Instagram
English
A A A A A
උත්පත්ති 31:1-55
1. යාකොබ් අපේ පියා සන්තකවූ සියල්ලම පැහැරගත්තේය; අපේ පියාට තිබුණු දෙයින් මේ සියලු සම්පත ඔහු ලබාගත්තේයයි ලාබන්ගේ පුත්‍රයන් කී වචන යාකොබ්ට ඇසුණේය.
2. ලාබන්ගේ මුහුණ තමා කෙරෙහි ඉස්සර වාගේ ප්‍රිය නැති බව යාකොබ් දුටුවේය.
3. ඔබේ පියවරුන්ගේ දේශයටද ඔබේ නෑයන් වෙතටද හැරී යන්න; මම ඔබ සමඟ සිටින්නෙමියි ස්වාමීන්වහන්සේ යාකොබ්ට කීසේක.
4. යාකොබ් රාඛෙල් සහ ලෙයා කෙතෙහි තමාගේ රැළ ළඟට ගෙන්වාගෙන:
5. ඔබ සැමගේ පියාගේ මුහුණ මා කෙරෙහි පළමු ලෙස නොවන බව මට පෙනේ; එහෙත් මාගේ පියාණන්ගේ දෙවියන්වහන්සේ මා සමඟ සිටිසේක.
6. මා විසින් මාගේ මුළු ශක්තියෙන් ඔබ සැමගේ පියාට මෙහෙකළ බව ඔබ සැම දන්නහුය.
7. ඔබ සැමගේ පියා මා රවටා මාගේ කුලී දසවරක් වෙනස් කෙළේය; එහෙත් මට හිංසාවක් කරන්ට දෙවියන්වහන්සේ ඔහුට ඉඩ නුදුන්සේක.
8. ලප ඇතිවුන් ඔබේ කුලී වන්නේයයි ඔහු කී කල, මුළු රැළ ලප ඇතිවුන් බිහිකළෝය. රේඛා ඇතිවුන් ඔබේ කුලී වන්නෙහියයි කී කල, මුළු රැළ රේඛා ඇතිවුන් බිහිකළහ.
9. මෙසේ දෙවියන්වහන්සේ ඔබ සැමගේ පියාගේ ගවයන් අරගන මට දුන්සේක.
10. තවද රැළ ගැබ්ගත් කාලයේදී හීනයකින් මම මාගේ ඇස් ඔසවා බලා උන් පිට නගින එළුවන් රේඛාද ලපද තිත්ද ඇතිවුන් බව දුටිමි.
11. එවිට දෙවියන්වහන්සේගේ දූතයා: යාකොබ් කියා හීනයෙන් මට කීසේක. මම මෙහියයි කීයෙමි.
12. උන්වහන්සේ: දැන් ඔබේ ඇස් ඔසවා බලව, සිව්පා රැළ පිට නගින සියලු එළුවෝ රේඛාද ලපද තිත්ද ඇති සත්තුය. මක්නිසාද ලාබන් ඔබට කරන සියල්ල දුටුවෙමි.
13. මම වනාහි ඔබ කණුවක් ආලේපකර භාරයක් වුණු ස්ථානය වූ බෙතෙල්හිදී ප්‍රකාශවූ දෙවියන්වහන්සේය. ඉතින් නැගිට මේ දේශයෙන් පිටත්ව ඔබ උපන් රටට හැරී යන්නැයි කීසේකැයි කීය.
14. එවිට රාඛෙල්ද ලෙයාද උත්තරදෙමින්: තවත් අපගේ පියාගේ ගෙයි අපට කොටසක්වත් උරුමයක්වත් ඇද්ද?
15. ඔහු අප ආගන්තුකයන් මෙන් සලකනවා නොවේද? මක්නිසාද ඔහු අප විකුණා අපේ මිලද සහමුලින් නැතිකරදැම්මේය.
16. දෙවියන්වහන්සේ අපගේ පියාගෙන් පැහැරගත් සියලු වස්තුව අපටත් අපේ දරුවන්ටත් අයිතිය. ඉතින් දෙවියන්වහන්සේ ඔබට කී සියල්ල කරන්නැයි ඔහුට කීවෝය.
