A A A A A
අවුරුද්දකින් බයිබලය
ඔක්තෝම්බර් 23

ජෙරමියා 31:1-40
1. ඒ කාලයෙහි මම සියලුම ඉශ්‍රායෙල් පවුල්වල දෙවියන්වහන්සේ වන්නෙමි, ඔව්හුද මාගේ සෙනඟ වන්නෝයයි ස්වාමීන්වහන්සේ කියනසේක.
2. ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මා ඉශ්‍රායෙල් පිහිටුවන්ට යන විට කඩුවෙන් ගැළවුණු ඒ සෙනඟට කාන්තාරයේදී කරුණාව ලැබුණේය.
3. ස්වාමීන්වහන්සේ පුරාණයේදී මට ප්‍රකාශවී- එසේය, සදාකාල ප්‍රේමයකින් ඔබට ප්‍රේමකෙළෙමි. එබැවින් දයාබරකමින් ඔබ ඇදගතිමියි කීසේක.
4. එම්බා ඉශ්‍රායෙල් කන්‍යාව, නැවත ඔබ ගොඩනගන්නෙමි, මෙසේ ඔබ ගොඩනගනු ලබන්නෙහිය. ඔබ නැවත ඔබේ රබන්වලින් සැරසී සන්තෝෂවෙන්නන් සමඟ නටමින් යන්නෙහිය.
5. නැවත ඔබ සමාරියේ කඳුවල මිදිවැල් හිටවනවා ඇත. වවන්නෝ ඒවා හිටවා එහි ඵල භුක්ති විඳින්නෝය.
6. මක්නිසාද නැගිටින්න, සියොන්ට, අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ වෙතට නැගීයමුයයි එප්‍රායිම් කඳුවල රැකවලුන් මොරගසන දවසක් පැමිණෙන්නේය.
7. එසේය, ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: යාකොබ් ගැන ප්‍රීතියෙන් ගී කියා ජාතීන්ට ප්‍රධාන ජාතිය ගැන ශබ්දනගන්න. ප්‍රකාශකරමින්ද, වර්ණනාකරමින්ද: ස්වාමීන්වහන්ස, ඔබගේ සෙනඟ වන ඉතුරුව සිටින ඉශ්‍රායෙල්වරුන් ගැළවුව මැනවයි කියන්න.
8. බලව, මම උතුරු දේශයෙන් ඔවුන් ගෙනෙන්නෙමි, ඔවුන් පොළොවේ ඉතා දුරු තැන්වලින් අන්ධයන්ද කොරුන්ද ගර්භිණීන්ද බිහිකරන වේදනා ඇත්තියන්ද ඇතුළුව රැස්කරගන්නෙමි. ඔවුන් මහත් සමූහයක්ව මෙහි හැරීඑනවා ඇත.
9. ඔවුන් ඇඬීමද කන්නලව්ද ඇතුව එනවා ඇත, එලෙස ඔවුන් ගෙනෙන්නෙමි. වතුර ඔයවල් ළඟටද නොපැකිලෙන්නාවූ ඇද නැති මාර්ගයකද ඔවුන් ගෙනයන්නෙමි. මක්නිසාද මම ඉශ්‍රායෙල්ට පියකෙනෙක් වී සිටිමි, එප්‍රායිම්ද මාගේ කුලුඳුලාය. ‍‍‍
10. එම්බා ජාතීනි, ස්වාමීන්වහන්සේ ගේ වචන අසා, දුරස්තර දිවයින්වල දන්වමින් ඉශ්‍රායෙල්වරුන් විසිරෙවු තැනන්වහන්සේ ඔවුන් රැස්කර, එඬේරා තමාගේ රැළ ආරක්ෂාකරන්නැයි ඔවුන් ආරක්ෂාකරනසේකැයි කියන්න.
11. මක්නිසාද ස්වාමීන්වහන්සේ යාකොබ් ගළවා, ඔහුට වඩා බලවත්ව සිටි අයගේ අතින් ඔහු මිදූසේක.
12. ඔව්හු ඇවිත් සියොන්හි උස් ස්ථානය පිට ගී කියන්නෝය, ඔව්හු ධාන්‍යද මුද්‍රික යුසද තෙල්ද බැටළුපැටවුන්ද ගවවස්සන්ද නිසා ස්වාමීන්වහන්සේ ගේ යහපත්කම කරා එක්ව ගලාගන එන්නෝය. ඔවුන්ගේ ආත්මයද ජල සම්පන්න උයනක් මෙන් වන්නේය; ඔව්හු තවත් කිසිසේත් මලානික නොවන්නෝය.
