A A A A A
අවුරුද්දකින් බයිබලය
ජනවාරි 14

උත්පත්ති 27:1-46
1. තවද ඊසාක් මහලුව ඔහුගේ ඇස් නොපෙනෙන ලෙස අඳුරුවූ කල්හි තමාගේ වැඩිමල් පුත්‍රවූ ඒසව් කැඳවා: මාගේ පුත්‍රයයි ඔහුට කීය. ඔහුද: මම මෙහියයි කීවේය.
2. එවිට ඔහු කථාකොට: බලව, මම මහලුව සිටිමි, මාගේ මරණයේ දවස නොදනිමි.
3. එබැවින් ඔබේ ආයුධ වන හීකොපුවත් දුන්නත් රැගෙන වනයට ගොස් මට මුව මස් ලබාගෙන,
4. මට රුචිවූ රසවත් කෑම සාදන්න; මා එයින් කා, මැරෙන්ට ප්‍රථමයෙන් මාගේ ආත්මය ඔබ සැමට ආශීර්වාදකරන පිණිස ඒක මා ළඟට ගෙනෙන්නැයි කීය.
5. ඊසාක් තමාගේ පුත්‍රවූ ඒසව්ට කථාකරන කල රෙබෙකාට ඇසුණේය. ඒසව් දඩයම්කොට මුව මස් ගෙනෙන පිණිස වනයට ගියේය.
6. එවිට රෙබෙකා ඇගේ පුත්‍රවූ යාකොබ්ට කථාකරමින්: බලව, ඔබේ පියා-මා විසින් කාලා මාගේ මරණයට ප්‍රථමයෙන් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ඔබට ආශීර්වාදකරන පිණිස මට මුව මස් ගෙනවුත්
7. රසවත් කෑම සාදන්නැයි ඔබේ සහෝදරවූ ඒසව්ට කියනවා ඇසීමි.
8. එබැවින් මාගේ පුත්‍රය, මා ඔබට අණකරන කාරණය ගැන මාගේ හඬට කීකරු වෙන්න.
9. දැන් එළු රැළට ගොස් එතැනින් හොඳ එළුපැටියන් දෙදෙනකු මට ගෙනෙන්න; මම උන්ගෙන් ඔබේ පියාට ප්‍රියවූ රසවත් කෑම සාදන්නෙමි.
10. ඔබේ පියා කාලා තමාගේ මරණයට ප්‍රථමයෙන් ඔබට ආශීර්වාදකරන පිණිස ඒවා ඔහු වෙතට රැගෙන යන්නැයි කීවාය.
11. යාකොබ් තම මවුවූ රෙබෙකාට කථාකොට: බලව, මාගේ සහෝදරවූ ඒසව් ලෝමික කෙනෙක්ය, මම වනාහි සිලුටු කෙනෙක්ය.
12. සමහරවිට මාගේ පියා මා අතගා බලයි, එවිට මා රැවටිලිකාරයෙක් මෙන් ඔහුට පෙනීයයි; එකල්හි ආශීර්වාදයක් නොව ශාපයක් මා පිටට වන්නේයයි කීය.
13. ඔහුගේ මවු: මාගේ පුත්‍රය, ඔබේ ශාපය මා කෙරෙහි වේවා. ඔබ මා කියන දේ පමණක් අසා, ගොස් උන් මා වෙතට ගෙනෙන්නැයි ඔහුට කීවාය.
14. ඔහු ගොස් උන් රැගෙන තමාගේ මවු ළඟට ආවේය. එවිට ඔහුගේ මවුතොමෝ ඔහුගේ පියාට ප්‍රියවූ රසවත් භෝජනය පිළියෙළකළාය.
15. රෙබෙකා ඈ වෙත ගෙයි තිබුණු ඇගේ වැඩිමල් පුත්‍රවූ ඒසව්ගේ හොඳ වස්ත්‍ර රැගෙන ඇගේ බාල පුත්‍රවූ යාකොබ්ට අන්දවා,
16. එළු පැටියන්ගේ සම් ඔහුගේ අත්වලද සිලුටු බෙල්ලෙහිද ඇන්දෙවුවාය.
