A A A A A
අවුරුද්දකින් බයිබලය
ඔක්තෝම්බර් 27

ජෙරමියා 39:1-18
1. යෙරුසලම අසුවූ කල්හි, යූදාහි රජවූ ශෙදෙකියාගේ රජකම්කිරීමේ නවවෙනි අවුරුද්දේ දසවෙනි මාසයේදී බබිලෝනියේ රජවූ නෙබුකද්රෙශර් තමාගේ මුළු සේනාව සමඟ යෙරුසලමට විරුද්ධව ඇවිත් ඒක වටලාගත්තේය.
2. ශෙදෙකියාගේ එකොළොස්වෙනි අවුරුද්දේ සතරවෙනි මාසයේ නවවෙනිදා නුවර පවුර බිඳිනලද්දේය.
3. එවිට බබිලෝනියේ රජුගේ සියලු අධිපතීහු එනම් නේර්ගල්-ෂරෙශෙර්ද සම්ගර්-නෙබෝද සර්සෙකිම්ද රබ්-සාරිස්ද නේර්ගල්-ෂරෙශෙර්ද රබ්-මග්ද බබිලෝනියේ රජුගේ අනික් සියලු අධිපතීහුද ඇවිත් මැද දොරටුවේ හිඳගත්තෝය.
4. තවද යූදාහි රජවූ ශෙදෙකියාද සියලු යුද්ධකාරයෝද ඔවුන් දුටු විට, පවුරු දෙකට අතරේ තිබෙන දොරටුවෙන් රජ උයනේ පාරෙන් නුවරින් රාත්‍රියේ පිටත්ව පලාගියෝය. රජද අරබා සමභූමියේ මාර්ගයෙන් නික්ම ගියේය.
5. නුමුත් කල්දිවරුන්ගේ සේනාව ඔවුන් පස්සේ එළවාගන ගොස්, යෙරිකෝවේ සමභූමිවලදී ශෙදෙකියාට ළංවී ඔහු අල්ලා, හමාත් දේශයේ රිබ්ලාහි සිටි බබිලෝනියේ රජවූ නෙබුකද්රෙශර් ළඟට ඔහු ගෙනගියෝය, ඔහුද ඔහු ගැන තීන්දුව දුන්නේය.
6. එවිට බබිලෝනියේ රජ ශෙදෙකියාගේ පුත්‍රයන් රිබ්ලාහිදී ඔහුගේ ඇස් ඉදිරියේ මැරීය. බබිලෝනියේ රජ යූදාහි සියලු උත්තමයන්ද මැරීය.
7. තවද ඔහු ශෙදෙකියාගේ ඇස් අන්ධ කොට, ඔහු බබිලෝනියට ගෙනයන පිණිස විලංගු දැම්මේය.
8. කල්දිවරු රජගෙය සහ සෙනඟගේ ගෙවලුත් ගිනිලා, යෙරුසලමේ පවුරු කඩාදැමුවෝය.
9. තවද රැකවලුන්ගේ අධිපතියාවූ නෙබුසරදාන් නුවර ඉතිරිවුණ සෙනඟද සැඟවී ඇවිත් තමාට එකතුවුණ අයින්ද සෙනඟගෙන් ඉතිරිවුණ අනික් අයින්ද අල්ලා බබිලෝනියට ගෙනගියේය.
10. එහෙත් කිසිවක් නැති දිළිඳු සෙනඟගෙන් සමහරෙක් රැකවලුන්ගේ අධිපතියාවූ නෙබුසරදාන් යූදා දේශයෙහි ඉතිරිකර තබා, එකල්හිම ඔවුන්ට මිදිවතු සහ කෙත්ද දුන්නේය.
11. ඉක්බිති බබිලෝනියේ රජවූ නෙබුකද්රෙශර් යෙරෙමියා ගැන රැකවලුන්ගේ අධිපතියාවූ නෙබුසරදාන්ට අණකරමින්:
12. ඔබ ඔහු රැගෙන, ඔහු හොඳට බලාගෙන, ඔහුට කිසි අනතුරක් නොකොට, ඔහු ඔබට කියන හැටියටම ඔහුට කරන්නැයි කීවේය.
