A A A A A
අවුරුද්දකින් බයිබලය
අගෝස්තු 25

ජෝබ් 41:1-34
1. ලෙවියාතන් නම් මුහුදු සර්පයා බිලී කටුවකින් අදින්නට වත්, උගේ දිව කඹයකින් බඳින්නට වත් නුඹට හැකි ද?
2. උගේ නාසයේ ලණු පටක් දමන්නට වත්, උගේ හක්ක උලකින් සිදුරු කරන්නට වත් නුඹට පුළුවන් ද?
3. ඌ නුඹට බොහෝ කන්නලව් කරනු ඇද් ද? නුඹෙන් දයානුකම්පාව අයැදිනු ඇද් ද?
4. සදහට ම ඌ නුඹට මෙහෙකරුවකු වන පිණිස, නුඹ සමඟ ගිවිසුමක් කරනු ඇද් ද?
5. සුරතල් පක්ෂියෙකු සමඟ මෙන් නුඹ ඌ සමඟ සෙල්ලම් කරනු ඇද් ද? නොහොත්, නුඹේ යුවතියන්ගේ විනෝදය පිණිස නුඹ ඌ බැඳ තබන්නෙහි ද?
6. වෙළෙඳ පොළේ ධීවරයන් ඌ ගැන කේවෙල් කරනු ඇද් ද? වෙළෙඳුන් අතර කපා බෙදාගනු ඇද් ද?
7. උගේ හම මස් හෙල්ලවලින් වත්, උගේ ඔළුව ඇවුළුම් බිලියකින් වත් සිදුරු කරන්නට නුඹට හැකි ද?
8. නුඹ ඌ සමඟ පොරබැදුවොත් ඒ සටනේ තරම සිතා බලනු; සිතා නිකම් සිටිනු.
9. අනේ! ලෙවියාතන් නම් තල්මහ දෙස බැලීමෙන් වැඩක් නැත. ඌ දුටු පමණින් මිනිසා ඇද වැටෙනු නියත ය.
10. ඌ ඇවිස්සීමට තරම් දිරිය ඇති කෙනෙක් නැත. ඌ සමඟ සටන් කරන්නට සමත් කවරෙක් ද?
11. ඌට පහර දී බේරෙන මිනිසා කවරෙක් ද? මේ මුළු දෙරණෙහි කවුරුත් නැත.
12. උගේ අවයව, ශූර භාවය හා අංග ලක්ෂණවල රම්‍යතාව ගැන නොකියා සිටින්නට මට නොහැකි ය.
13. උගේ පිට හම ගලවන්නට කාට හැකි වේ ද? උගේ යකඩ වැනි වැස්ම පසා කරගෙන යන්නේ කවරෙක් ද?
14. ඒසා භයංකාර දත් දෙපෙළින් යුතු උගේ හකු පාඩා දිගහරින්නට හැකි කාට ද?
15. පලිස් පිට පලිස්වලින් වැසීගත් උගේ පිට කළු ගල් මෙන් සවිය ඇත.
16. ඒවා අස්සට සුළඟ පවා නොවදින ලෙස ඒවා එකිනෙකට දැඩි ලෙස යා වී ඇත.
17. ඒවා එකිනෙකට ඇලී, වෙන් කළ නොහැකි ලෙස එකිනෙකට බද්ධ වී ඇත.
18. ඌ කිඹිසින විට එළියක් බබළයි. උදා වන හිරු මෙන් උගේ ඇස් බබළයි.
19. උගේ මුවින් ගිනි දලු නික්ම යයි. ගිනි පුපුරු ධාරා ගලා යයි.
20. උදුනේ නටන කල්දේරමකින් මෙන් ද දැවෙන පරඬැල් මෙන් ද උගේ නාස් පුඩුවලින් දුම් නඟියි.
21. උගේ හුස්මෙන් ගිනි අඟුරු නඟියි. ගිනි ජාලාවක් උගේ කටින් නික්මෙයි.