17. තවද ඈ පිළියෙළකළ රසවත් කෑමද රොටීද ඇගේ පුත්‍රවූ යාකොබ් අතට දුන්නාය.
18. ඔහු තමාගේ පියා වෙතට අවුත්: මාගේ පියාණෙනියි කීය. ඔහු: මම මෙහිය; මාගේ පුත්‍රය, ඔබ කවුදැයි ඇසීය.
19. යාකොබ්ද: මම ඔබගේ කුලුඳුල් පුත්‍රවූ ඒසව්ය; ඔබ මට අණකළ ලෙස කෙළෙමි. ඔබගේ ආත්මය මට ආශීර්වාදකරන පිණිස නැගිට හිඳ මාගේ මුව මස් කැව මැනවියි තමාගේ පියාට කීවේය.
20. ඊසාක්: මාගේ පුත්‍රය, මෙපමණ ඉක්මනට එය ඔබට සම්බවුණේ කොහොමදැයි තම පුත්‍රයාගෙන් ඇසීය. ඔහු: ඔබගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ එය ඉක්මනින් ඉෂ්ටවෙන්ට සැලැස්වූ හෙයිනැයි කීය.
21. තවද ඊසාක්: මාගේ පුත්‍රය, ඔබ මාගේ පුත්‍රවූ ඒසව්මද නැද්ද කියා ඔබ අතගා බලන්ට මා ළඟට එන්නැයි යාකොබ්ට කීවේය.
22. එවිට යාකොබ් තමාගේ පියවූ ඊසාක් ළඟට ගියේය; ඔහු අතගා බලා: හඬ යාකොබ්ගේ හඬය, නුමුත් අත් ඒසව්ගේ අත්යයි කීය.
23. ඔහුගේ අත් ඔහුගේ සහෝදරවූ ඒසව්ගේ අත් මෙන් ලෝමිකව තිබුණු බැවින් ඊසාක් ඔහු නොහැඳින ඔහුට ආශීර්වාදකෙළේය.
24. ඔබ මාගේ පුත්‍රවූ ඒසව්මදැයි ඔහු ඇසීය. එසේයයි ඔහු කීවේය.
25. ඊසාක්ද: ඒවා මා ළඟට ගෙනෙන්න, මාගේ ආත්මය ඔබට ආශීර්වාදකරන පිණිස මාගේ පුත්‍රයාගේ මුව මස් කන්නෙමියි කීවේය. එසේ ඔහු ඒවා ඔහු ළඟට ගෙනගියේය, ඊසාක් කෑයේය. මුද්‍රිකපානයත් ඔහු ළඟට ගෙනගියේය, ඔහු බීවේය.
26. එවිට ඔහුගේ පියවූ ඊසාක්: ඉතින් මාගේ පුත්‍රය, ළඟට අවුත් මා සිඹගන්නැයි ඔහුට කීය.
27. එවිට ඔහු ළඟට අවුත් ඔහු සිඹගත්තේය. ඊසාක් ඔහුගේ වස්ත්‍රවල සුවඳ සිඹ ඔහුට ආශීර්වාදකරමින්: බලව, මාගේ පුත්‍රයාගේ සුවඳ වනාහි ස්වාමීන්වහන්සේ ආශීර්වාදකළ කෙතක සුවඳ මෙනි.
28. එබැවින් දෙවියන්වහන්සේ අහසේ පිනිද පොළොවේ සාරත්වයද බොහෝ ධාන්‍ය හා මිදියුසද ඔබට දෙන සේක්වා.
29. මනුෂ්‍ය වර්ගයෝ ඔබට සේවය කෙරෙත්වා, ජාතීහු ඔබ බැහැදකිත්වා. ඔබේ සහෝදරයන් කෙරෙහි ස්වාමියෙක් වෙන්න, ඔබේ මෑණියන්ගේ පුත්‍රයෝ ඔබ බැහැදකිත්වා. ඔබට ශාපකරන සියල්ලෝ ශාප කරනු ලබත්වා, ඔබට ආශීර්වාදකරන සියල්ලෝ ආශීර්වාද කරනු ලබත්වයි කීය.
