A A A A A
අවුරුද්දකින් බයිබලය
ඔක්තෝම්බර් 4

යෙසායා 59:1-21
1. බලව, ගළවන්ට බැරි ලෙස ස්වාමීන්වහන්සේ ගේ අත කොටවෙලාවත් නෑසෙන ලෙස උන්වහන්සේගේ කන බිහිරිවෙලාවත් නැත.
2. නුමුත් ඔබ සැමගේ අපරාධම ඔබ සැම සහ දෙවියන්වහන්සේ අතරේ වෙන්වීමක් කෙළේය, උන්වහන්සේ නොඅසන ලෙස ඔබ සැමගේ පාපද උන්වහන්සේගේ මුහුණ ඔබ සැමගෙන් සැඟෙවුවේය.
3. මක්නිසාද ඔබ සැමගේ අත් ලෙයින්ද ඔබ සැමගේ ඇඟිලි අපරාධකමෙන්ද කිලුටුවී තිබේ; ඔබ සැමගේ තොල් බොරු කීවේය, ඔබ සැමගේ දිව් දුෂ්ටකම් නික්මවන්නේය.
4. ධර්මිෂ්ඨකමින් හඬගසන කෙනෙක්වත් සැබෑකමින් නඩුකියන කෙනෙක්වත් නැත. ඔව්හු හිස්කම කෙරෙහි විශ්වාසය තබා බොරු කියති; ඔව්හු නපුර පිළිසිඳගෙන අයුක්තිය බිහිකරති.
5. ඔව්හු පොළොං බිජු රකිති, මකුළු දැල් වියති. ඔවුන්ගේ බිජු කන අය මැරෙති, බිඳෙන බිජුවෙන් පොළඟෙක් නික්මෙයි.
6. ඔවුන්ගේ නූල් ඇඳුම්වලට ගන්ටවත් තමුන්ගේ වැඩවලින් ඇඟ වසාගන්ටවත් ඔවුන්ට බැරිවෙයි. ඔවුන්ගේ වැඩ අපරාධ වැඩය, බලාත්කාර ක්‍රියා කිරීමද ඔවුන්ගේ අත්වල තිබේ.
7. ඔවුන්ගේ පාදයෝ නපුරට දුවති, ඔව්හු නිදොස් ලේ වැගිරවීමට ඉක්මන්වෙති. ඔවුන්ගේ සිතිවිලි අයුතුකමේ සිතිවිලිය; නාස්තිය හා විනාශය ඔවුන්ගේ මාවත්වල තිබේ.
8. සමාදානයේ මාර්ගය ඔව්හු නොදනිති; ඔවුන්ගේ මාවත්වල යුක්තිය නැත. ඔව්හු තමුන්ට ඇද මාවත් සාදාගත්තෝය; එහි යන්නාවූ කිසිවෙක් සමාදානය නොදන්නේය.
9. එබැවින් විනිශ්චය අපෙන් දුරව තිබේ, ධර්මිෂ්ඨකම අපට ළං නොවන්නේය. අප එළිය ගැන බලාසිටින නුමුත් තිබෙන්නේ අඳුරය; දීප්තිමත්කම ගැන බලාසිටින නුමුත් යන්නේ කළුවරෙහිය.
10. අන්ධයන් මෙන් අපි බිත්තිය අතගගා යමුව, එසේය, ඇස් නැත්තන් මෙන් අපි අතගගා යමුව. අඳුරේදී මෙන් අපි ඉරමුදුන් වේලාවේ පැකිල, මළවුන් මෙන් ඝනාන්ධකාරයෙහි සිටිමුව.
11. අපි සියල්ලෝම වලසුන් මෙන් ගොරවමුව, කොබෙයියන් මෙන් කෙඳිරිගාමුව. අපි විනිශ්චය ගැන බලාසිටිමුව, නුමුත් එය එන්නේ නැත; ගැළවීම ගැන බලා සිටිමුව, නුමුත් එය අපෙන් දුරව තිබේ.
12. මක්නිසාද අපේ අපරාධ ඔබවහන්සේ ඉදිරියෙහි වැඩිවී තිබේ. අපේ පව්ද අපට විරුද්ධව සාක්ෂිදෙති. අපේ අපරාධ අප සමඟ තිබේ, අපේ අයුතුකම් අපි දනිමුව.
