A A A A A
අවුරුද්දකින් බයිබලය
සැප්තැම්බර් 21

යෙසායා 33:1-24
1. කිසිවකු විසින් කොල්ලකනු නොලැබූ නමුත්, කොල්ලකන, ද්‍රෝහිකම් කරනු නොලැබූ නමුත්, ද්‍රෝහිකම් කරන අපේ සතුරන්ට වන විපතක මහත! ඔවුන්ගේ කොල්ලකෑම හා ද්‍රෝහිකම් කිරීමේ කාලය අවසාන වේ. එවිට ඔවුන් ම කොල්ලකෑමටත්, ද්‍රෝහිකමටත් භාජනය වනු ඇත.
2. සමිඳුනි, අපට දයා වුව මැනව. අප අපේ බලාපොරොත්තුව ඔබ කෙරෙහි තබා ඇත. දිනෙන් දින අප ආරක්ෂාකර ඔබේ බාහු බලයෙන් අප රැකගත මැනව. කරදර ඇති කාලවල දී අප මුදාගත මැනව.
3. ඔබ අප වෙනුවෙන් සටන් කරන විට යුද්ධ ඝෝෂාව නිසා ජාතීහු පලා යන්නෝ ය.
4. දළඹුවා රැස් කරන්නාක් මෙන් ඔවුන් කොල්ලකෑ වස්තුව රැස් කෙරේ. පළඟැටියන් මෙන් මිනිසුන් එය පිට කඩා වදිනු ඇත.
5. සමිඳාණෝ මහෝත්තම වන සේක. සියල්ල කෙරෙහි එතුමාණෝ ආණ්ඩු කරන සේක. එතුමාණෝ ජෙරුසලම පුරා යුක්තියත්, ධර්මිෂ්ඨකමත් පිහිටුවන සේක.
6. එතුමාණෝ ජාතීන්ට ස්ථාවරතාව දෙන සේක. එතුමාණෝ නිරන්තරයෙන් සිය සෙනඟ ආරක්ෂා කොට ප්‍රඥාවත්, දැනගැන්මත් ඔවුන්ට දෙන සේක. සමිඳුන්ට ගරුබිය දැක්වීම ඔව්හු උසස් වස්තුවක් සේ අගය කරති.
7. නිර්භීත සෙනඟ පිහිට ඉල්ලා මොරගසති; සාමයේ තානාපතීහු මහා දුකින් හඬති.
8. මහා මාවත් අන්තරායදායක බැවින් කිසිවෙක් එහි ගමන් නොකරති. ඔවුන් ගිවිසුම අවලංගුකර ඇත; පොරොන්දු කඩකර ඇත; කිසිවෙකුට තවත් ගරු නොකරනු ඇත.
9. දේශය පාළු වී හිස් වී ඇත. ලෙබනොනය වියළී ගොස් ඇත. ශාරොන් කාන්තාරයක් වී ඇත. බාෂාන් හා කර්මෙල් ගස්වලින් කොළ හැළේ.
10. සමිඳාණෝ ජාතීන් හට මෙසේ වදාරන සේක: “දැන් මම ක්‍රියා කරන්නෙමි; මා කොතරම් බලවත් ද කියා පෙන්වන්නෙමි.
11. නුඹලා කිසිම තේරුමක් නැති යෝජනා කරන්නහු ය. නුඹලා කරන සියලු දේ නිෂ්ඵල ය. ගින්නක් වැනි හුස්මක් නුඹලා දවාලන්නේ ය.
12. නුඹලා පුළුස්සනු ලබන හුණු ගල් මෙන් ද කපා ගින්නෙහි දවාලනු ලබන කටු පඳුරු මෙන් ද වන්නහු ය.
13. දුර සිටින නුඹලා මා කළ දේ බලන්න; ළඟ සිටින නුඹලා මාගේ බලපරාක්‍රමය තේරුම්ගන්න.”
14. සියොන්හි පව්කාරයෝ බියෙන් වෙවුළති; අභක්තිකයෝ භීතියෙන් ඇලළී යති. මේ දැවෙන ගින්නෙහි අප අතරෙන් කවරෙකුට ජීවත් විය හැකි ද? මේ සදා ගින්නෙන් කෙසේ ගැළවෙන්න ද?
