A A A A A

යෙසායා 43:1-28
1. එම්බා යාකොබ්, ඔබ මැවුවාවූද එම්බා ඉශ්‍රායෙල්, ඔබව සෑදුවාවූද ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: භය නොවෙන්න, මක්නිසාද මම ඔබ මුදාගතිමි; ඔබේ නම කියා හඬ ගැසීමි, ඔබ මාගේය.
2. ඔබ ජල මැදින් යන විට මම ඔබ සමඟ සිටින්නෙමි; ඔබ ගංගා මැදින් යන විට ඒවා ඔබට උඩින් ගලායන්නේ නැත. ඔබ ගිනි මැදින් යන විට නොදැවෙන්නෙහිය; ගිනිදැල්ල ඔබ කෙරෙහි නොඇවිළෙන්නේය.
3. මක්නිසාද මම ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ය, ඔබේ ගැළවුම්කාරයා වන ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සේය; ඔබේ මිදීමේ මිලය පිණිස මිසරයද ඔබ වෙනුවට කූෂ් සහ සෙබාද දුනිමි.
4. ඔබ මා ඉදිරියේ අනර්ඝව ගරුකටයුතුවූ බැවින්ද, මා ඔබට ප්‍රේමකළ බැවින්ද, ඔබ වෙනුවට මිනිසුන්ද ඔබේ ජීවිතය වෙනුවට ජනයන්ද දෙන්නෙමි.
5. භයනොවෙන්න; මක්නිසාද මම ඔබ සමඟ සිටිමි. ඔබේ වංශය නැගෙනහිරින් ගෙනෙන්නෙමි, බස්නාහිරින්ද ඔබ රැස්කරන්නෙමි;
6. මම උතුරු දිසාවට කථාකොට: දෙන්නැයි කියාත්, දකුණු දිසාවට: නවත්වා නොගන්නැයි කියාත්, දුර සිට මාගේ පුත්‍රයන්ද පොළොවේ කෙළවරින් මාගේ දූවරුන්ද,
7. එනම් මාගේ නාමය දරන්නාවූ මාගේ ගෞරවය පිණිස මා විසින් මවා තනා සෑදුවාවූ සියල්ලන් ගෙනෙන්නැයි කියාත් කියන්නෙමි.
8. ඇස් ඇති අන්ධ සෙනඟද කන් ඇති බිහිරන්ද පිටතට ගෙනෙන්න.
9. සියලු ජාතීහු එකට රැස්වෙත්වා, ජනයෝද එකතුවෙත්වා. ඔවුන්ගෙන් කවුරු මෙය දන්වා පළමු දේවල් අපට ප්‍රකාශකරනවා ඇද්ද? ඔව්හු තමුන්ගේ සාක්ෂිකාරයන් ගෙනැවිත් තමුන් ධර්මිෂ්ඨ බව පෙන්වත්වා. නැත්නම් ඔව්හු අසා: ඒක සැබෑයයි කියත්වා.
10. මම ඒ තැනන්වහන්සේ බව ඔබ සැම දැනගන මා විශ්වාසකර තේරුම්ගන්න පිණිස, ඔබ සැම මාගේ සාක්ෂිකාරයෝව, මා විසින් තෝරාගත් මාගේ මෙහෙකරුවාව සිටින්නහුයයි ස්වාමීන්වහන්සේ කියනසේක. මා සිටින්ට පළමුවෙන් කිසි දෙවිකෙනෙක් සාදනු ලැබුවේ නැත, මට පසුව සිටින්නෙත් නැත.
11. මම, මමම, ස්වාමීන්වහන්සේය; මා ඇර වෙන ගැළවුම්කාරයෙක් නැත.
12. මමම දැන්වීමි, මමම ගැළවීමි, මමම ප්‍රකාශකෙළෙමි, අන් දෙවිකෙනෙක් ඔබ සැම අතරේ සිටියේ නැත. එබැවින් ඔබ සැම මාගේ සාක්ෂිකාරයෝය, මම දෙවියන්වහන්සේයයි ස්වාමීන්වහන්සේ කියනසේක.
13. එසේය, දවස ඇතිවූ තැන් පටන් මම උන්වහන්සේය; මාගේ අතින් මුදන්ට පොහොසත්වූ කිසිවෙක් නැත. මම ක්‍රියාකරන්නෙමි, වලක්වන්නේ කවුද?