13. එනම් ස්වාමීන්වහන්සේ ට විරුද්ධව අපරාධකිරීමත් බොරුකීමත් අපේ දෙවියන්වහන්සේ වෙතින් අහක්වයාමත් බලාත්කාරයද කැරළිගැසීමද ගැන කථාකිරීමත් බොරු වචන සිතෙන් උපදවා කථාකිරීමත්ය.
14. යුක්තිය පස්සට හරවාදමනු ලැබීය. ධර්මිෂ්ඨකමද දුරින් තිබේ. මක්නිසාද සැබෑකම වීථියේ වැටුණේය, අවංකකමට ඇතුල්වෙන්ට බැරිය.
15. එසේය, සැබෑකම ඇත්තේ නැත; නපුරෙන් පහවන්නාද කොල්ලයක් වන්නේය. ස්වාමීන්වහන්සේ ඒ දැක යුක්තිය නැති බැවින් අප්‍රසන්නවූසේක.
16. උන්වහන්සේද කිසිවෙක් නැති බව දැක, මැදහත්කාරයෙක් නැති බැවින් පුදුමවූසේක. ඒ නිසා උන්වහන්සේගේම බාහුව තමන්වහන්සේට ගැළවීම ගෙනායේය; උන්වහන්සේගේම ධර්මිෂ්ඨකම උන්වහන්සේව ඉසුලුවේය.
17. උන්වහන්සේ යුද්ධ සැට්ටයක් කොට ධර්මිෂ්ඨකමද තමන් හිසේ ගැළවීම නැමති තොප්පියද පැළඳගත්සේක; තවද ඇඳුම පිණිස පළිගැනීම නැමති වස්ත්‍ර පැළඳගෙන, ජ්වලිතකම සළුවක්කොට පෙරවාගන සිටිසේක.
18. උන්වහන්සේ ඔවුන්ගේ ක්‍රියාවල හැටියට තමන්ගේ එදිරිකාරයන්ට කෝපයද තමන්ගේ සතුරන්ට දඬුවමද ප්‍රතිඵල කොට දෙනවා ඇත; උන්වහන්සේ දිවයින්වලට ප්‍රතිඵල දෙනසේක.
19. එවිට බස්නාහිර සිට ස්වාමීන්වහන්සේ ගේ නාමයටත් නැගෙනහිර සිට උන්වහන්සේගේ තේජසටත් මනුෂ්‍යයෝ භයවන්නෝය. මක්නිසාද ස්වාමීන්වහන්සේ ගේ හුස්මෙන් පිඹහරින්නාවූ, හිර වෙවී ගලන්නාවූ ජලධාරාවක් මෙන් උන්වහන්සේ එනසේක,
20. මිදුම්කාරයෙක් සියොන් වෙතටත් යාකොබ් තුළ අපරාධ අත්හරින්නන් වෙතටත් එනවා ඇතැයි ස්වාමීන්වහන්සේ කියනසේක.
21. තවද: ඔවුන් සමඟ කරන මාගේ ගිවිසුම මේයයි ස්වාමීන්වහන්සේ කියනසේක. ඔබ කෙරෙහි තිබෙන මාගේ ආත්මයද මා විසින් ඔබේ මුඛයෙහි තබා තිබෙන මාගේ වචනද ඔබේ මුඛයෙන්වත් ඔබේ වංශයේ මුඛයෙන්වත් ඔබේ මාංසයෙන් පැවතඑන්නන්ගේ මුඛයෙන්වත් මෙතැන් පටන් සදාකාලේටම පහ නොවන්නේයයි ස්වාමීන්වහන්සේ කියනසේක.

යෙසායා 60:1-22
1. නැගිට බැබළියන්න, මක්නිසාද ඔබේ ආලෝකය පැමුණුණේය, ස්වාමීන්වහන්සේ ගේ තේජසද ඔබ කෙරෙහි උදාවිය.
2. එසේය, පොළොව අන්ධකාරයෙන්ද ජනයෝ තද අන්ධකාරයෙන්ද වසනු ලබන්නෝය. නුමුත් ඔබ කෙරෙහි ස්වාමීන්වහන්සේ උදාවනසේක, උන්වහන්සේගේ තේජසද ඔබ කෙරෙහි පෙනෙන්නේය.