13. මෙසේ රැකවලුන්ගේ අධිපතියාවූ නෙබුසරදාන්ද නෙබුෂශ්බාන්ද රබ්-සාරිස්ද නේර්ගල්-ෂරෙශෙර්ද රබ්-මග්ද බබිලෝනියේ රජුගේ සියලු අධිපතීහුද,
14. යෙරෙමියා හිරගෙයි මළුවෙන් ගෙන්වාගෙන, ඔහු ගෙදරට ගෙනයන පිණිස ෂාපාන්ගේ පුත්‍රවූ අහිකාම්ගේ පුත්‍රයා වන ගෙදලියාට භාරකළෝය. ඔහු සෙනඟ අතරෙහි වාසයකෙළේය.
15. යෙරෙමියා හිරගෙයි මළුවේ හිරඅඩස්සියේ සිටිද්දී ස්වාමීන්වහන්සේ ගේ වචනය ඔහු වෙතට පැමිණ මෙසේ කීය:
16. ඔබ ගොස් කූෂීය එබෙද්-මෙලෙක්ට කථාකොට: ඉශ්‍රායෙල්ගේ දෙවිවූ සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක-බලව, මම මාගේ වචන මේ නුවර පිටට යහපත පිණිස නොව විපත්ති පිණිස පමුණුවමි; ඒ දවසේදී ඒවා ඔබ ඉදිරියෙහි ඉෂ්ටවන්නේය.
17. එහෙත් මම ඒ දවසේදී ඔබ ගළවන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක. ඔබ භයව සිටින මනුෂ්‍යයන් අතට ඔබ අසුවන්නේ නැත.
18. සැබවින් ඔබ මුදාගන්නෙමි, ඔබ කඩුවෙන් වැටෙන්නේ නැත. ඔබ මා කෙරෙහි විශ්වාසකළ බැවින් ඔබේ ප්‍රාණය ඔබට කොල්ලයක් මෙන් ලැබෙන්නේයයි ස්වාමීන්වහන්සේ කියනසේකැයි කියන්නැයි කීවේය.

ජෙරමියා 40:1-16
1. රැකවලුන්ගේ අධිපතියාවූ නෙබුසරදාන් විසින් යෙරෙමියා අල්ලා රාමායෙන් නිදහස්කර හැරිය පසු ස්වාමීන්වහන්සේ ගෙන් ඔහු වෙතට පැමුණුණු වචනයය. බබිලෝනියට ගෙනයන්ට යෙරුසලමෙන්ද යූදා රටෙන්ද අල්ලාගනු ලැබූ සියල්ලන් අතරෙහි ඔහු දම්වැල්වලින් බැඳ සිටියේය.
2. රැකවලුන්ගේ අධිපතියා යෙරෙමියා ගෙන්වාගෙන ඔහුට කථාකොට: ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මේ ස්ථානයට විරුද්ධව මේ විපත්තිය ගැන කීසේක.
3. ස්වාමීන්වහන්සේ ඒක පමුණුවා, උන්වහන්සේ කී ලෙස කළසේක; ඔබ සැම ස්වාමීන්වහන්සේ ට විරුද්ධව පව්කොට, උන්වහන්සේගේ හඬට කීකරු නොවී සිටි නිසා, මේ දෙය ඔබට පැමුණුණේය.
4. ඉතින් ඔබේ අත් බැඳ තිබෙන දම්වැල්වලින් අද ඔබ මුදමි. මා සමඟ බබිලෝනියට එන්ට ඔබට හොඳව පෙනේ නම් එන්න, මම ඔබව හොඳට බලාගන්නෙමි; නුමුත් මා සමඟ බබිලෝනියට එන්ට ඔබට නරකව පෙනේ නම් නවතින්න. මුළු දේශය ඔබ ඉදිරියෙහිය; ඔබට යන්ට හොඳව පහසුව පෙනෙන තැනකට යන්නැයි ඔහුට කීවේය.
5. ඔහු තවත් හැරී ආපසු නොගොස් සිටියදී නෙබුසරදාන් කථාකොට: බබිලෝනියේ රජු විසින් යූදා නුවරවල ආණ්ඩුකාරකමට පත්කළාවූ ෂාපාන්ගේ පුත්‍රයා වන අහිකාම්ගේ පුත්‍රවූ ගෙදලියා ළඟට හැරී ගොස්, ඔබ ඔහු වෙත සෙනඟ අතරෙහි වාසයකරන්න; නැත්නම් ඔබට යන්ට පහසුයයි පෙනෙන කොතනට නුමුත් යන්නැයි කීවේය. තවද රැකවලුන්ගේ අධිපතියා ඔහුට ආහාරත් තෑග්ගකුත් දී ඔහු යන්ට හැරියේය.