14. ඔබ සැමගේ මිදුම්කාරයාණෝද ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සේද වන ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මම ඔබ සැම උදෙසා බබිලෝනියට යවා, ඔවුන් සියල්ලන්, එනම් කල්දිවරුන්, ඔවුන්ගේ ප්‍රීතිඝෝෂා සහිත නැව්වලම හිරකරුවන් කොට ගෙනෙන්නෙමි.
15. මම ඔබ සැමගේ ශුද්ධ තැනන්වහන්සේද ඉශ්‍රායෙල්ගේ මැවුම්කාරයාද ඔබ සැමගේ රජද වන ස්වාමීන්වහන්සේ ය.
16. මුහුදෙහි මාර්ගයක්ද මහ ජලයන් මැදින් පාරක්ද සාදන්නාවූ,
17. රථද අශ්වයන්ද සේනාවද බලවන්තයන්ද පිටතට පමුණවා, ඔවුන් නොනැගිටින ලෙස එක්ව වැටීමට සහ සිදීයාමටද පහන්තිරය මෙන් නිවීයාමටද සලස්වන්නාවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක:
18. පළමු කාරණ සිහි නොකරන්න, පුරාණ දේවල්ද කල්පනා නොකරන්න.
19. බලව, මම අමුතු දෙයක් කරන්නෙමි; දැන් ඒක අටගන්නවා ඇත; ඔබ සැම ඒක නොදන්නහුද? මම කාන්තාරයෙහි පවා මාර්ගයක්ද වනයෙහි ගංගාද සාදන්නෙමි.
20. මා විසින් තෝරාගත් මාගේ සෙනඟට වතුර දෙන්ට මම කාන්තාරයෙහි වතුරද වනයෙහි ගංගාද දෙන නිසා, සිවලුන්ද පැස්බරුන්ද ඇතුළුව වනයේ සත්වයෝ මට ගෞරවකරන්නෝය.
21. මා විසින් මටම උපදවාගත් ඒ සෙනඟ මාගේ ප්‍රශංසාව දක්වනවා ඇත.
22. එහෙත්, යාකොබ්, ඔබ මට යාච්ඤා නොකෙළෙහිය; ඉශ්‍රායෙල්, ඔබ මා ගැන කලකිරුණෙහිය.
23. ඔබේ දවන පූජාවල එළු බැටළුවන් ඔබ මට ගෙනාවේවත් ඔබේ යාගවලින් මට ගෞරව කළේවත් නැත. මම ආහාර පූජාවලින් ඔබට බරක් නොවීමි, දුම් පූජාවලින් ඔබ නොවෙහෙසීමි.
24. ඔබ මට සුවඳ දඬු මිලේට-ගත්තේවත් ඔබේ පූජාවල තෙලෙන් මා තෘප්තියට පැමිණෙවුවේවත් නැත. ඔබේ පාපවලින් ඔබ මට බරක්වී, ඔබේ අයුතුකම්වලින් මා වෙහෙසෙවුවා පමණක්ය.
25. මම, මමම, මා නිසා ඔබේ පාපවල් සිහි නොකොට, ඔබේ වරද මකාදමන තැනන්වහන්සේය.
26. මට මතක්කරන්න; අපි එක්ව කාරණා කියාගනිමු. ඔබ ධර්මිෂ්ඨ බව පෙනෙන පිණිස ඔබම ඔබේ විත්තිය කියන්න.
27. ඔබේ මුල් පියා පව් කෙළේය, ඔබේ තානාපතියෝද මට විරුද්ධව වරදකළෝය.
28. එබැවින් මම ශුද්ධස්ථානයේ අධිපතීන් කෙලහා, යාකොබ් ශාපයටත් ඉශ්‍රායෙල් නින්දාවටත් පාවාදුන්නෙමි.

යෙසායා 44:1-28
1. නුමුත්, මාගේ මෙහෙකරුවූ යාකොබ්, මා විසින් තෝරාගත් ඉශ්‍රායෙල්, දැන් අසන්න.