3. ජාතීන් ඔබේ ආලෝකයටද රජවරුන් ඔබේ උදාවීමේ දීප්තියටද එනවා ඇත.
4. ඔබේ ඇස් ඔසවා වටකර බලන්න. ඔවුන් සියල්ලෝම රැස්වී ඔබ ළඟට එති. ඔබේ පුත්‍රයන් දුර සිට එනවා ඇත, ඔබේ දූවරුන්ද උකුළේ වඩාගන එන්ට යෙදෙනවා ඇත.
5. එකල ඔබ දැක ප්‍රීතිවන්නෙහිය, ඔබේ සිතද පිනාගොස් විශාලවන්නේය; මක්නිසාද මුහුදේ සම්පත් ඔබ වෙත හැරීඑන්නේය, ජාතීන්ගේ වස්තුද ඔබ ළඟට පැමිණෙන්නේය.
6. ඔටු සමූහයකින්ද මිදියන් සහ ඒපාහි තරුණ ඔටුවන්ගෙන්ද ඔබේ ස්ථානය පිරෙන්නේය; ෂෙබායෙන් ඔවුන් සියල්ලන් එනවා ඇත. ඔවුන් රන්ද කට්ටකුමංචල්ද ගෙනවුත් ස්වාමීන්වහන්සේ ගේ ප්‍රශංසා ප්‍රකාශකරනවා ඇත.
7. කේදාර්හි සියලු එළු බැටළු රැළවල් ඔබ වෙතට රැස්කරනු ලැබෙත්, නෙබායොත්හි බැටළුවෝ ඔබට සේවයකරත්. උන් මාගේ පූජාසනය පිටට පැමිණ පිළිගනු ලැබෙත්. මමද මාගේ තේජසේ ගෘහය අලංකාරකරන්නෙමි.
8. වලාකුළක් මෙන්ද පරෙවියන් උන්ගේ කවුළුවලට ඉගිලෙන්නාක්මෙන්ද අර ඉගිලී එන අය කවුරුද?
9. සැබවින් ද්වීපයෝද පළමුකොට තර්ෂිෂ්හි නැව්ද මා ගැන බලාසිටින්නෝය. බලාසිටින්නේ දුරින් ඔබේ පුත්‍රයන්ද ඔවුන් සමඟ ඔවුන්ගේ රන්රිදීද ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ගේ නාමයත් ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සෙත් නිසා ගෙනෙන පිණිසය; මක්නිසාද උන්වහන්සේ ඔබට ගෞරවකර තිබේ.
10. විදේශීහු ඔබේ පවුරු ගොඩනගන්නෝය, ඔවුන්ගේ රජවරුද ඔබට සේවයකරන්නෝය. මක්නිසාද මම මාගේ උදහසෙන් ඔබට පහරදුන් නුමුත් මාගේ කරුණාවෙන් ඔබට අනුකම්පාකෙළෙමි.
11. ජාතීන්ගේ වස්තු ඔබ ළඟට ගෙනෙන පිණිසද ඔවුන්ගේ රජුන් පෙරටුව එන පිණිසද ඔබේ දොරටු රෑ දාවල් නොවසා නිතරම ඇරී තිබේ.
12. මක්නිසාද ඔබට සේවය නොකරන ජාතියද රාජ්‍යයද නැතිවන්නේය; එසේය, ඒ ජාතීහු සහමුලින්ම විනාශවන්නෝය.
13. මාගේ ශුද්ධස්ථානය අලංකාරකිරීමට ලෙබනොන්හි තේජසද දේවදාර ගස්ද හල් ගස්ද තෂ්ෂුර් ගස්ද එක්ව ඔබ ළඟට පැමිණෙනවා ඇත; මමද මාගේ පාදස්ථානය තේජවත්කරන්නෙමි.
14. ඔබට පීඩාකළ අයගේ පුත්‍රයන්ද නැමි නැමී ඔබ වෙතට එනවා ඇත; ඔබව සුළුකළ සියල්ලන්ද ඔබේ පාමුල වැඳවැටෙනවා ඇත; ඔවුන් ඔබට: ස්වාමීන්වහන්සේ ගේ නුවරය කියාත් ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සේගේ සියොන්ය කියාත් කියනවා ඇත.
