A A A A A
අවුරුද්දකින් බයිබලය
ඔක්තෝම්බර් 20

ජෙරමියා 25:1-38
1. යොෂියාගේ පුත්‍රවූ යූදාහි රජවූ යෙහෝයාකීම්ගේ සතරවෙනි අවුරුද්ද වන බබිලෝනියේ රජවූ නෙබුකද්රෙශර්ගේ පළමුවෙනි අවුරුද්දේදී යූදාහි මුළු සෙනඟ ගැන යෙරෙමියා වෙතට පැමිණි වචනයය.
2. එය අනාගතවක්තෘවූ යෙරෙමියා යූදාහි මුළු සෙනඟටත් යෙරුසලමේ සියලු වැසියන්ටත් කීවේය.
3. ඔහු මෙසේ කීය: ආමොන්ගේ පුත්‍රවූ යූදාහි රජවූ යොෂියාගේ දහතුන්වෙනි අවුරුද්දේ පටන් අද දක්වා මේ අවුරුදු විසිතුනේම ස්වාමීන්වහන්සේ ගේ වචනය මා වෙතට පැමිණියේය, මමද අලුයම නැගිට ඔබ සැමට කථාකෙළෙමි; එහෙත් ඔබ සැම ඇහුම්කන් දුන්නේ නැත.
4. තවද ස්වාමීන්වහන්සේ තමන්ගේ සියලු සේවකයන්වූ අනාගතවක්තෘවරුන් අලුයම් වේලාවේ පටන්ම ඔබ සැම ළඟට එවූසේක; එහෙත් ඔබ සැම ඇසුවේවත් අසන්ට ඔබ සැමගේ කන්යොමුකළේවත් නැත.
5. එනම්: ඔබ සැම එකිනෙකා තම තමාගේ නපුරු මාර්ගයෙන්ද ඔබ සැමගේ ක්‍රියාවල නපුරුකමෙන්ද හැරී ස්වාමීන්වහන්සේ ඔබ සැමටත් ඔබ සැමගේ පියවරුන්ටත් පුරාණයේ සිට සදාකාලයටම දුන් දේශයෙහි වාසයකරන්න.
6. අන් දෙවිවරුන්ට සේවයකිරීමටද ඔවුන්ට නමස්කාරකිරීමටද ඔවුන් පස්සේ නොයන්න, ඔබ සැමගේ අත්වැඩවලින් මා කෝප නොකරන්න; එවිට මම ඔබ සැමට අනතුරු නොකරන්නෙමියි කියා එවූසේක.
7. නුමුත් ඔබ සැමට අනතුරු පැමිණෙන ලෙස ඔබ සැමගේ අත්වැඩවලින් මා කෝපකරවන හැටියට ඔබ සැම මට ඇහුම්කන්දුන්නේ නැතැයි ස්වාමීන්වහන්සේ කියනසේක.
8. එබැවින් සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: ඔබ සැම මාගේ වචන නොඇසූ බැවින්,
9. මම කියා ඇර උතුරු දිශාවේ සියලු ජාතීන් ගෙන්වා, මාගේ සේවකයාවූ බබිලෝනියේ රජවූ නෙබුකද්රෙශර්ටත් කියා ඇර, මේ දේශය සහ මෙහි වැසියන්ටත් වටකර ඉන්න මේ සියලු ජාතීන්ටත් විරුද්ධව ඔවුන් පමුණුවා, මොවුන් සහමුලින්ම විනාශකොට විස්මයක්ද කවටකමක්ද නිරන්තර පාළුවක්ද කරන්නෙමි.
10. ඇරත් මම ප්‍රීති හඬද සන්තෝෂ හඬද මනමාලයාගේ හඬද මනමාලීගේ හඬද ඇඹරුම් ගල්වල ශබ්දය සහ පහනේ එළියද ඔවුන් අතරෙන් නැති කරන්නෙමි.
11. මේ මුළු දේශයද පාළුවක් සහ විස්මයක් වන්නේය; මේ ජාතීහු බබිලෝනියේ රජුට සැත්තෑ අවුරුද්දක් සේවයකරන්නෝයයි ස්වාමීන්වහන්සේ කියනසේක.
