A A A A A
Error:
BookNum: 55 Chapter: 3 VerseStart: 17 VerseShouldHave: 16
අවුරුද්දකින් බයිබලය
ඔක්තෝම්බර් 30

ජෙරමියා 45:1-5
1. යොෂියාගේ පුත්‍රවූ යූදාහි රජවූ යෙහෝයාකීම්ගේ සතරවෙනි අවුරුද්දේදී නේරියාගේ පුත්‍රවූ බාරුක් අනාගතවක්තෘවූ යෙරෙමියාගේ මුඛයෙන් අසා මේ වචන පොතක ලියූ විට යෙරෙමියා ඔහුට කී වචනයය.
2. එම්බා බාරුක්, ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබට මෙසේ කියනසේක:
3. අහෝ මට දැන් දුක්වේ! ස්වාමීන්වහන්සේ මාගේ වේදනාවට ශෝකය එකතුකළසේක; මාගේ සුසුම් ලෑමෙන් වෙහෙසව සිටිමි, සහනයක් මට ලැබී නැතැයි ඔබ කීයෙහිය.
4. ඔහුට මෙසේ කියන්න: ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක-බලව, මම ගොඩනැගූ දෙය කඩාදමමි. මම සිටෙවු දෙය උදුරාදමමි; මුළු දේශයටම මෙසේ වන්නේය.
5. ඔබටම මහත් දේවල් ලබාගන්නට ඔබ සොයන්නෙහිද? එසේ නොසොයන්න. මක්නිසාද මාංසමයවූ සියල්ලන් පිටට විපත්තිය පමුණුවමි. නුමුත් ඔබ යන්නාවූ සියලුම ස්ථානවලදී ඔබේ ප්‍රාණය කොල්ලයක් කොට ඔබට දෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.

ජෙරමියා 46:1-28
1. ජාතීන් ගැන අනාගතවක්තෘවූ යෙරෙමියා වෙතට පැමිණි ස්වාමීන්වහන්සේ ගේ වචනයය.
2. මිසරය ගැනය. යොෂියාගේ පුත්‍රවූ යූදාහි රජවූ යෙහෝයාකීම්ගේ සතරවෙනි අවුරුද්දේදී ප්‍රාත් ගංගාව ළඟ කර්කෙමිෂ්හි සිටියාවූ බබිලෝනියේ රජවූ නෙබුකද්රෙශර් විසින් පහරදෙනලද මිසරයේ රජවූ ඵාරාවෝනෙකෝගේ සේනාව ගැනය.
3. පලිහ සහ මහ පලිහත් සූදානම්කරගන යුද්ධයට පැමිණෙන්න.
4. අශ්වයන් රථවල බඳින්න. අසරුවෙනි, යුද්ධ තොප්පි දමාගන නැගී සිටින්න; හෙල්ල මැදගන්න, යුද්ධසැට්ට හැඳගන්න.
5. ඔවුන් කැලඹී පස්සට හැරෙනවා මට පෙනුණේ මක්නිසාද? ඔවුන්ගේ බලවන්තයෝ පොඩිකරනු ලැබ, පස්ස නොබලා පලායන්ටම යෙදුණෝය. වටකරින්ම භීතිය ඇතැයි ස්වාමීන්වහන්සේ කියනසේක.
6. ශීඝ්‍ර තැනැත්තේ පලා නොයේවා, බලවන්තයාද ගැළවී නොයේවා; ඔව්හු උතුරු දිශාවේ ප්‍රාත් ගංගාව ළඟදී පැකිල වැටුණෝය.
7. නයිල් ගංගාව මෙන්ද රැළගසන ගංගාවල් මෙන්ද නැගී එන මොහු කවුද?
8. මිසරය නයිල් ගංගාව මෙන් ගලයි, එහි ජලධාරාවෝ ගංගාවල මෙන් රැළ ගසති. මම නැගී ගොස් දේශය වසාගෙන නුවරවල්ද එහි වැසියන්ද විනාශකරන්නෙමියි ඔහු කියන්නේය.
9. අශ්වයෙනි, නැගීයව්; රථයෙනි, වේගයෙන් දුවන්න; බලවන්ත මනුෂ්‍යයෝ වන පලිහ අල්ලන කූෂ්වරුද පූට්වරුද දුනු අල්ලා තැත් කවන ලුදිවරුද පිටතට යෙත්වා.