13. එවිට කන්‍යාවද තරුණයෝ සහ මහල්ලෝද එක්ව නටා සන්තෝෂවන්නෝය. මක්නිසාද මම ඔවුන්ගේ වැලපීම ප්‍රීතියට හරවා, ඔවුන්ගේ ශෝකයෙන් පසුව ඔවුන් ප්‍රීතිකරවන්නෙමි.
14. පූජකයන්ගේ ආත්ම තරකමෙන් පූර්ණ කරන්නෙමි, මාගේ සෙනඟද මාගේ යහපත්කමින් තෘප්තියට පැමිණෙන්නෝයයි ස්වාමීන්වහන්සේ කියනසේක.‍‍‍
15. ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: වැලපීමද දුක්ඛිත ඇඬීමද සහිතවූ හඬක් රාමාහි ඇසෙයි, රාඛෙල් ඇගේ දරුවන් ගැන අඬමින් ඔවුන් නැති නිසා ඇගේ දරුවන් ගැන සැනසෙන්ට අකමැතිව සිටියි.
16. ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: ඔබේ හඬ ඇඬීමෙන්ද ඔබේ ඇස් කඳුළුවලින්ද වලක්වාගන්න. මක්නිසාද ඔබේ ක්‍රියාවට විපාක ලැබෙන්නේය; ඔවුන් සතුරන්ගේ දේශයෙන් හැරීඑනවා ඇතැයි ස්වාමීන්වහන්සේ කියනසේක.
17. ඔබේ මතු කාලය ගැන බලාපොරොත්තුවක් තිබේ; ඔබේ දරුවෝ තමුන්ගේ සීමාවට හැරීඑන්නෝයයි ස්වාමීන්වහන්සේ කියනසේක.
18. ඔබ මට දඬුවම්කළසේක, මමද වියගහට පුරුදු නැති නාම්බෙකු මෙන් දඬුවම් ලැබුවෙමි. මා හැරෙන පිණිස මා හැරවුව මැනව; මක්නිසාද ඔබම මාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ය.
19. සැබවින්ම මම හැරුණායින් පසු මම පශ්චාත්තාපවීමි; දැනමුතුවුණායින් පසු මම කළවයට ගසාගතිමි. මම මාගේ යෞවන කාලයේ නින්දාව දරාගන ආ බැවින් ලජ්ජාවට පැමුණුණෙමි. එසේය, වියවුල්වීමියි එප්‍රායිම් විලාපකියනවා ඇසීමි.
20. එප්‍රායිම් මාගේ ප්‍රිය පුත්‍රයාද? ඔහු ප්‍රසන්නවූ දරුවෙක්ද? මක්නිසාද මම ඔහුට විරුද්ධව කථාකරන සෑම විටම ඔහු නැවත සිහිකරමි. එබැවින් මාගේ හෘදය ඔහු ගැන කම්පාවන්නේය; සැබවින්ම ඔහුට අනුකම්පාකරන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.
21. ඔබට මං සලකුණු හිටවා, ඔබට මගපෙන්වන කණු සාදාගෙන, මහමාවත වන, ඔබ ගිය මාර්ගය දෙස ඔබේ සිත යොමුකරන්න. ඉශ්‍රායෙල් කන්‍යාව, හැරීඑන්න, ඔබේ මේ නුවරවලට හැරීඑන්න.
22. අහෝ පසුබටවන දුව, ඔබ කොපමණ කල් ඔබමොබ යන්නෙහිද? මක්නිසාද ස්වාමීන්වහන්සේ පොළොවෙහි අමුතු දෙයක් මවා තිබේ: ස්ත්‍රිය පුරුෂයා කෙරෙහි ඇලුම්ව බැඳෙන්නීය.
23. ඉශ්‍රායෙල්ගේ දෙවිවූ සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මා විසින් ඔවුන්ගේ වාල්කම පහකළ කල්හි යූදා දේශයෙහිද එහි නුවරවලද මනුෂ්‍යයන්- එම්බා ධර්මිෂ්ඨකමේ වාසභූමිය, එම්බා ශුද්ධකමේ කන්ද, ඔබට ස්වාමීන්වහන්සේ ආශීර්වාදකරනසේක්වා යන කීම නැවත භාවිතාකරනවා ඇත.
24. එතැන්හි යූදා සහ එහි සියලු නුවරවල මනුෂ්‍යයෝද ගොවියෝද සිවුපා රැළ කැටුව යන්නෝද එක්ව වාසයකරන්නෝය.
