A A A A A
අවුරුද්දකින් බයිබලය
සැප්තැම්බර් 11

යෙසායා 13:1-22
1. මේ වනාහි ආමොස්ගේ පුත් යෙසායාට බබිලෝනිය ගැන එළිදරව් වූ දෙවියන් වහන්සේගේ පණිවුඩය ය:
2. “පාළු කඳු මුදුනක කොඩියක් ඔසවන්න; රණ හොරණෑව පිඹින්න; ලකුණක් දෙන්න; ප්‍රභූවරුන්ගේ දොරටුවට පැමිණෙන ලෙස හේවායින්ට අණ දෙන්න.
3. සමිඳුන්ගේ උදහසට ලක් ව සිටින අයට විරුද්ධ ව සටන් කරන පිණිස එතුමන්ට කැප වූ හේවායින්ට ද බලධාරීන්ට ද පැමිණෙන ලෙස අණ කර ඇත.
4. “සවන් දෙන්න; කඳු මුදුනෙහි මහා ඝෝෂාවක් ඇසේ. එය වනාහි ජාතීන්ගෙනුත්, රට රාජ්‍යවලිනුත් එක් රැස් වන මහා ජනකායකගේ ඝෝෂාව ය. මම යුද්ධ සඳහා මාගේ හමුදා සූදානම් කරන්නෙමි.
5. පොළොවේ සීමාන්තවල ඇති දුර බැහැර රටවලින් ඔව්හු පැමිණෙති. මුළු දේශය වනසන පිණිස තමන් වහන්සේගේ උදහසේ ආයුධ වන ඔවුන් සමඟ මම පැමිණෙන්නෙමි.
6. “මොරගසා වැලපෙන්න. සමිඳුන්ගේ දවස එනම්, සර්වපරාක්‍රමයාණන් විනාශය පමුණුවන දවස ආසන්න ය.
7. සෑම අතක්ම බෙලහීන වනු ඇත. සෑම සිතක්ම අධෛර්ය වනු ඇත.
8. ඔව්හු භීතියට පත් වී ස්ත්‍රියක විඳින ප්‍රසව වේදනාව මෙන් මහා වේදනාවෙන් පෙළෙන්නෝ ය. ඔව්හු එකිනෙකා දෙස භීතියෙන් බලන්නෝ ය. ඔවුන්ගේ මුහුණු ගිනිදළු මෙන් වන්නේ ය.
9. දේශය පාළු කරදමා, එහි වසන පව්කාරයන් එයින් මුලිනුපුටා දමන පිණිස සමිඳුන්ගේ ඒ දවස රෞද්‍ර ව, කෝපයෙන් හා බලවත් උදහසින් එන්නේ ය.
10. අහසේ තාරකා ද ග්‍රහ මණ්ඩලය ද නො බැබළෙන්නේ ය. ඉර උදාවන විට ම අඳුරු වන්නේ ය. සඳ ද එළිය නොදෙන්නේ ය.
11. මම ලෝකයාට ඔවුන්ගේ නපුරුකම් නිසාත්, දුෂ්ටයන්ට ඔවුන්ගේ අයුතුකම් නිසාත් දඬුවම් කරමි. උඩඟු අයගේ අහංකාරය නවත්වා, බලහත්කාරකම් කරන්නන්ගේ ආඩම්බරය පහකරන්නෙමි.
12. මිනිසුන් අගනා රනටත් වඩා දුර්ලභ වන්නෝ ය. ඔව්හු ඕපීර් රනට වඩා දුර්ලභ වන්නෝ ය.
13. සව් බලැති සමිඳුන් වන මම, මාගේ උදහස දක්වන දවසේ දී අහස චංචල කරන්නෙමි; පොළොව ද නියම තැනින් විසි වී යන්නේ ය.
14. එවිට, ලුහුබඳනා ලද මුවන් මෙන් ද එඬේරෙකු නැති ව විසිරී යන බැටළුවන් මෙන් ද බබිලෝනියේ සිටින විදේශිකයෝ සිය මව් බිම කරා තම තමාගේ සෙනඟ වෙත පලා යන්නෝ ය.