15. කිසිවෙක් ඔබ ළඟින් නොයන ලෙස ඔබ අත්හරිනු ලැබ වෛරය විඳිනවා වෙනුවට, මම ඔබ සදාකාල උතුම්කමක්ද පරම්පරාවෙන් පරම්පරාවට ප්‍රීතියක්ද කරන්නෙමි.
16. ඔබ ජාතීන්ගේ කිරි උරා බොන්නෙහිය, රජුන්ගේ තන උරන්නෙහිය. ස්වාමීන්වහන්සේ වන මම ඔබේ ගැළවුම්කාරයා බවත් ඔබේ මිදුම්කාරයා යාකොබ්ගේ බලවන්තයාණන්වහන්සේ බවත් ඔබ දැනගන්නවා ඇත.
17. මම පිත්තල වෙනුවට රත්රන් ගෙනෙන්නෙමි, යකඩ වෙනුවට රිදීද ලී වෙනුවට පිත්තලද ගල් වෙනුවට යකඩද ගෙනෙන්නෙමි. මම ඔබේ මුලාදෑනීන් සමාදානයද ඔබේ ආණ්ඩුකාරයන් ධර්මිෂ්ඨකමද වෙන්ට සලස්වන්නෙමි.
18. ඔබේ දේශයෙහි බලාත්කාරයද ඔබේ සීමා ඇතුළේ නාස්තිය හා විනාශයද ගැන තවත් අසන්ට නොලැබෙන්නේය; ඔබේ පවුරු ගැළවීමය කියාද ඔබේ දොරටු ප්‍රශංසාවය කියාද ඔබ කියන්නෙහිය.
19. ඉර තවත් ඔබේ දවාලේ එළිය නොවන්නේය; දීප්තිය පිණිස සඳද ඔබට එළිය නොදෙන්නේය. නුමුත් ස්වාමීන්වහන්සේ ඔබට සදාකාල එළියක්ද ඔබේ දෙවියන්වහන්සේ ඔබේ තේජසද වනසේක.
20. ඔබේ ඉර තවත් බැසයන්නේවත්, ඔබේ සඳ පහව යන්නේවත් නැත. මක්නිසාද ස්වාමීන්වහන්සේ ඔබේ සදාකාල එළිය වනසේක, ඔබේ වැලපීමේ දවස් කෙළවරවන්නේය.
21. ඔබේ සෙනඟ සියල්ලෝම ධර්මිෂ්ඨව, මා විසින් සිටෙවු පැළයක්ව, මාගේ අත්වල කර්මාන්තයව සිට මා ගෞරවය ලබන පිණිස සදාකාලේටම පොළොව භුක්තිවිඳින්නෝය.
22. කුඩා තැනැත්තා දහසක්ද සුළු තැනැත්තා බලවත් ජාතියක්ද වන්නේය. ස්වාමිවූ මම ඒකේ නියම කලට ඒක ඉක්මන් කරන්නෙමි.

ගීතාවලිය 115:1-8
1. ස්වාමිනි, අපට නොව, අපට නොව, ඔබගේ කරුණාව නිසාත් සැබෑකම නිසාත් ඔබගේ නාමයට ගෞරවය දුන මැනව.
2. ඔවුන්ගේ දෙවියෝ දැන් කොතැන්හිදැයි ජාතීන් විසින් කියන්ට ඉඩදෙන්නේ මන්ද?
3. එහෙත් අපේ දෙවියන්වහන්සේ ස්වර්ගයෙහිය. උන්වහන්සේ කැමති කොයි දෙයක් නුමුත් කළසේක.
4. ඔවුන්ගේ දේවතා රූප රන් රිදීය, මනුෂ්‍යයන්ගේ හස්තකර්මාන්තයෝය.
5. ඒවාට කටවල් ඇත, එහෙත් කථානොකෙරෙති; ඇස් ඇත, එහෙත් නොදකිති;
6. කන් ඇත, එහෙත් නොඅසති; නාස් ඇත, එහෙත් ගඳ සුවඳ නොදනිති;
7. අත් ඇත, එහෙත් නාල්ලති; පා ඇත, එහෙත් නොඇවිදිති; උගුරෙන් කථා නොකෙරෙති.
8. ඒවා සාදන්නොත් ඒවා කෙරෙහි විශ්වාස තබන සියල්ලොත් ඒවාට සමානවන්නෝය.