25. මක්නිසාද මම විඩාවූ ආත්මය ප්‍රාණවත්කෙළෙමි, ශෝකවෙන සියලු ආත්මද සෑහීමට පැමිණවීමි.
26. එවිට මම පිබිද බැලුවෙමි; මාගේ නින්ද මට මිහිරිව තිබුණේය.
27. බලව, මම ඉශ්‍රායෙල් වංශයද යූදා වංශයද නැමති කෙත්වල මනුෂ්‍ය බීජ සහ මෘග බීජද වපුරන දවස් පැමිණෙන්නේයයි ස්වාමීන්වහන්සේ කියනසේක.
28. තවද මම උදුරන්ටත් කඩාදමන්ටත් හෙළාදමන්ටත් නැතිකරන්ටත් විපත්ති පමුණුවන්ටත් ඔවුන් ගැන පිබිද සිටියාක්මෙන්ම ගොඩනගන්ටත් හිටවන්ටත් ඔවුන් ගැන පිබිද සිටින්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.
29. පියවරුන් ඇඹුල් මිදිඵල කෑවෝය, දරුවන්ගේ දත් හිරිවැටී තිබේයයි ඒ දවස්වලදී තවත් කියනු නොලැබේ.
30. නුමුත් එකිනෙකා තම තමාගේම අයුතුකම නිසා නසින්නේය. යමෙක් ඇඹුල් මිදිඵල කන්නේද ඔහුගේම දත් හිරිවැටෙන්නේය.
31. බලව, මා විසින් ඉශ්‍රායෙල් වංශය සහ යූදා වංශය සමඟ අලුත් ගිවිසුමක් කරන දවස් පැමිණෙන්නේයයි ස්වාමීන්වහන්සේ කියනසේක.
32. ඒ වනාහි මිසර දේශයෙන් ඔවුන්ගේ පියවරුන් ගෙනෙන පිණිස මා ඔවුන්ගේ අත ඇල්ලූ දවසේදී ඔවුන් සමඟ කළ ගිවිසුම වාගේ නොවේය; මම ඔවුන්ට ස්වාමිපුරුෂයෙක්ව සිටියෙම් නුමුත් ඔව්හු ඒ මාගේ ගිවිසුම කඩකළෝයයි ස්වාමීන්වහන්සේ කියනසේක.
33. නුමුත් ඒ දවස්වලට පසු මා ඉශ්‍රායෙල් වංශය සමඟ කරන ගිවිසුම මේයයි ස්වාමීන්වහන්සේ කියනසේක. මම මාගේ ව්‍යවස්ථාව ඔවුන් තුළම තබා, ඒක ඔවුන්ගේ සිත්වල ලියන්නෙමි; මම ඔවුන්ගේ දෙවියන්වහන්සේ වන්නෙමි, ඔව්හුද මාගේ සෙනඟ වන්නෝය.
34. ස්වාමීන්වහන්සේ හැඳිනගන්නැයි කියා එකිනෙකා තම තමාගේ අසල්වාසියාටද සහෝදරයාටද තවත් නූගන්වන්නේය. මක්නිසාද ඔවුන්ගෙන් කුඩා අය පටන් ලොකු අය දක්වා සියල්ලෝම මා හැඳිනගන සිටින්නෝය. එසේය, මම ඔවුන්ගේ අපරාධය ක්ෂමාකරන්නෙමි, ඔවුන්ගේ පාපයද තවත් සිහි නොකරන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.
35. දවාලෙහි එළියක් පිණිස ඉරද, රාත්‍රියෙහි එළියක් පිණිස සඳ සහ තාරකාවල නියෝගද දෙන්නාවූ, මුහුදේ රැළ ඝෝෂාකරන ලෙස එය කලඹන්නාවූ, සේනාවල ස්වාමීන්වහන්සේ යන නාමය ඇත්තාවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක.
36. ඒ නියෝග මා ඉදිරියෙන් පහවුණොත් ඉශ්‍රායෙල් වංශයත් කවදාවත් මා ඉදිරියෙහි ජාතියක්ව නොසිටින ලෙස පහවෙනවා ඇතැයි ස්වාමීන්වහන්සේ කියනසේක.
37. ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: යමෙකුට ඉහළ අහස මනින්ටත් පහත පොළොවේ අත්තිවාරම් සොයා දැනගන්ටත් පුළුවන් නම් මමත් මුළු ඉශ්‍රායෙල් වංශය ඔවුන් කළ සියල්ල නිසා එපාකරන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.
