A A A A A
අවුරුද්දකින් බයිබලය
අප්රේල් 11

ජෝෂු 11:1-23
1. තවද හාශොර්හි රජවූ යාබීන් මේ දේ ඇසූ කල, මාදොන්හි රජවූ යෝබාබ්ටද ෂිම්රොන්හි රජුටද ආක්ෂාප්හි රජුටද,
2. උතුරු දිශාවේ කඳු රටේ සහ කින්නෙරොත්ට දකුණෙන් තිබෙන අරබා සමභූමියෙහිත් පාත රටෙත් බස්නාහිරෙන් තිබෙන දෝර් කඳුකරයෙහිත් සිටිය රජවරුන්ටද,
3. නැගෙනහිරෙන් සහ බස්නාහිර දිගෙනුත් සිටිය කානානිවරුන්ටද අමෝරිවරුන්ටද හිත්තීවරුන්ටද පෙරිස්සිවරුන්ටද කඳු රටේ සිටි යෙබූසිවරුන්ටද මිශ්පා දේශයෙහි හෙර්මොන්ට පහළින් සිටිය හෙවීවරුන්ටද කියා යැවීය.
4. ඔව්හු මුහුදු වෙරළේ වැලි මෙන් ගණනින් බොහෝවූ සෙනඟක් වන තමුන්ගේ සියලු සේනාවල්ද අශ්වයන් හා රථ ඉතා මහත් ගණනක්ද ඇතුව පිටත්ව ආවෝය.
5. මේ සියලු රජවරු රැස්වී ඇවිත්, ඉශ්‍රායෙල්වරුන්ට විරුද්ධව යුද්ධ කරන්ට මෙරොම්හි ජල ළඟ එක්ව කඳවුරු බැඳගත්තෝය.
6. ස්වාමීන්වහන්සේ යෝෂුවාට කථාකොට: ඔවුන් ගැන භයනොවන්න. මක්නිසාද ඔවුන් මැරුම්කන පිණිස හෙට මේ වේලාවට ඔවුන් සියල්ලන් ඉශ්‍රායෙල්වරුන් අතට පාවා දෙන්නෙමි. ඔවුන්ගේ අශ්වයන්ගේ කුදි කපා ඔවුන්ගේ රථ ගින්නෙන් පුලුස්සාදමන්නැයි කීසේක.
7. මෙසේ යෝෂුවා මුළු යුද්ධ සේනාව සමඟ මෙරොම්හි ජල ළඟ සිටි ඔවුන්ට විරුද්ධව හදිසියෙන් අවුත් ඔවුන් මැදට වන්නේය.
8. ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල්වරුන්ගේ අතට ඔවුන් පාවා දුන්සේක, ඔව්හු ඔවුන්ට පහරදී මහ ශීදොන් දක්වාද මිස්රෙඵොත්-මයිම් දක්වාද නැගෙනහිර තිබෙන මිශ්පාහි මිටියාවත දක්වාද ඔවුන් එළවාගන ගොස් ඔවුන්ගෙන් එක්කෙනෙක්වත් ඉතුරු නොවන තුරු ඔවුන්ට පහරදුන්නෝය.
9. යෝෂුවා ස්වාමීන්වහන්සේ තමාට කී ලෙස ඔවුන්ට කරමින් ඔවුන්ගේ අශ්වයන්ගේ කුදි කපා ඔවුන්ගේ රථ ගින්නෙන් පුලුස්සා දැමුවේය.
10. ඒ ප්‍රස්තාවේ යෝෂුවා හැරී ඇවිත් හාශොර් අල්වාගෙන එහි රජුට කඩුවෙන් පහරදුන්නේය. මක්නිසාද හාශොර් ඉහතදී ඒ සියලු රාජ්‍යවල ප්‍රධාන නුවරව තිබුණේය.
