A A A A A
අවුරුද්දකින් බයිබලය
ඔක්තෝම්බර් 26

ජෙරමියා 37:1-21
1. යෙහෝයාකීම්ගේ පුත්‍රවූ කෝනියා වෙනුවට බබිලෝනියේ රජවූ නෙබුකද්රෙශර් විසින් යූදා දේශයෙහි රජකමට පත්කළ යොෂියාගේ පුත්‍රවූ ශෙදෙකියා රජව රජකම්කෙළේය.
2. නුමුත් ඔහුවත් ඔහුගේ සේවකයෝවත් දේශයේ සෙනඟවත් ස්වාමීන්වහන්සේ අනාගතවක්තෘවූ යෙරෙමියා ලවා කියෙවු උන්වහන්සේගේ වචනවලට ඇහුම්කන් නුදුන්නෝය.
3. එහෙත් ශෙදෙකියා රජ ෂෙලෙමියාගේ පුත්‍රවූ යෙහූකල්ද පූජකවූ මයසේයාගේ පුත්‍රවූ ශෙපනියාද අත: අනේ අප උදෙසා අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ට යාච්ඤාකරන්නැයි අනාගතවක්තෘවූ යෙරෙමියාට කියා ඇරියේය.
4. යෙරෙමියා වනාහි සෙනඟ අතරේ යමින් එමින් සිටියේය. මක්නිසාද ඒතාක්කල් ඔවුන් ඔහු හිරගෙයි දමා තිබුණේ නැත.
5. තවද ඵාරාවෝගේ සේනාව මිසරයෙන් පිටත්ව ආවෝය. යෙරුසලම වටලාගන සිටි කල්දිවරු ඔවුන් ගැන ආරංචි අසා යෙරුසලම කෙරෙන් අහක්ව ගියෝය.
6. එවිට ස්වාමීන්වහන්සේ ගේ වචනය අනාගතවක්තෘවූ යෙරෙමියා වෙතට පැමිණ මෙසේ කීය:
7. ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක-මාගෙන් විභාගකරන්ට ඔබ සැම මා වෙතට එවූ යූදාහි රජුට මෙසේ කියන්න: බලව, ඔබ සැමට උදව්වෙන්ට පිටත්ව ආවාවූ ඵාරාවෝගේ සේනාව තමුන්ගේ දේශය වන මිසරයට හැරීයනවා ඇත.
8. කල්දිවරු හැරී ඇවිත් මේ නුවරට විරුද්ධව යුද්ධකොට, මේක අල්වා, ගින්නෙන් දවාදමනවා ඇත.
9. ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: සැබවින්ම කල්දිවරුන් අප කෙරෙන් යනවා ඇත කියා නොරැවටෙන්න; ඔවුන් යන්නේ නැත.
10. මක්නිසාද ඔබ සැමට විරුද්ධව යුද්ධකරන කල්දිවරුන්ගේ මුළු සේනාවට ඔබ සැම විසින් පහරදී, සැර තුවාල ලත් මනුෂ්‍යයන් පමණක් එක එකා තම තමාගේ කූඩාරමෙහි ඔවුන්ගෙන් ඉතුරුවුණත්, ඔවුන් නැගිට මේ නුවර ගින්නෙන් දවාදමනවා ඇත යනුය.
11. තවද ඵාරාවෝගේ සේනාවට භයින් කල්දිවරුන්ගේ සේනාව යෙරුසලම කෙරෙන් ගිය කල,
12. යෙරෙමියා බෙන්යමින් දේශයේ සෙනඟ අතරේ තමාගේ උරුම කොටස ලබාගන්නා පිණිස යෙරුසලමෙන් පිටත්ව ගියේය.
13. ඔහු බෙන්යමින් දොරටුවට පැමිණි කල, හනනියාගේ පුත්‍රවූ ෂෙලෙමියාගේ පුත්‍රයා වන ඉරියා නම්වූ මුරපළේ මුලාදෑනියෙක් එහි සිටියේය; ඔහු අනාගතවක්තෘවූ යෙරෙමියා අල්ලාගෙන: ඔබ කල්දිවරුන්ට එකතුවෙන්ට යන්නෙහියයි කීය.
14. ඒක බොරුවක්ය; මම කල්දිවරුන්ට එකතුවෙන්ට නොයමියි යෙරෙමියා කීය. නුමුත් ඉරියා යෙරෙමියාට ඇහුම්කන් නොදී, ඔහු අල්වා, අධිපතීන් ළඟට ගෙනගියේය.
