A A A A A
අවුරුද්දකින් බයිබලය
අගෝස්තු 31

ධර්මදේශකයා 11:1-10
1. නුඹේ ආහාර ජලය මතුපිට තබන්න. කුමක් හෙයින් ද බොහෝ දවසකට පසු ඒවා නුඹට නැවත සම්බවෙයි.
2. සත්දෙනෙකු හෝ අටදෙනෙකු හෝ සමඟ කොටස් බෙදාගන්න. මන්ද, ලොවෙහි කුමන විපත්ති කාලයක් උදා වනු ඇද්දැ යි කාට කිව හැකි ද?
3. වැහි වලාකුළු පිරී තිබෙන විට පොළොවට වැසි වසියි; ගසක් දකුණට වැටුණත්, උතුරට වැටුණත් එය වැටුණු තැන ම තිබෙයි.
4. සුළඟ ගැන බලා සිටින්නා වපුරන්නේ නැත. වලාකුළු ගැන බලා සිටින්නා අස්වැන්න කපා ගන්නේ නැත.
5. ගර්භණියකගේ කුසෙහි නව ජීවයක් සෑදෙන්නේ කෙසේ ද කියා ඔබ නොදන්නෙහි ය; එමෙන් ම හැම දෙය පිළියෙළ කරන දෙවියන් වහන්සේගේ වැඩ කටයුතු ඔබ නොදන්නෙහි ය.
6. උදේ වරුවේ බීජ වපුරන්න, සවස් වරුවේත් වපුරන්න. ඉන් කොයි ඒවා සඵල වේ ද කියා වත්, දෙවගේ ම එක සේ සරු වේ ද කියා වත් ඔබ නොදන්නෙහි ය.
7. සැබැවින් එළිය මිහිරි දෙයකි, ඉරු එළිය දැකීම ඇසට ප්‍රසන්න දෙයකි.
8. එසේ ය, මනුෂ්‍යයෙක් චිරාත් කාලයක් ජීවත් ව සිට ඔහු ඒ සියල්ලෙහි ප්‍රීති වේ වා! එහෙත්, අඳුරු දවස් එන බව ද ඒවා බොහෝ බව ද සිදු වන හැම දෙය ම නිසරු බව ද ඔහු අමතක නොකරාවා.
9. තරුණය, ඔබේ යොවුන් වියේ දී ප්‍රීති වන්න; ඔබේ යෞවන දවස්වල ඔබට සිත් සතොස ලැබේ වා! ඔබට රිසි යයි පෙනෙන පරිද්දෙන් ඔබ හැසිරෙන්න. එහෙත්, මේ සියල්ල ගැන දෙවියන් වහන්සේ ඔබ විනිශ්චයයට පමුණුවන බව දැනගන්න.
10. ඔබේ සිතෙන් දුක් කරදර ඉවත ලා ජීවත්වන්න. මන්ද, යෞවන කාලයත්, වැඩි මහලු කාලයත් නිෂ්ඵල ය.

