උත්පත්ති 7:1-24 |
1. ස්වාමීන්වහන්සේ නෝවාහට කථාකොට: ඔබද ඔබේ මුළු පවුලද නැවට ඇතුල්වෙන්න; මක්නිසාද ඔබ මේ පරම්පරාවෙහි මා ඉදිරියේ ධර්මිෂ්ඨව සිටින බව දුටුවෙමි. |
2. මුළු පොළෝතලයෙහි සත්වයන් පවතින පිණිස සියලු පවිත්‍ර මෘගයන්ගෙන් පිරිමි සතුන් සහ උන්ගේ ගෑනු සතුන් සත් සත් දෙනෙකු බැගින්ද අපවිත්‍ර මෘගයන්ගෙන් පිරිමි සතුන් සහ උන්ගේ ගෑනු සතුන් දෙදෙනෙකු බැගින්ද |
3. ආකාශ පක්ෂීන්ගෙනුත් ගෑනු පිරිමි සතුන් සත් සත් දෙනෙකු බැගින්ද ඔබ වෙතට ගන්න. |
4. මක්නිසාද තව සත් දවසකින් දහවල් සතළිසක්ද රෑ සතළිසක්ද පොළොව පිට වැසි වස්වන්නෙමි; මා විසින් සාදනලද ජීවමාන සියල්ල භූමිය මතුපිටින් නැතිකරදමන්නෙමියි කීසේක. |
5. නෝවා ස්වාමීන්වහන්සේ තමාට අණ කළ සියල්ල ලෙස කෙළේය. |
6. පොළොවෙහි ජලගැල්ම වූ කල්හි නෝවා අවුරුදු හසියයක් වයස්ව සිටියේය. |
7. ජලගැල්ම නිසා නෝවාද ඔහු සමඟ ඔහුගේ පුත්‍රයෝද ඔහුගේ භාර්යාවද ඔහුගේ පුත්‍රයන්ගේ භාර්යාවෝද නැවට ඇතුල්වූවෝය. |
8. පවිත්‍ර මෘගයන්ගෙන්ද අපවිත්‍ර මෘගයන්ගෙන්ද පක්ෂීන්ගෙන්ද භූමියෙහි බඩගා යන සියල්ලන්ගෙන්ද ගෑනු පිරිමි සතුන් |
9. දෙන්න දෙන්නා බැගින් දෙවියන්වහන්සේ නෝවාට අණ කළ ලෙස නෝවා වෙත නැවට ඇතුල්වූවෝය. |
10. ඒ සත් දවසට පසු ජලගැල්ම පොළොවෙහි විය. |
11. නෝවාගේ ජීවිතයේ හසියවෙනි අවුරුද්දේ දෙවෙනි මස දස සත්වෙනි දිනයෙහිම මහත් ගැඹුරේ සියලු උල්පත් බිඳී ගියේය, ආකාශයේ කවුළුද ඇරුණේය. |
12. දහවල් සතළිසක්ද රෑ සතළිසක්ද පොළොව පිට වැසි වැස්සේය. |
13. එම දවසෙහිම නෝවාද නෝවාගේ පුත්‍රයන්වූ ෂෙම්, හාම් සහ යඵෙත්ද නෝවාගේ භාර්යාවද ඔහුගේ පුත්‍රයන් සමඟ ඔවුන්ගේ භාර්යාවන් තුන්දෙනාද නැවට ඇතුල්වූවෝය; |
14. ඔව්හුද එක එක වර්ගයේ සියලු මෘගයෝද එක එක වර්ගයේ සියලු සිව්පාවෝද එක එක වර්ගයේ පොළොවෙහි බඩගා යන සියල්ලෝද එක එක වර්ගයේ සියලු පක්ෂීහුද සියලු වර්ගවල සියලු කුරුල්ලෝද ඇතුල්වූවෝය. |
15. මෙසේ ජීවන හුස්ම ඇති මාංසමය සියල්ලන්ගෙන් දෙන්න දෙන්නා බැගින් නෝවා වෙත නැවට ඇතුල්වූවෝය. |