22. උගේ ගෙල අති බලසම්පන්න ය. ඌට මුණගැසෙන කවුරුත් බියෙන් ඇලළී යති.
23. උගේ හමේ රැළි එකට ඇලී ඇත. එය නොනැමෙන යකඩ මෙන් තද ව ඇත.
24. උගේ සිත ගලක් මෙන් ද යටි ඇඹරුම් ගල මෙන් ද තද ය.
25. ඌ නැඟිටින විට මහා වීරයෝ පවා බියට පත් වෙති. ඌ කඩා පනින විට ඔව්හු බියෙන් ඇලළී යති.
26. කඩුවෙන් වත්, හෙල්ලයෙන් වත්, කුඩා හෙල්ලයෙන් වත්, ඊතලයෙන් වත් පහර දී ඌට තුවාළ කළ නොහැකි ය.
27. යකඩ වුව ද ඌට පිදුරු වැනි ය. ලෝකඩ වුවත් දිරා ගිය ලීයක් වැනි ය.
28. ඊගස් පහරට ඌ පලා නොයයි. පටියෙන් ගසන ගල් ඌට පිදුරු මිටක් වැනි ය.
29. පොල්ලක් වුව ද ඌ පිදුරු කැබැල්ලක් මෙන් සලකයි. කුඩා හෙල්ලය ගසන විට ඌ සිනාසෙයි.
30. උගේ ඇඟේ කොරපොතු තියුණු පිඟන් කැබලි ගොඩක් වැනි ය. මඬින යන්ත්‍රයක් මෙන් ඌ මඩෙහි ඇදී යයි.
31. ඌ මුහුදු දිය කල්දේරමක වතුර මෙන් නටන්නට සලස්වයි. එය බුබුළු දම දමා නටන තෙල් බඳුනක් මෙන් කරයි.
32. ඌ යන මඟ ඌ පසුපස පැහැදිලි ව දිළිසෙයි. ඌ මුහුද සුදු පෙණ ගොඩකට හරවයි.
33. ඌට සම කළ හැකි සතෙක් මේ මුළු දෙරණෙහි නැත; ඌ භීතිය නොහඳුනන සත්ත්වයෙකි.
34. ඌ ඉතා ම අභිමානී සතුන් වුව ද හෙළා දකියි. වන සතුන්ගේ ලොවෙහි අගරජ ලෙස වැජඹෙයි.”

ජෝබ් 42:1-17
1. එවිට ජෝබ්, හිමි තුමන් හට පිළිතුරු දෙමින්, මෙසේ කී ය.
2. “ඔබ සව් බලැති දෙවි තුමාණන් බවත්, ඔබට නොකළ හැකි කිසිත් නැති බවත්, මම දනිමි.
3. මා කතා කෙළේ, මට දැනුමක් නැති දේ ගැන ය. මට අචින්ත්‍ය වන, අනවබෝධ වන අසිරිමත් දේ ගැන ය.
4. ඔබ කතා කරන විට සවන් දෙන්නටත්, ඔබේ ප්‍රශ්නවලට පිළිතුරු දෙන්නටත් ඔබ මට අණ කළ සේක.
5. කලින් මා ඔබ ගැන කනින් අසා තිබුණේ ය. එහෙත්, දැන් මාගේ ම දෙනෙතින් මම ඔබ දැක ගතිමි.
6. එබැවින් මම මා ගැන ම ලජ්ජා වෙමි; දූවිල්ලෙහි හා අළුවල හිඳ පසුතැවී සිත් තැවෙමි.”
7. තවද, සමිඳාණන් වහන්සේ මේ වචන ජෝබ්ට වදාළ පසු උන් වහන්සේ තේමානීය එලිපස්ට කතා කොට, “මාගේ සේවකයා වන ජෝබ් මෙන් නුඹ සහ නුඹේ මිතුරන් දෙදෙනා මා ගැන ඇත්ත නොකී බැවින්, මාගේ උදහස නුඹලා කෙරේ ඇවිළී ඇත.