38. බලව, හනනෙල්ගේ කොත පටන් කොනේ දොරටුව දක්වා ස්වාමීන්වහන්සේ උදෙසා නුවර ගොඩනගනු ලබන දවස් පැමිණෙන්නේය.
39. මනින ලනුව තවත් දුරට ගාරෙබ් හෙල දක්වා කෙළින් ඉස්සරහට ඇදී ගොවාය දක්වා වටේට පැමිණෙයි.
40. මළකඳන් සහ අළු දමන මුළු මිටියාවතද, කිද්‍රොන් ඔය දක්වාද, නැගෙනහිරට තිබෙන අශ්ව දොරටුවේ කොන දක්වාද සියලු පිට්ටනි ස්වාමීන්වහන්සේ ට ශුද්ධවන්නේය; එය තවත් සදාකාලේටම උදුරනු නොලබන්නේය, හෙළාදමනු නොලබන්නේයයි ස්වාමීන්වහන්සේ කියනසේක.

ජෙරමියා 32:1-44
1. යූදාහි රජවූ ශෙදෙකියාගේ දසවෙනි අවුරුද්ද වන නෙබුකද්රෙශර්ගේ දහඅටවෙනි අවුරුද්දේදී ස්වාමීන්වහන්සේ ගෙන් යෙරෙමියා වෙතට පැමිණි වචනයය.
2. ඒ කාලයේ බබිලෝනියේ රජුගේ සේනාව යෙරුසලම වටලාගන සිටියාය. අනාගතවක්තෘවූ යෙරෙමියා යූදාහි රජුගේ ගෙදර පිහිටි හිරගෙයි මළුවේ හිරඅඩස්සිවී සිටියේය.
3. මක්නිසාද යූදාහි රජවූ ශෙදෙකියා ඔහුට කථාකොට: ඔබ අනාගතවාක්‍ය කියමින්- ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: බලව, මම මේ නුවර බබිලෝනියේ රජුගේ අතට භාරදෙන්නෙමි, ඔහුද ඒක අල්වා ගන්නේය;
4. යූදාහි රජවූ ශෙදෙකියාද කල්දිවරුන්ගේ අතින් නොගැළවී, සැබවින්ම බබිලෝනියේ රජුගේ අතට පාවාදෙනු ලැබ, ඔහුගේ මුඛය මොහුගේ මුඛය සමඟ කථාකරන්නේය, ඔහුගේ ඇස් මොහුගේ ඇස් දකින්නේය.
5. ඔහු ශෙදෙකියා බබිලෝනියට ගෙන යන්නේය, මා මොහු දෙස බලා විමසන තුරු මොහු එහි සිටිනවා ඇතැයි ස්වාමීන්වහන්සේ කියනසේක. ඔබ සැම කල්දිවරුන්ට විරුද්ධව යුද්ධකළත් ඔබ සැමට ජය නොලැබෙන්නේය කියා ස්වාමීන්වහන්සේ කියනසේකැයි ඔබ කියන්නේ මක්නිසාදැයි කියා ඔහු හිර අඩස්සිකෙළේය.
6. තවද යෙරෙමියා කථාකොට: ස්වාමීන්වහන්සේ ගේ වචනය මා වෙතට පැමිණ-
7. බලව, ඔබේ පියාගේ සහෝදරයාවූ ෂල්ලුම්ගේ පුත්‍රයා වන හනමෙල් ඔබ ළඟට ඇවිත්: අනාතෝත්හි තිබෙන මාගේ කෙත මිලේටගන්න. මක්නිසාද ඒක මිලේටගන්නා පිණිස මිදීමේ බලය තිබෙන්නේ ඔබටය කියා කියන්නේයයි කීවේය.
8. මෙසේ මාගේ පියාගේ සහෝදරයාගේ පුත්‍රවූ හනමෙල් ස්වාමීන්වහන්සේ ගේ වචනය ලෙස හිරගෙයි මළුවට මා ළඟට ඇවිත්: අනේ බෙන්යමින් දේශයේ අනාතෝත්හි තිබෙන මාගේ කෙත මිලේටගන්න. මක්නිසාද උරුමයේ අයිතිවාසිකම තිබෙන්නේ ඔබටය, නිදහස්කරගැනීමත් ඔබට අයිතිය; ඔබම ඒක මිලේට ගන්නැයි කීය. එවිට මෙය ස්වාමීන්වහන්සේ ගේ වචනය බව දැනගතිමි.