15. නුඹලා අවංක ව කතා කරන්නහු නම්, හරි දේ කරන්නහු නම්, දුප්පතුන් රවටන්න නුඹලාගේ බලය පාවිච්චි නොකරන්නහු නම්, අල්ලස් නොගන්නහු නම්, මිනී මරන්න හා අනිකුත් අපරාධ කරන්න උපා යොදන අය සමඟ හවුල් නොවන්නහු නම්,
16. නුඹලාට ජය අත් වී ශක්තිමත් බලකොටුවක සිටින්නන් සේ සුරක්ෂිත වන්නහු ය. කෑමට ආහාර ද බීමට වතුර ද නුඹලාට ඇති වන්නේ ය.
17. සියලු දිශාවල පැතිර ඇති දේශයක් කෙරෙහි තේජසින් පාලනය කරන රජ කෙනෙක් නුඹලාට නැවත දකින්න ලැබෙන්නේ ය.
18. විදේශීය බදු අය කරන්නා ද කප්පම් ගන්නා ද වස්තු රැස් කරන්නා ද ගැන පෙර තිබූ නුඹේ බිය මතක මාත්‍රයක් පමණක් වන්නේ ය.
19. නුඹලාට නොතේරෙන විදේශීය භාෂාවකින් කතා කරන විදේශිකයන් තවත් නුඹලාගේ ඇස්වලින් දකින්න ලැබෙන්නේ නැත.
20. අපේ ආගමික මංගල්‍යයන් පවත්වන ස්ථානයක් වන සියොන් දෙස බලන්න; ජෙරුසලම දෙස බලන්න. ජීවත් වීමට එය කොතරම් සුරක්ෂිත වාසභවනයක් වන්නේ ද? එය, කිසි කලක නොසෙල්වන, ඇබ ගලවනු නොලබන, ලණු නොකැඩෙන, කූඩාරමක් හා සමාන වන්නේ ය.
21. සමිඳාණෝ සිය තේජාලංකාරය අපට පෙන්වන සේක. එතුමාණෝ ගංගා හා දිය ඇලවල් අසල වැඩ සිටින සේක. සතුරු නැව් එහි යාත්‍රා නොකරන්නේ ය.
22. ඒ නැව්වල ආම්පන්නවලින් වැඩක් නැත.
23. රුවල් විදහන්න බැරි ය; කුඹගහ කෙළින් තබන්න බැරි ය. සතුරු සේනාවේ සකල වස්තුව අප විසින් පැහැරගෙන යනු ලබන්නේ ය. කොරුන්ට පවා ගන්න පුළුවන් තරමට විශාල කොල්ලයක් ඇති වන්නේ ය. සමිඳාණෝ ම අප පාලනය කරන රජාණන් වන සේක; අප විනිශ්චයකරුවාණන් වන සේක; එතුමාණෝ අප පාලනයකර අප ආරක්ෂා කරන සේක.
24. අපේ දේශයේ සිටින කිසිවෙකු මින්පසු ලෙඩක් දුකක් ගැන පැමිණිලි කරන්නේ නැත. එහි වාසය කරන සියලු දෙනාගේ පව් කමා කරනු ලබන්නේ ය.

යෙසායා 34:1-17
1. ජාතීනි, ළං වන්න; ජනයෙනි, සවන් දෙන්න. මුළු පොළොව ද එහි වැසි සියල්ලන් ද පැමිණ සවන් දෙන්න.
2. සමිඳුන් සෑම ජාතීන් කෙරෙහි උදහස් වී, ඔවුන්ගේ සියලු සේනාවන් කෙරෙහි කෝප වී විනාශයටත්, මැරුම්කෑමටත් ඔවුන් තීන්දුකර ඇත.
3. ඔවුන් අතරෙන් මැරුම් කෑ අය ඉවත දමනු ලබන්නෝ ය. ඔවුන්ගේ මළකඳන් ගඳ ගසන්නේ ය. කඳුවලින් ඔවුන්ගේ ලේ වෑස්සෙන්නේ ය.
4. ඉර, හඳ හා තාරකා මැලවී යන්නේ ය. අහස, අකුළන පොතක් මෙන් ඇකිළී, එහි තාරකා, මිදි වැලකින් හෝ අත්තික්කා ගසකින් හෝ වැටෙන කොළ මෙන් වැටෙන්නේ ය.
5. සමිඳුන් සිය කඩුව සගයෙහි සූදානම්කර ඇත. එයින් එතුමාණෝ, ඒදොම්හි සිටින, විනාශයට තීන්දු කරන ලද සෙනඟට පහර දෙන සේක.
