A A A A A
අවුරුද්දකින් බයිබලය
සැප්තැම්බර් 27

යෙසායා 45:1-25
1. සමිඳුන්ගේ අභිෂේක ලත් රජ්ජුරුවෝ සයිරස් ය. ජාතීන් යටත් කිරීමටත්, රජවරුන්ගේ බලය බිඳලීමටත්, සමිඳාණෝ ඔහු සහායට ගත් සේක. නැවත නොවැසෙන පිණිස නගරවල දොරටු සමිඳාණෝ විවෘත ව තබන සේක. එතුමාණෝ සයිරස්ට මෙසේ වදාරන සේක:
2. “මම නුඹට පෙරටුවෙන් ගොස් කඳු සමතලා කොට, ලෝකඩ දොරටු බිඳදමා, යකඩ අගුල් කඩාදමන්නෙමි.
3. නුඹේ නම කියා කැඳවන්නේ ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳුන් වන මා බව නුඹ දැනගන්න පිණිස සඟවා ඇති වස්තු ද රහස් තැන්වල නිධාන ද නුඹට දෙන්නෙමි.
4. මා තෝරාගත් සෙනඟක් වන මාගේ සේවක ඉශ්රායෙල්වරුන්ට උපකාර කරන පිණිස මම නුඹ පත් කෙළෙමි.
5. මම සමිඳාණන් වහන්සේ ය; අන් කෙනෙක් නැත. මා හැර අන් දෙවි කෙනෙක් නැත. නුඹ මා නොදන්න නමුත්, මම නුඹ ශක්තිමත් කරන්නෙමි.
6. මා එසේ කරන්නේ, මා හැර අන් දෙවි කෙනෙකු නැති බව නැගෙනහිර සිට බස්නාහිර දක්වා සිටින සියලු දෙනා දැනගන්න පිණිස ය. මම සමිඳාණන් වහන්සේ ය, මා හැර අන් දෙවි කෙනෙක් නැත.
7. ආලෝකය දෙන්නේ මම ය; අන්ධකාරය දෙන්නේත් මම ය; සැපත දෙන්නේ මම ය; විපත දෙන්නේත් මම ය. මේ සියල්ල කරන්නේ ස්වාමීන් වන මම ය.
8. එම්බා අහස් තලය! වැසි වලාකුළක් මෙන් දැහැමිකම වස්වන්න. ගැළවීම හටගන්න පිණිස පොළොව විවර වේ වා! විමුක්තියේ මල් ද එහි පිබිදේ වා! ස්වාමීන් වන මම මෙය සිදු වන්න සලස්වන්නෙමි.”
9. මැවුම්කරුන් සමඟ වාද කරන්නාට වන විපතක මහත! කුඹල්කරුවා සමඟ බඳුන වාද කරයි ද? නුඹ කරන්නේ කුමක් ද කියමින්, මැටි පිඬ එය අඹන්නාගෙන් විමසමින් පොරට සිට ඔහුගේ දස්කම ගැන චෝදනා කරයි ද?
10. නුඹ ජනිත කරන්නේ කුමක් ද කියා පියාට කියන දරුවෙකුට ද නුඹ බිහි කරන්නේ කුමක් ද කියා මවට කියන බිළිඳෙකුට ද වන විපතක මහත!
11. ඉශ්රායෙල්වරුන්ගේ මැවුම්කාර සුවිශුද්ධ සමිඳාණෝ මෙසේ වදාරන සේක: “මාගේ දරුවන් ගැන මාගෙන් ප්‍රශ්න කරන්න වත්, මා කළ යුතු දේ ගැන මට කියා දෙන්න වත් නුඹලාට අයිතියක් කොහෙන් ද?
12. පොළොව නිර්මාණය කෙළේ මම ය; ඒ පිට මිනිසුන් මැව්වේ මම ය; අහස විදහා පෑවේ මම ය; ආකාශ වස්තූන් හසුරුවන්නේත් මම ය,
13. මාගේ අරමුණ ඉටු කරන පිණිසත්, සියල්ල මනා සේ සකස් කරන පිණිසත් මම සයිරස් උනන්දු කරවීමි. ඔහු යන මාර්ගය සමතලා කරන්නෙමි; මගේ නගරය ඔහු ගොඩනඟා වස්තුවක් හෝ අල්ලසක් හෝ නොගෙන වහල් වූවන් මුදාගෙන එනු ඇත.”