15. එවිට අධිපතීහු යෙරෙමියා කෙරෙහි උදහස්වී, ඔහුට තළා, යොනාතාන් ලේකමගේ ගෙයි ඔහු හිරඅඩස්සිකළෝය; මක්නිසාද ඔවුන් ඒක හිරගෙයක් කර තිබුණේය.
16. යෙරෙමියා හිරගෙයි බිම්ගෙවලට පැමිණ, එහි බොහෝ දවස් සිටි පසු, ශෙදෙකියා රජ ඔහු ගෙන්වා:
17. ස්වාමීන්වහන්සේ ගෙන් වචනයක් තිබේදැයි තමාගේ ගෙදරදී රහසින් ඔහුගෙන් ඇසුවේය. යෙරෙමියාද: තිබේයයි කියා-ඔබ බබිලෝනියේ රජුගේ අතට අසුවෙන්නෙහියයි කීවේය.
18. තවද යෙරෙමියා ශෙදෙකියා රජුට කථාකොට: මා හිරගෙයි දැමීමට ඔබටවත් ඔබේ සේවකයන්ටවත් මේ සෙනඟටවත් විරුද්ධව මා විසින් කළ පාපය මොකද?
19. බබිලෝනියේ රජ ඔබටවත් මේ දේශයටවත් විරුද්ධව නොඑන්නේය කියා ඔබ සැමට අනාගතවාක්‍ය කීවාවූ ඔබ සැමගේ අනාගතවක්තෘවරු ඉතින් කොයිද?
20. එබැවින් මාගේ ස්වාමිවූ රජ්ජුරුවෙනි, අනේ මාගේ බස් අසා, මාගේ කන්නලව්ව පිළිගෙන, මා නොනසින පිණිස යොනාතාන් ලේකමගේ ගෙට මා නැවත නෑරිය මැනවයි කීවේය.
21. ශෙදෙකියා රජද, යෙරෙමියා හිරගෙයි මළුවෙහි තබාගන්ටත් රොටි සියල්ලම නුවරින් කම්මුතුවී යන තුරු දවස් පතා රොටියක් රොටි සාදන්නන්ගේ වීථියෙන් ඔහුට ගෙනදෙන්ටත් අණකෙළේය. මෙසේ යෙරෙමියා හිරගෙයි මළුවෙහි සිටියේය.

ජෙරමියා 38:1-28
1. එකල මත්තාන්ගේ පුත්‍රවූ ෂෙපතියාද පෂ්හූර්ගේ පුත්‍රවූ ගෙදලියාද ෂෙලෙමියාගේ පුත්‍රවූ යූකල්ද මල්කියාගේ පුත්‍රවූ පෂ්හූර්ද යෙරෙමියා මුළු සෙනඟට කී වචන ඇසුවෝය.
2. එනම්, ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මේ නුවර නවතින අය කඩුවෙන්ද සාගතයෙන්ද වසංගතයෙන්ද මැරෙන්නෝය. පිටතට කල්දිවරුන් වෙතට යන අය ජීවත්වන්නෝය, මෙසේ ඔහු ජීවත්වන ලෙස ඔහුගේ ප්‍රාණය ඔහුට කොල්ලයක් මෙන් ලැබෙන්නේය.
3. සැබවින් මේ නුවර බබිලෝනියේ රජුගේ සේනාව අතට අසුවී ඔහු ඒක අල්ලාගන්නේයයි ස්වාමීන්වහන්සේ කියනසේක යනුය.
4. අධිපතීහු රජුට කථාකොට: මේ මනුෂ්‍යයා මරනු ලැබේවා; මක්නිසාද මෙසේ මෙබඳු වචන කීමෙන් මොහු නුවර ඉතුරුව සිටින යුද්ධකාරයන්ගේ අත්ද මුළු සෙනඟගේ අත්ද බෙලහීනකරයි. එසේය, මේ මනුෂ්‍යයා මේ සෙනඟට ශුභසිද්ධිය නොව අන්තරායකරන්ට හදන්නේයයි කීවෝය.
5. ශෙදෙකියා රජද: මෙන්න, ඔහු ඔබ සැමගේ අතෙහිය. ඔබ සැමට විරුද්ධව කිසිවක් කරන්ට රජුට බැරියයි කීවේය.
