A A A A A
අවුරුද්දකින් බයිබලය
සැප්තැම්බර් 14

යෙසායා 19:1-24
1. මිසරය පිළිබඳ දේව ප්‍රකාශනය මෙසේ ය: සමිඳාණෝ ශීඝ්‍ර වලාකුළක් පිට නැඟී මිසර දේශයට වඩින සේක. මිසරයේ දේවතා රූප එතුමන් ඉදිරියෙහි චංචල වන්නේ ය. එහි සෙනඟ අධෛර්යයට පත් වන්නෝ ය.
2. සමිඳාණෝ මෙසේ වදාරන සේක: “මම මිසර දේශය තුළම රටවැසියන් අතර ම යුද්ධයක් හටගන්වන්නෙමි. එකිනෙකා තම තමාගේ සහෝදරයාටත්, තම තමාගේ අසල්වැසියාටත් විරුද්ධ ව පොළඹවන්නෙමි. නුවරක් නුවරකටත්, රජෙකු රජෙකුටත් විරුද්ධ ව සටන් කරනු ඇත.
3. මිසර වැසියන්ගේ උපායයන් මම ව්‍යර්ථ කරන්නෙමි; ඔවුන්ගේ චිත්ත ධෛර්යය බිඳදමන්නෙමි. ඔවුන් දේවතා රූපවලින් උපකාර ඉල්ලනු ඇත; මතුරන්නන්ගෙන් ද කට්ටඩියන්ගෙන් ද අනවිනකාරයන්ගෙන් ද ආත්මබන්ධනකාරයන්ගෙන් ද ගුරුකම් සොයනු ඇත.
4. මම මිසරවරුන් කෲර පාලකයෙකුගේ අතට පාවා දෙන්නෙමි; නපුරු රජෙකු ඔවුන් කෙරෙහි රජකම් කරනු ඇත. මෙසේ වදාරන්නේ සව් බලැති සමිඳුන් වන මම ය.”
5. නයිල් ගඟේ ජලය සිඳී, ක්‍රමයෙන් වියළී යන්නේ ය.
6. ඒ ගංගාවේ අතු ගංගා සිඳී වියළී යන අතර දුගඳ හමනු ඇත; බට ගස් ද පන් ගස් ද මැලවී යයි.
7. නයිල් ගං තෙරේ තිබෙන පැළෑටි ද ගඟ අසබඩ වපුරන සියල්ල ද වේළී වැනසී යන්නේ ය.
8. නයිල් ගඟේ මසුන් අල්ලන්නෝ සුසුම් ලන්නෝ ය; එහි බිළී බාන්නෝ වැලපෙන්නෝ ය; දැල් හෙළන්නෝ විලාප කියන්නෝ ය.
9. හණ පීරන්නෝ ද හෙළ පුළුන් ගෙන රෙදි වියන්නෝ ද කලකිරෙන්නෝ ය;
10. රෙදි වියන්නෝ ද වියවුල් වන්නෝ ය; දක්ෂ ශිල්පීහු ද ඉමහත් ශෝකයට පත් වන්නෝ ය.
11. ශොවන් නගරයේ අධිපතීහු අන්ත මෝඩයෝ ය. මිසරයේ නැණවත් උපදේශකයෝ අමන උපදෙස් දෙති. පුරාණ පණ්ඩිතයන්ගෙන් ද රජවරුන්ගෙන් ද තමන් පැවත එති යි ඔවුන් රජතුමාට කියන්නේ කෙසේ ද?
12. මිසරයේ රජතුමෙනි, ඔබේ දක්ෂ උපදේශකයෝ කොහේ ද? සමහර විට සව් බලැති සමිඳුන් මිසරයට විරුද්ධ ව අදහස් කර ඇති දේ ඔබට දන්වන්නට ඔවුන්ට හැකි වනු ඇත.
13. ශොවන් හා මෙම්පිස් නගරවල අධිපතියෝ අඥානයෝ ය. තමන් ජාතියට මඟ පෙන්වනු ඇතැ යි සිතූ ඔවුන් ජාතිය නොමඟ යවා ඇත.
14. සමිඳුන් ඔවුන් වියවුල් කරවන ව්‍යාකූලත්වයක් නගරය තුළ බිහිකර ඇත. ඒ හේතුවෙන් මිසරය හැම වැරදි දෙයක් ම කරයි. සුරා සොඬෙකු තමාගේ ම වමනය මත ලිස්සා යන්නාක් මෙන් මිසරය ඒ මේ අත වැනි වැනී යයි,
15. මිසරයේ සිටින දුප්පත් පොහොසත්, උසස් පහත් කිසිවෙකුට උපකාර දීමට එයට නොහැකි ය.
