A A A A A
අවුරුද්දකින් බයිබලය
ජුලි 2

1 වංශාවලියේ 28:1-21
1. දාවිත් ඉශ්රායෙල්හි සියලු අධිපතීන් වන ගෝත්‍රවල අධිපතීන් ද රජුට සේවය කළ පංතිවල අධිපතීන් ද සහශ්‍රාධිපතීන් ද ශතාධිපතීන් ද රජුටත් ඔහුගේ පුත්‍රයන්ටත් අයිති සියලු වස්තු සම්පත්වල අධිපතීන් ද ඇමතියන් සහ බලවන්තයනුත්, සියලු බලවන්ත යුද්ධ භටයිනුත් සමඟ ජෙරුසලමට කැඳවාගත්තේ ය.
2. එකල දාවිත් රජු නැඟිට සිට කතා කොට, “මාගේ සහෝදරයෙනි, මාගේ ජනයෙනි, මට සවන් දෙන්න. සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව තබන පිණිස එනම්, අපේ දෙවියන් වහන්සේට වැඩ විසීම පිණිස ස්ථිර නිවාසයක් ගොඩනඟන්න මම අදහස් කෙළෙමි. එය ගොඩනැඟීමට මා විසින් සූදානම් කරනු ලැබ තිබුණේ ය.
3. එහෙත්, දෙවියන් වහන්සේ මට කතා කොට, ‘නුඹ මාගේ නාමයට මාලිගාවක් ගොඩ නොනඟන්නෙහි ය; මන්ද, නුඹ රණකාමී මනුෂ්‍යයෙකි; නුඹ ලේ වැගිරෙවුවෙහි ය’යි වදාළ සේක.
4. එහෙත්, ඉශ්රායෙල්වරුන් කෙරෙහි සදහට ම රජ කෙනෙකු ව සිටීමට ඉශ්රායෙල්ගේ දෙවි සමිඳාණන් වහන්සේ මාගේ පියාගේ මුළු වංශයෙන් මා තෝරාගත් සේක. මන්ද, උන් වහන්සේ ජුදා ද ජුදාගේ වංශයෙන් මාගේ පියාගේ පවුල ද අධිපතිකමට තෝරාගෙන සියලු ඉශ්රායෙල්වරුන් කෙරෙහි රජකමට මා පත් කරන්න මාගේ පියාගේ පුත්‍රයන් අතරෙන් මා කෙරෙහි ප්‍රසන්න වූ සේක.
5. සමිඳාණන් වහන්සේ මට බොහෝ පුත්‍රයන් දුන් සේක. එහෙත්, ඉශ්රායෙල්වරුන් කෙරෙහි සමිඳාණන් වහන්සේගේ රජකම් කිරීමේ සිංහාසනයේ හිඳින පිණිස මාගේ සියලු පුත්‍රයන් අතරෙන් මාගේ පුත් සලමොන් තෝරාගත් සේක.
6. “උන් වහන්සේ මට කතා කොට, ‘නුඹේ පුත් සලමොන් ම මාගේ මාලිගාව ද මණ්ඩපය ද සාදන්නේ ය. මන්ද, මාගේ පුත්‍රයෙකු කොට මම ඔහු තෝරා ගතිමි. මම ඔහුට පියෙක් වන්නෙමි.
7. අද දවසේ මෙන් ඔහු මාගේ ආඥා ද විනිශ්චයයන් ද රක්ෂා කරමින් ස්ථිර ව සිටියොත්, ඔහුගේ රජකම සදහට ම ස්ථිර කරන්නෙමි’යි වදාළ සේක.
8. “ඉතින්, ඔබ මේ හොඳ දේශය භුක්ති විඳ, ඔබට පසු ව ඔබේ පුත්‍රයන්ට එය සදහට ම උරුම කර දෙන පිණිස, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේගේ සියලු ආඥා පිළිපදිමින් ඒවා සොයන්න කියා සමිඳාණන් වහන්සේගේ සභාව වන සියලු ඉශ්රායෙල්වරුන්ගේ ඇස් ඉදිරිපිට ද අපේ දෙවියන් වහන්සේට ඇසෙන ලෙස ද මම ඔබට අවවාද කරමි.