2. ඔබ මාව කුසේ පටන් ඔබ සෑදුවාවූ, ඔබට උපකාරකරන්නාවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මාගේ මෙහෙකරුවාවූ යාකොබ්, මා විසින් තෝරාගත් යෙෂුරූන්, භය නොවෙන්න.
3. මක්නිසාද පිපාස ඇත්තා කෙරෙහි වතුරද වියළි භූමිය කෙරෙහි ජලධාරාද වගුරුවන්නෙමි. ඔබේ වංශය කෙරෙහි මාගේ ආත්මයද ඔබේ දරුවන් කෙරෙහි මාගේ ආශීර්වාදයද වගුරුවන්නෙමි.
4. ඔවුන් වතුර ළඟ තෘණ මෙන්ද දිය ඔයවල් ළඟ නළා ගස් මෙන්ද වැඩෙනවා ඇත.
5. එක්කෙනෙක්: මම ස්වාමීන්වහන්සේ ගේ යයි කියනවා ඇත; තවත් කෙනෙක් යාකොබ් යන නාමය තබාගන්නවා ඇත; තවත් කෙනෙක්ද තමා ස්වාමීන්වහන්සේ ට අයිතියයි තමාගේ අතෙහි ලියා තබා, ඉශ්‍රායෙල් යන දෙවෙනි නාමයක් පවරාගන්නවා ඇත.
6. ඉශ්‍රායෙල්ගේ රජද ඔහුගේ මිදුම්කාරයාද වූ ස්වාමීවූ සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මම පළමුවෙනියාය, අන්තිමයාත් මමය; මා ඇර වෙන දෙවිකෙනෙක් නැත.
7. මා විසින් පුරාණ සෙනඟ පිහිටෙවු තැන් පටන් මා වාගේ ප්‍රකාශකර, යමක් දන්වා, පිළිවෙළට මට කියන්නේ කවරෙක්ද? ඔව්හු සිද්ධවෙන දේවල්ද පැමිණෙන්ට තිබෙන දේවල්ද දන්වත්වා.
8. තැතිගන්ටවත් භයවෙන්ටවත් එපා; මම පුරාණයේ පටන් ඔබට ප්‍රකාශකර නොදැන්නුවෙම්ද? ඔබ සැම මාගේ සාක්ෂිකාරයෝය. මා ඇර වෙන දෙවිකෙනෙක් ඇද්ද? නැත, වෙන පර්වතයක් නැත; අන් කිසිවෙකු ඇති බවක් නොදනිමි.
9. රූප සාදන සියල්ලෝම හිස්කමය; ඔවුන්ගේ ප්‍රිය දේවලින් ප්‍රයෝජන නැත. ඔව්හු ඔවුන්ගේම සාක්ෂිකාරයෝය; ඔව්හු නොදකිති, නොදනිති. එබැවින් ඔව්හු ලජ්ජාවට පැමිණෙන්නෝය.
10. දෙවිකෙනෙකු සාදා ප්‍රයෝජන නැති රූපයක් වාත්තුකෙළේ කවුද?
11. බලව, ඒකට සම්බන්ධව සිටින සියල්ලෝ ලජ්ජාවට පැමිණෙති; කර්මාන්තකාරයෝ පවා මනුෂ්‍යයෝය. ඔවුන් සියල්ලෝම රැස්වී නැගිට සිටිත්වා; ඔව්හු භයව එක්ව ලජ්ජාවන්නෝය.
12. ආචාරියා පොරොවක් සාදමින්, ගිනි අඟුරුවලින් වැඩකරමින්, මිටිවලින් ඒක තළා, තමාගේ සවි හස්තයෙන් ඒක සාදයි. එසේය, ඔහුට බඩගිනිව ඔහුගේ ශක්තිය හීනවෙයි; ඔහු වතුර නොබී ක්ලාන්තවෙයි.
13. වඩුවා නූලක් ගසා, අඳින කටුවකින් ඒක සලකුණුකර, යතුවලින් යතුගා, කවකටුවෙන් සලකුණුකොට, ගෙදර වාසය කරන පිණිස මනුෂ්‍යයෙකුගේ රූපයේ හැටියටත් මනුෂ්‍යයෙකුගේ ශෝභනකම ප්‍රකාරයටත් ඒක සාදන්නේය.