11. ඔව්හු එහි සිටිය සියලු ප්‍රාණීන්ට කඩු මුවහතින් පහරදී ඔවුන් මුළුමනින්ම විනාශකර දැමුවෝය. හුස්ම ඇති කිසිවෙක් ඉතුරු නොවීය. ඔහු හාශොර් ගින්නෙන් පුලුස්සා දැමුවේය.
12. යෝෂුවා මේ සියලු රජුන්ගේ නුවරවල්ද එහි සියලු රජුන්ද අල්වාගෙන, ස්වාමීන්වහන්සේ ගේ මෙහෙකරුවූ මෝසෙස් අණකළ ලෙස කඩුමුවහතින් ඔවුන්ට පහරදී ඔවුන් සිඳදැමුවේය.
13. එහෙත් හෙල් පිට පිහිටා තිබුණ සියලු නුවරවලින් හාශොර් මිස එකක්වත් ඉශ්‍රායෙල්වරු පුලුස්සා නොදැමුවෝය.
14. යෝෂුවා හාශොර් පමණක් පුලුස්සා දැමුවේය. ඒ නුවරවල මුළු කොල්ලයද සිව්පාවුන්ද ඉශ්‍රායෙල් පුත්‍රයෝ තමුන්ට කොල්ලයක් කොට ගත්තෝය; නුමුත් තමුන් විසින් සියලු මනුෂ්‍යයන් විනාශකරනු ලබන තුරු ඔවුන්ට කඩු මුවහතින් පහරදුන්නෝය, හුස්ම හෙළන කිසිවෙකු ඔව්හු ඉතුරු නොකළෝය.
15. ස්වාමීන්වහන්සේ තමන්ගේ මෙහෙකරුවූ මෝසෙස්ට අණකළ ලෙස මෝසෙස් යෝෂුවාට අණකෙළේය. යෝෂුවාද එසේ කෙළේය; ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණකළ සියල්ලෙන් ඔහු කිසිවක් නොකොට නොසිටියේය.
16. මෙසේ සේයිර්ට නගින මාර්ගයෙහි හලක් කන්ද පටන් හෙර්මොන් කන්දට පහළ ලෙබනොන් මිටියාවතේ තිබෙන බාල්-ගාද් දක්වා,
17. කඳු රටද මුළු දකුණු දිශාවද මුළු ගෝෂෙන් රටද පාත රටද අරබා සමභූමියද ඉශ්‍රායෙල් කඳු රටද එහි පාත රටද යන මුළු දේශය යෝෂුවා අත්කරගන, එහි සියලු රජුන්ද අල්වා, ඔවුන්ට පහරදී ඔවුන් මැරුවේය.
18. ඒ සියලු රජුන් සමඟ යෝෂුවා බොහෝ කල් යුද්ධ කෙළේය.
19. ගිබියොන්හි වැසියන්වූ හිවීවරුන් මිස වෙන කිසි නුවරක් ඉශ්‍රායෙල් පුත්‍රයන් සමඟ සමාදාන නොවීය. ඔව්හු යුද්ධයෙන් අවශේෂ සියල්ලම අල්වාගත්තෝය.
20. මක්නිසාද ඉශ්‍රායෙල්වරුන් සමඟ යුද්ධ කරන්ට පැමිණීමට ඔවුන්ගේ සිත් දැඩිකර ගැනීම ස්වාමීන්වහන්සේ ගෙන් පැමුණුණු කාරණයක්ය. මෙසේ වුණේ ඔවුන්ට කරුණානොකර, ඔවුන් මුළුමනින්ම විනාශකර දමා, ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණකළ පරිදි ඔහු විසින් ඔවුන් සිඳදමන පිණිසය.
21. ඒ කාලයෙහි යෝෂුවා අවුත් කඳු රටින්ද හෙබ්‍රොන් කෙරෙන්ද දෙබීර් කෙරෙන්ද අනාබ් කෙරෙන්ද මුළු යූදා කඳු රටෙන්ද මුළු ඉශ්‍රායෙල් කඳු රටෙන්ද අනාක්වරුන් නැතිකර දැමුවේය. යෝෂුවා ඔවුන්ගේ නුවරවල් සමඟ ඔවුන් මුළුමනින්ම විනාශකර දැමුවේය.
22. ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ දේශයෙහි අනාක්වරුන් එක්කෙනෙක්වත් ඉතුරු නොවීය. ගාසාහිද ගාත්හිද අෂ්දොද්හිද පමණක් ඔව්හු ඉතුරුව සිටියෝය.
23. මෙසේ ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කී සියල්ල ලෙස යෝෂුවා මුළු දේශය අල්ලාගෙන, ඉශ්‍රායෙල්වරුන්ගේ ගෝත්‍ර බෙදීම්වල හැටියට ඒක ඔවුන්ට උරුමයක් කොට දුන්නේය. එවිට යුද්ධය නැවතී දේශය නිශ්චලවිය.

ජෝෂු 12:1-24
1. නැගෙනහිරට යොර්දානෙන් එගොඩ අර්ණොන් ඔය පටන් හෙර්මොන් කන්ද දක්වාද මුළු නැගෙනහිර අරබා සමභූමියටද ඉශ්‍රායෙල් පුත්‍රයන් විසින් පහරදී හිමිකරගත්තාවූ ඒ දේශයේ රජවරු මොව්හුය.
2. හෙෂ්බොන්හි විසූ අමෝරිවරුන්ගේ රජවූ සීහොන්ය. ඔහු අර්ණොන් ඔය අද්දර තිබෙන අරොයෙර් පටන්ද, මිටියාවත මැද තිබෙන නුවර පටන්ද, අම්මොන් පුත්‍රයන්ගේ සීමාව වන යබ්බොක් ඔය දක්වා ගිලියද් අර්ධයක් කෙරෙහිද,
3. නැගෙනහිරට කින්නෙරොත් මුහුද දක්වාත් බෙත්-යෙෂිමොත්ට යන මාර්ගයෙහි පිස්ගා පාවුලට පහළින් දකුණු දිශාවට තිබෙන ලුණු මුහුද වන අරබා සමභූමියේ මුහුද දක්වාත් නැගෙනහිරට තිබෙන අරබා සමභූමිය කෙරෙහිද ආණ්ඩුකෙළේය.
4. රෙපායිම්වරුන්ගෙන් ඉතුරුව සිටිය බාෂාන්හි රජවූ ඕග්ගේ පළාතටත් පහරදී ඔව්හු එය හිමිකරගත්තෝය. ඔහු අෂ්තාරොත්හිත් එද්‍රයෙහිත් වාසය කොට
5. හෙර්මොන් කන්දද සලෙකාද ගෙෂූර්වරුන්ගේ සහ මයකාත්වරුන්ගේ සීමාව දක්වා මුළු බාෂාන්ද හෙෂ්බොන්හි රජවූ සීහොන්ගේ සීමාව දක්වා ගිලියද් අර්ධයක්ද කෙරෙහි ආණ්ඩුකෙළේය.
6. ස්වාමීන්වහන්සේ ගේ මෙහෙකරුවූ මෝසෙස්ද ඉශ්‍රායෙල් පුත්‍රයෝද ඔවුන්ට පහර දුන්නෝය. ස්වාමීන්වහන්සේ ගේ මෙහෙකරුවූ මෝසෙස් ඒ රට රූබෙන්වරුන්ටත් ගාද්වරුන්ටත් මනස්සේගේ අර්ධ ගෝත්‍රයටත් උරුමයක් කොට දුන්නේය.
