A A A A A
අවුරුද්දකින් බයිබලය
ඔක්තෝම්බර් 24

ජෙරමියා 33:1-26
1. තවද යෙරෙමියා හිරගෙදර මළුවේ හිරඅඩස්සියේ සිටිද්දී ස්වාමීන්වහන්සේ ගේ වචනය දෙවෙනි වර ඔහු වෙතට පැමිණ මෙසේ කීය.
2. ඒක කරන ස්වාමීන්වහන්සේ ද ඒක පිහිටුවීමට ඒක යොදන ස්වාමීන්වහන්සේ ද වූ, යෙහෝවඃ යන නාමය ඇත්තාවූ තැනන්වහන්සේ මෙසේ කියනසේක:
3. මට යාච්ඤාකරන්න, එවිට මම ඔබට උත්තරදී, ඔබ නොදන්න මහත්වූ අමාරු දේ ඔබට පෙන්වන්නෙමි.
4. ගොඩැලි නිසාත් කඩුව නිසාත් බිඳිනු ලබන මේ නුවර ගෙවල් ගැනද යූදාහි රජවරුන්ගේ ගෙවල් ගැනද ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක:
5. කල්දිවරුන්ට විරුද්ධව යුද්ධකරන්ට ඔව්හු එති, නුමුත් ඒ වනාහි මාගේ උදහසින්ද කෝපයෙන්ද මා විසින් මැරුවාවූ, තමුන්ගේ සියලු නපුරුකම් නිසා මේ නුවරින් මාගේ මුහුණ සඟවාගන්ට මට සැලැස්සුවාවූ මනුෂ්‍යයන්ගේ මළකඳන්වලින් ඒවා පිරවීමටය.
6. බලව, මම ඊට සනීපයත් සුවයත් උපදවා, ඔවුන්ට සුවකොට, බොහෝ සමාදානය සහ සැබෑකම ඔවුන්ට ප්‍රකාශ කරන්නෙමි.
7. යූදාවරුන්ගේ වාල්කමත් ඉශ්‍රායෙල්වරුන්ගේ වාල්කමත් මම පහකොට මුලදී මෙන් ඔවුන් ගොඩනගන්නෙමි.
8. ඔවුන් මට විරුද්ධව කළාවූ ඔවුන්ගේ සියලු අයුතුකමෙන් ඔවුන් පිරිසිදුකරන්නෙමි; මට විරුද්ධව පව්කිරීමෙන්ද මට විරුද්ධව ද්‍රෝහිකම්කිරීමෙන්ද කළාවූ ඔවුන්ගේ සියලුම අයුතුකම් ඔවුන්ට කමාකරන්නෙමි.
9. මා විසින් ඔවුන්ට කරන මුළු යහපත ගැන අසන්නාවූ පොළොවේ සියලු ජාතීන් අතරේ මේ නුවර මට ප්‍රීතිමත් නමක්ද ප්‍රශංසාවක්ද ගෞරවයක්ද වන්නේය, මා විසින් ඊට කරදෙන මුළු යහපත නිසාත් සමාදානය නිසාත් ඔව්හු භයව වෙවුලන්නෝය.
10. ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මනුෂ්‍යයෙක්වත් මෘගයෙක්වත් නැතුව ඒක පාළුව තිබේයයි ඔබ සැම කියන මේ ස්ථානය වන මනු‍ෂ්‍යයෙක්වත් වැසියෙක්වත් මෘගයෙක්වත් නැතුව නාස්තිවී තිබෙන යූදාහි නුවරවලත් යෙරුසලමේ වීථිවලත්,
11. නැවත ප්‍රීති හඬද සන්තෝෂ හඬද මනමාලයාගේ හඬද මනමාලීගේ හඬද: සේනාවල ස්වාමීන්වහන්සේ ට ස්තුතිකරන්න, මක්නිසාද ස්වාමීන්වහන්සේ යහපත්සේක, උන්වහන්සේගේ කරුණාව සදාකාලේටම පවත්නේයයි කියන්නන්ගෙත් ස්වාමීන්වහන්සේ ගේ ගෘහයට ස්තුති පූජා ගෙනෙන්නන්ගෙත් හඬද ඇසෙනවා ඇත. මක්නිසාද මම මුලදී මෙන් දේශයේ වාල්කම පහකරන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක
12. සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මනුෂ්‍යයෙක්වත් මෘගයෙක්වත් නැතුව පාළුව තිබෙන මේ ස්ථානයෙහිද එහි සියලු නුවරවලද තමුන්ගේ රැළ ලග්ගවන එඬේරුන්ගේ වාසයක් නැවත වන්නේය.