14. ඔහු කිහිරි ගස් කපාගන්නේය. ඔහු තිර්සා ගහක්ද අලෝන ගහක්ද රැගෙන වනයේ ගස් අතරෙහි වවන්නේය. ඔහු දේවදාර ගහක් හිටවයි, ඒක වර්ෂාවෙන් වැවේ.
15. එවිට ඒක ගිනිදැල්වීම පිණිස මනුෂ්‍යයෙකුට ලැබේ; ඔහු එයින් රැගෙන ගිනිතපින්නේය; එසේය, එය පත්තුකොට රොටිද පුලුස්සන්නේය. එයින් ඔහු දෙවිකෙනෙකුත් සාදා නමස්කාරකරන්නේය. එයින් රූපයක්ද තනා ඊට වැඳවැටෙන්නේය.
16. ඔහු එයින් කොටසක් ගින්නෙන් දවන්නේය, කොටසකින් මස් පිස කන්නේය; ඔහු කෑම පුලුස්සා කා තෘප්තියට පැමිණෙන්නේය. එසේය, ඔහු ගිනි තැප: ඔහෝ මම උණුසුම්වීමි, ගින්දර දුටිමියි කියන්නේය.
17. ඉතිරි කොටසෙන් ඔහු රූපයක් දෙවිකෙනෙක් පිණිස සාදාගන්නේය. ඔහු ඊට වැඳ වැටී නමස්කාරකරමින් යාච්ඤාකොට: ඔබ මාගේ දෙවියෝය; ඒ නිසා මා ගැළෙවුව මැනවයි කියන්නේය.
18. ඔව්හු නොදනිති, ඔව්හු කල්පනා නොකෙරෙති. මක්නිසාද නොපෙනෙන හැටියට ඔවුන්ගේ ඇස්ද තේරුම් නොගන්න හැටියට ඔවුන්ගේ සිත්ද වසා තිබේ.
19. මම කොටසක් දවා එහි අඟුරු පිට රොටි පිලිස්සීමි; මස් පුලුස්සා කෑවෙමි; ඉතිරි ඒවායෙන් පිළිකුල් දෙයක් සාදා ලී කඳකට වැඳවැටෙම්දැයි කියන්ට කිසිවෙක් සිතට ගන්නේවත් ඒ අයට දැනගැන්මද තේරුමද ඇත්තේවත් නැත.
20. ඔහු කන්නේ අළුය. තමාගේ ප්‍රාණය ගළවාගන්ටවත්: මාගේ දකුණතේ බොරුවක් තිබෙනවා නොවේදැයි කියන්ටවත් බැරි ලෙස ඔහුගේ සිත රැවටී, ඔහු මුළාව ගොස් සිටියි.
21. එම්බා යාකොබ්, ඉශ්‍රායෙල්, මේ දේවල් සිහිකරන්න, මක්නිසාද ඔබ මාගේ මෙහෙකරුවාය. මම ඔබ සෑදීමි; ඔබ මාගේ මෙහෙකරුවාය. ඉශ්‍රායෙල්, ඔබ මාගේ සිහියෙන් තොර නොවන්නෙහිය.
22. මම ඔබේ අපරාධ වලාපටළයක් මෙන්ද ඔබේ පාප වලාකුළක් මෙන්ද මකාදැමුවෙමි. මා වෙතට හැරී එන්න; මක්නිසාද මම ඔබ මිදුවෙමි.
23. ස්වර්ගයෙනි, ගී කියන්න, මක්නිසාද ස්වාමීන්වහන්සේ ඒක කළසේක; පොළොවේ පහත් තැන් ඝෝෂාකරන්න; කඳුද වනයද එහි සියලු ගස්ද යන ඔබ සැම ප්‍රීතියෙන් ශබ්ද නගන්න. මක්නිසාද ස්වාමීන්වහන්සේ යාකොබ් මිදූසේක, ඉශ්‍රායෙල් කරණකොටගෙන ගෞරව ලබාගන්නසේක.
24. ඔබේ මිදුම්කාරයාවූ, කුසේ පටන් ඔබ සෑදුවාවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: ස්වාමීවූ මම සියල්ලම කරන්නාවූ තැනන්වහන්සේය; මම වනාහි තනියම ආකාශ මණ්ඩලය දිග හරින්නාවූ, අන් කිසිවෙකු නැතුව පොළොව අතුරන්නාවූ තැනන්වහන්සේය.