6. එකල ඔව්හු යෙරෙමියා ගෙන හිරගෙයි මළුවෙහි තිබුණු රාජ පුත්‍රවූ මල්කියාගේ වළට ඔහු ලනුවලින් බැස්සෙවුවෝය. වළේ වතුර නොව මඩ තිබුණේය. යෙරෙමියා මඩේ එරුණේය.
7. යෙරෙමියා වළේ දැමූ බව රජගෙදර සිටි නපුංසකයෙක්වූ කූෂීය එබෙද්මෙලෙක් අසා, බෙන්යමින් දොරටුවේ ඉඳගෙන හුන් රජු වෙතට,
8. රජගෙයින් නික්ම ගොස් රජුට කථාකොට:
9. මාගේ ස්වාමිවූ රජ්ජුරුවෙනි, මේ මනුෂ්‍යයන් විසින් වළේ දැමූ අනාගතවක්තෘවූ යෙරෙමියාට ඔවුන් කළ සියල්ල නපුරුය; ඔහු සිටින තැනදී බඩගින්නෙන් මැරෙනවා ඇත. මක්නිසාද නුවර තවත් කෑමට රොටි නැතැයි කීය.
10. එවිට රජ කූෂීය එබෙද්-මෙලෙක්ට අණකර: ඔබ සමඟ මෙතැනින් මනුෂ්‍යයන් තිස්දෙනෙක් කැඳවාගෙන ගොස්, අනාගතවක්තෘවූ යෙරෙමියා මැරෙන්ට පළමුවෙන් ඔහු වළෙන් ගොඩට ගන්නැයි කීවේය.
11. එබෙද්-මෙලෙක්ද ඒ මනුෂ්‍යයන් තමා සමඟ කැඳවාගෙන රජගෙදර ගබඩාව යටට වැද, එතනින් පරණ රෙදි කෑලිද පරණ වැරහැලිදගෙන, ඒවා වළ ඇතුළට යෙරෙමියා ළඟට ලනුවලින් බෑවේය.
12. කූෂීය එබෙද්මෙලෙක්: මේ පරණ රෙදි කෑලි සහ වැරහැලි ඔබේ කිහිලිවල ලනු යට තබාගන්නැයි යෙරෙමියාට කීවේය. යෙරෙමියා එසේ කෙළේය.
13. එවිට ඔව්හු යෙරෙමියා ලනුවලින් ඇද වළෙන් ගොඩට ගත්තෝය. යෙරෙමියා හිරගෙයි මළුවේ සිටියේය.
14. එවිට ශෙදෙකියා රජ අනාගතවක්තෘවූ යෙරෙමියා ස්වාමීන්වහන්සේ ගේ ගෘහයේ තුන්වෙනි දොරටුවට තමා ළඟට ගෙන්වාගෙන, යෙරෙමියාට කථාකොට: මම ඔබෙන් කාරණයක් අසමි; කිසිවක් මාගෙන් නොසඟවන්නැයි කීය.
15. මම ඔබට දැන්නුවොත් සැබවින් ඔබ මා නොමරන්නෙහිද? මා ඔබට දැනමුතුකම් දුන්නත් ඔබ මට ඇහුම්කන් දෙන්නේ නැතැයි යෙරෙමියා ශෙදෙකියාට කීවේය.
16. එවිට ශෙදෙකියා රජ: මා විසින් ඔබ මරන්නේවත් ඔබේ ප්‍රාණය හානිකරන්ට සොයන ඒ මනුෂ්‍යයන් අතට ඔබ පාවාදෙන්නේවත් නැතැයි මේ ප්‍රාණය අපට මවාදුන් ස්වාමීන්වහන්සේ ගේ ජීවිතය ගැන දිවුරමියි කියා, යෙරෙමියාට රහසින් දිවුරුම්දුන්නේය.
17. එකල යෙරෙමියා ශෙදෙකියාට කථාකොට: සේනාවල දෙවියන්වහන්සේ වන ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: ඔබ ඇත්තටම බබිලෝනියේ රජුගේ අධිපතීන් ළඟට පිටතට ගියොත් ඔබේ ප්‍රාණය ජීවත්වන්නේය, මේ නුවරද ගිනිලනු නොලබන්නේය; ඔබත් ඔබේ වංශයත් ජීවත්වන්නෝය.