13. කඳු රටේ නුවරවලද පාත රටේ නුවරවලද දකුණු දිශාවේ නුවරවලද බෙන්යමින් දේශයෙහිද යෙරුසලම අසල ස්ථානවලද යූදාහි නුවරවලද බැටළුවන් ගණන්කරන්නාගේ අත් යටින් රැළවල් නැවත යනවා ඇතැයි ස්වාමීන්වහන්සේ කියනසේක.
14. බලව, ඉශ්‍රායෙල් වංශය ගැනත් යූදා වංශය ගැනත් මා කියා තිබෙන ඒ යහපත් වචනය මා විසින් ඉෂ්ටකරන දවස් පැමිණෙන්නේයයි ස්වාමීන්වහන්සේ කියනසේක.
15. ඒ දවස්වලදීත් ඒ කාලයටත් මම දාවිත්ට ධර්මිෂ්ඨකමේ පැලෑටියක් ලියලවන්නෙමි; උන්වහන්සේ ධර්මිෂ්ඨකමත් යුක්තියත් දේශයෙහි ඉෂ්ටකරනවා ඇත.
16. ඒ දවස්වලදී යූදා ගළවනු ලබන්නේය, යෙරුසලමේ වැසියෝද සුවසේ වාසයකරන්නෝය. ඈට කියනු ලබන්නාවූ නාමය මේය: ස්වාමීන්වහන්සේ අපේ ධර්මිෂ්ඨකමය.
17. මක්නිසාද ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: ඉශ්‍රායෙල් වංශයේ සිංහාසනයෙහි හිදීමට දාවිත්ගෙන් කෙනෙක් කවදාවත් නැතුව නොයන්නේය;
18. එසේම දවන පූජා ඔප්පුකිරීමටත් ආහාර පූජාව දැවීමටත් යාග පූජා නිතරම ඔප්පුකිරීමටත් ලෙවීවරුන් වන පූජකයන්ගෙන් මා ඉදිරියෙහි කෙනෙක් නැතුව නොයන්නේයයි කීසේක.
19. තවද ස්වාමීන්වහන්සේ ගේ වචනය යෙරෙමියා වෙතට පැමිණ: ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක-
20. දවාලත් රාත්‍රියත් ඒවායේ නියම වේලාවලදී නොපැමිණෙන හැටියට දවාල ගැන තිබෙන මාගේ ගිවිසුමත් රාත්‍රිය ගැන තිබෙන මාගේ ගිවිසුමත් ඔබ සැමට අවලංගු කරන්ට පුළුවන් නම්,
21. මාගේ මෙහෙකරුවූ දාවිත්ගේ සිංහාසනයෙහි රජකම්කිරීමට ඔහුට පුත්‍රයෙකු නැතුව යන හැටියට, ඔහු සමඟද මාගේ සේවකයන්වූ පූජකයන් වන ලෙවීවරුන් සමඟද ඇති මාගේ ගිවිසුමත් අවලංගුවන්නේය.
22. අහස් සේනාව ගණන්කරන්ටවත් මුහුදු වැලි මනින්ටවත් බැරුවාක්මෙන් මාගේ මෙහෙකරුවාවූ දාවිත්ගේ වංශයද මට සේවයකරන ලෙවීවරුන්ද වැඩිකරන්නෙමියි කීය.