10. නුමුත් ඒ දවස ස්වාමිවූ සේනාවල ස්වාමීන්වහන්සේ ගේ දවසක්ය, උන්වහන්සේ තමන්ගේ එදිරිකාරයන්ගෙන් පළිගන්න පළිගැනීමේ දවසක්ය. කඩුව වනාහි නාස්තිකර තෘප්තියට පැමිණෙන්නේය, ඔවුන්ගේ ලේවලින් මත්වන්නේය. මක්නිසාද උතුරු දේශයේ ප්‍රාත් ගංගාව ළඟ ස්වාමිවූ සේනාවල ස්වාමීන්වහන්සේ විසින් කරන්ට යාගයක් ඇත්තේය.
11. එම්බා මිසරය නම් කන්‍යා දුව, ගිලියද්ට ගොස් ගුගුල් ගන්න. ඔබ විසින් බොහෝ බෙහෙත් පාවිච්චිකිරීම නිෂ්ඵලය; ඔබට සුවවීමක් නැත.
12. ජාතීන් ඔබේ ලජ්ජාව ගැන අසා තිබේ, ඔබේ කෑගැසීමෙන් පොළොව පිරී තිබේ. මක්නිසාද බලවන්තයා බලවන්තයාට හැපී දෙන්නාම එක්ව වැටුණෝයයි කීසේක.
13. මිසර දේශයට පහරදීමට බබිලෝනියේ රජවූ නෙබුකද්රෙශර්ගේ පැමිණීම ගැන ස්වාමීන්වහන්සේ අනාගතවක්තෘවූ යෙරෙමියාට කී වචනයය.
14. මිසරයෙහි දන්වමින්ද, මිග්දොල්හි ප්‍රකාශකරමින්ද, නොප්හි සහ තාපන්හේස්හි ප්‍රසිද්ධකරමින්ද මෙසේ කියන්න: ඉදිරියට ඇවිත් සැරසෙන්න; මක්නිසාද කඩුව ඔබ වටකර නාස්තිකෙළේය.
15. ඔබේ බලසම්පන්න අය පහකරදමනු ලැබුවේ මක්නිසාද? ඔවුන් නොහිටියේ ස්වාමීන්වහන්සේ ඔවුන් පන්නාදැමූ නිසාය.
16. පැකිලෙන්නන් උන්වහන්සේ වැඩිකළසේක, ඔව්හු එකිනෙකා පිටටත් වැටුණෝය. තවද ඔව්හු: නැගිටින්න, පීඩාකරන කඩුව ඉදිරියෙන් අපේ සෙනඟ ළඟටත් අප උපන්දේශයටත් යමුයයි කීවෝය.
17. මිසරයේ රජවූ ඵාරාවෝ ඝෝෂාවක් පමණය කියාත් ඔහු නියම ප්‍රස්තාව පසුවී යන්ට හැරියේය කියාත් ඔව්හු එහිදී මොරගසා කීවෝය.
18. කඳු අතරේ තාබොර් මෙන්ද මුහුද ළඟ තිබෙන කර්මෙල් මෙන්ද සැබෑවටම ඔහු එන්නේය කියා මාගේ ජීවිතය ගැන කියමියි සේනාවල ස්වාමීන්වහන්සේ නම්වූ රජ්ජුරුවන්වහන්සේ කියනසේක.
19. අහෝ මිසරයෙහි වාසයකරන දුව, වාල්කමට යන්ට බඩු සාදාගන්න. මක්නිසාද නොප් වැසියෙක් නැතුව පාළුවක් වී දවාදමනු ලබන්නේය.
20. මිසරය ඉතා ලක්ෂණ එළනෑම්බියෙක්ය; එහෙත් විනාශය උතුරෙන් ඈ පිටට පැමිණ තිබේ.
21. ඈ තුළ සිටින ඇගේ කුලීකාර හේවායොත් තර කරපු වස්සන්ට සමානය; මක්නිසාද ඔව්හු පවා පස්සට හැරී එක්ව පලාගියෝය. ඔවුන්ගේ විපත්ති දවස එනම් ඔවුන්ට දඬුවම්කිරීමේ කාලය ඔවුන් පිටට පැමුණුණු නිසා ඔව්හු නොසිටියෝය.
22. ඇගේ හඬ සර්පයෙකුගේ හඬමෙන් නික්මෙන්නේය; මක්නිසාද ඔව්හු ලී කපන්නන් මෙන් පොරෝ ඇතුව, සේනාවක් සමඟ ඈට විරුද්ධව පැමිණෙන්නෝය.
