A A A A A
අවුරුද්දකින් බයිබලය
ඔක්තෝම්බර් 3

යෙසායා 57:1-21
1. ධර්මිෂ්ඨයා පහවයන්නේය, නුමුත් කිසිවෙක් එය සිතට නොගන්නේය; භක්තිවන්ත මනුෂ්‍යයෝද පහකරනු ලබති, නුමුත් ධර්මිෂ්ඨයා විපත්තිය ඉදිරියෙන් ගෙනයනු ලබන බව කිසිවෙක් කල්පනාකරන්නේ නැත.
2. ඔහු සමාදානයට පැමිණෙයි; තමුන්ගේ අවංකකමින් හැසිරෙන්නෝ තමුන්ගේ යහන්වල නිශ්චලව සිටින්නෝය.
3. එහෙත් මායාකාරීගේ පුත්‍රයෙනි, පරදාරිකයාගෙත් වේශ්‍යාවගෙත් වංශය, මෙහි ළංවෙන්න.
4. ඔබ සැම කාට විරුද්ධව කවටකම්කරන්නහුද? ඔබ සැම කාට විරුද්ධව කට අයා දිව දික්කරන්නහුද?
5. අලෝන ගස් අතරෙන් සියලුම ගස් යටත් රාගයෙන් දැවෙන්නාවූ, මිටියාවත්වල පර්වත විවර යට දරුවන් මරන්නාවූ ඔබ සැම කැරළිකාරකමේ දරුවොත් බොරුකාර වංශයකුත් නොවන්නහුද?
6. ඔබේ කොටස තිබෙන්නේ මිටියාවතේ සිනිඳු ගල් අතරෙහිය; ඒවාම ඔබේ කොටසය. ඒවාට ඔබ පාන පූජාවක් වගුරුවා ආහාර පූජාවක්ද ඔප්පුකෙළෙහිය. මේ දේවල් තිබියදී මා නිශ්චලව සිටින්නේ කොහොමද?
7. උස්වූ උසස්වූ කන්දක් උඩ ඔබේ යහන ඔබ තබාගත්තෙහිය. එතැනද පූජා ඔප්පුකිරීමට ඔබ නැගී ගියෙහිය.
8. දොරටත් උළුවස්සටත් එහායින් ඔබේ සලකුණ ඔබ තබා තිබේ. මක්නිසාද ඔබ මට නොව අනිකෙකුට ඔබම ප්‍රකාශවී නැගී ගියෙහිය; ඔබේ යහන පළල්කොට ඔවුන්ගෙන් පොරොන්දු ලබාගත්තෙහිය; ඔවුන්ගේ යහන දුටු තැනදී ඊට ආලය වූයෙහිය.
9. ඔබ රජු වෙතට තෛල රැගෙන පැමුණුනෙහිය, ඔබේ සුවඳ දේද වැඩිකරගත්තෙහිය, ඔබේ තානාපතීන් ඔබ දුරු රටවලට ඇර, පාතාලය දක්වා පහතට බැස්සෙහිය.
10. ඔබේ මාර්ගයේ දීර්ඝකම නිසා ඔබ වෙහෙසවූවෙහිය; එසේ වුවත්: එය නිෂ්ඵලයයි ඔබ නොකීවෙහිය. ඔබේ අතේ ප්‍රාණවත්කම සම්බවූ බැවින් ඔබ දුර්වල නූණෙහිය.
11. ඔබ මා සිහි නොකොට, ඒක සිතට නොගෙන, බොරුකීවේ කාට තැතිගෙන භයවෙලාද? මම බොහෝ කලක්ම නිශ්ශබ්දව නොසිටියෙම්ද? නුමුත් ඔබ මා කෙරෙහි භයක් නැත.
12. මම ඔබේ ධර්මිෂ්ඨකම දන්වන්නෙමි; ඔබේ ක්‍රියාවලින් නම් ඔබට ප්‍රයෝජන නොලැබේ.
13. ඔබ මොරගසන විට ඔබ විසින් රැස්කරගත් ඒ දේවල් ඔබ ගළවා ගනීවා; ඒ සියල්ලම හුළඟට ගහගන යන්නේය, හුස්මකට පහවන්නේය. නුමුත් මා කෙරෙහි විශ්වාසකරන්නා දේශය අත්කරගෙන, මාගේ ශුද්ධවූ කන්ද උරුමකරගන්නේය.
14. කෙනෙක් කථාකොට: සමතලාකරන්න. සමතලාකර, මාර්ගය පහදා පැකිලවන දේ මාගේ සෙනඟගේ මාර්ගයෙන් අහක්කරන්නැයි කියනවා ඇත.
