A A A A A
අවුරුද්දකින් බයිබලය
අප්රේල් 16

ජෝෂු 21:1-45
1. එවිට ලෙවීවරුන්ගේ පිය පෙළපත්වල ප්‍රධානීහු පූජකයාවූ එලෙයාසර්ද නූන්ගේ පුත්‍රවූ යෝෂුවාද ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ පිය පෙළපත්වල ප්‍රධානීන්ද වෙතට පැමිණ,
2. කානාන් දේශයේ ෂීලෝහිදී ඔවුන්ට කථාකොට: වාසයකිරීමට නුවරවල්ද අපේ සිව්පාවුන්ට ඒවායේ පිට-බිම්ද දෙන්ට කියා ස්වාමීන්වහන්සේ මෝසෙස් ලවා ආඥාකෙරෙවුසේකැයි කීවෝය.
3. ඉශ්‍රායෙල් පුත්‍රයෝ ස්වාමීන්වහන්සේ ගේ ආඥාව ලෙස තමුන්ගේ උරුමයෙන් මෙකී නුවරවල්ද ඒවායේ පිට-බිම්ද ලෙවීවරුන්ට දුන්නෝය.
4. කොහාත්වරුන්ගේ පවුල්වලට පස ඇටය වැටුණේය. ලෙවීවරුන්ගෙන්වූ ආරොන් පූජකයාගේ පුත්‍රයන්ට යූදා ගෝත්‍රයෙන්ද සිමියොන් ගෝත්‍රයෙන්ද බෙන්යමින් ගෝත්‍රයෙන්ද නුවරවල් දහතුනක් පස ඇට දැමීමෙන් ලැබුණේය.
5. කොහාත්ගේ අනික් පුත්‍රයන්ට එප්‍රායිම් ගෝත්‍රයේ පවුල්වලින්ද දාන් ගෝත්‍රයෙන්ද මනස්සේගේ අර්ධ ගෝත්‍රයෙන්ද නුවරවල් දසයක් පස ඇට දැමීමෙන් ලැබුණේය.
6. ගේර්ෂොන්ගේ පුත්‍රයන්ට ඉස්සාඛර් ගෝත්‍රයේ පවුල්වලින්ද ආෂෙර් ගෝත්‍රයෙන්ද නප්තලී ගෝත්‍රයෙන්ද බාෂාන්හි සිටිය මනස්සේගේ අර්ධගෝත්‍රයෙන්ද නුවරවල් දහතුනක් පස ඇට දැමීමෙන් ලැබුණේය.
7. මෙරාරීගේ පුත්‍රයන්ට ඔවුන්ගේ පවුල්වල හැටියට රූබෙන් ගෝත්‍රයෙන්ද ගාද් ගෝත්‍රයෙන්ද සාබුලොන් ගෝත්‍රයෙන්ද නුවරවල් දොළොසක් ලැබුණේය.
8. ඒ නුවරවල් සහ ඒවායේ පිට-බිම් ඉශ්‍රායෙල් පුත්‍රයෝ ස්වාමීන්වහන්සේ මෝසෙස් ලවා අණකෙරෙවු ලෙස පස ඇට දැමීමෙන් ලෙවීවරුන්ට දුන්නෝය.
9. යූදා පුත්‍රයන්ගේ ගෝත්‍රයෙන්ද සිමියොන් පුත්‍රයන්ගේ ගෝත්‍රයෙන්ද මෙහි නම් සඳහන්කරනු ලබන නුවරවල්
10. ඔව්හු ලෙවීගේ පුත්‍රයන්වූ කොහාත්වරුන්ගේ පවුල්වලට අයිති ආරොන්ගේ පුත්‍රයන්ට දුන්නෝය. මක්නිසාද පළමුවෙනි පස ඇටය වැටුණේ ඔවුන්ටය.
11. ඔව්හු යූදා කඳු රටේ තිබෙන හෙබ්‍රොන් නම් කිරියත්-අර්බාද ඒ අවට තිබෙන එහි පිට-බිම්ද ඔවුන්ට දුන්නෝය. අර්බා වනාහි අනාක්ගේ පියාය.
12. එහෙත් නුවර කෙත්ද එහි ගම්ද ඔව්හු යෙඵුන්නේගේ පුත්‍රවූ කාලෙබ්ට උරුමයක් කොට දුන්නෝය.
