A A A A A
අවුරුද්දකින් බයිබලය
ඔක්තෝම්බර් 28

ජෙරමියා 41:1-18
1. සත්වෙනි මාසයේදී රාජ වංශයට අයිතිවූ, රජුගේ අධිපතීන්ගෙන් කෙනෙක් වන එලිෂාමාගේ පුත්‍රවූ නෙතනියාගේ පුත්‍රයා වන ඉෂ්මායෙල්ද ඔහු සමඟ මිනිසුන් දසදෙනෙක්ද මිශ්පාට අහිකාම්ගේ පුත්‍රවූ ගෙදලියා ළඟට ආවෝය. එහි ඔව්හු මිශ්පාහිදී එක්ව කෑම කෑවෝය.
2. එවිට නෙතනියාගේ පුත්‍රවූ ඉෂ්මායෙල් සහ ඔහු සමඟ සිටි මිනිසුන් දසදෙනා බබිලෝනියේ රජු විසින් දේශයේ ආණ්ඩුකාරකමට පත්කළාවූ ෂාපාන්ගේ පුත්‍රවූ අහිකාම්ගේ පුත්‍රයා වන ගෙදලියාට කඩුවෙන් පහරදී ඔහු මැරුවෝය.
3. තවද ඉෂ්මායෙල් තෙමේ ගෙදලියා සමඟ මිශ්පාහි සිටි සියලු යුදෙව්වරුන්ද එහි සම්බවූ යුද්ධකාරයන් වන කල්දිවරුන්ද මැරුවේය.
4. ගෙදලියා මැරුවායින් පසු දෙවෙනිදා කිසිවෙක් නොදැන සිටිද්දී,
5. ෂෙකෙම්හිද ෂීලෝහිද සමාරියේද සිට මිනිසුන් අසූදෙනෙක් රැවුල් කපාදමා, ඇඳුම් ඉරාගෙන, ශරීර කපාගෙන, ස්වාමීන්වහන්සේ ගේ ගෘහයට ගෙනෙන්ට ආහාර පූජාද කට්ටකුමංචල්ද තමුන්ගේ අත්වල රැගෙන ආවෝය.
6. නෙතනියාගේ පුත්‍රවූ ඉෂ්මායෙල් ඔවුන් පෙරමගට මිශ්පා සිට පිටත්වී අඬ අඬා ගියේය. ඔවුන් මුණගැසුණු විට: අහිකාම්ගේ පුත්‍රවූ ගෙදලියා ළඟට එන්නැයි ඔහු ඔවුන්ට කීවේය.
7. ඔවුන් නුවර මැදට පැමුණුණ විට, නෙතනියාගේ පුත්‍රවූ ඉෂ්මායෙල් සහ ඔහු සමඟ සිටි මනුෂ්‍යයෝ ඔවුන් මරා වළ ඇතුළට හෙළුවෝය.
8. නුමුත් ඔවුන් අතරෙහි සිටි මනුෂ්‍යයන් දසදෙනෙක් ඉෂ්මායෙල්ට කථාකොට: අප නොමරන්න. මක්නිසාද කෙතෙහි සඟවා තිබෙන තිරිඟුද යවද මීපැණිද තෙල්ද අපට තිබේයයි කීවෝය. එවිට ඔහු ඔවුන්ගේ සහෝදරයන් සමඟ ඔවුන් නොමරා හැරියේය.
9. ඉෂ්මායෙල් විසින් ගෙදලියා ළඟ මැරූ මනුෂ්‍යයන්ගේ මළකඳන් සියල්ල හෙළුවාවූ වළ නම් ආසා රජු විසින් ඉශ්‍රායෙල්වරුන්ගේ රජවූ බයෙෂාට භයින් සෑදූ වළය. නෙතනියාගේ පුත්‍රවූ ඉෂ්මායෙල් මැරුම්කෑ අයගෙන් ඒක පිරෙවුවේය.
10. තවද ඉෂ්මායෙල් සෙනඟගෙන් ඉතිරිවී මිශ්පාහි සිටි සියල්ලන්, එනම් රජුගේ දූවරුන්ද රැකවලුන්ගේ අධිපතියාවූ නෙබුසරදාන් විසින් අහිකාම්ගේ පුත්‍රවූ ගෙදලියාට භාරදුන්නාවූ, මිශ්පාහි ඉතිරිව සිටියාවූ මුළු සෙනඟද අල්ලාගත්තේය. නෙතනියාගේ පුත්‍රවූ ඉෂ්මායෙල් ඔවුන් ගෙන අම්මොන් පුත්‍රයන් ළඟට යන්ට ගියේය.
