A A A A A
අවුරුද්දකින් බයිබලය
ඔක්තෝම්බර් 19

ජෙරමියා 23:1-40
1. මාගේ ගොදුරු බිමේ බැටළුවන් නැතිකරන්නාවූ විසුරුවාදමන්නාවූ එඬේරුන්ට දුක්වේයයි ස්වාමීන්වහන්සේ කියනසේක.
2. එබැවින් ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මාගේ සෙනඟ පෝෂණයකරන එඬේරුන්ට විරුද්ධව මෙසේ කියනසේක: ඔබ සැම මාගේ බැටළුවන් බලා නොගෙන, ඔවුන් විසුරුවා පන්නාදැමුවහුය; බලව, ඔබ සැමගේ ක්‍රියාවල නපුරුකමට ඔබ සැමට දඬුවම්කරන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.
3. නුමුත් මාගේ රැළෙන් ඉතුරුවෙන්නන් මා විසින් පන්නාදැමූ සියලු දේශවලින් මමම රැස්කර, නැවත ඔවුන්ගේ ගාල්වලට ගෙනෙන්නෙමි; ඔව්හු බෝවී වැඩිවන්නෝය.
4. ඔවුන් පෝෂණයකරන එඬේරුන්ද ඔවුන් කෙරෙහි පත්කරන්නෙමි. ඔව්හු තවත් භය නොවන්නෝය, නොකැලඹෙන්නෝය, එකෙක්වත් නැති නොවන්නේයයි ස්වාමීන්වහන්සේ කියනසේක.
5. බලව, මා විසින් දාවිත්ට ධර්මිෂ්ඨවූ පැළැටියක් නැගුටුවන දවස් පැමිණෙන්නේය, උන්වහන්සේ රජෙක්ව රජකම්කරමින් නුවණින් ක්‍රියාකොට, ධර්මිෂ්ඨකමත් යුක්තියත් දේශයෙහි ඉෂ්ටකරනවා ඇතැයි ස්වාමීන්වහන්සේ කියනසේක.
6. උන්වහන්සේගේ දවස්වලදී යූදා ගළවනු ලබන්නේය, ඉශ්‍රායෙල්ද සුවසේ වසන්නේය. අපේ ධර්මිෂ්ඨකමවූ ස්වාමීන්වහන්සේය යන නාමය උන්වහන්සේට කියනු ලබන්නේය.
7. එබැවින්: ඉශ්‍රායෙල් පුත්‍රයන් මිසර දේශයෙන් ගෙනාවාවූ ස්වාමීන්වහන්සේ ජීවමානයයි තවත් නොකියා,
8. ඉශ්‍රායෙල් වංශයේ දරුවන් උතුරු දේශයෙන්ද මා ඔවුන් පන්නාදැමූ සියලු දේශවලින්ද පමුණුවා ගෙනාවාවූ ස්වාමීන්වහන්සේ ජීවමානය කියා කියන දවස් පැමිණෙන්නේය; ඔවුන් තමුන්ගේම දේශයෙහි වාසයකරනවා ඇතැයි ස්වාමීන්වහන්සේ කියනසේක.
9. ප්‍රොපේතවරුන් ගැනය. මාගේ සිත මා තුළ බිදී, මාගේ සියලු ඇට චංචලවී තිබේ; ස්වාමීන්වහන්සේ නිසාත් උන්වහන්සේගේ ශුද්ධවූ වචන නිසාත් මම මත්වී සිටින්නෙක්ද මුද්‍රිකපානයට යටවී සිටින මනුෂ්‍යයෙක්ද මෙන් වෙමි.
10. මක්නිසාද දේශය කාමමිථ්‍යාචාරිකයන්ගෙන් පිරී තිබේ; ශාපයක් නිසාද දේශය වැලපෙයි; කාන්තාරයේ තණබිම් වියළී තිබේ; ඔවුන්ගේ හැසිරීම නපුරුය, ඔවුන්ගේ බලයද හරි නැත.
