A A A A A
අවුරුද්දකින් බයිබලය
ඔක්තෝම්බර් 1

යෙසායා 53:1-12
1. අප විසින් දැන්වූ දේ විශ්වාස කළේ කවුද? ස්වාමීන්වහන්සේ ගේ හස්තය කාට එළිදරව්වීද?
2. මක්නිසාද උන්වහන්සේ ළා පැලයක් මෙන්ද වියළි බිමින් මතුවෙන අංකුරයක් මෙන්ද ඔවුන් ඉදිරියෙහි හටගත්සේක. උන්වහන්සේට රුවවත් ශෝභනකමවත් නැත; අප විසින් උන්වහන්සේ දකින විට උන්වහන්සේ කෙරේ ආශාවීමට ලක්ෂණකමක්ද නැත.
3. උන්වහන්සේ මනුෂ්‍යයන් විසින් සුළුකොට එපාකරනු ලැබූසේක; වේදනා ඇත්තාවූ දුක දන්නාවූ මනුෂ්‍යයෙක්ය. මනුෂ්‍යයන් විසින් තමුන්ගේ මුහුණ සඟවාගන්න කෙනෙකු මෙන්, උන්වහන්සේ සුළුකරනු ලැබූසේක, අපිද උන්වහන්සේ නොසැලකුවෙමුව.
4. සැබවින්ම උන්වහන්සේ උසුලාගත්තේ අපේ දුක්ය, දරාගත්තේ අපේ ශෝකය. එසේ වී නුමුත් උන්වහන්සේ දඬුවමද දෙවියන්වහන්සේගෙන් පහරද පීඩාවද ලැබූ කෙනෙකැයි අපි සිතීමුව.
5. නුමුත් උන්වහන්සේ තුවාල ලැබුවේ අපේ අපරාධ නිසාය, පොඩිකරනු ලැබුවේ අපේ අයුතුකම් නිසාය. අපට සමාදානය ගෙනදෙන දඬුවම උන්වහන්සේ පිටට පැමුණුණේය; උන්වහන්සේගේ පහරවලින් අපට සුවය ලැබී තිබේ.
6. අපි සියල්ලෝම බැටළුවන් මෙන් මුළාවී, එකිනෙකා තම තමාගේම මාර්ගයට හැරී ගියෙමුව; ස්වාමීන්වහන්සේ ද අප සියල්ලන්ගේ අයුතුකම උන්වහන්සේ පිට තැබූසේක.
7. උන්වහන්සේට පීඩාකළ විට, උන්වහන්සේ යටත්වී තමන්ගේ මුඛය නෑර සිටිසේක; මරන්ට ගෙනයන බැටළු පැටවකු මෙන්ද බැටළු දෙනක් ලෝම කපන්නන් ඉදිරියෙහි නිශ්ශබ්දව සිටින්නාක්මෙන්ද උන්වහන්සේ තමන් මුඛය නෑර සිටිසේක.
8. උන්වහන්සේ බලහත්කාරකමෙන්ද විනිශ්චයෙන්ද පහකරනු ලැබූසේක. ජීවත්ව සිටින්නන්ගේ දේශයෙන් උන්වහන්සේ සිඳදමනු ලැබූ බව උන්වහන්සේගේ පරම්පරාවෙහි කවරෙක් කල්පනාකළේද? උන්වහන්සේ තළනු ලැබුවේ මාගේ සෙනඟගේ වරද නිසාය.
9. ඔව්හු උන්වහන්සේගේ මිනීවළ දුෂ්ටයන් අතරෙහි තිබෙන්ට නියමකළෝය, නුමුත් උන්වහන්සේගේ මරණයේදී එය වස්ත්‍රකාරයන් සමඟ විය; මක්නිසාද උන්වහන්සේ අධර්මිෂ්ඨකමක් කළේවත් උන්වහන්සේගේ මුඛයෙහි කිසි ප්‍රයෝගයක් තිබුණේවත් නැත.
10. එහෙත් උන්වහන්සේ පොඩිකරන්ට ස්වාමීන්වහන්සේ කැමතිව දුකට පත්කළසේක. ඔබ උන්වහන්සේගේ ප්‍රාණය පාප-පූජාවක් කරන විට උන්වහන්සේ තමන්ගේ වංශය දැක තමන් දවස් වැඩිකරනසේක, ස්වාමීන්වහන්සේ ගේ කැමැත්තද උන්වහන්සේගේ අතෙහි සඵලවන්නේය.
11. උන්වහන්සේ තමන් ආත්ම වේදනාවේ ඵල දැක තෘප්තියට පැමිණෙනසේක. මාගේ ධර්මිෂ්ඨ සේවකයා ස්වකීය දැනගැන්ම කරණකොටගෙන බොහෝ දෙනෙකු ධර්මිෂ්ඨකරනවා ඇත. ඔවුන්ගේ අයුතුකම්ද උන්වහන්සේම දරාගන්නවා ඇත.
