A A A A A
අවුරුද්දකින් බයිබලය
ඔක්තෝම්බර් 11

ජෙරමියා 7:1-34
1. ස්වාමීන්වහන්සේ ගෙන් යෙරෙමියා වෙතට පැමිණි වචනය මේය.
2. ඔබ ස්වාමීන්වහන්සේ ගේ ගෘහයේ දොරටුවේ සිට එහිදී මේ වචනය ප්‍රකාශකරන්න. එනම්: ස්වාමීන්වහන්සේ ට නමස්කාරකරන්ට මේ දොරටුවලින් ඇතුල්වන යූදාහි සියල්ලෙනි, ස්වාමීන්වහන්සේ ගේ වචනය අසන්න.
3. ඉශ්‍රායෙල්ගේ දෙවිවූ සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: ඔබ සැමගේ මාර්ග සහ ක්‍රියාවන් හරිගස්සා ගන්න, එවිට මම මේ ස්ථානයෙහි ඔබ සැම වාසයකරවන්නෙමි.
4. මේක ස්වාමීන්වහන්සේ ගේ මාළිගාවය, ස්වාමීන්වහන්සේ ගේ මාළිගාවය, ස්වාමීන්වහන්සේ ගේ මාළිගාව යයි කියන බොරු වචන විශ්වාස නොකරන්න.
5. නුමුත් ඔබ සැමගේ මාර්ගද ක්‍රියාද සැබවින් හරිගස්සාගන, එකිනෙකා අතරේ ඇත්තටම යුක්තිය කොට,
6. විදේශියාටද මවුපියන් නැත්තාටද වැන්දඹුවටද පීඩා නොකර, මේ ස්ථානයෙහි නිදොස් ලේ නොවගුරුවා, ඔබ සැමටම අන්තරාය සිදුවීමට අන්‍ය දෙවිවරුන් පස්සේ නොගොස් සිටින්නහු නම්,
7. මා විසින් ඔබ සැමගේ පියවරුන්ට ආදියේ සිට සදාකාලේටම දුන්නාවූ දේශය වන මේ ස්ථානයෙහි ඔබ සැම වාසයකරවන්නෙමි.
8. මෙන්න, ඔබ සැම ප්‍රයෝජන නොවන බොරුවචන කෙරෙහි විශ්වාසකරගන සිටින්නහුය.
9. ඔබ සැම සොරකම්කර, මිනීමරා, කාමමිථ‍්‍යාචාරයකර, බොරුවට දිවුරා, බාල්ට සුවඳදුම් ඔප්පුකර, ඔබ සැම නොදන්නා අන්‍ය දෙවිවරුන් පස්සේ ගොස්,
10. පසුව ඇවිත්, මාගේ නාමය තබා තිබෙන මේ ගෘහයේදී මා ඉදිරියෙහි සිට: අපි ගැළවුණෙමුයයි කියන්නේ මේ සියලු පිළිකුල්කම් කරන පිණිසද?
11. මාගේ නාමය තබා තිබෙන මේ ගෘහය සොරුන්ගේ ගුහාවක්යයි ඔබ සැම සිතනවාද? මටත්, එසේය මටත් පෙනෙනවායයි ස්වාමීන්වහන්සේ කියනසේක.
12. එහෙත් පළමු මා විසින් මාගේ නාමය තැබූ ෂීලෝහිවූ මාගේ ඉඩමට ගොස් මාගේ සෙනඟවූ ඉශ්‍රායෙල්වරුන්ගේ දුෂ්ටකම නිසා මා ඊට කළ දේ බලන්න.