17. එකල යාකොබ් නැගිට තම පුත්‍රයන් සහ භාර්යාවන් ඔටුවන් පිට නංවා,
18. තමාගේ සියලු සිව්පාවන්ද පදන්-අරාමේදී තමා සම්බකරගත් සියලු සම්පත්ද තමා ලබාගත් සියලු සිව්පාවන්ද රැගෙන, කානාන් දේශයට තමාගේ පියවූ ඊසාක් වෙතට යන පිණිස ගියේය.
19. එකල ලාබන් බැටළුවන්ගේ ලෝම කපන පිණිස ගොස් සිටියේය. රාඛෙල් ඇගේ පියාට අයිති දේවතා රූප සොරකම්කරගත්තාය.
20. යාකොබ් තමා පලා යන බව අරාමියවූ ලාබන්ට නොකියා ඔහුට නොදන්වා සොරෙන් ගියේය.
21. මෙසේ ඔහු තමා සන්තක සියල්ල රැගෙන පලාගියේය; ඔහු නැගිට ගංගාවෙන් එතරවී ගිලියාද් කන්ද දෙස බලාගියේය.
22. යාකොබ් පලාගිය බව තුන්වෙනි දිනදී ලාබන්ට දන්වනලද්දේය.
23. එවිට ඔහු තම සහෝදරයන් කැඳවාගෙන සත් දවසක ගමන් ඔහු ලුහුබඳවා ගොස් ගිලියාද් කන්දේදී ඔහු කිට්ටු කෙළේය.
24. දෙවියන්වහන්සේ රාත්‍රියේ හීනයකින් අරාමියවූ ලාබන් වෙතට පැමිණ: ඔබ යාකොබ්ට හොඳවත් නරකවත් නොකියන ලෙස බලාගන්නැයි කීසේක.
25. ලාබන් යාකොබ් ළඟට පැමුණුණේය. යාකොබ් තමාගේ කූඩාරම කන්දේ පිහිටුවාගෙන තිබුණේය. ලාබන්ද තම සහෝදරයන් සමඟ ගිලියාද් කන්දේ කූඩාරම් පිහිටුවාගත්තේය.
26. ලාබන් යාකොබ්ට කථාකොට: මා කෙරෙන් මාගේ දූවරුන් කඩුවෙන් ගත් වාලුන් මෙන් ගෙන, මා වෙතින් හොරෙන් පිටත්වී ගිය එක මොන ක්‍රියාවක්ද?
27. මාගේ පුත්‍රයන්ද දූවරුන්ද සිඹගන්ට මට අවකාශ නොදී, ප්‍රීතියද ගීතිකාද රබානද වීණාද ඇතුව ඔබ පිටත් කරන පිණිස මට නොදන්වා,
28. සැඟවී රහසින් පලාගියේ මක්නිසාද? ඔබ අනුවණ ලෙස ක්‍රියාකෙළෙහිය.
29. ඔබ සැමට හිංසාකරන්ට මාගේ අතේ බලය තිබේ. එහෙත් ඊයේ රාත්‍රියේදී ඔබේ පියාගේ දෙවියන්වහන්සේ මට කථාකොට-යාකොබ්ට හොඳවත් නරකවත් නොකියන ලෙස බලාගන්නැයි කීසේක.
30. ඉතින් ඔබේ පියාගේ ගෙදරට යන්ට ඔබ අතිශයින් ආශා ඇති බැවින් ඔබ යන්ටම ඕනෑ නුමුත්, මාගේ දේවතාවන් සොරකම්කරගත්තේ මක්නිසාදැයි කීවේය.
31. යාකොබ් උත්තරදෙමින්: ඔබ බලාත්කාරයෙන් ඔබේ දූවරුන් මා කෙරෙන් පැහැරගන්නෙහි දෝහෝයි සිතා මා භයවූ නිසාය.
32. කවරෙකු ළඟ නුමුත් ඔබේ දේවතාවෝ සම්බවෙත්ද ඔහු ජීවත් නොවේවා. ඔබේ යම් දෙයක් මා ළඟ තිබේද කියා අපේ සහෝදරයන් ඉදිරියේදී බලා එය ගන්නැයි කීවේය. මක්නිසාද රාඛෙල් ඒවා සොරාගත් බව යාකොබ් නොදත්තේය.
33. එවිට ලාබන් යාකොබ්ගේ කූඩාරමටත් ලෙයාගේ කූඩාරමටත් දාසීන් දෙදෙනාගේ කූඩාරමටත් ඇතුල්වී සෙවූ නුමුත් ඒවා සම්බනූණේය. ඔහු ලෙයාගේ කූඩාරමෙන් ගොස් රාඛෙල්ගේ කූඩාරමට ඇතුල් විය.