25. මම බොරුකාරයන්ගේ ලකුණු හිස්කරන්නාවූ, පේනකියන්නන් උමතු කරන්නාවූ, ශාස්ත්‍රවන්තයන් පස්සට හරවන්නාවූ, ඔවුන්ගේ දැනගැන්ම මෝඩකමට හරවන්නාවූ තැනන්වහන්සේය.
26. මම වනාහි තමන් මෙහෙකරුවාගේ වචනය ස්ථිරකරන්නාවූ, තමන් පණිවිඩකාරයන්ගේ මන්ත්‍රණය ඉෂ්ටකරන්නාවූ, වැසියෝ එහි සිටින්නෝය කියා යෙරුසලම ගැනද, ගොඩනගනු ලැබේය කියා යූදාහි නුවරවල් ගැනද: එහි පාළු ඉඩම් උස්සන්නෙමියි කියාද කියන්නාවූ තැනන්වහන්සේය.
27. ගැඹුරට: හිඳෙන්න කියාද, මම ඔබේ ගංගා හිඳවන්නෙමියි කියාද කියන තැනන්වහන්සේය.
28. කෝරෙෂ් ගැන: ඔහු මාගේ එඬේරාය, ඔහු මාගේ මුළු කැමැත්ත ඉෂ්ටකරමින්-යෙරුසලම ගොඩනගනු ලැබේය කියාද මාළිගාවේ අත්තිවාරම් තබනු ලැබේය කියාද කියනවා ඇතැයි කියන තැනන්වහන්සේය.

ගීතාවලිය 110:1-7
1. දාවිත්ගේ ගීතයකි. ස්වාමීන්වහන්සේ මාගේ ස්වාමීන් ට කථාකොට: මා විසින් ඔබේ සතුරන් ඔබේ පාපුටුව කරනතෙක් මාගේ දකුණු පැත්තෙහි හිඳින්නැයි කීසේක
2. ස්වාමීන්වහන්සේ සියොන්හි සිට ඔබගේ ශක්තිය නැමති සැරයටිය එවනසේක. ඔබගේ සතුරන් මැද ආණ්ඩුකළ මැනව.
3. ඔබගේ පරාක්‍රමයේ දවසේදී ඔබගේ සෙනඟ කැමැත්තෙන් පූජාවෙති. උදය ගර්භයෙන් නිකුත්වූ, ශුද්ධකමේ අලංකාරයෙන් යුක්තවූ ඔබගේ යෞවනකමේ පිනි ඔබට ඇත්තේය.
4. ඔබ මෙල්කිසදෙක්ගේ පිළිවෙළින් සදාකාලයටම පූජකයෙකැයි ස්වාමීන්වහන්සේ දිවුළසේක; එය වෙනස් නොකරනසේක.
5. ඔබගේ දකුණු පැත්තෙහි සිටින ස්වාමීන්වහන්සේ ස්වකීය උදහසේ දවසේදී රජුන් ගසා හෙළනසේක.
6. උන්වහන්සේ ජාතීන් අතරෙහි විනිශ්චයකරනසේක, මළකඳන්වලින් දේශයන් පුරවමින්, බොහෝ රටවල අධිපතීන් ගසාහෙළනසේක.
7. උන්වහන්සේ මාර්ගයෙහිදී දොළින් පානයකරනසේක; එබැවින් හිස ඔසවනසේක.

හිතෝපදේශ 26:5-9
5. අඥානයා තමා ප්‍රඥාවන්තයෙකැයි නොසිතන පිණිස, ඔහුගේ මෝඩකමේ හැටියට ඔහුට උත්තරදෙන්න.
6. අඥානයෙකු අත පණිවිඩ අරින්නා තමාගේ පාද කපා දමා අලාභ විඳින්නේය.
7. කොරෙකුගේ කකුල් වලංගු නැත. අඥානයන්ගේ මුඛයෙන් නික්මෙන උපමාවත් එසේමය.
8. අඥානයෙකුට ගෞරවය දෙන්නා ගල් ගොඩක තබනලද මැණික් පසුම්බිය මෙන්ය.
