A A A A A
අවුරුද්දකින් බයිබලය
ජුලි 25

නෙහෙමියා 1:1-11
1. මෙය වනාහි හකලියාගේ පුත් නෙහෙමියා වන මාගේ කතා වස්තුවකි. අර්තක්ෂස්තා රජුගේ විසි වන අවුරුද්දේ කිස්ලෙව් මාසයේ සූසා නම් අගනුවර මා සිටි කල,
2. මාගේ ඥාතීන්ගෙන් එක් කෙනෙකු වූ හනානි ද ඔහු සමඟ තවත් මනුෂ්‍යයෝ ද ජුදයෙන් ආහ. එවිට විප්‍රවාසයෙන් ගැළවී ඉතුරු වූ ජුදෙව්වරුන් ගැන ද ජෙරුසලම ගැන ද මම ඔවුන්ගෙන් විචාළෙමි.
3. ඔව්හු කතා කොට, “විප්‍රවාසයෙන් බේරී ඒ රටේ ඉතිරි ව සිටින අය මහා දුක් කරදරවලටත්, නින්දාවටත් භාජන වී සිටිති. ජෙරුසලමේ පවුර ද බිඳ දමා තිබේ. එහි දොරටු ගිනිබත් කර තිබේ ය”යි මට කී හ.
4. මම ඒ වචන ඇසූ කල හිඳගෙන ඇඬුවෙමි. මම කීප දවසක් වැලපෙමින්, නිරාහාර ව සිටිමින් ස්වර්ගයේ දෙවියන් වහන්සේ ඉදිරියෙහි මෙසේ යාච්ඤා කෙළෙමි:
5. “අහෝ! ස්වර්ගයේ දෙවි සමිඳාණන් වහන්ස, ඔබට ප්‍රේම කරමින් ඔබේ ආඥා රක්ෂා කරන්නන් සමඟ විශ්වාසවන්ත ව ගිවිසුම පවත්වන, ගරුබිය දනවන දෙවියන් වහන්ස,
6. ඔබේ මෙහෙකරුවන් වන ඉශ්රායෙල් සෙනඟ උදෙසා ඔබේ මෙහෙකරු මා දැනට රෑ දාවල් දෙක්හි ඔබ ඉදිරියෙහි ඔප්පු කරන යාච්ඤා අසන පිණිස ඔබේ කන් යොමා මා දෙස බැලුව මැනව. ඉශ්රායෙල් සෙනඟ වන අප ඔබට විරුද්ධ ව කළ පව් මම කියා සිටිමි. මාගේ පියාගේ වංශයේ අය ද මම ද පව් කෙළෙමු.
7. අපි ඔබට විරුද්ධ ව ඉතා දුෂ්ට ලෙස ක්‍රියා කෙළෙමු; ඔබේ මෙහෙකරුවා වූ මෝසෙස්ට ඔබ අණ කළ අණපණත් ද නියෝග ද රක්ෂා නොකෙළෙමු.
8. ඔබේ මෙහෙකරුවා වූ මෝසෙස්ට ඔබ අණ කළ දෙය සිහි කළ මැනව. එනම්, ‘නුඹලා ද්‍රෝහිකම් කළොත් මම නුඹලා ජාතීන් අතර විසුරුවන්නෙමි.
9. එහෙත්, නුඹලා මා වෙත හැරී, මාගේ ආඥා රක්ෂා කරමින්, ඒවා ඉෂ්ට කළොත්, නුඹලාගෙන් සමහරෙකු පන්නා දමනු ලැබ අහසේ කෙළවර සිටියත්, මම ඔවුන් එතැනින් රැස් කර, මාගේ නාමය පිහිටුවන්නට මා විසින් තෝරාගනු ලැබූ ස්ථානයට ඔවුන් ගෙනෙන්නෙමි’ යනුයි.
10. “මොවුහු වනාහි ඔබේ බලයෙන් ද බලවත් හස්තයෙන් ද ඔබ විසින් මුදාගනු ලැබූ ඔබේ ම මෙහෙකරුවන් හා සෙනඟත් ය.