30. ඊසාක් යාකොබ්ට ආශීර්වාදකොට නිමවූ කෙණෙහිම, යාකොබ් තමාගේ පියවූ ඊසාක් ඉදිරියෙන් පිටතට යන කොටම, ඔහුගේ සහෝදරවූ ඒසව් තමාගේ දඩයමින් හැරී ආයේය.
31. ඔහුත් රසවත් ආහාර සාදා තමාගේ පියා වෙතට ගෙනැවිත්: ඔබගේ ආත්මය මට ආශීර්වාදකරන පිණිස මාගේ පියාණන් නැගිට තමන් පුත්‍රයාගේ මුව මස් කැව මැනවයි තම පියාට කීය.
32. එවිට ඔහුගේ පියවූ ඊසාක්: ඔබ කවරෙක්දැයි ඔහුට කීය. මම ඔබගේ කුලුඳුල් පුත්‍රවූ ඒසව්යයි ඔහු කීය.
33. එවිට ඊසාක් අතිශයින් වෙවුලා කථාකොට: එසේ වීනම් දඩයම්කර මුව මස් මා ළඟට ගෙනාවේ කවුද? මම ඔබ එන්ට ප්‍රථමයෙන් සියල්ලෙන්ම කා ඔහුට ආශීර්වාදකෙළෙමි; එසේය, ඔහු ආශීර්වාද ලබන්නේයයි කීය.
34. තම පියාගේ බස් ඇසූ කල ඒසව් ඉතා මහත්වූ දුක්ඛිතවූ මොරගැසීමකින් කෑගසා: මාගේ පියාණෙනි, මටත්, අනේ මටත් ආශීර්වාදකළ මැනවයි තම පියාට කීය.
35. ඔහු: ඔබේ සහෝදරයා රැවටිල්ලෙන් අවුත් ඔබේ ආශීර්වාදය හැරගත්තේයයි කීය.
36. එවිට ඒසව්: යාකොබ් යන නම ඔහුට තබා තිබෙනවා සුදුසු නොවේද? මක්නිසාද ඔහු මේ දෙවතාවක්ම මට ලැබෙන්ට තිබුණු දේ පැහැරගත්තේය. ඔහු මාගේ කුලුඳුල්කම ගත්තේය; මෙන්න, දැන් මාගේ ආශීර්වාදයත් ගත්තේයයි කීය. එවිට ඔහු: ඔබ මටත් ආශීර්වාදයක් ඉතුරු නොකෙළෙහිදැයි ඇසීය.
37. ඊසාක් උත්තරදෙමින්: බලව, මම ඔහු ඔබේ ස්වාමියා කෙළෙමි, ඔහුගේ සියලු සහෝදරයන් මෙහෙකරුවන්කොට ඔහුට දුනිමි; ධාන්‍යයෙන් සහ මිදියුසින් ඔහු පෝෂණයකෙළෙමි. ඉතින් මාගේ පුත්‍රය, ඔබට කුමක් කෙරෙම්දැයි ඒසව්ට කීවේය.
38. ඒසව්ද: මාගේ පියාණෙනි, ඔබට ඇත්තේ එක ආශීර්වාදයක් පමණක්ද? මාගේ පියාණෙනි, මටත්, අනේ මටත් ආශීර්වාදකළ මැනවැයි තමාගේ පියාට කියා ශබ්දනගා හැඬීය.
39. එවිට ඔහුගේ පියවූ ඊසාක් උත්තරදෙමින්: බලව, ඔබේ වාසස්ථානය පොළොවේ සාරත්වයෙන්ද ඉහළින් පැමිණෙන අහස් පින්නෙන්ද යුක්ත වන්නේය;
40. ඔබේ කඩුව කරණකොටගෙන ජීවත්වන්නෙහිය, ඔබේ සහෝදරයාට මෙහෙකරන්නෙහිය; තවද ඔබ නිදහසට පැමුණුණාම ඔහුගේ වියගහ ඔබේ බෙල්ලෙන් ගසා දමන්නෙහියයි ඔහුට කීවේය.