23. තවත් ස්වාමීන්වහන්සේ ගේ වචනය යෙරෙමියා වෙතට පැමිණ මෙසේ කීය:
24. ස්වාමීන්වහන්සේ තෝරාගත් වංශ දෙක උන්වහන්සේ එපාකළසේක කියා මේ සෙනඟ කී දේ ඔබ කල්පනාකරන්නේ නැද්ද? මෙසේ ඔව්හු මාගේ සෙනඟ සුළුකොට මොව්හු මින්මතු ජාතියක්ව නොසිටින්නෝයයි කියති.
25. ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක-දවාලද රාත්‍රියද ගැන තිබෙන මාගේ ගිවිසුම නොපවතින්නේ නම්, අහසෙත් පොළොවෙත් නියෝග මා විසින් පැනෙවුවේ නැත්නම්,
26. මම යාකොබ්ගේද මාගේ මෙහෙකරුවාවූ දාවිත්ගේද වංශයත් එපාකොට, ඔහුගේ වංශයෙන් කෙනෙක් ආබ්‍රහම්ගේද ඊසාක්ගේද යාකොබ්ගේද වංශය කෙරෙහි ආණ්ඩුකිරීමට නොගෙන සිටින්නෙමි. මක්නිසාද මම ඔවුන්ගේ වාල්කම පහකොට ඔවුන්ට අනුකම්පාකරන්නෙමි.

ජෙරමියා 34:1-22
1. බබිලෝනියේ රජවූ නෙබුකද්නෙශර්ද ඔහුගේ මුළු සේනාවද ඔහුගේ ආණ්ඩුව යටතේ තිබුණු පොළොවේ සියලු රාජ්‍යවල්ද සියලු ජනයන්ද යෙරුසලමට සහ ඊට අයිති සියලු නුවරවලටත් විරුද්ධව යුද්ධකරද්දී ස්වාමීන්වහන්සේ ගෙන් යෙරෙමියා වෙතට පැමිණි වචනයය.
2. ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: ඔබ ගොස් යූදාහි රජවූ ශෙදෙකියාට කථාකොට මෙසේ කියන්න- ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: බලව, මම මේ නුවර බබිලෝනියේ රජු අතට පාවාදෙමි, ඔහු ඒක ගින්නෙන් දවාදමන්නේය.
3. ඔබද ඔහුගේ අතින් නොගැළවී, සැබවින් අසුවී, ඔහු අතට දෙනු ලබන්නෙහිය; ඔබේ ඇස්ද බබිලෝනියේ රජුගේ ඇස් දකිනවා ඇත, ඔහුගේ මුඛයද ඔබේ මුඛය සමඟ කථාකරනවා ඇත, ඔබ බබිලෝනියට පැමිණෙනවා ඇත.
4. එහෙත් යූදාහි ශෙදෙකියා රජ්ජුරුවෙනි, ස්වාමීන්වහන්සේ ගේ වචනය අසන්න. ස්වාමීන්වහන්සේ ඔබ ගැන මෙසේ කියනසේක:
5. ඔබ කඩුවෙන් නොමැරී, සමාදානයෙන් නසින්ෙනහිය; ඔබට පළමුවෙන් සිටි ප්‍රථම රජවරුන් වන ඔබේ පියවරුන් ගැන පැවැත්තුවාවූ දැවීම් මෙන් ඔබ ගැනත් දැවීමක් පවත්වා: අහෝ ස්වාමිනි! කියා ඔබ ගැන විලාපකියනවා ඇත, මක්නිසාද ඒ වචනය කීවේ මමයයි ස්වාමීන්වහන්සේ කියනසේක.