9. “සලමොන්, මාගේ පුත්‍රය, ඔබ ඔබේ පියාගේ දෙවියන් වහන්සේ දැන හැඳිනගෙන, මුළු හෘදයෙන් හා සම්පූර්ණ කැමැත්තෙන් උන් වහන්සේට මෙහෙ කරන්න. මන්ද, සමිඳාණන් වහන්සේ සියලු සිත් විමසා අපේ සිතුම් පැතුම් තේරුම් ගන්න සේක. ඔබ උන් වහන්සේ සොයන්නෙහි නම්, උන් වහන්සේ ඔබට සම්බ වනු ඇත. එහෙත්, යම් හෙයකින් ඔබ උන් වහන්සේ අත්හැරියොත්, උන් වහන්සේ ඔබ සදහට ම අහක දමනු ඇත.
10. ඒ නිසා මෙය සිතට ගන්න. මන්ද, ශුද්ධස්ථානයක් වන පිණිස දේව මාලිගාවක් ගොඩනැඟීමට සමිඳාණන් වහන්සේ ඔබ තෝරාගෙන සිටින සේක. ශක්තිමත් ව සිට එය කරන්නැ”යි කී ය.
11. එවිට දාවිත් දේව මාලිගාවේ ද්වාර මණ්ඩපයේත්, එහි ගෙවලත්, එහි ගබඩාවලත්, එහි උඩුමහල්වලත්, එහි ඇතුළු ගෙවලත්, කරුණාසනයේ ගෙයිත් සැලැස්ම ද,
12. තමාගේ හිතේ තිබුණු සියල්ල වන සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ මණ්ඩපවලත්, වට කාමරවලත්, දෙවියන් වහන්සේගේ මාලිගාවේ ගබඩාවලත්, කැප කරන ලද දේ තිබූ ගබඩාවලත්,
13. පූජකයන්ගේ ද ලෙවීවරුන්ගේ ද පංතිවලත්, උන් වහන්සේගේ මාලිගාවේ මෙහෙය පිණිස සියලු කර්මාන්තවලත්, උන් වහන්සේගේ මාලිගාවේ මෙහෙය පිණිස සියලු බඩුවලත් සැලැස්ම ද තමාගේ පුත් සලමොන්ට දුන්නේ ය.
14. එක එක සේවයේ සියලු රන් බඩුවල සැලැස්ම ද රන්වල බර ද සියලු රිදී බඩුවල සැලැස්ම ද එක එක සේවයේ සියලු බඩුවල බර ද
15. රන් පහන් රුක්වලත් ඒවායේ රන් පහන්වලත් බර ද එක එක පහන් රුකේත්, එහි පහන්වලත් බර ද රිදී පහන් රුක්වලත් එක එක පහන් රුකේ වැඩ ලෙස එක එකේ සහ ඒවායේ පහන්වලත් බර ද
16. පිදීමේ රොටි තබන එක එක මේසයේ රන් බර ද රිදී මේසවලට රිදී බර ද
17. පවිත්‍ර රන් මස් කොකුවලත්, තාලිවලත්, පාත්‍රවලත්, රන් කුසලාන්වලත්, සැලැස්ම ද එක එක කුසලානේ බර ද රිදී කුසලාන්වල සැලැස්ම ද එක එක කුසලානේ බර ද
18. පවිත්‍ර රන් දුම් පූජාසනයේ සැලැස්ම ද බර ද පියාපත් දිගහැර උන් වහන්සේගේ ගිවිසුම් කරඬුව වසාගන්න රන් කෙරුබ් රථයේ සැලැස්ම ද කියා දුන්නේ ය.
19. “මේ සටහනේ සියලු වැඩ තේරුම් කර දුන් සමිඳාණන් වහන්සේගේ අතින් මා ලවා සියල්ල ම ලියවා තිබේ ය”යි දාවිත් කීවේ ය.