11. නුමුත් කාරේයාගේ පුත්‍රවූ යොහානාන් සහ ඔහු සමඟ සිටි සේනාවල සියලු අධිපතීහුද නෙතනියාගේ පුත්‍රවූ ඉෂ්මායෙල් කළ සියලු නපුරුකම් ගැන අසා,
12. සියලු මනුෂ්‍යයන් අඬගහගන, නෙතනියාගේ පුත්‍රවූ ඉෂ්මායෙල්ට විරුද්ධව යුද්ධකරන්ට ගොස් ගිබියොන්හි තිබෙන මහ ජලාශය ළඟදී ඔවුන්ට සම්මුඛවූවෝය.
13. එවිට ඉෂ්මායෙල් සමඟ සිටි මුළු සෙනඟ කාරේයාගේ පුත්‍රවූ යොහානාන් සහ ඔහු සමඟ සිටි සේනාවල සියලු අධිපතීන්ද දුටු විට සන්තෝෂ වූවෝය.
14. මිශ්පා සිට ඉෂ්මායෙල් විසින් අල්ලාගෙන ගිය මුළු සෙනඟද නැවත හැරී කාරේයාගේ පුත්‍රවූ යොහානාන් ළඟට ගියෝය.
15. නුමුත් නෙතානියාගේ පුත්‍රවූ ඉෂ්මායෙල් මනුෂ්‍යයන් අට දෙනෙකු සමඟ යොහානාන් ඉදිරියෙන් ගැළවී අම්මොන් පුත්‍රයන් ළඟට ගියේය.
16. කාරේයාගේ පුත්‍රවූ යොහානාන්ද ඔහු සමඟ සිටි සේනාවල සියලු අධිපතියෝද ඉෂ්මායෙල් විසින් අහිකාම්ගේ පුත්‍රවූ ගෙදලියා මැරූ පසු ගිබියොන්හි සිට ඔහුගෙන් හරවාගත්තාවූ ඉතිරිව සිටි මුළු සෙනඟ වන යුද්ධකාරයන්ද ස්ත්‍රීන්ද දරුවන්ද නපුංසකයන්ද මිශ්පායෙන් අඬගහගන ගොස්,
17. කල්දිවරුන් නිසා මිසරයට ඇතුල්වෙන්ට යන පිණිස බෙත්-ලෙහෙම අසල තිබෙන කිම්හාම්ගේ නවාතැනෙහි නැවතී සිටියෝය.
18. එසේ කළේ නෙතනියාගේ පුත්‍රවූ ඉෂ්මායෙල් බබිලෝනියේ රජු විසින් දේශයේ ආණ්ඩුකාරකමට පත්කළ අහිකාම්ගේ පුත්‍රවූ ගෙදලියාව මැරූ බැවින් ඔවුන්ට භයවුණ නිසාය.

ජෙරමියා 42:1-22
1. එවිට සේනාවල සියලු අධිපතියෝද කාරේයාගේ පුත්‍රවූ යොහානාන්ද හෝෂායාගේ පුත්‍රවූ යෙසනියාද කුඩා අය පටන් ලොකු අය දක්වා මුළු සෙනඟද අනාගතවක්තෘවූ යෙරෙමියා වෙතට පැමිණ:
2. අනේ ඔබ අපේ කන්නලව්ව පිළිගෙන අප විසින් යා යුතු මාර්ගයත් අප විසින් කරන්ට යුතුදේත් ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ අපට දන්වන හැටියට මෙහි ඉතිරිව සිටින අප සියල්ලන් උදෙසා ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ට යාච්ඤාකරන්න;
3. මක්නිසාද ඔබේ ඇස්වලට පෙනෙන ලෙස අපි බොහෝ දෙනෙකුගෙන් ස්වල්ප දෙනෙක්ව ඉතිරිව සිටිමුයයි කීවෝය.
4. එවිට අනාගතවක්තෘවූ යෙරෙමියා: ඔබ සැම කී දේ ඇසීමි; මම ඔබ සැමගේ වචනවල හැටියට ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ට යාච්ඤා කොට, ස්වාමීන්වහන්සේ ඔබ සැමට උත්තරදෙන කාරණා සියල්ලම ඔබ සැමගෙන් කිසිවක් නොසඟවා ඔබ සැමට දන්වන්නෙමියි ඔවුන්ට කීවේය.