11. මක්නිසාද ප්‍රොපේතවරයා සහ පූජකයාත් දූෂ්‍යවී සිටිති; එසේය, මාගේ ගෘහයෙහි පවා ඔවුන්ගේ නපුරුකම මට සම්බවීයයි ස්වාමීන්වහන්සේ කියනසේක.
12. එබැවින් ඔවුන්ගේ මාර්ගය අඳුරේ ලිස්සන සුළු ඒවා මෙන් ඔවුන්ට වන්නේය. ඔව්හු පන්නනු ලැබ වැටෙන්නෝය. මම ඔවුන් පිටට විපත්තිය, එනම් ඔවුන්ට දඬුවම්කිරීමේ අවුරුද්ද, පමුණුවන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.
13. සමාරියේ ප්‍රොපේතවරුන් අතරේ මම අනුවණකම දුටිමි; ඔව්හු බාල්ගේ නාමයෙන් අනාගතවාක්‍ය කියා, මාගේ සෙනඟවූ ඉශ්‍රායෙල් මුළාකෙරෙවුවෝය.
14. යෙරුසලමේ ප්‍රොපේතවරුන් අතරෙහිත් භයංකරවූ දෙයක් වන කාමමිථ්‍යාචාරය කිරීමත් බොරුකාරකමෙන් හැසිරීමත් දුටිමි. මෙසේ කිසිවෙක් තමාගේ නපුරුකමෙන් නොහැරෙන හැටියට ඔව්හු නපුරකරන්නන්ගේ අත් සවිකරති. ඔවුන් සියල්ලෝම මට සොදොම මෙන්ද එහි වැසියෝ ගොමොරාව මෙන්ද වී සිටිති.
15. එබැවින් ප්‍රොපේතවරුන් ගැන සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: බලව, මම ඔවුන්ට කොසඹ ඵල කවන්නෙමි, වසදිය පොවන්නෙමි. මක්නිසාද යෙරුසලමේ ප්‍රොපේතවරුන්ගෙන් දූෂිතය දේශය මුළුල්ලෙහි පැතිර ගියේය.
16. සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: ඔබ සැමට අනාගතවාක්‍ය කියන්නාවූ ප්‍රොපේතවරුන්ගේ වචනවලට කන්නොදෙන්න; ඔව්හු නිෂ්ඵල ප්‍රාර්ථනා ඇතිව සිටින්ට ඔබ සැමට උගන්වති. ඔව්හු ස්වාමීන්වහන්සේ ගේ මුඛයෙන් නොවන තමුන්ගේම සිතේ දර්ශනයක් ඔබ සැමට කියති.
17. ඔබ සැමට සමාදානය වන්නේය කියා ස්වාමීන්වහන්සේ කියා තිබේයයි මා සුළුකරන්නන්ට ඔව්හු කිය කියා සිටිති; විපතක් ඔබ සැම පිටට නොපැමිණෙන්නේයයි තමුන්ගේ සිත්වල මුරණ්ඩුකමේ හැසිරෙන සියල්ලන්ටද ඔව්හු කියති.
18. එසේ කීමට ස්වාමීන්වහන්සේ ගේ මන්ත්‍රණයෙහි පිහිටා සිට උන්වහන්සේගේ වචනය දුටුවේවත් ඇසුවේවත් කවුද? උන්වහන්සේගේ වචනයට ඇහුම්කන්දී ඇසුවේ කවුද?
19. බලව, ස්වාමීන්වහන්සේ ගේ කුණාටුව, එනම් උන්වහන්සේගේ කෝපය, එසේය, කරකැවෙන කුණාටුවක් නික්ම ගියේය. එය දුෂ්ටයන්ගේ හිස් පිට කඩා වැටෙන්නේය.
20. ස්වාමීන්වහන්සේ තමන්ගේ සිතේ අභිප්‍රායන් ඉෂ්ටකරන තුරුත් සම්පූර්ණකරන තුරුත් උන්වහන්සේගේ උදහස නොහැරෙන්නේය. මතු දවස්වලදී ඔබ සැම එය සම්පූර්ණ ලෙස තේරුම්ගන්නවා ඇත.
