Instagram
English
A A A A A
උත්පත්ති 1:1-31
1. පටන්ගැන්මෙහිදී දෙවියන්වහන්සේ අහසත් පොළොවත් මැවූසේක.
2. පොළොව වනාහි පාළුව හිස්ව තිබුණාය; ගැඹුර පිට අන්ධකාරය විය. දෙවියන්වහන්සේගේ ආත්මය ජලමතුයෙහි හැසිරෙමින් සිටිසේක.
3. දෙවියන්වහන්සේ: එළිය වේවයි කීසේක; එවිට එළිය විය.
4. එළිය යහපත් බව දෙවියන්වහන්සේ දුටුසේක. දෙවියන්වහන්සේ අන්ධකාරයෙන් එළිය වෙන්කොට
5. එළියට දවාලය කියාද අන්ධකාරයට රාත්‍රියය කියාද නම් තැබූසේක. සවස විය, උදය විය, ඒ එක දවසක්ය.
6. දෙවියන්වහන්සේ: ජල මධ්‍යයෙහි අවකාශයක් වේවා, එය කරණකොටගෙන ජලය ජලයෙන් වෙන්වේවයි කීසේක.
7. දෙවියන්වහන්සේ අවකාශය සාදා අවකාශයට උඩින් තිබුණු ජලයෙන් අවකාශයට යටින් තිබුණු ජලය වෙන්කළසේක; ඒ එසේ විය.
8. දෙවියන්වහන්සේ අවකාශයට අහසය කියා නම් තැබූසේක. සවස විය, උදය විය, ඒ දෙවෙනි දවසක්ය.
9. දෙවියන්වහන්සේ: අහසට යටින් තිබෙන ජලය එක් තැනකට රැස් වේවා, වියළි බිම පෙනේවයි කීසේක. ඒ එසේ විය.
10. දෙවියන්වහන්සේ: වියළි බිමට පොළොවය කියාද රැස්වූ ජලයට මුහුදය කියාද නම් තැබූසේක. දෙවියන්වහන්සේ ඒ යහපත් බව දුටුසේක.
11. දෙවියන්වහන්සේ: පොළොව වනාහි තෘණද බීජ උපදවන පලාද ඒ ඒ වර්ග ලෙස ඵල දරන බීජ සහිත ඵල වෘක්ෂද පොළොව පිට හටගන්වාවයි කීසේක. ඒ එසේ විය.
12. තෘණද ඒ ඒ වර්ග ලෙස බීජ උපදවන පලාද ඒ ඒ වර්ග ලෙස බීජ සහිත ඵලදරන වෘක්ෂද පොළොවෙන් හටගත්තේය. දෙවියන්වහන්සේ ඒ යහපත් බව දුටුසේක.
13. සවස විය, උදය විය, ඒ තුන්වෙනි දවසක්ය.
14. දෙවියන්වහන්සේ: රාත්‍රියෙන් දවාල වෙන් කිරීමට අහස්තලයෙහි ආලෝකයෝ වෙත්වා, ඒවා ලකුණු පිණිසද සෘතු පිණිසද දවස් පිණිසද අවුරුදු පිණිසද වෙත්වා,
15. පොළොවට එළිය දීමට ඒවා අහස්තලයෙහි ආලෝකයන් පිණිස වෙත්වයි කීසේක. ඒ එසේ විය.
16. දෙවියන්වහන්සේ මහත් ආලෝක දෙක සෑදූසේක; වඩා මහත් ආලෝකය දිවාභාගය කෙරෙහි අධිපතිකම්කරන පිණිසය, කුඩා ආලෝකය රාත්‍රි භාගය කෙරෙහි අධිපතිකම් කරන පිණිසය. උන්වහන්සේ තාරකාද සෑදූසේක.
17. පොළොවට එළිය දෙන පිණිසත් දවාල කෙරෙහිද රාත්‍රිය කෙරෙහිද අධිපතිකම් කරන පිණිසත්
18. අන්ධකාරයෙන් එළිය වෙන්කරන පිණිසත් දෙවියන්වහන්සේ ඒවා අහස්තලයෙහි තැබූසේක. දෙවියන්වහන්සේ ඒ යහපත් බව දුටුසේක.