ධර්මදේශකයා 12:1-14
1. විපත්ති දවස් පැමිණෙන්නට පෙර ඔබේ යොවුන් වියේ දී ඔබේ මැවුම්කාර දෙවියන් වහන්සේ සිහි කරන්න. මන්ද, ඒවා ප්‍රිය නැතැ යි ඔබ කියන දවස් උදා වන්නේ ය.
2. ඒ කාලයේ දී ඉර, හඳ, තාරකාවල එළිය අඳුරු වන්නේ ය. වැහි වලාකුළු නොනැවතී එන්නේ ය.
3. ඒ කාලයේ දී ගෙයි රැකවල්ලු වෙවුළන්නෝ ය; බලවන්තයෝ දුබල ව කුදු වන්නෝ ය; අඹරන්නෝ ස්වල්ප බැවින් ඇඹරීම නවතින්නේ ය; කවුළුවලින් බලන්නන්ගේ ඇස් අඳුරු වන්නේ ය.
4. වීදියේ දොරවල් වසනු ලබන්නේ ය. ඇඹරීමේ ශබ්දය හීන වන්නේ ය. කුරුල්ලාගේ හඬට ද ඔහු අවදි වන්නේ ය. ගායිකාවන්ගේ ගී හඬ දුබල වන්නේ ය.
5. ඔව්හු උස් දෙයට භය වන්නෝ ය. මාර්ගයෙහි ද බියජනක දේ වන්නේ ය. ඔබේ හිසකේ කොට්ටම්බා ගසේ මල් මෙන් සුදු වන්නේ ය. ඔබ පළඟැටියා මෙන් ගාටමින් යන්නෙහි ය. ඔබේ කායික ආසා පහ ව යන්නේ ය. මන්ද, මනුෂ්‍යයා තමාගේ සදාතන නිවෙසට යන්නේ ය. විලාප කියන්නෝ ද වීදිවල ඇවිදින්නෝ ය.
6. එසේ වන්නේ, රිදී දාමය හා රන් බඳුන වැටී කැඩෙන්නටත්, දිය කඩිත්තේ කළය බිඳෙන්නටත්, ළිඳේ රෝදය කැඩෙන්නටත්,
7. අපේ ශරීර වරක් තිබුණු ලෙස පොළොවේ දූවිල්ලට හැරී යන්නටත්, මිනිස් හුස්ම එය දුන් දෙවියන් වහන්සේ වෙත හැරී යන්නටත් පළමුවෙන් ය.
8. සියල්ල නිසරු ය; සෑම දෙය නිසරු ය යි ධර්මදේශකයා පවසයි.
9. තවද, ධර්මදේශකයා ප්‍රඥාවත් ව සිටි නිසා ඔහු සෙනඟට වැඩි වැඩියෙන් දැනීම දුන්නේ ය. එසේ ය, ඔහු බොහෝ අවවාදානුශාසනා විමසා සොයාගෙන, ඒවා සම්පාදනය කෙළේ ය.
10. දේශනා කරන පිණිස සාරගර්භ වචන සොයන්නට උත්සාහ කෙළේ ය. මෙහි ග්‍රන්ථාරූඪ කොට ඇති සියල්ල හරි වූ සත්‍ය වූ කරුණු ය.
11. නැණවතුන්ගේ බස් එඬේරුන්ගේ තියුණු උල් සහිත කෙවිටිවලට ද ඔවුන්ගේ හිතෝපදේශ ලීයට තදින් ගැසූ ඇණවලට ද සමාන ය. එය එන්නේ, සකල ලෝක වාසීන්ගේ අසහාය නායකයාණන්ගෙනි.
12. තවද, මාගේ පුත්‍රය, මෙයින් දැනුමැතිකම් ලබන්න, පොත් ලිවීමෙහි නිමාවක් නැත. තවද, වැඩි උගත්කමෙන් වෙහෙසීම ඇති වේ.
13. මේ සියල්ල විමසා බැලීමෙන් පසු, අවසාන වචනයක් කිව යුතු ව ඇත: දෙවියන්ට ගරුබිය දක්වා, එතුමන්ගේ ආඥා පිළිපදින්න. මිනිසා මවන ලද්දේ ඒ සඳහා ය.
14. අපේ සියලු රහස් හොඳ හෝ නරක හෝ වේ වා දෙවියන් වහන්සේගේ විනිශ්චයයට භාජනය වනු ඇත.

ගීතාවලිය 103:15-22
15. මිනිසාගේ ජීවිත කාලය තණ පත් වැනි ය, ඔහු කෙතේ කුසුමක් මෙන් සරු ලෙස වැඩේ;
16. එහෙත්, සුළං පහර වැදී එය නැති වී යයි; එය තිබුණ තැන වත් දක්නට නොලැබේ.
17. සමිඳුන්ගේ තිර පෙම, තමන්ට ගරුබිය පාන අය කෙරෙහි සදාකාලයෙන් සදාකාලයට වේ.
18. එතුමන්ගේ ගිවිසුම රක්ෂා කරන්නන්ටත්, එතුමන්ගේ ශික්ෂාවන් ඉටු කිරීමට ඒවා මෙනෙහි කරන්නන්ටත්, එතුමන්ගේ දමිටුකම පරපුරෙන් පරපුරට පවත්නේ ය.
19. සමිඳාණෝ සිය සිහසුන සගලොවෙහි පිහිටෙවු සේක. එතුමන්ගේ රාජ්‍යය ද සියල්ලන් කෙරෙහි බල පවත්වයි.
20. සමිඳුන්ගේ අණ පිළිපදින, එතුමන්ගේ වචනයට සවන් දෙන, එතුමන්ගේ බලවන්ත දූතයෙනි, එතුමන් පසසන්න.
21. සමිඳුන්ගේ සේනා සියල්ලෙනි, එතුමන්ගේ කැමැත්ත ඉටු කරන මෙහෙකරුවෙනි, සමිඳුන් පසසන්න.
22. සකල මැවිල්ලෙනි, සමිඳුන් සිහසුන පවතින සැම තැන එතුමන් පසසන්න. මාගේ සිත, සමිඳුන් පසසන්න.