14. සමිඳාණෝ ඉශ්රායෙල්වරුන්ට මෙසේ වදාරන සේක: “මිසරයේ හා එතියෝපියාවේ වස්තු සම්භාරය නුඹලාට අයිති වනු ඇත. උස මිනිසුන් වන ෂෙබාවරු නුඹලා වෙත පැමිණ නුඹලාගේ වහල්ලු වන්නෝ ය. ඔව්හු නුඹලා පසුපස්සේ දම්වැල්වලින් බඳිනු ලැබ නුඹලා වෙත පැමිණ වැඳ වැටී, ‘සැබැවින් ම ඔබ වෙත දෙවිඳාණෝ වැඩ සිටින සේක. එතුමාණන් හැර වෙන දෙවි කෙනෙක් නැතැ යි කන්නලව් කරන්නෝ ය.
15. සිය සෙනඟ ගළවන ඉශ්රායෙල්වරුන්ගේ දෙවිඳාණෝ සැබැවින් ම නොපෙනී සිටින දෙවි කෙනෙකැ’යි කියන්නෝ ය.
16. දේව රූප සාදන සියල්ලෝ ම ලජ්ජාවටත්, නින්දාවටත් පත් ව වියවුල් බවට පැමිණෙන්නෝ ය.
17. එහෙත්, ඉශ්රායෙල්වරු සමිඳුන් විසින් ගළවනු ලැබූ හ. ඔවුන්ගේ ජයග්‍රහණය සදහට ම පවතින්නේ ය. සෙනඟ ලජ්ජාවටත්, නින්දාවටත් කිසි කලක නොපැමිණෙති.
18. සගලෝ මැවූ, පොළොව සාදා එය නිම කළ, පාළු ඉඩමක් ලෙස නොව, විසුමට තැනක් ලෙස පොළොව මැවූ එක ම දෙවි වන සමිඳාණෝ මෙලෙස වදාරන සේක: “මම සමිඳුන් වෙමි; හුදෙක් මා හැර අන් දෙවි කෙනෙක් නැත.
19. මා කතා කෙළේ රහසින් නොවේ; ලොවේ අඳුරු තැනක දී නොවේ. අවුල් වියවුල් ඇති තැනක දී මා සොයන්න ඉශ්රායෙල්වරුන්ට නොකීවෙමි. මම සමිඳු වෙමි; මම සත්‍යය වදාරමි; මම යුක්තිය ප්‍රකාශ කරමි.”
20. සමිඳාණෝ මෙසේ වදාරන සේක: “ජාතීන් අතරේ ගැළවී සිටින සියල්ලෙනි, එක් රැස් ව ළඟා වෙත් වා! ලී රූප උසුලාගෙන යන, ගැළවීම ගෙන දෙන්න නොහැකි, දෙවිවරුන් යදින අයට නැණ නුවණ නැත.
21. ඉදිරියට අවුත් නුඹලාගේ නඩුව දන්වා එකිනෙකා සමඟ මන්ත්‍රණය කරගනිත් වා! සිදුවන්න යන දේ බොහෝ ඉහත දී කීවේ කවරෙක් ද? එසේ කෙළේ සමිඳාණන් වන මම නොවෙම් ද? මා හැර අන් දෙවි කෙනෙක් නැත. මම ධර්මිෂ්ඨ ගැළවුම්කාර දෙවිඳාණෝ ය; වෙන දෙවි කෙනෙක් ඇත්තේ ම නැත,
22. ලෝ වැසි සියල්ලෙනි, මා වෙත එන්න; දැන් මාගේ ගැළවීම ලබාගන්න. මා හැර අන් දෙවි කෙනෙක් නොමැත.