9. මම වනාහි අනාතෝත්හි තිබෙන කෙත මාගේ පියාගේ සහෝදරයාගේ පුත්‍රවූ හනමෙල්ගෙන් මිලේටගෙන, එහි මිල වන රිදී ෂෙකෙල් දහහතක් ඔහුට කිරාදුනිමි.
10. මම ඔප්පුව අත්සන් කර, මුද්‍රාකොට, සාක්ෂිකාරයන් කැඳවාගෙන, මිල ඔහුට තරාදියෙන් කිරාදුනිමි.
11. මම ව්‍යවස්ථාව සහ සිරිත ලෙස මුද්‍රාකර තිබුණු විකුණුම්-ඔප්පුවත් නොවසා තිබුණු එකත් රැගෙන,
12. මාගේ පියාගේ සහෝදරයාගේ පුත්‍රවූ හනමෙල් ඉදිරියේදීද හිරගෙයි මළුවේ හිඳගන උන්නාවූ සියලු යුදෙව්වන් ඉදිරියේදීද විකුණුම්-ඔප්පුව මාසේයාගේ පුත්‍රයා වන නේරියාගේ පුත්‍රවූ බාරුක්ට දුනිමි.
13. මම ඔවුන් ඉදිරියේදී බාරුක්ට අණකොට:
14. ඉශ්‍රායෙල්ගේ දෙවිවූ සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: ඔබ මේ ඔප්පු එනම් මුද්‍රාකර තිබෙන මේ විකුණුම්-ඔප්පුවත් නොවසා තිබෙන මේ ඔප්පුවත් රැගෙන බොහෝ කල් පවතින පිණිස මැටි භාජනයක තබන්න.
15. මක්නිසාද ගෙවල්ද කෙත්ද මිදිවතුද නැවත මේ දේශයෙහි මිලේටගන්නවා ඇත කියා ඉශ්‍රායෙල්ගේ දෙවිවූ සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේකැයි කීවෙමි.
16. මා විසින් විකුණුම්-ඔප්පුව නේරියාගේ පුත්‍රවූ බාරුක්ට භාරදුන් පසු මම ස්වාමීන්වහන්සේ ට මෙසේ යාච්ඤා කෙළෙමි:
17. අහෝ ස්වාමිවූ දෙවියන්වහන්ස, ඔබගේ මහත් බලයෙන්ද දිගුකළ ඔබගේ හස්තයෙන්ද ඔබ අහසත් පොළොවත් මැවූසේක; ඔබට බැරිවූ කිසි දෙයක් නැත්තේය.
18. ඔබවහන්සේ දහස් ගණන් මිනිසුන්ට කරුණාව පෙන්වනසේක, ඔබ පියවරුන්ගේ අයුතුකම ගැන ඔවුන්ට පසු ඔවුන්ගේ දරුවන්ගේ ළයට ප්‍රතිඵලද දෙනසේක. ඔබ මහත්වූ, පරාක්‍රමවත්වූ, සේනාවල ස්වාමීන්වහන්සේය යන නාමය ඇත්තාවූ,
19. මන්ත්‍රණයෙන් උතුම්ව ක්‍රියාවෙන් බලවත්ව සිටින්නාවූ දෙවියන්වහන්සේය. එකිනෙකාට තම තමාගේ මාර්ග ලෙසද ක්‍රියාවල ඵල ලෙසද දෙන පිණිස ඔබගේ ඇස් මනුෂ්‍ය පුත්‍රයන්ගේ සෑම මාර්ග දෙස ඇරී තිබේ.
20. ඔබ අද දවස දක්වාම මිසර දේශයෙහිත් ඉශ්‍රායෙල්වරුන්ද වෙන මනුෂ්‍යයන්ද අතරෙහිත් ලකුණු සහ ආශ්චර්යයන් තබා, අද තිබෙන ලෙස ඔබට නාමයක් උපදවාගත්සේක.