12. තවද සැත්තෑ අවුරුද්දක් සම්පූර්ණවූ පසු මම බබිලෝනියේ රජුටත් ඒ ජාතියටත් කල්දිවරුන්ගේ දේශයටත් ඔවුන්ගේ අයුතුකම් නිසා දඬුවම් පමුණුවා, ඒ දේශය සදාකාල පාළු තැනක් කරන්නෙමි.
13. මා විසින් ඒ දේශයට විරුද්ධව කීවාවූ මාගේ සියලුම වචන වන යෙරෙමියා සියලු ජාතීන්ට විරුද්ධව අනාගතවාක්‍යයෙන් කීවාවූ මේ පොතෙහි ලියා තිබෙන සියල්ලම ඒ දේශය පිටට පමුණුවන්නෙමි.
14. මක්නිසාද බොහෝ ජාතීහුද මහත් රජවරුද ඔවුන් පවා දාසකමට ගන්නෝය. මමද ඔවුන්ගේ ක්‍රියා ලෙසත් ඔවුන්ගේ අත්වල වැඩේ ලෙසත් ඔවුන්ට ප්‍රතිඵල දෙන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.
15. ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මට කථාකොට: කෝපය නැමති මේ මුද්‍රිකපාන-කුසලාන ඔබ මාගේ අතින් රැගෙන මා විසින් ඔබ යවන සියලු ජාතීන්ට එයින් පොවන්න.
16. ඔව්හු බී, මා විසින් ඔවුන් අතරට යවන කඩුව නිසා වැනි වැනී යමින්, උමතුවන්නෝයයි කීසේක.
17. එවිට මම ස්වාමීන්වහන්සේ ගේ අතින් කුසලාන රැගෙන ස්වාමීන්වහන්සේ මා යැවූ සියලු ජාතීන්ට පෙවුවෙමි:
18. එනම් යෙරුසලමටත් යූදාහි නුවරවලටත් එහි රජවරුන්ටත් එහි අධිපතීන්ටත් අද දවසේ පෙනෙන ලෙස ඔවුන් පාළුවක්ද විස්මයක්ද නින්දාවක්ද ශාප-වචනයක්ද කරන පිණිස පෙවුවෙමි.
19. මිසරයේ රජවූ ඵාරාවෝටත් ඔහුගේ සේවකයන්ටත් අධිපතීන්ටත් ඔහුගේ මුළු සෙනඟටත්,
20. මිශ්‍රවූ මුළු සේනාවටත් ඌශ් දේශයේ සියලු රජවරුන්ටත් පිලිස්තිවරුන්ගේ දේශයේ සියලු රජවරුන්ටත් අෂ්කෙලෝන්ටත් ගාසාටත් එක්‍රෝන්ටත් අෂ්දොද්හි ඉතිරි අයටත්,
21. ඒදොම් සහ මෝවබ්ටත් අම්මොන් පුත්‍රයන්ටත්,
22. තීර්හි සියලු රජුන්ටත් ශිදොන්හි සියලු රජුන්ටත් මුහුදෙන් එතර පළාත්වල රජුන්ටත්,
23. දෙදාන් සහ තේමාටත් බූස්ටත් තමුන්ගේ ඉසකේ කොන් කපන සියල්ලන්ටත්,
24. අරාබියේ සියලු රජුන්ටත් කාන්තාරයෙහි වාසයකරන මිශ්‍රවූ සෙනඟගේ සියලු රජවරුන්ටත්,
25. ශිම්රීහි සියලු රජුන්ටත් ඒලාම්හි සියලු රජුන්ටත් මේදවරුන්ගේ සියලු රජුන්ටත්,
26. එකිනෙකාට සමීපව සිටින්නන් සහ දුරුව සිටින්නන් වන උතුරු දිශාවේ සියලු රජුන්ටත්, පොළොව මතුපිට තිබෙන ලෝකයේ සියලු රාජ්‍යවලටත් පෙවුවෙමි. මොවුන්ට පසුව ෂේෂක්හි රජ බොනවා ඇත.
