Instagram
English
A A A A A
උත්පත්ති 33:1-20
1. යාකොබ් තමාගේ ඇස් ඔසවා බැලූ විට ඒසව්ද ඔහු සමඟ මිනිසුන් හාරසියයක්ද එනවා දුටුවේය. ඔහු ලෙයාටත් රාඛෙල්ටත් දාසීන් දෙදෙනාටත් දරුවන් වෙන්කොට දී,
2. දාසීන් සහ ඔවුන්ගේ දරුවන් පෙරටුකොටද, ලෙයා සහ ඇගේ දරුවන් පස්සෙන්ද, රාඛෙල් සහ යෝසෙප් ඊටත් පස්සෙන්ද සිටුවා,
3. ඔවුන්ට ඉස්සරවී, තමාගේ සහෝදරයා ළඟට එන තෙක් සත්වරක් බිමට නැමී වැන්දේය.
4. එවිට ඒසව් ඔහු සම්මුඛවෙන්ට දිවගොස් ඔහු වැළඳගෙන බෙල්ල බදාගෙන ඔහු සිඹගත්තේය. තවද ඔව්හු ඇඬුවෝය.
5. ඒසව් ඇස් ඔසවා ස්ත්‍රීන් හා දරුවන් දැක: ඔබ සමඟ සිටින මොව්හු කවුරුදැයි ඇසුවේය. දෙවියන්වහන්සේ කරුණාවෙන් ඔබගේ මෙහෙකරුවාට දුන් දරුවෝයයි ඔහු කීවේය.
6. එකල දාසීහුද ඔවුන්ගේ දරුවෝද ළංවී වැන්දෝය.
7. ලෙයාද ඇගේ දරුවෝද ළංවී වැන්දෝය. ඉන්පසු යෝසෙප්ද රාඛෙල්ද ළංවී වැන්දෝය.
8. මට සම්බවුණු ඔබේ ඔය පිරිස කුමක් පිණිසදැයි ඒසව් ඇසුවේය. මාගේ ස්වාමිහුගෙන් කරුණාව ලැබෙන පිණිසයයි ඔහු කීවේය.
9. ඒසව්: මට සෑහෙන පමණ තිබේ; මාගේ සහෝදරය, ඔබට තිබෙන දේ ඔබටම තිබේවයි කීය.
10. එවිට යාකොබ්: එසේ නොවේවා; ඔබගෙන් කරුණාව ලදිම්නම් මා අතින් මාගේ තෑග්ග පිළිගතමැනවි. කුමක්හෙයින්ද කෙනෙක් දෙවියන්වහන්සේගේ මුහුණ දකින්නාක් මෙන් මම ඔබගේ මුහුණ දුටුවෙමි, ඔබ මා කෙරෙහි ප්‍රසන්නවූයෙහිය.
11. දෙවියන්වහන්සේ මට කරුණා කළ හෙයින්ද සෑහෙන පමණ මට තිබෙන හෙයින්ද ඔබට ගෙනාවාවූ මාගේ තෑග්ග පිළිගතමැනවියි කියා ඔහුට පෙරැත්ත කෙළේය. එවිට ඔහු ඒක පිළිගත්තේය.
12. තවද ඔහු: අපි පිටත්ව යමු; මම ඔබට පෙරටුව යන්නෙමියි කීවේය.
13. එවිට යාකොබ්: දරුවන් ළාබාල බවද කිරිදෙන එළු බැටළුරැළවල් සහ ගවරැළවල් මා සමඟ ඉන්න බවද මාගේ ස්වාමියා දන්නේය. එක දවසක් උන් ඉක්මනට දැක්කුවොත් මුළු රැළ මියයන්නේය.
14. මාගේ ස්වාමියා ස්වකීය මෙහෙකරුවාට ඉස්සරව යේවා. මම මාගේ ස්වාමියා වෙතට සේයිර්ට පැමිණෙනතෙක් මට පෙරටුව යන සිව්පාවුන්ටත් දරුවන්ටත් යන්ට පුළුවන් ප්‍රමාණයට හෙමිහිට එන්නෙමියි ඔහුට කීවේය.
15. ඒසව්ද: එසේවීනම් මා සමඟ සිටින මිනිසුන්ගෙන් සමහරෙකු ඔබ සමඟ නවත්වා යන්නෙමියි කීවේය. ඔහුද: ඒ කුමටද? මාගේ ස්වාමියාගෙන් මට කරුණාව ලැබේවයි කීවේය.