7. බස්නාහිරට යොර්දානෙන් මෙගොඩ ලෙබනොන් මිටියාවතෙහි තිබෙන බාල්-ගාද් පටන් සේයිර්ට නගින මාර්ගයෙහි හලක් කන්ද දක්වා යෝෂුවා සහ ඉශ්‍රායෙල් පුත්‍රයන් විසින් පහර දුන්නාවූ, යෝෂුවා ඉශ්‍රායෙල්වරුන්ගේ ගෝත්‍රවලට ඔවුන්ගේ බෙදීම්වල හැටියට උරුමයක් කොට දුන්නාවූ දේශයේ රජවරු මොව්හුය:
8. එනම් කඳු රටෙහිද පාත රටෙහිද අරබා සමභූමියෙහිද කඳු බෑවුම් ළඟද කාන්තාරයෙහිද දකුණු දිශාවෙහිද සිටිය හිත්තීවරුත් අමෝරිවරුත් කානානිවරුත් පෙරිස්සිවරුත් හිවීවරුත් යෙබූසිවරුත්ය.
9. යෙරිකෝවේ රජ එක්කෙනෙක්ය; බෙතෙල් අසල හායිහි රජ එක්කෙනෙක්ය;
10. යෙරුසලමේ රජ එක්කෙනෙක්ය; හෙබ්‍රොන්හි රජ එක්කෙනෙක්ය;
11. යර්මුත්හි රජ එක්කෙනෙක්ය; ලාකීෂ්හි රජ එක්කෙනෙක්ය;
12. එග්ලොන්හි රජ එක්කෙනෙක්ය; ගෙසෙර්හි රජ එක්කෙනෙක්ය;
13. දෙබීර්හි රජ එක්කෙනෙක්ය; ගෙදෙර්හි රජ එක්කෙනෙක්ය;
14. හොර්මාහි රජ එක්කෙනෙක්ය; අරාද්හි රජ එක්කෙනෙක්ය;
15. ලිබ්නාහි රජ එක්කෙනෙක්ය; අදුල්ලාම්හි රජ එක්කෙනෙක්ය;
16. මක්කේදාහි රජ එක්කෙනෙක්ය; බෙතෙල්හි රජ එක්කෙනෙක්ය;
17. තප්පුවාහි රජ එක්කෙනෙක්ය;
18. හේපෙර්හි රජ එක්කෙනෙක්ය; අපෙක්හි රජ එක්කෙනෙක්ය; ලෂ්ෂාරොන්හි රජ එක්කෙනෙක්ය;
19. මාදොන්හි රජ එක්කෙනෙක්ය; හාශොර්හි රජ එක්කෙනෙක්ය;
20. ෂිම්රොන්-මෙරොන්හි රජ එක්කෙනෙක්ය; අක්ෂාප්හි රජ එක්කෙනෙක්ය;
21. තයනාක්හි රජ එක්කෙනෙක්ය; මෙගිද්දෝහි රජ එක්කෙනෙක්ය;
22. කෙදෙෂ්හි රජ එක්කෙනෙක්ය; කර්මෙල්ට අයිති යොක්නෙයාම්හි රජ එක්කෙනෙක්ය;
23. දෝර් කඳුකරේ වූ දෝර්හි රජ එක්කෙනෙක්ය; ගිල්ගාල්හි සිටිය ජාතීන්ගේ රජ එක්කෙනෙක්ය;
24. තිර්ශාහි රජ එක්කෙනෙක්ය. සියලු රජවරු තිස්එක්දෙනෙක්ය.

ගීතාවලිය 44:4-19
4. දෙවියන්වහන්ස, ඔබ මාගේ රජ්ජුරුවෝය. යාකොබ්ට මිදීම වේවයි අණකළ මැනව.
5. ඔබ කරණකොටගෙන අපේ එදිරිකාරයන් හෙළාදමන්නෙමුව. අපට විරුද්ධව නැගිටින්නන් ඔබගේ නාමය කරණකොටගෙන පාගා දමන්නෙමුව.
6. මක්නිසාද මාගේ දුන්න විශ්වාස නොකරන්නෙමි, මාගේ කඩුවද මා නොගළවන්නේය.
7. ඔබ අපේ එදිරිකාරයන්ගෙන් අප ගළවා, අපට වෛරවෙන්නන් ලජ්ජාවට පැමිණවූසේක.