6. පූජා කරනු ලබන එළු බැටළුවන්ගේ ලේ හා තෙල් ද බැටළුවන්ගේ වකුගඩු තෙලෙන් ද සමිඳාණන් වහන්සේගේ කඩුව තෙත් වී ඇත. සමිඳාණෝ මේ මහා පූජාව බොශ්රා නගරයෙහි කරන සේක. මෙය ඒදොම් දේශයෙහි මහා ඝාතනයක් වන්න සලසන සේක.
7. වල් මීහරකුන් හා ගොන් නාම්බන් සමඟ ඔව්හු ඇද වැටෙන්නෝ ය. ඔවුන්ගේ ලෙයින් දේශය රතු වන්නේ ය; ඔවුන්ගේ තෙලින් භූමිය වැසී යන්නේ ය.
8. සමිඳාණන් සියොන් බේරාගෙන ඇගේ සතුරන්ගෙන් පළිගන්න කාලය මෙය වේ.
9. ඒදොම්හි ගංගා තාර බවටත්, එහි භූමිය ගෙන්දගම් බවටත් හැරෙන්නේ ය. මුළු දේශය දැවෙන තාර බිමක් වන්නේ ය.
10. එහි ඇවිලෙන ගින්න රෑ දාවල් දෙක්හි නොනිවී තිබෙන්නේ ය. එයින් නඟින දුම සදහට ම පවතින්නේ ය. පරපුරෙන් පරපුරට එය පාළු වන්නේ ය. කිසිවෙක් ඒ මැදින් ගමන් නොකරන්නෝ ය.
11. උකුස්සන්ටත්, ඉත්තෑවන්ටත් දේශය උරුම වන්නේ ය. බකමූණෝ ද කපුටෝ ද එහි වාසය කරන්නෝ ය. සමිඳාණෝ එය මැවීමට පෙර තිබුණාක් මෙන් පාළු, හිස් දේශයක් කරන සේක.
12. රට පාලනය කිරීමට රජ කෙනෙක් නොවන්නේ ය; අධිපතියෝ කිසිවෙක් ද නොවන්නෝ ය.
13. එහි මාලිගාවල කටු පඳුරු ද බලකොටුවල කහඹිලියා හා ගොකටු ද හටගන්නේ ය. ඒවා හිවලුන්ටත්, පැස්බරුන්ටත් වාසස්ථාන වන්නේ ය.
14. වනයේ වල් මෘගයෝ ද වෘකයෝ ද එකට හමු වන්නෝ ය. වල් එළුවෝ ඔවුන් එකිනෙකාට කෑගසන්නෝ ය. උලමාත් එහි ලගින්න නිශ්චල තැනක් ලබාගන්නේ ය.
15. එහි සර්පයා බෙනය සාදා, බිජු දමා, රැක, පැටවුන් ඇගේ සෙවණෙහි තුරුලු කරගන්නී ය. උකුස්සෝ එකෙක් පාසා එකෙක් එහි එකතු වන්නෝ ය.
16. සමිඳුන්ගේ පොත කියවා බලන්න; එහි සඳහන් වී ඇති සතුන්ගෙන් එකෙක් වත් මෙහි අඩු නොවන්නේ ය. හැම එකෙකුට ම ගෑණු සතෙක් ද වන්නේ ය. එය නියම කළේ සමිඳාණෝ ම ය. සමිඳාණෝ ම ඔවුන් එක් රැස් කරන සේක.
17. දාදු දමා, දේශය ඔවුන් අතරේ බෙදා එකිනෙකාට කොටසක් දෙන්නේ සමිඳාණෝ ය. ඔවුන් එය සදාකාලයට ම උරුම කරගෙන පරම්පරාවෙන් පරම්පරාවට එහි වාසය කරනු ඇත.

ගීතාවලිය 109:1-5
1. දාවිත්ගේ ගීතයකි. මාගේ පැසසුම වන හිමි දෙවිඳුනි, නිහඬ ව නොසිටිය මැනව.
2. මන්ද, දුෂ්ටයන් ද රැවටිලිකාරයන් ද මට බැණ වැදී ඇත; ඔව්හු මට විරුද්ධ ව බොරු චෝදනා නඟති.
3. ඔව්හු ද්වේෂ සහගත වචනවලින් මට පහර දෙති; මට විරුද්ධ ව නිකරුණේ සටන් කරති.