16. මෙසේ ඒසව් ඒ දවසෙහි සේයිර්ට යන පිණිස හැරීගියේය.
17. යාකොබ් සුක්කොත්ට ගමන්කොට තමාට ගෙයක් ගොඩනැගුවේය, තමාගේ සිව්පාවුන්ට මඩුද සෑදීය. එබැවින් ඒ ස්ථානයට සුක්කොත් යන නම තබනලද්දේය.
18. යාකොබ් පදන්-අරාමෙන් ආ කල්හි කානාන් දේශයෙහි තිබෙන ෂෙඛෙම් නුවරට සමාදානයෙන් ඇවිත් නුවර ඉදිරිපිට කූඩාරම් පිහිටුවා ගත්තේය.
19. ඔහු තමාගේ කූඩාරම පිහිටුවාගත් බිම් කැබෙල්ල ෂෙඛෙම්ගේ පියවූ හාමොර්ගේ පුත්‍රයන්ගෙන් රිදී කෑලි සියයකට ගෙන
20. එහි පූජාසනයක් ගොඩනගා ඒල්-එලොහේ-ඉශ්‍රායෙල් යන නාමය ඊට තැබුවේය.

උත්පත්ති 34:1-31
1. ලෙයා යාකොබ් නිසා බිහිකළාවූ ඇගේ දුවවූ දීනා දේශයෙහි දූවරුන් දකින්ට ගියාය.
2. එවිට දේශයේ අධිපතිවූ හිවීය හාමොර්ගේ පුත් ෂෙඛෙම් ඈ දුටුවේය; ඔහු ඈ රැගෙන ඈ සමඟ සයනය කොට ඈ අපවිත්‍ර කෙළේය.
3. ඔහුගේ සිත යාකොබ්ගේ දූවූ දීනා කෙරෙහි ඇලුම්විය, ඔහු ඒ තරුණියට ආදරව ඈට කරුණාවන්ත ලෙස කථාකෙළේය.
4. ෂෙඛෙම් තමාගේ පියවූ හාමොර්ට කථාකොට: මේ තරුණිය මට භාර්යාව කොට ලබාදුනමැනවැයි කීය.
5. ඔහු තමාගේ දූවූ දීනා අපවිත්‍රකළ බව යාකොබ්ට සැලවිය; ඒ වේලාවට ඔහුගේ පුත්‍රයෝ ඔහුගේ සිව්පාවන් සමඟ කෙතෙහි සිටියෝය. යාකොබ් ඔවුන් එනතුරු නිශ්ශබ්දව සිටියේය.
6. ෂෙඛෙම්ගේ පියවූ හාමොර් යාකොබ් සමඟ කථාකරන පිණිස ඔහු වෙතට පිටතට ගියේය.
7. යාකොබ්ගේ පුත්‍රයෝ ඒ අසා කෙතේ සිට ආවෝය. ඔහු යාකොබ්ගේ දුව සමඟ සයනයකිරීමෙන් ඉශ්‍රායෙල් අතරේ නොකටයුතු වූ නින්දිතකමක් කළ හෙයින් ඒ මනුෂ්‍යයෝ ශෝකව ඉතා කෝපවූහ.
8. හාමොර් ඔවුන් හා සමඟ කථාකරමින්: මාගේ පුත්‍රවූ ෂෙඛෙම්ගේ සිත ඔබ සැමගේ දියණිය කෙරෙහි ඇලුම්වෙයි. ඈ භාර්යාකොට ඔහුට දුන මැනවි.
9. තවද අප හා සමඟ විවාහගනුදෙනු කරමින් ඔබ සැමගේ දූවරුන් අපට දෙන ලෙසත් අපේ දූවරුන් ඔබට ගන්න ලෙසත් ඉල්ලමි.
10. මෙසේ ඔබ සැම අප සමඟ වාසය කරන්නහුය. දේශයද ඔබ සැම ඉදිරියෙහි තිබේ; මෙහි වාසයකරමින් වෙළඳාම්කර උරුම වාසි ලබාගන්නැයි කීවේය.
11. ෂෙඛෙම්ද දීනාගේ පියාට හා සහෝදරයන්ටත් කථාකොට: ඔබ සැමගෙන් මට කරුණාව ලැබේවා, ඔබ සැම මට කියන දේ දෙන්නෙමි.
12. කොපමණ දායාද හා තෑගි මට නියමකළත් ඔබ සැම මට කියන ප්‍රකාරයට දෙන්නෙමි. කොහොම නුමුත් තරුණිය මට භාර්යාකොට දුනමැනවැයි කීවේය.