27. ඔබ ඔවුන්ට කථාකොට: ඔබ සැම බී මත්වී වමනයකොට, මා විසින් ඔබ සැම අතරට එවන කඩුව නිසා වැටී නොනැගිට සිටින්නය කියා ඉශ්‍රායෙල්ගේ දෙවිවූ සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේකැයි කියන්න.
28. එවිට ඔව්හු බොන පිණිස ඔබේ අතින් කුසලාන ගන්ට අකමැතිවන්නෝ නම් ඔබ ඔවුන්ට කථාකොට: සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක-ඔබ සැම බොන්නහුමය.
29. මක්නිසාද, මෙන්න, මාගේ නාමය තබා තිබෙන නුවරට විපත්ති පමුණුවන්ට මම පටන්ගනිමි; එසේ නම් ඔබ සැම දඬුවම් නොලැබම සිටිනවා ඇද්ද? ඔබ සැම දඬුවම් නොලැබ නොසිටින්නහුය. මක්නිසාද පොළොවේ සියලු වැසියන්ට විරුද්ධව කඩුවක් ගෙන්වමියි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේකැයි කියන්න.
30. එබැවින් ඔබ ඔවුන්ට අනාගතවාක්‍ය කියා, මේ සියලු වචන ඔවුන්ට කියන්න: ස්වාමීන්වහන්සේ උසස්ථානයේ සිට ගර්ජනාකොට තමන්ගේ ශුද්ධවූ වාසස්ථානයේ සිට තමන් හඬ පවත්වනසේක; උන්වහන්සේ තමන් පට්ටියට විරුද්ධව බලවත්ලෙස ගර්ජනාකරනසේක; මුද්‍රික ඵල මඩින්නන් මෙන් සියලු පොළෝ වැසියන්ට විරුද්ධව ඝෝෂාවක් පවත්වනසේක.
31. මහත් ශබ්දයක් පොළොවේ කෙළවර දක්වා පැමිණෙන්නේය; මක්නිසාද ස්වාමීන්වහන්සේ ට ජාතීන් සමඟ නඩුවක් තිබේ, උන්වහන්සේ මාංසමයවූ සියල්ලන් සමඟ විනිශ්චයට පැමිණෙනසේක; දුෂ්ටයන් වනාහි කඩුවට පාවා දෙනසේකැයි ස්වාමීන්වහන්සේ කියනසේක.
32. සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: බලව, විපත්තිය ජාතියෙන් ජාතියට යන්නේය, මහත් කුණාටුවක් පොළොවේ ඉතා දුර තැන්වලින් නගින්නේය.
33. ස්වාමීන්වහන්සේ ගෙන් මැරුම්කන අය ඒ දවසේ පොළොවේ එක් කෙළවරක පටන් පොළොවේ අනික් කෙළවර දක්වා වැටී ඉන්නෝය. ඔවුන් ගැන විලාපකියන්ටවත් ඔවුන් එකතුකරන්ටවත් වළලන්ටවත් නොයෙදී, ඔවුන් භූමිය මතුපිට කසළ වෙනවා ඇත.
34. එඬේරුනි, කෑමොරගසා හඬන්න; රැළේ ප්‍රධානියෙනි, අලුවල පෙරළී ඉඳින්න. මක්නිසාද මැරුම්කෑමට ඔබ සැමගේ දවස් සම්පූර්ණවී තිබේ; මම ඔබ සැම කැබලිකොට බිඳින්නෙමි. ඔබ සැමද අනර්ඝ භාජනයක් මෙන් වැටෙනවා ඇත.
35. එඬේරුන්ට පලායන්ටවත් රැළේ ප්‍රධානීන්ට ගැළවීයන්ටවත් නොලැබෙන්නේය.