13. ඉතින් ඔබ සැම මේ සියලු ක්‍රියාවල් කළ නිසාත්, මා ඔබ සැමට කථාකළ නුමුත්, අලුයම් වේලේ පටන්ම කථාකළ නුමුත්, ඔබ සැම ඇසුවේවත් මා ඔබ සැමට අඬගැසූ නුමුත් ඔබ සැම උත්තරදුන්නේවත් නැති නිසාත්,
14. මාගේ නාමය තබා තිබෙන්නාවූ, ඔබ සැම විශ්වාසය තැබූ ගෘහයටත් මා ඔබ සැමට සහ ඔබ සැමගේ පියවරුන්ට දුන්නාවූ ස්ථානයටත් මම ෂිලෝට කළ ලෙස කරන්නෙමි.
15. මම ඔබ සැමගේ සියලු සහෝදරයන් වන මුළු එප්‍රායිම් වංශය අහක දැමුවාක්මෙන් ඔබ සැමත් මා ඉදිරියෙන් අහක දමන්නෙමි.
16. එබැවින් ඔබ වනාහි මේ සෙනඟ උදෙසා යාච්ඤා නොකරන්න, ඔවුන් උදෙසා විලාපයද යාච්ඤාවද ඔප්පු නොකරන්න, මට කන්නලව්ද නොකරන්න. මක්නිසාද මම ඔබේ බසට කන් නොදෙන්නෙමි.
17. යූදාහි නුවරවලත් යෙරුසලමේ වීථිවලත් ඔවුන් කරන දේ ඔබට පෙනෙනවා නොවේද?
18. මා කෝපකරවන ලෙස අහස්දේවීහට කැවුම් සෑදීමටත් අන් දෙවිවරුන්ට පානපූජා වැගිරවීමටත් දරුවෝ දර එක්කරති, පියවරු ගිනිමොළවති, ස්ත්‍රීහුද පිටි අනති.
19. ඔවුන් කෝපය උපදවන්නේ මටද? තමුන්ගේ මුහුණු ලජ්ජාවට පත්වන හැටියට තමුන්ටම නොවේදැයි ස්වාමීන්වහන්සේ කියනසේක.
20. එබැවින් ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: බලව, මාගේ උදහසත් මාගේ කෝපයත් මේ ස්ථානය පිට එනම් මනුෂ්‍යයාද මෘගයාද කෙතේ ගස්ද භූමියේ ඵලද කෙරෙහි වගුරවනු ලබන්නේය; එය නොනිවෙන ලෙස ඇවිළෙන්නේයයි කියනසේක.
21. ඉශ්‍රායෙල්ගේ දෙවිවූ සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: ඔබ සැමගේ යාගවලට ඔබ සැමගේ දවන පූජාවලුත් එක්කොට මාංස කන්න.
22. මක්නිසාද මා විසින් ඔබ සැමගේ පියවරුන් මිසර දේශයෙන් ගෙනා කාලයේදී මා ඔවුන් සමඟ කථාකළෙත් ඔවුන්ට අණකළෙත් දවනපූජාද යාගද යන කාරණා ගැන නොවේය.
23. නුමුත් මා ඔවුන්ට අණකළේ: මාගේ හඬට කීකරුවෙන්න, එවිට මම ඔබ සැමගේ දෙවියන්වහන්සේ වන්නෙමි, ඔබ සැමද මාගේ සෙනඟ වන්නහුය. ඔබ සැමට ශුභසිද්ධවන පිණිස මා ඔබ සැමට අණකරන්නාවූ මුළු මාර්ගයෙහි හැසිරෙන්නය යන දේය.
24. නුමුත් ඔව්හු අසන්නේවත් තමුන්ගේ කන් යොමුකරන්නේවත් නැතුව, තමුන්ගේ නපුරු සිතේ මන්ත්‍රණවලද මුරණ්ඩුකමේද හැසිරෙමින්, ඉස්සරහට නොව පස්සට ගියෝය.
25. ඔබ සැමගේ පියවරුන් මිසර දේශයෙන් පිටත්ව ආ දා සිට අද දක්වා, දවස්පතා අලුයම නැගිට, මාගේ සියලු සේවකයන්වූ අනාගත වක්තෘවරුන් ඔබ සැම ළඟට එවීමි.