11. අහෝ සමිඳාණන් වහන්ස! ඔබේ මෙහෙකරුවාගේ යාච්ඤාවටත්, ඔබේ නාමයට ගරුබිය දක්වන්නට ප්‍රිය වන මෙහෙකරුවන්ගේ යාච්ඤාවලටත් ඔබේ කන් යොමු කළ මැනව. අද ඔබේ මෙහෙකරුවාට ශුභසිද්ධිය සලසා දී රජ්ජුරුවන් ඉදිරියෙහි ඔහුට කරුණාව ලැබෙන්නට සැලසුව මැනව.” එවකට මම රජුගේ පාත්‍රධාරී ව සිටියෙමි.

නෙහෙමියා 2:1-20
1. දිනක් අර්තක්ෂස්තා රජුගේ විසි වන අවුරුද්දේ නිසාන් මාසයේ ඔහු ඉදිරිපිට මුද්‍රික පානය තිබෙද්දී මම මුද්‍රික පානය රැගෙන රජුට දිනිමි. මීට පෙර මම ඔහු ඉදිරියෙහි දී දුක්මුසු ව නොසිටියෙමි.
2. එවිට රජු මට කතා කර, “ඔබට අසනීපයක් නැති නමුත්, ඔබේ මුහුණ දුක්මුසු ව තිබෙන්නේ මන් ද? මෙය සිතේ කණගාටුවක් මිස වෙන කිසිවක් නොවේ ය”යි කීවේ ය.
3. එවිට මම ඉතා බියෙන් රජුට කතා කොට, “රජතුමා සදහට ම ජීවත් වේ වා! මාගේ පියවරුන්ගේ සොහොන් තිබෙන නගරය පාළු වී, එහි දොරටු ගින්නෙන් දැවී ගොස් තිබිය දී මාගේ මුහුණ දුක්මුසු නොවන්නේ කෙසේ දැ”යි කීමි.
4. එවිට රජතුමා කතා කොට, “ඔබ ඉල්ලා සිටින්නේ කුමක් දැ”යි මාගෙන් ඇසී ය. එවිට, මම ස්වර්ගයේ දෙවියන් වහන්සේට යාච්ඤා කොට,
5. “රජතුමා සතුටු නම්, ඔබේ දාසයා රජු ඉදිරියෙහි කරුණාව ලබා සිටී නම්, ජුදාහි මාගේ පියවරුන්ගේ සොහොන් තිබෙන නගරය ගොඩනඟනු පිණිස මා එහි යැව්ව මැනවැ”යි කීමි.
6. රජ තෙම, බිසවත් තමා ළඟ වාඩිවී සිටිය දී, කතා කොට, “ඔබේ ගමනට කොපමණ කල් ගත වේ ද” කියාත්, “ඔබ නැවත එන්නේ කවදා ද” කියාත්, මාගෙන් ඇසී ය. මම රජුට කාලයක් නියම කර කීවෙමි. රජතුමා මා යවන්නට සතුටු විය.
7. ඇරත් මම රජුට කතා කොට, “රජතුමා සතුටු නම්, මා ජුදයට පැමිණෙන තුරු රට මැදින් මට යන්නට දෙන ලෙස, එගොඩ සිටින දිශාධිපතීන්ට දීමට ලියුම් ද
8. ගෘහයට අයිති කොටුවේ දොරටුවල බාල්කවලටත්, නුවර පවුරුවලටත්, මා පදිංචි වන්නට යන නිවාසයටත් ලී දෙන ලෙස රජුගේ මූකළාන භාරකාරයා වන ආසාප්ට දීමට ලියුමක් ද මට ලැබේ වා”යි කීමි. මාගේ දෙවියන් වහන්සේගේ යහපත් හස්තය මා කෙරෙහි තිබුණු හෙයින් රජ තෙම එසේ ම මට දුන්නේ ය.