18. එහෙත් ඔබ බබිලෝනියේ රජුගේ අධිපතීන් ළඟට පිටතට නොගියොත්, මේ නුවර කල්දිවරුන් අතට අසුවන්නේය, ඔව්හු ඒක ගිනිලන්නෝය, ඔබද ඔවුන්ගේ අතින් ගැළවෙන්නේ නැතැයි කීවේය.
19. කල්දිවරුන්ට එකතුවූ යුදෙව්වන් මට සරදම්කරන පිණිස ඔවුන් අතට මා පාවාදේදෝ කියා ඔවුන්ට භයවෙමියි ශෙදෙකියා රජ යෙරෙමියාට කීවේය.
20. එවිට යෙරෙමියා: ඔවුන් ඔබ පාවාදෙන්නේ නැත. මා විසින් ඔබට කියන හැටියට ස්වාමීන්වහන්සේ ගේ හඬට කීකරුවුණ මැනවි; එයින් ඔබට ශුභසිද්ධවී ඔබේ ප්‍රාණය ජීවත්වන්නේය.
21. එහෙත් ඔබ යන්නේ නැතැයි කියතොත්, ස්වාමීන්වහන්සේ මට පෙන්වා තිබෙන වචනය මෙසේය:
22. බලව, යූදාහි රජුගේ ගෙදර ඉතුරුව සිටින සියලු ස්ත්‍රීන් බබිලෝනියේ රජුගේ අධිපතීන් ළඟට ගෙනයනු ලබනවා ඇත, ඔවුන් කථාකොට-ඔබේ හිතමිත්‍රයෝ ඔබ පොළඹා ඔබෙන් ජයගත්තෝය. ඔබේ පාද මඩේ එරුණු විට ඔව්හු අහක්ව ගියෝයයි කියනවා ඇත.
23. ඔබේ සියලු භාර්යාවන්ද දරුවන්ද කල්දිවරුන් ළඟට ගෙනයන්ට යෙදෙනවා ඇත. ඔබත් ඔවුන්ගේ අතින් නොගැළවී බබිලෝනියේ රජු අතට අසුවන්නෙහිය. ඔබ මේ නුවරත් ගිනිලන්ට සලස්වන්නෙහියයි කීවේය.
24. ශෙදෙකියාද: මේ වචන කිසිවෙක් දැන නොගනීවා, එවිට ඔබ මරණයට පත්වන්නේ නැත.
25. නුමුත් මා ඔබ සමඟ කථාකළ බව අධිපතීහු අසා ඔබ ළඟට ඇවිත්: ඔබ රජුට කීවේ මොකද කියාත් රජු ඔබට කීවේ මොකද කියාත් අපෙන් නොසඟවා අපට දන්වන්න, එවිට අපි ඔබ නොමරන්නෙමුයයි ඔබට කීවොත්-
26. මා යොනාතාන්ගේ ගෙයි නොමැරෙන පිණිස එහි මා නැවත නාරින ලෙස මාගේ කන්නලව්ව රජ්ජුරුවන් ඉදිරියෙහි ඔප්පුකෙළෙමියි කියන්නැයි යෙරෙමියාට කීවේය.
27. එවිට සියලු අධිපතීහු යෙරෙමියා ළඟට ඇවිත් ඔහුගෙන් විචාළෝය. රජු අණකළ මේ සියලු වචනවල හැටියට ඔහු ඔවුන්ට දැන්නුවේය. ඔව්හු නිශ්ශබ්දවී ඔහු වෙතින් ගියෝය; මක්නිසාද ඒ කාරණය දැනගන්ට යෙදුණේ නැත.
28. මෙසේ යෙරෙමියා යෙරුසලම අසුවුණ දවස දක්වා හිරගෙයි මළුවේ සිටියේය.

ගීතාවලිය 119:73-80
73. ඔබගේ හස්තයෝ මා සාදා නිර්මිත කළෝය. ඔබගේ ආඥා ඉගෙනගන්නා පිණිස මට නුවණ දුන මැනව.
74. ඔබ කෙරෙහි භය ඇත්තෝ මා දැක සන්තෝෂවන්නෝය. මක්නිසාද මම ඔබගේ වචනය කෙරෙහි බලාපොරොත්තුවීමි.
75. ස්වාමිනි ඔබගේ විනිශ්චයන් ධර්මිෂ්ඨ බවත්, විශ්වාසකමින් ඔබ මට පීඩාකළ බවත් දනිමි.
76. ඔබගේ මෙහෙකරුවාට ඔබ කී වචනය පරිද්දෙන් ඔබගේ කරුණාගුණය මාගේ සැනසීම පිණිස වේවා.