34. රාඛෙල් ඒ දේවතා රූප රැගෙන ඔටු ඇඳුම් යට තබා ඒවා උඩ හිඳගෙන උන්නීය. ලාබන් මුළු කූඩාරම අතගා බැලූ නුමුත් ඒවා සම්බනොවීය.
35. ඈ පියාට කථාකොට: ඔබ ඉදිරියෙහි මට නැගිටින්ට බැරි නිසා මාගේ ස්වාමියා කෝපනොවේවා; මක්නිසාද ස්ත්‍රීන්ගේ නියමය මට සිදුවී තිබේයයි කීවාය. මෙසේ ඔහු සෙවූ නුමුත් ඒ රූප සම්බනොවීය.
36. එවිට යාකොබ් කිපී ලාබන් සමඟ විවාදකොට උත්තරදෙමින්: ඔබ වේගයෙන් මා පස්සේ එළවාගන ආවේ මාගේ කුමන වරදක් නිසාද? මාගේ පාපය කිමෙක්ද?
37. ඔබ මාගේ බඩු සියල්ල අතගා බැලුයෙහිය; ඔබේ ගෙයි බඩු සියල්ලෙන් ඔබට සම්බවුණේ කිමෙක්ද? එය මෙහි මාගේ සහෝදරයන්ද ඔබේ සහෝදරයන්ද ඉදිරියේ තබන්න, ඔව්හු අප දෙදෙනා අතරෙහි විනිශ්චය කෙරෙත්වා.
38. දැනට විසි අවුරුද්දක් ඔබ සමඟ සිටියෙමි; ඔබේ බැටළුදෙන්නුද ඔබේ එළුදෙන්නුද ගබ්සානුවූවෝය, ඔබේ රැළවල බැටළුවන් මම නොකෑයෙමි.
39. වල් සතුන් විසින් ඉරාදමන ලද්දවුන් ඔබ වෙතට නොගෙනවුත් මම්ම ඒ අලාභය වින්දෙමි; දවාලේ හෝ රාත්‍රියේ හෝ සොරකම්කරනලද්දවුන් ඔබ මා අතින් අය කෙළෙහිය.
40. දවාලේ රස්නයෙන්ද රාත්‍රියේ ශීතලෙන්ද ක්ෂයවීමි; මාගේ ඇස්වලින් මාගේ නින්ද පහව ගියේය.
41. මෙසේ පසුවුණෙමි. මේ විසි අවුරුද්ද ඔබේ ගෙයි සිටියෙමි; ඔබේ දූවරුන් දෙදෙනා උදෙසා දස සතර අවුරුද්දක්ද ඔබේ රැළ උදෙසා සාවුරුද්දක්ද මෙහෙකෙළෙමි. ඔබ මාගේ කුලිය දස වරක් වෙනස්කෙළෙහිය.
42. ආබ්‍රහම්ගේ දෙවියන්වහන්සේද ඊසාක්ගේ භය භූමියද වූ තැනන්වහන්සේ, මාගේ පියාගේ දෙවියන්වහන්සේ, මා සමඟ නොසිටිසේක්නම් සැබවින් ඔබ මා හිස් අතින් යන්ට හරිනවා ඇත. දෙවියන්වහන්සේ මාගේ පීඩාව සහ මාගේ අත්වල වෙහෙසද දැක ඊයේ රාත්‍රියේ ඔබට තරවටුකළසේකැයි ලාබන්ට කීය.
43. ලාබන් උත්තරදෙමින්: දූවරු මාගේ දූවරුය, දරුවෝ මාගේ දරුවෝය, රැළවල් මාගේ රැළවල්ය, ඔබට පෙනෙන මේ සියල්ල මාගේය. මේ මාගේ දූවරුන්ට හෝ ඔවුන්ට බිහිකළ දරුවන්ට හෝ අද කුමක් කළහැකිවෙම්ද?
44. ඉතින් දැන් එන්න, මමත් ඔබත් ගිවිසුමක් කරගනිමු; ඒක මා සහ ඔබ අතරෙහි සාක්ෂියක් පිණිස වේවයි යාකොබ්ට කීවේය.