16. ඇතුල්වූ සත්වයෝ දෙවියන්වහන්සේ ඔහුට අණකළ ලෙස මාංසමයවූ සියල්ලන්ගෙන් ගෑනු පිරිමි වශයෙන් ඇතුල්වූවෝය. ස්වාමීන්වහන්සේ ඔහු ඇතුල්කොට දොර වැසූසේක. |
17. ජලගැල්ම සතළිස් දවසක් පොළොවෙහි විය; ජලය වැඩිව නැව ඉල්පවිය, ඒක පොළොවෙන් ඉවත්ව ගියාය. |
18. ජලය බලවත්ව පොළොව පිට බොහෝසෙයින් වැඩිවිය; නැවද ජල මතුයෙහි ගියාය. |
19. ජලය පොළොව පිට අතිශයින් බලවත්විය; මුළු අහස යට පිහිටි සියලු උස් කඳු වැසීගියේය. |
20. කඳු වැසී ඊට ඉහළින් රියන් පසළොසක් ජලය උස්ව ගියේය. |
21. පක්ෂීහුද සිව්පාවෝද මෘගයෝද පොළොවෙහි බඩගා යන සියල්ලෝද සියලු මනුෂ්‍යයෝද යන පොළොව පිට හැසිරෙන මාංසමයවූ සියල්ලෝ නැසුණෝය. |
22. තමන්ගේ නාස්පුඩුවල ජීවන හුස්ම ඇත්තාවූ එනම් ගොඩබිම සිටි සියල්ලෝම මළෝය. |
23. මෙසේ මනුෂ්‍යයා පටන් සිව්පාවාද බඩගා යන සත්වයාද ආකාශයේ පක්ෂියාද දක්වා භූමිය මතුපිට සිටි සියලු ප්රාණීහුම විනාශකරන ලද්දෝය; ඔව්හු පොළොවෙන් විනාශ කරනලද්දෝය. නෝවා සහ ඔහු සමඟ නැවෙහි සිටියාහු පමණක් ඉතිරිවූවෝය. |
24. ජලය එකසිය පනස් දවසක් පොළොව පිට බලවත්ව පැවතුණේය. |
උත්පත්ති 8:1-22 |
1. තවද දෙවියන්වහන්සේ නෝවාද නැවෙහි ඔහු සමඟ සිටියාවූ පණ ඇති සියල්ලන්ද සියලු සිව්පාවුන්ද සිහිකළසේක. දෙවියන්වහන්සේ පොළොව පිට හුළඟක් ගසන්ට සැලැස්වූසේක, එවිට ජලය අඩුවිය; |
2. ගැඹුරේ උල්පත්ද අහසේ කවුළුද පියනලද්දේය; අහසෙන් වර්ෂාවද නවත්වනලද්දේය. |
3. ජලය නොකඩව පොළොවෙන් බැස ගියේය; එකසිය පනස් දවසකට පසු ජලය අඩුවිය. |
4. නැව සත්වෙනි මස දසසත්වෙනි දින අරරත් කඳු පිට නැවතුණාය. |
5. දසවෙනි මාසය දක්වා ජලය නොකඩව බැස්සේය; දසවෙනි මස පළමුවෙනි දින කඳු මුදුන් පෙනුණේය. |
6. සතළිස් දවසකට පසු නෝවා තමා සෑදූ නැවේ කවුළුව හැරියේය. |
7. ඔහු කපුටුවෙකු පිටතට යැවීය, ඌ පිටතට ගොස් පොළොවෙන් ජලය සිඳෙන තුරු ඔබ මොබ ගියේය. |
8. ඔහු භූමිය මතුපිටින් ජලය බැසගියාදැයි බලන පිණිස තමා වෙතින් පරෙවියෙකු යැවීය; |
9. එහෙත් ජලය මුළු පොළොව මතුපිට තිබුණු බැවින් පරෙවියා උගේ පතුල තබන්ට තැනක් නොලැබ ඔහු වෙත නැවට හැරී ආවේය. ඔහු තමාගේ අත දිඟුකොට ඌ අල්වා තමා වෙත නැවට ගත්තේය. |