36. එඬේරුන්ගේ කෑගැසීමේ හඬත් රැළේ ප්‍රධානීන්ගේ මොරගැසීමත් ඇසෙන්නේය! මක්නිසාද ස්වාමීන්වහන්සේ ඔවුන්ගේ ගොදුරුබිම පාළුකරනසේක;
37. ස්වාමීන්වහන්සේ ගේ බලවත් කෝපය නිසා සමාදාන පිට්ටනි නිශ්ශබ්දකරනු ලබයි.
38. උන්වහන්සේ සිංහයා මෙන් තමන් නිවාසය අත්හැර ගියසේක; මක්නිසාද පීඩාකරන කඩුව නිසාත් උන්වහන්සේගේ බලවත් උදහස නිසාත් ඔවුන්ගේ දේශය පාළුවක් විය.

ජෙරමියා 26:1-24
1. යොෂියාගේ පුත්‍රවූ යූදාහි රජවූ යෙහෝයාකීම්ගේ රජකම්කිරීමේ පටන්ගැන්මේදී ස්වාමීන්වහන්සේ ගෙන් මේ වචනය පැමිණියේය.
2. ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: ඔබ ස්වාමීන්වහන්සේ ගේ ගෘහයේ මළුවේ සිට, ස්වාමීන්වහන්සේ ගේ ගෘහයෙහි නමස්කාරකරන්ට එන්නාවූ යූදාහි සියලු නුවරුන්ට කියන්ට මා විසින් ඔබට අණකළ සියලුම වචන ඔවුන්ට කියන්න; වචනයක්වත් අඩු නොකරන්න.
3. සමහරවිට ඔවුන් අසා, එකිනෙකා තම තමාගේ නපුරු මාර්ගයෙන් හැරෙනවා ඇත; එවිට මම ඔවුන්ගේ ක්‍රියාවල නපුරුකම නිසා ඔවුන්ට පමුණුවන්ට සිතන විපත්තිය ගැන පසුතැවිලිවන්නෙමි.
4. ඔබ ඔවුන්ට කථාකොට: ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක-මා ඔබ සැම ඉදිරියෙහි තබා තිබෙන මාගේ ව්‍යවස්ථාවේ ප්‍රකාරයට හැසිරෙන හැටියටත් මා අලුයම් වේලේ පටන් ඔබ සැම ළඟට එවන්නාවූ,
5. ඔබ සැම විසින් කන් දෙන්ට නොයෙදුණාවූ අනාගතවක්තෘවරුන් වන මාගේ සේවකයන්ගේ වචනවලට ඇහුම්කන්දෙන හැටියටත් ඔබ සැම මට ඇහුම්කන් නුදුන්නොත්,
6. මම මේ ගෘහය ෂීලෝ මෙන් කරන්නෙමි, මේ නුවරද පොළොවේ සියලු ජාතීන්ට ශාප-වාක්‍යයක් කරන්නෙමියි කියන්න.
7. පූජකයෝද ප්‍රොපේතයෝද මුළු සෙනඟද යෙරෙමියා මේ වචන ස්වාමීන්වහන්සේ ගේ ගෘහයෙහි කියනවා ඇසුවෝය.
8. මුළු සෙනඟට කියන්ට ස්වාමීන්වහන්සේ අණකළ සියල්ල යෙරෙමියා කියා නිමවූ විට පූජකයෝද ප්‍රොපේතයෝද මුළු සෙනඟද ඔහු අල්වා: ඔබ සැබවින් මරනු ලබන්නෙහිය.
9. මේ ගෘහය ෂීලෝ මෙන් වන්නේය කියාත් මේ නුවර වැසියෙක් නොසිටින හැටියට පාළුවන්නේය කියාත් ඔබ ස්වාමීන්වහන්සේ ගේ නාමයෙන් අනාගතවාක්‍ය කීවේ මක්නිසාදැයි කීවෝය. මුළු සෙනඟ යෙරෙමියාට විරුද්ධව ස්වාමීන්වහන්සේ ගේ ගෘහයෙහි එකතුවුණෝය.
10. යූදාහි අධිපතීහු ඒ කාරණා අසා, රජගෙදර සිට ස්වාමීන්වහන්සේ ගේ ගෘහයට නැගී ඇවිත්, ස්වාමීන්වහන්සේ ගේ ගෘහයේ අලුත් දොරටුවෙහි හිඳගත්තෝය.