26. එහෙත් ඔව්හු මාගේ බස් අසන්නේවත් තමුන්ගේ කන් යොමුකරන්නේවත් නැතුව, තමුන්ගේ කුළල් තදකරගෙන, තමුන්ගේ පියවරුන්ට වඩා නපුරුකම් කළෝය.
27. ඔබ මේ සියලු වචන ඔවුන්ට කථාකරන නුමුත් ඔව්හු ඔබට කන් නොදෙන්නෝය. ඔබ ඔවුන්ට අඬගසන නුමුත් ඔව්හු ඔබට උත්තර නොදෙන්නෝය.
28. එබැවින්: මොව්හු තමුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ගේ හඬට කන් නුදුන්නාවූ, දැනමුතුකම පිළිනොගත්තාවූ ජාතියය. ඔවුන්ගේ මුඛයෙන් සැබෑව නැතිවී සිදී ගියායයි ඔවුන්ට කියන්න.
29. යෙරුසලම, ඔබේ හිසකේ කපා අහක දමා, මුඩු කඳු උඩ විලාපයක් පවත්වන්න; මක්නිසාද ස්වාමීන්වහන්සේ තමන්ව උදහස් කළ පරම්පරාව එපාකර අත්හැරියසේක.
30. මක්නිසාද යූදාහි දරුවෝ මාගේ ඇස් හමුයෙහි නපුරුව තිබෙන දේ කළෝයයි ස්වාමීන්වහන්සේ කියනසේක. මාගේ නාමය තබා තිබෙන ගෘහය අපවිත්‍ර කරන්ට ඔවුන් තමුන්ගේ පිළිකුල් දේවල් එහි තබා තිබේ.
31. ඔවුන් තමුන්ගේ පුත්‍රයන්ද දූවරුන්ද ගින්නෙහි දවන පිණිස හින්නොම්ගේ පුත්‍රයාගේ මිටියාවතෙහි තිබෙන තෝපෙත්හි උස් තැන් ගොඩනැගුවෝය; එය මා විසින් අණකළේවත් ඒක මාගේ සිතට පැමුණුණේවත් නැත.
32. එබැවින් ඊට තෝපෙත්ය කියාවත් හින්නොම්ගේ පුත්‍රයාගේ මිටියාවතය කියාවත් තවත් නොකියා, මැරීමේ මිටියාවතය කියන දවස් පැමිණෙන්නේයයි ස්වාමීන්වහන්සේ කියනසේක. මක්නිසාද වළලන්ට ඉඩ නැතිවන තරම් තෝපෙත්හි මිනී වළලනවා ඇත.
33. මේ සෙනඟගේ මළකඳන්ද ආකාශයේ පක්ෂීන්ටත් පොළොවේ මෘගයන්ටත් ගොදුරුවන්නේය; කිසිවෙක්ද උන් භය නොගන්වන්නේය.
34. එවිට යූදා නුවරවලිනුත් යෙරුසලමේ වීථිවලිනුත් ප්‍රීති හඬද සන්තෝෂ හඬද මනමාලයාගේ හඬද මනමාලීගේ හඬද නවත්වන්නෙමි. මක්නිසාද දේශය පාළුවක් වන්නේය.

ජෙරමියා 8:1-22
1. ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: ඒ කාලයෙහි යූදා රජවරුන්ගේ ඇටද ඔවුන්ගේ අධිපතීන්ගේ ඇටද පූජකයන්ගේ ඇටද අනාගතවක්තෘවරුන්ගේ ඇටද යෙරුසලමේ වැසියන්ගේ ඇටද ඔවුන්ගේ සොහොන්ගෙවලින් එළියට ගෙනැවිත්,
2. ඔවුන් ප්‍රේමකළාවූ, සේවයකළාවූ, අනුව ගියාවූ, පේන අසාගත්තාවූ, නමස්කාරකළාවූ ඉරත් සඳත් මුළු අහස් සේනාවත් ඉදිරියෙහි ඒවා අතුරා තබන්නෝය. ඒවා එකතුකරන්ටවත් වළලන්ටවත් නොයෙදී, භූමිය මතුපිට කසළ වන්නේය.