23. මාගේ මුවින් ගිලිහෙන කිසිදු වචනයක් වෙනස් නොවේ; එය සත්‍යයකි. ‘සියලු දණ හිස් මට නැමෙන බව, සියලු දිව් මා ගැන දිවුරන බව සහතික ලෙස දිවුරා කියමි.’
24. මා තුළින් පමණක් ශක්තිය හා දැහැමිකම ඇති වේ යයි ඔවුන් කියනු ඇත. මට විරුද්ධ ව නැඟිටින අය නින්දා දුක් විඳිනු ඇත.
25. ඉශ්රායෙල්වරුන්ගේ සකල පරපුර මා තුළින් දමිටු කරනු ලැබ මා හට පැසසුම් දෙනු ඇත.”

යෙසායා 46:1-13
1. “බේල් හා නෙබෝ යන දෙවිවරුන් දැන් පහතට වැටී ඇත. වෙහෙස වී සිටින ගවයන් පිට පටවා ඇති ඒවා බරක් ය.
2. මේ දෙවිවරුන් දැන් පහතට වැටී ඇත. ගැළවීම ගෙන දෙන්න ඔවුන්ට නොහැකි ය. ඔවුන් ම වහල්කමට ගොස් ඇත.
3. උපන් දා සිට මා විසින් උසුලාගෙන යන ලද ජාකොබ්ගේ වැසියෙනි! ඉශ්රායෙල් පරපුරේ ඉතා කුඩා පිරිස ව සිටින ඉශ්රායෙල් ජනයෙනි! මට සවන් දෙන්න.
4. නුඹලා මහලු වී හිස කෙස් පැසී යන තෙක් මම නුඹලා රැක බලාගන්නෙමි; මම නුඹලා මැව්වෙමි; මම නුඹලා රැක බලා උපකාර කොට නුඹලා ගළවන්නෙමි.
5. නුඹලා මා සමාන කරන්නේ කවරෙකුට ද සසඳා බලන්න: මා හා සම කිසිවෙක් ඇද් ද?
6. වස්තුකාරයෝ තමන්ගේ පසුම්බි හැර, රන් රිදී ගෙන තරාදියෙන් කිරා, රන් කරුවෙකු කුලියට ගෙන, දෙවි රූපයක් ඔහු ලවා සාදවා, වැඳ වැටී ඊට නමස්කාර කරති.
7. ඔව්හු එය කර පිට තබා, උසුලාගෙන ගොස් ඊට නියම තැනක තබති. ඒ රූපයට සෙලවෙන්න වත් නොහැකි ව එතැන ම රැඳී තිබේ. යාච්ඤා කළත් පිළිතුරු දෙන්න වත්, විපතින් යමෙකු ගළවන්න වත් එයට බැරි ය.
8. ද්‍රෝහි ජනයෙනි, මේ දේ සිහි කොට මා කර ඇති දේ සිතට ගන්න.
9. පුරාණයේ සිදු වූ දේ සිහි කරගෙන මා පමණක් දෙවිඳාණන් බව, මා හා සමාන අන් කිසිවෙකු නැති බව පිළිගන්න.
10. අවසානය තෙක් කුමක් වන්නේ දැ යි පටන්ගැන්මේ සිට ම මම කීවෙමි. සිදු වන්න යන දේ පුරාණයේ සිට ම මම ප්‍රකාශ කෙළෙමි. මා අදහස් කළ දේ නොවරදින බවත්, මා ඉටාගත් හැම දේ ඉටු කරන බවත් මම කීවෙමි.
11. මම නැගෙනහිරෙන් මිනිසෙකු කැඳවන්නෙමි. ඔහු ගිජු උකුස්සෙකු සේ කඩා වැදී මා අදහස් කළ දේ ඉටු කරන්නේ ය. මා කියා ඇති දේ මා යෝජනා කළ දේ එසේ ම සිදු වන්නේ ය.
12. ගැළවීමෙන් ඉතා ඈත් ව සිටින දැඩි සිත් ඇත්තෙනි, මට සවන් දෙන්න.
13. ගැළවීමේ දවස මම ළඟා කරන්නෙමි. එය වැඩිදුර නොවේ; මාගේ ජය ප්‍රමාද නොවේ. මම ජෙරුසලමට ගැළවීම ගෙන දී මාගේ ගෞරවය ඉශ්රායෙල්වරුන්ට පවරන්නෙමි.”