19. සවස විය, උදය විය, ඒ සතරවෙනි දවසක්ය.
20. දෙවියන්වහන්සේ: ජලය වනාහි එහි හැසිරෙන ජීවමාන සත්වයන් බොහෝකොට හටගන්වාවා, පක්ෂීහු පොළොවට උඩින් ආකාශ කුක්ෂියෙහි පියාසරකෙරෙත්වායි කීසේක.
21. තවද දෙවියන්වහන්සේ ඉතා මහත් ජලචර සත්වයන්ද ඒ ඒ වර්ගලෙස ජලයෙහි බොහෝසෙයින් හටගත්තාවූ එහි හැසිරෙන පණ ඇති සියලු සත්වයන්ද ඒ ඒ වර්ග ලෙස පියාපත් ඇති සියලු පක්ෂීන්ද මැවූසේක.
22. දෙවියන්වහන්සේ ඒ යහපත් බව දුටුසේක. දෙවියන්වහන්සේ උන්ට ආශීර්වාදකොට: ඔබ සැම සඵලව බෝවෙමින් මුහුදු ජලය පුරා පැතිර සිටිව්, පක්ෂීහුද පොළොවෙහි බෝවෙත්වයි කීසේක.
23. සවස විය, උදය විය, ඒ පස්වෙනි දවසක්ය.
24. දෙවියන්වහන්සේ: පොළොව වනාහි ඒ ඒ වර්ග ලෙස තිරිසනුන්ද බඩගා යන ජාතීන්ද පොළොවේ මෘගයන්ද යන ජීවමාන සත්වයන් ඒ ඒ වර්ග ලෙස හටගන්වාවයි කීසේක. ඒ එසේ විය.
25. දෙවියන්වහන්සේ ඒ ඒ වර්ග ලෙස පොළොවේ මෘගයන්ද ඒ ඒ වර්ග ලෙස සිව්පාවුන්ද ඒ ඒ වර්ග ලෙස භූමියෙහි බඩගා යන සියලු සතුන්ද සෑදූසේක. දෙවියන්වහන්සේ ඒ යහපත් බව දුටුසේක.
26. තවද දෙවියන්වහන්සේ: අපගේ ස්වරූපයෙන් අපගේ සමානත්වය ලෙස මනුෂ්‍යයා සාදම්හ; ඔව්හු මුහුදේ මත්ස්‍යයන් කෙරෙහිද ආකාශයෙහි පක්ෂීන් කෙරෙහිද තිරිසනුන් කෙරෙහිද මුළු පොළොව කෙරෙහිද පොළොව පිට බඩගා යන සියල්ලන් කෙරෙහිද ආණ්ඩුකෙරෙත්වයි කීසේක.
27. දෙවියන්වහන්සේ තමන් ස්වරූපයෙන් මනුෂ්‍යයා මැවූසේක, දෙවියන්වහන්සේගේ ස්වරූපයෙන් ඔහු මැවූසේක; පුරුෂයාද ස්ත්‍රියද කොට ඔවුන් මැවූසේක.
28. දෙවියන්වහන්සේ ඔවුන්ට ආශීර්වාදකළසේක; දෙවියන්වහන්සේ ඔවුන්ට කියනසේක්: ඔබ සැම බෝවී වැඩිවෙමින් පොළොව පූර්ණකොට ඒක යටත් කර ගන්න; මුහුදේ මත්ස්‍යයන් කෙරෙහිද ආකාශයේ පක්ෂීන් කෙරෙහිද පොළොව පිට හැසිරෙන සියලු සතුන් කෙරෙහිද අධිපතිකම් කරන්නැයි කීසේක.
29. තවද දෙවියන්වහන්සේ: බලව, මුළු පොළෝතලයෙහි ඇති බීජ දරන සියලු පලාද බීජ දරන ඵල ඇති සියලු වෘක්ෂයන්ද ඔබ සැමට දුනිමි; එය ඔබ සැමට ආහාර පිණිස වන්නේය.
30. පොළොවේ සියලු මෘගයන්ටත් ආකාශයේ සියලු පක්ෂීන්ටත් පොළොව පිට බඩගා යන පණ ඇති සියලු සතුන්ටත් ආහාර පිණිස සියලු නිල් පලා දුනිමියි කීසේක. ඒ එසේ විය.