41. ඒසව් තමාගේ පියා යාකොබ්ට කළ ආශීර්වාදය නිසා යාකොබ් කෙරේ වෛර බැන්දේය. මාගේ පියාණන් ගැන වැලපෙන දවස් ආසන්නය; එකල්හි මාගේ සහෝදරවූ යාකොබ් මරන්නෙමියි ඒසව් තමාගේ සිත තුළ කියාගත්තේය.
42. තමාගේ වැඩිමල් පුත්‍රවූ ඒසව්ගේ වචන රෙබෙකාට දන්වනලද්දේය; ඈ තමාගේ බාල පුත්‍රවූ යාකොබ් කැඳවා: බලව, ඔබේ සහෝදරවූ ඒසව් ඔබ නසන්ට සිතාගන ඔබ ගැන තමාම සනසාගනියි.
43. එහෙයින් මාගේ පුත්‍රය, ඔබ මාගේ හඬට ඇහුම්කන්දී පිටත්ව මාගේ සහෝදරවූ ලාබන් වෙතට හාරාන්ට පලායන්න;
44. ඔබේ සහෝදරයාගේ කෝපය පහවෙන තුරු, ඔබේ සහෝදරයාගේ තරහ ඔබ කෙරෙන් පහවී ඔබ ඔහුට කළ දේ සිහිනැති වෙනකල්, ස්වල්ප දිනක් එහි සිටින්න.
45. එවිට මම එතැනින් ඔබ ගෙන්වාගන්නෙමි. එක දවසේ ඔබ සැම දෙදෙනාම මට නැතිවෙන්නේ මක්නිසාදැයි කීවාය.
46. රෙබෙකා ඊසාක්ට කථාකොට: හෙත්ගේ දූවරුන් නිසා මාගේ ජීවිතය මට එපාවී තිබේ. යාකොබ් මේ දේශයේ දූවරුන් වූ හෙත්ගේ දූවරුන්ගෙන් මෙබඳු භාර්යාවක් පාවාගන්නේ නම් මාගේ ජීවිතය මට කුමට දැයි කීවාය.

උත්පත්ති 28:1-22
1. ඊසාක් යාකොබ් කැඳවා ඔහුට ආශීර්වාද කොට අණකරමින්: ඔබ කානාන්හි දූවරුන්ගෙන් භාර්යාවකු පවානොගන්න.
2. ඔබ පිටත්වී පදන්-අරාමෙහි ඔබේ මවුගේ පියවූ බෙතුයෙල්ගේ ගෙදරට ගොස් එතැනින් ඔබේ මවුගේ සහෝදරවූ ලාබන්ගේ දූවරුන්ගෙන් භාර්යාවක් පාවාගන්න.
3. සර්වපරාක්‍රමවූ දෙවියන්වහන්සේ ඔබට ආශීර්වාදකර ඔබ සෙනඟ රාශියක් වන පිණිස ඔබ සඵලකොට ඔබ වැඩිකරනසේක්වා;
4. දෙවියන්වහන්සේ ආබ්‍රහම්ට දුන්නාවූ ඔබ විදේශීව සිටින්නාවූ දේශය ඔබට උරුමවෙන පිණිස ඔබටත් ඔබේ වංශයටත් ආබ්‍රහම්ගේ ආශීර්වාදය දෙනසේක්වයි ඔහුට කීවේය.
5. මෙසේ ඊසාක් යාකොබ් පිටත්කර හැරියේය. ඔහු යාකොබ්ගේද ඒසව්ගේද මවුවූ රෙබෙකාගේ සහෝදරවන අරාමිය බෙතුයෙල්ගේ පුත්‍රවූ ලාබන් වෙතට පදන්-අරාමට ගියේය.
6. ඊසාක් යාකොබ්ට ආශීර්වාදකොට පදන්-අරාමෙන් ඔහුට භාර්යාවකු පාවාගන්නා පිණිස ඔහු එහි යැවූ බවද, ඔහුට ආශීර්වාදකරද්දී: ඔබ කානාන්හි දූවරුන්ගෙන් භාර්යාවකු පාවානොගන්නැයි අණකළ බවද,
7. යාකොබ් තමාගේ පියාටත් මවුටත් කීකරුව පදන්-අරාමට ගිය බවද ඒසව් දුටුවේය.