15. මක්නිසාද උසස්වූ, උත්කෘෂ්ටවූ, සදාකාලයෙහි වසන්නාවූ ශුද්ධය යන නාමය ඇති තැනන්වහන්සේ මෙසේ කියනසේක. මම උසස්වූ ශුද්ධවූ ස්ථානයෙහිද යටහතුන්ගේ ආත්මය ප්‍රාණවත් කරන්ටත් පොඩිවී සිටින්නන්ගේ සිත ප්‍රාණවත්කරන්ටත් තැළුණවූ යටහත් ආත්මයක් ඇත්තා සමඟ වාසයකරමි.
16. මම සදාකල්ම විවාද නොකරන්නෙමි, සෑම කල්ම උදහස්ව නොසිටින්නෙමි. එසේ සිටියොත් මා ඉදිරියෙහි ආත්මයද මා විසින් මැවූ ප්‍රාණද ක්ලාන්තවී යන්නෝය.
17. ඔහුගේ තණ්හාවේ වරද නිසා මම උදහස්වී ඔහුට පහරදී, සැඟවී උදහස්ව සිටියෙමි. එහෙත් ඔහු හිතුවක්කාරව තමාගේ සිතේ මාර්ගයෙහිම ගියේය.
18. මම ඔහුගේ මාර්ග දුටිමි, ඔහු සුවකරන්නෙමි. මම ඔහුට මගපෙන්වා, ඔහුටත් ඔහු සමඟ වැලපෙන්නන්ටත් නැවත සැනසීම දෙන්නෙමි.
19. මම තොල්වල ඵල උපදවමි. දුර සිටින්නාටත් ළඟ සිටින්නාටත් සමාදානය වේවා, සමාදානය වේවා; මම ඔහු සුවකරන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.
20. නුමුත් දුෂ්ටයෝ කැලඹී තිබෙන මුහුදට සමානය; මක්නිසාද ඊට නිශ්චලවන්ට නුපුළුවන, එහි ජලය මඩ හා කුණු මතුකරයි.
21. දුෂ්ටයන්ට සමාදානය නැතැයි මාගේ දෙවියන්වහන්සේ කියනසේක.

යෙසායා 58:1-14
1. නොනැවතී හයියෙන් මොරගසා, හොරණෑවක් මෙන් ඔබේ හඬ නගා, මාගේ සෙනඟට ඔවුන්ගේ වරදවල්ද යාකොබ්ගේ වංශයට ඔවුන්ගේ පව්ද දන්වන්න.
2. ඔව්හු දවස් පතා මා සොයති, මාගේ මාර්ගයන් දැනගන්ට ප්‍රසන්නවෙති. ධර්මිෂ්ඨකම්කොට තමුන්ගේ දෙවියන්වහන්සේගේ නියෝගය අත්නෑර සිටින ජාතියක්මෙන් ඔව්හු ධර්මිෂ්ඨ නියෝග මාගෙන් ඉල්ලති, දෙවියන්වහන්සේ වෙතට ළංවීමට ප්‍රසන්නවෙති.
3. අප නිරාහාරයෙන් සිටිය නුමුත් ඔබ නොබැලුවෙත් අපේ ප්‍රාණවලට පීඩාකරගත් නුමුත් ඔබ නොසලකා සිටින්නෙත් මක්නිසාදැයි කියති. බලව, ඔබ සැමගේ උපවාස දවසේදී ඔබ සැම සැප ගනිති, ඔබ සැමගේ සියලුම වැඩද කරවාගනිති.
4. ඔබ සැම නිරාහාරව සිටින්නේ විවාදයටත් තරඟයටත් දුෂ්ටකමේ මිටින් ගසන්ටත්ය. ඔබ සැමගේ හඬ උසස්ථානයේ ඇසෙන්ට සැලසෙන පරිද්දෙන් ඔබ සැම අද නිරාහාරව සිටින්නේ නැත.
5. මනුෂ්‍යයෙක් තමාගේ ප්‍රාණය යටත්කරගන්න දවසක් වන මා විසින් තෝරාගත් උපවාසය එයාකාරද? එය තමාගේ හිස පන් ගසක් මෙන් නමාගෙන, ගෝණිරෙදි සහ අළු අතුරාගන හිදීමද? මීට උපවාසයක් සහ ස්වාමීන්වහන්සේ ට ප්‍රසන්නවූ දවසක්යයි ඔබ කියනවාද?
6. මා විසින් තෝරාගත් උපවාසය නම් දුෂ්ටකමේ විලංගු මුදාහැරීමත්, වියගහේ බැඳුම් ලිහීමත්, බලාත්කාරය විඳින්නන් නිදහස්කර හැරීමත්, සියලුම වියගස් ඔබ සැම විසින් කඩාදැමීමත් නොවේද?