3. මේ නපුරු පෙළපතින් ඉතුරුවෙන අය, මා විසින් පන්නා දැමූ සෑම තැන්වල ඉතුරුවෙන ඔවුන් සියල්ලෝම, ජීවත්වීමට වඩා මරණය තෝරා ගන්නෝයයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.
4. තවද ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේකැයි ඔවුන්ට කියන්න: වැටෙන අය නැගිටින්නේ නැද්ද? නොහොත් අහකට ගිය අය හැරී එන්නේ නැද්ද?
5. යෙරුසලමේ මේ සෙනඟ නිරන්තරයෙන් අහක්ව සිටින හැටියට අහක්ව ගියේ මක්නිසාද? ඔව්හු වංචාව තදින් අල්වාගෙන: අපි හැරෙන්නේ නැතැයි කියති.
6. මම ඇහුම්කන්දී ඇසීමි, නුමුත් ඔව්හු යුතුලෙස කථා නොකළෝය. මා කෙළේ කුමක්දැයි කියා තමාගේ දුෂ්ටකම ගැන පසුතැවිලිවෙන කෙනෙක් නැත. අශ්වයා යුද්ධයට වේගයෙන් දුවන්නාක්මෙන් ඔවුන් සියල්ලෝම තමුන්ගේ දිවීමට හැරීයති.
7. එසේය, ආකාශයේ මානකොකා උගේ කාලයන් දනියි; කොබෙයියාද වැහිලිහිණියාද කොකාද උන්ගේ ඊමේ කාලය දැන සිටිති; නුමුත් මාගේ සෙනඟ ස්වාමීන්වහන්සේ ගේ විනිශ්චය නොදනිති.
8. අපි ප්‍රඥාවන්තයෝය, ස්වාමීන්වහන්සේ ගේ ව්‍යවස්ථාව අප වෙත ඇත්තේයයි ඔබ සැම කියන්නේ කොහොමද? එහෙත්, බලව, ලියන්නන්ගේ බොරු පන්හිඳ ඒ ව්‍යවස්ථාව බොරුවක් කර තිබේ.
9. ප්‍රඥාවන්තයෝ ලජ්ජාවට පැමිණ කැලඹී අසුවුණෝය. මෙන්න, ඔව්හු ස්වාමීන්වහන්සේ ගේ වචනය එපාකළෝය; ඔවුන් තුළ ඇති ප්‍රඥාව කුමක්ද?
10. එබැවින් ඔවුන්ගේ භාර්යාවන් අන්‍යයන්ටද ඔවුන්ගේ කෙත් ඒවා අල්ලාගන්නන්ටද දෙන්නෙමි. මක්නිසාද කුඩා අය පටන් ලොකු අය දක්වා සියල්ලෝම අයුතු ලාභය පස්සේ යති, අනාගතවක්තෘ පටන් පූජකයා දක්වා සියල්ලෝම ප්‍රයෝගකරති.
11. සමාදානය නැතුව තිබෙද්දී: සමාදානයය, සමාදානයය කියා මාගේ දියණිය වන සෙනඟගේ තුවාලය ඔව්හු මඳක් සුවකර තිබේ.
12. ඔව්හු පිළිකුල් දේ කළ නිසා ලජ්ජා වූවෝද? නැත, ඔවුන් කොහෙත්ම ලජ්ජාවුණේවත් ඔවුන්ට නින්දාව දැනුණේවත් නැත. එබැවින් වැටෙන්නන් අතරෙහි ඔවුන් වැටෙනවා ඇත. ඔවුන්ට දඬුවම් පැමිණෙන කාලයෙහි ඔවුන් පැකිල වැටෙනවා ඇතැයි ස්වාන්වහන්සේ කියනසේක.