8. තවද කානාන්හි දූවරුන්ට තමාගේ පියවූ ඊසාක් අප්‍රිය වූ බව ඒසව් දැක
9. ඉෂ්මායෙල් වෙතට ගොස් තමාට සිටිය භාර්යාවන් ඇතුළුව ආබ්‍රහම්ගේ පුත් ඉෂ්මායෙල්ගේ දූවූ, නෙබායොත්ගේ සහෝදරීවූ මහලත් භාර්යාව වන පිණිස පාවාගත්තේය.
10. යාකොබ් බෙයර්-ෂෙබායෙන් පිටත්ව හාරාන් දිසාවට ගියේය.
11. ඔහු එක්තරා ස්ථානයකට පැමිණ, ඉර බැසගිය බැවින් මුළු රාත්‍රියේ එහි සිට, ඒ ස්ථානයේ ගල්වලින් එකක් අරන් තමාගේ හිසට තබාගෙන, ඒ ස්ථානයෙහි නින්දට වන්නේය.
12. එවිට ඔහු ස්වප්නයක් දුටුවේය: බලව, පොළොවෙහි තබනලද හිණිමගක් විය, එහි මුදුන අහස දක්වා විය. දෙවියන්වහන්සේගේ දූතයෝ එහි නගිමින්ද බසිමින්ද සිටියෝය.
13. බලව, ස්වාමීන්වහන්සේ ඊට ඉහළින් සිට කථාකොට: මම ඔබේ පියවූ ආබ්‍රහම්ගේ දෙවිවූ, ඊසාක්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ය. ඔබ නිදා සිටින දේශය ඔබටද ඔබේ වංශයටද දෙන්නෙමි;
14. ඔබේ වංශය පොළොවේ ධූලි මෙන් වැඩිවන්නේය, ඔබ බස්නාහිර දෙසටද නැගෙනහිර දෙසටද උතුර දෙසටද දකුණු දෙසටද පැතිර යන්නෙහිය. පොළොවේ සියලු ගෝත්‍රයෝ ඔබ සහ ඔබේ වංශය කරණකොටගෙන ආශීර්වාද ලබන්නෝය.
15. බලව, මම ඔබ සමඟ සිටිමි, ඔබ යන සියලු තැන්හිදී ඔබ ආරක්ෂාකර නැවත මේ දේශයට ඔබ පමුණුවන්නෙමි; මක්නිසාද මා විසින් ඔබට කී දෙය සිදුකරන තුරු ඔබ අත් නොහරින්නෙමියි කීසේක.
16. යාකොබ් තමාගේ නින්දෙන් පිබිද: ඒකාන්තයෙන්ම ස්වාමීන්වහන්සේ මෙතැන සිටිනසේක; මම ඒ බව නොදත්තෙමියි කියා භයවී:
17. මේක කොපමණ භයානක ස්ථානයක්ද! ඒකාන්තයෙන්ම මේක දෙවියන්වහන්සේගේ ගෘහයය, මේක ස්වර්ගයේ දොරටුවයයි කීවේය.
18. යාකොබ් අලුයම නැගිට තමාගේ හිසට තබනලද ගල රැගෙන කණුවක් කොට සිටුවා එහි මුදුනේ තෙල් වත්කොට,
19. ඒ ස්ථානයට බෙතෙල්යයි නම් තැබීය. එහෙත් පළමුවෙන් ඒ නුවර නම ලූස්ය.
20. යාකොබ් භාරයක් වී: මාගේ පියාණන්ගේ ගෙට නැවත සමාදානයෙන් එන පිණිස දෙවියන්වහන්සේ මා සමඟ සිට මා යන මේ මාර්ගයෙහි මා ආරක්ෂාකොට
21. මට කන්ට භෝජනද අඳින්ට වස්ත්‍රද දෙනසේක් නම්, ස්වාමීන්වහන්සේ මාගේ දෙවියන්වහන්සේ වනසේක,
22. කණුවක්කොට මා සිටෙවූ මේ ගල දෙවියන්වහන්සේගේ ගෘහය වන්නේය. ඔබවහන්සේ මට දෙන සියල්ලෙන්ම දසයෙන් කොටසක් සැබවින්ම ඔබට දෙන්නෙමියි කීවේය.