15. හමු වන හැම කෙනෙක් ම ඇනුම් කන්නෝ ය; අසු වන හැම කෙනෙක් ම කඩුවෙන් මැරුම් කන්නෝ ය.
16. ඔවුන් බලා සිටිය දී ඔවුන්ගේ ළදරුවෝ බිම ගසා මරනු ලබන්නෝ ය. ඔවුන්ගේ ගෙවල් කොල්ලකනු ලබන්නේ ය. ඔවුන්ගේ භාර්යාවෝ දූෂණය කරනු ලබන්නෝ ය.
17. බබිලෝනියට පහර දෙන පිණිස මම මේදවරුන් පොළඹවන්නෙමි. ඔවුන් රිදී අගය කරන්නේ වත්, රනට ප්‍රිය වන්නේ වත් නැත.
18. ඔව්හු දුනුවලින් යෞවනයන් කැබලි කරන්නෝ ය; දරුවන්ට අනුකම්පා නොකරන්නෝ ය; ළමුන්ට කරුණාව නොදක්වන්නෝ ය.
19. මෙසේ සියලු රාජ්‍යවලට වඩා අලංකාර, ජනයාගේ ආඩම්බරයට තුඩු දෙන බබිලෝනිය මම සොදොම් හා ගොමොරා විනාශ කළාක් මෙන් විනාශ කරන්නෙමි.
20. මින් මතු කවදාවත් එහි කිසිවෙක් නොවසන්නෝ ය. කිසිම අරාබි ජාතිකයෙකු තමාගේ කූඩාරම එහි ගසන්නේ වත්, කිසිම එඬේරෙකු තමාගේ බැටළුවන් එහි ලග්ගවන්නේ වත් නැත.
21. වන මෘගයන් එහි ලගිනු ඇත; බකමූණන් උන්ගේ කැදලි එහි සාදනු ඇත; පැස්බරුන් එහි වසනු ඇත; වල් එළුවන් ද එහි නටනු ඇත.
22. එහි ඇති කොත්වලත්, මාලිගාවලත් නරියන් හා සිවලුන් කෑගසනු ඇත. බබිලෝනියේ විනාශයේ දවස දැන් පැමිණ ඇත. එය වැඩි කල් පවතින්නේ නැත.”

යෙසායා 14:1-32
1. සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල් සෙනඟට නැවත වරක් අනුකම්පා කොට, ඔවුන් තමන්ගේ ම සෙනඟ වශයෙන් තෝරාගෙන ඔවුන්ගේ ම දේශයෙහි ඔවුන් පිහිටුවන සේක. විදේශිකයෝ එහි පැමිණ ඔවුන් සමඟ වාසය කරන්නෝ ය.
2. සමිඳාණන් වහන්සේ ඔවුන්ට දුන් දේශයට ආපසු පැමිණෙන පිණිස බොහෝ ජාතීන් ඉශ්රායෙල්වරුන්ට උදව් දෙනු ඇත. ඒ ජාතීන් වහලුන් වශයෙන් ඉශ්රායෙල්වරුන්ට සේවය කරනු ඇත. වරක් ඉශ්රායෙල්වරුන් යටත් කරගෙන සිටි ජාතීහු දැන් ඉශ්රායෙල්වරුන් විසින් යටත් කරනු ලබති. දැන් ඉශ්රායෙල්වරු වරක් තමන්ට පීඩා කළ ජාතීන් පාලනය කරති.
3. සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල් සෙනඟට ඔවුන්ගේ දුක් වේදනාවලින් ද ඔවුන් පිට බලයෙන් පමුණුවන ලද බර වැඩවලින් ද නිදහස දෙන සේක.
4. උන් වහන්සේ එසේ කළ විට ඉශ්රායෙල් සෙනඟ බබිලෝනියේ රජුට මෙසේ සරදම් කරනු ඇත: “කුරිරු නිරිඳු වැටී ඇත; අනුන්ට පීඩා කිරීමේ ශක්තිය ඔහුට තවත් නැත.