77. මා ජීවත්වන පිණිස ඔබගේ අනුකම්පාව මා කරා පැමිණේවා. මක්නිසාද ඔබගේ ව්‍යවස්ථාව මාගේ ප්‍රීතියය.
78. උඩඟු අය අයුතුලෙස මා හෙළාදැමූ බැවින් ඔව්හු ලජ්ජාවෙත්වා. නුමුත් මම ඔබගේ නියෝග භාවනා කරන්නෙමි.
79. ඔබ කෙරෙහි භය ඇත්තෝ මා වෙතට හැරී එත්වා, එවිට ඔව්හු ඔබගේ ශික්ෂා දැනගන්නෝය.
80. මා ලජ්ජා නොවන පිණිස මාගේ සිත ඔබගේ පනත්වල සම්පූර්ණව පවතීවා.

හිතෝපදේශ 27:23-27
23. ඔබේ එළු බැටළු රැළවල අන්දම හොඳට දැනගන්න; ඔබේ ගැව රැළවලට සිත යොමුකරන්න.
24. මක්නිසාද වස්තු සෑමදාම නොපවතියි; ඔටුන්නවත් පරම්පරාවෙන් පරම්පරාවට පවතින්නේද?
25. තණකොළ පහවී ලා තෘණ පෙනෙන්නේය, කඳුවල පලා ජාති එකතුකරනු ලබන්නේය.
26. බැටළු පැටව් ඔබේ ඇඳුම් පිණිසද එළුවෝ කෙතක අගය පිණිසද වෙති,
27. ඔබේ කෑමටත් ඔබේ ගෙයි වැසියන්ගේ කෑමටත් ඔබේ තරුණියන්ගේ නඩත්තුවටත් සෑහෙන පමණ එළුකිරි ඇතිවන්නේය.

1 තිමෝති 5:1-25
1. මහලු කෙනෙකුට සැර නොකර, පියෙකුට මෙන්ද, යෞවනයන්ට සහෝදරයන්ට මෙන්ද,
2. වැඩිමහල් ස්ත්‍රීන්ට මවුවරුන්ට මෙන්ද, යෞවනියන්ට සියලු ආකාර පිරිසිදුකමින් සහෝදරියන්ට මෙන්ද අවවාදකරන්න.
3. ඇත්තටම අසරණව සිටින වැන්දඹුවන්ට ගෞරවකරන්න.
4. නුමුත් යම් වැන්දඹු ස්ත්‍රියෙකුට දරුවෝවත් මුණුබුරෝවත් සිටිත් නම්, ඔව්හු පළමුකොට තමුන්ගේම පවුල ගැන භක්තිවන්ත ලෙස හැසිරෙමින් ස්වකීය මවුපියන්ට ප්‍රත්‍යුපකාරකරන්ට ඉගෙනගනිත්වා. මක්නිසාද ඒක දෙවියන්වහන්සේ ඉදිරියෙහි ප්‍රසන්නව තිබේ.
5. ඇත්තටම අසරණව සිටින වැන්දඹු තැනැත්තී දෙවියන්වහන්සේ කෙරෙහි බලාපොරොත්තුවෙමින් රෑ දාවල් කන්නලව්වලද යාච්ඤාවලද පවතින්නීය.
6. නුමුත් සැප සෙල්ලමින් පසුවෙන තැනැත්තී ජීවත්ව සිටියදීම මැරී සිටින්නීය.
7. ඔවුන් නිදොස්ව සිටින පිණිස මේ දේත් ආඥා කරන්න.
8. යමෙක් තමාගේ අය, ප්‍රධානකොටම තමාගේම පවුලේ අය, රක්ෂා නොකරන්නේ නම්, ඔහු ඇදහිල්ල එපාකළේය, ඔහු නොඇදහිලිකාරයෙකුට වඩා නරකය.
9. වැන්දඹුවන්ගේ ගණනට ලියවෙන්ට යුතුව සිටින්නී නම්, වයසින් හැටකට අඩු නැත්තාවූ, එකම පුරුෂයෙකුට භාර්යාවව සිටියාවූ,
10. යහපත් ක්‍රියා ගැන ප්‍රසිද්ධවූ, දරුවන් ඇතිකළාවූ, ආගන්තුක සත්කාරකළාවූ, ශුද්ධවන්තයන්ගේ පාද සේදුවාවූ, පීඩා විඳින්නන්ට උපකාරකළාවූ, සියලු ආකාර යහපත් ක්‍රියාවල යෙදී සිටියාවූ තැනැත්තියක්ය.