23. ඇගේ කැලෑවට වදින්ට බැරි නුමුත් ඔව්හු ඒක කපා දමන්නෝය; මක්නිසාද ඔව්හු පළඟැටියන්ට වඩා වැඩිව, ගණනාවක් නැතුව සිටිත්යයි ස්වාමීන්වහන්සේ කියනසේක.
24. මිසර දුව ලජ්ජාවට පැමිණෙන්නීය; උතුරු සෙනඟගේ අතටද අසුවන්නීය.
25. සේනාවල ස්වාමීන්වහන්සේ වන ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: බලව, මම නෝහි ආමොන්ටත් ඵාරාවෝටත් මිසරයටත් එහි දෙවිවරුන්ටත් එහි රජවරුන්ටත් ඵාරාවෝට සහ ඔහු කෙරේ විශ්වාසකරන්නන්ටත් දඬුවම්කරමින්,
26. ඔවුන්ගේ ප්‍රාණය හානිකරන්ට සොයන්නන් අතටත් බබිලෝනියේ නෙබුකද්රෙශර් අතටත් ඔහුගේ සේවකයන් අතටත් ඔවුන් පාවාදෙන්නෙමි. නුමුත් ඊට පසුව පුරාණ දවස්වල මෙන් වැසියන් එහි සිටිනවා ඇතැයි ස්වාමීන්වහන්සේ කියනසේක.
27. එහෙත් මාගේ සේවකයාවූ යාකොබ්, ඔබ භය නොවන්න, ඉශ්‍රායෙල්, ඔබ නොකැලඹෙන්න. මක්නිසාද, බලව, මම ඔබ දුරස්තරයෙන්ද ඔබේ වංශය තමුන්ගේ වාල්කමේ දේශයෙන්ද ගළවන්නෙමි; යාකොබ්ද හැරීඇවිත්, කිසිවෙකුගෙන් භයක් නොලැබ, නිශ්චලව සුවසේ සිටින්නේය.
28. එම්බා මාගේ සේවකයාවූ යාකොබ්, මා ඔබ සමඟ සිටින නිසා භය නොවන්න. මක්නිසාද මා විසින් ඔබ විසුරුවාදැමූ සියලු ජාතීන් තීන්දුවටම නැතිකරන නුමුත් මම ඔබ තීන්දුවටම නැති නොකර, මදලෙස ඔබට දඬුවම් කරන්නෙමි; නුමුත් ඔබට කොහෙත්ම අච්චු නොකර නොසිටින්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.

ගීතාවලිය 119:105-112
105. ඔබගේ වචන මාගේ පාදයන්ට පහනක්ය, මාගේ මාවතට එළියක්ය.
106. ඔබගේ ධර්මිෂ්ඨ විනිශ්චයන් පවත්වන්නෙමියි කියා දිවුළෙමි, ඒක ඉෂ්ටකෙළෙමි.
107. මම බොහෝසේ පීඩිතයෙමි. ස්වාමිනි, ඔබගේ වචනය ප්‍රකාර මා ප්‍රාණවත්කළ මැනව.
108. ස්වාමිනි, මාගේ මුඛයෙන් පැවසූ සතුටු පූජා පිළිගෙන, ඔබගේ විනිශ්චයන් මට ඉගැන්නුව මැනව.
109. මාගේ ප්‍රාණය නිතරම මාගේ අතෙහිය; එහෙත් ඔබගේ ව්‍යවස්ථාව සිහි නැති නොකරමි.
110. දුෂ්ටයෝ මට මලපතක් තැබුවෝය; එහෙත් ඔබගේ නියෝගවලින් මුළාව නොගියෙමි.
111. ඔබගේ ශික්ෂා සදාකාලයට උරුමයක් කොට ගතිමි; මක්නිසාද ඒවා මාගේ සිතේ ප්‍රීතියය.
112. සදාකාලේටම, අන්තිම දක්වා, ඔබගේ පනත් ඉෂ්ටකරන්ට මාගේ සිත නැමුවෙමි.

හිතෝපදේශ 28:4-4
4. ව්‍යවස්ථාව අත්හරින්නෝ දුෂ්ටයන්ට ප්‍රශංසාකෙරෙති; එහෙත් ව්‍යවස්ථාව පවත්වන්නෝ ඔවුන්ට විරුද්ධව සිටිති.

2 තිමෝති 3:1-17
1. නුමුත් අන්තිම දවස්වලදී අන්තරා සහිත කාලවල් පැමිණෙන බව දැනගන්න.