13. මම සහමුලින්ම ඔවුන් විනාශකරන්නෙමි; මිදි වැළේ වලු නැත, අත්තික්කා ගහේ ඵල නැත, එහි කොළද වියළීයන්නේය; මමද ඔවුන් පාගාදමන අය ඔවුන් ගැන නියමකෙළෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.
14. අපි කුමට නිකම් හිඳිමුද? ඔබ සැම රැස්වෙන්න, අපි පවුරු ඇති නුවරවලට වැද එහි නිශ්ශබ්දව සිටිමුව. මක්නිසාද අප ස්වාමීන්වහන්සේ ට විරුද්ධව පව්කළ නිසා අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ අප විනාශයට පත්කොට වසදිය අපට පොවා තිබේ.
15. සමාදානය ගැන බලා සිටියෙමුව, නුමුත් කිසි හොඳක් නැත; සුවවීමේ කාලයක් ගැන බලා සිටියෙමුව, නුමුත් අහෝ! භීතිය ඇත්තේය,
16. දාන්හි සිට ඔහුගේ අශ්වයන්ගේ හුංකාරය ඇසෙයි. ඔහුගේ බලවතුන්ගේ හේෂාරවයට මුළු දේශය වෙවුලයි; මක්නිසාද ඔව්හු ඇවිත් දේශය සහ එහි තිබෙන සියල්ලද නුවර සහ එහි වැසියන්ද නාස්ති කළෝය.
17. මක්නිසාද, මෙන්න, මම කිසි මන්ත්‍රයකට නොහික්මෙන සර්පයන්ද පොළඟුන්ද ඔබ සැම අතරට එවන්නෙමි; උන් ඔබ සැමට දෂ්ටකරනවා ඇතැයි ස්වාමීන්වහන්සේ කියනසේක.
18. අහෝ මාගේ දුක සනසාගන්ට බැරි තරම්ය! මාගේ සිත මා තුළ ක්ලාන්තවී තිබේ.
19. බලව, ස්වාමීන්වහන්සේ සියොන්හි නැද්ද? ඇගේ රජ්ජුරුවෝ ඈ තුළෙහි නැද්දැයි අසන මාගේ දියණිය වන සෙනඟගේ විලාප හඬ ඉතා දුර දේශයකින් ඇසෙන්නේය. ඔව්හු තමුන්ගේ කැපූ පිළිමවලින්ද අන්‍යයන්ගේ නිෂ්ඵල රූපවලින්ද කුමට මා කෝපකළෝද?
20. ගොයම් කපන කාලය පසුවිය, ග්‍රීෂ්ම කාලය කෙළවරවිය, එහෙත් අපි නොගැළවුණෙමුව.
21. මාගේ දියණිය වන සෙනඟගේ තුවාලය නිසා මම තුවාල ලැබ ශෝකයට පැමුණුණෙමි. විස්මපත්කම මා අල්ලාගත්තේය.
22. ගිලියද්හි ගුගුල් නැද්ද? එහි වෙදෙක් නැද්ද? ඇත්නම් මාගේ දියණිය වන සෙනඟගේ සුවය ලැබී නැත්තේ මක්නිසාද?

ගීතාවලිය 118:1-4
1. ස්වාමීන් ට ස්තුතිකරව්; මක්නිසාද උන්වහන්සේ යහපත්ය. උන්වහන්සේගේ කරුණාව සදාකාලයට පවත්නේය.
2. උන්වහන්සේගේ කරුණාව සදාකාලයට පවත්නේයයි ඉශ්‍රායෙල් දැන් කියත්වා.
3. උන්වහන්සේගේ කරුණාව සදාකාලයට පවත්නේයයි ආරොන්ගේ වංශය දැන් කියත්වා.