හිතෝපදේශ 26:23-23
23. සිත නපුරුව තිබෙද්දී ජ්වලිතව තිබෙන තොල් රිදී බොර ගෑවාවූ මැටි භාජනයක්මෙනි.

එපීස 5:17-33
17. මේ නිසා, ඔබ සැම අනුවණයෝ නොවී, ස්වාමීන්වහන්සේගේ කැමැත්ත කිමෙක්ද කියා තේරුම්ගන්න.
18. මුද්‍රිකපානයෙන් මත් නොවෙන්න, එයින් අනාචාරකම් හටගන්නේය;
19. නුමුත් ආත්මයාණන්ගෙන් පූර්ණවී, ගීතිකාවලින්ද කවිවලින්ද ආත්මික ගීවලින්ද එකිනෙකාට කථාකොට, ඔබ සැමගේ සිත්වලින් ස්වාමීන්වහන්සේට ගායනාද ගීතිකාද කරමින්,
20. අපගේ ස්වාමීවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් සියලු දේ ගැන පියවූ දෙවියන්වහන්සේට නිතරම ස්තුතිකරන්න.
21. ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි භය ඇතුව එකිනෙකාට යටත්වෙන්න.
22. භාර්යාවෙනි, ස්වාමීන්වහන්සේට මෙන් ඔබ සැමගේ පුරුෂයන්ට යටත්ව සිටින්න.
23. මක්නිසාද ක්‍රිස්තුස්වහන්සේ සභාවේ හිසව සිටින්නා සේම පුරුෂයාත් භාර්යාවගේ හිසව සිටියි. උන්වහන්සේ වනාහි ශරීරයේ ගැළවුම්කාරයාය.
24. එබැවින් සභාව ක්‍රිස්තුස්වහන්සේට යටත්වෙන්නාක්මෙන් භාර්යාවෝද සියලු දේවලදී තමුන්ගේ පුරුෂයන්ට යටත්වෙත්වා.
25. පුරුෂයෙනි, ක්‍රිස්තුස්වහන්සේ සභාවට ප්‍රේමකොට, ඈ උදෙසා තමන්ම පාවාදුන්නාක්මෙන්ම, ඔබ සැමත් ඔබ සැමගේ භාර්යාවන්ට ප්‍රේමකරන්න.
26. එසේ කළේ සභාව ශුද්ධව, කැලලක් හෝ රැළි හෝ එබඳු යමක් නැතුව,
27. තේජවත් සභාවක් කොට තමන්ට ඔප්පුකරගැනීම සඳහා වචනය නමැති වතුරෙන් සේදීමෙන්, උන්වහන්සේ එය පවිත්‍රකොට පිරිසිදුකරන පිණිසය.
28. එසේම පුරුෂයන් විසින්ද තමුන්ගේ භාර්යාවන්ට තමුන්ගේම ශරීරවලට මෙන් ප්‍රේමකටයුතුය. තමාගේ භාර්යාවට ප්‍රේමකරන තැනැත්තේ තමාටම ප්‍රේමකරන්නේය.
29. කිසිවෙක් කිසිකලක තමාගේම මාංසයට වෛරකළේ නැත. ක්‍රිස්තුස්වහන්සේ සභාව ගැන කරන්නාක්මෙන් එකිනෙකා තම තමාගේ මාංසය පෝෂණයකොට රක්ෂාකරගන්නේය.
30. මක්නිසාද අපි උන්වහන්සේගේ ශරීරයේ අවයවයෝය.
31. මේ නිසා මනුෂ්‍යයෙක් තමාගේ පියාද මවුද අත්හැර, තමාගේ භාර්යාවට ඇලුම්වන්නේය; ඔවුන් දෙදෙන එක මාංසය වන්නෝය.
32. මේ රහස මහත්ය. නුමුත් මම ක්‍රිස්තුස්වහන්සේ ගැනත් සභාව ගැනත් කථාකරමි.
33. එසේවී නුමුත් ඔබ සැම එක් එක්කෙනාත් තම තමාට මෙන් තම තමාගේ භාර්යාවට ප්‍රේමකරන්න; භාර්යාවද පුරුෂයාට භයපක්ෂව සිටින්ට බලාගනීවා.