A A A A A
අවුරුද්දකින් බයිබලය
ඔක්තෝම්බර් 2

යෙසායා 55:1-13
1. එම්බා පිපාසා ඇති සියල්ලෙනි, වතුර ළඟට එන්න, මුදල් නැත්තෙනි, ඔබ සැමත් ඇවිත් ධාන්‍ය අරන් කන්න; එසේය, ඇවිත් මිලමුදල් නැතුව මුද්‍රිකපානයද කිරිද ගන්න.
2. කෑම නොවන දේට මුදල්ද තෘප්තියට නොපමුණුවන දේට ඔබ සැමගේ වස්තුවද වියදම්කරන්නේ මක්නිසාද? හොඳාකාරයෙන් මට ඇහුම්කන්දී හොඳව තිබෙන දේ කන්න, ඔබ සැමගේ ප්‍රාණයද තරකම භුක්තිවිදීවා.
3. ඔබ සැමගේ කන් යොමා මා ළඟට ඇවිත් අසන්න; එවිට ඔබ සැමගේ ප්‍රාණය ජීවත්වන්නේය. මමද දාවිත්ගේ සහතික කරුණාවල් වන සදාකාල ගිවිසුමක් ඔබ සැම සමඟ කරන්නෙමි.
4. බලව, උන්වහන්සේ ජනයන්ට සාක්ෂිකාරයෙක්ද ජනයන්ට අධිපතියෙක් හා ආණ්ඩුකාරයෙක්ද කොට දුනිමි.
5. බලව, ඔබ නොදන්න ජාතියක් ඔබ අඬගසාගන්නෙහිය, ඔබව නොදැන සිටි ජාතියක්ද ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ සහ ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සෙත් නිසා ඔබ ළඟට දුව එනවා ඇත. මක්නිසාද උන්වහන්සේ ඔබට ගෞරවකර තිබේ.
6. ස්වාමීන්වහන්සේ සම්බවෙන්ට සිටිද්දී උන්වහන්සේ සොයා, උන්වහන්සේ ළංව සිටිද්දී උන්වහන්සේට යාච්ඤාකරන්න.
7. දුෂ්ටයා තමාගේ මාර්ගයද අධර්මිෂ්ඨ මනුෂ්‍යයා තමාගේ යෝජනාද අත්හැර, ස්වාමීන්වහන්සේ වෙතට හැරී ඒවා, උන්වහන්සේ ඔහුට අනුකම්පාකරනවා ඇත; අපේ දෙවියන්වහන්සේ වෙතට ඔහු හැරී ඒවා, මක්නිසාද උන්වහන්සේ අතිශයින් කමාවෙනවා ඇත.
8. මක්නිසාද මාගේ යෝජනා ඔබ සැමගේ යෝජනා නොවේය, ඔබ සැමගේ මාර්ගද මාගේ මාර්ග නොවේයයි ස්වාමීන්වහන්සේ කියනසේක.
9. අහස පොළොවට වඩා උස්ව තිබෙන්නාක්මෙන් මාගේ මාර්ග ඔබ සැමගේ මාර්ගවලටත් මාගේ යෝජනා ඔබ සැමගේ යෝජනාවලටත් වඩා උසස්ව තිබේ.
10. එලෙස වැස්ස සහ හිම අහසෙන් බැස පොළොව පොඟවා සශ්‍රීකකර, ඵල හටගන්වා, වපුරන්නාට බීජද කන්නාට කෑමද දෙන තුරු එහි හැරී නොයන්නාක්මෙන්,
11. මාගේ මුඛයෙන් නික්මෙන මාගේ වචනයත් මා වෙතට හිස්ව හැරී නෑවිත්, මා කැමැති දෙය සිදුකොට, මා නියමකළ කාරණය සඵලකරනවා ඇත.
12. මක්නිසාද ඔබ සැම ප්‍රීතියෙන් පිටත්ව සමාදානයෙන් ගෙනයනු ලබන්නහුය. ඔබ සැමට ඉදිරියෙන් කඳු හා හෙල් ගී නාදකරන්නෝය, වනයේ සියලු ගස් අත්පොළසන් දෙන්නෝය.
13. කටු ගස වෙනුවට දේවදාරු ගසද තිබොල් ගස වෙනුවට මරඳ ගසද අටගන්නේය. ඒක ස්වාමීන්වහන්සේ ට නාමයක් සහ මැකී නොයන සදාකාල ලකුණක්ද පිණිස වන්නේය.

යෙසායා 56:1-12
1. ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: ඔබ සැම යුක්තිය පවත්වා ධර්මිෂ්ඨකම් කරන්න. මක්නිසාද මාගේ ගැළවීම පැමිණෙන්ටත් මාගේ ධර්මිෂ්ඨකම එළිදරව්වෙන්ටත් ළඟය.