9. එකල මම ගඟ එගොඩ සිටි දිශාධිපතීන් ළඟට අවුත් රජුගේ හසුන් පත් ඔවුන්ට දිනිමි. රජ වනාහි සේනාධිපතීන් ද අසරුවන් ද මා සමඟ එවුවේ ය.
10. හොරොනීය ජාතික සන්බලට් ද සේවකයා වූ අම්මොනි ජාතික ටෝබියා ද ඒ අසා, ඉශ්රායෙල් සෙනඟගේ ශුභසිද්ධිය දියුණු කරන්නට මනුෂ්‍යයෙකු ආ බව දැනගෙන ඉතාමත් අමනාප වූ හ.
11. මෙසේ මම ජෙරුසලමට අවුත් තුන් දවසක් එහි සිටියෙමි.
12. තවද, මම රාත්‍රියේ නැඟිට, මනුෂ්‍යයන් ස්වල්ප දෙනෙකු සමඟ ජෙරුසලම උදෙසා කරන්නට මාගේ දෙවියන් වහන්සේ මාගේ සිතේ තැබූ කල්පනාව කිසි ම මනුෂ්‍යයෙකුට නොදන්වා, මා නැඟී ගිය සතා මිස වෙන යම් සතෙකු නැති ව, රාත්‍රියේ මිටියාවතේ දොරටුවෙන් පිටත් වී,
13. නාග උල්පත ළඟටත්, කසළ දොරටුව ළඟටත් ගොස්, ජෙරුසලමේ කඩා දමන ලද පවුරත්, ගින්නෙන් දා ගොස් තිබුණු එහි දොරටුත් බලා,
14. පසු ව උල්පත් දොරටුව සහ රජ පොකුණ ළඟට ගියෙමි. එහෙත්, මා නැඟී උන් සතාට යන්නට ඉඩ නොතිබුණේ ය.
15. මම රාත්‍රියේ ඔය ළඟින් ගොස් පවුර බලා, ආපසු හැරී, මිටියාවතේ දොරටුවෙන් ඇතුළු වී පැමිණියෙමි.
16. මා ගිය ගමන ගැන වත්, මා කළ දේ වත් නිලධාරීහු නොදත්හ. මම ඒ වන තුරු ජුදෙව්වරුන්ට වත්, පූජකයන්ට වත්, නායකයන්ට වත්, නිලධාරීන්ට වත්, පවුර ගොඩනැඟිය යුතු සෙසු අයට වත් ඒ බව නොදැන්වීමි.
17. එකල මම ඔවුන්ට කතා කොට, “ජෙරුසලම පාළු වී තිබෙන හැටි ද එහි දොරටු කැඩී ගොස් තිබෙන හැටි ද අපට පැමිණ තිබෙන විපත්තිය ද ඔබට පෙනේ. ඉතින් එන්න, අපට තවත් නින්දා නොපැමිණෙන පිණිස ජෙරුසලමේ පවුර ගොඩනඟමු”යි කීවෙමි.
18. තවද, මාගේ දෙවියන් වහන්සේගේ කරුණා හස්තය මා කෙරෙහි තිබෙන බව ද රජු මට කී වචන ගැන ද මම ඔවුන්ට දැන්වීමි. ඔව්හු පිළිතුරු දෙමින්, “අපි නැඟිට ගොඩනඟමු”යි කී හ. මෙසේ ඔව්හු ඒ යහපත් වැඩය සඳහා තමන්ගේ ශ්‍රමශක්තිය යෙදෙවුවෝ ය.
19. එහෙත්, හොරොනීය ජාතික සන්බලට් ද සේවකයා වූ අම්මොනි ජාතික ටෝබියා ද අරාබි ජාතික ගෙෂෙම් ද ඒ අසා, අපට කවටකම් කරමින් අප හෙළා දැක, “ඔබ කරන මේ දෙය කුමක් ද? ඔබ රජුට විරුද්ධ ව කැරලිගසන්නට සිතන්නහු දැ”යි ඇසූ හ.