5. සමිඳුන් දුෂ්ටයන්ගේ යෂ්ටියත්, නපුරු පාලකයන්ගේ බලයත් කෙළවර කර ඇත.
6. මන්ද, ඔව්හු යටත් කරගත් ජාතීන්ට ඉමහත් කෝපයෙන් නොනැවතී තළා පෙළා පීඩා කළෝ ය.
7. මුළු පොළොව නිස්කලංක ව, නිශ්චල ව ඇත. මනුෂ්‍යයෝ ප්‍රීතියෙන් ගී ගයති.
8. ලෙබනොන්හි දේවදාර හා කිහිරි ගස් රජුගේ වැටීම ගැන ප්‍රීති ප්‍රමෝද වෙයි. මන්ද, රජුගේ ඇවෑමෙන් පසු ඒවා කපා දැමීමට කිසිවෙක් නැත.
9. බබිලෝනියේ රජු පිළිගැනීමට පාතාල ලෝකය කට අයා සිටියි. පොළොවේ සිටි බලවතුන්ගේ අවතාර ඔහු හමු වීමට අවදි වෙති. රජවරුන්ගේ අවතාර සිහසුන්වලින් නැඟිටිති.
10. ඔව්හු ඔහුට කතා කොට, ‘දැන් ඔබත් අප මෙන් බෙලහීන ය; අප හා සමාන ය’යි කියති.
11. වීණාවල වාදනයෙන් එක් කලක් ඔබ ගරු කරනු ලැබුවෙහි ය. එහෙත් දැන්, ඔබ සිටින්නේ පාතාල ලෝකයේ ය. ඔබ වැතිර සිටින යහන ඉහඳ පණුවන්ගෙන් පිරී ඇත; ඔබේ පොරෝණය ද පණුවන්ගෙන් ගහණ ය.
12. “දීප්තිමත් පහන් තාරකාවෙනි, අරුණෝදයේ පුත්‍රයාණෙනි, ඔබ ස්වර්ගයෙන් වැටී සිටින හැටි! පෙර ඔබ ජාති ජාතීන් පරාජය කෙළෙහි ය. දැන් ඔබ බිමට හෙළා වැටී සිටින හැටි!
13. ඔබ මෙසේ සිතා ගත්තෙහි ය: ‘මම ස්වර්ගයට නැඟී, මාගේ සිංහාසනය අහසේ තාරකාවලට ඉහළින් පිහිටුවා උතුරේ ඇති, දෙවිවරුන් රැස් වන කන්ද මුදුනේ රජෙකු මෙන් අසුන් ගන්නෙමි.
14. වලාකුළු පසු කොට ඉහළට නැඟී සර්ව පරාක්‍රමයාණන්ට සමාන වන්නෙමි.
15. අනේ! එහෙත්, ඔබ පාතාල ලෝකයේ පතුලට ම වැටී සිටින හැටි!
16. එහි සිටින අය ඔබ දෙස රවා බලා, ‘පොළොව කම්පා කොට රාජ්‍යයන් බියෙන් ඇලළී යන්න සැලැස්සූ බලවතා ඔබ ද?
17. නගර නැති නාස්ති කොට, ලෝකය පාළුකරයක් බවට පත් කළ තැනැත්තා මොහු ද? සිරකරුවන්ට කිසි කලෙක නිදහස නුදුන් ඔවුන්ට ආපසු ගෙදර යන්න ඉඩ නුදුන් තැනැත්තා මොහු දැ’යි අසති.
18. ලෝකයේ සියලු රජවරුන්ගේ මළසිරුරු අනර්ඝ සොහොන්වල තබා ඇත;
19. එහෙත්, දුගඳ හමන ඔබේ මළසිරුර පිටතට ඇදදමා ඇත. එය යුද්ධයේ දී මළ හේවායන්ගේ මළකඳන්වලට යට වී ඇත. ඒවා සමඟ ඔබේ මළකඳත් ගල් වළකට විසිකරදමනු ලැබ පාගාදමා ඇත.