6. යෙරෙමියා මිශ්පාට අහිකාම්ගේ පුත්‍රවූ ගෙදලියා ළඟට ගොස්, දේශයේ ඉතිරිව සිටි සෙනඟ අතරේ ඔහු වෙත වාසය කෙළේය.
7. පිටිසර සිටිය සේනාවල අධිපතීහුද ඔවුන්ගේ මිනිස්සුද බබිලෝනියේ රජු අහිකාම්ගේ පුත්‍රවූ ගෙදලියා දේශයේ ආණ්ඩුකාරයා කොට පත්කළ බවත් බබිලෝනියට ගෙන නොගිය දේශයේ ඉතා දිළිඳුවූවන්ගෙන් පුරුෂයන්ද ස්ත්‍රීන්ද දරුවන්ද ඔහුට භාරකළ බවත් ඇසූ විට,
8. නෙතනියාගේ පුත්‍රවූ ඉෂ්මායෙල්ද කාරේයාගේ පුත්‍රයන්වූ යොහානාන් හා යොනාතාන්ද තන්හුමෙත්ගේ පුත්‍රවූ සෙරායාද නෙටොපාතිය ඒපයිගේ පුත්‍රයෝද මයකාතියයාගේ පුත්‍රවූ යෙසනියාද ඔවුන්ගේ මිනිස්සුද මිශ්පාට ගෙදලියා ළඟට ආවෝය.
9. ෂාපාන්ගේ පුත්‍රයා වන අහිකාම්ගේ පුත්‍රවූ ගෙදලියා ඔවුන්ටත් ඔවුන්ගේ මිනිසුන්ටත් දිවුරුම්දෙමින් කථාකොට: කල්දිවරුන්ට සේවයකරන්ට භය නොවෙන්න. දේශයෙහි වසමින් බබිලෝනියේ රජුට සේවයකරන්න, එවිට ඔබ සැමට ශුභසිද්ධවන්නේය.
10. මම වනාහි අප ළඟට එන්නාවූ කල්දිවරුන් ඉදිරිපිට පෙනී සිටින්ට මිශ්පාහි වාසයකරමි. ඔබ සැම මුද්‍රිකපානයද ඉදුණු ඵලද තෙල්ද එකතුකොට ඔබ සැමගේ භාජනවල තබා, ඔබ සැම ලබාගත් නුවරවල වාසයකරන්නැයි කීවේය.
11. එසේම මෝවබ්හිද අම්මොන් පුත්‍රයන් අතරේද ඒදොම්හිද සෑම රටවලද සිටි සියලු යුදෙව්වරු බබිලෝනියේ රජු යූදාවරුන්ගෙන් සමහරෙක් ඉතිරිකර ගිය බවද ඔවුන් කෙරෙහි ෂාපාන්ගේ පුත්‍රයා වන අහිකාම්ගේ පුත්‍රවූ ගෙදලියා පත්කළ බවද ඇසුවෝය.
12. එවිට සියලු යුදෙව්වරු තමුන් පන්නනු ලැබූ සියලු තැන්වලින් හැරී යූදා දේශයේ මිශ්පාට ගෙදලියා ළඟට ඇවිත්, මුද්‍රිකපානයද ඉදුණු ඵලද බොහොමයක් එකතුකරගත්තෝය.
13. තවද කාරේයාගේ පුත්‍රවූ යොහානාන්ද පිටිසර සිටි සේනාවල සියලු අධිපතීහුද මිශ්පාට ගෙදලියා ළඟට ඇවිත්:
14. අම්මොන් පුත්‍රයන්ගේ රජවූ බයලීස් ඔබ මරන්ට නෙතනියාගේ පුත්‍රවූ ඉෂ්මායෙල් එවූ බව ඔබ දන්නවාදැයි ඔහුගෙන් ඇසුවෝය. නුමුත් අහිකාම්ගේ පුත්‍රවූ ගෙදලියා ඔවුන් විශ්වාස කළේ නැත.
15. එකල කාරේයාගේ පුත්‍රවූ යොහානාන් මිශ්පාහිදී ගෙදලියාට රහසින් කථාකොට: මා ගොස් කිසිවෙකු නොදැනුවත්ව නෙතනියාගේ පුත්‍රවූ ඉෂ්මායෙල් මරන පිණිස මට අවසර ලැබේවා. ඔබ වෙතට රැස්වී සිටින සියලු යුදෙව්වන් විසිර ගොස්, මෙසේ ඉතිරිව සිටින යූදාවරුන් නැතිවෙන හැටියට, ඔහු ඔබ මරන්නේ කුමටදැයි කීවේය.