21. ඔබ ලකුණුවලින්ද ආශ්චර්යවලින්ද බලවත් අතකින්ද දිගුකළ හස්තයකින්ද මහත් භයානකකමකින්ද ඔබගේ සෙනඟවූ ඉශ්‍රායෙල් මිසර දේශයෙන් පිටතට ගෙනැවිත්,
22. ඔවුන්ට දෙන ලෙස ඔබ ඔවුන්ගේ පියවරුන්ට දිවුළාවූ, කිරිද මීපැණිද ගලායන දේශයක් වන මේ දේශය ඔවුන්ට දුන්සේක;
23. ඔව්හුද ඇතුල්වී ඒක හිමිකරගත්තෝය; නුමුත් ඔවුන් ඔබගේ හඬට කීකරුවුණේවත් ඔබගේ ව්‍යවස්ථාවේ ප්‍රකාරයට හැසුරුණේවත් ඔවුන්ට කරන්ට ඔබ අණකළ සියල්ල කළේවත් නැත. ඉන්නිසා ඔබ මේ මුළු විපත්තිය ඔවුන්ට පැමිණෙවුසේක.
24. මෙන්න, නුවර අල්ලාගැනීමට ගොඩැලි ඊට ළංවී තිබේ; නුවරද කඩුවත් සාගතයත් වසංගතයත් කරණකොටගෙන ඊට විරුද්ධව යුද්ධකරන කල්දිවරුන් අතට දී තිබේ. ඔබ කී දේ සිද්ධවී තිබේ; මෙන්න, ඔබ ඒක දක්නාසේක.
25. එහෙත්, අහෝ ස්වාමිවූ දෙවියන්වහන්ස, නුවර කල්දිවරුන් අතට භාරදී තිබෙන නුමුත්: කෙත මිලේටගෙන සාක්ෂිකාරයන් කැඳවාගන්න කියා ඔබ මට කීසේකැයි කීවෙමි.
26. එවිට ස්වාමීන්වහන්සේ ගේ වචනය යෙරෙමියා වෙතට පැමිණ:
27. බලව, මම මාංසමයවූ සියල්ලන්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමීන්වහන්සේ ය. මට කරන්ට අමාරුවූ කිසි දෙයක් ඇද්ද?
28. එබැවින් ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: බලව, මම මේ නුවර කල්දිවරුන් අතටත් බබිලෝනියේ රජවූ නෙබුකද්රෙශර් අතටත් භාරදෙමි, ඔහු ඒක අල්ලාගන්නේය.
29. මේ නුවරට විරුද්ධව යුද්ධකරන කල්දිවරු ඇවිත් මේ නුවර ගිනිලා, ඒකත්, මා කෝපකරවන ලෙස යම් යම් ගෙවල පියසි උඩ බාල්ට සුවඳ දුම් ඔප්පුකරන්ටත් අන් දෙවිවරුන්ට පාන පූජා වගුරුවන්ටත් යෙදුණේද, ඒ ගෙවලුත් දවා දමන්නෝය.
30. මක්නිසාද ඉශ්‍රායෙල් පුත්‍රයන් සහ යූදා පුත්‍රයන්ද තමුන්ගේ යෞවන කාලයේ පටන් කරගන ආවේ මාගේ ඇස් හමුයෙහි නපුරුව තිබෙන දේවල් පමණක්ය. එසේය, ඉශ්‍රායෙල් පුත්‍රයන් තමුන්ගේ අත්වල ක්‍රියාවෙන් මට කළේ මා කෝපකරවන දේ පමණක්යයි ස්වාමීන්වහන්සේ කියනසේක.
31. මක්නිසාද මේ නුවර මා ඉදිරියෙන් පහකරවන හැටියට ඒක ගොඩනැගූ දා පටන් අද දක්වා මාගේ උදහසත් මාගේ කෝපයත් ඉපදවීමට හේතුවක්ව තිබුණේය.
32. එසේ වන්නේ මා කෝපකරවන හැටියට ඉශ්‍රායෙල් පුත්‍රයන්ද යූදා පුත්‍රයන්ද ඔවුන්ගේ රජවරුන්ද ඔවුන්ගේ අධිපතීන්ද ඔවුන්ගේ පූජකයන්ද ඔවුන්ගේ අනාගතවක්තෘවරුන්ද යූදාහි මනුෂ්‍යයන්ද යෙරුසලමේ වැසියන්ද කළාවූ ඔවුන්ගේ සියලු නපුරුකම් නිසාය.
33. ඔව්හු මට මුහුණ නොව පිට පෑවෝය. මා අලුයම් වේලාවේ පටන්ම ඔවුන්ට ඉගැන්වූ නුමුත් ඔව්හු අසා දැනමුතුකම පිළිනොගත්තෝය.
34. මාගේ නාමය තබා තිබෙන ගෘහය අපවිත්‍ර කරන්ට ඔව්හු තමුන්ගේ පිළිකුල් දේවල් එහි තැබුවෝය.