12. එබැවින් මම බොහෝ දෙනෙකු අතරෙහි උන්වහන්සේට කොටසක් බෙදා දෙන්නෙමි, බලවන්තයන් සමඟද උන්වහන්සේ කොල්ලය බෙදාගන්නවා ඇත; මෙසේ වන්නේ තමන් ප්‍රාණය මරණයට වගුරුවා දී, වරදකාරයන් සමඟ ගණන්ගනු ලැබ, උන්වහන්සේම බොහෝ දෙනෙකුගේ පාප උසුලාගත් නිසාය, වරදකාරයන් උදෙසාද උන්වහන්සේ මැදහත්කම්කරනසේක.

යෙසායා 54:1-17
1. දරුවන් බිහිනොකළ වඳ තැනැත්තිය, ගීකියන්න; විළිරුජාව නොවින්ද තැනැත්තිය, ගී හඬනගා ශබ්ද පවත්වන්න. මක්නිසාද පුරුෂයෙක් ඇති තැනැත්තීගේ දරුවන්ට වඩා අත්හරිනු ලැබූ තැනැත්තීගේ දරුවෝ බොහෝයයි ස්වාමීන්වහන්සේ කියනසේක.
2. ඔබේ කූඩාරම තිබෙන ස්ථානය විශාලකරන්න, ඔව්හු ඔබේ වාසස්ථානවල තිර දිගහරිත්වා; වලක්වා නොගන්න. ඔබේ ලනු දික්කර ඔබේ ඇණ සවිකරන්න.
3. මක්නිසාද ඔබ දකුණටත් වමටත් පැතිරයනවා ඇත; ඔබේ වංශය ජාතීන්ගේ දේශ හිමිකරගෙන, පාළුවූ නුවරවල් වැසියන්ගෙන් පුරවනවා ඇත.
4. භය නොවන්න; මක්නිසාද ඔබ ලජ්ජාවට පැමිණෙන්නේ නැත. නොකැලඹෙන්න; ඔබ නින්දාවට නොපැමිණෙන්නෙහිය. මක්නිසාද ඔබ ඔබේ යෞවන කාලයේ ලජ්ජාව සිහිනැතිකරන්නෙහිය, ඔබේ වැන්දඹුකමේ නින්දාවද තවත් සිහි නොකරන්නෙහිය.
5. කුමක් හෙයින්ද ඔබේ ස්වාමිපුරුෂයා නම් ඔබේ මැවුම්කාරයාණෝය; උන්වහන්සේගේ නාමය සේනාවල ස්වාමීන්වහන්සේ ය. ඔබේ මිදුම්කාරයාණෝ ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සේය; මුළු පොළොවේ දෙවියන්වහන්සේයයි උන්වහන්සේට කියනු ලැබේ.
6. මක්නිසාද අත්හරිනලද්දාවූ, ආත්මයෙහි ශෝක ඇත්තාවූ භාර්යාවක් මෙන්ද පහරකන ලද යෞවන කාලයේ භාර්යාවක් මෙන්ද ස්වාමීන්වහන්සේ ඔබ කැඳවාගත්සේකැයි ඔබේ දෙවියන්වහන්සේ කියනසේක.
7. මම ලුහුඬු මොහොතකට ඔබ අත්හැරියෙමි; නුමුත් මහත් අනුකම්පාවලින් ඔබ නැවත කැඳවාගන්නෙමි.
8. මම උදහස වගුරුවා මාගේ මුහුණ මොහොතක් ඔබෙන් සඟවා ගතිමි; නුමුත් සදාකාල කරුණාවෙන් ඔබට අනුකම්පාකරමියි ඔබේ මිදුම්කාරයා වන ස්වාමීන්වහන්සේ කියනසේක.
9. මේක මට නෝවාගේ ජලගැලීම මෙන්ය. මක්නිසාද නෝවාගේ ජලගැලීම තවත් පොළොවේ නොගලන හැටියට මා විසින් දිවුරුවාක්මෙන්ම, ඔබ කෙරෙහි උදහස් නොවන බවටත් ඔබට තරවටු නොකරන බවටත් මම දිවුළෙමි.
10. මක්නිසාද කඳු පහවයන්නේය, හෙල්ද සොලවනු ලබන්නේය; නුමුත් මාගේ කරුණාව නම් ඔබෙන් පහ නොවන්නේය, මාගේ සමාදාන ගිවිසුමද සොලවනු නොලබන්නේයයි ඔබට අනුකම්පාකරන ස්වාමීන්වහන්සේ කියනසේක.