4. ස්වාමීන් ගේ කරුණාව සදාකාලයට පවත්නේයයි උන්වහන්සේ කෙරෙහි භය ඇත්තෝ දැන් කියත්වා.

හිතෝපදේශ 27:5-6
5. ප්‍රසිද්ධියේ තරවටුකිරීම සැඟවී තිබෙන ප්‍රේමයට වඩා හොඳය.
6. මිත්‍රයෙකු විසින් කරන තුවාල විශ්වාසකමින් වේ; එහෙත් සතුරෙකුගේ සිඹීම් අධිකව තිබේ.

කොලොස්සි 2:1-23
1. එසේය, ඔබ සැම උදෙසාත් ලවොදිකයෙහි සිටින්නන් උදෙසාත් මාංසාකාරයෙන් මාගේ මුහුණ නුදුටු සියල්ලන් උදෙසාත් කොපමණ මහත් පොරඇල්ලීමක් මට තිබේද කියා ඔබ සැම දැනගන්නවාට කැමැත්තෙමි.
2. ඒ වනාහි ඔවුන් ප්‍රේමයෙහි සම්බන්ධවී, තේරුම් ගැනීමේ සම්පූර්ණ සහතිකය නැමති සියලු සම්පත භුක්තිවිඳිමින්, ඔවුන්ගේ සිත් සනසනු ලබන පිණිසත්, දෙවියන්වහන්සේගේ රහස වන ක්‍රිස්තුස්වහන්සේ දැනගන්නා පිණිසත්ය.
3. ඒ තැනන්වහන්සේ තුළ ප්‍රඥාවෙත් දැනගැන්මෙත් සියලු වස්තු නිධානකර ඇත්තේමය.
4. මෙසේ මා කියන්නේ සිත් ප්‍රසන්න කරන කථාවෙන් කිසිවෙකු විසින් ඔබ සැම මුළා නොකරන පිණිසය.
5. මක්නිසාද මම මාංසාකාරයෙන් ඈත්ව සිටින නුමුත්, ආත්මයෙන් ඔබ සැම සමඟ සිට, ඔබ සැමගේ පිළිෙවළත් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි තිබෙන ඔබ සැමගේ ඇදහිල්ලේ ස්ථිරකමත් බලමින් ප්‍රීතිවෙමි.
6. එබැවින් ඔබ සැම ස්වාමීවූ ක්‍රිස්තුස් යේසුස්වහන්සේව පිළිගත් ලෙස, උන්වහන්සේ තුළ මුල්ඇද ගොඩනගන ලදුව,
7. ඔබ සැමට ඉගැන්නූ ලෙසම ඔබ සැමගේ ඇදහිල්ලෙහි පිහිටා, බොහෝසෙයින් ස්තුතිදෙමින් උන්වහන්සේ තුළ හැසිරෙන්න.
8. ක්‍රිස්තුස්වහන්සේට එකඟ නැත්තාවූ, මනුෂ්‍යයන්ගේ පරම්පරාගත නියෝගවලත් ලෝකයේ ගුරුකම්වලත් ප්‍රකාරයට තිබෙන පණ්ඩිතකමද හිස්වූ රැවටිලිකාරකමද කරණකොටගෙන ඔබ සැම කොල්ලයක් කරගන්න කිසිවෙක් නොසිටින හැටියට බලාගන්න.
9. මක්නිසාද උන්වහන්සේ තුළ දේවත්වයේ සියලු සම්පූර්ණකම ශරීරාකාරයෙන් වාසයකරන්නේය.
10. සියලු අධිපතිකමේද බලයේද හිස වන උන්වහන්සේ තුළ ඔබ සැම පූර්ණව සිටින්නහුය.