4. මා ඔවුන්ට ප්‍රේම කළත්, ඔවුන් වෙනුවෙන් යාච්ඤා කළත් ඔව්හු මට විරුද්ධ ව චෝදනා නඟති.
5. තවද, ඔව්හු මා කළ යහපතට අයහපත කරති; ප්‍රේමයට වෛරය දක්වති.

හිතෝපදේශ 25:25-26
25. දුර රටකින් එන හොඳ ආරංචිය, පිපාසයෙන් වේළුණු උගුරට ඇල් වතුර මෙනි.
26. දුදනා අබිමුව බියෙන් ගැහෙන සුදනා බොර දිය නඟින උල්පතක් ද පල් වතුර ඇති ළිඳක් ද වැනි ය.

2 කොරින්ති 12:1-21
1. පාරට්ටු කරගැනීමෙන් වැඩක් නැති වුවත් මට එසේ නොකර ඉන්න බැරි ය. එහෙත් සමිඳාණන් වහන්සේගෙන් මා ලත් දර්ශන හා එළිදරව් කිරීම් ගැන කතා කරමි.
2. දසසතර වසරකට පෙර, තුන් වන ස්වර්ගය දක්වා ඔසවාගනු ලැබූ කිතුනුවෙකු මම දනිමි. එසේ වූයේ ශරීරයෙන් යුක්ත ව ද, නොහොත් ශරීරයෙන් වියුක්ත ව දැ යි මම නොදනිමි. දෙවියන් වහන්සේ දන්නා සේක.
3. ඒ මිනිසා පාරාදීසයට ඔසවාගනු ලැබ, මිනිස් මුවින් නොපැවසිය යුතු, නොපැවසිය හැකි වචන ඇසූ බව දනිමි.
4. එසේ වූයේ ශරීරය ඇති ව ද ශරීරය නැති ව දැ යි මම නොදනිමි. දෙවියන් වහන්සේ දන්නා සේක.
5. එබඳු මිනිසෙකු ගැන මම පාරට්ටු කරමි. එහෙත් මාගේ ම දුර්වලකම් ගැන මිස, මා ගැන ම පාරට්ටු කර නොගනිමි.
6. පාරට්ටු කරගන්න මා අදහස් කළත්, මා ඇත්ත පවසන නිසා එසේ කිරීම අනුවණ කමක් නොවේ. එහෙත්, මා කරන දේ දැකීමෙන් ද මා ගැන ඇසීමෙන් ද යමෙකුට ඇති වන අදහසට වඩා උසස් අදහසක් මා ගැන ඇති නොවන පිණිස මම එයින් වැළකෙමි.
7. ඒ එළිදරව් කිරීම්වල අති උතුම්කම කරණකොටගෙන, මා හිස උදුම්මා නොගන්නා පිණිස, මට පහර දීමට සාතන්ගේ දූතයෙකු වැනි, ශරීරයේ කාවැදුණු කටුවක් හා සමාන පීඩාවක් මට දෙන ලද්දේ ය. එසේ වූයේ මා හිස උදුම්මා නොගන්නා පිණිස ය.
8. එය ඉවත් කරන මෙන් තුන් වරක් මම සමිඳාණන් වහන්සේගෙන් ඉල්ලුවෙමි.
9. උන් වහන්සේ පිළිතුරු දෙමින්, “මාගේ බලය පරිපූර්ණ වන්නේ දුර්වලකමේ දී බැවින්, මාගේ වරප්‍රසාදය ඔබට සෑහේ”යයි වදාළ සේක. එබැවින් ක්‍රිස්තුන් වහන්සේගේ ශක්තිය මා කෙරෙහි පිහිටන පිණිස, මාගේ දුර්වලකම් ගැන ඉතා සන්තෝෂයෙන් පාරට්ටු කරන්නෙමි.
10. එහෙයින් ක්‍රිස්තුන් වහන්සේ උදෙසා පැමිණෙන දුර්වලකම් ද අන්තරා ද අගහිඟකම් ද පීඩා ද විපත්ති ද මම සතුටින් පිළිගනිමි. මක්නිසා ද යත්, දුර්වල ව සිටිය දී ම මම ශක්තිසම්පන්න ව සිටිමි.