35. ඔව්හු තමුන්ගේ පුත්‍රයන්ද දූවරුන්ද මොලෙක්ට දවා කැපකරන්ට හින්නොම් පුත්‍රයාගේ මිටියාවතෙහි තිබෙන බාල්ගේ උස් තැන් ගොඩනැගුවෝය. එසේ යූදාවරුන් විසින් පව්කරන හැටියට ඒ පිළිකුල කිරීමට මා ඔවුන්ට අණකළේවත් එය මාගේ සිතට පැමුණුණේවත් නැත.
36. එහෙත් දැන්: කඩුවෙන්ද සාගතයෙන්ද වසංගතයෙන්ද බබිලෝනියේ රජු අතට දී තිබේයයි ඔබ සැම කියන මේ නුවර ගැන ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක:
37. බලව, මාගේ උදහසින්ද මාගේ කෝපයෙන්ද තද අමනාපයෙන්ද මා විසින් ඔවුන් පන්නා දැමූ සියලු රටවලින් ඔවුන් රැස්කරගෙන, නැවත මේ ස්ථානයට පමුණුවා, සුවසේ වාසයකරන්ට සලස්වන්නෙමි.
38. ඔව්හු මාගේ සෙනඟ වන්නෝය, මමද ඔවුන්ගේ දෙවියන්වහන්සේ වන්නෙමි.
39. ඔවුන්ටත් ඔවුන්ට පසු ඔවුන්ගේ දරුවන්ටත් ශුභසිද්ධවෙන පිණිස සෑම කල්හිම මා කෙරෙහි භයවීමට එක සිතක්ද එක මාර්ගයක්ද ඔවුන්ට දෙන්නෙමි.
40. මම ඔවුන් වෙතින් අහකට නොහැරී, ඔවුන්ට යහපත කරන හැටියට ඔවුන් සමඟ සදාකාල ගිවිසුමක් කොට, ඔවුන් මා වෙතින් අහක්ව නොයන ලෙස මා කෙරෙහි භයවීම ඔවුන්ගේ සිත්වල තබන්නෙමි.
41. එසේය, ඔවුන්ට යහපත කිරීම පිණිස මම ඔවුන් කෙරෙහි ප්‍රීතිමත්වන්නෙමි, සැබවින් මාගේ මුළු සිතින්ද මුළු ආත්මයෙන්ද මේ දේශයෙහි ඔවුන් පිහිටුවන්නෙමි.
42. මක්නිසාද ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මා විසින් මේ සෙනඟ පිටට මහත්වූ මේ මුළු විපත්තිය පමුණුවා තිබෙන්නාක්මෙන් මම ඔවුන්ට පොරොන්දුවූ මුළු යහපතත් ඔවුන් පිටට පමුණුවන්නෙමි.
43. මනුෂ්‍යයෙක්වත් මෘගයෙක්වත් නැතුව ඒක පාළුවක් වී කල්දිවරුන් අතට දී තිබේයයි ඔබ සැම කියන මේ දේශයෙහි කෙත් මිලේට ගනු ලබන්නේය.
44. මනුෂ්‍යයෝ බෙන්යමින් දේශයෙහිත් යෙරුසලම අසල ස්ථානවලත් යූදාහි නුවරවලත් කඳු රටේ නුවරවලත් පාත රටේ නුවරවලත් දකුණු දිශාවේ නුවරවලත් කෙත් මිලේටගෙන, ඔප්පු අත්සන්කොට, මුද්‍රකර, සාක්ෂිකාරයන් කැඳවාගන්නෝය. මක්නිසාද මම ඔවුන්ගේ වාල්කම පහකරන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේකැයි කීයේය.

ගීතාවලිය 119:49-56
49. බලාපොරොත්තුවෙන්ට ඔබ මට සැලැස්වූ හෙයින් ඔබගේ මෙහෙකරුවාට කී වචනය සිහිකළ මැනව.
50. මාගේ දුකේදී මාගේ සැනසීම නම් මේය. මක්නිසාද ඔබගේ වචනය මා ප්‍රාණවත්කෙළේය.
51. උඩඟු අය මට අතිශයින් අපහාස කළෝය. එහෙත් මම ඔබගේ ව්‍යවස්ථාවෙන් ඉවත නොගියෙමි.
52. ස්වාමිනි, පුරාණයේ සිට තිබුණ ඔබගේ විනිශ්චයන් සිහිකොට සැනසීම ලබාගතිමි.
53. ඔබගේ ව්‍යවස්ථාව අත්හරින දුෂ්ටයන් නිසා ඇවිළෙන කෝපය මා පිටට පැමිණියේය.