7. බඩගිනි ඇත්තන්ට ඔබේ කෑම බෙදාදීමත්, ගෙයක් දොරක් නැති අසරණයන් ඔබ විසින් ඔබේ ගෙදරට පැමිණවීමත්, නිර්වස්ත්‍ර කෙනෙක් දුටුවිට ඔහුට ඇඳුම් දීමත්, ඔබේම නෑසියන්ගෙන් නොසැඟවී සිටීමත් නොවේද?
8. එවිට ඔබේ එළිය පහන්වේලාව මෙන් උදාවන්නේය, ඔබේ සුවයද ඉක්මනින් හටගන්නේය. ඔබේ ධර්මිෂ්ඨකම ඔබට පෙරටුවෙන් යන්නේය; ස්වාමීන්වහන්සේ ගේ තේජසද ඔබට පස්සෙන් එන්නේය.
9. එවිට ඔබ යාච්ඤාකරන්නෙහිය, ස්වාමීන්වහන්සේ උත්තරදෙනසේක; ඔබ මොරගසන කල්හි: මම මෙහියයි උන්වහන්සේ කියනසේක. ඔබ වියගහද ඇඟිල්ල දික්කිරීමද දුෂ්ටලෙස කථා කිරීමද ඔබ වෙතින් පහකරන්නෙහි නම්,
10. බඩගිනි ඇත්තා කෙරෙහි කරුණාව පෙන්වා, අසරණ ප්‍රාණය තෘප්තියට පමුණුවන්නෙහි නම්, අඳුරේදී ඔබේ එළිය නැගී එන්නේය, ඔබේ කළුවරකම ඉරමුදුන් වේලාව මෙන් වන්නේය.
11. ස්වාමීන්වහන්සේ නිතරම ඔබට මගපෙන්වා, වියළි තැන්වලදී ඔබේ ප්‍රාණය තෘප්තියට පමුණුවා, ඔබේ ඇටද ශක්තිමත්කරනසේක; ඔබ වතුර ඇති උයනක් මෙන්ද දිය සිදී නොයන උල්පතක් මෙන්ද වන්නෙහිය.
12. ඔබෙන් පැවතඑන්නෝ පරණ නටබුන් තැන් ගොඩනගන්නෝය. ඔබ බොහෝ පරම්පරාවල අත්තිවාරම් ගොඩනගන්නෙහිය; කැඩුම් හරිගස්සන්නාය, වාසය පිණිස මාවත් අලුත්වැඩියාකරන්නායයි ඔබට කියනු ලැබේ
13. ඔබ මාගේ ශුද්ධ දවසේදී ඔබේම කැමැත්ත නොකරන හැටියට ඔබේ පාද සබත් දවසේදී නවත්වාගන, සබත් දවස ප්‍රිය එකක්ය කියාද ස්වාමීන්වහන්සේ ගේ ශුද්ධ දවස ගෞරවණීය එකක්ය කියාද කියන්නෙහි නම්, ඔබේම මාර්ගවල නොහැසිර ඔබේම කැමැත්ත නොසොයා, හිස් වචන කථා නොකර, ඊට ගෞරවකරන්නෙහි නම්,
14. ඔබ ස්වාමීන්වහන්සේ කෙරෙහි ප්‍රීතිමත්වන්නෙහිය; මමද පොළොවේ උසස්ථාන මතුයෙහි නැගීයන්ට ඔබට සලස්වා, ඔබේ පියවූ යාකොබ්ගේ උරුමයෙන් ඔබ පෝෂණයකරන්නෙමි. මක්නිසාද ස්වාමීන්වහන්සේ ගේ මුඛය ඒක වදාළේය.

ගීතාවලිය 114:1-8
1. ඉශ්‍රායෙල් මිසරයෙන්ද යාකොබ්ගේ වංශය අන්‍ය භාෂාවක් ඇති මනුෂ්‍ය ජාතියකින්ද නික්ම ගිය කල
2. යූදා උන්වහන්සේගේ ශුද්ධස්ථානය විය, ඉශ්‍රායෙල් උන්වහන්සේගේ රාජ්‍යය විය.
3. මුහුද ඒ දැක පලාගියේය; යොර්දාන් ගඟ ආපසු හරවනු ලැබුවාය.
4. කඳු බැටළුවන් මෙන්ද කුඩා හෙල් බැටළුපැටවුන් මෙන්ද පෙංකෙළියෝය.
5. එම්බා මුහුද, ඔබ පලායන්නෙත්, යොර්දාන, ඔබ ආපසු හැරෙන්නෙත් ඔබ සැමට කුමක් වෙලාද?