31. දෙවියන්වහන්සේ තමන් සෑදූ සියල්ලම දුටුසේක, බලව ඒ ඉතා යහපත්ව තිබුණේය. සවස විය, උදය විය, ඒ සවෙනි දවසක්ය.

උත්පත්ති 2:1-25
1. මෙසේ අහසත් පොළොවත් එහි මුළු සේනාවත් මවා නිමවනලද්දේය.
2. දෙවියන්වහන්සේ තමන් විසින් කළ ස්වකීය කර්මාන්තය සත්වෙනි දවසේ නිමකළසේක. උන්වහන්සේ තමන් විසින් කරනලද සියලු වැඩවලින් සත්වෙනි දවසේ නිවාඩු ගත්සේක.
3. දෙවියන්වහන්සේ තමන් මැවුවාවූ සෑදුවාවූ ස්වකීය සියලු වැඩවලින් සත්වෙනි දවසේ නිවාඩු ගත් හෙයින් ඒ දවසට ආශීර්වාදකොට එය ශුද්ධයයි නියමකළසේක.
4. ස්වාමිවූ දෙවියන්වහන්සේ පොළොවත් අහසත් සෑදූ දවසෙහි, ඒවා මවනලද කාලයෙහි, අහසෙත් පොළොවෙත් මුල් ප්‍රවෘත්තිය මේය.
5. ඒ තාක් කල් වනයේ කිසි ගසක් පොළොවෙහි නොතිබුණේය, වනයේ කිසි පලා ජාතියක්ද හටනොගත්තේය. මක්නිසාද ස්වාමිවූ දෙවියන්වහන්සේ පොළොව පිට වර්ෂාව නොවස්වා තිබුණු නිසාය. භූමිය වගාකරන පිණිස මනුෂ්‍යයෙක්ද නොසිටියේය.
6. එහෙත් මීදුමක් පොළොවෙන් නැගී මුළු භූමිතලය තෙමුවේය.
7. ස්වාමිවූ දෙවියන්වහන්සේ භූමියේ දූවිල්ලෙන් මනුෂ්‍යයා සාදා ඔහුගේ නාස්පුඩු තුළට ජීවනයේ හුස්ම හෙළූසේක; එවිට මනුෂ්‍යයා ජීවමාන ප්‍රාණයක් විය.
8. ස්වාමිවූ දෙවියන්වහන්සේ නැගෙනහිර දිශාවෙහි, ඒදන්හි, උයනක් වවා තමන් සෑදූ මනුෂ්‍යයා එහි සිටෙවූසේක.
9. දැකීමට ප්‍රියවූ කෑමට හොඳවූ සියලු ගස්ද උයන මැද ජීවන වෘක්ෂයද යහපත හා නපුර දැනගැනීමේ ගහද ස්වාමිවූ දෙවියන්වහන්සේ භූමියෙන් හටගැන්වූසේක.
10. උයන තෙමන පිණිස ඒදනෙන් ගංගාවක් නික්ම ගියාය; එය එතැනින් බෙදී ගංගා සතරක් විය.
11. පළමුවෙනි ගංගාවේ නම පීෂොන්ය; එය නම් රත්රන් ඇති මුළු හවීලා දේශය වටේට ගලායන එකය;
12. ඒ දේශයේ රත්රන් හොඳය. බෙදොලඃද වෛදූර්යද එහි ඇත්තේය.
13. දෙවෙනි ගංගාවේ නම ගීහොන්ය; මුළු කුෂ් දේශය වටේට වැටී තිබෙන්නේ ඒකය.
14. තුන්වෙනි ගංගාවේ නම හිද්දෙකෙල්ය; අෂුර් දේශය ඉස්සරහින් ගලායන්නේ ඒකය.
15. සතරවෙනි ගංගාව ප්‍රාත්ය. ස්වාමිවූ දෙවියන්වහන්සේ මනුෂ්‍යයා රැගෙන ඒදන් උයන වවන්ටත් බලාගන්ටත් එහි පදිංචිකෙරෙවූසේක.
