Instagram
English
A A A A A
ජෙරමියා 17:1-27
1. යූදාවරුන්ගේ පාපය යකඩ පන්හිඳකින්ද වජ්‍ර තුඩකින්ද ලියා තිබේ. ඒක ඔවුන්ගේ සිත නමැති පුවරුවේද ඔවුන්ගේ පූජාසනයන්හි අංවලද කොටා තිබේ.
2. එසේම ඔවුන්ගේ දරුවෝද උස්වූ හෙල් උඩ අමු ගස් ළඟ තිබෙන ඔවුන්ගේ පූජාසනද ඔවුන්ගේ අෂේරා කණුද සිහිකරති.
3. එම්බා වනයේ තිබෙන මාගේ කන්ද, ඔබේ සම්පතද ඔබේ සියලුම වස්තුද ඔබේ සියලු පළාත්වල කළ පාපය නිසා ඔබේ උස් තැන්ද කොල්ලයක් කොට දෙන්නෙමි.
4. මා විසින් ඔබට දුන් ඔබේ උරුමයෙන් ඔබ අහක්වන්නෙහිය; ඔබ නොදන්නා දේශයකදී ඔබේ සතුරන්ට සේවයකරන්ට ඔබට සලස්වන්නෙමි; මක්නිසාද ඔබ සැම මාගේ උදහසින් ගින්නක් දල්වා තිබේ, එය සදාකාලේටම ඇවිළී යනවා ඇත.
5. ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මනුෂ්‍යයා කෙරෙහි විශ්වාසකරන්නාවූ, මාංසය තමාගේ හස්තයකොට තබාගන්නාවූ, සිතින් ස්වාමීන්වහන්සේ කෙරෙන් පහවයන්නාවූ මනුෂ්‍යයා ශාපලද්දෙක්ය.
6. ඔහු මරුකතරේ රෝතෙම් ගහකට සමානවී, යහපත පැමිණෙන විට එය නොදැක, ලුණු භූමියක්ව තිබෙන්නාවූ, වැසියන් නැත්තාවූ කාන්තාරයේ වියළි තැන්වල වාසයකරනවා ඇත.
7. ස්වාමීන්වහන්සේ කෙරෙහි විශ්වාසකොට, ස්වාමීන්වහන්සේ තමාගේ විශ්වාසය කොට තබාගෙන සිටින මනුෂ්‍යයා වාසනාවන්තයෙක්ය.
8. මක්නිසාද ඔහු ජලය ළඟ හිටවා තිබෙන්නාවූ, ගඟ ළඟ මුල් අදින්නාවූ, ග්‍රීෂ්මය පැමිණෙන විට එය නොදැනෙන්නාවූ, කොළ නොවේළෙන්නාවූ, නියං අවුරුද්දේදී නොමැලවෙන්නාවූ, ඵල දැරීමෙන් තොර නොවෙන්නාවූ ගහකට සමානවන්නේය.
9. සියල්ලට වඩා සිත රැවටිලිකාරව තිබේ, ඒක දුෂ්ටවම තිබේ. ඒක කාට දැනගන්ට පුළුවන්ද?
10. ස්වාමීන්වහන්සේ වන මම එකිනෙකාට තම තමාගේ මාර්ග ලෙසද ක්‍රියාවල ඵල ලෙසද දෙන පිණිස සිත විභාගකොට, අදහස් සෝදිසිකරමි.
11. අයුක්තියෙන් සම්පත් උපදවාගන්නා තමා නොදැමූ බිජු රකින ඇටිකිකිළියෙකුට සමානය; ඔහුගේ දවස් මධ්‍යයේදී ඒවා ඔහු අත්හැර යන්නේය, මෙසේ ඔහු තමාගේ අන්තිමයේදී, අඥානයෙක් වන්නේය.
12. අපේ ශුද්ධස්ථානයේ ඉඩම වනාහි පටන්ගැන්මේ සිට උසස්වූ තේජවන්තවූ සිංහාසනයක්ය.
13. අහෝ ඉශ්‍රායෙල්ගේ බලාපොරොත්තුවවූ ස්වාමීන්වහන්ස, ඔබව අත්හරින සියල්ලෝම ලජ්ජාවට පත්වන්නෝය; මාගෙන් අහක්වයන්නෝ ජීවමාන වතුර උල්පත වන ස්වාමීන්වහන්සේ අත්හැරිය බැවින්, ඔවුන් ගැන පොළොව පිට ලියනු ලැබේ.