9. අඥානයන්ගේ මුඛයෙන් නික්මෙන උපමාව බේබද්දෙක් අතින් වනන කටුගහක් මෙන්ය.

ගලාති 4:1-31
1. උරුමක්කාරයා සියල්ලටම ස්වාමියා නුමුත්, ඔහු බාලයෙක්ව සිටින තුරු දාසයෙකුට වඩා වෙනසක් නැතුව,
2. පියා විසින් නියමකළ කාලය දක්වා, ප්‍රවේසම්කරන්නන් හා ගබඩාකාරයන් යටතේ සිටින්නේයයි කියමි.
3. එසේම අපිත් බාලයන්ව සිටියදී, ලෝකයේ ගුරුකම් යටතේ දාසව සිටියෙමුව.
4. නුමුත් කාලය සම්පූර්ණවූ කල, දෙවියන්වහන්සේ ස්ත්‍රියෙකුගෙන් උපන්නාවූද ව්‍යවස්ථාව යටතේ උපන්නාවූද තමන් පුත්‍රයාණන්වහන්සේ එවූසේක.
5. එසේ කළේ අප විසින් පුත්‍රකම ලබන පිණිස උන්වහන්සේ විසින් ව්‍යවස්ථාව යටතෙහි වූවන් මුදාගැනීමටය.
6. තවද ඔබ සැම පුත්‍රයන්ව සිටින බැවින්: අබ්බා, පියාණෙනී, කියා හඬගසන්නාවූ තමන් පුත්‍රයාණන්ගේ ආත්මය දෙවියන්වහන්සේ අපේ සිත්වලට එවූසේක.
7. මෙසේ ඔබ තවත් දාසයෙක් නොව පුත්‍රයෙක්ය; පුත්‍රයෙක් නම් දෙවියන්වහන්සේ කරණකොටගෙන උරුමක්කාරයෙක්ය.
8. එසේවී නුමුත් ඔබ සැම ඒ කාලයේදී දෙවියන්වහන්සේ නෑඳින, ස්වභාවෙන් දෙවිවරුන් නොවන්නන්ට වහල්ව සිටියහුය.
9. නුමුත් දැන් ඔබ සැම දෙවියන්වහන්සේ ඇඳිනගෙන සිටිද්දී නොහොත් ඊට වඩා දෙවියන්වහන්සේ විසින් අඳුනනු ලැබ සිටිද්දී, ඔබ සැම ඒ දුර්වලවූ නිෂ්ඵලවූ ගුරුකම්වලට නැවතත් වහල්ව සිටින්ට ආශා ඇතුව, ඒ දෙසට නැවත හැරෙන්නේ කොහොමද?
10. ඔබ සැම දවස්ද මාසද කාලවල්ද අවුරුදුද සලකන්නහුය.
11. සමහරවිට ඔබ සැම උදෙසා මා දැරූ වෙහෙස නිෂ්ඵලවේදෝ කියා ඔබ සැම ගැන භයවෙමි.
12. සහෝදරයෙනි, මා ඔබ සැම මෙන් සිටින බැවින්, ඔබ සැමත් මා ලෙස සිටිනමෙන් ඔබ සැමගෙන් ඉල්ලමි. ඔබ සැම මට කිසි වැරැද්දක් කළේ නැත.
13. මාංසයේ දුර්වලකමක් නිසා පළමුකොට මා ඔබ සැමට ශුභාරංචිය ප්‍රකාශකළ හැටි ඔබ සැම දන්නහුය.
14. මාගේ මාංසය සම්බන්ධයෙන් ඔබ සැමට පරීක්ෂාවක්ව තිබුණු දේ ඔබ සැම සුළුකළේවත් එපාකළේවත් නැතුව, දෙවියන්වහන්සේගේ දූතයෙකු මෙන්ද, එසේය, ක්‍රිස්තුස් යේසුස්වහන්සේ මෙන්ද මා පිළිගත් බව ඔබ සැම දන්නහුය.
15. එසේවී නම් ඔබ සැමට තිබුණු ඒ ප්‍රීතිය කොයිද? මක්නිසාද පුළුවන්නම් ඔබ සැමගේ ඇස් උගුලා මට දෙන්ට පවා ඔබ සැම කැමතිව සිටිය බවට ඔබ සැම ගැන සාක්ෂිදෙමි.