13. ඔව්හු පූජක ආරොන්ගේ පුත්‍රයන්ට, මිනීමරන අයට ආරක්ෂා නුවරක්වූ හෙබ්‍රොන් සහ එහි පිට-බිම්ද ලිබ්නා සහ එහි පිට-බිම්ද,
14. යත්තීර් සහ එහි පිට-බිම්ද, එෂ්තෙමෝවා සහ එහි පිට-බිම්ද,
15. හෝලොන් සහ එහි පිට-බිම්ද, දෙබීර් සහ එහි පිට-බිම්ද,
16. ආයින් සහ එහි පිට-බිම්ද යුත්තා සහ එහි පිට-බිම්ද බෙත්-ෂෙමෙෂ් සහ එහි පිට-බිම්ද යන මේ නුවරවල් නවය ඒ ගෝත්‍ර දෙකෙන් දුන්නෝය.
17. බෙන්යමින් ගෝත්‍රයෙන් ගිබියොන් සහ එහි පිට-බිම්ද ගෙබා සහ එහි පිට-බිම්ද,
18. අනාතොත් සහ එහි පිට-බිම්ද අල්මොන් සහ එහි පිට-බිම්ද යන නුවරවල් සතරත් දුන්නෝය.
19. පූජකයන්වූ ආරොන් පුත්‍රයන්ගේ සියලු නුවරවල් වනාහි ඒවායේ පිට-බිම් ඇතුළුව නුවරවල් දහතුනක්ය.
20. ලෙවීවරුන් වන කොහාත්ගේ අනික් පුත්‍රයන්ගේ පවුල්වලට ඔවුන්ගේ කොටසේ නුවරවල් එප්‍රායිම් ගෝත්‍රයෙන් ලැබුණේය.
21. මිනීමරන අය උදෙසා නියමකළ ආරක්ෂා නුවරක්වූ ෂෙකෙම් සහ එහි පිට-බිම්ද ගෙසෙර් සහ එහි පිට-බිම්ද,
22. කිබ්ශයිම් සහ එහි පිට-බිම්ද බෙත්-හෝරොන් සහ එහි පිට-බිම්ද යන නුවරවල් සතර ඔවුන්ට දුන්නෝය.
23. දාන් ගෝත්‍රයෙන් එල්තෙකේ සහ එහි පිට-බිම්ද ගිබ්-බෙතොන් සහ එහි පිට-බිම්ද,
24. අයාලොන් සහ එහි පිට-බිම්ද ගැත්-රිම්මොන් සහ එහි පිට-බිම්ද යන මේ නුවරවල් සතරත් දුන්නෝය.
25. මනස්සේගේ අර්ධ ගෝත්‍රයෙන් තයනාක් සහ එහි පිට-බිම්ද ගැත්-රිම්මොන් සහ එහි පිට-බිම්ද යන නුවරවල් දෙකත් දුන්නෝය.
26. කොහාත්ගේ අනික් පුත්‍රයන්ගේ පවුල්වලට ලැබුණ සියලු නුවරවල් වනාහි ඒවායේ පිට-බිම් ඇතුළුව නුවරවල් දසයක්ය.
27. ඔවුන් ලෙවීවරුන්ගේ පවුල්වලට අයිතිවූ ගේර්ෂොන්ගේ පුත්‍රයන්ට මනස්සේගේ අර්ධ ගෝත්‍රයෙන් දුන්නේ මිනී මරන අය උදෙසා නියමකළ ආරක්ෂා නුවරක්වූ බාෂාන්හි තිබෙන ගෝලාන් සහ එහි පිට-බිම්ද බෙ-යෙෂ්තෙරා සහ එහි පිට-බිම්ද යන නුවරවල් දෙකය.
28. ඉස්සාඛර්ගේ ගෝත්‍රයෙන් කිෂියොන් සහ එහි පිට-බිම්ද දාබෙරත් සහ එහි පිට-බිම්ද,
29. යර්මූත් සහ එහි පිට-බිම්ද ඒන්-ගන්නීම් සහ එහි පිට-බිම්ද යන නුවරවල් සතරත් දුන්නෝය.
30. ආෂේර් ගෝත්‍රයෙන් මිෂාල් සහ එහි පිට-බිම්ද අබ්දොන් සහ එහි පිට-බිම්ද,
31. හෙල්කාත් සහ එහි පිට-බිම්ද රෙහොබ් සහ එහි පිට-බිම්ද යන නුවරවල් සතරත් දුන්නෝය.
