Instagram
English
A A A A A
උත්පත්ති 49:1-33
1. එවිට යාකොබ් තමාගේ පුත්‍රයන් කැඳවා: මතු කාලයේදී ඔබ සැමට පැමිණෙන්ට තිබෙන දේ ඔබ සැමට දන්වන පිණිස රැස්වෙන්න.
2. යාකොබ්ගේ පුත්‍රයෙනි, රැස්ව අසන්න; ඔබ සැමගේ පියවූ ඉශ්‍රායෙල්ට කන්දෙන්න.
3. රූබෙන්, ඔබ මාගේ කුලුඳුලාය, මාගේ බලයය, මාගේ ශක්තියේ නාඹුල් ඵලයය; ශ්‍රේෂ්ඨ භාවයේ උතුම්කමය, පරාක්‍රමයේ උතුම්කමය.
4. ජලය මෙන් අස්ථිරවූ ඔබට ප්‍රධානකම නොලැබෙන්නේය. කුමක්හෙයින්ද ඔබ ඔබේ පියාගේ ඇඳට නැගුණෙහිය. එකල ඔබ එය කිලුටුකෙළෙහිය. ඔහු මාගේ යහනට නැගුණේය.
5. සිමියොන් සහ ලෙවී සහෝදරයෝය; ඔවුන්ගේ කඩු වනාහි බලාත්කාරකමේ ආයුධය.
6. එම්බා මාගේ ආත්මය, ඔවුන්ගේ මන්ත්‍රණයට ඇතුල්නොවන්න; මාගේ මහිමය ඔවුන්ගේ සමාගමට එකතුනොවන්න; කුමක්හෙයින්ද ඔවුන්ගේ කෝපයෙන් ඔව්හු මනුෂ්‍යයෙකු මැරුවෝය, ඔවුන්ගේ හිතුවක්කාරකමෙන් ගොනෙකුගේ කුදි කැපුවෝය.
7. ඔවුන්ගේ කෝපය රෞද්‍ර නිසාද ඔවුන්ගේ උදහස කෲරතර නිසාද ඊට ශාපවේවා. මම ඔවුන් යාකොබ් අතරෙහි බෙදා ඉශ්‍රායෙල් අතරෙහි විසුරුවන්නෙමි.
8. එම්බා යූදා, ඔබේ සහෝදරයෝ ඔබට ප්‍රශංසාකරන්නෝය. ඔබේ අත ඔබේ සතුරන්ගේ ගෙළෙහි වන්නේය; ඔබේ පියාගේ පුත්‍රයෝ ඔබ ඉදිරියෙහි වැඳවැටෙන්නෝය.
9. යූදා සිංහපැටවෙක; මාගේ පුත්‍රය, ඔබ ගොදුර කා නැගී ගියෙහිය. ඔහු සිංහයෙකු මෙන්ද සිංහධේනුවක් මෙන්ද නැමී ලැග්ගේය, ඔහු නැගුටුවන්නේ කවුද?
10. ෂිලෝ එන තෙක් යූදා කෙරෙන් ජයකොන්තයවත් ඔහුගේ පාද අතරෙන් ආණ්ඩුකාරයාගේ සැරයටියවත් පහනොවන්නේය; මනුෂ්‍ය වර්ගයන්ගේ කීකරුකම ඔහුට වන්නේය.
11. ඔහු තමාගේ කොටළු පැටවා මුද්‍රික වැලේද තමාගේ කොටළු වස්සා සාරවූ මුද්‍රික වැලේද බඳිමින් තමාගේ වස්ත්‍ර මුද්‍රිකපානයෙන්ද තමාගේ සළුව මුද්‍රික යුසයෙන්ද සේදුවේය.
12. ඔහුගේ ඇස් මුද්‍රිකපානයෙන් රතු වන්නේය, ඔහුගේ දත් කිරෙන් සුදුවන්නේය.
13. සාබුලොන් මුහුදු බඩ වසන්නේය. ඔහු නැව් තොටක් පිණිස වන්නේය; ඔහුගේ සීමාවද ශීදොන් දක්වා වන්නේය.
14. ඉස්සාඛර් ගාල් අතුරෙහි ලැගහිඳින ශක්තිමත් කොටළුවෙක.