11. එවිට පූජකයෝද ප්‍රොපේතයෝද අධිපතීන්ටත් මුළු සෙනඟටත් කථාකොට: මේ මනුෂ්‍යයා මැරුම්කන්ට යුතුය; මක්නිසාද ඔබ සැමගේ කන්වලින් ඔබ සැම ඇසූ ලෙස මොහු මේ නුවරට විරුද්ධව අනාගතවාක්‍ය කීවේයයි කීවෝය.
12. එවිට යෙරෙමියා සියලුම අධිපතීන්ටත් මුළු සෙනඟටත් කථාකොට: ඔබ සැම ඇසූ සියලු වචන අනාගතවාක්‍ය කොට මේ ගෘහයටත් මේ නුවරටත් විරුද්ධව කියන්ට ස්වාමීන්වහන්සේ මා එවූසේක.
13. එබැවින් දැන් ඔබ සැමගේ මාර්ග සහ ක්‍රියා හරිගස්සාගන ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ගේ හඬට කීකරුවෙන්න; එවිට ස්වාමීන්වහන්සේ ඔබ සැමට විරුද්ධව කියා තිබෙන විපත්තිය ගැන පසුතැවිලි වෙනවා ඇත.
14. මම නම් ඔබ සැමගේ අතෙහිය. ඔබ සැමගේ ඇස් හමුයෙහි හොඳව හරිව පෙනෙන හැටියට මට කරන්න.
15. එහෙත් ඔබ සැම මා මරනවා නම්, ඔබ සැම පිටටත් මේ නුවර පිටටත් මෙහි වැසියන් පිටටත් ඔබ සැම නිදොස් ලේ පමුණුවන බව සහතිකලෙස දැනගන්න. මක්නිසාද මේ සියලු වචන ඔබ සැමට ඇසෙන ලෙස කියන්ට ස්වාමීන්වහන්සේ සැබවින් මා ඔබ සැම ළඟට එවූසේකැයි කීය.
16. එවිට අධිපතීහුද මුළු සෙනඟද පූජකයන්ටත් ප්‍රොපේතවරුන්ටත් කථාකොට: මේ මනුෂ්‍යයා මැරුම්කන්ට යුතු නැත; මක්නිසාද මොහු අපට කථාකළේ අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ගේ නාමයෙන්යයි කීවෝය.
17. එකල දේශයේ වැඩිමහල්ලන්ගෙන් සමහරු නැගිට රැස්ව සිටි මුළු සෙනඟට මෙසේ කීවෝය.
18. යූදාහි රජවූ හෙසකියාගේ දවස්වලදී මොරෂ්තිය මීකායා අනාගතවාක්‍ය කියමින් යූදාහි මුළු සෙනඟට කථාකොට: සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක-සියොන් කෙතක් මෙන් හානු ලබන්නේය, යෙරුසලම ගොඩවල්ද ගෘහයේ කන්ද කැලෑ මුදුන්ද මෙන් වෙනවා ඇතැයි කීවේය.
19. යූදාහි රජවූ හෙසකියා සහ සියලු යූදාවරු ඔහු මැරුවෝද? ඔහු ස්වාමීන්වහන්සේ ට භයව ස්වාමීන්වහන්සේ ට කන්නලව් නොකෙළේද? ස්වාමීන්වහන්සේ ද ඔවුන්ට විරුද්ධව කී විපත්තිය ගැන පසුතැවිලිවුණා නොවේද? මෙසේ අපි අපේම ප්‍රාණවලට විරුද්ධව මහත් නපුරක් කර ගන්නෙමුයයි කීවෝය.
20. තවද ස්වාමීන්වහන්සේ ගේ නාමයෙන් අනාගතවාක්‍ය කීවාවූ කිරියත්-යෙයාරීම්හි ෂෙමායාගේ පුත්‍රවූ උරියා නම් මනුෂ්‍යයෙක්ද වූයේය; ඔහු යෙරෙමියාගේ සියලු වචනවල හැටියට මේ නුවරටත් මේ දේශයටත් විරුද්ධව අනාගතවාක්‍ය කීවේය.