16. සියලු බලැති සමිඳාණන් වහන්සේ ඔවුන්ට දඬුවම් කරන්න අත ඔසවා ඇති බව ඔවුන් දුටු විට, මිසරයේ සෙනඟ ස්ත්‍රියක මෙන් බයාදුකමින් තැති ගැනී වෙවුළන්නෝ ය.
17. සියලු බලැති සමිඳාණන් වහන්සේ ඔවුන්ට විරුද්ධ ව කර ඇති නියමය ඔවුන්ට සිහිකර දෙන හැම වේලේ ම ජුදා දේශය ඔවුන්ට භීතියක් වන්නේ ය.
18. ඒ දවස පැමිණි විට හෙබ්‍රේව් භාෂාව මිසරයේ නගර පහක ව්‍යවහාර කරනු ලැබේ. එහි සිටින සෙනඟ සියලු බලැති සමිඳාණන් වහන්සේගේ නාමයෙන් දිවුරුම් දෙනු ඇත. එක නගරයක් ‘සූර්ය නගරය’ යයි කියනු ලබන්නේ ය.
19. ඒ දවස පැමිණි විට සමිඳාණන් වහන්සේට මිසරයේ පූජාසනයක් ද එහි සීමාව ළඟ ගල් කණුවක් ද පිහිටුවනු ලබන්නේ ය.
20. සියලු බලැති සමිඳාණන් වහන්සේ මිසරයේ වැඩ සිටින බවට ඒවා සලකුණු වන්නේ ය. එහි සිටින සෙනඟ පීඩා කරනු ලබන කල, ඔවුන් සමිඳාණන් වහන්සේට යාච්ඤා කළ විට, උන් වහන්සේ ඔවුන් ගළවන පිණිස කෙනෙකු ඔවුන් වෙත එවන සේක.
21. සමිඳාණන් වහන්සේ මිසරයේ සෙනඟට ප්‍රකාශ වන සේක. එසේ කළ විට ඔව්හු උන් වහන්සේ පිළිගෙන පුද පූජා උන් වහන්සේ වෙත ගෙන අවුත් නමස්කාර කරන්නෝ ය. ඔව්හු සමිඳාණන් වහන්සේට පොරොන්දු දී ඒවා ඉෂ්ට කරන්නෝ ය.
22. සමිඳාණන් වහන්සේ මිසරයේ සෙනඟට දඬුවම් දෙන සේක; දඬුවම් කර සුව කරන සේක. ඔවුන් සමිඳාණන් වහන්සේ වෙත හැරෙනු ඇත. උන් වහන්සේ ද ඔවුන්ගේ කන්නලවු පිළිගෙන ඔවුන් සුවපත් කරනු ඇත.
23. ඒ දවස පැමිණි විට මිසරයේ සිට අසිරියාව දක්වා මහා මාවතක් වන්නේ ය. එහි සිටින සෙනඟ මේ දෙරට අතරේ ඔබමොබ ගමන් කරනු ඇත. මිසරවරුන් ද අසිරියන්වරුන් ද එකට නමස්කාර කරනු ඇත.
24. ඒ දවස පැමිණි විට ඉශ්රායෙල් දේශය මිසරය හා අසිරියාව සමඟ උරෙන් උර ගැටෙන්නේ ය. ඒ ජාති තුන ම මුළු ලොවට ආශීර්වාදයක් වන්නෝය.

යෙසායා 20:1-6
1. අසිරියාවේ රජ වූ සර්ගොන්ගේ අණ පරිදි අසිරියන් හමුදාවේ අණ දෙන නිලධාරියා වන තර්තාන් අෂ්දොද් නම් පිලිස්තියේ නගරයට පහර දී එය අත්පත් කරගත්තේ ය.
2. එයට තුන් අවුරුද්දකට පෙර සමිඳාණන් වහන්සේ ආමොස්ගේ පුත්‍ර වූ යෙසායාට කතා කොට, ඔහු ඉඟ වටා ඇඳ සිටි ගෝණි රෙද්ද හා ලා ගෙන සිටි පාවහන් ඉවත දමන්න අණකළ සේක. ඔහු එසේ කොට වස්ත්‍ර ද පාවහන් ද නැති ව ඇවිද්දේ ය.
3. අෂ්දොද් නගරය අල්ලා ගනු ලැබූ කල සමිඳාණන් වහන්සේ මෙසේ වදාළ සේක: “මාගේ මෙහෙකරු වන යෙසායා තුන් අවුරුද්දක් මුළුල්ලේ වස්ත්‍ර ද පාවහන් ද නැති ව තැන් තැන්වල ඇවිද්දේ ය. මේ වනාහී මිසරයටත්, එතියෝපියාවටත්, සිදු වන්න යන දේ පිළිබඳ පෙර නිමිත්තකි.