10. ඔහු තව සත්දවසක් බලා සිට නැවතත් පරෙවියා නැවෙන් පිටතට ඇරියේය; |
11. පරෙවියා සවස් වේලෙහි ඔහු වෙතට ආවේය; බලව, අමු ඔලීව කොළයක් උගේ තුඩෙහි තිබුණේය. මෙසේ පොළොවෙන් ජලය බැසගිය බව නෝවා දැනගත්තේය. |
12. ඔහු තව සත් දවසක් බලාසිට පරෙවියා පිටතට ඇරියේය; ඌ නැවත ඔහු වෙතට තවත් හැරී නාවේය. |
13. තවද හසිය එක්වෙනි අවුරුද්දේ පළමුවෙනි මස පළමුවෙනි දින ජලය පොළොව මතුපිටින් සිඳී ගොස් තිබුණේය. නෝවා නැවේ වැස්ම හැර බැලුවේය, බලව, භූමිතලය වියළී තිබුණාය. |
14. දෙවෙනි මස විසිසත් වෙනි දින පොළොව වියළී තිබුණාය. |
15. එවිට දෙවියන්වහන්සේ නෝවාට කථාකොට: |
16. ඔබද ඔබ සමඟ ඔබේ භාර්යාවද ඔබේ පුත්‍රයෝද ඔබේ පුත්‍රයන්ගේ භාර්යාවෝද නැවෙන් පිටතට එන්න. |
17. ඔබ සමඟ සිටින සියලු ආකාර සත්වයන්වූ පක්ෂීන්ද සිව්පාවුන්ද පොළොව පිට බඩගා යන පණ ඇති සියල්ලන්ද පොළොවෙහි අතිශයින් වැඩිවී සඵලව පොළොව පිට බෝවෙන පිණිස ඔබ සමඟ රැගෙන පිටතට එන්නැයි කීසේක. |
18. එවිට නෝවාද ඔහු සමඟ ඔහුගේ පුත්‍රයෝද ඔහුගේ භාර්යාවද ඔහුගේ පුත්‍රයන්ගේ භාර්යාවෝද පිටතට ආවෝය. |
19. සියලු මෘගයෝද සියලු බඩගා යන සත්වයෝද සියලු පක්ෂීහුද භූමියෙහි හැසිරෙන සියල්ලෝද උන්ගේ ජාති ප්‍රකාරයට නැවෙන් පිටතට ගියෝය. |
20. නෝවා ස්වාමීන්වහන්සේ ට පූජාසනයක් ගොඩනගා සියලු පවිත්‍ර සිව්පාවුන්ගෙන්ද සියලු පවිත්‍ර පක්ෂීන්ගෙන්ද රැගෙන පූජාසනය පිට දවන පූජා පිදුවේය. |
21. ස්වාමීන්වහන්සේ මිහිරි සුවඳ සිඹ තමන්වහන්සේගේ සිත තුළ කථාකරමින්: මනුෂ්‍යයා නිසා භූමියට තවත් ශාප නොකරන්නෙමි; මක්නිසාද බාල වයසේ පටන් ඔහුගේ සිතේ කල්පනා නපුරුව තිබේ; තවද මා විසින් කළ ලෙස නැවත ජීවමාන සියල්ලන්ට තවත් පහර නොදෙන්නෙමි. |
22. පොළොව පවතිනතුරු වපුරන කාලය සහ කපන කාලයද ශීතය සහ උෂ්ණයද ග්‍රීෂ්ම කාලය සහ ශීත කාලයද දවාල සහ රාත්රියද නොනවතින්නේයයි කීසේක. |
ගීතාවලිය 3:1-4 |
1. තමාගේ පුත්‍රවූ අබ්සලොම් පලාගිය කල දාවිත් ලියූ ගීතයකි. ස්වාමිනි, මාගේ එදිරිකාරයෝ කොපමණ වැඩිවූද! මට විරුද්ධව නැගිටින්නෝ බොහෝය. |
2. දෙවියන්වහන්සේ තුළ ඔහුට ගැළවීමක් නැතැයි මාගේ ප්‍රාණය ගැන කියන්නෝ බොහෝය. |