13. එවිට යාකොබ්ගේ පුත්‍රයෝ වනාහි ෂෙඛෙම් තමන්ගේ සහෝදරීවූ දීනාට අවනම්බු කළ නිසා ඔහුටත් ඔහුගේ පියවූ හාමොර්ටත් වංචාවෙන් උත්තරදෙමින්:
14. අචර්මඡේදිත කෙනෙකුට අපේ සහෝදරිය දීම අපට නින්දාවක් බැවින් මේ කාරණය කරන්ට අපට නුපුළුවන.
15. අපට ඔබ සැම සමඟ එකඟවීමට ඇත්තේ මේ විධිය පමණක්ය: එනම්, ඔබ සැමගේ සියලු පිරිමි චර්මඡේදිතව අප මෙන් විය යුතුය;
16. එවිට අපගේ දූවරුන් ඔබ සැමට දෙන්නෙමුව, ඔබ සැමගේ දූවරුන් අපි ගන්නෙමුව, ඔබ සැම සමඟ වාසය කරමින් එක සෙනඟක් වන්නෙමුව.
17. එහෙත් ඔබ සැම චර්මඡේද්‍යය වන පිණිස අපගේ වචන නොඅසන්නහුනම් අපගේ දුව රැගෙන යන්නෙමුයයි ඔවුන්ට කීවෝය.
18. ඔවුන්ගේ වචන හාමොර්ටත් හාමොර්ගේ පුත්‍රවූ ෂෙඛෙම්ටත් ප්‍රසන්න විය.
19. ඒ තරුණයා යාකොබ්ගේ දුවට ප්‍රියව සිටිය බැවින් ඒක කරන්ට ප්‍රමාද නොවීය. ඔහු තම පියාගේ ගෙදර සියල්ලන්ට වඩා ගරුතර කෙනෙක් විය.
20. හාමොර්ද ඔහුගේ පුත්‍රවූ ෂෙඛෙම්ද තමුන්ගේ නුවර දොරටුව ළඟට අවුත් තමුන්ගේ නුවර වාසීන් සමඟ කථාකරමින්:
21. මේ මනුෂ්‍යයෝ අප හා සමඟිතාවෙන් සිටිති; එහෙයින් ඔව්හු දේශයෙහි වැස වෙළඳාම් කෙරෙත්වා; මක්නිසාද දේශයෙහි ඔවුන්ට හොඳටම ඉඩ තිබේ; අපි ඔවුන්ගේ දූවරුන් භාර්යාවන් කොට ගනිමු, අපගේ දූවරුන් ඔවුන්ට දෙමු.
22. නුමුත් ඒ මනුෂ්‍යයන් චර්මඡේද්‍යය කරනුලැබුවාක් මෙන් අප අතරෙහි සියලු පිරිමි චර්මඡේද්‍යය කරනු ලැබුවොත් මිස නැත්නම් අප සමඟ වාසයකර එක සෙනඟක් වෙන්ට ඔව්හු අප හා එකඟ නොවන්නාහුය.
23. ඔවුන්ගේ ගවයෝද ඔවුන්ගේ වස්තුවද ඔවුන්ගේ සියලු මෘගයෝද අපට අයිති නොවන්නෝද? ඔවුන්ගේ අභිප්‍රායට එකඟවමු, එවිට ඔව්හු අප සමඟ වාසය කරන්නෝයයි කීවෝය.
24. හාමොර්ගේ නුවර දොරටුවෙන් පිටතට ගිය සියල්ලෝ ඔහුටත් ඔහුගේ පුත්‍රවූ ෂෙඛෙම්ටත් කන්දුන්නෝය; ඔහුගේ නුවර දොරටුවෙන් පිටතට ගිය සියලු පිරිමි චර්මඡේද්‍යය කරනු ලැබුවෝය.
25. තවද තුන්වෙනි දින ඔවුන් ගායව සිටි කල්හි යාකොබ්ගේ පුත්‍රයන්ගෙන් දෙදෙනෙක් වූ දීනාගේ සහෝදරයෝ වූ සිමියොන්ද ලෙවීද තමුන්ගේ කඩු රැගෙන හදිසියෙන් නුවරට වැද සියලු පිරිමින් මැරුවාහ.
26. ඔව්හු හාමොර්ද ඔහුගේ පුත්‍රවූ ෂෙඛෙම්ද කඩු මුවහතින් මරා ෂෙඛෙම්ගේ ගෙයින් දීනා රැගෙන නික්ම ගියෝය.