16. එසේවී නම් මම ඔබ සැමට සැබෑව කියන බැවින් ඔබ සැමට සතුරෙක් වී සිටිම්ද?
17. ඔවුන් ඔබ සැම ගැන ජ්වලිතව සිටින්නේ යහපත් ආකාරයෙන් නොවේය. නුමුත් අනික් අතට ඔබ සැම ඔවුන් ගැන ජ්වලිතවන පිණිස ඔබ සැම අපෙන් වෙන්කරගන්ට ඔව්හු ආශාවෙති.
18. නුමුත් මා ඔබ සැම ළඟ සිටින කල පමණක් නොව නිතරම, යහපත් කාරණයකදී, ජ්වලිතලෙස සොයනු ලැබීම යහපත.
19. මාගේ දරුවෙනි, ක්‍රිස්තුස්වහන්සේ ඔබ සැම තුළ සෑදෙන තුරු ඔබ සැම නිසා නැවත ප්‍රසවවේදනා විඳිමි.
20. එසේය, පුළුවන් නම් දැන් ඔබ සැම ළඟ සිටින්ටද වෙන ආකාරයකින් කථාකරන්ටද කැමැත්තෙමි; මක්නිසාද ඔබ සැම ගැන වියවුල්ව සිටිමි.
21. ව්‍යවස්ථාව යටතේ සිටින්ට කැමැත්තෙනි, ඔබ සැම ව්‍යවස්ථාව අසන්නේ නැද්දැයි මට කියන්න.
22. මක්නිසාද ආබ්‍රහම්ට පුත්‍රයෝ දෙදෙනෙක් සිටියෝය, එක්කෙනෙක් දාසියගෙන්ය, එක්කෙනෙක් නිර්දාසියගෙන්ය.
23. නුමුත් දාසියගේ පුත්‍රයා මාංසිකලෙසද නිර්දාසියගේ පුත්‍රයා පොරොන්දුව කරණකොටගෙනද උපන්නේයයි ලියා තිබේ.
24. මේ දේවල උපමාවක් අන්තර්ගතය. මක්නිසාද මේ ස්ත්‍රීහු ගිවිසුම් දෙකක්ය; සීනා පර්වතයෙන් දුන් ගිවිසුම තොමෝ දාසකමට දරුවන් උපදවන්නීය, ඒ හාගර්ය.
25. මේ හාගර් නම් අරාබියෙහි සීනා පර්වතයය, ඒ දැන් තිබෙන යෙරුසලමට අදාළවේ. මක්නිසාද ඈ තමාගේ දරුවන් සමඟ දාසකමෙහි සිටින්නීය.
26. නුමුත් ඉහළ තිබෙන යෙරුසලම නිදහස්ය, ඈ අපගේ මවුය.
27. මක්නිසාද: දරුවන් බිහිනොකරන වඳ තැනැත්තිය, ප්‍රීතිවෙව; බිහිකරන වේදනා නොවිඳන තැනැත්තිය, ශබ්දනගා මොරගසව. මක්නිසාද පුරුෂයා ඇති තැනැත්තියට වඩා අත්හරිනු ලැබූ තැනැත්තියට දරුවෝ බොහෝයයි ලියා තිබේ.
28. ඉදින්, සහෝදරයෙනි, ඊසාක් මෙන් අපිත් පොරොන්දුවේ දරුවෝය.
29. නුමුත් මාංසාකාරයෙන් උපන් තැනැත්තා ආත්මයාණන් කරණකොටගෙන උපන් තැනැත්තාට එකල්හි පීඩාකළා සේම දැනුත් වන්නේය.
30. එසේවී නුමුත් ලියවිල්ලේ කුමක් කියා තිබේද? දාසිය සහ ඇගේ පුත්‍රයාත් පිටත දමන්න. මක්නිසාද දාසියගේ පුත්‍රයාට නිර්දාසියගේ පුත්‍රයා සමඟ උරුමය නොලැබෙන්නේය යනුයි.
31. එබැවින්, සහෝදරයෙනි, අපි දාසියෙකුගේ නොව නිර්දාසියගේ දරුවෝය.