20. තවද, දාවිත් තමාගේ පුත් සලමොන්ට කතා කොට, “ඔබ ශක්තිමත් ව, ධෛර්ය සම්පන්න ව සිට එය ඉෂ්ට කරන්න. බිය නොවන්න; නොකැළඹෙන්න. මන්ද, මාගේ දෙවියන් වහන්සේ වන දෙවි සමිඳාණන් වහන්සේ ඔබ සමඟ වැඩ වසන සේක. සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ මෙහෙය පිණිස සියලු කර්මාන්ත නිම වන තුරු උන් වහන්සේ ඔබෙන් ඉවත් නොවන සේක; ඔබ අත් නොහරින සේක.
21. ඇරත් පූජකයන්ගේ ද ලෙවීවරුන්ගේ ද පංතිවල අය දෙවියන් වහන්සේගේ මාලිගාවේ සියලු වැඩ පිණිස සිටිති. සියලු කටයුතුවල දී සියලු ආකාර වැඩට දක්ෂකම ද කැමැත්ත ද ඇති හැම දෙනා ද ඔබ සමඟ සිටිති. ඇරත් අධිපතියෝත්, මුළු සෙනඟත් ඔබේ අණට මුළුමනින් යටත් වන්නෝ ය”යි කීවේ ය.

1 වංශාවලියේ 29:1-30
1. දාවිත් රජ මුළු සභාවට කතා කොට, “දෙවියන් වහන්සේ විසින් තෝරා ගනු ලැබූ එක ම තැනැත්තා වන මාගේ පුත් සලමොන් තව ම ළා බාල ය; කාර්යය නම් බරපතල ය. මන්ද, මාලිගාව මනුෂ්‍යයාට නොව දෙවි සමිඳාණන් වහන්සේට ය.
2. එබැවින් මාගේ මුළු ශක්තියෙන් මාගේ දෙවියන් වහන්සේගේ මාලිගාව ගැන රන් වැඩට රන් ද රිදී වැඩට රිදී ද ලෝකඩ වැඩට ලෝකඩ ද යකඩ වැඩට යකඩ ද ලී වැඩට ලී ද නඛමාණික්‍ය ද බැඳීමට ගල් ද ඔබ්බනු පිණිස ගල් ද විසිතුරු ගල් ද සියලු ආකාර මැණික් ගල් ද කිරිගරුඬ ගල් ද බොහෝ සෙයින් ම සූදානම් කෙළෙමි.
3. තවද, ශුද්ධ මාලිගාවට මා විසින් සපයනු ලැබ තිබෙන සියල්ලට අමතර ව මාගේ දෙවියන් වහන්සේගේ මාලිගාව කෙරෙහි ඇති මාගේ ළැදිකම නිසා මාගේ ම සම්පත වන රන් ද රිදී ද මාගේ දෙවියන් වහන්සේගේ මාලිගාවට දුන්නෙමි.
4. එනම්, මාලිගාවේ බිත්ති වසාලන පිණිස ද රන් වැඩවලටත්, රිදී වැඩවලටත්, කාර්මිකයන්ගේ සියලු වැඩවලටත් පාවිච්චි කරන පිණිස ද ඕපීර්හි රන් මෙට්රික් ටොන් සියයකුත්, පවිත්‍ර කළ රිදී මෙට්රික් ටොන් දෙසිය සතළිසකුත් දුන්නෙමි. ඉතින් අද සේවය සඳහා කැමැත්තෙන් ම සමිඳාණන් වහන්සේට පූජා කරන්නේ වෙන කවරෙක් දැ”යි කීවේ ය.
5. ***
6. එවිට පිය වංශවල අධිපතීහු ද ඉශ්රායෙල් ගෝත්‍රවල අධිපතීහු ද සහශ්‍රාධිපතීහු ද ශතාධිපතීහු ද රාජකාරියේ අධිපතීහු ද කැමැත්තෙන් ම පඬුරු ඔප්පු කරමින්
7. දෙවියන් වහන්සේගේ මාලිගාවේ සේවයට රන් මෙට්රික් ටොන් එකසිය හැත්තෑවට වැඩි ගණනකුත්, රිදී මෙට්රික් ටොන් තුන්සිය සතළිසකට වැඩි ගණනකුත්, ලෝකඩ මෙට්රික් ටොන් හයසිය විස්සක් පමණකුත්, යකඩ මෙට්රික් ටොන් තුන්දාස් හාරසියයකට වැඩි ගණනකුත් දුන්නෝ ය.