ගීතාවලිය 7:9-17
9. අනේ දුෂ්ටයන්ගේ දුෂ්ටකම කෙළවර වේවා, නුමුත් ධර්මිෂ්ඨයා ස්ථිරකළ මැනව. මක්නිසාද ධර්මිෂ්ඨවූ දෙවියන්වහන්සේ සිත් හා අදහස් පරීක්ෂාකරනසේක.
10. මාගේ පලිහ අවංක සිත් ඇත්තන් ගළවන දෙවියන්වහන්සේ සමඟය.
11. දෙවියන්වහන්සේ ධර්මිෂ්ඨ විනිශ්චය කාරයෙක, එසේය, සැමදාම උදහස්වන දෙවි කෙනෙක.
12. යමෙක් නොහැරේනම් උන්වහන්සේ තමන්ගේ කඩුව මුවහත් කරනසේක; උන්වහන්සේ දුන්න තැත්කවා සූදානම්කළසේක.
13. උන්වහන්සේ ඔහුට මරණායුධ පිළියෙළකළසේක; උන්වහන්සේ තමන් ඊගස් ගිනි-ඊගස් කරනසේක.
14. බලව, ඔහු අයුතුකම ප්‍රසූතකිරීමට වේදනා විඳියි; එසේය, ඔහු නපුරුකම ගැබ්ගෙන, බොරුව ප්‍රසූතකෙළේය.
15. ඔහු වළක් කැණ ගැඹුරුකොට හෑරුවේය, තමා හෑරූ බොරු වළේ තෙමේම වැටුණේය.
16. ඔහුගේ නපුරුකම ස්වකීය හිස පිටට හැරෙන්නේය, ඔහුගේ බලාත්කාරකම ස්වකීය ඉස් මුදුනෙහි වැටෙන්නේය.
17. ස්වාමීන් ගේ ධර්මිෂ්ඨකම පරිද්දෙන් උන්වහන්සේට ස්තුතිකරන්නෙමි. මහෝත්තමවූ ස්වාමීන් ගේ නාමයට ප්‍රශංසා ගී කියන්නෙමි.

හිතෝපදේශ 3:11-12
11. මාගේ පුත්‍රය, ස්වාමීන්වහන්සේ ගේ තරවටුකිරීම සුළුකොට නොසිතන්න; උන්වහන්සේගේ දඬුවමටද නොකලකිරෙන්න.
12. මක්නිසාද පියෙකු ප්‍රිය පුත්‍රයාට දඬුවම්කරන්නාක්මෙන් ස්වාමීන්වහන්සේ තමන් ප්‍රේමකරන අයට දඬුවම්කරනසේක.

ශුද්ධවර මතෙව් 10:1-20
1. තවද උන්වහන්සේ තමන් ගෝලයන් දොළොස්දෙනා තමන් ළඟට කැඳවා, අශුද්ධාත්මයන් දුරු කරන්ට ඔවුන් කෙරෙහිද සියලු ආකාර ලෙඩ සහ සියලු ආකාර රෝග සුවකිරීමටද ඔවුන්ට බලය දුන්සේක.
2. ප්‍රේරිතයන් දොළොස්දෙනාගේ නාමවල් මේය: පළමුවෙනුව පේතෘස් නම්ලත් සීමොන් සහ ඔහුගේ සහෝදරවූ අන්දෘය; සෙබදීගේ පුත්‍රවූ යාකොබ් සහ ඔහුගේ සහෝදරවූ යොහන්ය;
3. පිලිප් සහ බර්තොලොමෙව්ය; තෝමස් සහ සුංගම් අයකරන්නා වන මතෙව්ය; අල්පෙවුස්ගේ පුත්‍රවූ යාකොබ් සහ තද්දියස්ය;
4. කානානීය සීමොන් සහ උන්වහන්සේව පාවාදුන් යූදස් ඉස්කාරියොත්ය.