15. ඔහු නවාතැනක් දැක ඒ හොඳ බවද දේශය ප්‍රසන්න බවද දැක බර ඉසිලීමට තමාගේ කර නමා අමාරු වැඩට දාසයෙක් වුණේය.
16. දාන් ඉශ්‍රායෙල්ගේ ගෝත්‍රවලින් එකක් මෙන් තමාගේ සෙනඟ විනිශ්චයකරන්නේය.
17. දාන් අශ්වයා පිට නැගී යන අය පස්සට වැටෙන ලෙස අශ්වයාගේ විලුඹුවලට දෂ්ටකරන්නාවූ මාර්ගයෙහි සිටින සර්පයෙක් වන්නේය, මාවත සිටින පොළඟෙක් වන්නේය.
18. ස්වාමීනි, ඔබගේ ගැළවීම ගැන බලාසිටියෙමි.
19. ගාද්ට විරුද්ධව බලහමුදාවක් ලුහුබැඳ එන්නේය. නුමුත් ඔහු හැරී ඔවුන් ලුහුබැඳ යන්නේය.
20. ආෂෙර් කෙරෙන් ඔහුගේ පෝෂ්‍ය ආහාර හටගන්නේය, ඔහු රාජකීය රසවත් භෝජන උපදවන්නේය.
21. නප්තලී මුදාහරිනලද මුවදෙනක්ය. ඔහු ශෝභන වචන පවසයි.
22. යෝසෙප් ඵලදෙන අත්තක්ය, උල්පතක් ළඟ තිබෙන ඵලදෙන අත්තක්ය; එහි ශාඛා බිත්තිය පිට විහිද යති.
23. දුනුවායෝ ඔහුට අතිශයින් හිංසාකොට ඔහුට විද ඔහුට පීඩාකළෝය.
24. එහෙත් ඔහුගේ දුන්න ශක්තිමත්ව පැවතුණේය, යාකොබ්ගේ බලවන්තයාණන්වහන්සේගේ අත්වලින්ද ඔබට පිහිටවන ඔබේ පියාගේ දෙවියන්වහන්සේගෙන්ද ඉහළ අහසේ ආශීර්වාදවලිනුත්
25. පහළ වැතිර තිබෙන ගැඹුරේ ආශීර්වාදවලිනුත් පායෝධරවල සහ ගර්භයේ ආශීර්වාදවලිනුත් ඔබට ආශීර්වාදකරන සර්වපරාක්‍රමයාණන්වහන්සේගෙන්ද ඔහුගේ අත්වල ශක්තිය ස්ථිරකරන ලද්දේය. (ඉශ්‍රායෙල්ගේ පර්වතයවූ එඬේරා මෙතැනින්ය.)
26. ඔබේ පියාගේ ආශීර්වාද මාගේ පියවරුන්ගේ ආශීර්වාදවලට වඩා අධිකවී සදාකාල කඳුවල ඉතා දුර සීමාව දක්වා ගියේය. ඒවා යෝසෙප්ගේ හිස පිටත් තමන් සහෝදරයන්ගෙන් වෙන්ව සිටි තැනැත්තාගේ හිස්මුදුන පිටත් වන්නේය.
27. බෙන්යමින් ගසාකන වෘකයෙක. ඔහු උදය ගොදුරු කාදමන්නේය, සවස කොල්ලය බෙදාගන්නේයයි කීයේය.
28. මොවුන් සියල්ලෝ ඉශ්‍රායෙල්ගේ ගෝත්‍ර දොළසය. ඔවුන්ගේ පියා ඔවුන්ට ආශීර්වාදකරමින් ඔවුන්ට කීවේ මෙලෙසය; ඒ ඒ අයගේ ආශීර්වාදය ලෙස ඔහු ඔවුන්ට ආශීර්වාදකෙළේය.
29. ඔහු ඔවුන්ට අණකරමින්: මම මාගේ සෙනඟට එකතුවන්නෙමි. හිත්තීයවූ එප්‍රොන්ගේ කෙතෙහි තිබෙන ගුහාවේ එනම් කානාන් දේශයෙහි මම්රේ ඉදිරිපිට මක්පේලායේ කෙතෙහි තිබෙන,
30. ආබ්‍රහම් විසින් උරුමවූ සොහොන් පළක් පිණිස කෙතත් සමඟ හිත්තීයවූ එප්‍රොන්ගෙන් මිලේට ගත්තාවූ ගුහාවෙහි මාගේ පියවරුන් ළඟ මා තැන්පත්කරන්න.