6. බබිලෝනියේ රජුගේ සේනාවද යෙරුසලමටත් ඉතුරුව තිබුණු යූදාහි සියලුම නුවරවලටත් ලාකීෂ්ටත් අසේකාටත් විරුද්ධව යුද්ධකරමින් සිටි කල්හි,
7. අනාගතවක්තෘවූ යෙරෙමියා යූදාහි රජවූ ශෙදෙකියාට මේ සියලු වචන යෙරුසලමේදී කීවේය; මක්නිසාද යූදා නුවරවල් අතරෙන් මේවා පමණක් බලකොටු නුවරවල්ව ඉතුරුව තිබුණේය. නිදහස ලත් දාසයන් වහල්කර ගැනීමට දඬුවම්
8. එක එකා විසින් තම තමාගේ හෙබ්‍රෙව් වැඩකාරයාත් තම තමාගේ හෙබ්‍රෙව් වැඩකාරීත් නිදහස්කර හැර, කිසිවෙක් තමාගේ සහෝදරයින් වන යූදාවරුන්වූ ඔවුන් යටත්කර නොගෙන සිටින හැටියට ඔවුන්ට නිදහස ප්‍රකාශකිරීමට,
9. ශෙදෙකියා රජු යෙරුසලමේ සිටි මුළු සෙනඟ සමඟ ගිවිසුමක් කළ පසු ස්වාමීන්වහන්සේ ගෙන් යෙරෙමියා වෙතට පැමිණි වචනයය.
10. එක එකා තම තමාගේ වැඩකාරයාද තම තමාගේ වැඩකාරීද තවත් යටත්කර නොගෙන ඔවුන් නිදහස්කර හරින හැටියට ගිවිසුමට ඇතුළත්වූ සියලු අධිපතීහුද මුළු සෙනඟද කීකරුවුණෝය; කීකරුවී ඔවුන් යන්ට හැරියෝය.
11. එහෙත් පසුව ඔව්හු හැරී තමුන් විසින් නිදහස්කර හැරිය වැඩකාරයන්ද වැඩකාරියන්ද නැවත ගෙනැවිත් වැඩකාරයන් සහ වැඩකාරියන් කොට බලාත්කාරයෙන් තබාගත්තෝය.
12. එබැවින් ස්වාමීන්වහන්සේ ගේ වචනය ස්වාමීන්වහන්සේ ගෙන් යෙරෙමියා වෙතට පැමිණ මෙසේ කීය.
13. ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මම ඔබ සැමගේ පියවරුන් මිසර දේශය වන වහල්කමේ ගෙයින් ගෙනා දවසේදී ඔවුන් සමඟ ගිවිසුමක් කරමින්-
14. එක එකා තම තමාට විකුණනු ලැබ හය අවුරුද්දක් තමාට වැඩකළාවූ තමාගේ සහෝදරවූ හෙබේරවුවා අවුරුදු හතක කෙළවරේදී තමා වෙතින් නිදහස්කර හැරිය යුතුයයි කීවෙමි. එහෙත් ඔබ සැමගේ පියවරු මට ඇහුම්කන්දුන්නේවත් තමාගේ කන් යොමුකළේවත් නැත.
15. නුමුත් ඔබ සැම අලුතකදී හැරී, එක එකා තම තමාගේ අසල්වාසියාට නිදහස ප්‍රකාශකිරීමෙන් මාගේ ඇස් හමුයෙහි හරිව තිබෙන දේ කොට, මාගේ නාමය තබා තිබෙන ගෘහයෙහි මා ඉදිරියේදී ගිවිසුමක් කළෝය.
16. එහෙත් ඔබ සැම හැරී මාගේ නාමය කෙලහමින්, තමුන්ගේ කැමැත්ත ලෙස යන්ට ඔබ සැම එක එකා නිදහස්කරහැරියාවූ තම තමාගේ වැඩකාරයාද වැඩකාරීද නැවත ගෙනැවිත්, ඔබ සැමට වැඩකාරයන්ද වැඩකාරියන්ද වීමට ඔවුන්ට බලාත්කාරකළහුය.
17. එබැවින් ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: ඔබ සැම එක එකා තම තමාගේ සහෝදරයාටත් තම තමාගේ අසල්වාසියාටත් නිදහස ප්‍රකාශකරන්ට ඔබ සැම මට ඇහුම්කන්දුන්නේ නැත. බලව, කඩුවටත් වසංගතයටත් සාගතයටත් අසුවීමට ඔබ සැමට මම නිදහස ප්‍රකාශකරමි; පොළොවේ සියලු රාජ්‍යයන් අතරෙහි ඔබ සැම ඔබමොබ විසිරයන්ට සලස්වන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.