32. නප්තලී ගෝත්‍රයෙන් මිනීමරන අය උදෙසා නියම කළ ආරක්ෂා නුවරක්වූ, ගලීලයෙහි තිබෙන කෙදෙෂ් සහ එහි පිට-බිම්ද හම්මොත්-දෝර් සහ එහි පිට-බිම්ද කර්තාන් සහ එහි පිට-බිම්ද යන නුවරවල් තුනත් දුන්නෝය.
33. ගේර්ෂොන්වරුන්ට ඔවුන්ගේ පවුල්වල හැටියට ලැබුණ සියලු නුවරවල් වනාහි ඒවායේ පිට-බිම් ඇතුළුව නුවරවල් දහ තුනක්ය.
34. අනික් ලෙවීවරුන් වන මෙරාරීගේ පුත්‍රයන්ගේ පවුල්වලට සාබුලොන් ගෝත්‍රයෙන් යොක්නෙයාම් සහ එහි පිට-බිම්ද කර්තා සහ එහි පිට-බිම්ද,
35. දිම්නා සහ එහි පිට-බිම්ද නහලාල් සහ එහි පිට-බිම්ද යන නුවරවල් සතර දුන්නෝය.
36. රූබෙන් ගෝත්‍රයෙන් බෙශෙර් සහ එහි පිට-බිම්ද යාහශ් සහ එහි පිට-බිම්ද,
37. කෙදේමොත් සහ එහි පිට-බිම්ද මේපාත් සහ එහි පිට-බිම්ද යන නුවරවල් සතරත් දුන්නෝය.
38. ගාද් ගෝත්‍රයෙන්, මිනීමරන අය උදෙසා නියමකළ ආරක්ෂා නුවරක්වූ ගිලියද්හි තිබෙන රාමොත් සහ එහි පිට-බිම්ද
39. මහනයිම් සහ එහි පිට-බිම්ද, හෙෂ්බොන් සහ එහි පිට-බිම්ද යාශෙර් සහ එහි පිට-බිම්ද යන නුවරවල් සතරත් දුන්නෝය.
40. මේ සියල්ල ලෙවීවරුන්ගේ අනික් පවුල් වන මෙරාරීගේ පුත්‍රයන්ට ඔවුන්ගේ පවුල්වල හැටියට ලැබුණ නුවරවල්ය; ඔවුන්ගේ කොටස නුවරවල් දොළොසක්ය.
41. ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ උරුමය තුළ තිබුණ ලෙවීවරුන්ගේ සියලු නුවරවල් වනාහි ඒවායේ පිට-බිම් ඇතුළුව නුවරවල් සතළිස් අටක්ය.
42. මේ නුවරවලින් එක එක නුවර වටකර පිට-බිම් තිබුණේය. ඒ සියලු නුවරවල් ඒ ආකාරව තිබුණේය.
43. මෙසේ ඉශ්‍රායෙල්වරුන්ගේ පියවරුන්ට දෙන ලෙස ස්වාමීන්වහන්සේ දිවුළාවූ මුළු දේශය උන්වහන්සේ ඔවුන්ට දුන්සේක; ඔව්හු ඒක හිමිකරගෙන එහි විසුවෝය.
44. ස්වාමීන්වහන්සේ ඔවුන්ගේ පියවරුන්ට දිවුළ සියල්ල ලෙස හාත්පසින් උන්වහන්සේ ඔවුන්ට විශ්‍රාම දුන්සේක. ඔවුන්ගේ සියලු සතුරන්ගෙන් කිසිවෙකුට ඔවුන්ට විරුද්ධව සිටින්ට නොහැකිවිය; ස්වාමීන්වහන්සේ ඔවුන්ගේ සියලු සතුරන් ඔවුන් අතට පාවාදුන් සේක.
45. ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල් වංශයට කී යහපත් දෙයින් කිසිවක් අත්නෑරී සියල්ලම සිදුවුණේය.

ජෝෂු 22:1-34
1. එවිට යෝෂුවා රූබෙන්වරුන්ද ගාද්වරුන්ද මනස්සේගේ අර්ධ ගෝත්‍රයද කැඳවා,
2. ඔවුන්ට කථාකොට: ස්වාමීන්වහන්සේ ගේ මෙහෙකරුවූ මෝසෙස් ඔබ සැමට අණකළ සියල්ල ඔබ සැම පැවැත්තුවහුය, මා ඔබ සැමට අණකළ සියල්ල ගැන මාගේ හඬටත් කීකරුවූහුය.