21. මම ඒ ප්‍රොපේතවරුන් නොයැවීමි, නුමුත් ඔව්හු දිවුවෝය. මම ඔවුන්ට කථා නොකෙළෙමි, නුමුත් ඔව්හු අනාගතවාක්‍ය කීවෝය.
22. ඔව්හු මාගේ මන්ත්‍රණයෙහි පිහිටා සිටියෝ නම් ඔවුන් මාගේ වචනවලට කන්දෙන්ට මාගේ සෙනඟට සලස්වා ඔවුන්ගේ නපුරු මාර්ගයෙන්ද ඔවුන්ගේ ක්‍රියාවල නපුරුකමෙන්ද ඔවුන් හරවනවා ඇත.
23. මම ළඟ සිටින දෙවිකෙනෙක් මෙන්ම දුර සිටින දෙවිකෙනෙක් නොවෙම්දැයි ස්වාමීන්වහන්සේ කියනසේක.
24. මට නොපෙනෙනලෙස යමෙකුට රහස් තැන්වල සැඟවෙන්ට පුළුවන්දැයි ස්වාමීන්වහන්සේ කියනසේක. ස්වර්ගය සහ පෘථිවිය මාගෙන් පිරී තිබෙනවා නොවේදැයි ස්වාමීන්වහන්සේ කියනසේක.
25. ස්වප්නයක් දුටිමි, ස්වප්නයක් දුටිමියි කියා මාගේ නාමයෙන් බොරුවට අනාගතවාක්‍ය කියන ප්‍රොපේතවරුන් කියන දේ ඇසීමි.
26. බොරුවට අනාගතවාක්‍ය කියන්නාවූ, තමුන්ගේ සිත්වල වංචාව අනාගතවාක්‍ය කොට කියන්නාවූ ප්‍රොපේතවරුන්ගේ සිතේ මෙය කොපමණ කල් පවතින්නේද?
27. මේ සෙනඟගේ පියවරුන් බාල් නිසා මාගේ නාමය මතකනැතිකළාක්මෙන්, තමුන් විසින් එකිනෙකාට කියාදෙන තමුන්ගේ ස්වප්න කරණකොටගෙන මාගේ සෙනඟ ලවාම මාගේ නාමය මතකනැතිකරවන්ට ඔව්හු සිතින් අභිප්‍රායකරති.
28. ස්වප්නයක් දුටු ප්‍රොපේත තෙම ස්වප්නයක් කියාවා; මාගේ වචනය ඇත්තා මාගේ වචනය විශ්වාස ලෙස කියාවා; ධාන්‍ය සමඟ පිදුරු තිබෙන්ට යුතුකම මොකදැයි ස්වාමීන්වහන්සේ කියනසේක.
29. මාගේ වචනය ගින්නක් මෙන්ද පර්වතය පොඩිකරන කුළුගෙඩියක් මෙන්ද නොවේදැයි ස්වාමීන්වහන්සේ කියනසේක.
30. එබැවින් බලව, එකිනෙකාගෙන් මාගේ වචන සොරකම්කරගන කියන ප්‍රොපේතවරුන්ට මම විරුද්ධයෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.
31. බලව, තමුන්ගේ දිව පාවිච්චිකොට: උන්වහන්සේ කියනසේකැයි කියන ප්‍රොපේතවරුන්ට විරුද්ධයෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.
32. මෙන්න, බොරු ස්වප්න අනාගතවාක්‍ය කොට කියන්නාවූ, ඒවා කියාදී තමුන්ගේ බොරුවලින්ද හිස් පාරට්ටුවෙන්ද මාගේ සෙනඟ මුළාකරවන්නාවූ තැනැත්තන්ට විරුද්ධයෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක. එහෙත් මම ඔවුන් නොයැවීමි, ඔවුන්ට අණ නොකෙළෙමි; ඔවුන්ගෙන් මේ සෙනඟට කිසි ප්‍රයෝජනයක් නොවන්නේයයි ස්වාමීන්වහන්සේ කියනසේක.
33. මේ සෙනඟවත් ප්‍රොපේතවරුවත් පූජකයෙක්වත් ස්වාමීන්වහන්සේ ගේ බර කිමෙක්දැයි ඔබෙන් අසන විට-ඒ බර නම් ඔබ සැමය, මම ඔබ සැම අහක්කර දමන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේකැයි ඔවුන්ට කියන්න.