2. මෙය කරන මනුෂ්‍යයාද මෙය අල්ලාගන සිටිමින්, සබත් දවස කඩනොකර එය පවත්වන්නාවූ, කිසි නපුරක් නොකරන ලෙස තමාගේ අත වලක්වාගන්නාවූ මනුෂ්‍ය පුත්‍රයාද වාසනාවන්තය.
3. ස්වාමීන්වහන්සේ ට එකතුවී සිටින විදේශියාද: ස්වාමීන්වහන්සේ තමන්ගේ සෙනඟ වෙතින් මා සැබවින් වෙන්කරනසේකැයි නොකියාවා. නපුංසකයාද: බලව, මම වියළි ගසක්යයි නොකියාවා.
4. මක්නිසාද මාගේ සබත් දවස් රක්ෂාකර, මා ප්‍රසන්න දේ තෝරාගෙන, මාගේ ගිවිසුම අල්ලාගෙන සිටින නපුංසකයන් ගැන ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක.
5. එනම් මාගේ ගෘහයෙහිද මාගේ භිත්ති ඇතුළෙහිද පුත්‍රයන්ටත් දූවරුන්ටත් වඩා සිහිවීම් ලකුණක්ද නාමයක්ද ඔවුන්ට දෙන්නෙමි; සිදී නොයන සදාකාල නාමයක් ඔවුන්ට දෙන්නෙමි.
6. ස්වාමීන්වහන්සේ ට මෙහෙකරන්ටත් උන්වහන්සේගේ නාමයට ප්‍රේමකරන්ටත් උන්වහන්සේගේ සේවකයන්ව සිටින්ටත් ස්වාමීන්වහන්සේ ට එකතුවන්නාවූ, සබත් දවස කඩනොකර ඒක රක්ෂාකරන්නාවූ, මාගේ ගිවිසුම ස්ථිරලෙස පවත්වන්නාවූ විදේශීන්ද,
7. මාගේ ශුද්ධ කන්දට පමුණුවා මාගේ යාච්ඤා-ගෘහයෙහි ඔවුන් ප්‍රීතිවන්ට සලස්වන්නෙමි; ඔවුන්ගේ දවන පූජා සහ යාග මාගේ පූජාසනය පිට පිළිගනු ලබන්නේය. මක්නිසාද මාගේ ගෘහය සියලු ජනයන්ට යාච්ඤා-ගෘහයක්යයි කියනු ලබන්නේය.
8. පිටකරනු ලැබූ ඉශ්‍රායෙල්වරුන් එකතුකරන ස්වාමිවූ දෙවියන්වහන්සේ: ඔවුන් වෙතට එකතුවී සිටින්නන් හැර මම තවත් අය ඔවුන් වෙතට එකතුකරදෙන්නෙමියි කියනසේක.
9. වනයේ සියලු සත්වයෙනි, කැලෑවෙහි සියලු සත්වයෙනි, කාදමන්ට එන්න.
10. ඔහුගේ මුරකාරයන් සියල්ලෝම අන්ධව, දැනගැන්ම නැතුව සිටිති; සියල්ලෝම බුරන්ට බැරි ගොළු බල්ලෝය; ඔව්හු හීන දකිති, ලැග හිඳිති, නිදා ඉන්ට කැමැත්තෝය.
11. එසේය, ඒ බල්ලෝ ගිජුව, කිසිකලක තෘප්තියට නොපැමිණෙති; ඔව්හු විමසන්ට නොදන්න එඬේරුය. ඔවුන් එකිනෙකා තම තමාගේ ප්‍රයෝජනය පිණිස තම තමාගේම මාර්ගයට තීන්දුවටම හැරීගියෝය.
12. ඔව්හු කථාකොට: එන්න, මම මුද්‍රිකපානය ගෙනෙන්නෙමි, අපි සුරාපානයෙන් මත්වන්නෙමුව; හෙටත් අද වාගේ අධිකතර ලොකු දවසක් වන්නේයයි කියති.

ගීතාවලිය 113:5-9
5. උසස් තැන්හි වැඩ හිඳින්නාවූ, ස්වර්ගයේද පෘථිවියේද තිබෙන දේ
6. බලන්ට තමන්ම යටත්වන්නාවූ අපේ දෙවිවූ ස්වාමීන් ට සමාන කවුද?
7. අධිපතීන් සමඟ, එනම්, ස්වකීය සෙනඟගේ අධිපතීන් සමඟ, හිඳුවන පිණිස
8. උන්වහන්සේ දුප්පතා ධූලියෙන් නැගුටුවනසේක, දිළිඳා කසල ගොඩින් ඔසවනසේක.