11. මා අනුවණයෙකු මෙන් කතා කළ බව ඇත්ත ය. එයට වගකිව යුත්තේ ඔබ ම ය. ඔබ කළ යුතු ව තිබුණේ මා ගැන සාක්ෂි දැරීම ය. මා නිකමෙකු වුවත්, මම කිසිසේත් ඔය උත්කෘෂ්ට ප්‍රේරිතවරුන්ට දෙ වන තත්ත්වයේ නොවෙමි.
12. සැබැවින් ම ලකුණු ද අරුමපුදුම දේ ද ප්‍රබල ක්‍රියා ද ඔබ අතර නොපිරිහෙළා කිරීමෙන්, ප්‍රේරිතවරයෙකුගේ ගුණාංග මට ඇති බව දැක්වීමි.
13. මා ඔබට දැක්වූ සැලකිල්ල, අන් සභාවලට දැක්වූ සැලකිල්ලට වඩා කිසි ලෙසකින් අඩු වී ද? ඇති වූ එක ම අඩුව නම්, මා ඔබට බරක් නොවීම ය. ඒ වරද ගැන මට සමා වන්න.
14. මම දැන් තුන් වන වරටත් ඔබ වෙත එන්නට සූදානම් ව සිටිමි. එහෙත් මම ඔබට බරක් නොවෙමි. මට වුවමනා ව තිබෙන්නේ ඔබේ දේපළ නොව, ඔබ ම ය. එසේ කියන්නේ දරුවන් දෙමවුපියන් උදෙසා නොව, දෙමවුපියන් දරුවන් උදෙසා මුදල් ඉතිරි කළ යුතු බැවිනි.
15. ඔබ උදෙසා මට ඇති දේ වියදම් කරන්ටත්, මම මුළුමනින් ම වැය වෙන්ටත් ඉතා සතුටු වෙමි. මා ඔබට අධික ලෙස ප්‍රේම කරන බැවින් ඔබ මට අඩුවෙන් ප්‍රේම කරන්නහු ද?
16. මා ඔබට බරක් නුවූ බව ඔබ පිළිගන්නා අතර, මා කපටියෙකු බැවින් ප්‍රයෝගයෙන් ඔබ අල්ලාගත්තේ යයි යමෙකු කියනු ඇත.
17. මා ඔබ වෙත එවූ අයගෙන් යමෙකු ලවා ඔබගෙන් අයුතු වාසියක් ලබාගතිම් ද?
18. ඔබ වෙත යන ලෙස මා තීතස්ගෙන් උදක් ම ඉල්ලා ඔහු සමඟ ඒ සහෝදරයා එවීමි. තීතස් ඔබෙන් අයුතු වාසියක් ලබාගත්තේ ද? අපි එක ම ආත්මයාණන්ගෙන් මඟපෙන්වීම ලබා, එක ම මාර්ගයේ ගමන් නොකෙළෙමු ද?
19. මෙතෙක් කල් ඔබ ඉදිරියේ අපේ නිදොස් බව දැක්වීමට අපි තැත් කෙළෙමු යයි ඔබට සිතිය හැකි ය. එසේ නොවේ; අප කතා කරන්නේ දෙවියන් වහන්සේ ඉදිරියෙහි කිතුනුවන් මෙන් ය. ප්‍රේමවන්තයෙනි, මේ සියල්ල ඔබගේ අභිවෘද්ධිය උදෙසා ය.
20. ඔබ වෙත පැමිණි විට, මා සිතනවාට වඩා ඔබ වෙනස් වී ඇද්දෝ කියාත්, ඔබ සිතනවාට වඩා මා වෙනස් වී ඇද්දෝ කියාත් මට බියක් ඇත. යම් විධියකින් ආරාවුල්, ඊර්ෂ්‍යා, ක්‍රෝධ, පක්ෂවාදිකම්, කෙළාම්, ඕපාදූප, අහංකාරය හා අවුල්වියවුල් ආදිය ද, ඔබ අතර තිබේ දෝ යි මට බියක් තිබේ.
21. මා නැවත ආ කල, මාගේ දෙවියන් වහන්සේ ඔබ ඉදිරියේ මා පහත් කරනු ඇද්දැ යි කියා ද, පව්කොට, තමන් කළ අපිරිසිදුකම ද වේශ්‍යාකම ද සල්ලාලකම ද ගැන මෙතෙක් පසුතැවී සිත් හරවා නොගත් බොහෝ දෙනා ගැන මට වැලපෙන්නට වේ දෝ කියා ද බිය වෙමි.