20. ඔබ ඔබේ දේශය නාස්ති කොට, ඔබේ සෙනඟ මරාදැමූ බැවින්, අන් රජවරුන් භූමදාන කරනු ලබන්නාක් මෙන් ඔබ භූමදාන කරනු නොලබන්නෙහි ය. ඔබේ දුෂ්ට පවුලේ කිසිවෙකුත් සිහියට පවා නොගැනෙති!
21. ඝාතනය ආරම්භ වේ වා! මේ රජ්ජුරුවන්ගේ දරුවෝ සිය මුතුන්මිත්තන්ගේ පව් නිසා මරනු ලබන්නෝ ය. ඔවුන්ගෙන් කිසිවෙකුත් ලෝකය පාලනය කරන්නේ වත්, ලොව පුරා නගර පිහිටුවන්නේ වත් නැත.”
22. සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “මම බබිලෝනියට පහර දී එය විනාශ කරන්නෙමි. බබිලෝනිය යන නාම මාත්‍රය ද එහි ඉතිරි ව සිටින අය සහ දරු මුණුබුරන් ද මම නැත්තට ම නැති කරන්නෙමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.
23. මම බබිලෝනිය ගොහොරු බිමක් කරන්නෙමි. ඉත්තෑවුන් එහි වාසය කරනු ඇත. විනාශය නමැති කොස්සෙන් මම බබිලෝනිය සහමුලින් ම අතුගාදමන්නෙමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.”
24. සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ දිවුරා ඇත: “මා අදහස් කළ ලෙස සිදු වන්නේ ය. මා කරන්න අධිෂ්ඨාන කළ දේ කරනු ලබන්නේ ම ය.
25. මාගේ ඉශ්රායෙල් දේශයේ මම අසිරියන්වරුන් විනාශ කොට මාගේ කඳු පිට ඔවුන් පයින් පාගාදමන්නෙමි. මාගේ සෙනඟ අසිරියාවේ වහල්කමෙන් ද ඔවුන් පිට පටවන ලද බරෙන් ද නිදහස් කරන්නෙමි.
26. මුළු පොළොව පිළිබඳ මාගේ තීරණය මෙය වේ. ජාතීන්ට දඬුවම් කරන පිණිස මම මාගේ අත ඔසවාගෙන යමි.”
27. සව් බලැති සමිඳුන් මෙසේ කිරීමට අධිෂ්ඨාන කර ඇත. එය නිෂ්ප්‍රභා කරන්නේ කවරෙක් ද? දඬුවම් කිරීමට එතුමන් ස්වකීය හස්තය ඔසවා ඇත. එය නැවැත්විය හැක්කේ කාට ද?
28. ආහාස් රජු මරණයට පත් වූ අවුරුද්දේ දී ප්‍රකාශ කරන ලද පණිවුඩය මෙය ය:
29. “අහෝ පිලිස්තියේ ජනයෙනි, නුඹලාට පහර දුන් යෂ්ටිය දැන් කැඩී ඇත. එහෙත්, ප්‍රීති නොවන්න. මන්ද, එක සර්පයෙකු මළ විට ඊට වඩා විසිකුරු සර්පයෙක් එන්නේ ය. උගේ බිජුවෙන් ඉගිලෙන ගිනි සර්පයෙක් ඇති වන්නේ ය.
30. සමිඳුන් තමන් සෙනඟ අතරෙන් දුප්පත් අය පෝෂණය කොට, ඔවුන්ට සුරැකි ව ජීවත් වීමට සලසන සේක. එහෙත්, පිලිස්තිවරුන් වන නුඹලාගෙන් එකෙකු වත් ඉතිරි නොවන සේ එතුමාණෝ නුඹලා පිට භයානක සාගතයක් එවන සේක.