31. ඔව්හු එහි ආබ්‍රහම් සහ ඔහුගේ භාර්යාවවූ සාරා තැන්පත්කළෝය; ඔව්හු එහි ඊසාක් සහ ඔහුගේ භාර්යාවවූ රෙබෙකාද තැන්පත්කළෝය; එහි මමද ලෙයා තැන්පත්කෙළෙමි.
32. ඒ කෙත සහ එහි තිබෙන ගුහාවත් හෙත්ගේ පුත්‍රයන්ගෙන් මිලේට ගන්නාලදැයි කීවේය.
33. යාකොබ් තමාගේ පුත්‍රයන්ට අණකර නිමකළ කල්හි තමාගේ පාද යහනට ඔසවාගෙන ප්‍රාණය හැර තමාගේ සෙනඟට එකතුවුණේය.

උත්පත්ති 50:1-26
1. යෝසෙප් තමාගේ පියාගේ මුහුණ මතුයෙහි හඬ හඬා ඔහු සිඹගත්තේය.
2. පසුව යෝසෙප් තමාගේ පියාගේ මිනිය සුවඳ ද්‍රව්‍ය ගල්වා ආරක්ෂාකරන්ට තමාගේ මෙහෙකරුවූ වෙදුන්ට අණකෙළේය. ඒ හැටියට වෙද්දු ඉශ්‍රායෙල්ගේ මිනියට සුවඳ ද්‍රව්‍ය ගල්වා තැබූය.
3. ඔව්හු ඔහු උදෙසා සතළිස් දවසක් සම්පූර්ණකළෝය; මක්නිසාද සුවඳ ද්‍රව්‍ය ගැල්වීමට එපමණ දවස් ගතකරත්. මිසරවරුද ඔහු ගැන සැත්තෑ දවසක් වැලපුණෝය.
4. ඔහු ගැන වැලපීමේ දවස් ඉකුත්වූ කල්හි යෝසෙප් ඵාරාවෝගේ ගෙයි වැසියන්ට කථාකොට: ඔබ සැමගෙන් මට කරුණාව ලැබී තිබේනම් ඔබ සැම ඵාරාවෝට කථාකරමින් මෙසේ කියන ලෙස ඉල්ලමි-
5. මාගේ පියා මට කථාකර: බලව, මම නසිමි. කානාන් දේශයෙහි මා විසින් මට හාරා තිබෙන මාගේ සොහොන්ගෙයි මා තැන්පත්කළ යුතුය කියා මා දිවුරෙවුවේය. එබැවින් දැන් ගොස් මාගේ පියා තැන්පත් කිරීමට මට අවසර ලැබේවා, මම නැවත එන්නෙමියි කියන්නැයි කීවේය.
6. ඵාරාවෝද: ඔබේ පියා ඔබ දිවුරෙවු ලෙස ගොස් ඔහු තැන්පත් කරන්නැයි කීවේය.
7. එවිට යෝසෙප් තමන් පියා තැන්පත්කරන පිණිස ගියේය. ඵාරාවෝගේ සියලු මෙහෙකරුවෝද ඔහුගේ ගෙයි වැඩිමහල්ලෝද මිසර දේශයේ සියලු වැඩිමහල්ලෝද
8. යෝසෙප්ගේ ගෙයි වැසි සියල්ලෝද ඔහුගේ සහෝදරයෝද ඔහුගේ පියාගේ ගෙයි වැසියෝද ඔහු සමඟ ගියෝය. ඔව්හු තමන්ගේ දරුවන්ද තමන්ගේ එළුබැටළු රැළවල්ද තමන්ගේ ගව රැළවල්ද පමණක් ගෝෂෙන් දේශයෙහි නවත්වා ගියෝය.
9. රථ සහ අසරුවෝද ඔහු සමඟ ගියෝය. ඒ වනාහි ඉතා මහත් පිරිසක් විය.