8. අනර්ඝ මැණික් ගල් ඇත්තෝ ද ගේර්ෂොනීය ජෙහීයෙල් අතින් ඒවා සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ ගබඩාවට දුන්නෝ ය.
9. සෙනඟ එසේ කැමැත්තෙන් ම ඒවා ඔප්පු කළ බැවින් ඔව්හු ප්‍රීති වුණෝ ය. මන්ද, ඔවුන් අවංක සිතකින් සමිඳාණන් වහන්සේට ඒවා පූජා කළ බැවිනි. දාවිත් රජු ද ඉමහත් ප්‍රීතියකට පත් විය.
10. දාවිත් මුළු සභාව ඉදිරියෙහි සමිඳාණන් වහන්සේට ප්‍රශංසා කරමින් කතා කොට, මෙසේ කීවේ ය: “අපේ පිය වන ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්ස, ඔබට සදහට ම ප්‍රශංසා වේවා.
11. සමිඳාණන් වහන්ස, ශ්‍රේෂ්ඨත්වය ද බලපරාක්‍රමය ද තේජස ද වික්‍රමය ද මහිමය ද අයත් ඔබට ය. මන්ද, ස්වර්ගයෙහිත්, පොළොවෙහිත් ඇති සියල්ල ඔබේ ය. සමිඳාණන් වහන්ස, රාජ්‍යයත් ඔබට අයිති ය. ඔබ සියල්ල කෙරෙහි විශිෂ්ට ලෙස උසස් ව සිටින සේක.
12. වස්තුව ද ගෞරවය ද පැමිණෙන්නේ ඔබෙන් ය. ඔබ සියල්ල පාලනය කරන සේක. බලය ද පරාක්‍රමය ද ඔබ අතෙහි ය. සියල්ලන් උසස් කරන්නටත්, ශක්තිමත් කරන්නටත්, බලය තිබෙන්නේ ඔබ අතෙහි ය.
13. එබැවින් අපේ දෙවියන් වහන්ස, අපි ඔබට ස්තුති කරමින් ඔබේ තේජාන්විත නාමය වර්ණනා කරමු.
14. “එහෙත්, මේ ආකාරයෙන් ඔබට මේවා ඔප්පු කිරීමට පොහොසත් වූ මමත්, මාගේ සෙනඟත් කවුරු ද? මන්ද, සියල්ල ම පැමිණෙන්නේ ඔබෙන් ය. ඔබේ ම දෙයින් අපි ඔබට දුනිමු.
15. මන්ද, අපේ සියලු පියවරුන් මෙන් අපි ඔබ ඉදිරියෙහි ආගන්තුකයන් ව හා කලක් නේවාසිකයන් ව සිටිමු. පොළොවේ අපේ ආයු කාලය සෙවණැල්ලක් මෙන් ගෙවී යයි. බලාපොරොත්තුවක් ද අපට නැත්තේ ය.
16. අපේ දෙවි සමිඳාණන් වහන්ස, ඔබේ ශුද්ධ නාමය උදෙසා ඔබට දේව මාලිගාවක් ගොඩනැඟීමට අප විසින් සූදානම් කරන ලද මේ මහත් ද්‍රව්‍ය රාශිය පැමිණෙන්නේ ඔබ අතින් ය. සියල්ල ම ඔබේ ය.
17. මාගේ දෙවියන් වහන්ස, ඔබ සිත සෝදිසි කරන බවත්, අවංකකමට ප්‍රසන්න බවත් දනිමි. මම වනාහි මාගේ සිතේ අවංකකමින් මේ සියල්ල කැමැත්තෙන් ම ඔප්පු කෙළෙමි. දැන් මෙහි සිටින ඔබේ සෙනඟ ද සතුටු සිතින් ඔබට පඬුරු පූජා කරන බව ප්‍රීතියෙන් දිටිමි.