45. යාකොබ් ගලක් රැගෙන කණුවක් කොට සිටුවා:
46. ගල් රැස් කරන්නැයි තමන් සහෝදරයන්ට කීය; ඔව්හු ගල් රැගෙන ගොඩක් සෑදුවෝය. තවද ඔව්හු ඒ ගොඩ ළඟ හිඳ කෑවෝය.
47. ලාබන් ඊට ඉගර්-සාහදූතා යන නම තැබුවේය. එහෙත් යාකොබ් ඊට ගල්යේද් යන නම තැබුවේය.
48. අද මේ ගොඩ මා සහ ඔබ අතරේ සාක්ෂියක්යයි ලාබන් කීවේය. එහෙයින් ඊට ගල්යේද් යන නම තබනලද්දේය.
49. තවද එයට මිශ්පායයිද කියනලදී. මක්නිසාද ඔහු කථාකර: අප එකිනෙකාගෙන් වෙන්ව සිටින කල ස්වාමීන්වහන්සේ මා සහ ඔබ අතරේ බලාඉන්නසේක්වා.
50. ඉදින් ඔබ මාගේ දූවරුන්ට පීඩාකළොත්, මාගේ දූවරුන් ඇර තව භාර්යාවන් පාවාගත්තොත්, කිසි මනුෂ්‍යයෙක් අප සමඟ නැතත්, බලව, දෙවියන්වහන්සේ මා සහ ඔබ අතරේ සාක්ෂි වනසේකැයි කීවේය.
51. තවද ලාබන්: මා සහ ඔබ අතරේ මා සිටෙවූ මේ ගොඩත් මේ කණුවත් බලන්න.
52. නපුරක් කරන පිණිස මා මේ ගොඩ පසුකර ඔබ වෙතට නේන බවටත් ඔබ මේ ගොඩ සහ මේ කණුව පසුකර මා වෙතට නේන බවටත් මේ ගොඩ සාක්ෂි වේවා, මේ කණුවද සාක්ෂි වේවා.
53. ආබ්‍රහම්ගේ දෙවියන්වහන්සේද නාහොර්ගේ දෙවියන්වහන්සේද වන ඔවුන්ගේ පියාණන්ගේ දෙවියන්වහන්සේ අප අතරේ විනිශ්චයකරනසේක්වයි යාකොබ්ට කීවේය. යාකොබ්ද තමාගේ පියාවූ ඊසාක්ගේ භය භූමියවූ තැනන්වහන්සේ ගැන දිවුළේය.
54. තවද යාකොබ් කන්දේදී පූජාවක් ඔප්පුකොට කෑම කන්ට තමාගේ සහෝදරයන් කැඳවිය. ඔව්හුද කෑම කා මුළු රාත්‍රියෙහි කන්දේ නැවතී සිටියෝය.
55. ලාබන් අලුයම නැගිට තම පුත්‍රයන්ද දූවරුන්ද සිඹ ඔවුන්ට ආශීර්වාදකොට පිටත්ව තමාගේ ස්ථානයට හැරී ගියේය.

උත්පත්ති 32:1-32
1. යාකොබ් තමාගේ ගමන යන්ට ගියේය. දෙවියන්වහන්සේගේ දූතයෝ ඔහුට සම්බවුණෝය.
2. යාකොබ් ඔවුන් දුටු විට: මේ දෙවියන්වහන්සේගේ සේනාවය කියා ඒ ස්ථානයට මහනායිම් යන නම තැබීය.
3. තවද යාකොබ් ඒදොම් රටවූ සේයිර් දේශයෙහි සිටි තම සහෝදරවූ ඒසව් වෙතට තමාට පෙරටුව පණිවුඩකාරයන් යැවුවේය.
4. ඔහු ඔවුන්ට අණකරමින්: ඔබ සැම මාගේ ස්වාමිවූ ඒසව්ට කථාකොට: ඔබගේ මෙහෙකරුවූ යාකොබ් මෙසේ කියන්නේය-මම ලාබන් වෙත මේ දක්වා නැවතී සිටියෙමි.
5. මට ගවයෝද කොටළුවෝද රැළවල්ද දාස දාසීහුද සිටිති. ඔබගෙන් කරුණාව ලැබෙන පිණිස මාගේ ස්වාමියාට දන්වන්ට එවීමියි කියන්නැයි කීවේය.