34. ප්‍රොපේත කෙනෙක් හෝ පූජකයෙක් හෝ සෙනඟගෙන් යමෙක් හෝ ස්වාමීන්වහන්සේ ගේ බරයයි කීවොත්, මම ඒ මනුෂ්‍යයාටත් ඔහුගේ පවුලටත් දඬුවම්කරන්නෙමි.
35. ස්වාමීන්වහන්සේ කුමන උත්තරයක් දුන්සේක්ද? ස්වාමීන්වහන්සේ කුමක් කීසේක්ද යන අන්දමෙන් ඔබ සැම එකිනෙකාටත් තම තමාගේ සහෝදරයාටත් කියන්න.
36. ස්වාමීන්වහන්සේ ගේ බරයයි තවත් සඳහන් නොකරන්න. මක්නිසාද එක එක මනුෂ්‍යයාට පැමිණෙන බර ඔහුගේම වචනය වේ; අපේ දෙවිවූ සේනාවල ස්වාමීන්වහන්සේ වන ජීවමාන දෙවියන්වහන්සේගේ වචන ඔබ සැම පෙරළා තිබේ.
37. ස්වාමීන්වහන්සේ කුමන උත්තරයක් ඔබට දුන්සේක්ද? ස්වාමීන්වහන්සේ කුමක් කථාකළසේක්දැයි යන අන්දමෙන් ප්‍රොපේත තැනට කියන්න.
38. නුමුත් ස්වාමීන්වහන්සේ ගේ බරයයි ඔබ සැම කීවොත්, ඒ ගැන ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: ස්වාමීන්වහන්සේ ගේ බරයයි නොකියන්නය කියා මා විසින් ඔබ සැමට කියා එවූ නුමුත්: ස්වාමීන්වහන්සේ ගේ බර යන වචනය ඔබ සැම කියන නිසා,
39. මම ඔබ සැම සහමුලින්ම මතක නැතිකර දමන්නෙමි, ඔබ සැම සහ ඔබ සැමගේ පියවරුන්ට මා විසින් දුන් නුවරද මා ඉදිරියෙන් පහකරදමා,
40. සිහිනැති නොවන සදාකාල නින්දාවක්ද නිරන්තර ලජ්ජාවක්ද ඔබ සැම පිටට පමුණුවන්නෙමියි කියනසේක.

ජෙරමියා 24:1-10
1. බබිලෝනියේ රජවූ නෙබුකද්රෙශර් යෙහෝයාකීම්ගේ පුත්‍රවූ යූදාහි රජවූ යෙකොනියාද යූදාහි අධිපතීන්ද කර්මාන්තකාරයන්ද ආචාරීන්ද යෙරුසලමෙන් අල්ලාගන ගොස් බබිලෝනියට ඔවුන් පැමිණෙවුවාට පසු, අත්තික්කාගෙඩි පිරෙවු පෙට්ටි දෙකක් ස්වාමීන්වහන්සේ ගේ මාළිගාව ඉදිරිපිට තබා තිබෙන බව ස්වාමීන්වහන්සේ මට පෙන්වූසේක.
2. එක පෙට්ටියක ප්‍රථමයෙන් ඉදෙන අත්තික්කා වාගේ ඉතා හොඳ අත්තික්කාද අනික් පෙට්ටියෙහි කන්ට බැරිතරම් ඉතා නරක අත්තික්කාද තිබුණේය.
3. එකල ස්වාමීන්වහන්සේ මට කථාකොට: යෙරෙමියා, ඔබට පෙනෙන්නේ මොනවාදැයි මාගෙන් ඇසූසේක. මමද: අත්තික්කාය; හොඳ අත්තික්කා ඉතා හොඳය; නරක ඒවා නරක්කම නිසා කන්ට බැරි තරම් ඉතා නරකයයි කීමි.