27. යාකොබ්ගේ පුත්‍රයෝ මරනු ලැබූවන් කරා අවුත් ඔවුන් තමුන්ගේ සහෝදරීට අවනම්බුකළ බැවින් නුවර කොල්ලකෑවෝය.
28. ඔව්හු ඔවුන්ගේ එළු බැටළු රැළවල්ද ගව රැළවල්ද කොටළුවන්ද නුවර තිබුණු දේද කෙතෙහි තිබුණු දේද ඔවුන්ගේ සියලු වස්තුවද ගෙන,
29. ඔවුන්ගේ සියලු දරුවන්ද භාර්යාවන්ද අල්ලාගෙන, ගෙවල තිබුණු සියලු දේද කොල්ලකා ගත්තෝය.
30. එවිට යාකොබ් සිමියොන්ටත් ලෙවීටත් කථාකොට: දේශයේ වැසියන්වූ කානානිවරුන් සහ පෙරිස්සිවරුන් විසින් මා නුරුස්සනු ලබන්ට සැලැස්වීමෙන් ඔබ සැම මා හිරිහැරයට පත්කළහුය. ගණනින් ස්වල්පවූ මට විරුද්ධව ඔවුන් රැස්ව මට පහරදෙනවා ඇත; මා හා මාගේ පවුල විනාශවන්නේයයි කීය.
31. වේශ්‍යාවකුට මෙන් අපගේ සහෝදරීට ක්‍රියාකරන්ට ඔහුට යුතුදැයි ඔව්හු කීවෝය.

ගීතාවලිය 9:1-5
1. නායක වාද්‍යකරුටයි; මුත්ලබ්බෙන් නම් වෘත්තයයි. දාවිත්ගේ ගීතයකි. ස්වාමීන් ට මාගේ මුළු සිතින් ස්තුති කරන්නෙමි; ඔබගේ ආශ්චර්ය ක්‍රියා සියල්ල දක්වා දෙන්නෙමි.
2. ඔබ කෙරෙහි ප්‍රීතිව සන්තෝෂ වන්නෙමි; මහෝත්තමයාණෙනි, ඔබගේ නාමයට ප්‍රශංසා ගී කියන්නෙමි.
3. මාගේ සතුරන් ආපසු හැරෙන කල, ඔව්හු ඔබ ඉදිරියෙහි පැකිල විනාශවෙති.
4. මක්නිසාද ඔබ මාගේ කාරණයද යුක්තියද ඉෂ්ටකළසේක; ඔබ ධර්මිෂ්ඨලෙස විනිශ්චයකරමින් සිංහාසනයෙහි වැඩහුන්සේක.
5. ඔබ ජාතීන්ට තරවටුකොට දුෂ්ටයන් විනාශකළසේක, සදාකාලේටම ඔවුන්ගේ නාමය මැකූසේක.

හිතෝපදේශ 3:21-26
21. මාගේ පුත්‍රය, ඒවා ඔබේ ඇස්වලින් පහ නොවේවා; සාරවූ ඥානයද සිහියද තබාගන්න;
22. එවිට ඒවා ඔබේ ආත්මයට ජීවනයත් ඔබේ ගෙලට අලංකාරයත් වන්නේය.
23. එවිට ඔබේ පය නොපැකිල, ඔබ සුවසේ ඔබේ මාර්ගයෙහි යන්නෙහිය.
24. ඔබ සැතපෙන කල භය නොවන්නෙහිය. එසේය, ඔබ සැතපුණාම ඔබේ නින්ද මිහිරිවන්නේය.
25. හදිසි භීතියටවත් දුෂ්ටයන් පිටට පැමිණෙන කුණාටුවටවත් භය නොවන්න.
26. මක්නිසාද ස්වාමීන්වහන්සේ ඔබේ විශ්වාස භූමියව, ඔබේ පය අසු නොවන ලෙස ආරක්ෂාකරනසේක.

ශුද්ධවර මතෙව් 12:1-21
1. එසමයෙහිදී යේසුස්වහන්සේ සබත් දවසේදී ගොයම් කෙත් මැදින් ගියසේක; උන්වහන්සේගේ ගෝලයෝ බඩගිනිව කරල් කඩා කන්ට පටන්ගත්තෝය.
2. පරිසිවරු ඒ දැක: බැලුව මැනව, සබත් දවසේදී කරන්ට යුතු නැති දෙයක් ඔබගේ ගෝලයෝ කරතියි කීවෝය.