11. අතින් නොකළ චර්මඡේද්‍යයක් වන මාංසයේ ශරීරය පහකිරීම නැමති ක්‍රිස්තුස් වහන්සේගේ චර්මඡේද්‍යයෙන් උන්වහන්සේ තුළ ඔබ සැම චර්මඡේද්‍ය කරනු ලැබුවහුය.
12. ඔබ සැම උන්වහන්සේ සමඟ බව්තීස්මයෙහි තැන්පත්කරනු ලැබ, උන්වහන්සේව මළවුන්ගෙන් නැගිටෙවුවාවූ දෙවියන්වහන්සේගේ ක්‍රියාකිරීම කෙරෙහි ඇදහීම කරණකොටගෙන, උන්වහන්සේ සමඟ නැගුටුවනු ලැබුවහුය.
13. ඔබ සැමගේ වරදවලද මාංසයේ අචර්මඡේද්‍යයෙහිද මැරී සිටියාවූ ඔබ සැම, උන්වහන්සේ සමඟ ජීවත්කරවූසේක. එසේය, උන්වහන්සේ අපේ සියලු වරද අපට කමාකළසේක;
14. අපට විරුද්ධව, අපට එදිරිව තිබුණාවූ නියෝගවල ලියවිල්ල මකාදමා, ඒක කුරුසියෙහි ඇණගසා අහක්කළසේක.
15. උන්වහන්සේ තමන් කෙරෙන් අධිපතීන්ද බලයලත්තන්ද පහකොට, ප්‍රසිද්ධයෙන් ඔවුන් දක්වා, කුරුසිය කරණකොටගෙන ඔවුන්ගෙන් ජයගත් බව ප්‍රකාශකළසේක.
16. එබැවින් කෑම ගැනවත් බීම ගැනවත් මංගල්‍ය දවසක් ගැනවත් අමාවක දවසක් ගැනවත් සබත් දවස් ගැනවත් ඔබ සැම විනිශ්චයකරන්ට කිසිවෙකුට ඉඩ නාරින්න.
17. ඒවා පැමිණෙන්ට තිබෙන දේවල ඡායාවක්ය; නුමුත් සිරුර ක්‍රිස්තුස්වහන්සේගේය.
18. පහත්වීමටද දේවදූතයන්ට නමස්කාරකිරීමටද කැමතිවීමෙන් දිනුම ඔබ සැමගෙන් පහකරන්ට කිසිවෙකුට ඉඩ නාරින්න. එබඳු තැනැත්තා තමා දුටු දේවල හැසිරෙමින්, තමාගේ මාංසික බුද්ධියෙන් නිරර්ථකලෙස උඩඟුවී,
19. මුළු ශරීරයට පුරුක් සහ නහර කරණකොටගෙන උපකාර කොට, එය සම්බන්ධකර දෙවියන්වහන්සේගේ වර්ධනයෙන් වර්ධනයකරන්නාවූ හිසට නොබැදී සිටින්නේය.
20. ඔබ සැම ලෝකයේ ගුරුකම් කෙරෙන් වෙන්ව ක්‍රිස්තුස්වහන්සේ සමඟ මැරුණහුනම්, ලෝකයෙහි ජීවත්වන්නාක් මෙන් මනුෂ්‍යයන්ගේ ශික්ෂා හා ධර්ම අනුව:
21. අල්ලන්ටවත් රසබලන්ටවත් අතගසන්ටවත් එපාය යන නියෝගවලට යටත්වන්නේ මක්නිසාද?
22. මේ සියල්ල පාවිච්චිකිරීමෙන් දිරායන්ට තිබේ.
23. ඒ දේවල් වනාහි කැමතිලෙස නමස්කාර කිරීමෙන්ද පහත්වීමෙන්ද ශරීරයට හිංසාකරගැනීමෙන්ද ඥානවන්තකමක් මෙන් පෙනේ; නුමුත් මාංසයේ තෘෂ්ණා වැලැක්වීම සඳහා ඒවායේ කිසි වටිනාකමක් නැත.