3. නුමුත් ස්වාමිනි, ඔබ මා අවට පලිහක්ද මාගේ ගෞරවයද මාගේ හිස ඔසවන්නාද වනසේක. |
4. ස්වාමීන් ට මාගේ ශබ්දයෙන් හඬගසමි, උන්වහන්සේ තමන්ගේ ශුද්ධ කන්දේ සිට මට උත්තරදෙනසේක. |
හිතෝපදේශ 1:20-22 |
20. ප්‍රඥාව වීථියෙහි මොරගසයි; එළිමහන් ස්ථානවල ඇගේ හඬ පවත්වයි; |
21. මනුෂ්‍යයන් රැස්වෙන මංසන්ධිවල ඈ කෑගසයි; නුවරට ඇතුල්වෙන දොරටු ළඟ සිට ඇගේ බස් පවසයි. |
22. එනම් නුවණ නැත්තෙනි, ඔබ සැම අනුවණකමට කැමතිවන්නෙත්, නින්දාකරන්නන් නින්දාකිරීමට ප්‍රසන්නවන්නෙත්, අඥානයන් දැනගැන්මට ද්වේෂකරන්නෙත් කොතෙක් කල්ද? |
ශුද්ධවර මතෙව් 4:1-25 |
1. එකල යේසුස්වහන්සේ යක්ෂයා විසින් පරීක්ෂාකරනු ලබන පිණිස ආත්මයාණන්වහන්සේ විසින් වනාන්තරයට පමුණුවනු ලැබූසේක. |
2. උන්වහන්සේ දාවල් සතළිසක්ද රෑ සතළිසක්ද නිරාහාරව හුන් පසු, උන්වහන්සේට බඩගිනිවිය. |
3. එවිට පරීක්ෂකයා උන්වහන්සේ වෙතට ඇවිත්: ඔබ දෙවියන්වහන්සේගේ පුත්‍රයා නම් මේ ගල් රොටි වෙන්ට අණකරන්නැයි කීවේය. |
4. උන්වහන්සේ උත්තරදෙමින්: මනුෂ්‍යයා දෙවියන්වහන්සේගේ මුඛයෙන් නික්මෙන සියලු වචනවලින් ජීවත්වෙනවා මිස, රොටි පමණකින් ජීවත් නොවන්නේය කියා ලියා තිබේයයි කීසේක. |
5. එවිට යක්ෂයා උන්වහන්සේ ශුද්ධ නුවරට පමුණුවා දේවමාළිගාව මුදුනෙහි සිටුවා: |
6. ඔබ දෙවියන්වහන්සේගේ පුත්‍රයා නම් පහතට පනින්න. කුමක් හෙයින්ද- උන්වහන්සේ තමන් දූතයන්ට ඔබ ගැන අණදෙනසේක. ඔබේ පය යම් හෙයකින් ගලක නොවදින පිණිස ඔව්හු තමුන්ගේ අත්පිට ඔබ උසුලාගන්නෝය කියා ලියා තිබේයයි උන්වහන්සේට කීවේය. |
7. යේසුස්වහන්සේද: ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ පරීක්ෂා නොකරව කියාත් ලියා තිබේයයි ඔහුට කීසේක. |
8. නැවතත් යක්ෂයා උන්වහන්සේ ඉතා උස් කන්දකට පමුණුවා, ලෝකයේ සියලු රාජ්‍යයන්ද එහි ඓශ්වර්යයද උන්වහන්සේට පෙන්වා: |
9. ඔබ බිම වැටී මට නමස්කාරකරන්නෙහි නම් මේ සියල්ල ඔබට දෙන්නෙමියි උන්වහන්සේට කීවේය. |
10. එවිට යේසුස්වහන්සේ: සාතන් අහක්වයව. මක්නිසාද ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේට නමස්කාරකරව, උන්වහන්සේට පමණක් සේවයකරවයි ලියා තිබේයයි ඔහුට කීසේක. |