5. ඔව්හුද: ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබ ලවා අපට කියා එවන සියලුම කාරණාවල හැටියට අප විසින් නොකළොත් ස්වාමීන්වහන්සේ අප අතරේ සැබෑවූ විශ්වාසවූ සාක්ෂිකාරයෙක් වනසේක්වා.
6. අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ගේ හඬට කීකරුවීමෙන් අපට යහපත සිද්ධවෙන පිණිස උන්වහන්සේ වෙතට අපි ඔබ යවම්හ; හොඳක් වුවත් නොහොඳක් වුවත් අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ගේ හඬට අපි කීකරුවන්නෙමුයයි යෙරෙමියාට කීවෝය.
7. දස දවසකට පසු ස්වාමීන්වහන්සේ ගේ වචනය යෙරෙමියා වෙතට පැමිණියේය.
8. එවිට ඔහු කාරේයාගේ පුත්‍රවූ යොහානාන්ද ඔහු සමඟ සිටි සේනාවල සියලු අධිපතීන්ද කුඩා අය පටන් ලොකු අය දක්වා මුළු සෙනඟද කැඳවා ඔවුන්ට කථාකොට:
9. ඔබ සැමගේ කන්නලව්ව ඔප්පුකරන පිණිස ඔබ සැම විසින් මා යැවුවාවූ ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක
10. ඔබ සැම මේ දේශයේම සිටින්නහු නම් මම ඔබ සැම කඩා නොදමා ගොඩනගන්නෙමි, ඔබ සැම උදුරා නොදමා හිටවන්නෙමි. මක්නිසාද මා විසින් ඔබ සැමට පැමිණෙනවු විපත්තිය ගැන තැවෙමි.
11. ඔබ සැම භයින් සිටින බබිලෝනියේ රජුට භය නොවෙන්න; ඔබ සැම ගළවා ඔහුගේ අතින් මුදන්ට මා ඔබ සැම සමඟ සිටින බැවින් ඔහුට භය නොවෙන්නැයි ස්වාමීන්වහන්සේ කියනසේක.
12. ඔහු විසින් ඔබ සැමට අනුකම්පාකොට ඔබ සැමගේ රටට හැරීයන්ට ඉඩදෙන හැටියට ඔබ සැම කෙරෙහි දයාවෙන්ට සලස්වන්නෙමි.
13. නුමුත් ඔබ සැම: අපි මේ දේශයෙහි නොසිටින්නෙමුයයි කියමින් ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ගේ හඬට කීකරුනොවී කථාකොට-
14. නැත, අපි මිසරදේශයට යන්නෙමුව; එහිදී යුද්ධයක් දකින්ටවත් හොරණෑ ශබ්දය අසන්ටවත් කෑම නැතුව බඩගින්නේ ඉන්ටවත් වෙන්නේ නැත; එහි සිටින්නෙමුයයි කියන්නහු නම්,
15. එම්බා යූදාහි ඉතිරිව සිටින ජනයෙනි, ස්වාමීන්වහන්සේ ගේ වචනය අසන්න. ඉශ්‍රායෙල්ගේ දෙවිවූ සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: ඔබ සැම මිසරයට පැමිණීමට ඔබ සැමගේ මුහුණු හරවාගන, එහි පොරොත්තුව සිටීමට යන්ටම අදහස්කරන්නහු නම්, ඔබ සැම භයවෙන කඩුව මිසර දේශයේදී ඔබ සැම පිටට පැමිණෙන්නේය,
16. ඔබ සැම භයපත්කරවන සාගතය ඔබ සැම කැටුවම මිසරයට යන්නේය; එහිදී ඔබ සැම මැරෙන්නහුය.
17. මිසරයෙහි පොරොත්තුව සිටින පිණිස එහි යන්ට තමුන්ගේ මුහුණු හරවාගන්න සියලු මනුෂ්‍යයෝම කඩුවෙනුත් සාගතයෙනුත් වසංගතයෙනුත් නසින්නෝය. මා විසින් ඔවුන් පිටට පමුණුවන විපත්තිය නිසා ඔවුන්ගෙන් කිසිවෙක් ගැළවී ඉතුරු නොවන්නේය.
18. මක්නිසාද: මාගේ උදහසත් කෝපයත් යෙරුසලමේ වැසියන් පිටට වැගුරුණාක්මෙන්, ඔබ සැම මිසරයට පැමුණුණාම ඔබ සැම පිටටත් මාගේ කෝපය වැගිරෙනවා ඇත. ඔබ සැම ඇවීමක්ද විස්මයක්ද ශාප-වචනයක්ද නින්දාවක්ද වන්නහුය; මේ ස්ථානය ඔබ සැම තවත් දකින්නෙත් නැතැයි ඉශ්‍රායෙල්ගේ දෙවිවූ සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.