8. අපි දවස මුළුල්ලේම දෙවියන්වහන්සේ වර්ණනාකෙළෙමුව, ඔබගේ නාමයට සදාකල් ස්තුතිකරන්නෙමුව.
9. නුමුත් ඔබ අප පහකොට අගෞරවයට පැමිණවූසේක; අපේ සේනාවන් සමඟ නොයනසේක.
10. ඔබ එදිරිකාරයා කෙරෙන් අප ආපසු හරවනසේක. අපට වෛරවන්නෝද කොල්ලකාගනිති.
11. කෑම පිණිස නියමවූ බැටළුවන් මෙන් ඔබ අප පාවාදී, ජාතීන් අතරේ අප විසිරවූසේක.
12. ඔබ ස්වකීය සෙනඟ නොමිලයේ විකුණනසේක, ඔවුන්ගේ අගයෙන්ද ඔබ වස්තු වැඩිකර නොගත්සේක.
13. ඔබ අපේ අසල්වාසීන්ට අප නින්දාවක්ද, අප අවට සිටින්නන්ට හෙළාදැක්මක් හා අපහාසයක්ද වෙන්ට සලස්වනසේක.
14. ඔබ ජාතීන් අතරේ අප නින්දා වාක්‍යයක්ද, මනුෂ්‍ය වර්ගයන් අතරේ හිස් වැනීමට කරුණක්ද වෙන්ට සලස්වනසේක.
15. නින්දාකරන්නාගෙත් අපහාස කරන්නාගෙත් ශබ්දය නිසාද, සතුරා සහ පළිගන්නා නිසාද,
16. දවස මුළුල්ලේ මාගේ අගෞරවය මා ඉදිරියෙහිය, මාගේ මුහුණේ ලජ්ජාවද මා වසාගත්තේය.
17. මේ සියල්ල අපට පැමිණියේය; එහෙත් ඔබ සිහිනැති නොකෙළෙමුව, ඔබගේ ගිවිසුම ගැන වංචාවෙන් ක්‍රියා නොකෙළෙමුව.
18. සිවලුන්ගේ වාසස්ථානයේදී ඔබ අප සම්පූර්ණයෙන් බින්ද නුමුත්, මරණ සෙවණෙන් අප වැසූ නුමුත්,
19. අපේ සිත පසුබට නොවීය, අපේ පාද ඔබගේ මාර්ගයෙන් ඉවත් නොවීය.

හිතෝපදේශ 14:1-2
1. ඥානවන්ත ස්ත්‍රී තොමෝ තම ගෙය ගොඩනගන්නීය; එහෙත් අඥාන තැනැත්තී තමාගේම අත්වලින් ඒක කඩාදමයි.
2. තමාගේ සෘජුකමෙන් හැසිරෙන්නා ස්වාමීන්වහන්සේ කෙරෙහි භයවෙන්නේය; එහෙත් වංක මාර්ග ඇත්තා උන්වහන්සේ සුළුකොට සලකන්නේය.

ශුද්ධවර ලූක් 10:25-42
25. බලව, ව්‍යවස්ථාව උගන්වන්නෙක් නැගිට උන්වහන්සේ පරීක්ෂාකරමින්: ආචාරිනි, සදාකාල ජීවනය උරුමකර ගන්න පිණිස මා විසින් කුමක් කටයුතුදැයි ඇසුවේය.
26. උන්වහන්සේද: ව්‍යවස්ථාවෙහි ලියා තිබෙන්නේ කිමෙක්ද? ඔබ කියවන්නේ කෙසේදැයි ඇසූසේක.
27. ඔහු උත්තරදෙමින්: ඔබේ මුළු හෘදයෙන්ද ඔබේ මුළු ආත්මයෙන්ද ඔබේ මුළු ශක්තියෙන්ද ඔබේ මුළු බුද්ධියෙන්ද ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේටත් ඔබට මෙන් ඔබේ අසල්වාසියාටත් ප්‍රේමකරව යනුයයි කීවේය.