16. ස්වාමිවූ දෙවියන්වහන්සේ මනුෂ්‍යයාට ආඥාකරමින්: ඔබට උයනේ සියලු ගස්වලින් කැමති ලෙස කන්ට පුළුවන;
17. එහෙත් යහපත හා නපුර දැනගැනීමේ ගහෙන් කන්ට එපාය; මක්නිසාද එයින් කෑ දවසෙහි ඒකාන්තයෙන් ඔබ නසින්නේයයි කීසේක.
18. ‍ ස්වාමිවූ දෙවියන්වහන්සේ කථාකොට: මනුෂ්‍යයා තනියම සිටීම හොඳනැත; ඔහුට සුදුසු සහකාරියක් සාදාදෙන්නෙමියි කීසේක.
19. ස්වාමිවූ දෙවියන්වහන්සේ වනයේ සියලු මෘගයන්ද ආකාශයේ සියලු පක්ෂීන්ද භූමියෙන් සාදා මනුෂ්‍යයා උන්ට මොන මොන නම් තබන්නේදැයි බලන පිණිස උන් ඔහු වෙතට පැමිණෙවූසේක. මනුෂ්‍යයා සියලු ජීවමාන සත්වයන්ට තැබූ නම් උන්ගේ නාමයෝ වූහ.
20. මනුෂ්‍යයා සියලු සිව්පාවුන්ටත් ආකාශයේ පක්ෂීන්ටත් වනයේ සියලු මෘගයන්ටත් නම් තැබීය; එහෙත් මනුෂ්‍යයාට සුදුසු සහකාරියක් සම්බනොවීය.
21. ස්වාමිවූ දෙවියන්වහන්සේ මනුෂ්‍යයාට බරවූ නින්දක් පැමිණෙවූසේක, ඔහු නිදාගත්තේය; උන්වහන්සේ ඔහුගේ ඉළ ඇටවලින් එකක් ගෙන ඒ ස්ථානය මාංසයෙන් පිරෙවූසේක.
22. ස්වාමිවූ දෙවියන්වහන්සේ මනුෂ්‍යයාගෙන් ගත් ඉළඇටයෙන් ස්ත්‍රියක් සාදා ඇය මනුෂ්‍යයා වෙතට පැමිණෙවූසේක.
23. එවිට මනුෂ්‍යයා කථාකොට: මෑ මාගේ ඇටවලින් ඇටය, මාගේ මාංසයෙන් මාංසයය; මෑ මනුෂ්‍යයාගෙන් ගන්නාලද හෙයින් මනුෂ්‍ය දූයයි කියනුලබන්නී යයි කීය.
24. එබැවින් පුරුෂ තෙමේ තමාගේ පියාද මවුද අත්හැර තම භාර්යාවට ඇලුම්වන්නේය; ඔව්හු එක මාංසයක් වන්නෝය.
25. තවද මනුෂ්‍යයාද ඔහුගේ භාර්යාවද යන දෙදෙනා නග්නව සිටියෝය, නුමුත් ඔව්හු ලජ්ජා නොවූහ.

ගීතාවලිය 1:1-6
1. දුෂ්ටයන්ගේ මන්ත්‍රණය අනුව නොයන්නාවූ, පව්කාරයන්ගේ මාර්ගයෙහි නොසිටින්නාවූ, නින්දාකරන්නන්ගේ ආසනයෙහි නොහිඳින්නාවූ,
2. ස්වාමීන්ගේ ව්‍යවස්ථාවෙහි ප්‍රීතිවන්නාවූ, උන්වහන්සේගේ ව්‍යවස්ථාව රෑ දාවල් මෙනෙහිකරන්නාවූ, මනුෂ්‍යයා ආශීර්වාදලද්දේය.
3. ඔහු දිය ඇළවල් ළඟ හිඳුවූ, නියම කලට ඵල දෙන, නොමැලවෙන කොළ ඇති ගසක් හා සමාන වන්නේය; ඔහු කරන සියල්ල සඵලවෙයි.
4. දුෂ්ටයෝ එසේ නොව, සුළඟින් විසිර යන බොල් හා සමානය.
5. එබැවින් දුෂ්ටයෝ විනිශ්චයෙහිද පව්කාරයෝ ධර්මිෂ්ඨයන්ගේ සමාගමෙහිද නොසිටින්නෝය.