20. එවිට මම ඔවුන්ට පිළිතුරු දෙමින්, “ස්වර්ගයේ දෙවියන් වහන්සේ ම අපේ කාර්යය සාර්ථක කරනු ඇත. එබැවින් උන් වහන්සේගේ සේවකයන් වන අපි ගොඩනැඟීමේ වැඩ පටන්ගනිමු. එහෙත්, ඔබට ජෙරුසලමෙහි කිසි කොටසක් වත්, අයිතිවාසිකමක් වත්, සිහිවීමේ ලකුණක් වත් නැතැ”යි කීවෙමි.

ගීතාවලිය 88:11-18
11. සොහොන් වළෙහි දී ඔබේ තිර පෙම ගැන ද පාතාලයෙහි දී ඔබේ විශ්වාසවන්තකම ගැන ද කතා කරනු ලැබේ ද?
12. ඔබේ අසිරිමත් ක්‍රියා අඳුරෙහි දී පෙන්වනු ලැබේ ද? ඔබේ යහපත්කම මළවුන්ගේ දේශයෙහි දී සිහි කරනු ලැබේ ද?
13. සමිඳුනි, මම ඔබට හඬගසන්නෙමි; අලුයම මාගේ අයැදුම ඔබ වෙත පැමිණේ වා!
14. සමිඳුනි! ඔබ මා ප්‍රතික්ෂේප කරන්නේ මන් ද? මා වෙතින් ඔබේ මුහුණ සඟවා ගන්නේ මන් ද?
15. යොවුන් වියේ පටන් පීඩිත ව කෙඳිරි ගාමින් මම මැරෙන්නට ආසන්න ව සිටියෙමි; ඔබෙන් පැමිණෙන දඬුවම්වල බරින් මම තැළී පොඩි වී සිටියෙමි.
16. ඔබේ කෝපාග්නිය මා ඉහවහ ගොස් ඇත්තේ ය. ඔබේ බියකරු පහර මා විනාශ කර ඇත්තේ ය.
17. ගංවතුරක් මෙන් ඒවා දවස පුරා මා වටලා සිටින්නේ ය. හාත්පසින් ඒවා ළං වී මා වසා ගන්නේ ය.
18. මාගේ හිත මිතුරු අසල්වාසීන් පවා ඔබ මා වෙතින් දුරු කළ සේක. මාගේ එක ම හිත මිතුරා නම් අඳුර වේ.

හිතෝපදේශ 21:25-26
25. දෑත වෙහෙසා වැඩ නොකරන අලසයා ඔහුගේ ම මරණයට මඟ පාදයි.
26. දවස පුරා ඔහු ආශා වන දෙය ඔහුට ලැබෙන්නේ නැත; එහෙත් දැහැමි මිනිසා දෙයි, නොමසුරු ව ම දෙයි.

ක්‍රියා 25:1-27
1. ෆෙස්තුස් ඒ පළාතට පැමිණ තුන් දවසක් ගත වූ පසු කායිසාරියේ සිට ජෙරුසලමට ගියේ ය.
2. නායක පූජකයෝ ද ජුදෙව්වරුන්ගේ ප්‍රධානීහු ද පාවුලුට විරුද්ධ ව ෆෙස්තුස්ට පැමිණිලි කළහ.
3. තමන්ට විශේෂ සැලකිලි දැක්වීමක් වශයෙන් පාවුලු ජෙරුසලමට යවන ලෙස ඔව්හු ෆෙස්තුස්ගෙන් ඉල්ලූ හ. එසේ කෙළේ ඔවුන් මාර්ගයේ රැක සිට ඔහු මැරීමට උපායක් යෙදූ බැවිනි.
4. එහෙත් ෆෙස්තුස් උත්තර දෙමින්, “පාවුලු කායිසාරියේ සිරභාරයේ සිටින බවත්, තමා ද ඉක්මනින් එහි යන්නට අදහස් කරන බවත් කී ය.