8. එබැවින් නුඹලා දවන යාග පූජාවක් ඔප්පු කරන පිණිස, ගොන් සත්දෙනෙකුත් බැටළුවන් සත්දෙනෙකුත් රැගෙන මාගේ සේවකයා වන ජෝබ් වෙත යන්න. ඔහු නුඹලා වෙනුවෙන් අයැදුම් කරනු ඇත. එවිට නුඹලාගේ අඥානකම්වල හැටියට මා විසින් නුඹලාට දුර්විපාක නොදෙන පිණිස ඔහුගේ අයැදුම් පිළිගන්නෙමි. මාගේ සේවකයා වන ජෝබ් මෙන් නුඹලා මා ගැන ඇත්ත නොකීවහු ය”යි වදාළ සේක.
9. තේමානීය එලිපස් ද ෂුහිය බිල්දද් ද නයමාතීය ශෝපර් ද ගොස්, සමිඳාණන් වහන්සේ අණ කළ ලෙස කළහ. සමිඳාණන් වහන්සේ ජෝබ්ගේ ආයාචනය පිළිගත් සේක.
10. ජෝබ් සිය මිතුරන් උදෙසා යාච්ඤා කළ විට සමිඳාණන් වහන්සේ ඔහුගේ පෙර පැවති යස ඉසුරු දෙගුණ කොට යළි දුන් සේක.
11. ඔහුගේ සියලු සහෝදර සහෝදරියෝ ද පළමු ඔහු දැන හැඳින සිටි සියල්ලෝ ද ඔහු වෙත පැමිණ ඔහුගේ නිවසෙහි ඔහු සමඟ කෑම කා, සමිඳාණන් වහන්සේ ඔහුට පැමිණෙව් විපත්ති සමුදාය ගැන ශෝකය ප්‍රකාශ කොට ඔහු අස්වැසූ හ. ඔව්හු එකිනෙකා රිදී කාසියක් හා රන් මුද්දක් ඔහුට ත්‍යාගි කළහ.
12. මෙසේ සමිඳාණන් වහන්සේ ජෝබ්ගේ මුල් කාලයට වඩා අවසාන කාලයට ආශීර්වාද කළ සේක. බැටළුවන් දහහතර දහසක් ද ඔටුවන් හයදහසක් ද ගොන්බාන් දහසක් ද කොටළු දෙනුන් දහසක් ද ඔහුට සිටියෝ ය.
13. ඒ ඇර ඔහුට පුත්‍රයන් සත්දෙනෙක් ද දූවරු තුන්දෙනෙක් ද වූ හ.
14. ඔහු වැඩිමල් දුවට පාරාපතිනිය යන අර්ථය ඇති ජෙමිමා ද දෙ වැනි දුවට සුගන්ධනී යන අර්ථය ඇති කෙශියා ද තුන් වැනි දුවට සුලෝචනී යන අර්ථය ඇති කෙරෙන්-හප්පූක් ද කියා නම් තැබී ය.
15. ජෝබ්ගේ දූවරු තරම් සුරූපී කාන්තාවෝ ඒ මුළු රටෙහි ම නොසිටියහ. ඔවුන්ගේ පියා ඔවුන්ගේ සොහොයුරන් සමඟ ඔවුන්ට ද සම්පත් උරුම කොට දුන්නේ ය.
16. ඉන්පසු, කාලයාගේ ඇවෑමෙන් ජෝබ් එකසිය සතළිස් වසක් ජීවත් වී සතර වැනි පරපුර දක්වා දරු මුණුබුරන් දැක
17. දිගායු වළඳා මරණයට පත් වී ය.

ගීතාවලිය 101:5-8
5. සිය අසල්වැසියාට විරුද්ධ ව රහසින් අපවාද දොඩන්නා මම වනසන්නෙමි; උඩඟු බැල්ම හා අහංකාර සිත ඇත්තා මම නුරුස්සන්නෙමි.
6. මා සමඟ වසන පිණිස මම දේශයෙහි සැදැහැවතුන් තෝරාගතිමි. නිදොස් ලෙස දිවි ගෙවන්නෝ මාගේ සේවකයෝ වන්නෝ ය.