10. ඔව්හු යොර්දානෙන් එගොඩ පිහිටි ආතාද්ගේ පාවරට පැමුණුණ කල එහිදී ඉතා මහත්වූ තද වැලපීමකින් වැලපුණෝය. ඔහු තම පියාණන් ගැන සත් දවසක් ශෝකවුණේය.
11. දේශවාසීවූ කානානිවරු ආතාද්ගේ පාවරේ සිදුවූ වැලපීම දැක: මේක මිසරවරුන්ට බරපතළ වැලපීමකැයි කීවෝය. එබැවින් යොර්දානෙන් එගොඩ තිබෙන ඒ ස්ථානයට ආබෙල්-මිශ්‍රයිම් යන නාමය තබන ලද්දේය.
12. ඔහුගේ පුත්‍රයෝ තමන්ට ඔහු අණ දුන් ලෙස ඔහුට කළෝය.
13. මක්නිසාද ඔහුගේ පුත්‍රයෝ ඔහු කානාන් දේශයට ගෙන ගොස් ආබ්‍රහම් විසින් හිත්තීයවූ එප්‍රොන්ගෙන් උරුමවූ සොහොන්පළක් පිණිස කෙතත් සමඟ මිලේට ගත්තාවූ මම්රේ ඉදිරියෙහි වූ මක්පේලායේ කෙතේ ගුහාවෙහි ඔහු තැන්පත් කළෝය.
14. යෝසෙප් තමාගේ පියා තැන්පත්කළ පසු ඔහුද ඔහුගේ සහෝදරයෝද තම පියා තැන්පත්කරන පිණිස ඔහු සමඟ ගිය සියල්ලෝද මිසරයට හැරී ආවෝය.
15. එවිට යෝසෙප්ගේ සහෝදරයෝ තමන්ගේ පියා නැසීගිය බව දැක: සමහරවිට යෝසෙප් අපට වෛරකොට අප විසින් ඔහුට කළ සියලු නපුරුකම් ගැන සම්පූර්ණ ලෙස අපෙන් පළිගන්නේයයි කීවෝය.
16. ඔව්හු යෝසෙප් වෙතට පණිවිඩයක් යවමින්: ඔබගේ පියා තමාගේ මරණයට පළමුවෙන් අපට අණකරමින්-
17. ඔබ සැම යෝසෙප්ට මෙලෙස කියන්න; ඔබගේ සහෝදරයන්ගේ අපරාධයත් ඔබට නපුරුකම්කළ ඔවුන්ගේ පාපයත් කමාකළ මැනවි. දැනුදු ඔබගේ පියාගේ දෙවියන්වහන්සේගේ මෙහෙකරුවන්ගේ වරද ක්ෂමාකරන ලෙස ඉල්ලමුයයි කීවෝය. ඔවුන් යෝසෙප්ට කථාකළ විට ඔහු හැඬුවේය.
18. ඔහුගේ සහෝදරයෝ ගොස් ඔහු ඉදිරියෙහි වැටී: මෙන්න, අපි ඔබගේ මෙහෙකරුවෝයයි කීවෝය.
19. යෝසෙප්: භයනොවෙන්න. මම දෙවියන්වහන්සේ වෙනුවට සිටිම්ද?
20. ඔබ සැම වනාහි මට නපුර කරන්ට අදහස්කළහුය; එහෙත් බොහෝ සෙනඟ දිවි සහිතව රක්ෂාකරන පිණිස අද තිබෙන ප්‍රකාර ඉෂ්ටකිරීමට දෙවියන්වහන්සේ ඒක යහපතට අදහස්කළසේක.
21. එබැවින් භය නොවන්න. මම ඔබ සැම සහ ඔබ සැමගේ දරුවන්ද පෝෂ්‍යකරන්නෙමියි කීවේය. මෙසේ ඔහු ඔවුන් සනසා කරුණාවෙන් ඔවුන්ට කථාකෙළේය.
22. යෝසෙප්ද ඔහුගේ පියාගේ වංශයද මිසරයෙහි වාසයකළෝය. යෝසෙප් එකසිය දස අවුරුද්දක් ජීවත්ව
23. එප්‍රායිම්ගේ දරුවන් තුන්වෙනි පරම්පරාව දක්වා දුටුවේය. මනස්සේගේ පුත්‍රවූ, මාඛිර්ගේ දරුවෝද යෝසෙප්ගේ උකුළ පිට ඇතිවුණෝය.