14. ස්වාමීන්වහන්ස, මට සුවවන පිණිස මා සුවකළ මැනව; මා ගැළවෙන පිණිස ඔබ මා ගැළෙවුව මැනව. මක්නිසාද ඔබම මාගේ ප්‍රශංසාවය.
15. බලව, ඔව්හු: ස්වාමීන්වහන්සේ ගේ වචනය කොයිද? එය පැමිණේවයි මට කියති.
16. මම නම් එඬේරෙක්ව සිටීමෙන්ද ඔබ අනුව යාමෙන්ද හැරී නොගියෙමි; කාලකණ්ණි දවසට මම ආශාද නූණෙමි; ඔබම දන්නාසේක. මාගේ තොල්වලින් නික්මුණු කාරණය ඔබගේ මුහුණ ඉදිරියෙහිම තිබුණේය.
17. ඔබ මට භීතියක්ව නොසිටිය මැනව. විපත්ති දවසේදී ඔබ මාගේ රක්ෂාස්ථානයය.
18. මට පීඩාකරන්නෝ ලජ්ජාවට පැමිණෙත්වා, මා ලජ්ජාවට පැමිණෙන්ට ඉඩ නෑරිය මැනව; ඔව්හු කැලඹෙත්වා, මා කැලඹෙන්ට ඉඩ නෑරිය මැනව. විපත්ති දවස ඔවුන් පිටට පමුණුවා, ද්විගුණ විනාශයකින් ඔවුන් විනාශකළ මැනව.
19. ස්වාමීන්වහන්සේ මට මෙසේ කීසේක: ඔබ ගොස් යූදාහි රජවරුන් යන එන, සෙනඟගේ පුත්‍රයන්ගේ දොරටුවේද යෙරුසලමේ සියලු දොරටුවලද සිට ඔවුන්ට කථාකොට:
20. යූදාහි රජවරුනි, සියලු යූදාවරුනි, මේ දොරටුවලින් ඇතුල්වෙන යෙරුසලමේ සියලු වැසියෙනි, ස්වාමීන්වහන්සේ ගේ වචනය අසන්න;
21. ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක- ඔබ සැම සබත් දවසේදී කිසි බරක් උසුලාගෙන යෙරුසලමේ දොරටුවලින් එය නොගෙනෙන හැටියටත්,
22. සබත් දවසේදී ඔබ සැමගේ ගෙවලින් බරක් නොගෙනියන හැටියටත්, කිසිම වැඩක් නොකරන හැටියටත්, ඔබ සැමගේ ප්‍රාණ උදෙසා බලාගෙන, මා විසින් ඔබ සැමගේ පියවරුන්ට අණකළ ප්‍රකාරයට සබත් දවස ශුද්ධලෙස පවත්වන්න.
23. එහෙත් ඔව්හු නාසා, තමුන්ගේ කන් යොමු නොකර, නාසන ලෙසත් දැනමුතුකම පිළිනොගන්න ලෙසත් තමුන්ගේ කුළල් දැඩිකරගත්තෝය.
24. නුමුත් ඔබ සැම සබත් දවසේදී මේ නුවර දොරටුවලින් කිසි බරක් නොගෙනෙන හැටියට මට ඇහුම්කන්දී, සබත් දවසේදී කිසිම වැඩක් නොකොට, ඒක ශුද්ධලෙස පැවැත්තුවොත්,
25. දාවිත්ගේ සිංහාසනයෙහි වාඩිවෙන්නාවූ, රථවල සහ අශ්වයන් පිට නැගී යන්නාවූ රජවරු සහ ඔවුන්ගේ අධිපතීහුද යූදාහි මනුෂ්‍යයෝද යෙරුසලමේ වැසියෝද මේ නුවර දොරටුවලින් ඇතුල්වන්නාහුය. මේ නුවරද සදාකාලේටම පවතිනවා ඇත.
26. තවද යූදාහි නුවරවලින්ද යෙරුසලම වටකර තැන්වලින්ද බෙන්යමින් දේශයෙන්ද පාතරටින්ද කඳුකරයෙන්ද දකුණු දිශාවෙන්ද මනුෂ්‍යයෝ දවන පූජාද යාගද ආහාර පූජාද කට්ටකුමංචල්ද රැගෙන, ස්තුති පූජාද රැගෙන, ස්වාමීන්වහන්සේ ගේ ගෘහයට එන්නෝය.