3. ඔබ සැම අද දවස දක්වා මෙපමණ දීර්ඝ කාලයක් ඔබ සැමගේ සහෝදරයන් අත්නෑර සිට ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ගේ ආඥාවේ භාරය රක්ෂාකළහුය.
4. දැන් ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබ සැමගේ සහෝදරයන්ට කී ප්‍රකාරයට ඔවුන්ට විශ්‍රාම දුන්සේක. ඔබ සැම ඉතින් හැරී ස්වාමීන්වහන්සේ ගේ මෙහෙකරුවූ මෝසෙස් විසින් යොර්දානෙන් එගොඩ ඔබ සැමට දුන් උරුම දේශයෙහි ඔබ සැමගේ කූඩාරම්වලට යන්න.
5. එහෙත් ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ට ඔබ සැම ප්‍රේමකොට, උන්වහන්සේගේ සියලු මාර්ගවල හැසිරෙමින්, උන්වහන්සේගේ ආඥා පවත්වා, උන්වහන්සේට ඇලුම්ව සිට, ඔබ සැමගේ මුළු සිතෙන්ද මුළු ආත්මයෙන්ද උන්වහන්සේට සේවය කරන හැටියට ස්වාමීන්වහන්සේ ගේ මෙහෙකරුවූ මෝසෙස් ඔබ සැමට අණකළ ආඥාවද ව්‍යවස්ථාවද රක්ෂාකරන්ට හොඳාකාරයෙන් බලාගන්නැයි කීවේය.
6. මෙසේ යෝෂුවා ඔවුන්ට ආශීර්වාදකොට ඔවුන් යන්ට හැරියේය. ඔව්හු තමුන්ගේ කූඩාරම්වලට යන්ට ගියෝය.
7. මනස්සේගේ ගෝත්‍රයෙන් අර්ධයකට මෝසෙස් බාෂාන්හි උරුමයක් දී තිබුණේය. අනික් අර්ධයට යෝෂුවා ඔවුන්ගේ සහෝදරයන් අතරෙහි බස්නාහිරට යොර්දාන් මෙගොඩ උරුමයක් දුන්නේය. තවද යෝෂුවා ඔවුන්ගේ කූඩාරම්වලට ඔවුන් හරින කල ඔවුන්ට ආශීර්වාදකරමින්:
8. ඔබ සැම බොහෝ ධනයද සිව්පාවුන් ඉතා මහත් ගණනක්ද රිදීද රන්ද පිත්තලද යකඩද බොහෝ වස්ත්‍රද ඇතුව ඔබ සැමගේ කූඩාරම්වලට ගොස්, ඔබ සැමගේ සතුරන්ගෙන් ගත් කොල්ලය ඔබ සැමගේ සහෝදරයන් සමඟ බෙදාගන්නැයි ඔවුන්ට කීවේය.
9. එවිට රූබෙන් පුත්‍රයෝද ගාද් පුත්‍රයෝද මනස්සේගේ අර්ධ ගෝත්‍රයද ස්වාමීන්වහන්සේ මෝසෙස් ලවා අණකෙරෙවු ලෙස තමුන් ලබාගන සිටිය තමුන්ගේ උරුම දේශය වන ගිලියද් දේශයට යන්ට කානාන් දේශයේ තිබෙන ෂීලෝහි සිට ඉශ්‍රායෙල් පුත්‍රයන් වෙතින් පිටත්ව ගියෝය.
10. කානාන් දේශයෙහි තිබෙන යොර්දානේ අසබඩ පළාතට ඔවුන් පැමුණුණ කල රූබෙන් පුත්‍රයෝද ගාද් පුත්‍රයෝද මනස්සේගේ අර්ධ ගෝත්‍රයද එහි යොර්දාන ළඟ පූජාසනයක් එනම් දැකීමට මහත් පූජාසනයක් ගොඩනැගුවෝය.
11. එවිට රූබෙන් පුත්‍රයන්ද ගාද් පුත්‍රයන්ද මනස්සේගේ අර්ධ ගෝත්‍රයද කානාන් දේශය ඉදිරිපිට ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ පැත්තෙහි යොර්දාන අසබඩ පළාතේ පූජාසනයක් ගොඩනගා තිබේයයි ඉශ්‍රායෙල් පුත්‍රයන්ට ආරංචිවිය.
12. ඉශ්‍රායෙල් පුත්‍රයන් ඒ බව ඇසූ කල ඔවුන්ට විරුද්ධව යුද්ධයට යන පිණිස ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ මුළු සභාව ෂීලෝහි රැස්වුණාය.