6. මක්නිසාද ස්වාමීන්වහන්සේ ධර්මිෂ්ඨයන්ගේ මාර්ගය දන්නාසේක. නුමුත් දුෂ්ටයන්ගේ මාර්ගය විනාශවන්නේය.

හිතෝපදේශ 1:1-7
1. ඉශ්‍රායෙල්ගේ රජවූ දාවිත්ගේ පුත්‍ර සාලමොන්ගේ හිතෝපදේශ.
2. ඒවා වනාහි ප්‍රඥාවද ගුරුකමද දැනගැනීමටත්; බුද්ධිමත් වාක්‍ය තේරුම්ගැනීමටත්;
3. ඥානවන්ත හැසිරීමේද ධර්මිෂ්ඨකමේද යුක්තියේද අවංකකමේද ගුරුකම් ලබාගැනීමටත්;
4. අනුවණයන්ට ඥානයද තරුණයාට දැනගැන්ම සහ සිහිකල්පනාවද දීමටත්ය.
5. හිතෝපදේශයක් හා උපහැරණයක්ද ඥානවන්තයන්ගේ වචන හා ඔවුන්ගේ ගැඹුරු කීම්ද තේරුම්ගන්න හැටියට
6. ඥානවන්තයා අසා ඉගෙනගැන්ම වැඩිකරගන්නේය; නුවණ ඇත්තා හොඳ ගුරුකම් ලබා ගන්නේය.
7. ස්වාමීන්වහන්සේ කෙරෙහි භයවීම දැනගැන්මේ පටන්ගැන්මය. අඥානයෝ ප්‍රඥාවද ගුරුකමද හෙළාදකිති.

ශුද්ධවර මතෙව් 1:1-25
1. ආබ්‍රහම්ගේ පුත්‍රයා වන දාවිත්ගේ පුත්‍රවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පරම්පරාවේ පොතය.
2. ආබ්‍රහම්ට දාව ඊසාක් උපන්නේය; ඊසාක්ට දාව යාකොබ් උපන්නේය; යාකොබ්ට දාව යූදාද ඔහුගේ සහෝදරයෝද උපන්නෝය.
3. යුදාට දාව තාමාර්ගෙන් පෙරෙශ්ද ශෙරාද උපන්නෝය; පෙරෙශ්ට දාව හෙශ්‍රොන් උපන්නේය; හෙශ්‍රොන්ට දාව රාම් උපන්නේය;
4. රාම්ට දාව අමිනාදාබ් උපන්නේය; අමිනාදාබ්ට දාව නාෂොන් උපන්නේය; නාෂොන්ට දාව සල්මොන් උපන්නේය;
5. සල්මොන්ට දාව රාහබ්ගෙන් බෝවාස් උපන්නේය; බෝවාස්ට දාව රූත්ගෙන් ඕබෙද් උපන්නේය; ඕබෙද්ට දාව යෙස්සේ උපන්නේය;
6. යෙස්සේට දාව දාවිත් රජ උපන්නේය. දාවිත් රජුට දාව උරියාට භාර්යාව වී සිටිය ස්ත්‍රියගෙන් සාලමොන් උපන්නේය;
7. සාලමොන්ට දාව රොහොබොවම් උපන්නේය; රොහොබොවම්ට දාව අබියා උපන්නේය; අබියාට දාව ආසා උපන්නේය;
8. ආසාට දාව යෙහෝෂාපාත් උපන්නේය; යෙහෝෂාපාත්ට දාව යෝරාම් උපන්නේය; යෝරාම්ට දාව උස්සියා උපන්නේය;
9. උස්සියාට දාව යෝතාම් උපන්නේය; යෝතාම්ට දාව ආහාස් උපන්නේය;
10. ආහාස්ට දාව හෙසකියා උපන්නේය; හෙසකියාට දාව මනස්සේ උපන්නේය; මනස්සේට දාව ආමොන් උපන්නේය; ආමොන්ට දාව යොෂියා උපන්නේය;
11. බබිලෝනියට ගෙනයාමේ කාලයෙහිදී, යොෂියාට දාව යෙකොනියාද ඔහුගේ සහෝදරයෝද උපන්නෝය.