4. අසිරියාවේ රජ මේ දෙරටින් අල්ලාගත් සිරකරුවන් නග්නකර, වහල්කමට ගෙන යන්නේ ය. මිසරයට නින්දාවක් පමුණුවමින් බාල මහලු සියලු දෙනා පාවහන් නැති ව නග්න ව, ඉණ ඉහ නැති ව ගමන් ගන්නෝ ය.
5. එතියෝපියාව කෙරෙහි තමන්ගේ විශ්වාසය තැබූ මිසරය ගැන පාරට්ටු කළ අය වියවුල් වී ලජ්ජාවට පැමිණෙන්නෝ ය.
6. ඒ කාලය පැමිණි විට පිලිස්තියේ මුහුදුබඩ වැසියෝ කතා කොට, අසිරියාවේ රජුගෙන් අප ආරක්ෂා කරනු ඇතැ යි මහත් අපේක්ෂාවෙන් විශ්වාස කළ සෙනඟට සිදුවී තිබෙන දේ බලන්න. අපේ අපේක්ෂාවට මෙසේ සිදු වූයේ නම්, අප ගැළවෙන්නේ කෙසේ දැ යි කියනු ඇත.”

ගීතාවලිය 106:40-48
40. එබැවින් සමිඳුන්ගේ උදහස තමන් සෙනඟට විරුද්ධ ව ඇවුළුණේ ය. එතුමාණෝ තමන් උරුම කරගත් දේශය පිළිකුල් කළ සේක.
41. එතුමාණෝ විජාතීන් අතට ඔවුන් පාවා දුන් සේක. ඔවුන්ට වෛර කළ අය ඔවුන් පාලනය කළෝ ය.
42. ඔවුන්ගේ සතුරෝ ද ඔවුන්ට පීඩා කළෝ ය; ඔව්හු සතුරන්ගේ බලයට යටත් කරනු ලැබුවෝ ය.
43. එතුමාණෝ බොහෝ වර සිය සෙනඟ මිදූ සේක. එහෙත්, ඔව්හු ඉන් පසුත් අකීකරු ව කැරලි ගැසූ බැවින්, සිය අයුතුකම නිසා නින්දා කරනු ලැබුවෝ ය.
44. එසේ වී නමුත්, එතුමාණෝ ඔවුන්ගේ විලාපය ඇසූ සේක; ඔවුන්ගේ විපත්තිය සලකා බැලූ සේක.
45. ඔවුන් සමඟ කළ ගිවිසුම සිහි කළ සේක; තමන්ගේ මහා කරුණාව නිසා ඔවුන්ට අනුකම්පා කළ සේක.
46. ඔවුන් වහල්කමට ගෙන ගිය සියල්ලන්ගෙන් ඔවුන්ට අනුකම්පාව ලැබෙන්නට සැලැසූ සේක.
47. අපේ දෙවි සමිඳුනි, අප ගළවාගත මැනව; විජාතීන් අතරෙන් අප එක් රැස් කරගත මැනව. එවිට ඔබේ ශුද්ධ නාමයට තුති පුදන්නෙමු; ඔබ පසසමින් ප්‍රීති වන්නෙමු.
48. ඉශ්රායෙල් දෙවි සමිඳුන්ට සදාකාලයෙන් සදාකාලයට ම ප්‍රශංසා වේ වා! මුළු සෙනඟ ආමෙන් කියත් වා! සමිඳුන්ට ප්‍රශංසා කරන්න.

හිතෝපදේශ 25:13-13
13. විශ්වාසවත් පණිවුඩකරු තම හිමියාට ගිම්හානයේ රස්නය නිවන සිහිල් හිම මෙන් සතුට ගෙන දෙයි.

2 කොරින්ති 6:1-18
1. එබැවින් දේව සේවයේ පංගුකාරයන් වශයෙන් ඔබ ලබා ඇති දෙවියන් වහන්සේගේ වරප්‍රසාදය අපතේ නොහරින ලෙස අපි ඉල්ලා සිටිමු.
2. මන්ද, “ප්‍රසාදජනක කාලයේ දී මම ඔබට සවන් දුනිමි, ගැළවීමේ දවසේ දී මම ඔබට පිහිට වුණෙමි”යි දෙවියන් වහන්සේ වදාරන සේක. මෙය ප්‍රසාදජනක කාලය යි. මෙය ගැළවීමේ දවස යි.
3. අපේ සේවය දෝෂයට ලක් නොවන පිණිස කිසිවෙකුට අපගෙන් බාධා ඇති වීමට ඉඩ නොතබමු.