13. ඉශ්‍රායෙල් පුත්‍රයෝ ගිලියද් දේශයේ සිටි රූබෙන් පුත්‍රයන්ද ගාද් පුත්‍රයන්ද මනස්සේගේ අර්ධ ගෝත්‍රයද වෙතට පූජකවූ එලෙයාසර්ගේ පුත්‍රයා වන පීනෙහාස්ද,
14. ඔහු සමඟ සියලු ඉශ්‍රායෙල් ගෝත්‍රවලින් එක එක පිය පෙළපතට අධිපතිව සිටි අධිපතිවරුන් දසදෙනෙක්ද යැවුවෝය. ඔව්හු එකිනෙකා ඉශ්‍රායෙල් දහස් ගණන් අතරෙහි තම තමුන්ගේ පිය පෙළපත්වලට ප්‍රධානියෝව සිටියෝය.
15. ඔව්හු ගිලියද් දේශයෙහි රූබෙන් පුත්‍රයන්ද ගාද් පුත්‍රයන්ද මනස්සේගේ අර්ධ ගෝත්‍රයද ළඟට අවුත් කථාකරමින්:
16. ඔබ සැම අද දවසේ ස්වාමීන්වහන්සේ ට විරුද්ධව කැරළිගසන පිණිස පූජාසනයක් ගොඩනගා ගැනීමෙන් ඔබ සැම අද ස්වාමීන්වහන්සේ වෙතින් අහක්ව ගොස් ඉශ්‍රායෙල්වරුන්ගේ දෙවියන්වහන්සේට විරුද්ධව කළාවූ මේ අපරාධය කිමෙක්ද?
17. පෙයෝර් පිළිබඳ අපරාධය මදිද? ස්වාමීන්වහන්සේ ගේ සභාව පිටට වසංගතයක් පැමිණි නුමුත් අද දක්වා අපි ඒ අපරාධයෙන් පවිත්‍ර නොවීමුව.
18. එහෙත් ඔබ සැම අද ස්වාමීන්වහන්සේ වෙතින් අහක්ව යන්නහුය. මෙසේ ඔබ සැම අද ස්වාමීන්වහන්සේ ට විරුද්ධව කැරළිගසන හෙයින් හෙට උන්වහන්සේ මුළු ඉශ්‍රායෙල් සභාව කෙරෙහි උදහස්වෙනවා ඇත.
19. ඔබ සැමගේ උරුම දේශය අපවිත්‍ර නම් ස්වාමීන්වහන්සේ ගේ මණ්ඩපය පිහිටුවා තිබෙන උන්වහන්සේගේ උරුම දේශයට එතරව අප අතරේ උරුමය ගන්න. නුමුත් අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ගේ පූජාසනය හැර ඔබ සැමට වෙන පූජාසනයක් ගොඩනැගීමෙන් ස්වාමීන්වහන්සේ ටත් අපටත් විරුද්ධව කැරළි නොගසන්න.
20. ශෙරාගේ පුත්‍රවූ ආකාන් කැපවූ දෙය සම්බන්ධ අපරාධය කළ නිසා මුළු ඉශ්‍රායෙල් සභාව පිටට උදහස නොපැමිණියේද? ඒ මනුෂ්‍යයා තමාගේ අපරාධය කරණකොටගෙන තනියම විනාශනූණේය කියා ස්වාමීන්වහන්සේ ගේ මුළු සභාව කියනවායයි ඔවුන්ට කීවෝය.
21. රූබෙන් පුත්‍රයෝද ගාද් පුත්‍රයෝද මනස්සේගේ අර්ධ ගෝත්‍රයද ඉශ්‍රායෙල්හි දහස්ගණන්වූ ජනයන්ගේ ප්‍රධානීන්ට උත්තරදෙමින්:
22. දෙවිවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ, දෙවිවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ, උන්වහන්සේම දන්නාසේක, ඉශ්‍රායෙල්ද දැනගන්නවා ඇත; අප විසින් කැරළිකාරකමින්වත් ස්වාමීන්වහන්සේ ට විරුද්ධව ද්‍රෝහිකමින්වත්, ස්වාමීන්වහන්සේ වෙතින් අහක්ව යන පිණිස අපට පූජාසනයක් ගොඩනගා තිබේ නම්, අද දවසේ අප නොගැළවුව මැනව.