5. යේසුස්වහන්සේ මේ දොළොස්දෙනා යවමින් ඔවුන්ට මෙසේ අණකළසේක: කෙසේද? අන්‍ය ජාතීන්ගේ කිසි මාවතකට නොගොස්, සමාරියයන්ගේ කිසි නුවරකට ඇතුල් නොවී,
6. ඉශ්‍රායෙල් වංශයේ නැතිවූ බැටළුවන් වෙතට යන්න.
7. ඔබ සැම යමින්-ස්වර්ගරාජ්‍යය ළංවී තිබේය කියා දේශනාකරන්න.
8. රෝගීන් සුවකරන්න, මළවුන් නැගුටුවන්න, කුෂ්ඨ රෝගීන් පවිත්‍රකරන්න, යක්ෂයන් දුරුකරන්න. ඔබ සැම නොමිලයේ ලැබුවහුය, නොමිලයේ දෙන්න.
9. ඔබ සැමගේ පසුම්බිවල රන්වත් රිදීවත් පිත්තලවත් නොගන්න.
10. ගමනට මල්ලක්වත් කබා දෙකක්වත් වහන්වත් සැරයටියක්වත් සපයා නොගන්න. මක්නිසාද වැඩකරුවාට තමාගේ කෑම ලැබෙන්ට යුතුය.
11. ඔබ සැම කොයි නුවරකට නුමුත් ගමකට නුමුත් ඇතුල්වූ කල එහි සුදුස්සා කවුදැයි විභාගකොට, පිටත්ව යන තුරු එහිම නැවතී සිටින්න.
12. ගෙදරට ඇතුල්වන විට ඊට ආචාරකරන්න.
13. ගෙයි වැසියන් සුදුසු නම්, ඔබ සැමගේ සමාදානය ඒ පිටට පැමිණේවා. නුමුත් නුසුදුසු නම් ඔබ සැමගේ සමාදානය නැවත ඔබ සැම කරා පැමිණේවා.
14. කවරෙක් නුමුත් ඔබ සැම පිළිගන්නේවත් ඔබ සැමගේ වචන අසන්නේවත් නැත්නම්, ඒ ගෙදරින් හෝ නුවරින් හෝ පිටත්ව යන කල ඔබ සැමගේ පාදවල ධූලි ගසාදමන්න.
15. සැබවක් ඔබ සැමට කියමි: විනිශ්චය දවසේදී ඒ නුවරට වඩා සොදොම් සහ ගොමොරා රටට ඉවසීම පහසුවන්නේය.
16. වෘකයන් මැදට බැටළුවන් මෙන් මම ඔබ සැම යවමි. එහෙයින් සර්පයන් මෙන් නුවණ ඇතිව, පරෙවියන් මෙන් අහිංසකව සිටින්න.
17. නුමුත් මනුෂ්‍යයන්ගෙන් ප්‍රවේසම්වෙන්න. මක්නිසාද ඔවුන් ඔබ සැම මන්ත්‍රණසභාවලට පාවාදී, ඔවුන්ගේ සිනගෝගවලදී ඔබ සැමට තළනවා ඇත;
18. ඔවුන්ටද අන්‍ය ජාතීන්ටද සාක්ෂියක් පිණිස ඔබ සැම මා නිසා ආණ්ඩුකාරයන්ද රජුන්ද ඉදිරියට ගෙනයනු ලබනවා ඇත.
19. නුමුත් ඔවුන් ඔබ සැම පාවාදෙන කල, ඔබ සැම කථාකරන්නේ කෙසේද, කුමක්දැයි සිතා කනගාටු නොවෙන්න. මක්නිසාද ඔබ සැම විසින් කිය යුතු දේ ඒ පැයේදී ඔබ සැමට දෙනු ලබන්නේය.
20. මක්නිසාද කථාකරන්නේ ඔබ සැම නොව ඔබ සැම තුළ කථාකරන ඔබ සැමගේ පියාණන්ගේ ආත්මයාණෝය.