11. නුමුත් යෞවන වැන්දඹුවන් එපාකරන්න. මක්නිසාද ඔව්හු ක්‍රිස්තුස්වහන්සේට විරුද්ධවූ තෘෂ්ණාවලින් පෙලඹුණාම සරණපාවාගන්ට ආශාවෙති.
12. මෙසේ ඔව්හු තමුන්ගේ පළමු විශ්වාසය අත්හැරිය බැවින් වරදට පැමිණෙති.
13. ඇරත් ඔව්හු ගෙයින් ගෙට ඇවිදිමින් කම්මැළිවෙන්ටත් ඉගෙනගනිති; කම්මැළිවෙනවා පමණක් නොව නුසුදුසු දේ කථාකරමින්, වාචාලියෝද අනුන්ගේ කාරණා සොයන්නෝද වෙති.
14. එබැවින් යෞවන වැන්දඹුවන් විවාහවී දරුවන් බිහිකරනවාටත් ගෙදර ආණ්ඩුකරනවාටත් නින්දා කිරීමට කිසි අවකාශයක් විරුද්ධකාරයාට නොදෙනවාටත් මම කැමැත්තෙමි.
15. මක්නිසාද දැනටත් සමහරු අහක්ව සාතන් පස්සේ ගොස් සිටිති.
16. යම් ඇදහිලිවන්තියෙකුට වැන්දඹු ස්ත්‍රීහු සිටිත් නම්, ඈ ඔවුන්ට උපකාර කරාවා, සභාව විසින් ඇත්තටම අසරණව සිටින වැන්දඹුවන්ට උපකාරකරන පිණිස අනික් අය ඒ සභාවට බර නොවෙත්වා.
17. යහපත්ලෙස ප්‍රධානකම්කරන වැඩිමහල්ලෝ, ප්‍රධානකොට වචනයෙහිත් ඉගැන්වීමෙහිත් වැඩකරන වැඩිමහල්ලෝ, දෙගුණයක් ගෞරව ලබන්ට වටින්නෝයයි ඒත්තුගනු ලබත්වා.
18. මක්නිසාද: ගවයෙක් ගොයම් පාගන විට උගේ කට නොබඳින්න කියාද වැඩකරන්නාට තමාගේ කුලිය ලැබෙන්ට යුතුය කියාද ලියවිල්ලෙහි කියා තිබේ.
19. සාක්ෂිකාරයන් දෙදෙනෙකුගේ නොහොත් තුන්දෙනෙකුගේ සාක්ෂිය පිට මිස නැත්නම් වැඩිමහල්ලෙකුට විරුද්ධව වරද තැබීමක් පිළි නොගන්න.
20. අනික් අය භයවෙන පිණිස, පව්කරන්නන්ට සියල්ලන් ඉදිරියෙහි තරවටුකරන්න.
21. කලින් නිශ්චයකරගනවත් පක්ෂපාත කමින්වත් කිසිවක් නොකර, මේ සියල්ල පවත්වන්ට දෙවියන්වහන්සේද ක්‍රිස්තුස් යේසුස්වහන්සේද තෝරාගත් දේවදූතයන්ද ඉදිරියෙහි ඔබට අණකරමි.
22. ඉක්මන්වී කිසිවෙකු කෙරෙහි අත් නොතබන්න, අනුන්ගේ පාපවලට පංගුකාරයෙක්ද නොවෙන්න.
23. ඔබම පිරිසිදුව සිටින්න. මින්මතු වතුරම බොන්නෙක් නොවී, ඔබේ ආමාශය උදෙසාද නොයෙක්විට පැමිණෙන ඔබේ දුර්වලකම් නිසාද, මුද්‍රිකපානය ටිකක් භාවිතාකරන්න.
24. සමහර මනුෂ්‍යයන්ගේ පාප ඉතා පැහැදිලිය, විනිශ්චයට පළමුවෙන් ඒවා ප්‍රකාශය; සමහරුන්ගේ පාප පසුව එළිදරව්වන්නේය.
25. එසේම පැහැදිලිව ප්‍රකාශවන්නාවූ යහපත් ක්‍රියාද ඇත; එසේ නොවන ඒවාත් සැඟවී තිබෙන්ට බැරිය.