24. යෝසෙප් තමාගේ සහෝදරයන්ට කථාකොට: මම නසිමි. එහෙත් දෙවියන්වහන්සේ සැබවින් ඔබ සැම බලා වදාරා ආබ්‍රහම්ටද ඊසාක්ටද යාකොබ්ටද දෙන පිණිස දිවුළ දේශයට මේ දේශයෙන් ඔබ සැම ගෙනයනවා ඇතැයි කීවේය.
25. තවද යෝසෙප් ඉශ්‍රායෙල් පුත්‍රයන්ගෙන් දිවුරුමක් ගනිමින්: දෙවියන්වහන්සේ සැබවින්ම ඔබ සැම දෙස බලා වදාරනවා ඇත, එවිට ඔබ සැම මාගේ ඇට මෙතනින් ගෙනයන්ට ඕනෑයයි කීවේය.
26. යෝසෙප් එකසිය දස අවුරුද්දක් වයස්ව මළේය. ඔව්හු ඔහුගේ මිනිය සුවඳ ද්‍රව්‍ය ගල්වා ආරක්ෂාකළෝය, ඔහු මිසරයෙහි මිනී පෙට්ටියක තබනලද්දේය.

ගීතාවලිය 14:1-7
1. නායක වාද්‍යකරුටයි. දාවිත්ගේ ගීතයකි. අඥානයා: දෙවිකෙනෙක් නැතැයි සිතින් කීය. ඔව්හු දුශ්චරිතයෙහි සිටිති, ඔව්හු පිළිකුල් ක්‍රියා කළෝය; යහපත කරන්නෙක් නැත.
2. නුවණින් ක්‍රියාකරන්නාවූ, දෙවියන්වහන්සේ සොයන්නාවූ යමෙක් ඇද්දැයි දකින පිණිස, ස්වාමීන්වහන්සේ ස්වර්ගයේ සිට මනුෂ්‍යපුත්‍රයන් දෙස බැලූසේක.
3. සියල්ලෝම මුළාව ගොස් සිටිති; එකලෙස කිලුටුව සිටිති; යහපත කරන්නෙක් නැත, එසේය, එක්කෙනෙක්වත් නැත.
4. ආහාර කන්නාක්මෙන් මාගේ සෙනඟ කාදමන්නාවූ, ස්වාමීන් ට හඬ නොගසන්නාවූ, අයුතුකම් කරන සියල්ලන්ට කිසි දැනගැන්මක් නැද්ද?
5. ඔව්හු එහි මහත් භයින් සිටියෝය. මක්නිසාද දෙවියන්වහන්සේ ධර්මිෂ්ඨයන්ගේ පරම්පරාවෙහි සිටිනසේක.
6. ස්වාමීන්වහන්සේ දිළිඳාගේ රක්ෂාස්ථානය බැවින් ඔබ සැම ඔහුගේ මන්ත්‍රණය ලජ්ජාවට පෙරළන්නහුය.
7. අහෝ සියොන් කෙරෙන් ඉශ්‍රායෙල්ගේ ගැළවීම පැමුණුණොත් යහපත! ස්වාමීන්වහන්සේ තමන් සෙනඟ වහල්කමින් මුදා ගෙනෙන කල්හි, යාකොබ් ප්‍රීතිවන්නේය, ඉශ්‍රායෙල් සන්තෝෂවන්නේය.

හිතෝපදේශ 4:20-24
20. මාගේ පුත්‍රය, මාගේ වචනවලට ඇහුම්කන්දී, මාගේ කීම්වලට ඔබේ කන නමන්න.
21. ඒවා ඔබේ ඇස් ඉදිරියෙන් පහ නොවේවා; ඔබේ සිත තුළ ඒවා තබාගන්න.
22. මක්නිසාද ඒවා සම්බවන්නන්ට ඒවා ජීවනයත් ඔවුන්ගේ සකල ශරීරයට සුවයත්වේ.
23. සියල්ලටම වඩා ඔබේ සිත ආරක්ෂාකරගන්න; මක්නිසාද එයින් ජීවනය නික්මෙන්නේය.
24. වංචා මුඛය ඔබෙන් පහකොට, වංක තොල් ඔබෙන් දුරුකරන්න.