31. පිලිස්ති ජනයෙනි, උදව් උපකාර ඉල්ලා කෑමොර ගසන්න; භීතියෙන් ඇලළී යන්න. උතුරෙන් දූවිලි වලාකුළක් මෙන් හමුදාවක් පැමිණෙන්නේ ය. එය වනාහි බිය සුලු ව ආ අය කිසිවෙකු නැති යුද හමුදාවකි.
32. පිලිස්තියෙන් අප වෙත පැමිණෙන පණිවුඩකාරයන්ට අප කුමන පිළිතුරක් දිය යුතු ද? ‘සමිඳුන් සියොන් පිහිටුවා ඇත. එතුමන්ගේ දුක් විඳින සෙනඟට එහි සුරැකි ව විසිය හැකි යැ’යි කියන්නෙමු.”

ගීතාවලිය 106:19-23
19. ඔව්හු හොරෙබ් කන්දෙහි වස්සෙකු සාදා වාත්තු රූපයකට නමස්කාර කළෝ ය.
20. මෙසේ ඔව්හු, දෙවිඳුන්ගේ මහිමය තණ බුදින ගවයෙකුගේ ස්වරූපයට වෙනස් කළෝ ය.
21. මිසරයේ දී බලවත් ක්‍රියා කර, ඔවුන් ගළවාගත් දෙවිඳුන් ඔව්හු අමතක කළෝ ය.
22. එතුමාණෝ, ඒ දේශයේ දී අරුමපුදුම ක්‍රියා ද රතු මුහුද ළඟ බියකරු ක්‍රියා ද කළ තැනැන් වහන්සේ නොවන සේක් ද?
23. එබැවින් එතුමාණෝ ඔවුන් විනාශ කරන බව වදාළ සේක. එහෙත්, එතුමාණන් ඔවුන් විනාශ නොකරන ලෙස, දේව උදහස පහකරන පිණිස, එතුමාණන් තෝරාගත් මෝසෙස් එතුමාණන් ඉදිරියේ මැදහත් වූයේ ය. දේව කෝපයෙන් ඔවුන් විනාශ කිරීම වැළැක්විය.

හිතෝපදේශ 25:6-7
6. රජු අබිමුවෙහි මහන්තත්ත්වය නොපාන්න; ප්‍රභූන්ගේ තත්ත්වය නොපතන්න.
7. රජ කුමරෙකු ඉදිරියෙහි පහත්කරනු ලැබීමට වඩා “ඉහළ තැනට එන්නැ”යි කියා කැඳවනු ලැබීම කොතරම් හොඳ ද?

2 කොරින්ති 3:1-18
1. මෙසේ අපි, අප ගැන ම රෙකමදාරුවක් කරන්නට පටන් ගනිමු ද? නැත්නම් සමහරුන්ට වුවමනා වන සේ අපටත් ඔබට දීමට හෝ ඔබෙන් ලබාගැනීමට හෝ රෙකමදාරු ලිපි වුවමනා ද?
2. නැත. අපට ඇති රෙකමදාරු ලිපිය නම් ඔබ ම ය; එය අපේ සිත්වල ලියා ඇත. සියල්ලන්ට ම එය කියවා දැනගත හැකි ය.
3. ඔබ වනාහි අප විසින් එවන ලද ‘ක්‍රිස්තුන් වහන්සේගේ ලිපිය’ බව පැහැදිලි ය. එය ලියා ඇත්තේ තීන්තෙන් නොව, ජීවමාන දෙවියන් වහන්සේගේ ආත්මයාණන් කරණකොටගෙන ය. ගල් පුවරුවල නොව, මිනිස් සිත් නමැති පුවරුවල ය.
4. ක්‍රිස්තුන් වහන්සේ කරණකොටගෙන දෙවියන් වහන්සේ ඉදිරියෙහි අපට එවැනි සහතිකයක් ඇත.
5. එහෙත් මේ සියල්ල කිරීමේ හැකියාව අපගේ ම යයි කීමට පුළුවන්කමක් අපට නැත. අපගේ හැකියාව එන්නේ දෙවියන් වහන්සේගෙන් ය.