3. උන්වහන්සේ කථාකොට: දාවිත් තමාටද තමා සමඟ සිටියවුන්ටද බඩගිනිවූ කල්හි කළ දේ,
4. එනම්, දෙවියන්වහන්සේගේ ගෘහයට ඇතුල්ව, පූජකයන්ට පමණක් මිස තමාටවත් තමා සමඟ සිටියවුන්ටවත් කන්ට යුතු නැති පිදීමේ රොටි කෑ බව ඔබ සැම කියෙවුවේ නැද්ද?
5. නොහොත් දේවමාළිගාවෙහි පූජකයන් සබත් දවසේදී සබත් කඩකොට නිවැරදිව සිටින බව ව්‍යවස්ථාවෙහි ඔබ සැම කියවා නැද්ද?
6. නුමුත් ඔබ සැමට කියමි: දේවමාළිගාවට වඩා උතුම්වූ කෙනෙක් මෙහි සිටියි.
7. නුමුත්: මම පූජාවට නොව කරුණාවට කැමැත්තෙමියි යන කීමේ අර්ථය ඔබ සැම දැනගන සිටියා නම් නිවැරදිකාරයන් පිට වරද තබන්නේ නැත.
8. මක්නිසාද මනුෂ්‍ය පුත්‍රයා සබත් දවසේ ස්වාමියායයි ඔවුන්ට කීසේක.
9. උන්වහන්සේ එතැනින් පිටත්ව ගොස් ඔවුන්ගේ සිනගෝගයට ඇතුල්වුණසේක.
10. එහි වියළුණු අතක් ඇති මනුෂ්‍යයෙක් සිටියේය. එවිට ඔව්හු උන්වහන්සේට වරද තබන පිණිස: සබත් දවසේදී සුවකරන්ට යුතුදැයි උන්වහන්සේගෙන් ඇසුවෝය.
11. උන්වහන්සේ ඔවුන්ට කථාකොට: ඔබ සැම අතරෙන් එක බැටළුවෙක් ඇති කොයි මනුෂ්‍යයෙක් නුමුත්, ඒකා සබත් දවසේදී වළක වැටුණොත්, ඌ අල්ලා ගොඩගන්නේ නැද්ද?
12. එසේවී නම් බැටළුවෙකුට වඩා මනුෂ්‍යයෙක් කොපමණ උතුම්ද? එබැවින් සබත් දවසේදී යහපත්කම් කරන්ට යුතුයයි ඔවුන්ට කියා-
13. ඔබේ අත දිගුකරන්නැයි ඒ මනුෂ්‍යයාට කීසේක. ඔහු එය දිගු කෙළේය; එවිට ඒක අනික් අත මෙන් සුවවිය.
14. එවිට පරිසිවරු පිටත්ව ගොස්, උන්වහන්සේ නසන්නේ කෙසේදැයි උන්වහන්සේට විරුද්ධව මන්ත්‍රණය කළෝය.
15. නුමුත් යේසුස්වහන්සේ ඒ දැන එතැනින් අහක්ව ගියසේක. බොහෝ සමූහයෝද උන්වහන්සේ අනුව ගියෝය; උන්වහන්සේ සියල්ලන්ට සුවකොට,
16. තමන්වහන්සේ ප්‍රසිද්ධ නොකරන ලෙස ඔවුන්ට අණකළසේක.
17. මෙසේ වූයේ: අනාගතවක්තෘවූ යෙසායා කරණකොටගෙන කියන ලද:
18. බලව, මා විසින් තෝරාගත් මාගේ මෙහෙකරුවූ, මාගේ ආත්මයට ප්‍රසන්නවූ මාගේ ප්‍රේමවන්තයා මේය. මාගේ ආත්මය ඔහු කෙරෙහි තබන්නෙමි, ඔහු අන්‍ය ජාතීන්ට විනිශ්චය ප්‍රකාශකරන්නේය.
19. ඔහු ඩබරකරන්නේවත් මොරගසන්නේවත් නැත; ඔහුගේ හඬද වීථිවල කිසිවෙකුට නොඇසෙන්නේය.
20. ඔහු විනිශ්චය ජයට පමුණුවන තුරු, තැළුණු බටලීයක් බිඳින්නේවත් දුම්නගින පහන් තිරයක් නිවන්නේවත් නැත.
21. ඔහුගේ නාමය කෙරෙහි අන්‍ය ජාතීහු බලාපොරොත්තුවන්නෝය යන කීම සම්පූර්ණ වන පිණිසය.