4. ස්වාමීන්වහන්සේ ගේ වචනයද මා වෙතට පැමිණ කියනුයේ:
5. ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක-මා විසින් මේ ස්ථානයෙන් යහපත පිණිස කල්දිවරුන්ගේ දේශයට ඇරියාවූ අසුවී ගියාවූ යූදාවරුන් මම මේ හොඳ අත්තික්කා මෙන් සලකන්නෙමි.
6. යහපත පිණිස මාගේ ඇස් ඔවුන් කෙරෙහි යොමුකොට, ඔවුන් මේ දේශයට නැවත පමුණුවන්නෙමි. ඔවුන් කඩා නොදමා ගොඩනගන්නෙමි; උදුරා නොදමා හිටවන්නෙමි.
7. මා ස්වාමීන්වහන්සේ බව දැනගැනීම පිණිස ඔවුන්ට සිතක් දෙන්නෙමි. ඔවුන්ද මාගේ සෙනඟ වෙනවා ඇත, මම ඔවුන්ගේ දෙවියන්වහන්සේ වන්නෙමි. මක්නිසාද ඔවුන් තමුන්ගේ මුළු සිතින් මා වෙතට හැරෙනවා ඇත.
8. නරකක්ම නිසා කන්ට බැරි තරම් නරකව තිබෙන අත්තික්කා මෙන් මම යූදාහි රජවූ ශෙදෙකියාද ඔහුගේ අධිපතීන්ද මේ දේශයේ ඉතුරුව සිටින යෙරුසලමේ ඉතිරි අයද මිසර දේශයෙහි වසන්නන්ද අහකදමන්නෙමි.
9. එසේය, මා විසින් ඔවුන් පන්නාදමන සියලු ස්ථානවලදී නින්දාවක්ද උපමාවක්ද අපහාස කීමක් සහ ශාපයක්ද වීමටත් ඔවුන් පීඩා විදීමට පොළොවේ සියලු රාජ්‍යවල ඔබ මොබ විසුරුවනු ලැබීමටත් පාවාදෙන්නෙමි.
10. මා විසින් ඔවුන්ටත් ඔවුන්ගේ පියවරුන්ටත් දුන් දේශය මතුපිටින් ඔවුන් නැතිවී යන තුරු, ඔවුන් අතරට කඩුවත් සාගතයත් වසංගතයත් යවන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේකැයි කීය.

ගීතාවලිය 119:17-24
17. මා ජීවත්වන පිණිස ඔබගේ මෙහෙකරුවාට බොහෝසේ යහපත්කම් කළ මැනව; එවිට ඔබගේ වචනය පවත්වන්නෙමි.
18. ඔබගේ ව්‍යවස්ථාවෙන් ආශ්චර්යමත් දේ දක්නා පිණිස මාගේ ඇස් පැහැදුව මැනව.
19. මම පොළොවෙහි විදේශිකයෙක්ව සිටිමි. ඔබගේ ආඥාවන් මාගෙන් නොසැඟවුව මැනව.
20. සෑමවිටම ඔබගේ විනිශ්චයන් කෙරෙහි ඇති ආශාවෙන් මාගේ සිත බිඳේ.
21. ඔබගේ ආඥාවලින් මුළාව යන්නාවූ, ශාපලද්දාවූ උඩඟුවූවන්ට ඔබ තරවටුකළසේක.
22. නින්දාවත් අවමානයත් මා කෙරෙන් පහකළ මැනව; මක්නිසාද ඔබගේ ශික්ෂා රක්ෂාකෙළෙමි.
23. අධිපතියෝද හිඳගෙන මට විරුද්ධව කථාකළෝය. නුමුත් ඔබගේ මෙහෙකරුවා ඔබගේ පනත් භාවනාකෙළේය.
24. ඔබගේ ශික්ෂාද මාගේ ප්‍රීතිය හා මාගේ මන්ත්‍රීහුය.

හිතෝපදේශ 27:15-16
15. තද වර්ෂා දවසක නොකඩව වතුර බින්දු වැටීමක්ද ඩබරකාර ස්ත්‍රියෙක්ද ඒකාකාරය.