7. වංචනික කිසිවෙක් මාගේ නිවෙසෙහි නොවසන්නේ ය. මුසාවාදී කිසිවෙක් මා ඉදිරියෙහි නොසිටින්නේ ය.
8. දිනෙන් දින දේශයේ සියලු දුදනන් මම වනසන්නෙමි. අයුතුකම් කරන සියල්ලන් මම සමිඳුන්ගේ නුවරින් නෙරපාදමන්නෙමි.

හිතෝපදේශ 23:31-35
31. මද්‍යසාරය රතට රතේ දිළිසෙන විට, වීදුරුවෙහි පෙණ දමන විට, ලස්සනට වැක්කෙරෙන විට, ඒ දෙස නොබලන්න.
32. අන්තිමේ දී එය, නයෙකු මෙන් සපා කයි; පොළඟෙකු මෙන් දෂ්ට කරයි.
33. එවිට ඔබේ ඇස අද්භූත දේ දකියි; ඔබේ කට විලම්බීත දොඩවයි.
34. එවිට ඔබ මුහුද මැද ඒ මේ අත පෙරළෙන කෙනෙකු මෙන් ද කුඹ ගස මුදුනේ නිදන්න හදන කෙනෙකු මෙන් ද වනු ඇත.
35. එවිට ඔබ මෙසේ කොඳුරනු ඇත: “ ‘ඔවුන් මට පහර දෙන්නට ඇත, නමුත් මට රිදුණේ නැත. ඔවුන් මට ගසන්නට ඇත, නමුත් මට දැනුණේ නැත. කොයි වේලේ මා අවදි වේ ද? එවිට මම තව උගුරක් බොමි.’ “

1 කොරින්ති 7:1-19
1. ඔබ ලියූ කරුණු ගැන දැන් සිතා බලමු. ස්ත්‍රී සේවනයෙන් වැළකී සිටීම මිනිසාට යහපති.
2. එහෙත්, අනාචාරය බහුල ව පවතින නිසා හැම මිනිසෙකුට ම භාර්යාවක් ද හැම ස්ත්‍රියකට ම ස්වාමි පුරුෂයෙකු ද සිටිය යුතු ය.
3. පුරුෂයා සිය භාර්යාවට විවාහ ජීවිතයේ යුතුකම් ඉටු කළ යුතු යි. භාර්යාව ද සිය පුරුෂයාට විවාහ ජීවිතයේ යුතුකම් ඉටු කළ යුතු යි.
4. භාර්යාවගේ ශරීරයට අයිතිය ඇත්තේ, ඇයට නොව පුරුෂයාට ය. එලෙස ම පුරුෂයාගේ ශරීරයට අයිතිය ඇත්තේ, ඔහුට නොව භාර්යාවට ය.
5. යාච්ඤාවේ යෙදෙන පිණිස ස්ත්‍රී-පුරුෂ දෙදෙනාගේ ම කැමැත්තෙන් කලකට වෙන් වී සිටිනවා මිස, නැත්නම් වෙන් වී නොසිටිය යුතු ය. එසේ වුව ද ඔබගේ ආත්ම දමනය හීන වීමෙන්, සාතන්ගේ පෙළඹීම්වලට අසු නොවන පිණිස නැවත එක් වෙත් වා.
6. මා මෙසේ කියන්නේ ආඥාවක් වශයෙන් නොව අවවාදයක් වශයෙනි.
7. ඔබ හැමට මා මෙන් සිටිය හැකි නම් මම කැමැත්තෙමි. එක් කෙනෙකුට එක විධියකට ද තව කෙනෙකුට තවත් විධියකට ද තම තමන්ට ම විශේෂ වූ දීමනාවක් එකිනෙකා දෙවියන් වහන්සේගෙන් ලබා ඇත.