6. එම්බා කඳු, ඔබ සැම බැටළුවන් මෙන්ද කුඩා හෙල්, ඔබ සැම බැටළුපැටවුන් මෙන්ද පෙංකෙළින්ගේ ඔබ සැමට කුමක් වෙලාද?
7. එම්බා පොළොව පර්වතය දිය පොකුණක්ද ගිනිගල දිය උල්පතක්ද කළාවූ
8. ස්වාමීන් ඉදිරියෙහි, එනම් යාකොබ්ගේ දෙවියන්වහන්සේ ඉදිරියෙහි, වෙවුලව.

හිතෝපදේශ 26:22-22
22. කේලාම්කියන්නෙකුගේ වචන රසවත් භෝජන මෙනි; ඒවාත් ඔබ තුළටම බැසයන්නේය.

එපීස 5:1-16
1. එබැවින් ඔබ සැම ප්‍රිය දරුවන්මෙන් දෙවියන්වහන්සේ අනුව යන්නෝ වෙයන්න.
2. ක්‍රිස්තුස්වහන්සේ ඔබ සැමට ප්‍රේමකොට, මිහිරි සුවඳක් පිණිස දෙවියන්වහන්සේට පූජාවක්ද යාගයක්ද කොට අප වෙනුවට තමන්ම පාවාදුන්නාක්මෙන්ම, ඔබ සැමත් ප්‍රේමයෙන් හැසිරින්න.
3. නුමුත් වේශ්‍යාකමද සියලු ආකාර අපවිත්‍රකම හෝ තණ්හාවද ඔබ සැම අතරේ සඳහන් කරන්ට පමණවත් එපා; එය ශුද්ධවන්තයන්ට නුසුදුසුය.
4. කැතකම්ද මෝඩ කථාද නීච කවටකම්ද යන මේවාත් නුසුදුසුය. ඒවා නොව ස්තුතිකිරීම් පවත්වන්න.
5. මක්නිසාද වේශ්‍යාකම් කරන්නෙකුටවත් අපවිත්‍ර තැනැත්තෙකුටවත් රූපවඳින්නෙක්වූ ලෝභයෙකුටවත් ක්‍රිස්තුස්වහන්සේගේද දෙවියන්වහන්සේගේද රාජ්‍යයෙහි උරුමයක් නොලැබෙන බව ඔබ සැම සත්තකලෙස දැන සිටින්නහුය.
6. හිස් වචනවලින් ඔබ සැම රවටන්ට කිසිවෙකුට ඉඩ නොදෙන්න. මක්නිසාද මේ දේවල් නිසා දෙවියන්වහන්සේගේ උදහස අකීකරුකමේ පුත්‍රයන් පිටට පැමිණෙන්නේය.
7. එබැවින් ඔවුන් සමඟ පංගුකාරයෝ නොවෙන්න.
8. මක්නිසාද වරක් ඔබ සැම අන්ධකාරව සිටිය නුමුත්, දැන් ස්වාමීන්වහන්සේ තුළ ආලෝකයව සිටින්නහුය. ආලෝකයේ දරුවන් මෙන් හැසිරෙන්න.
9. ආලෝකයේ ඵල නම්, සියලු ආකාර යහපත්කමත් ධර්මිෂ්ඨකමත් සැබෑකමත්ය.
10. ස්වාමීන්වහන්සේට ප්‍රසන්නව තිබෙන්නේ කිමෙක්ද කියා විභාගකරන්න.
11. අන්ධකාරයේ ඵල නැති ක්‍රියාවලට හවුල් නොවී, ඒවාට දොස් තබන්න;
12. මක්නිසාද ඔවුන් විසින් රහසින් කරන දේ ගැන කථාකිරීම පවා ලජ්ජාවක්ය.
13. නුමුත් දොස් තබනු ලබන සියලු දේ ආලෝකය කරණකොටගෙන ප්‍රකාශවන්නේය. මක්නිසාද ප්‍රකාශවන සියල්ල ආලෝකයව තිබේ.
14. එහෙයින්: නිදන්නාවූ ඔබ පිබිද මළවුන්ගෙන් නැගිටින්න, එවිට ක්‍රිස්තුස්වහන්සේ ඔබ කෙරෙහි උදාවනසේකැයි උන්වහන්සේ කියනසේක.
15. ඒ නිසා ඔබ සැම ඥානය නැත්තන් මෙන් නොව ඥානවන්තයන් මෙන් ප්‍රවේසමෙන් හැසිරෙන්ට බලාගෙන,
16. දවස් නපුරු බැවින් ප්‍රස්තාව අල්ලාගන්න.