11. අසරණවූ, කුණාටුවෙන් සෙලවෙන්නාවූ, සැනසිල්ලක් නැත්තාවූ තැනැත්තිය, බලව, ඔබේ ගල් අංජන කැටවලින් අල්ලා, ඔබේ අත්තිවාරම් නීලමාණික්‍යවලින් දමන්නෙමි.
12. ඔබේ කොත් රක්ත මාණික්‍යවලින්ද ඔබේ දොරටු දීප්තිමත් මාණික්‍යවලින්ද ඔබේ සියලු මායිම් පියකරු ගල්වලින්ද සාදන්නෙමි.
13. ඔබේ සියලුම දරුවෝද ස්වාමීන්වහන්සේ විසින් උගන්වනු ලබන්නෝ වෙති; ඔබේ දරුවන්ගේ සමාදානයද මහත් වන්නේය.
14. ඔබ ධර්මිෂ්ඨකමෙන් පිහිටුවනු ලබනවා ඇත. ඔබ බලාත්කාරයෙන් දුරුව භය නැතුව සිටින්නෙහිය; භීතියෙනුත් දුරව සිටිනවා ඇත, ඒක ඔබට ළං නොවන්නේය.
15. මෙන්න, මාගේ සංඥාවක් නැතුව මනුෂ්‍යයන් රැස්වෙනවා ඇත. ඔබට විරුද්ධව එකතුවෙන කවුරු නුමුත් ඔබ නිසා වැටෙන්නෝය.
16. අඟුරුගින්න පිඹ නියම වැඩයට ආයුධයක් සාදන්නාවූ ආචාරියා මැවුවේ මමය; වැනසීමට නාස්තිකාරයා මැවුවෙත් මමය.
17. ඔබට විරුද්ධව සාදන කිසිම ආයුධයක් සඵල නොවන්නේය; විනිශ්චයකිරීමට ඔබට විරුද්ධව නැගිටින සියලුම දිව් ඔබ විසින් වරදට පත්කරනවා ඇත. ස්වාමීන්වහන්සේ ගේ මෙහෙකරුවන්ගේ උරුමයත් මාගෙන් ඔවුන්ට ලැබෙන ධර්මිෂ්ඨකමත් එයාකාරයයි ස්වාමීන්වහන්සේ කියනසේක.

ගීතාවලිය 113:1-4
1. ස්වාමීන් ට ප්‍රශංසාකරව්. ස්වාමීන් ගේ මෙහෙකරුවෙනි, ප්‍රශංසාකරව්, ස්වාමීන් ගේ නාමයට ප්‍රශංසාකරව්.
2. මෙතැන් පටන් සදාකල් ස්වාමීන් ගේ නාමයට ප්‍රශංසාවේවා;
3. නැගෙනහිර පටන් බස්නාහිර දක්වා ස්වාමීන් ගේ නාමයට ප්‍රශංසා කටයුතුය.
4. ස්වාමීන්වහන්සේ සියලු ජාතීන්ට උසස්ව සිටිනසේක, උන්වහන්සේගේ තේජස ස්වර්ගවලට වඩා උසස්ය.

හිතෝපදේශ 26:17-19
17. පාරේ යමින් තමාට වැදගැන්මක් නැති දබරයකට මැදිවෙන්නා උගේ කන්වලින් බල්ලෙකු අල්ලාගන්න කෙනෙක් මෙන්ය.
18. තමාගේ අසල්වාසියා රවටමින්: මම සෙල්ලමට එය කෙළෙමියි කියන මනුෂ්‍යයා,
19. තමා වටකර ගිනි පෙනෙලිද ඊගස්ද මරණයද විසිකරන පිස්සෙක් වැනිය.

එපීස 3:1-21
1. මේ කාරණය නිසා අන්‍යජාතිකයන්වූ ඔබ සැම උදෙසා ක්‍රිස්තුස් යේසුස් වහන්සේගේ හිරකාරවූ පාවුල් නම් මම [යාච්ඤාකරමි].
2. ඔබ සැම උදෙසා මට දෙනලද දෙවියන්වහන්සේගේ ඒ කරුණාවේ ගබඩාකාරකම ගැන ඔබ සැම අසන්ට ඇත;
3. එනම්, මා විසින් ඉහත ලුහුඬින් ලියා තිබෙන ලෙස එළිදරව් කිරීම කරණකොටගෙන ඒ රහස මට ප්‍රකාශවූ බවය.