හිතෝපදේශ 24:13-14
13. මාගේ පුත්‍රය, මී පැණි ඇඟට ගුණ ය; කටට රස ය; එය පානය කරන්න.
14. ඔබේ ජීවිතයට ප්‍රඥාව ද එසේ ම ය; එය ලදහොත් හොඳ අනාගතයක් උදා වෙයි. ඔබේ පණ කෙන්ද නොකැඩී පවතියි.

1 කොරින්ති 11:1-16
1. මා ක්‍රිස්තුන් වහන්සේ ආදර්ශයට ගන්නාක් මෙන් ඔබ ද, මා ආදර්ශයට ගන්න.
2. ඔබ නිතර ම මා සිහි කරන බැවින් ද මා ඔබට බාර දුන් සම්ප්‍රදායයන් ඔබ පවත්වන බැවින් ද මම ඔබට ප්‍රශංසා කරමි.
3. ක්‍රිස්තුන් වහන්සේ පුරුෂයා කෙරෙහි ප්‍රධානියා බව ද, පුරුෂයා ස්ත්‍රිය කෙරෙහි ප්‍රධානියා බව ද, දෙවියන් වහන්සේ ක්‍රිස්තුන් වහන්සේ කෙරෙහි ප්‍රධානියා බව ද මම ඔබට දන්වනු කැමැත්තෙමි.
4. හිස වසා යාච්ඤා කරන හෝ දිවැස් වැකි පවසන හෝ පුරුෂයා, තමාගේ ප්‍රධානියාට අගෞරව කරයි.
5. හිස නොවසා යාච්ඤා කරන හෝ දිවැස් වැකි පවසන ස්ත්‍රිය තමාගේ ප්‍රධානියාට අගෞරව කරයි. එසේ කිරීම ඈ හිස මුඩු කරගැනීම වැනි ය.
6. ස්ත්‍රියක් හිස වසා නොගනී නම් ඈ හිසකේ කපා ගනී වා. හිස මුඩු කිරීම හෝ හිසකේ කෑපීම, ස්ත්‍රියකට ලජ්ජාවක් නම් ඈ හිස වැස්මක් ඇති ව සිටී වා.
7. පුරුෂයා සිය හිස වසා නොගත යුතු ය. මන්ද, ඔහු දෙවියන් වහන්සේගේ ස්වරූපය හා ගෞරවය පිළිබිඹු කරන බැවිනි. එහෙත් ස්ත්‍රිය පුරුෂයාගේ ගෞරවය පිළිබිඹු කරයි.
8. පුරුෂයා ඇති වූයේ ස්ත්‍රියගෙන් නොවේ. ස්ත්‍රිය ඇති වූයේ පුරුෂයාගෙන් ය.
9. පුරුෂයා මවන ලද්දේ ස්ත්‍රිය උදෙසා නොවේ. ස්ත්‍රිය මවන ලද්දේ පුරුෂයා උදෙසා ය.
10. එබැවින් දේව දූතයන් නිසා, ස්ත්‍රිය ආධිපත්‍යයේ ලකුණක් හිස ලා ගත යුතු ය.
11. ඒ කෙසේ වෙතත් කිතුනු ජීවිතයෙහි, ස්ත්‍රියට පුරුෂයා ද පුරුෂයාට ස්ත්‍රිය ද අවශ්‍ය ම ය.
12. ස්ත්‍රිය පුරුෂයාගෙන් මවනු ලැබුවාක් මෙන් පුරුෂයා උපත ලබන්නේ ස්ත්‍රියගෙන් ය. සියල්ල දෙවියන් වහන්සේගෙන් ය.
13. ස්ත්‍රියක, හිස නොවසා, දෙවියන් වහන්සේට යාච්ඤා කිරීම හොබනේ ද කියා ඔබ ම විනිශ්චය කරන්න.
14. පුරුෂයෙකුට දික් වූ හිසකේ තිබීම ඔහුට අගෞරවයක් බවත්,
15. ස්ත්‍රියකට දික් වූ හිසකේ තිබීම ඈට ගෞරවයක් බවත්, එය ඇගේ හිස වැස්ම කොට ඇති බවත්, ස්වභාව ධර්මය ඔබට උගන්වා නැද් ද?
16. එහෙත් යමෙක් වාද කරන්න කැමැත්තේ නම්, ඒ ගැන කිව යුත්තේ, අපට වත්, දෙවියන් වහන්සේගේ සභාවලට වත් පෙර කී සිරිත හැර අන් සිරිතක් නැති බව ය.