16. නුමුත් අහිකාම්ගේ පුත්‍රවූ ගෙදලියා: ඔබ ඔය දේ නොකළ යුතුය. මක්නිසාද ඔබ ඉෂ්මායෙල් ගැන කියන දේ බොරුයයි කාරේයාගේ පුත්‍රවූ යොහානාන්ට කීවේය.

ගීතාවලිය 119:81-88
81. මාගේ ආත්මය ඔබගේ ගැළවීමට ආශාවෙන් වෑරෙයි. මම ඔබගේ වචනය කෙරෙහි බලාපොරොත්තුවෙමි.
82. ඔබ කවදා මා සනසන සේක්දැයි කියන අතර ඔබගේ වචනය ගැන බලා සිටීමෙන් මාගේ ඇස් ක්ෂයවේ.
83. මක්නිසාද මම දුමෙහි තුබූ සම්භාජනයක් මෙන් වීමි; නුමුත් ඔබගේ පනත් සිහිනැති නොකරමි.
84. ඔබගේ මෙහෙකරුවාගේ දවස් කොපමණද? මට පීඩාකරන්නන් කෙරෙහි ඔබ කවදා යුක්තිය ඉෂ්ටකරනසේක්ද?
85. ඔබගේ ව්‍යවස්ථාව ලෙස නොහැසිරෙන්නාවූ උඩඟු අය මට වළවල් හෑරුවෝය.
86. ඔබගේ ආඥා සියල්ල විශ්වාස කටයුතුය. ඔව්හු අයුතුලෙස මට පීඩාකෙරෙති; මට පිහිටවුව මැනව.
87. ඔව්හු පොළොවේදී සහමුලින්ම වාගේ මා නැතිකළෝය; එහෙත් මම ඔබගේ නියෝග අත් නොහැරියෙමි.
88. ඔබගේ කරුණාගුණය ලෙස මා ප්‍රාණවත්කළ මැනව; එවිට ඔබගේ මුඛයේ ශික්ෂාව පවත්වන්නෙමි.

හිතෝපදේශ 28:1-1
1. කිසිවෙක් එළවාගෙන නොඑන නුමුත් දුෂ්ටයෝ පලායති; එහෙත් ධර්මිෂ්ඨයෝ සිංහයෙකු මෙන් නිර්භීතව සිටිති.

1 තිමෝති 6:1-21
1. වියගහට යටත්වූ යම් පමණ දාසයෝ ඇද්ද, දෙවියන්වහන්සේගේ නාමයටත් ඉගැන්වීමටත් අපහාස නොපැමිණෙන පිණිස ඔව්හු තමුන්ගේ ස්වාමිවරු සියලු ආකාර ගෞරවය ලබන්ට වටින්නෝයයි සිතත්වා.
2. ඇදහිලිවන්ත ස්වාමිවරුන් ඇත්තෝ වනාහි, ස්වාමිවරු සහෝදරයන් නිසා ඔවුන් සුළු නොකර, ප්‍රයෝජන ලබන්නෝ ඇදහිලිවන්තයන්ද ප්‍රේමවන්තයන්ද වන බැවින්, වඩා සතුටින් ඔවුන්ට වැඩකරත්වා. මේ කාරණා උගන්වා අවවාදකරන්න.
3. යමෙක් සාරවූ වචනවලට, එනම් අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වචනවලටත් භක්තිවන්තකමේ හැටියටවූ ධර්මයටත් එකඟ නොවී, වෙනස් ධර්මයක් උගන්වන්නේ නම්,
4. ඔහු කිසිවක් නොදැන, වචන ගැන ප්‍රශ්නකිරීමෙන්ද වාදකිරීමෙන්ද උමතුව අහංකාරව සිටියි; එයින් ඊර්ෂ්‍යාවද විවාදයද අපහාසයද නපුරුයයි සිතීම්ද දූෂ්‍යවුණ සිත් ඇත්තාවූ,
5. සැබෑවෙන් වෙන්ව සිටින්නාවූ භක්තිවන්තකම ලාභයට මාර්ගයකැයි සිතන්නාවූ මනුෂ්‍යයන්ගේ නිරන්තර තරඟද උපදින්නේය.