6. පණිවිඩකාරයෝ යාකොබ් වෙතට හැරී අවුත්: අපි ඔබගේ සහෝදරවූ ඒසව් වෙත ගියෙමුව, තවද ඔහු මිනිසුන් හාරසියයක් සමඟ ඔබ සම්බවෙන පිණිස එන්නේයයි කීවෝය.
7. එවිට යාකොබ් අතිශයින්ම භයපත්ව කැලඹුණේය. ඔහු තමා කැටුව සිටි මිනිසුන්ද බැටළුවන්ද ගවයින්ද ඔටුවන්ද කණ්ඩායම් දෙකකට බෙදා:
8. ඒසව් අවුත් එක් කණ්ඩායමකට පහර දෙන්නේනම් ඉතිරි කණ්ඩායමට ගැළවෙන්ට පුළුවනැයි කීවේය.
9. තවද යාකොබ්: මාගේ පියා වන ආබ්‍රහම්ගේ දෙවියන්වහන්ස, මාගේ පියා වන ඊසාක්ගේ දෙවියන්වහන්ස, ඔබේ රටටත් ඔබේ නෑයන් වෙතටත් හැරී යන්න, මම ඔබට යහපත කරන්නෙමියි මට වදාළවූ ස්වාමීන්වහන්ස,
10. ඔබගේ මෙහෙකරුවාට ඔබ දැක්වූ සියලු කරුණාවලින් ඉතා සුළු එකක්වත් ඔබගේ මුළු විශ්වාසකමවත් ලැබීමට නොවටිමි; මක්නිසාද මම මාගේ සැරයටිය පමණක් රැගෙන මේ යොර්දානෙන් මෙතර වුණෙමි; දැනුදු කණ්ඩායම් දෙකක්ව සිටිමි.
11. මාගේ සහෝදරයා අතින්, ඒසව් අතින්, මා ගැළවුව මැනව. මක්නිසාද ඔහු ඇවිත් මටත් ඔවුන් සහ දරුවන්ටත් පහර දෙන්නේදෝහෝයි ඔහුට භයවෙමි.
12. ඒකාන්තයෙන් මම ඔබට යහපත කර ඔබේ වංශය ගණන් කළ නොහැකි තරමට මුහුදේ වැලි මෙන් වැඩිකරන්නෙමියි ඔබවහන්සේ කීසේකැයි කීවේය.
13. ඔහු ඒ රාත්‍රියේ එහි නැවතී සිට තමාගේ සහෝදරවූ ඒසව්ට තෑග්ගක් පිණිස තමාට තිබුණු දෙයින්
14. එළුදෙනුන් දෙසියයක් සහ එළුවන් විසිදෙනෙක්ද බැටළුදෙනුන් දෙසියයක් සහ බැටළුවන් විසිදෙනෙක්ද,
15. කිරිදෙන ඔටුදෙනුන් තිස්දෙනෙක් සහ උන්ගේ පැටියන්ද එළදෙනුන් සතළිස් දෙනෙක් සහ ගොන් දස දෙනෙක්ද කොටළුදෙනුන් විසිදෙනෙක් සහ පැටවුන් දස දෙනෙක්ද රැගෙන
16. තමාගේ වැඩකාරයන් අතට ඒ ඒ රංචු වෙන් වශයෙන් භාරදී: ඔබ සැම රංචුවෙන් රංචුව ඈත්කර මට පෙරටුව එතරට යන්නැයි තමාගේ වැඩකාරයන්ට කීවේය.
17. තවද ඔහු ප්‍රථමයාට අණකරමින්: මාගේ සහෝදරවූ ඒසව් ඔබට සම්බව-ඔබ කාගේද? කොතැනට යන්නෙහිද? ඔබට ඉස්සරින් යන මුන් කාට අයිතිදැයි ඔබෙන් අසන කල:
18. උන් ඔබගේ මෙහෙකරුවූ යාකොබ්ගේය; උන් මාගේ ස්වාමිවූ ඒසව්ට එවනලද තෑග්ගක්ය. ඔහුද අප පස්සෙන් එන්නේයයි කියන්නැයි කීවේය.
19. ඔහු දෙවෙනියාටත් තුන්වෙනියාටත් රංචු පස්සේ යන සියල්ලන්ටත් අණකරමින්: ඒසව් සම්බවූ කල ඔබ සැම එයාකාරයෙන් ඔහුට කථාකර-
20. ඔබගේ මෙහෙකරුවූ යාකොබ් අප පස්සෙන් එන්නේය කියා කියන්නැයි කීවේය. මක්නිසාද: මට පෙරටුව යවන තෑග්ගෙන් ඔහු සමඟිකරගෙන පසුව ඔහුගේ මුහුණ බලන්නෙමි; සමහරවිට ඔහු මා පිළිගන්නවා ඇතැයි ඔහු කීවේය.