28. උන්වහන්සේ: ඔබ උත්තරදුන්නා හරිය. එසේ කරන්න, එවිට ඔබ ජීවත්වන්නෙහියයි ඔහුට කීසේක. නුමුත් ඔහු නිදොස්වෙන්ට කැමතිව:
29. මාගේ අසල්වාසියා කවුදැයි යේසුස්වහන්සේගෙන් ඇසුවේය.
30. යේසුස්වහන්සේ උත්තරදෙමින් කියනසේක්: එක්තරා මනුෂ්‍යයෙක් යෙරුසලමෙන් යෙරිකෝවට යන කල සොරුන්ට අසුවිය; සොරු ඔහුගේ වස්ත්‍ර පැහැරගෙන, ඔහුට පහරදී, ඔහු අඩපණකර ගියෝය.
31. එක්තරා පූජකයෙක් අහම්බෙන් ඒ මාර්ගයෙන් යනුයේ ඔහු දැක අනික් පැත්තෙන් ගියේය.
32. එසේම ලෙවීයයෙක්ද එතැනට පැමිණ ඔහු දැක අනික් පැත්තෙන් ගියේය.
33. නුමුත් එක්තරා සමාරියයෙක් ගමන් යන අතර ඔහු සිටි තැනට ඇවිත්, ඔහු දැක අනුකම්පාකොට,
34. ළඟට ගොස්, ඔහුගේ තුවාලවලට තෙල්ද මුද්‍රිකපානයද වත්කොට තුවාල බැඳ, තමාගේම මෘගයා පිට හිඳුවාගෙන, තානායමකට ගෙන ගොස්, ඔහු බලාගත්තේය.
35. පසුවදා ඔහු මසු දෙකක් රැගෙන තානායම්කාරයාට දී: මොහු බලාගන්න; මීට වැඩියෙන් ඔබ වියදම්කරන දෙයක් මම නැවත ආ කල ඔබට ගෙවන්නෙමියි කීවේය.
36. ඉඳින් සොරුන් අතට අසුවූ තැනැත්තාට මොවුන් තුන්දෙනාගෙන් අසල්වාසියා වුණේ කවරෙක් කියා ඔබ සිතන්නෙහිදැයි ඇසූසේක.
37. ඔහුට කරුණාකළ තැනැත්තේයයි ඔහු කීවේය. ඔබත් ගොස් එලෙසම කරන්නැයි යේසුස්වහන්සේ ඔහුට කීසේක.
38. තවද ඔවුන් යද්දී උන්වහන්සේ එක්තරා ගමකට ඇතුල්වූසේක. එවිට මාර්තා නම් එක්තරා ස්ත්‍රියෙක් තමාගේ ගෙදරට උන්වහන්සේ පිළිගත්තාය.
39. ඈට මරියා නම් සහෝදරියෙක් සිටියාය; ඈ ස්වාමීන්වහන්සේගේ පාද මූලයෙහි හිඳ උන්වහන්සේගේ වචන ඇසුවාය.
40. නුමුත් මාර්තා බොහෝ උපස්ථානකිරීමෙන් කරදරව සිටියාය; ඈ උන්වහන්සේ වෙතට ඇවිත්: ස්වාමිනි, මාගේ සහෝදරී තනියම උපස්ථානකරන්ට මා හැරිය බව ඔබ සලකන්නේ නැද්ද? එබැවින් මට උපකාරකරන ලෙස ඈට කිව මැනවයි කීවාය.
41. නුමුත් ස්වාමීන්වහන්සේ උත්තරදෙමින්: මාර්තා, මාර්තා, ඔබ බොහෝ දේවල් ගැන නලංගුවී කැලඹෙන්නෙහිය. නුමුත්
42. ඕනෑකරන්නේ එක දෙයක්ය. මරියා වනාහි ඈ කෙරෙන් බැහැර ගනු නොලබන්නාවූ යහපත් කොටස තෝරාගත්තායයි කීසේක.