18. මාගේ ගිවිසුම කඩකළාවූ, වස්සෙක් දෙපළුකොට ඒ පළු අතරෙන් ගොස් මා ඉදිරියෙහි කරගත් ගිවිසුමේ වචන ඉෂ්ට නොකළාවූ මනුෂ්‍යයන් වන
19. යූදාහි අධිපතීන්ද යෙරුසලමේ අධිපතීන්ද නපුංසකයන්ද පූජකයන්ද වස්සාගේ පළු අතරෙන් ගියාවූ දේශයේ මුළු සෙනඟද,
20. ඔවුන්ගේ සතුරන් අතටත් ඔවුන්ගේ ප්‍රාණය හානිකරන්ට සොයන්නන් අතටත් පාවාදෙන්නෙමි. ඔවුන්ගේ මළකඳන් ආකාශයේ පක්ෂීන්ටත් පොළොවේ මෘගයන්ටත් ගොදුරු වන්නේය.
21. මම යූදාහි රජවූ ශෙදෙකියාද ඔහුගේ අධිපතීන්ද ඔවුන්ගේ සතුරන් අතටත් ඔවුන්ගේ ප්‍රාණය හානිකරන්ට සොයන්නන් අතටත් ඔබ සැම වෙතින් අහක්ව ගිය බබිලෝනියේ රජුගේ සේනාව අතටත් පාවාදෙන්නෙමි.
22. බලව, මම අණකොට මේ නුවර කරා නැවත ඔවුන් ගෙනෙන්නෙමි; ඔව්හු ඊට විරුද්ධව යුද්ධකොට, ඒක අල්ලා, ගින්නෙන් දවාදමන්නෝය. වැසියෙක් නොසිටින ලෙස මම යූදාහි නුවරවල් පාළුවක් කරන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේකැයි කීවේය.

ගීතාවලිය 119:57-64
57. මාගේ කොටස නම් ස්වාමීන්වහන්සේ ය. ඔබගේ වචන පවත්වන්නෙමියි කීයෙමි.
58. මාගේ මුළු සිතින් ඔබගේ කරුණාව ඉල්ලීමි. ඔබගේ වචනය පරිද්දෙන් මට කරුණාකළ මැනව.
59. මාගේ මාර්ග කල්පනාකොට ඔබගේ ශික්ෂාවලට මාගේ පාද හරවා ගතිමි.
60. ඔබගේ ආඥා පැවැත්වීමට මම පමානූණෙමි, ඉක්මන්වීමි.
61. දුෂ්ටයන්ගේ රැහැන් මා වටේ එතුණේය; නුමුත් ඔබගේ ව්‍යවස්ථාව සිහිනැතිනොකෙළෙමි.
62. ඔබගේ ධර්මිෂ්ඨ විනිශ්චයන් නිසා මධ්‍යම රාත්‍රියෙහි ඔබට ස්තුතිකරන්ට නැගිටින්නෙමි.
63. මම ඔබ කෙරෙහි භය ඇති සියල්ලන්ගේද ඔබගේ නියෝග පවත්වන්නන්ගේද සමාගම්කාරයෙක්මි.
64. ස්වාමිනි, පොළොව ඔබගේ කරුණාවෙන් පිරී තිබේ. ඔබගේ පනත් මට ඉගැන්නුව මැනව.

හිතෝපදේශ 27:21-21
21. රිදීවලට කෝවයද රන්වලට උදුනද තිබේ; මනුෂ්‍යයෙක් ඔහුට ලැබෙන ප්‍රශංසාවෙන් පරීක්ෂාකරනු ලබයි.

1 තිමෝති 3:1-16
1. යමෙක් සභාවේ නායක තනතුර ලබන්ට ආශාවන්නේ නම් ඔහු යහපත් වැඩකට ආශාවන්නේය යනු විශ්වාසවූ කීමක්ය.
2. එහෙයින් නායක තෙමේ නිර්දෝෂවූ, එක භාර්යාවකට පුරුෂයාවූ, පමණ දැන හැසිරෙන්නාවූ, සිහියද පිළිවෙලක්ද ඇත්තාවූ, ආගන්තුක සත්කාරයට කැමතිවූ, උගන්වන්ට සමර්ථවූ කෙනෙක්ව සිටින්ට ඕනෑය.