21. මෙසේ ඒ තෑග්ග ඔහුට පෙරටුව ගියේය. ඔහු වනාහි ඒ රාත්‍රියේ අන්දායමෙහි නැවතුණේය.
22. ඔහු ඒ රාත්‍රියෙහි නැගිට තම භාර්යාවන් දෙදෙනාද දාසීන් දෙදෙනාද පුත්‍රයන් එකොළොසද රැගෙන යබ්බොක් තොටුපෙළන් එගොඩ වුණේය.
23. ඔහු ඔවුන් කැඳවාගෙන ගොස් ඔයෙන් එතර යැවුවේය, ඔහුට තිබුණු දේත් එතර යැවුවේය.
24. යාකොබ් හුදකලාව සිටියේය; එවිට මනුෂ්‍යයෙක් පහන්වෙන තුරු ඔහු සමඟ පොරබැදුවේය.
25. ඒ තැනන්වහන්සේ ඔහුගෙන් ජය නොලැබෙන බව දුටු විට ඔහුගේ කළවා සන්ධියට ගැසූසේක; යාකොබ්ගේ කළවා සන්ධියද උන්වහන්සේ සමඟ පොරබදද්දී ඇදීගියේය.
26. උන්වහන්සේ කථාකොට: පහන්වෙන බැවින් මා යන්ට හරින්නැයි කීසේක. ඔහුද: ඔබ මට ආශීර්වාදකළොත් මිස නැත්නම් යන්ට නොහරිමියි කීය.
27. ඔබේ නම මොකදැයි උන්වහන්සේ ඔහුගෙන් ඇසූසේක.
28. යාකොබ්යයි ඔහු කීය. ඔබ දෙවියන්වහන්සේ සමඟත් මනුෂ්‍යයන් සමඟත් පොරබදා ජයගත් නිසා ඔබේ නම මින්මතු යාකොබ් නොව ඉශ්‍රායෙල් වන්නේයයි උන්වහන්සේ කීසේක.
29. යාකොබ්ද: ඔබගේ නාමය මට කිවමැනවයි ඉල්ලුවේය. උන්වහන්සේ: ඔබ කුමක්හෙයින් මාගේ නාමය විචාරනවාදැයි කියා එහිදී ඔහුට ආශීර්වාද කළසේක.
30. යාකොබ් ඒ ස්ථානයට පෙනීයේල්යයි නම් තැබුවේය. මක්නිසාද මම මුහුණට මුහුණ ලා දෙවියන්වහන්සේ දුටිමි, එහෙත් මාගේ ප්‍රාණය ඉතුරුවීයයි ඔහු කීවේය.
31. ඔහු පෙනූයේල් පසුකර යන කල්හි ඉර උදාවිය, ඔහු තමාගේ කළවයේ රිදුම නිසා කොරගසමින් ගියේය.
32. උන්වහන්සේ යාකොබ්ගේ කළවා සන්ධියේ නහරයට ගැසූ බැවින් ඉශ්‍රායෙල් පුත්‍රයෝ අද දක්වා කළවා සන්ධිය පිට තිබෙන නහරය නොකති.

ගීතාවලිය 8:6-9
6. ඔබගේ හස්තකර්ම කෙරෙහි ඔහු අධිපති කළසේක; එසේය, සියල්ල ඔහුගේ පාද යට දැමූසේක.
7. එනම් සියලු බැටළුවන් සහ ගවයෝද, එසේය, වනයෙහි මෘගයෝද;
8. ආකාශයෙහි පක්ෂීන් සහ මුහුදේ මත්ස්‍යයෝද, මුහුදු මාර්ගවල යන්නාවූ සියල්ලෝද යන මොව්හුය.
9. අපගේ ස්වාමිවූ ස්වාමීන්වහන්ස, ඔබගේ නාමය මුළු පොළොවෙහි කොපමණ උතුම්ද!

හිතෝපදේශ 3:19-20
19. ස්වාමීන්වහන්සේ ප්‍රඥාව කරණකොටගෙන පොළොවේ අත්තිවාරම් තැබූසේක; ඥානය කරණකොටගෙන අහස පිහිටෙවුසේක.