18. අපේ පියවරුන් වූ ආබ්‍රහම්ගේ ද ඊසාක්ගේ ද ඉශ්රායෙල්ගේ ද දෙවි සමිඳාණන් වහන්ස, මේ අදහස් හා කල්පනා ඔබේ සෙනඟගේ සිත්වල සදහට ම පිහිටුවා, ඔවුන්ගේ සිත් ඔබ වෙත ම නමාගත මැනව.
19. ඔබේ ආඥා ද ශික්ෂා ද පණත් ද පිළිපදින්නටත්, මේ සියල්ල ම ඉෂ්ට කරන්නටත්, මා සූදානම් කර තිබෙන මාලිගාව ගොඩනඟන්නටත් මාගේ පුත් සලමොන්ට ස්ථිර සිතක් දුන මැනව.”
20. එවිට දාවිත් මුළු සභාවට කතා කොට, “ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට ප්‍රශංසා කරන්නැ”යි කී ය. මුළු සභාව ද තමන්ගේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේට ප්‍රශංසා කරමින්, හිස නමා සමිඳාණන් වහන්සේටත්, රජුටත් වැන්දෝ ය.
21. ඒ දවසට පසු දා ඉශ්රායෙල්වරු සමිඳාණන් වහන්සේට පූජා ඔප්පු කරමින්, ගොනුන් දහසකුත්, බැටළුවන් දහසකුත්, බැටළු වස්සන් දහසකුත් දවන පූජා කොට ද ඒවා සමඟ පානීය පූජා ද වෙනත් පූජා ද බොහෝ සෙයින් ම සියලු ඉශ්රායෙල්වරුන් උදෙසා සමිඳාණන් වහන්සේට ඔප්පු කළෝ ය.
22. ඔව්හු ඒ දවසේ සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ඉමහත් සන්තෝෂයෙන් ආහාර පාන භුක්ති වින්දාහ. ඉන්පසු දෙ වන වර දාවිත්ගේ පුත් සලමොන් රජකමට පත් කළෝ ය. තවද, ඔව්හු සමිඳාණන් වහන්සේ උදෙසා ඔහු ප්‍රධානාධිපතියා කොට ද ශාදොක් පූජකයා කොට ද ආලේප කළෝ ය.
23. එවිට සලමොන් තමාගේ පිය වූ දාවිත් වෙනුවට රජ ව සමිඳාණන් වහන්සේගේ සිංහාසනයෙහි හිඳ සමෘද්ධිමත් විය. සියලු ඉශ්රායෙල්වරු ඔහුට කීකරු වූ හ.
24. සියලු අධිපතීහු ද බලවන්තයෝ ද දාවිත් රජුගේ සියලු පුත්‍රයෝ ද සලමොන් රජුට පක්ෂපාතී ව සිටින්න පොරොන්දු වූ හ.
25. සමිඳාණන් වහන්සේ ද මුළු ඉශ්රායෙල්වරුන්ගේ ඇස් හමුයෙහි සලමොන් ඉතා උසස් කොට, ඉශ්රායෙල්හි ඔහුට පළමුවෙන් සිටි කිසි රජෙකුට නොතිබුණු පරිද්දෙන් ඔහුට රාජෛශ්වර්යය දුන් සේක.
26. ජෙස්සේගේ පුත් දාවිත් රජු මුළු ඉශ්රායෙල් ජනයා පාලනය කෙළේ ය.
27. ඔහු ඉශ්රායෙල්වරුන් පාලනය කළ කාලය සතළිස් අවුරුද්දකි. ඔහු හෙබ්‍රොන්හි සත් අවුරුද්දක් ද ජෙරුසලමෙහි තිස්තුන් අවුරුද්දක් ද රජකම් කෙළේ ය.