21. යෙහෝයාකීම් රජු සහ ඔහුගේ සියලු බලවන්තයන්ද සියලු අධිපතීන්ද ඔහුගේ වචන ඇසූ විට රජ ඔහු මරන්ට සෙවීය; උරියා ඒ අසා භයව පලාගොස් මිසරයට පැමුණුණේය.
22. නුමුත් යෙහෝයාකීම් රජ අක්බොර්ගේ පුත්‍රවූ එල්නාතාන්ද ඔහු සමඟ තවත් මනුෂ්‍යයන්ද මිසරයට යැවීය.
23. ඔව්හු උරියා මිසරයෙන් ගෙනැවිත් යෙහෝයාකීම් රජු ළඟට පැමිණෙවුවෝය; රජද ඔහු කඩුවෙන් මරා ඔහුගේ මළකඳ සාමාන්‍ය ජනයන්ගේ සොහොන්වල දැමුවේයයි කීවෝය.
24. එහෙත් යෙරෙමියා මරන්ට ඔහු සෙනඟ අතට පාවා නොදෙන හැටියට ෂාපාන්ගේ පුත්‍රවූ අහීකාම්ගේ අත ඔහු සමඟ විය.

ගීතාවලිය 119:25-32
25. මාගේ ආත්මය ධූලියට ඇලේ. ඔබගේ වචනය ලෙස මා ප්‍රාණවත් කළ මැනව.
26. මාගේ මාර්ග කියාදුනිමි, ඔබ මට උත්තරදුන්සේක. ඔබගේ පනත් මට ඉගැන්නුව මැනව.
27. ඔබගේ නියෝග මාර්ගය මට තේරුම්කරදුන මැනව. එවිට ඔබගේ ආශ්චර්ය ක්‍රියා ගැන භාවනාකරන්නෙමි.
28. ශෝකය නිසා මාගේ ආත්මය දියවේ.‍ ඔබගේ වචනය පරිද්දෙන් මා ශක්තිමත්කළ මැනව.
29. වංකකමේ මාර්ගය මා කෙරෙන් පහකළමැනව. ඔබගේ ව්‍යවස්ථාව කරුණාවෙන් මට දුන මැනව.
30. විශ්වාසකමේ මාර්ගය තෝරාගතිමි. ඔබගේ විනිශ්චයන් මා ඉදිරියෙහි තබාගතිමි.
31. ඔබගේ ශික්ෂාවලට ඇලුම්වෙමි. ස්වාමිනි, මා ලජ්ජාවට නොපැමිණවුව මැනව.
32. ඔබ මාගේ සිත පහදන කල්හි ඔබගේ ආඥා මාර්ගයෙහි දුවන්නෙමි.

හිතෝපදේශ 27:17-17
17. යකඩින් යකඩ මුවහත් වේ; එසේම මනුෂ්‍යයෙක් තම මිත්‍රයාගේ මුහුණ පැහැපත්කරයි.

2 තෙසලෝනික 2:1-17
1. සහෝදරයෙනි, අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ඊමද උන්වහන්සේ වෙතට අපගේ රැස්වීමද ගැන,
2. ස්වාමීන්වහන්සේගේ දවස ළංවී තිබේයයි ආත්මයෙන්වත් වචනයෙන්වත් අපෙන් ලැබුණාක්මෙන් පෙන්වන ලියුමකින්වත් ඉක්මනින් සිතින් චංචල නොවන හැටියටද නොකැලඹෙන හැටියටද අපි ඔබ සැමගෙන් උදක්ම ඉල්ලමුව.
3. කිසිවෙකුට කිසිසේත් ඔබ සැම රවටන්ට ඉඩ නාරින්න. මක්නිසාද ඇදහිල්ලෙන් වැටීයාමත් විනාශයේ පුත්‍රයා වන පාපයේ මනුෂ්‍යයා එළිදරව්වීමත් පළමුවෙන් වුණොත් මිස ඒක නොපැමිණෙන්නේය.