16. ඈ නවත්වන්ට හදන්නා හුළඟ නවත්වන්නේය. ඔහුගේ දකුණතින් තෙල් අල්ලාගන්නේය.

2 තෙසලෝනික 1:1-12
1. පාවුල්ද සිල්වානස්ද යන අප විසින් අපගේ පියවූ දෙවියන්වහන්සේ සහ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ තිබෙන තෙසලෝනිකවරුන්ගේ සභාවට ලියා එවන වග නම්:
2. පියවූ දෙවියන්වහන්සේගෙන්ද ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගෙන්ද කරුණාවත් සමාදානයත් ඔබ සැමට වේවා.
3. සහෝදරයෙනි, ඔබ සැම ගැන දෙවියන්වහන්සේට නිතරම ස්තුතිකරන්ට අපි බැඳී සිටිමුව. ඔබ සැමගේ ඇදහිල්ල අතිශයින් වැඩිවන නිසාත්, එකිනෙකා කෙරෙහි තිබෙන ඔබ සැම සියල්ලන්ගේ ප්‍රේමය අධිකව තිබෙන නිසාත් එසේ ස්තුතිකරන්ට යුතුය;
4. එබැවින් ඔබ සැමගේ සියලු පීඩාවලදීත් ඔබ සැම ඉවසන දුක්වලදීත් ඇත්තාවූ ඔබ සැමගේ ස්ථිරකමත් ඇදහිල්ලත් නිසා අපිම ඔබ සැම ගැන දෙවියන්වහන්සේගේ සභාවලදී පාරට්ටුකරමුව.
5. ඒ ඉවසීම වනාහි දෙවියන්වහන්සේගේ රාජ්‍යය උදෙසා දුක්විඳින ඔබ සැම ඒ රාජ්‍යයට සුදුස්සෝයයි ඒත්තුගනු ලැබීමට තිබෙන දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨ විනිශ්චයේ ඔප්පුවක්ය.
6. කුමක්හෙයින්ද ස්වාමිවූ යේසුස්වහන්සේ තමන්ගේ පරාක්‍රමයේ දූතයන් සමඟ ඇවිළෙන්නාවූ ගින්නෙන් යුක්තව ස්වර්ගයෙන් එළිදරව්වී,
7. දෙවියන්වහන්සේ නාඳුනන්නන්ටත් අපගේ ස්වාමිවූ යේසුස්වහන්සේගේ ශුභාරංචියට කීකරු නොවන්නන්ටත් ප්‍රතිඵල දෙන කල,
8. ඔබ සැමට දුක්දෙන්නන්ට දුකද දුක්විඳින ඔබ සැමට අප සමඟ සහනයද දීම දෙවියන්වහන්සේ ඉදිරියෙහි ධර්මිෂ්ඨවූ කාරණයක්ය.
9. ඒ දවසේදී ස්වාමීන්වහන්සේ තමන් ශුද්ධවන්තයන් තුළ මහිමය ලබන්ටත් අපේ සාක්ෂිය අදහාගත් ඔබ සැම සමඟ අදහාගත් සියල්ලන් තුළ මවිතලෙස පෙනෙන්ටත් එන කල්හි,
10. ඒ තැනැත්තෝ උන්වහන්සේගේ අභිමුඛයෙන්ද උන්වහන්සේගේ බලයේ තේජස ඉදිරියෙන්ද සදාකාල විනාශයේ දඬුවම විඳින්නෝය.
11. එබැවින් අපගේ දෙවියන්වහන්සේගෙත් ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගෙත් කරුණාව ලෙස ඔබ සැම තුළ අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයද උන්වහන්සේ තුළ ඔබ සැමද ගෞරවයට පැමිණෙන පිණිස,
12. ඔබ සැම ඔබ සැමගේ කැඳවීමට සුදුස්සෝයයි අපගේ දෙවියන්වහන්සේ විසින් ඒත්තුගෙන, යහපත්කමේ සියලු ආශාද ඇදහිල්ලේ සියලු ක්‍රියාද ස්වකීය බලයෙන් සම්පූර්ණකරනමෙන් අප නිතරම ඔබ සැම ගැන යාච්ඤාකරමුව.