4. එසේ නොව, දුක් පීඩා ද අගහිඟකම් ද විපත්ති ද මහත් ඉවසීමකින් විඳදරා, අපි දෙවියන් වහන්සේගේ සේවකයන් වශයෙන් ඔබට ඒත්තුගන්වමු. අපි බොහෝ දේ විඳදරාගත්තෙමු.
5. පහර ලැබුවෙමු; සිරගත වීමු; අඩන්තේට්ටම් කරනු ලැබුවෙමු. විවේකයක් වත්, නින්දක් වත් කෑමක් වත් නැති ව සිටියෙමු.
6. පිරිසිදුකමින් ද දැනගැන්මෙන් ද ඉවසීමෙන් ද කරුණා ගුණයෙන් ද ශුද්ධාත්මයාණන්ගෙන් ද අවංක ප්‍රේමයෙන් ද සත්‍ය වචනයෙන් ද දේව බලයෙන් ද අපි දෙවියන් වහන්සේගේ සේවකයන් බව ඔබට ඒත්තුගන්වමු.
7. දකුණතින් හා වමතින් රැගත් දමිටුකම නමැති සන්නාහයෙන් ද සන්නද්ධ ව සිටියෙමු.
8. ගෞරවය හා අගෞරවය ද, කීර්තිය හා අපකීර්තිය ද ලැබීමු. වංචාකාරයන් මෙන් ගණන්ගැනුණත්, සත්‍යවාදීහු වීමු.
9. වැදගැන්මකට නැති අය මෙන් ගණන්ගැනුණත්, බොහෝ දෙනා පිළිගත් අය වීමු. මළා වූ අය මෙන් ගණන්ගැනුණත්, බලන්න, අපි ජීවත් ව සිටිමු. ලබන අය මෙන් ගණන්ගැනුණත් නොමැරී සිටිමු.
10. ශෝකවන්නන් මෙන් ගණන්ගැනුණත් නිතර ම ප්‍රීතියෙන් සිටිමු. දිළිඳුන් මෙන් ගණන්ගැනුණත්, බොහෝ දෙනෙකුන් ධනවතුන් කරමු. කිසිත් නැත්තන් මෙන් ගණන්ගැනුණත් සියල්ල ඇත්තන් වී සිටිමු.
11. කොරින්තිවරුනි, අපි අවංක සිතින් කිසිත් නොසඟවා ඔබට කතා කෙළෙමු.
12. ඔබ ගැන අපේ සිතේ වෙනසක් සිදු වී නැත. අප ගැන නම් ඔබේ සිතේ වෙනසක් සිදු වී ඇත.
13. එබැවින් අප කර ඇති සේ ම, ඔබේ සිත් ද පළල් ලෙස විවෘත කරන්න. අපේ සිතේ වෙනසක් සිදු වී නැතුවාක් මෙන් අප ගැන ද ඔබේ සිතේ වෙනසක් ඇති කර නොගන්න. දරුවන්ට පියෙකු කියන්නාක් මෙන් මම මෙය ඔබට කියමි.
14. නොඇදහිලිවතුන් සමඟ නොගැළපෙන සම්බන්ධකම්වලින් නොබැඳෙන්න. යුක්තියත් අයුක්තියත් අතර ඇති සම්බන්ධකම කුමක් ද? එළියත් අඳුරත් අතර ඇති එකමුතුකම කුමක් ද?
15. ක්‍රිස්තුන් වහන්සේ හා යක්ෂාධිපතියා හා අතර එකඟ වීමක් තිබිය හැකි ද? ඇදහිලිවන්තයෙකු හා නොඇදහිලිවන්තයෙකු හා අතර පොදුවේ යමක් ඇද් ද?
16. දේව මාලිගාව හා දේවතා පිළිම අතර සමානකමක් ඇද් ද? නැත. අපි ජීවමාන දෙවියන් වහන්සේගේ මන්දිර වෙමු. ඒ බව දෙවියන් වහන්සේ මෙසේ වදාළ සේක: “මම ඔවුන් සමඟ වාසය කරන්නෙමි, ගැවසෙන්නෙමි, මම ඔවුන්ගේ දෙවියන් වහන්සේ වෙමි, ඔව්හු මාගේ සෙනඟ වන්නෝ ය.”
17. එබැවින්: “ඔවුන් අතරෙන් නික්මවිත්, වෙන් වී සිටින්න. අපවිත්‍ර කිසිවක් ස්පර්ශ නොකරන්නැ”යි සමිඳාණන් වහන්සේ වදාරන සේක. “එවිට මම ඔබ පිළිගෙන,
18. ඔබට පියෙක් වන්නෙමි. ඔබ ද මට දූපුත්තු වන්නහු ය”යි සියලු බලැති සමිඳාණන් වහන්සේ වදාරන සේක.