54. මාගේ නවාතැන් ගෙයිදී ඔබගේ පනත් මාගේ ගායනා විය.
55. ස්වාමිනි, රාත්‍රියේදී ඔබගේ නාමය සිහිකොට ඔබගේ ව්‍යවස්ථාව පැවැත්වීමි.
56. මෙය මට ලැබුණේ මා ඔබගේ නියෝග රක්ෂාකළ නිසාය.

හිතෝපදේශ 27:20-20
20. ෂෙයෝලද අබද්දොනද කිසිකලක තෘප්තියට පැමිණෙන්නේ නැත; මනුෂ්‍යයාගේ ඇස්ද කිසිකලෙක තෘප්තියට නොපැමිණේ.

1 තිමෝති 2:1-15
1. ඉතින් අප විසින් සියලු ආකාර භක්තියෙන් සහ සන්සුන්කමින් සමාදානවූ නිශ්චල ජීවිතයක් ගත කරන පිණිස, රජවරුන් හා උසස් තනතුරු දරන සියල්ලන් ඇතුළුව,
2. සියලු මනුෂ්‍යයන් උදෙසා ඉල්ලීම්ද යාච්ඤාද මැදහත්කම්ද ස්තුතිදීම්ද පවත්වන්ට සියල්ලට පළමුවෙන් අවවාදකරමි.
3. මෙය සියලු මනුෂ්‍යයන් ගළවනු ලැබ සැබෑව දැනගැනීමට පැමිණෙනවාට කැමතිවූ,
4. අපගේ ගැළවුම්කාරයාණන් වන දෙවියන්වහන්සේ ඉදිරියෙහි යහපත්ව ප්‍රසන්නව තිබේ.
5. මක්නිසාද ඇත්තේ එක දෙවිකෙනෙක් සහ දෙවියන්වහන්සේටත් මනුෂ්‍යයන්ටත් අතරේ එක මැදහත්කාර කෙනෙකුත්ය.
6. උන්වහන්සේ සියල්ලන් උදෙසා මිදීමේ මිලයක් කොට තමන්ම දුන්නාවූ, මනුෂ්‍යයාවූ ක්‍රිස්තුස් යේසුස්වහන්සේය. ඊට සාක්ෂිය නියම කාලවලදී ලැබේ.
7. ඒ පිණිස මම දේශනාකාරයෙක්ද ප්‍රේරිතයෙක්ද ඇදහිල්ල සහ සත්‍යය ගැන අන්‍යජාතීන්ගේ ගුරුවරයෙක්ද කොට පත්කරනු ලැබීමි. ඒ ගැන මම බොරුවක් නොකියා සැබෑව කියමි.
8. එබැවින් පුරුෂයන් සෑමතැන්හිම කෝපයත් විවාදයත් නැතුව, පිරිසිදු අත් ඔසවා, යාච්ඤාකරනවාට කැමැත්තෙමි.
9. එසේම ස්ත්‍රීන් ලජ්ජාවෙන් සහ විනීත භාවයෙන් යුක්තව, ඔබින වස්ත්‍ර ඇඳ, ඉසකේ ගෙතීමෙන්වත් රනින්වත් මුතුවලින්වත් අනර්ඝ වස්ත්‍රවලින්වත් නොව,
10. දේවභක්ති නාමය දරන ස්ත්‍රීන්ට සුදුසුලෙස යහපත් ක්‍රියාවලින් සැරසෙනවාට කැමැත්තෙමි.
11. ස්ත්‍රී නිශ්චලව සියලු ආකාර යටත්කම ඇතුව ඉගෙනගනීවා.
12. උගන්වන්ටවත් පුරුෂයා කෙරෙහි බලය පවත්වන්ටවත් ස්ත්‍රියෙකුට ඉඩ නාරිමි, ඈ නිශ්ශබ්දව සිටීවා.
13. මක්නිසාද පළමුකොට ආදම්ද පසුව ඒවද සාදනු ලැබීය;
14. තවද ආදම් රැවටුණේ නැත, නුමුත් ස්ත්‍රී රැවටී, වරදට වැටී සිටින්නීය.
15. නුමුත් ඔව්හු විනීත භාවයෙන් යුක්තව, ඇදහිල්ලෙහිත් ප්‍රේමයෙහිත් ශුද්ධකමෙහිත් පවතින්නෝ නම්, දරුවන් බිහිකිරීමේදී ගැළවෙනවා ඇත.