ශුද්ධවර මතෙව් 16:1-28
1. පරිසිවරුද සද්දුසිවරුද ඇවිත් උන්වහන්සේ පරීක්ෂාකරමින්, තමුන්ට අහසෙන් ලකුණක් පෙන්වන්ට උන්වහන්සේගෙන් ඉල්ලුවෝය.
2. උන්වහන්සේ ඔවුන්ට උත්තරදෙමින්: සවස් වේලෙහි අහස රතුපාට නිසා හොඳ කාලයක් වන්නේය කියාත්,
3. උදය අහස රතුපාටව, අඳුරුව තිබෙන නිසා අද කුණාටු දවසක් වන්නේය කියාත් ඔබ සැම කියවුය. ඔබ සැම අහස්තලය විමසන්ට දන්නහුය; එහෙත් කාලයන්ගේ ලකුණු විමසා දැනගන්ට ඔබ සැමට බැරිය.
4. නපුරුවූ කාමමිථ්‍යාචාරිකවූ පරම්පරාවක් ලකුණක් සොයයි; නුමුත් අනාගතවක්තෘවූ යෝනාගේ ලකුණ හැර ඔවුන්ට වෙන ලකුණක් දෙනු නොලැබෙන්නේයයි කීසේක. උන්වහන්සේ ඔවුන් අත්හැර පිටත්ව ගියසේක.
5. ගෝලයෝ එගොඩට පැමිණියෝය; රොටි ගෙනයන්ට ඔවුන්ට මතකනැති වුණේය.
6. යේසුස්වහන්සේ ඔවුන්ට කථාකොට: පරිසිවරුන්ගේද සද්දුසිවරුන්ගේද මුහුන්වලින් ප්‍රවේසම්වෙන්ට බලා ගන්නැයි ඔවුන්ට කීසේක.
7. ඔව්හු: අපි රොටි නොගෙනාමුයයි තම තමුන් අතරේ කථාකරගත්තෝය.
8. යේසුස්වහන්සේ ඒ බව දැන: මඳ ඇදහිල්ල ඇත්තෙනි, ඔබ සැමට රොටි නැති නිසා කුමකට ඔබ සැම අතරෙහි කථාකර ගන්නහුද?
9. ඔබ සැමට තවම තේරෙන්නේ නැද්ද? පන්දහසකට දුන් රොටි පහ ගැනත්, පැස් කීයක් පුරවාගත්තහුද කියාත්,
10. සාරදහසකට දුන් රොටි සත ගැනත්, කූඩා කීයක් පුරවාගත්තහුද කියාත් මතක නැද්ද?
11. රොටි ගැන මා විසින් ඔබ සැමට නොකී බව ඔබ සැමට තේරුම් නැත්තේ කොහොමද? නුමුත් පරිසිවරුන්ගේද සද්දුසිවරුන්ගේද මුහුන්වලින් ප්‍රවේසම්වෙන්නැයි කීසේක.
12. එවිට උන්වහන්සේ පරිසිවරුන්ගේද සද්දුසිවරුන්ගේද ඉගැන්වීමෙන් මිස රොටිවල මුහුන්වලින් ප්‍රවේසම් වෙන්ට නොකී බව ඔව්හු තේරුම්ගත්තෝය.
13. යේසුස්වහන්සේ පිලිප්පි කායිසාරියේ පළාත්වලට පැමිණි කල: මනුෂ්‍ය පුත්‍රයා කවරෙක්ය කියා මනුෂ්‍යයෝ කියද්දැයි තමන්ගේ ගෝලයන්ගෙන් ඇසූසේක.
14. ඔව්හු කථාකොට-සමහරෙක්: යොහන් බව්තීස්තය කියාද, අන් සමහරෙක්: එලියාය කියාද, තවත් අය: යෙරෙමියා නොහොත් අනාගතවක්තෘන්ගෙන් එක්කෙනෙක්ය කියාද කියතියි කීවෝය.
15. නුමුත් ඔබ සැම මා කවුරුය කියා කියනවාදැයි ඔවුන්ගෙන් ඇසූසේක.
16. සීමොන් පේතෘස් උත්තර දෙමින්: ඔබ ක්‍රිස්තුස්වහන්සේය, ජීවමාන දෙවියන්වහන්සේගේ පුත්‍රයාණෝයයි කීවේය.
