නමැති ආරක්ෂාතොප්පියද දෙවියන්වහන්සේගේ වචනය නැමති ආත්මයාණන්වහන්සේගේ කඩුවද ගන්න.
18. සියලු යාච්ඤාවලින්ද ඉල්ලීම්වලින්ද සියලු කාලවලදී ආත්මයාණන් කරණකොටගෙන යාච්ඤාකරන්න.
19. යම් ශුභාරංචියක් නිසා මම තානාපතියෙක්ව බැඳුම ලැබ සිටිම්ද, ඒ ශුභාරංචියේ රහස දැන්වීමට භය නැතුව මාගේ මුඛය අරින ලෙස කතාවේ බලය මට ලැබෙන පිණිසත්,
20. මා විසින් කථාකරන්ට යුතුව තිබෙන හැටියට ඒ ගැන භය නැතුව කථාකරන පිණිසත්, සියලු ශුද්ධවන්තයන් ගැනද මා උදෙසාද නොකඩවම සියලු ඉල්ලීම්වලින් අවදිව සිටින්න.
21. නුමුත් මාගේ කාරණත් මා සිටින්නේ කෙලෙසද කියාත් ඔබ සැම දැනගන්නා පිණිස, ස්වාමීන්වහන්සේ තුළ ප්‍රේමවන්ත සහෝදරයාද විශ්වාස සේවකයාද වූ තුඛීකස් සියල්ල ඔබ සැමට දන්වනවා ඇත.
22. මේ අදහස පිණිසම, එනම් ඔබ සැම අපේ කාරණා දැනගන්න පිණිසත් ඔහු ඔබ සැමගේ සිත් සනසන පිණිසත්, ඔහු ඔබ සැම වෙතට එවීමි.
23. පියවූ දෙවියන්වහන්සේගෙන්ද ස්වාමීවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගෙන්ද සමාදානයත් ඇදහිල්ල සමඟ ප්‍රේමයත් සහෝදරයන්ට වේවා.
24. අපගේ ස්වාමීවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේට අවංකකමින් ප්‍රේමකරන්නාවූ සියල්ලන්ට අනුග්‍රහය වේවා.