23. ඒක පිට දවන පූජා නොහොත් ආහාර පූජා පුදන්ටවත් ශාන්ති පූජා ඔප්පුකරන්ටවත් ඒක ගොඩනැගුවා නම්, ස්වාමීන්වහන්සේ ම ඒ ගැන පළිගන්නසේක්වා;
24. අප මේක කළේ ප්‍රවේසම පිණිස අදහසක් ඇතුවය, එනම් මතු කාලයේදී ඔබ සැමගේ පුත්‍රයෝ අපේ පුත්‍රයන්ට කථාකොට: ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ගෙන් ඔබ සැමට කම් කිම්ද?
25. රූබෙන් පුත්‍රයෙනි, ගාද් පුත්‍රයෙනි, අපටත් ඔබ සැමටත් අතරේ ස්වාමීන්වහන්සේ යොර්දාන සීමාව කොට තබා තිබෙන නිසා ස්වාමීන්වහන්සේ තුළ ඔබ සැමට කොටසක් නැතැයි කියා මෙසේ ඔබ සැමගේ පුත්‍රයෝ අපේ පුත්‍රයන් ස්වාමීන්වහන්සේ ට භයවීමෙන් වෙන්කරන්නෝයයි අපි සිතීමුව.
26. එබැවින් අපට පූජාසනයක් ගොඩනගා ගැනීමට අපි සූදානම්වෙමුයයි අප විසින් කියාගත්තේ දවන පූජාවල්වත් යාගවල්වත් ඔප්පුකිරීමට නොව,
27. අපේ දවන පූජාවලිනුත් අපේ යාගවලිනුත් අපේ ශාන්ති පූජාවලිනුත් ස්වාමීන්වහන්සේ ගේ සේවය උන්වහන්සේ ඉදිරියෙහි ඉෂ්ටකිරීම යුතු බවට අප සහ ඔබ සැමද අපට පසුව අපේ පරම්පරාද අතරේ එහි සාක්ෂියක් වන පිණිසත්, ස්වාමීන්වහන්සේ තුළ ඔබ සැමට කොටසක් නැත කියා මතු කාලයේ ඔබ සැමගේ පුත්‍රයන් විසින් අපේ පුත්‍රයන්ට නොකියන පිණිසත්ය.
28. එසේ හෙයින් ඔවුන් අපටවත් අපේ පරම්පරාවලටවත් මතු කාලයේ එසේ කීවොත්: දවන පූජා හෝ යාග පූජා හෝ ඔප්පුකිරීමට නොව අප සහ ඔබ සැම අතරේ සාක්ෂියක් පිණිස අපේ පියවරුන් සෑදුවාවූ ස්වාමීන්වහන්සේ ගේ පූජාසනයේ ආදර්ශය බලන්නය කියා අපට කියන්ට පුළුවනැයි අපි කියාගත්තෙමුව.
29. අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ගේ මණ්ඩපය ඉදිරියෙහි තිබෙන උන්වහන්සේගේ පූජාසනය හැර දවන පූජා හෝ ආහාර පූජා හෝ යාග පූජා හෝ ඔප්පුකිරීමට වෙන පූජාසනයක් ගොඩනැගීමෙන් ස්වාමීන්වහන්සේ ට විරුද්ධව කැරළිගසා අද ස්වාමීන්වහන්සේ වෙතින් අහක්ව යාම අපෙන් දුරුවේවයි කීවෝය.
30. එවිට රූබෙන් පුත්‍රයන්ද ගාද් පුත්‍රයන්ද මනස්සේ පුත්‍රයන්ද විසින් කී වචන පූජකවූ පීනෙහාස්ද ඔහු සමඟ සිටිය සභාවේ අධිපතීන් වන ඉශ්‍රායෙල් දහස්ගණන්වූ ජනයන්ගේ ප්‍රධානීන්ද ඇසූ කල ඊට ඔව්හු බොහෝසේ සතුටුවූහ.
31. පූජක එලෙයාසර්ගේ පුත්‍රවූ පීනෙහාස් රූබෙන් පුත්‍රයන්ටත් ගාද් පුත්‍රයන්ටත් මනස්සේ පුත්‍රයන්ටත් කථාකොට: ස්වාමීන්වහන්සේ අප අතරේ වසන බව ඔබ සැම මේ ද්‍රෝහිකම ස්වාමීන්වහන්සේ ට විරුද්ධව නොකළ නිසා අපි අද දැනගතිමුව. මෙසේ ඔබ සැම ඉශ්‍රායෙල් පුත්‍රයන් ස්වාමීන්වහන්සේ ගේ අතින් ගැළවුවහුයයි කීවේය.