17. යේසුස්වහන්සේ උත්තරදෙමින්: සීමොන් බර්-යෝනා, ඔබ ආශීර්වාදලද්දෙක්ය. මක්නිසාද ස්වර්ගයෙහි සිටින මාගේ පියාණන්වහන්සේ මිස මාංසය හා රුධිරය මේක ඔබ සැමට එළිදරව් නොකෙළේය.
18. මම ඔබ සැමට කියමි: ඔබ පේතෘස්ය, තවද මේ පර්වතය පිට මාගේ සභාව ගොඩනගන්නෙමි; පාතාලයේ දොරටු ඒක පරාජය නොකරන්නේය.
19. ස්වර්ගරාජ්‍යයේ යතුරු ඔබ සැමට දෙන්නෙමි. ඔබ පොළොවෙහිදී යමක් බඳින්නෙහිද ඒක ස්වර්ගයෙහිදී බඳිනු ලබන්නේය. ඔබ පොළොවෙහිදී යමක් මුදන්නෙහිද ඒක ස්වර්ගයෙහිදී මුදනු ලබන්නේයයි ඔහුට කීසේක.
20. එවිට තමන් ක්‍රිස්තුස්වහන්සේ බව කිසිවෙකුට නොකියන ලෙස උන්වහන්සේ ගෝලයන්ට අණකළසේක.
21. එවක් පටන් යේසුස්වහන්සේ, තමන් යෙරුසලමට ගොස් වැඩිමහල්ලන්ගෙන්ද නායක පූජකයන්ගෙන්ද ලියන්නන්ගෙන්ද බොහෝ දේ විඳින්ටත් මරනු ලබන්ටත් තුන්වෙනිදා නැගුටුවනු ලබන්ටත් ඕනෑ බව ගෝලයන්ට දන්වන්ට පටන්ගත්සේක.
22. එවිට පේතෘස් උන්වහන්සේ කැඳවා තරවටු කරන්ට පටන්ගෙන: ස්වාමිනි, එය ඔබ කෙරෙන් දුරුවේවා. ඔබට කිසිකලකත් එසේ සිද්ධ නොවන්නේයයි කීවේය.
23. නුමුත් උන්වහන්සේ හැරී පේතෘස්ට කථාකොට: සාතන් මා පස්සට යව, ඔබ මට බාධාවක්ය. මක්නිසාද ඔබ මනුෂ්‍යයන්ගේ කාරණා මිස දෙවියන්වහන්සේගේ කාරණා කල්පනාකරන්නේ නැතැයි කීසේක.
24. එවිට යේසුස්වහන්සේ ගෝලයන්ට කථාකොට: යමෙක් මා පස්සේ එන්ට කැමති නම් ඔහු තමාම නොසලකා, තමාගේ කුරුසිය රැගෙන, මා අනුව ඒවා.
25. මක්නිසාද යමෙක් තමාගේ ජීවිතය ගළවාගන්ට කැමතිවේද, ඒක ඔහුට නැතිවන්නේය. මා නිසා තමාගේ ජීවිතය නැතිවෙන අයට ඒක සම්බවන්නේය.
26. යම් මනුෂ්‍යයෙක් මුළු ලෝකය ලබාගත්තත් තමාගේ ජීවිතය නැතිවුණොත් ඔහුට මොන ලාභයක්ද? නොහොත් මනුෂ්‍යයෙක් තමාගේ ජීවිතය වෙනුවට දෙන්නේ කුමක්ද?
27. මක්නිසාද මනුෂ්‍ය පුත්‍රයා තමන් පියාණන්වහන්සේගේ තේජසින් යුක්තව තමන් දූතයන් සමඟ එන්නේය; එකල උන්වහන්සේ එකිනෙකාට තම තමාගේ ක්‍රියා ලෙස විපාක දෙනසේක.
28. සැබවක් ඔබ සැමට කියමි: මනුෂ්‍ය පුත්‍රයා ස්වකීය රාජ්‍යයෙන් යුක්තව එනවා දකිනතෙක් මෙහි සිටින්නන්ගෙන් සමහරෙක් කිසිසේත් මරණ රසය නොවිඳින්නෝයයි කීසේක.