12. බබිලෝනියට ගෙනයාමට පසු, යෙකොනියාට දාව ෂෙයල්තියෙල් උපන්නේය; ෂෙයල්තියෙල්ට දාව සෙරුබාබෙල් උපන්නේය;
13. සෙරුබාබෙල්ට දාව අබියූද් උපන්නේය; අබියූද්ට දාව එලියාකීම් උපන්නේය; එලියාකීම්ට දාව ආශොර් උපන්නේය;
14. ආශොර්ට දාව සාදොක් උපන්නේය; සාදොක්ට දාව ආකීම් උපන්නේය; ආකීම්ට දාව එලියූද් උපන්නේය;
15. එලියූද්ට දාව එලෙයාසර් උපන්නේය; එලෙයාසර්ට දාව මත්තාන් උපන්නේය; මත්තාන්ට දාව යාකොබ් උපන්නේය;
16. යාකොබ්ට දාව මරියාගේ පුරුෂයාවූ යෝසෙප් උපන්නේය; මරියාගෙන් ක්‍රිස්තුස් නම්වූ යේසුස්වහන්සේ උපන්සේක.
17. මෙසේ ආබ්‍රහම් පටන් දාවිත් දක්වා සියලු පරම්පරා දසසතරක්ය; දාවිත් පටන් බබිලෝනියට ගෙනයාම දක්වා පරම්පරා දසසතරක්ය; බබිලෝනියට ගෙනයාමේ පටන් ක්‍රිස්තුස්වහන්සේ දක්වා පරම්පරා දසසතරක්ය.
18. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ උත්පත්තිය මෙසේ විය. උන්වහන්සේගේ මවුවූ මරියා යෝසෙප්ට විවාහබස් දී සිටියදී, ඔවුන් එක්වෙන්ට පළමුවෙන්, ශුද්ධාත්මයාණන් කරණකොටගෙන ඈ ගර්භිණීවූ බව දැනගන්නාලදී.
19. ධර්මිෂ්ඨයෙක්ව සිටි ඇගේ පුරුෂයාවූ යෝසෙප් ඈ නින්දාවට පමුණුවන්ට නොකැමතිව, රහසින් ඈ අත්හරින්ට සිතුවේය.
20. නුමුත් ඔහු මේ කාරණා කල්පනාකරමින් සිටියදී, බලව, ස්වාමීන්වහන්සේගේ දූතයෙක් ස්වප්නයකින් ඔහුට පෙනී: දාවිත්ගේ පුත්‍රවූ යෝසෙප්, ඔබේ භාර්යාවවූ මරියා පාවාගන්ට භය නොවන්න. මක්නිසාද ඈ තුළ පිළිසිඳුණාවූ යමක් ඇද්ද එය ශුද්ධාත්මයාණන් කරණකොටගෙනය.
21. ඈ පුත්‍රයෙකු බිහිකරන්නීය; උන්වහන්සේට යේසුස් යන නාමය තබන්න; මක්නිසාද තමන්ගේ සෙනඟ ඔවුන්ගේ පාපවලින් ගළවන්නේ උන්වහන්සේයයි කීවේය.
22. මේ සියල්ල සිද්ධවූයේ- බලව, කන්‍යාව ගර්භිණීව පුත්‍රයෙකු බිහිකරන්නීය; උන්වහන්සේට එම්මානුවෙල් යන නාමය තබනවා ඇත. කියා
23. ස්වාමීන්වහන්සේ අනාගතවක්තෘ ලවා කියෙවු කීම සම්පූර්ණවන පිණිසය. ඒ නාමයේ අර්ථය නම් දෙවියන්වහන්සේ අප සමඟය යනුයි.
24. එවිට යෝසෙප් නින්දෙන් පිබිද, ස්වාමීන්වහන්සේගේ දූතයා ඔහුට අණකළ ලෙස කරනුයේ, තමාගේ භාර්යාව පාවාගත්තේය;
25. නුමුත් ඈ පුත්‍රයෙකු බිහිකරන තුරු ඔහු ඈ නොහැඳින්නේය. ඔහු උන්වහන්සේට යේසුස් යන නාමය තැබීය.