32. එවිට පූජක එලෙයාසර්ගේ පුත්‍රවූ පීනෙහාස්ද අධිපතීහුද රූබෙන් පුත්‍රයන් හා ගාද් පුත්‍රයන් කෙරෙන් ගිලියද් දේශයේ සිට කානාන් දේශයෙහි ඉශ්‍රායෙල් පුත්‍රයන් වෙත හැරී ඇවිත් ඔවුන්ට එපවත් කීවෝය.
33. ඒ කාරණය ඉශ්‍රායෙල් පුත්‍රයන්ට හොඳව පෙනුණේය; එබැවින් රූබෙන් පුත්‍රයන්ද ගාද් පුත්‍රයන්ද වාසයකළ දේශය විනාශකරන පිණිස ඔවුන්ට විරුද්ධව යුද්ධයට යාම ගැන ඉශ්‍රායෙල් පුත්‍රයෝ තවත් කථානොකොට දෙවියන්වහන්සේට ප්‍රශංසාකළෝය.
34. රූබෙන් පුත්‍රයෝද ගාද් පුත්‍රයෝද: ස්වාමීන්වහන්සේ දෙවියන්වහන්සේ බවට එය අප අතරේ සාක්ෂියක් වන නිසාය කියා ඒ පූජාසනයට ඒද් යන නාමය තැබුවෝය.

ගීතාවලිය 46:7-11
7. සේනාවල ස්වාමීන්වහන්සේ අප සමඟය; යාකොබ්ගේ දෙවියන්වහන්සේ අපේ බලකොටුවය.
8. එව්, ස්වාමීන් ගේ ක්‍රියාවන්, එනම් උන්වහන්සේ පොළොවෙහි සිදුකළ විනාශයන්, බලව්.
9. උන්වහන්සේ පොළෝ කෙළවර දක්වා යුද්ධ නවත්වනසේක; දුන්න බිඳ, හෙල්ලය කපාදමා, රථ ගින්නෙන් දවනසේක.
10. නිශ්චලවව්, මා දෙවියන්වහන්සේ බව දැනගනිව්. ජාතීන් අතරේ උසස්වන්නෙමි, පොළොවෙහි උසස්වන්නෙමි.
11. සේනාවල ස්වාමීන්වහන්සේ අප සමඟය; යාකොබ්ගේ දෙවියන්වහන්සේ අපේ බලකොටුවය.

හිතෝපදේශ 14:12-13
12. මනුෂ්‍යයෙකුට හරිව පෙනෙන මාර්ගයක් ඇත; එහෙත් එහි කෙළවරෙහි මරණයේ මාර්ග තිබේ.
13. සිනාසීමේදී පවා සිතේ කනගාටු තිබේ; ප්‍රීතියේ කෙළවරද ශෝකයය.

ශුද්ධවර ලූක් 13:1-22
1. තවද ඒ ප්‍රස්තාවේදීම එහි සිටි සමහරෙක් කථාකොට: පිලාත් විසින් ගලීලයන්ගේ ලේ ඔවුන්ගේ යාග සමඟ මිශ්‍රකරනලදැයි උන්වහන්සේට දැන්නුවෝය.
2. උන්වහන්සේ ඔවුන්ට උත්තරදෙමින්: ඒ ගලීලයෝ ඒ දේ වින්ද බැවින් සියලු ගලීලයන්ට වඩා පව්කාරයෝව සිටියෝයයි සිතවුද?
3. එසේ නොවේයයි ඔබ සැමට කියමි. පසුතැවිලි නූණොත් ඔබ සැම සියල්ලෝම එසේම විනාශවන්නෝය.
4. නොහොත් සිලෝවම් කොටුව වැටී යටවී මැරුණු දසඅටදෙන යෙරුසලමේ වාසයකරන සියලු මනුෂ්‍යයන්ට වඩා වැරදිකාරයෝව සිටියෝයයි ඔබ සැම සිතවුද?
5. එසේ නොවේයයි ඔබ සැමට කියමි. ඔබ සැම පසුතැවිලි නූණොත්, ඔබ සැම සියල්ලෝම එසේම විනාශවන්නෝයයි කීසේක.