6. ලත් පමණින් සතුටුවීම සමඟ භක්තිවන්තකම මහත් ලාභයක්මය.
7. මක්නිසාද අප මේ ලෝකයට කිසිවක් ගෙනාවේ නැත, එයින් අපට කිසිවක් ගෙනයන්ටත් බැරිය.
8. තවද කෑම ඇඳීම අපට ඇත්නම් එයින් සතුටුවන්නෙමුව.
9. නුමුත් ධනවත්වන්ට ආශා ඇත්තෝ පරීක්ෂාවකද මලපතකද මනුෂ්‍යයන් නාස්තියෙත් විනාශයෙත් ගිල්වන්නාවූ, අඥානවූ, අන්තරාය සහිත බොහෝ තෘෂ්ණාවලද වැටෙන්නෝය.
10. මක්නිසාද වස්තු තෘෂ්ණාව සියලු ආකාර නපුරේ මුලක්ය. සමහරු ඊට ආලයවී ඇදහිල්ලෙන් මුළාව ගොස්, බොහෝ වේදනාවලින් තුමූම ඇනගත්තෝය.
11. නුමුත්, දෙවියන්වහන්සේගේ මනුෂ්‍යය, ඔබ වනාහි මේවායින් පලාගොස්, ධර්මිෂ්ඨකමද භක්තිවන්තකමද ඇදහිල්ලද ප්‍රේමයද ස්ථිරකමද මොළොක්ගුණයද පස්සේ යන්න.
12. ඇදහිල්ලේ යහපත් සටනෙන් සටන්කොට සදාකාල ජීවනය අල්ලාගන්න, ඊට ඔබ කැඳවනු ලැබ, බොහෝ සාක්ෂිකාරයන් ඉදිරියෙහි යහපත් ප්‍රකාශනය කර සිටියෙහිය.
13. අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ප්‍රකාශවීම දක්වා ඔබ මේ ආඥාව කැලලක්ද දෝෂයක්ද නැතුව පවත්වන ලෙස,
14. සියල්ල ජීවත්කරන්නාවූ දෙවියන්වහන්සේද පොන්තියුස් පිලාත් ඉදිරියෙහි යහපත් ප්‍රකාශනය කළාවූ ක්‍රිස්තුස් යේසුස්වහන්සේද ඉදිරියෙහි ඔබට ආඥාකරමි.
15. ශුභාන්විත එකම අධිපතියාණන්වහන්සේ වන රජවරුන්ගේ රජව, ස්වාමිවරුන්ගේ ස්වාමීව සිටින එකම අමරණීයවූ,
16. කිසිවෙකුට ළඟාවෙන්ට බැරි ආලෝකයෙහි වසන්නාවූ, කිසි මනුෂ්‍යයෙකු විසින් නුදුටුවාවූ, දකින්ටත් බැරිවූ තැනන්වහන්සේ ඒ ප්‍රකාශවීම නියම කාලවලදී පෙන්වනවා ඇත. උන්වහන්සේට ගෞරවයත් සදාකාල පරාක්‍රමයත් වේවා. ආමෙන්.
17. මේ ලෝකයේ ධනවතුන් උඩඟු සිත් ඇත්තන් නොවී, වස්තුවේ අස්ථිරකම කෙරෙහි නොව, සියල්ල භුක්තිවිඳින පිණිස අපට බහුලලෙස දෙන්නාවූ දෙවියන්වහන්සේ කෙරෙහි බලාපොරොත්තුවී සිටින්ටත්,
18. යහපත කරන්ටත්, උතුම් ක්‍රියාවලින් ධනවත් වෙන්ටත්, ත්‍යාගවන්තව, බෙදාදීමට ලැදිව සිටින්ටත්,
19. සැබවින් ජීවනයවූ ඒ ජීවනය අල්ලාගන්නා පිණිස මතු කාලයට යහපත් අත්තිවාරමක් තබාගන්ටත් අණකරන්න.
20. තිමෝතියස්නි, දැනගැන්මයයි බොරුවෙන් කියන දැනගැන්මේ අපහාසිකවූ හිස් දෙඩවිලිවලින්ද විරුද්ධකම්වලින්ද අහක්ව සිට, ඔබට භාරදුන් දෙය ආරක්ෂාකරන්න;
21. සමහරු ඒ දැනගැන්ම තමුන්ට ඇත්තේය කියා ඇදහිල්ලෙන් මුළාවුණේය. අනුග්‍රහය ඔබ සමඟ වේවා.