5. එහෙයින් ඔබ අතර සැලකිය යුතු අය, මා සමඟ ගොස් ඒ මනුෂ්‍යයා අත යම් වරදක් ඇත්නම්, ඔහුට විරුද්ධ ව චෝදනා කරත් වා”යි කී ය.
6. ඔහු ඔවුන් අතරෙහි දවස් අටක් හෝ දහයක් හෝ පමණ නතර වී, කායිසාරියට ගොස් පසුවදා විනිශ්චයාසනයෙහි හිඳ පාවුලු ගෙනෙන්නට අණ කෙළේ ය.
7. ඔහු ආ කල, ජෙරුසලමෙන් පැමිණි ජුදෙව්වරු පාවුලු වටකර සිට ඔහුට විරුද්ධ ව, ඔප්පු කළ නොහැකි, බරපතල වූ බොහෝ චෝදනා ඉදිරිපත් කළහ.
8. පාවුලු තමාගේ නිදහසට උත්තර දෙමින්, “මම ජුදෙව්වරුන්ගේ ව්‍යවස්ථාවලියට වත්, දේව මාලිගාවට වත්, සීසර් අධිරාජයාට වත් විරුද්ධ ව කිසි වරදක් නොකෙළෙමි”යි කී ය.
9. එහෙත් ෆෙස්තුස් ජුදෙව්වරුන් සතුටු කරන අදහසින් පාවුලුට කතා කොට, “ඔබ ජෙරුසලමට ගොස්, එහි දී මේ චෝදනා ගැන මා ඉදිරියෙහි විනිශ්චය කරනු ලබන්නට කැමැත්තෙහි දැ”යි ඇසී ය.
10. එහෙත් පාවුලු, “මම සීසර් අධිරාජයාගේ විනිශ්චයාසනය ඉදිරියෙහි සිටිමි; මා විනිශ්චය කළ යුත්තේ මෙහි දී ය. ජුදෙව්වරුන්ට මා කිසි වරදක් කෙළේ නැත; ඒ බව ඔබටත් හොඳාකාර පෙනී යනු ඇත.
11. ඉදින් මම වරදකාරයෙක් නම්, මරණයට සුදුසු යමක් මා කර තිබේ නම්, මා මරණ දඬුවමින් මුදන ලෙස නො ඉල්ලමි. එහෙත් මොවුන් මට තබන චෝදනාවල කිසි සත්‍යයක් නැත්නම්, මා ඔවුන් අතට පාවා දීමට කිසිවෙකුට බැරි ය. මම සීසර් අධිරාජයාගේ විනිශ්චය ඉල්ලමි”යි කී ය.
12. එවිට ෆෙස්තුස් උපදේශක මණ්ඩලය සමඟ සාකච්ඡා කොට, “ඔබ සීසර් අධිරාජයාගේ විනිශ්චය ඉල්ලුවෙහි ය. ඔබ සීසර් අධිරාජයා වෙත යන්නෙහි ය”යි පාවුලුට කී ය.
13. කීප දවසකට පසු අග්‍රිපා රජ ද බර්නිස් ද ෆෙස්තුස්ට ආචාර කරන පිණිස කායිසාරියට පැමිණිය හ.
14. ඔවුන් බොහෝ දවස් එහි නැවතී සිටිය දී ෆෙස්තුස් පාවුලු පිළිබඳ කාරණය රජුට දන්වමින්, “ෆීලික්ස් නිදහස් නොකර ගිය එක් සිරකරුවෙක් මෙහි සිටියි.
15. මා ජෙරුසලමට ගිය විට නායක පූජකයෝ ද ජුදෙව්වන්ගේ සභා මූලිකයෝ ද ඔහු ගැන මට චෝදනා කරමින්, ඔහු වරදකරුවෙකැ යි තීන්දු කරන ලෙස මගෙන් ඉල්ලූ හ.