20. උන්වහන්සේගේ දැනගැන්මෙන් ගැඹුරු තැන් හාරනු ලැබුවේය, වලාකුල්වලින්ද පිනි වෑස්සෙන්නේය.

ශුද්ධවර මතෙව් 11:1-30
1. යේසුස්වහන්සේ තමන් ගෝලයන් දොළොස්දෙනාට අණකොට නිමකළ පසු එතැනින් පිටත්ව, ඔවුන්ගේ නුවරවල උගන්වන්ටද දේශනා කරන්ටද ගියසේක.
2. යොහන් ක්‍රිස්තුස්වහන්සේගේ ක්‍රියා ගැන හිරගෙයිදී අසා: එන්නාවූ තැනැත්තේ ඔබද?
3. නොහොත් අපි වෙන කෙනෙකු බලා සිටිමුදැයි තමාගේ ගෝලයන් යවා උන්වහන්සේගෙන් විචාළේය.
4. යේසුස්වහන්සේ උත්තරදෙමින්: ඔබ සැම අසන දකින දේ ඔබ සැම ගොස් යොහන්ට දන්වන්න.
5. අන්ධයෝ පෙනීම ලබති, කොරු ඇවිදිති, කුෂ්ඨ රෝගීහු පවිත්‍ර කරනු ලබති, බිහිරන්ට ඇසෙයි, මළාහු නැගුටුවනු ලබති, දිළිඳුන්ට ශුභාරංචිය ප්‍රකාශකරනු ලැබේ.
6. මා ගැන පැකිලීමේ හේතුවක් යමෙකුට නොවන්නේද ඔහු ආශීර්වාදලද්දෙකැයි ඔවුන්ට කීසේක.
7. ඔවුන් යද්දී යේසුස්වහන්සේ යොහන් ගැන සමූහයන්ට කථාකරන්ට පටන්ගෙන: ඔබ සැම කුමක් බලන්ට වනයට ගියහුද? සුළඟින් සෙලවෙන බට ගසක්ද?
8. නුමුත් කුමක් බලන්ට ගියහුද? සිහින් වස්ත්‍ර පැළඳගත් මනුෂ්‍යයෙක්ද? බලව, සිහින් වස්ත්‍ර අඳින්නෝ රජ ගෙවල සිටිති.
9. නුමුත් කුමකට පිටත්ව ගියහුද? අනාගතවක්තෘ කෙනෙකු බලන්ටද? එසේය, ඔබ සැමට කියමි: අනාගතවක්තෘ කෙනෙකුටත් වඩා බොහෝ උතුම් කෙනෙක්ය.
10. මක්නිසාද- මෙන්න, මම මාගේ දූතයා ඔබ සැමට පෙරටුව යවමි, ඔහු ඔබ ඉදිරියෙහි ඔබේ මාර්ගය සාදන්නේයයි ලියා තිබෙන්නේ මොහු ගැනය.
11. සැබවක් ඔබ සැමට කියමි: ස්ත්‍රීන්ගෙන් උපන්නවුන් අතරෙන් යොහන් බව්තීස්තට වඩා උතුම් කෙනෙක් නොනැගුටුණේය. නුමුත් ස්වර්ගරාජ්‍යයෙහි කුඩා තැනැත්තේ ඔහුට වඩා උතුම්ය.
12. යොහන් බව්තීස්තගේ දවස්වල පටන් මේ දක්වා ස්වර්ගරාජ්‍යය බලාත්කාරයෙන් ගනු ලැබේ, බලාත්කාරකරන්නෝ ඒක බලයෙන් අල්ලාගනිති.
13. මක්නිසාද සියලු අනාගතවක්තෘවරුද ව්‍යවස්ථාවද යොහන් දක්වා අනාගතවාක්‍ය කීවෝය.
14. ඔබ සැම පිළිගන්ට කැමති නම් එන්ට සිටින එලියා මොහුය.
15. ඇසීමට කන් ඇත්තේ අසාවා.
16. නුමුත් මේ පරම්පරාව කුමකට සමානකරම්ද? අපි ඔබ සැමට නළා පිම්බෙමුව, ඔබ සැම නැටුවේ නැත;
17. ඔබ සැමට විලාපකීමුව, ඔබ සැම ඇඬුවේ නැතැයි වෙළඳාම්පළවල හිඳ තමුන්ගේ යහළුවන්ට හඬගසා කියන්නාවූ ළමයින්ට සමානය.