2. මක්නිසාද මනුෂ්‍යයෝ තමුන්ටම ප්‍රේමකරන්නෝව, මුදලට ප්‍රේමකරන්නෝව, පාරට්ටුකරගන්නෝව, උදාරම්කාරයෝව, අපහාසකරන්නෝව, මවුපියන්ට අකීකරුවන්නෝව, ස්තුතිවන්ත නොවන්නෝව, අභක්තිකයෝව,
3. ජන්ම ස්නේහය නැත්තෝව, සමාදාන නොවන්නෝව, කේලාම්කියන්නෝව, තෘෂ්ණාව මැඩපවත්වා නොගන්නෝව, කෲරයෝව, යහපතට ප්‍රේමනොකරන්නෝව,
4. ද්‍රෝහියෝව, හිතුවක්කාරයෝව, අහංකාරයෝව, දෙවියන්වහන්සේට වඩා සැපසෙල්ලමට ප්‍රේමකරන්නෝව,
5. දේවභක්තියේ වේසය දරන නුමුත්, එහි බලය එපාකළ අයව සිටින්නෝය. එබඳු අයගෙන් අහක්වෙන්න.
6. මක්නිසාද මොවුන්ගෙන් සමහරු ගෙවල්වලට ඇතුල්වී, පාපවලින් බරවූ, අනේකාකාර තෘෂ්ණාවලින් ගෙනයනු ලබන්නාවූ,
7. නිතර ඉගෙනගන්න නුමුත් කිසිකලකත් සත්‍යය දැනගැනීමට පැමිණෙන්ට බැරිවූ, මෝඩ ස්ත්‍රීන් වහල්කරගන්නාවූ අයවෙති.
8. යන්නෙස් සහ යම්බ්‍රේස් මෝසෙස්ට විරුද්ධව සිටියාක්මෙන් මොව්හු සැබෑවට විරුද්ධව සිටිති; මොව්හු දූෂ්‍ය සිත් ඇත්තාවූ ඇදහිල්ල සම්බන්ධව නිෂ්ප්‍රයෝජනවූ මනුෂ්‍යයෝය.
9. නුමුත් මොවුන්ට තවත් දුර යන්ට ලැබෙන්නේ නැත. මක්නිසාද ඒ තැනැත්තන්ගේ අනුවණකම ප්‍රකාශවුනාක්මෙන්ම මොවුන්ගේ අනුවණකමත් සියල්ලන්ට ප්‍රකාශවෙනවා ඇත.
10. නුමුත් ඔබ මාගේ ඉගැන්වීමද හැසිරීමද අභිප්‍රායද ඇදහිල්ලද ඉවසිලිවන්තකමද ප්‍රේමයද ක්ෂාන්තියද,
11. අන්තියෝකියේදීත් ඉකෝනියේදීත් ලුස්ත්‍රාවේදීත් මට සිදුවුණාවූ මට පැමුණුණ පීඩාද දුක්විඳීම්ද බලාගත්තෙහිය. එයාකාර පීඩා වින්දෙමි, ඒ සියල්ලෙන්ද ස්වාමීන්වහන්සේ මා මිදූසේක.
12. එසේය, ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ භක්තිවන්තලෙස ජීවත්වන්ට කැමති සියල්ලෝම පීඩා විඳින්නෝය.
13. නුමුත් නපුරු මනුෂ්‍යයොත් රැවටිලිකාරයොත් රවටමින්ද රැවටෙමින්ද වඩ වඩා නරක්වන්නෝය.
14. එහෙත් ඔබ ඉගෙනගත්තාවූ, ඔබට සහතිකවූ කාරණා කොයි තැනැත්තන්ගෙන් ඉගෙනගත්තෙහිද කියාත්,
15. ක්‍රිස්තුස් යේසුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල කරණකොටගෙන ගැළවීම පිණිස ඔබ නැණවත්කරන්ට පුළුවන්වූ ශුද්ධලියවිලි ඔබ බාල වයසේ පටන් දැනගන සිටින බවත් දැන, ඒවායෙහි පිහිටා සිටින්න.
16. දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා සම්පූර්ණව, සියලු යහපත් ක්‍රියාවලට සූදානම්ව සිටින පිණිස දේවානුභාවයෙන් දුන් මුළු ලියවිල්ල ඉගැන්වීමටත් තරවටුවටත් හික්මවීමටත් ධර්මිෂ්ඨකම ගැන ගුරුකම් දීමටත් ප්‍රයෝජනවත්ව තිබේ.