9. උන්වහන්සේ වඳ ස්ත්‍රීය දරුවන් ඇති ගෙය රක්නාවූ ප්‍රීතිමත් මවෙක් කරවනසේක. ස්වාමීන් ට ප්‍රශංසාකරව්.

හිතෝපදේශ 26:20-21
20. දර නැති තැන ගින්න නිවීයයි; එසේම කේලාම්කියන්නෙක් නැති කල තරඟය නවතින්නේය.
21. ගිනිඅඟුරුවලට අඟුරුත් ගින්නට දරත් යම්සේද, ඩබර අවුස්සන්ට තරඟකාර මනුෂ්‍යයා එසේමය.

එපීස 4:1-32
1. එබැවින් ඔබ සැම කැඳවනු ලැබූ කැඳවීමට ඔබිනලෙස,
2. සියලු ආකාර යටහත්කමින්ද මොළොක් ගුණයෙන්ද ඉවසිලිවන්තකමෙන්ද හැසිර, එකිනෙකා ගැන ප්‍රේමයෙන් ඉවසා,
3. සමාදානයේ බැම්මෙන් ආත්මයාණන්ගේ එකමුතුකම පවත්වාගන්ට උත්සාහ කරන මෙන්, ස්වාමීන්වහන්සේ නිසා හිරකාරයෙක්ව සිටින මම ඔබ සැමගෙන් ඉල්ලමි.
4. ඔබ සැමගේ කැඳවීමේ එක බලාපොරොත්තුවට ඔබ සැම කැඳවනු ලැබූ ලෙසම, ඇත්තේ එක ශරීරයත්,
5. එක ආත්මයාණන්වහන්සෙත්, එක ස්වාමීන්වහන්සෙත්, එක ඇදහිල්ලත්, එක බව්තීස්මයත්,
6. සියල්ලන් කෙරෙහිද සියල්ලන් කරණකොටගෙනද සියල්ලන් තුළද පවතින්නාවූ, සියල්ලන්ට එකම පියවූ දෙවියන්වහන්සෙත්ය.
7. නුමුත් අපෙන් එක් එක්කෙනාට ක්‍රිස්තුස්වහන්සේගේ දීමනාවේ ප්‍රමාණයේ හැටියට අනුග්‍රහය දෙනලද්දේය.
8. එහෙයින් උන්වහන්සේ කථාකොට: උන්වහන්සේ උස්තැනට නැගුණු කල්හි වහල්කමට ගත්තවුන් වහල්කොට ගෙනගොස්, මනුෂ්‍යයන්ට තෑගි දුන්සේකැයි කියනසේක.
9. (ඉතින්: නැගුටුණුසේකැයි කී බැවින් උන්වහන්සේ පොළොවේ පහත් තැන්වලට බැස්ස බවක් මිස වෙන කුමක් හැඟේද?
10. බැස්සාවූ උන්වහන්සේ නම් සියල්ල පූර්ණකරන පිණිස සියලු ස්වර්ගවලින් ඉහළට නැගුණවූ තැනන්වහන්සේමය.)
11. උන්වහන්සේ සමහරුන් ප්‍රේරිතයන්ද සමහරුන් අනාගතවක්තෘවරුන්ද සමහරුන් ශුභාරංචිය ප්‍රකාශකරන්නන්ද සමහරුන් සභාපාලකයන්ද සමහරුන් ගුරුවරුන්ද කොට දුන්සේක.
12. එසේ දුන්නේ ඇදහිමේද දෙවියන්වහන්සේගේ පුත්‍රයා දැනගැනීමේද එකමුතුකමටත්, සම්පූර්ණ පුරුෂකමටත්, ක්‍රිස්තුස්වහන්සේගේ සම්පූර්ණවූ උස මහතේ ප්‍රමාණයටත් අප සියල්ලන් පැමිණෙන තෙක්,
13. ශුද්ධවන්තයන්ගේ සම්පූර්ණවීම සඳහා සේවයකිරීමේ වැඩය පිණිසත් ක්‍රිස්තුස්වහන්සේගේ ශරීරයේ වර්ධනයවීම පිණිසත්ය.
14. තවද අපි තවත් මනුෂ්‍යයන්ගේ වංචාවෙන්ද ප්‍රයෝගයෙන්ද රැවටිලි සහිත උපායෙන්ද හටගන්න සියලු ආකාර ඉගැන්වීම් නමැති සුළඟින් ඈත මෑත විසිවෙමින් ගෙනයනු ලබන්නාවූ බාලයන් නොවන පිණිසත්,
15. ප්‍රේමයෙන් යුක්තව ඇත්ත කථාකරමින්, හිසව සිටින ක්‍රිස්තුස්වහන්සේ උදෙසා සියලු දේවලදී වැඩෙන පිණිසත්ය.