27. නුමුත් සබත් දවස ශුද්ධලෙස පවත්වන හැටියටද සබත් දවසේදී බරක් උසුලාගෙන යෙරුසලමේ දොරටුවලට ඇතුල්නොවන හැටියටද ඔබ සැම මට ඇහුම්කන් නුදුන්නොත්, මම එහි දොරටුවල ගින්නක් අවුළවන්නෙමි, එය නොනිවී යෙරුසලමේ මාළිගා දවාදමන්නේයයි ස්වාමීන්වහන්සේ කියනසේක.

ජෙරමියා 18:1-23
1. ස්වාමීන්වහන්සේ ගෙන් යෙරෙමියා වෙතට පැමිණි වචනය මේය:
2. ඔබ නැගිට කුම්භකාරයාගේ ගෙට යන්න, එහිදී මාගේ වචනය ඔබට ප්‍රකාශකරන්නෙමියි කීය.
3. එකල මම කුම්භකාරයාගේ ගෙට ගියෙමි, බලව, ඔහු සකපෝරුවෙන් වැඩකරමින් සිටියේය.
4. ඔහු සෑදූ මැටිභාජනය කුම්භකාරයාගේ අතේ නරක්වූ කල, නැවත ඒක සාදන්ට කුම්භකාරයාට හොඳව පෙනුණු ලෙස, ඔහු එයින් වෙන භාජනයක් සෑදුවේය.
5. එකල ස්වාමීන්වහන්සේ ගේ වචනය මා වෙතට පැමිණ මෙසේ වදාළේය:
6. එම්බා ඉශ්‍රායෙල් වංශය, මේ කුම්භකාරයා කරන ලෙස ඔබ සැමට කරන්ට මට බැරිදැයි ස්වාමීන්වහන්සේ කියනසේක. එම්බා ඉශ්‍රායෙල් වංශය, කුම්භකාරයාගේ අතෙහි තිබෙන මැටි මෙන් ඔබ සැම මාගේ අතෙහි සිටින්නහුය.
7. උදුරා කඩාදමා නැතිකරන්නෙමියි මම කිසියම් ජාතියක් හෝ රාජ්‍යයක් ගැන කී කල,
8. මා විසින් එසේ කථාකළ ඒ ජාතිය තමුන්ගේ නපුරුකමෙන් අහක් වුණොත්, මම ඔවුන්ට පමුණුවන්ට සිතූ විපත්තිය ගැන පසුතැවිලිවන්නෙමි.
9. ගොඩනගා හිටවන්නෙමියි මා විසින් යම් ජාතියක් ගැනවත් රාජ්‍යයක් ගැනවත් කී කල්හි;
10. ඔවුන් මාගේ හඬට කීකරු නොවී, මාගේ ඇස් හමුයෙහි නපුරුව තිබෙන දේ කළොත්, ඔවුන්ට කරන්නෙමියි මා කී යහපත ගැන පසුතැවිලිවන්නෙමි.
11. එබැවින් ඔබ යූදා මනුෂ්‍යයන්ටත් යෙරුසලමේ වැසියන්ටත් කථාකොට: මම ඔබ සැමට විරුද්ධව විපත්තියක් යොදමින්ද ඔබ සැමට විරුද්ධව යෝජනාවක් යෝජනාකරමින්ද සිටිමි. ඉතින් ඔබ සැම එකිනෙකා තම තමාගේ නපුරු මාර්ගයෙන් හැරී, ඔබ සැමගේ මාර්ගවල්ද ක්‍රියාවල්ද හරිගස්සගන්නය කියා ස්වාමීන්වහන්සේ කියනසේකැයි කියන්න.
12. නුමුත් ඔව්හු: ඒක නිෂ්ඵලය. මක්නිසාද අපේම අභිප්‍රායයන් ලෙස හැසිරෙන්නෙමුව, අපි එකිනෙකා අපේ නපුරු සිත්වල මුරණ්ඩුකම ලෙස කරන්නෙමුයයි කියති.
13. එබැවින් ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මෙයාකාර දේ ඇසුවේ කවුද කියා ජාතීන් අතරෙහි විභාගකරන්න; ඉශ්‍රායෙල් කන්‍යාව ඉතා භයංකර දෙයක් කළාය.
14. ලෙබනොන්හි හිම වනයේ පර්වතයෙන් නැතිව යන්නේද? නොහොත් දුරු තැනකින් ගලා එන්නාවූ ශීතල ජලය සිදීයන්නේද?
15. එහෙත් මාගේ සෙනඟ මා මතකනැතිකළෝය, ඔව්හු දේව රූපවලට සුගන්ධ ද්‍රව්‍ය දැවුවෝය; ඒවා වනාහි හරි නොගැස්සූ මාර්ගයකද අතුරු පාරවලද යන ලෙස පුරාණ මාවත් වන ඔවුන්ගේ මාර්ගවල ඔවුන් පැකිලවති.