6. අලුත් ගිවිසුමේ සේවකයන් වීමේ හැකියාව දුන්නේ උන් වහන්සේ ය. ඒ ගිවිසුම ලිඛිත නීතියෙන් නොව ශුද්ධාත්මයාණන්ගෙනි. ලිඛිත නීතිය මරණය ගෙන දෙයි. ශුද්ධාත්මයාණෝ ජීවනය ගෙන දෙති.
7. අකුරින් අකුර ගලේ ලියා කොටන ලද ව්‍යවස්ථාව මරණය ඇති කළ නමුත්, එය ප්‍රදානය කරන ලද්දේ මහා තේජසිනි. ඒ තේජස පහ ව යන්නක් වූ නමුත්, එයින් උද්දීපනය වූ මෝසෙස්ගේ මුහුණ දෙස නෙත් යොමු කර බලා සිටීම ඉශ්රායෙල් සෙනඟට නොහැකි තරමට එය දීප්තිමත් විය.
8. එය එසේ නම්, ශුද්ධාත්මයාණන් ප්‍රදානය කිරීම කරණකොටගෙන ඇති වන තේජස ඊට වඩා කෙතරම් දීප්තිමත් වේ ද?
9. අප වරදට පත් කළ ව්‍යවස්ථාව ප්‍රදානය කිරීම තේජාන්විත වී නම්, අප දමිටු කරන ශුද්ධාත්මයාණන් වහන්සේ ප්‍රදානය කිරීම ඊටත් වඩා තේජාන්විත නොවේ ද?
10. කලින් තේජසින් පැමිණි දේ දැන් පහ ව ගොස් ඇත. ඒ තේජස පරදවන ඊට වඩා මහා තේජසක් දැන් පැමිණ තිබේ.
11. පහ ව යන දේ තේජාන්විත වී නම් සදහට ම පවතින දේ ඊටත් වඩා තේජාන්විත නොවේ ද?
12. මෙවැනි බලාපොරොත්තුවක් අපට ඇති බැවින් අපි නිර්භීත ව කතා කරමු.
13. පහ ව යන තේජස ඉශ්රායෙල් සෙනඟ නොදකින පිණිස මුහුණු වැස්මක් දමාගත් මෝසෙස්ට අපි සමාන නොවෙමු.
14. එහෙත් ඔවුන්ගේ සිත් දැඩි වී තිබිණි. මන්ද, අද දක්වා ම පුරාණ ගිවිසුමෙන් කියවන විට එම වැස්ම ඉවත් නොකොට පවතී. ඒ වැස්ම ඉවත් කරනු ලබන්නේ ක්‍රිස්තුන් වහන්සේ කරණකොටගෙන පමණ ය.
15. සැබැවින් ම, අද දක්වා මෝසෙස්ගේ ව්‍යවස්ථාව කියවන විට, ඔවුන්ගේ සිත් වැස්මකින් ආවරණය වී ඇත.
16. එසේ වුවත් ශුද්ධ ලියවිල්ලේ කියා ඇති පරිදි, යමෙක් සමිඳාණන් වහන්සේ වෙත හැරුණු විට, වැස්ම ඉවත් කරනු ලැබේ.
17. ඒ සමිඳාණන් වහන්සේ ශුද්ධාත්මයාණෝ වන සේක. සමිඳාණන් වහන්සේගේ ආත්මයාණන් යම් තැනක ද, එතැන නිදහස ඇත.
18. අපි සියල්ලෝ, වැස්ම ඉවත ලූ මුහුණුවලින් සමිඳාණන් වහන්සේගේ තේජස කැඩපතකින් මෙන් පිළිබිඹු කරමු. මෙලෙස ආත්මයාණන් වන සමිඳාණන් වහන්සේගෙන් එන තේජස, අප උන් වහන්සේගේ සමානත්වයට වඩ වඩා තේජාන්විත ව පමුණුවනු ඇත.