ගීතාවලිය 111:1-6
1. සමිඳුන් පසසන්න, දැහැමියන්ගේ සමාගමේ දී ද සභාවේ දී ද මාගේ මුළු සිතින් සමිඳුන්ට ස්තුති කරන්නෙමි.
2. සමිඳුන්ගේ ක්‍රියා කොපමණ උදාර ද? ඒවාට ප්‍රිය වන සියල්ලෝ ඒවා තේරුම්ගැනීමට උත්සාහ කරති.
3. එතුමන්ගේ ක්‍රියා ගෞරවයෙන් හා මහිමයෙන් පූර්ණ ය; එතුමන්ගේ දැහැමිකම සදාතන ය.
4. සිය පුදුම ක්‍රියාවන් අපට අමතක වන්නට ඉඩ නාරින සේක. සමිඳාණෝ, දයාවන්ත ය; සානුකම්පිත ය.
5. එතුමාණෝ තමන් කෙරෙහි ගරුබිය ඇත්තන්ට ආහාර දෙන සේක. එතුමාණෝ සිය ගිවිසුම කිසි කලක අමතක නොකරන සේක.
6. එතුමාණෝ විජාතීන්ගේ දේශයන් තමන් සෙනඟට දීමෙන් තමන් බලය ඔවුන්ට පෙන්වූ සේක.

හිතෝපදේශ 26:10-10
10. මඟ යන අඥානයකු කුළී වැඩට ගන්නා, පාරේ යන හැම අයට ම තුවාළ කරන දුනුවායෙකු මෙනි.

ගලාති 5:1-26
1. ක්‍රිස්තුන් වහන්සේ අප මුදාගත්තේ නිදහස්කම ඇතුව සිටීමට ය. එබැවින් දාසකම නමැති වියගහකට නැවත යටත් නොවී ස්ථිර ව සිටින්න.
2. ඔබ චර්මඡේදනය ලබන්නහු නම්, ක්‍රිස්තුන් වහන්සේගෙන් ඔබට කිසි ප්‍රයෝජනයක් නොලැබෙන බව පාවුලු නම් මම ඔබට කියමි,
3. එසේ ය, චර්මඡේදනය ලබන සැම දෙන ම මුළු ව්‍යවස්ථාව පැවැත්වීමට බැඳී සිටින බව නැවතත් මම සහතික කොට කියමි.
4. ව්‍යවස්ථාව මඟින් දමිටු බවට පත් වෙන්න සොයන ඔබ ක්‍රිස්තුන් වහන්සේගෙන් වෙන් කරන ලද්දහු ය. ඔබ දේව වරප්‍රසාදය නැති කරගෙන සිටින්නහු ය.
5. මන්ද, අපි ආත්මයාණන් වහන්සේ කරණකොටගෙන ඇදහිල්ලෙන් දමිටු කරනු ලැබීමේ බලාපොරොත්තුව ගැන පුල පුලා බලා සිටිමු.
6. ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළින් ප්‍රේමය කරණකොටගෙන ක්‍රියා කරන ඇදහිල්ලෙන් මිස, චර්මඡේදනයෙන් වත්, අචර්මඡේදනයෙන් වත් ප්‍රයෝජනයක් නැත.
7. ඔබ මැනැවින් ඉදිරියට දිව්වහු ය. එහෙත් සත්‍යයට කීකරුවීම සඳහා ඔබට බාධා කෙළේ කවරෙක් ද?
8. ඔබට බාධා කෙළේ ඔබ කැඳෙව් දෙවියන් වහන්සේ නොවේ.
9. මුහුන් ටිකකින් මුළු පිටි පිඩ පිපේ.
10. ඔබ මට වඩා වෙනස් ආකාරයකින් කල්පනා නොකරන බවට ස්වාමීන් කෙරෙන් වන සහතිකයක් මට ඇත. ඔබ වියවුල් කරන තැනැත්තා කවරෙක් වුවත්, ඔහු තමාට හිමි දඬුවම ලබනු ඇත.