16. මෙසේ ඔවුන්ගේ දේශය විස්මයක්ද නිරන්තර කවටකමක්ද කරති; ඒ ළඟින් යන සියල්ලෝ විස්මපත්ව තමුන්ගේ හිස් වනන්නෝය.
17. පෙරදිග හුළඟකින් මෙන් සතුරා ඉදිරියෙන් ඔවුන් විසුරුවන්නෙමි; ඔවුන්ගේ විපත්ති දවසේදී ඔවුන්ට මුහුණ නොව පිටුපාන්නෙමියි කියන්න.
18. එකල ඔව්හු කථාකොට: එන්න, අපි යෙරෙමියාට විරුද්ධව උපා යොදමු; මක්නිසාද පූජකයාගෙන් ව්‍යවස්ථාවවත් ප්‍රඥාවන්තයාගෙන් මන්ත්‍රණයවත් අනාගතවක්තෘගෙන් වචනයක්වත් නැතිව නොයන්නේය. එන්න, අපි ඔහුට දිවෙන් පහරදී, ඔහුගේ කිසිම වචනයකට ඇහුම්කන් නොදී සිටිමුයයි කීවෝය.
19. ස්වාමීන්වහන්ස, ඔබ මා සලකා, මා සමඟ විවාදකරන්නන්ගේ ශබ්දය ඇසුව මැනව.
20. යහපතට නපුර කිරීම යුතුද? මක්නිසාද ඔව්හු මාගේ ප්‍රාණයට වළක් හෑරුවෝය. ඔවුන් කෙරෙන් ඔබගේ කෝපය පහකරන පිණිස ඔවුන් වෙනුවට යහපත කථාකරන්ට මා ඔබ ඉදිරියෙහි සිටිය බව සිහිකළ මැනව.
21. එබැවින් ඔවුන්ගේ දරුවන් සාගතයට භාරදී, ඔවුන් කඩුවේ බලයට අත්හැරිය මැනව; ඔවුන්ගේ භාර්යාවෝ දරුවන් නැත්තියෝද වැන්දඹුවෝද වෙත්වා; ඔවුන්ගේ පුරුෂයෝ වසංගතයෙන් මැරෙත්වා, ඔවුන්ගේ යෞවනයෝද යුද්ධයේදී කඩුවෙන් මැරුම්කත්වා.
22. ඔබ හදිසියෙන් සේනාවක් ඔවුන්ට විරුද්ධව පමුණුවන කල ඔවුන්ගේ ගෙවලින් කෑගැසීමක් ඇසේවා. මක්නිසාද ඔවුන් මා අසුකරන්ට වළක් හාරා, මාගේ පාදවලට මලපත් සඟවා තැබුවෝය.
23. නුමුත්, ස්වාමීන්වහන්ස, මා මරන්ට මට විරුද්ධව ඔවුන් යොදන සියලු කුමන්ත්‍රණ ඔබම දන්නාසේක; ඔවුන්ගේ අයුතුකම කමා නොකළ මැනව, ඔවුන්ගේ පාපයද ඔබගේ ඇස් හමුයෙන් නොමැකුව මැනව. ඔබ ඉදිරියෙහි ඔව්හු පැකිල වැටෙත්වා; ඔබගේ උදහස් කාලයේදී ඔවුන්ට ප්‍රතිඵල දුන මැනව.

ගීතාවලිය 118:25-29
25. ස්වාමීනි, දැන් අප ගැළෙවුව මැනව. ස්වාමීනි, දැන් අප සඵලකළ මැනව.
26. ස්වාමීන් ගේ නාමයෙන් එන තැනැත්තේ ආශීර්වාදලද්දේය. ස්වාමීන් ගේ ගෘහයේ සිට අපි ඔබ සැමට ආශීර්වාදකෙළෙමුව.
27. ස්වාමීන්වහන්සේ දෙවියන්වහන්සේය, උන්වහන්සේ අපට එළිය දුන්සේක. පූජාසනයේ අංවල පූජාව රැහැනින් බඳිව්.
28. ඔබ මාගේ දෙවියන්වහන්සේය, ඔබට ස්තුතිකරන්නෙමි. ඔබ මාගේ දෙවියන්වහන්සේය, ඔබ උසස්කරන්නෙමි.
29. ස්වාමීන් ට ස්තුතිකරව්; මක්නිසාද උන්වහන්සේ යහපත්ය. උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය.