4. ඒ ප්‍රකාරයට ඔබ සැම එය කියවන විට ක්‍රිස්තුස්වහන්සේගේ රහස ගැන මට තිබෙන දැනගැන්ම ඔබ සැමට තේරුම්ගන්ට පුළුවන;
5. එය උන්වහන්සේගේ ශුද්ධ ප්‍රේරිතයන්ටත් ප්‍රොපේතවරුන්ටත් ආත්මයාණන්වහන්සේ කරණකොටගෙන දැන් එළිදරව් කර තිබෙන ලෙස වෙන පරම්පරාවලදී මනුෂ්‍ය පුත්‍රයන්ට දන්වනු නොලැබුවේය;
6. එනම් ශුභාරංචිය කරණකොටගෙන ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ, අන්‍යජාතීන් හවුල් උරුමක්කාරයන් බවත්, ශරීරයේ හවුල් අවයවයන් බවත්, පොරොන්දුවට හවුල්කාරයන් බවත්ය.
7. දෙවියන්වහන්සේගේ බලයේ ක්‍රියාකිරීමේ ප්‍රකාරයට මට දෙනලද උන්වහන්සේගේ ඒ කරුණාවේ දීමනාව හැටියට මම ඒ ශුභාරංචියේ සේවකයෙක් කරනු ලැබුවෙමි.
8. සියලු ශුද්ධවන්තයන්ගෙන් ඉතා කුඩා තැනැත්තාවූ මට මේ අනුග්‍රහය දෙනලද්දේ ක්‍රිස්තුස්වහන්සේගේ සොයා දැනගත නොහැකි සම්පත ගැන අන්‍යජාතීන්ට දේශනාකරන්ටත්,
9. සියල්ල මැවුවාවූ දෙවියන්වහන්සේ තුළ සියලු කාලවල පටන් සැඟවී තිබුණාවූ රහසේ නියමය කිමෙක්ද කියා සියල්ලන්ට පෙන්වන පිණිසත්ය.
10. එසේ කළේ අපගේ ස්වාමිවූ ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ දෙවියන්වහන්සේ විසින් අභිප්‍රායකරනලද සදාකාල අභිප්‍රායේ ප්‍රකාරයට,
11. ස්වර්ගීය ස්ථානවල අධිපතීන්ටත් බලධාරීන්ටත් මේ කාලයෙහි සභාව කරණකොටගෙන උන්වහන්සේගේ අනේකවිධ ප්‍රඥාව දැනගන්ට ලැබෙන පිණිසය.
12. ක්‍රිස්තුස්වහන්සේ තුළ අපේ ඇදහිල්ල කරණකොටගෙන නිර්භීතකමත්, සැක නැතුව ළංවන්ට පුළුවන්කමත්, උන්වහන්සේ තුළ අපට තිබේ.
13. එහෙයින් ඔබ සැමගේ ගෞරවයට හේතුවූ, ඔබ සැම නිසා මා විඳින්නාවූ දුක් ගැන ක්ලාන්ත නොවෙන ලෙස ඉල්ලමි.
14. මේ නිසා ස්වර්ගයෙහිද පොළොවෙහිද,
15. ඒ ඒ ගෝත්‍රයට නම් දෙන්නාවූ පියාණන්වහන්සේට මම මාගේ දණනමා,
16. උන්වහන්සේගේ ආත්මයාණන්වහන්සේ කරණකොටගෙන ඔබ සැමගේ අභ්‍යන්තර මනුෂ්‍යයා තුළ ඔබ සැම බලයෙන් ශක්තිමත් වන පිණිසත්,
17. ඇදහිල්ල කරණකොටගෙන ක්‍රිස්තුස්වහන්සේ ඔබ සැමගේ සිත් තුළ වාසයකරන පිණිසත්, ඔබ සැම ප්‍රේමයෙහි මුල් ඇද පිහිටා සිට,
18. දෙවියන්වහන්සේගේ මුළු පූර්ණකමට පූර්ණවන පිණිස සියලු ශුද්ධවන්තයන් සමඟ ක්‍රිස්තුස්වහන්සේගේ දැනගත නොහැකි ප්‍රේමය දැනගෙන,
19. එහි පළල, දිග, උස, ගැඹුර කිමෙක්ද කියා තේරුම්ගන්ට ඔබ සැමට පුළුවන්වන පිණිසත්, උන්වහන්සේගේ මහිමයේ සම්පතේ හැටියට ඔබ සැමට දෙන මෙන් යාච්ඤාකරමි.
20. ඉතින් අප තුළ ක්‍රියාකරන්නාවූ බලයේ හැටියට අපි ඉල්ලන නොහොත් සිතන හැම දේට වඩා ඉතා අධිකලෙස කරන්ට බලය ඇත්තාවූ තැනන්වහන්සේටම,
21. සියලු පරම්පරාවන් දක්වා සභාවෙහි ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ සදාකාලයටම ගෞරවය වේවා. ආමෙන්.