6. උන්වහන්සේ මේ උපමාව කියනසේක්: එක් මනුෂ්‍යයෙකුගේ මිදිවත්තෙහි අත්තික්කා ගහක් හිටවා තිබුණේය. ඔහු ඒ ගහේ ගෙඩි සොයමින් ආවේය, නුමුත් කිසිවක් සම්බවුණේ නැත.
7. එවිට ඔහු මිදිවත්ත බලන්නාට කථාකොට: බලව, මේ තුන් අවුරුද්දේම මේ අත්තික්කා ගහේ ගෙඩි සොයා ආ නුමුත් කිසිවක් සම්බවුණේ නැත. ඒක කපාදමන්න; පොළොවට බරව තිබෙන්නෙත් මක්නිසාදැයි කීවේය.
8. ඔහු උත්තරදෙමින්: ස්වාමිනි, ඒක වටකර හාරා, පෝර දමන තුරු, මේ අවුරුද්දෙත් තිබුණාවේ.
9. ඉන්පසු ඵල දැරුවොත් යහපත; නැත්නම් ඒක කපාදමන්ට පුළුවනැයි ඔහුට කීවේයයි කීසේක.
10. උන්වහන්සේ සබත් දවසෙහි එක් සිනගෝගයක උගන්වමින් සිටිසේක.
11. බලව, දසඅට අවුරුද්දක් දුර්වලකමේ ආත්මයක් ඇතිවූ, කොයි ප්‍රකාරයකින්වත් කෙලින් වෙන්ට බැරි ස්ත්‍රියෙක් එහි සිටියාය.
12. යේසුස්වහන්සේ ඈ දැක අඬගසා: ස්ත්‍රිය, ඔබේ දුර්වලකමින් ඔබ මිදුණෙහිය කියා, ඈ පිට අත් තැබූසේක.
13. එකෙණෙහිම ඈ කෙලින්වී, දෙවියන්වහන්සේට ප්‍රශංසාකළාය.
14. යේසුස්වහන්සේ සබත් දවසේදී සුවකළ බැවින් සිනගෝගයේ මුලාදෑනියා කෝපව, සමූහයාට උත්තරදෙමින්: වැඩකළ යුතුවූ සදවසක් ඇත. ඒ නිසා සබත් දවසේ නොව ඒ දවස්වල ඇවිත් සුවය ලබාගන්නැයි කීවේය.
15. නුමුත් ස්වාමීන්වහන්සේ ඔහුට උත්තරදෙමින්: වංචාකාරයෙනි, ඔබ සැමගෙන් එකිනෙකා සබත් දවසේදී තම තමාගේ ගොනා හෝ කොටළුවා හෝ ගාලෙන් ලිහා වතුර පොවන්ට ගෙන නොයන්නේද?
16. එසේ නම්, දසඅට අවුරුද්දක් මුළුල්ලෙහි සාතන් විසින් බැඳ සිටි, ආබ්‍රහම්ගේ දුවෙක්වූ මේ ස්ත්‍රිය ඒ බැම්මෙන් සබත් දවසේදී මුදන්ට යුතුව තිබුණා නොවේදැයි කීසේක.
17. උන්වහන්සේ මෙසේ කී කල්හි උන්වහන්සේගේ සියලු විරුද්ධකාරයෝ ලජ්ජාවට පැමිණියෝය. මුළු සමූහයාද උන්වහන්සේ විසින් කළ සියලු තේජවන්ත දේවල් ගැන ප්‍රීති වුණෝය.
18. එබැවින් උන්වහන්සේ කියනසේක්: දෙවියන්වහන්සේගේ රාජ්‍යය කුමකට සමානද? ඒක කුමකට සමානකරම්ද?
19. එක් මනුෂ්‍යයෙකු විසින් අරගෙන තමාගේ වත්තේ දැමූ අබ ඇටයකට සමානය; ඒක වැඩී ගසක් විය; ආකාශයේ පක්ෂීහු එහි අතුවල ලැග්ගෝයයි කීසේක.
20. නැවතත් උන්වහන්සේ කියනසේක්: දෙවියන්වහන්සේගේ රාජ්‍යය කුමකට සමානකරම්ද?
21. ස්ත්‍රියෙකු විසින් පිටිනැළි තුනක් සහමුලින්ම පිපෙන තෙක් එහි දමා තිබූ මුහුන්වලට එය සමානයයි කීසේක.
22. උන්වහන්සේ යෙරුසලමට ගමන්කරද්දී උගන්වමින් නුවරවල් සහ ගම් මැදින් ගියසේක.