16. උන්වහන්සේගෙන් මුළු ශරීරය එකට සන්ධිකරනු ලැබ සවිවී, එක එක කොට්ඨාසයේ ප්‍රමාණයේ ක්‍රියාකිරීමේ හැටියට සහකාරවූ එක එක සන්ධිය කරණකොටගෙන ප්‍රේමයෙන් වර්ධනයවන ලෙස ශරීරය වැඩෙන්නේය.
17. එබැවින් අන්‍යජාතීන් තමුන්ගේ සිත්වල නිෂ්ඵලකමින් හැසිරෙන්නාක්මෙන්, ඔබ සැම තවත් නොහැසිරෙන්නැයි ස්වාමීන්වහන්සේ තුළ සාක්ෂිදෙමින් කියමි.
18. ඔව්හු තමුන්ගේ තේරුම්ගැනීමෙන් අඳුරුව, තමුන් තුළ ඇත්තාවූ අඥානකම නිසාද තමුන්ගේ සිත් දැඩිවීම නිසාද දෙවියන්වහන්සේ කෙරෙන් වූ ජීවනයට විදේශීව සිටිති.
19. ඔව්හු හැඟීමක් නැතුව සියලු අපවිත්‍රකම් ගිජුලෙස කරන පිණිස සල්ලාලකමට භාරවුණෝය.
20. නුමුත් ඔබ සැම ක්‍රිස්තුස්වහන්සේව එසේ ඉගෙනගත්තේ නැත;
21. එනම්, සැබෑව යේසුස්වහන්සේ තුළ තිබෙන ප්‍රකාර ඔබ සැම උන්වහන්සේගෙන්ම අසා, උන්වහන්සේ තුළ උගන්වනු ලැබුවහුය.
22. [එසේ ඉගෙනගත්තේ] ඔබ සැමගේ ජීවිතයේ පළමු හැසිරීම ලෙස රැවටිල්ලේ තෘෂ්ණාවල් අනුව දූෂ්‍යවන්නාවූ පරණ මනුෂ්‍යයා පහකරදමා,
23. ඔබ සැම ඔබ සැමගේ චිත්තාත්මයෙන් අලුත්කරනු ලැබ,
24. සැබෑවේ ධර්මිෂ්ඨකමින්ද ශුද්ධකමින්ද දෙවියන්වහන්සේට සමානව මවනලද්දාවූ අලුත් මනුෂ්‍යයා පැළඳගන්නා ලෙසය.
25. එහෙයින් බොරුකීම අත්හැරදමා, එක් එක්කෙනා තම තමාගේ අසල්වාසියා සමඟ සැබෑව කථාකරන්න. මක්නිසාද අපි එකිනෙකාගේ අවයවයෝය.
26. කෝපවුණත් පව් නොකරන්න. ඉර බසින තුරු ඔබ සැමගේ කෝපය පවතින්ට ඉඩ නාරින්න.
27. යක්ෂයාට ඉඩ නොදෙන්න.
28. සොරකම්කළාවූ අය තවත් සොරකම් නොකෙරේවා. ඒ වෙනුවට, හිඟ අයට දෙන්ට පුළුවන්වන පිණිස, තමාගේ අත්වලින් යහපත් වැඩක් කරමින් වීර්යකෙරේවා.
29. ඔබ සැමගේ මුඛයෙන් කිසි දූෂ්‍ය කථාවක් නික්මෙන්ට ඉඩ නෑර, අසන්නන්ට ප්‍රයෝජන ලැබෙන පිණිස ඕනෑකරන වර්ධනවීම සඳහා යහපත් දේම කියන්න.
30. දෙවියන්වහන්සේගේ ශුද්ධාත්මයාණන්වහන්සේට දුක් නොදෙන්න; මක්නිසාද උන්වහන්සේ තුළ ඔබ සැම මිදීමේ දවසට මුද්‍රාකරනු ලැබුවහුය.
31. සියලු තික්තකමත් කෝපයත් උදහසත් කෝලාහලත් අපහාසත් සියලු ක්‍රෝධත් ඔබ සැම කෙරෙන් පහකරනු ලැබේවා.
32. ඔබ සැම එකිනෙකා කෙරෙහි ගුණවන්තව අනුකම්පා ඇතුව සිට, ක්‍රිස්තුස්වහන්සේ තුළ දෙවියන්වහන්සේ ඔබ සැමට කමාවුණ ලෙසම ඔබ සැමත් එකිනෙකාට කමාවෙන්න.