3. ඔහු බේබද්දෙක් නොවූ, ගහගන්නෙක් නොවූ, ඉවසිලිවන්තවූ, ඩබරකාරයෙක් නොවූ, වස්තු තෘෂ්ණාව නැත්තාවූ,
4. තමාගේම පවුල හොඳින් හසුරුවාගනිමින්, සියලු ආකාර සන්සුන්කම ඇතුව ස්වකීය දරුවන් හික්මවාගන්නාවූ තැනැත්තෙක්ව සිටිය යුතුය.
5. (නුමුත් යමෙක් තමාගේම පවුල හසුරුවාගන්ට නොදන්නේ නම් ඔහු දෙවියන්වහන්සේගේ සභාව ප්‍රවේසම්කරන්නේ කෙසේද?)
6. ඔහු උඩඟුවී යක්ෂයාට පැමිණි දඬුවමට නොවැටෙන පිණිස අලුත් ගෝලයෙක් නොවිය යුතුය.
7. ඇරත් නින්දාවටද යක්ෂයාගේ මලපතටද නොවැටෙන පිණිස ඔහු පිටත අයවලුන්ගෙන් යහපත් සාක්ෂි ඇතුව සිටින්ට ඕනෑය.
8. එසේම උපස්ථායකයන් සන්සුන්වූ, දෙයාකාර කථා නැත්තාවූ, බොහෝ මුද්‍රිකපානයට ඇලුම් නොවූ, නින්දිත ලාභයට ගිජු නොවූ,
9. ඇදහිල්ලේ රහස පිරිසිදු හෘදයසාක්ෂියකින් දරන්නාවූ අයවල්ව සිටින්ට යුතුය.
10. තවද ඔව්හුද පළමුකොට සෝදිසිකරනු ලැබ, ඉන්පසු නිදොස්නම්, උපස්ථායකයන් මෙන් මෙහෙකරත්වා.
11. එසේම ස්ත්‍රීවරුන් සන්සුන්වූ, කේලාම් නොකියන්නාවූ, පමණ දැන හැසිරෙන්නාවූ, සියල්ලේදී විශ්වාසවූ අයව සිටින්ට ඕනෑය.
12. උපස්ථායකයෝ වනාහි එක එක භාර්යාවකට පුරුෂයෝව, තමුන්ගේ දරුවන්ද තමුන්ගේ ගෙදරවාසීන්ද හොඳහැටි හසුරුවාගන්නෝව සිටිත්වා.
13. මක්නිසාද උපස්ථායකයන්ව යහපත්ලෙස සේවයකළාවූ අය තමුන්ටම උසස් තත්වයක්ද ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ තිබෙන ඇදහිල්ලෙහි බොහෝ නිසැකකමද ලබාගනිති.
14. ඔබට මේ කාරණා මා ලියා එවන්නේ, ඉක්මනින් ඔබ ළඟට එන්ට බලාපොරොත්තුවෙන නුමුත්,
15. මා ප්‍රමාදවුණොත් දෙවියන්වහන්සේගේ ගෘහයෙහි මනුෂ්‍යයන් කෙසේ හැසිරිය යුතුද කියා ඔබ දැනගන්නා පිණිසය. එය ජීවමාන දෙවියන්වහන්සේගේ සභාවත් සැබෑවේ කනුව සහ අත්තිවාරමත්ය.
16. දේවභක්තියේ රහසද නිසැකවම මහත්ය; උන්වහන්සේ මාංසයෙහි ප්‍රකාශවූසේක, ආත්මයෙහි ධර්මිෂ්ඨව ඔප්පුවූසේක, දූතයන්ට පෙනුණුසේක, අන්‍යජාතීන් අතරේ ප්‍රකාශකරනු ලැබූසේක, ලෝකයෙහි අදහනු ලැබූසේක, තේජසට ඔසවාගනු ලැබූසේක.