11. සහෝදරවරුනි, චර්මඡේදනය අවශ්‍ය බව මම තවමත් ප්‍රකාශ කරම් නම්, කුමක් නිසා තව ම පීඩා කරනු ලබම් ද? එය ඇත්තක් නම් කුරුසිය පිළිබඳ මා ප්‍රකාශ කරන දේ තවත් බාධාවට හේතුවක් නොවේ.
12. මේ චර්මඡේදනවාදී වියවුල්කාරයන් සම්පූර්ණ ඡේදනයකින් නපුංසකයන් වීම වඩා හොඳය.
13. සහෝදරවරුනි, ඔබ නිදහස්කමට කැඳවනු ලැබුවහු ය; ඔබගේ ඒ නිදහස මාංසික තෘෂ්ණා සඳහා වැය නොකොට, ප්‍රේමයෙන් එකිනෙකාට සේවය කරන්න.
14. මන්ද, ඔබට මෙන් ඔබේ අසල්වැසියාට ප්‍රේම කරන්න යන එක ශික්ෂා පදය මුළු ව්‍යවස්ථාවෙහි සම්පිණ්ඩනය වෙයි.
15. එහෙත් ඔබ එකිනෙකා උනුනුන් කුළල් කාගන්නහු නම්, ඔබ එකිනෙකාගෙන් විනාශ නොවන හැටියට වග බලාගන්න.
16. ආත්මයාණන් වහන්සේගේ මඟ පෙන්වීම ඇති ව හැසිරෙන්න. එවිට ඔබ මාංසික තෘෂ්ණාවලට වසඟ වන්නේ නැත.
17. මන්ද, මාංසික තෘෂ්ණා ආත්මයාණන් වහන්සේට විරුද්ධ ය. ආත්මයාණන් වහන්සේ ද මාංසික තෘෂ්ණාවලට විරුද්ධ ය. දෙපක්ෂය අතර ඇති මේ විරෝධය නිසා, ඔබ කැමැති දේ ඔබට කළ නොහැකි ය.
18. එහෙත් ඔබ ආත්මයාණන් වහන්සේ විසින් මඟ පෙන්වනු ලබන්නහු නම්, ඔබ ව්‍යවස්ථාව යටතේ නොසිටින්නහු ය.
19. මාංසික තෘෂ්ණාවල පලවිපාක පැහැදිලි ය: එනම්, කාමමිථ්‍යාචාරය, අපවිත්‍රකම, සල්ළාලකම,
20. රූප වැඳීම, කොඩිවින, සතුරුකම්, විවාදය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, යශස්කාමය, පක්ෂ භේද, ආරාවුල්,
21. වෛරය, බීමත්කම, සූරාධූර්ත උත්සව හා එවැනි තවත් දේ ය. මෙබඳු දේ කරන්නන්ට දෙවියන් වහන්සේගේ රාජ්‍යයෙහි උරුම නොලැබෙන බව මම පෙර කී ලෙස ම, දැනුත් කියමි.
22. එහෙත් ආත්මයාණන් වහන්සේ කරණකොටගෙන ඇති වන ප්‍රතිඵල නම්: ප්‍රේමය, ප්‍රීතිය, සාමය, ඉවසීම, කරුණාව, යහපත්කම, විශ්වාසකම,
23. මෘදුකම හා ආත්ම දමනය යන මේවා ය. මේවා ගැන නීතිරීති නැත.
24. ක්‍රිස්තුන් වහන්සේට අයිති වූ අය ඔවුන්ගේ රාග, ක්ලේශ සහිත මාංසික ජීවිතය කුරුසියෙහි ඇණ ගසා ඇත.
25. අපි ආත්මයාණන් වහන්සේ කරණකොටගෙන ජීවත් වෙමු නම්, ආත්මයාණන් වහන්සේගෙන් මඟපෙන්වීම ලබමු.
26. නිෂ්ඵල පාරට්ටු කර නොගනිමු. එකිනෙකා කෝප නොකරමු. එකිනෙකාට ඊර්ෂ්‍යා නොකරමු.