18. මක්නිසාද යොහන් කමින් බොමින් නාවේය, එබැවින් ඔහු යක්ෂාවේශවූ කෙනෙකැයි ඔව්හු කියති.
19. මනුෂ්‍ය පුත්‍රයා කමින් බොමින් ආවේය, බලව, කෑදර මනුෂ්‍යයෙක්ය, මුද්‍රිකපානය බොන්නෙක්ය, සුංගම් අයකරන්නන්ගෙත් පව්කාරයන්ගෙත් මිත්‍රයෙක්යයි ඔව්හු කියති. එහෙත් ප්‍රඥාව නිදොස් බව ඇගේ ක්‍රියා වලින් ඔප්පුවී තිබේයයි කීසේක.
20. එකල උන්වහන්සේගේ බලවත් ක්‍රියා වලින් බොහොමයක් කරන්ට යෙදුණු නුවරවල් පසුතැවිලි නුවූ බැවින් ඒවාට වරද තබන්ට පටන්ගෙන:
21. කොරාශීන්, ඔබ සැමට දුක්වේ! බෙත්සයිදා, ඔබ සැමට දුක්වේ! ඔබ ඇතුළේ කරනලද ආශ්චර්ය ක්‍රියා තීර් හා සීදොන් ඇතුළේ කරනලද්දේ නම්, ඒ නුවරවල් බොහෝ ඉහතදී ගෝණි රෙදි ඇඳ අලුයෙහි ඉඳ පසුතැවිල්ලට පැමිණෙනවා ඇත.
22. එසේවී නුමුත් විනිශ්චය දවසේදී ඔබ සැමට වඩා තීර්ට සහ සීදොන්ට ඉවසන්ට පහසුවන්නේයයි කියමි.
23. එම්බා කපර්ණවුම, ඔබ ස්වර්ගය දක්වා උසස්කරනු ලබන්නීද? ඔබ පාතාලය දක්වා පහළට හෙළනු ලබන්නීය. ඔබ ඇතුළේ කරනලද ආශ්චර්ය ක්‍රියා සොදොම් ඇතුළේ කරනලද්දේ නම්, අද දක්වා ඒක පවතිනවා ඇත.
24. එසේවීනුමුත් විනිශ්චය දවසේදී ඔබ සැමට වඩා සොදොම් රටට ඉවසන්ට පහසු වන්නේයයි කියමියි කීසේක.
25. ඒ ප්‍රස්ථාවේදී යේසුස්වහන්සේ උත්තර දෙමින් කියනසේක්: ස්වර්ගයටත් පොළොවටත් ස්වාමිවූ පියාණෙනි, ඔබවහන්සේ ප්‍රඥාවන්තයන්ගෙන්ද තේරුම් ඇත්තන්ගෙන්ද මේ කාරණා සඟවා ළදරුවන්ට එළිදරව්කළ බැවින් ඔබට ස්තුතිකරමි.
26. එසේය, පියාණෙනි, මක්නිසාද එය ඔබගේ ඇස් හමුයෙහි ප්‍රසන්නදායක විය.
27. මාගේ පියාණන්වහන්සේ විසින් සියල්ල මට භාරදෙනලද්දේය. පියාණන්වහන්සේ මිස අන් කිසිවෙක් පුත්‍රයා හඳුනන්නේ නැත; පුත්‍රයාත්, පුත්‍රයා විසින් යමෙකුට පියාණන්වහන්සේ එළිදරව්කරන්ට සතුටුවන්නේද ඔහුත් හැර අන් කිසිවෙක් පියාණන්වහන්සේ හඳුනන්නේ නැත.
28. වෙහෙසවෙන්නාවූ, බර උසුලන්නාවූ සියල්ලෙනි, මා වෙතට එන්න, මම ඔබ සැමට සහනය දෙමි.
29. මම සිතින් මෘදුව යටත්ව සිටින බැවින්, මාගේ වියගහ ඔබ සැම පිටට ගෙන, මාගෙන් ඉගෙනගන්න. එවිට ඔබ සැමගේ ආත්මවලට සහනය ලැබෙන්නේය.
30. මක්නිසාද මාගේ වියගහ පහසුය, මාගේ බරද සැහැල්ලුයයි කීසේක.