8. අවිවාහකයන්ට ද වැන්දඹුවන්ට ද මා කියන්නේ මා මෙන් ඔවුන් ද, දැන් ඔවුන් සිටින්නාක් මෙන් සිටීම හොඳ බව ය.
9. එහෙත් ඔවුන්ට ආත්ම දමනය නොහැකි දෙයක් නම් ඔව්හු විවාහ වෙත් වා. කාමරාගයෙන් දැවෙනවාට වඩා විවාහ වීම යහපති.
10. විවාහකයන්ට මම මෙසේ අණකරමි. එහෙත් අණ කරන්නේ මා නොව සමිඳාණන් වහන්සේ ය. එනම් භාර්යාව ස්වාමි පුරුෂයාගෙන් වෙන් ව නොයේ වා.
11. වෙන් ව ගියොත් ඈ තනි ව සිටී වා. නැතහොත් ස්වාමි පුරුෂයා හා සමඟි වේ වා. ස්වාමි පුරුෂයා ද සිය භාර්යාව දික්කසාද නොකළ යුතු ය.
12. සෙසු අයට සමිඳාණන් වහන්සේ නොව මම මෙසේ කියමි. යම් සහෝදරයෙකුට කිතුනු නොවන භාර්යාවක් සිටී නම්, ඈ ඔහු සමඟ වාසය කිරීමට කැමැති නම්, ඔහු ඇය දික්කසාද නොකෙරේ වා.
13. එසේ ම යම් ස්ත්‍රියකට කිතුනු නොවන ස්වාමි පුරුෂයෙක් සිටී නම්, ඔහු ඈ සමඟ වාසය කිරීමට කැමැති නම් ඈ ඔහු දික්කසාද නොකෙරේ වා.
14. මන්ද, කිතුනු නොවන ස්වාමි පුරුෂයා භාර්යාව නිසා දෙවියන් වහන්සේට කැප වී සිටී. කිතුනු නොවන භාර්යාව ද, ස්වාමි පුරුෂයා නිසා දෙවියන් වහන්සේට කැප වී සිටී. එසේ නොවී නම් ඔවුන්ගේ දරුවෝ දෙවියන් වහන්සේට අයිති නොවෙති. එහෙත් දැන් ඔව්හු දෙවියන් වහන්සේට අයිති ය.
15. එහෙත් කිතුනු නොවන විවාහකයා වෙන් වන්නට කැමැති නම්, වෙන් වේ වා. මෙවැනි අවස්ථාවලින් කිතුනු සහෝදරයා හෝ සහෝදරිය හෝ විවාහ බැඳුමෙන් බැඳී නැත. දෙවියන් වහන්සේ ඔබ කැඳවා ඇත්තේ සාමදානයෙන් ජීවත් වීමට ය.
16. ඔබ කිතුනු භාර්යාවක් නම් ඔබ තම ස්වාමි පුරුෂයාගේ ගැළවීම සලසනු විය හැකි ය. ඔබ කිතුනු ස්වාමි පුරුෂයෙක් නම් ඔබ තම භාර්යාවගේ ගැළවීම සලසනු විය හැකි ය.
17. එසේ වුව ද සමිඳාණන් වහන්සේ එකිනෙකාට නියම කොට ඇති ප්‍රකාරයට හා දෙවියන් වහන්සේ එකිනෙකා කැඳවා ඇති ප්‍රකාරයට ජීවත් වන්න. සැම සභාවකට ම මා දෙන නියෝගය මේ ය.
18. යමෙකු චර්මඡේදනය ලබා සිටිය දී කැඳවීම ලැබූයේ නම්, ඔහු චර්මඡේදනයේ ලකුණු පහ නොකෙරේවා. යමෙකු චර්මඡේදනය නොලබා සිටිය දී කැඳවීම ලැබූයේ නම්, ඔහු චර්මඡේදනය නොලබාවා.
19. චර්මඡේදනය වත්, අචර්මඡේදනය වත්, වැදගත් වන්නේ නැත. වැදගත් වන්නේ දෙවියන් වහන්සේගේ ආඥා පිළිපැදීම ය.