4. ඔහු, දෙවියන්වහන්සේයයි කියනු ලබන්නාවූ නොහොත් නමස්කාරකරනු ලබන්නාවූ සියල්ලන්ට විරුද්ධව සිට, ඒ සියල්ලන්ට වඩා තමාම උසස්කරගෙන, දේවමාළිගාවෙහි වාඩිවී හිඳ, තමා දෙවිව සිටින්නේයයි පෙන්වන්නේය.
5. මා ඔබ සැම සමඟ සිටියදීම මේ කාරණා ඔබ සැමට කී බව ඔබ සැමට මතක නැද්ද?
6. ඔහු තමාගේම කාලයේදී එළිදරව්වෙන පිණිස දැන් වලක්වන්නේ කිමෙක්ද කියාත් ඔබ සැම දනිහුය.
7. මක්නිසාද නොපනත්කමේ අභිරහස දැනටම ක්‍රියාකරන්නේය. නුමුත් තමා පහකරනු ලබන තුරු දැන් වලක්වන්නාවූ කෙනෙක් සිටී.
8. එවිට නොපනත්කම් කරන්නා එළිදරව්වන්නේය. ස්වාමිවූ යේසුස්වහන්සේ තමන්ගේ මුඛයේ හුස්මෙන් ඔහු නසා, තමන්වහන්සේගේ ඊමේ ප්‍රකාශවීමෙන් නාස්තිකරනසේක.
9. ඔහුගේ ඊට සාතන්ගේ ක්‍රියාකිරීමේ හැටියට බොරුවූ සියලු ආකාර ආශ්චර්ය වලින්ද ලකුණුවලින්ද පුදුමවලින්ද,
10. විනාශවෙන්නවුන්ට අධර්මිෂ්ඨකමේ සියලු රැවටිලිවලින්ද යුක්තවේ; මක්නිසාද ගැළවෙන පිණිස ඔව්හු සැබෑකමට ප්‍රේමවීම පිළිනොගත්තෝය.
11. මේ නිසා සැබෑව විශ්වාස නොකොට අධර්මිෂ්ඨකමට ප්‍රසන්නවූ සියල්ලන්ම විනිශ්චය කරනු ලබන පිණිස,
12. බොරුව විශ්වාස කරන හැටියට දෙවියන්වහන්සේ මුළාවේ ක්‍රියාකිරීමක් ඔවුන්ට එවනසේක.
13. නුමුත්, ස්වාමීන්වහන්සේ විසින් ප්‍රේමකරනු ලබන සහෝදරයෙනි, ආත්මයාණන්වහන්සේගේ පිරිසිදුකිරීමද සැබෑව ඇදහීමද කරණකොටගෙන ඔබ සැම ගැළවෙන පිණිස දෙවියන්වහන්සේ පටන්ගැන්මේ සිට ඔබ සැම තෝරාගත් නිසා ඔබ සැම ගැන දෙවියන්වහන්සේට නිතරම ස්තුතිකරන්ට අපි බැඳී සිටිමුව.
14. අපේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ තේජස ලබාගැනීම පිණිස උන්වහන්සේ අපේ ශුභාරංචිය කරණකොටගෙන ඔබ සැම ඊට කැඳෙවුසේක.
15. එබැවින්, සහෝදරයෙනි, ඔබ සැම ස්ථිරව සිට අපගේ වචනයෙන් හෝ ලියුමෙන් හෝ ඔබ සැමට ඉගැන්වූ ගුරුකම් තදින් අල්ලාගෙනම සිටින්න.
16. තවද අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේමද අපට ප්‍රේමකොට, සදාකාල සැනසිල්ලත් යහපත් බලාපොරොත්තුවකුත් අනුග්‍රහය කරණකොටගෙන අපට දුන් අපගේ පියවූ දෙවියන්වහන්සේද,
17. ඔබ සැමගේ සිත් සනසා, සියලු යහපත් ක්‍රියාවලද වචනවලද ඔබ සැම ස්ථිරකරනසේක්වා.