19. යූදාහි ඉතිරිව සිටින ජනයෙනි, ස්වාමීන්වහන්සේ ඔබ සැම ගැන කථාකළසේක. මිසරයට නොයන්න; මා අද ඔබ සැමට අවවාදකළ බව හොඳාකාරයෙන්ම දැනගන්න.
20. සැබවින් ඔබ සැමගේ ම ප්‍රාණවලට විරුද්ධව ඔබ සැම ප්‍රයෝග කළහුය; මක්නිසාද: අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ට අප උදෙසා යාච්ඤාකර, අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කියන සියල්ලේ හැටියට අපට දන්වන්න, අපි ඒක කරන්නෙමුව කියා ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ වෙතට ඔබ සැම මා යැවුවහුය.
21. මම අද ඔබ සැමට දැන්වීමි; එහෙත් ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ගේ හඬටවත් උන්වහන්සේ මා ලවා ඔබ සැමට කියා එවූ කිසිවකටවත් ඔබ සැම කීකරුවුණේ නැත.
22. ඉතින් ඔබ සැම කලක් නවතින්ට යන්ට ආශාවෙන්නාවූ ස්ථානයේදී ඔබ සැම කඩුවෙනුත් සාගතයෙනුත් වසංගතයෙනුත් නසින බව සැබවින්ම දැනගන්නැයි කීවේය.

ගීතාවලිය 119:89-96
89. ස්වාමිනි, සදාකාලේටම ඔබගේ වචනය ස්වර්ගයෙහි පිහිටා තිබේ.
90. ඔබගේ විශ්වාසකම සියලු පරම්පරාවලට පවත්නේය. ඔබ පොළොව පිහිටෙවූසේක, ඒක පවතී.
91. ඔබගේ නියමයන් ලෙස ඒවා අද දක්වා පවතී; කුමක්හෙයින්ද ඒ සියල්ල ඔබට මෙහෙකරුය.
92. ඔබගේ ව්‍යවස්ථාව මාගේ ප්‍රීතිය නොවී නම්, මාගේ විපත්තියේදී මා විනාශවෙන්ට තිබුණේය.
93. ඔබගේ නියෝග කිසිකලක සිහි නැති නොකරන්නෙමි; මක්නිසාද ඔබ එයින් මා ප්‍රාණවත් කළසේක.
94. මම ඔබගේය, මා ගැළෙවුව මැනව; මක්නිසාද ඔබගේ නියෝග සෙවීමි.
95. දුෂ්ටයෝ මා විනාශකරන්ට බලා සිටියෝය; එහෙත් මම ඔබගේ ශික්ෂා කල්පනා කරන්නෙමි.
96. සියලු සම්පූර්ණකමේ කෙළවර දුටිමි; එහෙත් ඔබගේ ආඥාව අති විශාලය.

හිතෝපදේශ 28:2-2
2. දේශයක කැරළිකාරකම නිසා එහි අධිපතියෝ බොහෝ වෙති; එහෙත් තේරුම සහ දැනගැන්ම ඇති මනුෂ්‍යයන් කරණකොට එය බොහෝ කල් පවතින්නේය.

2 තිමෝති 1:1-18
1. ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ තිබෙන ජීවනයේ පොරොන්දුව ලෙස, දෙවියන්වන්සේගේ කැමැත්ත කරණකොටගෙන ක්‍රිස්තුස් යේසුස්වහන්සේගේ ප්‍රේරිතයෙක්ව සිටින පාවුල් නම් මා විසින්,
2. මාගේ ප්‍රේමවන්ත දරුවා වන තිමෝතියස්ට ලියා එවන වග නම්: පියවූ දෙවියන්වහන්සේගෙන්ද අපගේ ස්වාමිවූ ක්‍රිස්තුස් යේසුස්වහන්සේගෙන්ද කරුණාවත් දයාවත් සමාදානයත් වේවා.
3. මම රෑ දාවල් කඩනැතුව මාගේ යාච්ඤාවලදී ඔබ සිහිකරමින්, මුතුන් මුත්තණුවන් පටන් පවිත්‍ර හෘදයසාක්ෂියකින් මා සේවයකරන දෙවියන්වහන්සේට ස්තුතිකරමි.