28. ඔහු වයසෙන් ද වස්තුවෙන් ද ගෞරවයෙන් ද පූර්ණ ව දිගායු වළඳා මරණයට පත් විය. ඔහුගේ පුත් සලමොන් ඔහු වෙනුවට රජකම් කෙළේ ය.
29. මුල පටන් අන්තිම දක්වා දාවිත් රජුගේ පුවත් එනම්, ඔහුගේ රාජ්‍ය පාලනය ද බලවන්තකම් ද ඔහුටත්, ඉශ්රායෙල්වරුන්ටත්,
30. දේශවල සියලු රාජ්‍යවලටත් සිදු වූ කාරණා ද යන සියල්ල දිවැසිවර සාමුවෙල්ගේ ද දිවැසිවර නාතාන්ගේ ද දිවැසිවර ගාද්ගේ ද පුරාවෘත්ත ග්‍රන්ථවල ලියා තිබේ.

ගීතාවලිය 78:67-72
67. එතුමාණෝ ජෝසෙප්ගේ පරපුර අත්හළ සේක; එප්‍රායිම්ගේ වංශය තෝරා නොගත් සේක.
68. එහෙත්, එතුමාණෝ ජුදාගේ ගෝත්‍රය තෝරාගත් සේක; සියොන් කන්දට ප්‍රේම කළ සේක.
69. එතුමාණෝ සදහට ම පිහිටෙවු පොළොව මෙන් ස්ථිර ව ද අහස් තලය මෙන් උසස් ව ද සිය ශුද්ධස්ථානය ඉදි කළ සේක.
70. එතුමාණෝ තම සේවක දාවිත් තෝරා ගත් සේක; බැටළු රැළ රැකබලාගැනීමෙන් ඔහු ඉවතට ගත් සේක.
71. සිය උරුමය ද ජාකොබ්ගේ පරපුර ද වන ඉශ්රායෙල්වරුන් පාලනය කිරීම සඳහා එතුමාණෝ බැටළුවන් රැකබලාගැනීමෙන් දාවිත් කැඳවාගත් සේක.
72. දාවිත් අවංක සිත් ඇති ව සෙනඟ රැකබලාගත්තේ ය. මහ දස්කම් දක්වා ඔහු ඔවුන්ට මඟපෙන්වූ සේක.

හිතෝපදේශ 20:6-7
6. සිය පක්ෂපාතකම ගැන පුරසාරම් දොඩන අය බොහෝ ය, එහෙත් සැබෑ විශ්වාසී කෙනෙකු සෙවීම කළුනික සෙවීමකි.
7. සත්ගුණවත් අවංක පියෙකුගේ දරුවෝ භාග්‍යවන්තයෝ ය.

ක්‍රියා 10:24-28
24. ඊට පසුදා ඔව්හු කායිසාරියට පැමිණියහ. කොර්නේලියස් තමාගේ නෑයන් ද හිතමිතුරන් ද කැඳවාගෙන ඔවුන් එන තුරු බලා සිටියේ ය.
25. පේදුරු ගෙට පිවිසුණු විට, කොර්නේලියස් ඔහු ඉදිරියට ගොස් ඔහුගේ පාමුල වැඳ වැටුණේ ය.
26. එහෙත් පේදුරු, “නැඟිටින්න, මමත් මනුෂ්‍යයෙකැ”යි කියා ඔහු එසෙව්වේ ය.
27. පේදුරු ඔහු සමඟ කතා කරමින්, ගේ ඇතුළට ගොස්, බොහෝ දෙනෙකු රැස් ව සිටිනු දැක,
28. ඔවුන් අමතා, “ජුදෙව් මිනිසෙකුට විජාතිකයෙකු හා සමඟ සමාගම් පැවැත්වීමත් ඔහු බලන්නට යාමත් තහනම් බව ඔබ දන්නහු ය. එහෙත් කවර මිනිසෙක් වුව ද පිළිකුල් ය නොහොත් අපවිත්‍ර යයි නොකිය යුතු බව දෙවියන් වහන්සේ මට පෙන්වා දුන් සේක.