11. එකල යක්ෂයා උන්වහන්සේ අත්හැර ගියේය; බලව, දේවදූතයෝ ඇවිත් උන්වහන්සේට උපස්ථානකළෝය. |
12. යොහන් පාවාදෙනු ලැබූ බව උන්වහන්සේ අසා අහක්ව ගලීලයට ගියසේක. |
13. උන්වහන්සේ නාසරෙත් නුවර හැර, සාබුලොන් සහ නප්තලීයේ සීමාවල මුහුදුබඩ තිබෙන කපර්ණවුමට පැමිණ, එහි වාසයකළසේක. |
14. මෙසේ කළේ- යොර්දාන් එගොඩ මුහුද අසබඩ සාබුලොන් රටද නප්තලී රටද වන අන්‍ය ජාතීන්ගේ ගලීලයෙහි, |
15. අන්ධකාරයෙහි හුන් සෙනඟ මහත් ආලෝකයක් දුටුවෝය, මරහුගේ දේශයෙහිද සෙවණෙහිද හුන්නවුන්ට ආලෝකය උදාවූයේයයි |
16. අනාගතවක්තෘවූ යෙසායා කරණකොටගෙන කියනලද කාරණාව සම්පූර්ණවන පිණිසය. |
17. එතැන් පටන් යේසුස්වහන්සේ: පසුතැවිලිවෙන්න; මක්නිසාද ස්වර්ගරාජ්‍යය ලංවී තිබේය කියා දේශනාකරන්ට පටන්ගත්සේක. |
18. උන්වහන්සේ ගලීලයේ මුහුදුබඩ ඇවිදිනසේක්, මසුන් අල්ලන්නන්ව සිටියාවූ සහෝදරයන් දෙදෙනෙක් වන පේතෘස් නම්ලත් සීමොන්ද ඔහුගේ සහෝදරවූ අන්දෘද මුහුදේ දැලක් හෙළනවා දැක: |
19. මා පස්සේ එන්න, මම ඔබ සැම මනුෂ්‍යයන් අල්ලන්නන් කරන්නෙමියි ඔවුන්ට කීසේක. |
20. එකෙණෙහිම ඔව්හු දැල් අත්හැර උන්වහන්සේ අනුව ගියෝය. |
21. උන්වහන්සේ එතැනින් ගොස් තවත් සහෝදරයන් දෙදෙනෙක් වන සෙබදීගේ පුත්‍රවූ යාකොබ්ද ඔහුගේ සහෝදරවූ යොහන්ද තමුන්ගේ පියවූ සෙබදී සමඟ ඔරුවේ හිඳ දැල් හරිගස්සනවා දැක, ඔවුන්ට අඬගැසූසේක. |
22. එකෙණෙහිම ඔව්හු ඔරුවද තමුන්ගේ පියාද අත්හැර උන්වහන්සේ අනුව ගියෝය. |
23. තවද යේසුස්වහන්සේ ඔවුන්ගේ සිනගෝගවල උගන්වමින්ද රාජ්‍යයේ ශුභාරංචිය දේශනාකරමින්ද සෙනඟ අතරෙහි සියලු ආකාර ලෙඩ හා සියලු ආකාර රෝග සුවකරමින්ද ගලීලය මුළුල්ලෙහි ඇවිද්දසේක. |
24. උන්වහන්සේගේ කීර්තිය සිරියා රට මුළුල්ලෙහි පතළව ගියාය. නොයෙක් රෝගපීඩා වලින් පීඩිතවූ සියලු රෝගීහුද යක්ෂා වේශවූවෝද මීමස්මර රෝගීහුද අංශභාග රෝගීහුද උන්වහන්සේ වෙතට ගෙනෙනලද්දෝය; උන්වහන්සේ ඔවුන් සුවපත්කළසේක. |
25. ගලීලයෙන්ද දෙකපොලිසෙන්ද යෙරුසලමෙන්ද යුදයෙන්ද යොර්දාන් එගොඩින්ද බොහෝ සමූහයෝ උන්වහන්සේ අනුව ගියෝය. |