4. එසේය, ඔබේ කඳුළු සිහිකර, ඔබ තුළ තිබෙන අවංක ඇදහිල්ල සිහියට ගෙන, මම ප්‍රීතියෙන් පූර්ණවන පිණිස ඔබ දකින්ට ආශාවෙමි.
5. ඒ ඇදහිල්ල පළමුකොට ඔබේ ආච්චිවූ ලොයිස් තුළද ඔබේ මෑණියන්වූ එවුනීකි තුළද වාසයකළාය. ඔබ තුළත් එය වාසයකරන බව විශ්වාසකරගන සිටිමි.
6. ඒ කාරණය නිසා මාගේ අත්තැබීම කරණකොටගෙන ඔබ තුළ තිබෙන දෙවියන්වහන්සේගේ දීමනාව පුබුදුකරන හැටියට ඔබට සිහිකරවමි.
7. මක්නිසාද දෙවියන්වහන්සේ අපට දුන්නේ බයාදුකමේ ආත්මයක් නොව බලයෙත් ප්‍රේමයෙත් හික්මවීමෙත් ආත්මයක්ය.
8. එබැවින් අපගේ ස්වාමීන්වහන්සේගේ සාක්ෂිය ගැනවත් උන්වහන්සේගේ හිරකාරයෙක් වන මා ගැනවත් ලජ්ජා නොවී, දෙවියන්වහන්සේගේ බලයේ ප්‍රකාරයට ශුභාරංචිය නිසා මා සමඟ දුක් විඳින්න.
9. උන්වහන්සේ අපේ ක්‍රියාවල ප්‍රකාරයට නොව තමන්වහන්සේගේම අභිප්‍රායේද ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ පූර්ව කාලවලට ප්‍රථමයෙන් අපට දෙනලද කරුණාවේද ප්‍රකාරයට අප ගළවා, ශුද්ධවූ කැඳවීමකින් කැඳවාගත්සේක.
10. මරණය නැතිකර ජීවනයත් අමරණභාවයත් ශුභාරංචිය කරණකොටගෙන එළිදරව්කළාවූ අපගේ ගැළවුම්කාරවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ප්‍රකාශවීමෙන් ඒ කරුණාව දැන් ප්‍රකාශවී තිබේ.
11. ඒ ශුභාරංචියට මම දේශනාකාරයෙක්ද ප්‍රේරිතයෙක්ද ගුරුවරයෙක්ද කොට පත්කරනු ලැබීමි.
12. ඒ කාරණය නිසා මේ දේවලුත් විදීමි. එසේවී නුමුත් මම ලජ්ජා නොවෙමි. මක්නිසාද මා විසින් අදහාගත් තැනන්වහන්සේ කවුද කියා මම දැනගෙන, මා උන්වහන්සේට භාරදී තිබෙන දේ ඒ දවස දක්වා ප්‍රවේසම්කරන්ට උන්වහන්සේ පොහොසත් බව විශ්වාසකරගන සිටිමි.
13. ඔබ මාගෙන් ඇසූ සාරවූ වචනවල ආදෘශය ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ තිබෙන ඇදහිල්ල සහ ප්‍රේමයෙන් යුක්තව අල්ලාගන සිටින්න.
14. ඔබට භාරදුන් යහපත් දෙය අප තුළ වසන ශුද්ධාත්මයාණන්වහන්සේ කරණකොටගෙන ආරක්ෂාකරන්න.
15. පිගෙලස්ද හර්මොගෙනිස්ද ඇතුළුව ආසියාවේ සිටින සියල්ලන් මාගෙන් අහක්ව ගිය බව ඔබ දන්නෙහිය.
16. ඔනේසිපොරස්ගේ පවුලට ස්වාමීන්වහන්සේ කරුණාකරනසේක්වා. මක්නිසාද ඔහු නොයෙක් වර මා ප්‍රාණවත්කළේය, මාගේ යදම් ගැනත් ඔහු ලජ්ජා නූණේය;
17. ඔහු රෝමයට ආකල බොහෝ උත්සාහයෙන් මා සොයා මා සම්බවෙන්ට ආවේය.
18. (ඒ දවසේදී ඔහුට ස්වාමීන්වහන්සේගෙන් දයාව ලැබෙන්ට ස්වාමීන්වහන්සේ සලස්වනසේක්වා.) ඔහු එපීසයෙහිදී කොපමණ දේවලින් සේවයකළේද කියා ඔබ හොඳහැටි දන්නෙහිය.