16. මම ඔවුන්ට පිළිතුරු දෙමින්, ‘පැමිණිලිකරුවන් ඉදිරියෙහි තම චෝදනා ගැන උත්තර දීම හා තම නිදහසට කරුණු ඉදිරිපත් කිරීමක් නැති ව, කිසි ම වරදකරුවෙකු පාවා දීම රෝමවරුන්ගේ සම්ප්‍රදායයක් නොවේ ය’යි කීවෙමි.
17. එහෙයින් ඔවුන් මෙහි රැස් වූ කල මම නොපමා ව පසුදා විනිශ්චයාසනයෙහි හිඳ ඒ මිනිසා ගෙනෙන්නට අණ කෙළෙමි.
18. එහෙත් ඔහුගේ පැමිණිලිකරුවෝ, මා සිතූ අන්දමේ කිසි වරදක් ඔහු පිට නොතැබූ හ.
19. ඔහුට විරුද්ධ ව ඔවුන් ඉදිරිපත් කෙළේ තම ආගම ගැනත්, ජේසුස් නම් මළගිය කෙනෙකු යළි ජීවත් ව සිටිති යි යන පාවුලුගේ කීම ගැනත් විවාද සමහරක් පමණකි.
20. මේ දේවල් ගැන විභාග කරන්නේ කෙසේ දැ යි සිතින් වියවුල් වූ මම, ජෙරුසලමට ගොස්, එහි දී මේ කාරණා ගැන විනිශ්චය කරනු ලබන්නට කැමැති දැ යි ඔහුගෙන් ඇසුවෙමි.
21. එහෙත් අධිරාජයාගේ තීරණයට නඩුව ඉදිරිපත් කරන මෙන් පාවුලු ඉල්ලූ විට, ඔහු සීසර් අධිරාජයා ළඟට යන තුරු රැකවලෙහි තැබීමට මම අණ කෙළෙමි”යි කී ය.
22. එවිට අග්‍රිපා: “මමත් ඒ මනුෂ්‍යයා කතා කරනවා අසන්නට කැමැත්තෙමි”යි ෆෙස්තුස්ට කී ය. “හෙට ඔබට අසන්නට ලැබේ ය”යි ඔහු පිළිතුරු දුනි.
23. එසේ පසුවදා අග්‍රිපා ද බර්නිස් ද මහත් හරසරින් අවුත් ප්‍රධාන සේනාධිපතීන් හා නුවර ප්‍රභූන් හා සමඟ නඩු ශාලාවට පැමිණි කල, ෆෙස්තුස්ගේ ආඥාවෙන් පාවුලු එහි ගෙන්වන ලදී.
24. ෆෙස්තුස් කතා කොට: “අග්‍රිපා රජතුමෙනි, මෙහි අප සමඟ සිටින සියලු භවතුනි, මොහු තවත් ජීවත් ව සිටින්නට නොවටනේ යයි ජෙරුසලමේදීත් මෙහිදීත් ජුදෙව් සමූහයා මොරගසමින් මට පැමිණිලි කෙළේ ඔබට පෙනෙන මේ මිනිසා ගැන ය.
25. එහෙත් මරණ දඬුවමට සුදුසු කිසිවක් මොහු නොකළ බව මට පෙනී ගියේ ය. ඇරත්, මොහු ම අධිරාජයාගේ විනිශ්චය ඉල්ලූ බැවින් ඔහු එහි යැවීමට මම නියම කෙළෙමි.
26. ඔහු ගැන අධිරාජයාට ලියා යැවීමට නිසැක කිසිවක් මට නැත. එබැවින් මේ විභාගය කළ පසු ලියා ඇරීමට යම් යම් කරුණු මට ලැබෙන පිණිස ඔබ හැම ඉදිරියට, විශේෂයෙන් අග්‍රිපා රජතුමෙනි, ඔබ ඉදිරියට ද ඔහු ගෙනාවෙමි.
27. සිරකරුට විරුද්ධ ව ඇති චෝදනා නොදන්වා ඔහු යැවීම අනුවණ ක්‍රියාවක් බව මට පෙනේ ය”යි කී ය.