හිතෝපදේශ 27:11-12
11. මාගේ පුත්‍රය, මට නින්දාකරන්නාට උත්තරදෙන පිණිස ඔබ ප්‍රඥාවත්ව සිට මාගේ සිත ප්‍රීතිමත්කරන්න.
12. නුවණැත්තා විපත්තිය දැක සැඟවෙයි; අනුවණයෝ නොනැවතී ගොස් අච්චු ලබති.

1 තෙසලෝනික 3:1-13
1. එහෙයින්, අපට තවත් ඉවසාගන්ට නොහැකිවූ කල, අතීනසෙහි තනියම අත්හරිනු ලැබීමට අපි සතුටුවී,
2. මේ දුක්වලින් කිසිවෙක් චංචල නොවන පිණිස, ඔබ සැම ස්ථිරකිරීමටත් ඔබ සැමගේ ඇදහිල්ල ගැන අවවාද කිරීමටත්, අපේ සහෝදරයාද ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචියෙහි දෙවියන්වහන්සේගේ සේවකයාද වූ තිමෝතියස් එවීමුව.
3. මක්නිසාද අප දුක් විඳීමට නියමව තිබෙන බව ඔබ සැමම දනිහුය.
4. මක්නිසාද අප දුක් විඳින්ට සිටින බව, ඔබ සැම සමඟ සිටියදී කලින් ඔබ සැමට කීවෙමුව; එලෙසම සිදුවුණු බව ඔබ සැම දන්නහුය.
5. මේ නිසා මටත් තවත් ඉවසාගන්ට නොහැකිව, පරීක්ෂකයා යම් අන්දමකින් ඔබ සැමව පරීක්ෂා කිරීමෙන් අපේ වීර්යය හිස්වුණාදෝ කියා ඔබ සැමගේ ඇදහිල්ල ගැන දැනගන්නා පිණිස එවීමි.
6. දැන් තිමෝතියස් ඔබ සැම වෙතින් අප ළඟට ඇවිත්, ඔබ සැමගේ ඇදහිල්ලත් ප්‍රේමයත් නිතරම ඔබ සැම අප හොඳාකාර සිහිපත්කරමින්, අප ඔබ සැම දකින්ට ආශාවෙන් සිටින්නාක්මෙන්ම අප දකින්ට ඔබ සැමත් ආශාවෙන් සිටින බවත් යන යහපත් ආරංචි අපට දැන්වූ කල,
7. සහෝදරයෙනි, අපේ සියලු අමාරුවලදීත් පීඩාවලදීත් ඔබ සැමගේ ඇදහිල්ල නිසා ඔබ සැම සම්බන්ධව සැනසීම ලැබීමුව.
8. මක්නිසාද ඔබ සැම ස්වාමීන්වහන්සේ තුළ ස්ථිරව සිටින්නහු නම් අපි ජීවත්වමුව.
9. මක්නිසාද අපගේ දෙවියන්වහන්සේ ඉදිරියෙහි ඔබ සැම සඳහා ප්‍රීතිවන සියලු ප්‍රීතිය නිසා ඔබ සැම ගැන දෙවියන්වහන්සේට මොන ස්තූතියක් දෙන්ට අපට පුළුවන්ද?
10. ඔබ සැමගේ මුහුණ දකින පිණිසද ඔබ සැමගේ ඇදහිල්ලේ අඩුකම් සම්පූර්ණකරන පිණිසද අපි රෑ දාවල් ඉතා අධිකලෙස යාච්ඤාකරමුව.
11. ඉතින් අපගේ පියවූ දෙවියන්වහන්සේමද අපගේ ස්වාමිවූ යේසුස්වහන්සේද ඔබ සැම වෙතට එන්ට අපට මාර්ගය සලස්වාදෙනසේක්වා.
12. අප ඔබ සැමට ප්‍රේමකරන්නාක්මෙන්ම ස්වාමීන්වහන්සේ ඔබ සැමගෙන් එකිනෙකා කෙරෙහිත් අනික් සියල්ලන් කෙරෙහිත් ඔබ සැමගේ ප්‍රේමය වැඩිකර, එයින් ඔබ සැම පුරවා,
13. මෙසේ අපගේ ස්වාමිවූ යේසුස්වහන්සේ තමන්ගේ සියලු ශුද්ධවන්තයන් සමඟ එන කල ඔබ සැමගේ සිත් අපගේ පියවූ දෙවියන්වහන්සේ ඉදිරියෙහි ශුද්ධකමින් නිදොස්ව තිබෙන්ට ස්ථිරකරනසේක්වා.