A A A A A
අවුරුද්දකින් බයිබලය
ජූනි 21

1 වංශාවලියේ 5:1-26
1. ඉශ්රායෙල්ගේ කුලුඳුලා වූ රූබන්ගේ පුත්‍රයෝ මොවුහු ය. ඔහු කුලුඳුලා ව සිටි නමුත්, තම පියාගේ උපභාර්යාවන් සමඟ සේවනයෙහි යෙදුණු නිසා, ඔහුගේ කුලුඳුල්කම ඉශ්රායෙල්ගේ පුත් ජෝසෙප්ගේ පුත්‍රයන්ට දෙන ලද්දේ ය; කුලුඳුල්කමේ හැටියට පෙළපත ගණන් නොගන්නා ලද්දේ ය.
2. ජුදා වනාහි තමාගේ සහෝදරයන් අතරේ බලවත් වුණේ ය. ඔහුගෙන් අධිපතියා පැවත ආයේ ය. එහෙත්, කුලුඳුල්කම ජෝසෙප්ට අයිති ය.
3. ඉශ්රායෙල්ගේ කුලුඳුලා වූ රූබන්ගේ පුත්‍රයෝ නම්: හනොක්, පල්ලු, හෙශ්රොන් සහ කර්මී ය.
4. ජෝවෙල්ගේ පුත්‍රයෝ නම්: ඔහුගේ පුත්‍රයා ෂෙමායා ය; ඔහුගේ පුත්‍රයා ගොග් ය; ඔහුගේ පුත්‍රයා ෂිමෙයි ය;
5. ඔහුගේ පුත්‍රයා මීකා ය; ඔහුගේ පුත්‍රයා රෙයායා ය; ඔහුගේ පුත්‍රයා බාල් ය;
6. ඔහුගේ පුත්‍රයා බෙයේරා ය; ඔහු අසිරියාවේ රජ වූ තිල්ගත්-පිලෙසෙර් විසින් වහල්කමට ගෙනයනු ලැබුවේ ය. ඔහු රූබන්වරුන්ගේ අධිපතියා ය.
7. තමන්ගේ පරම්පරා ලේඛනයෙහි ලියා තිබෙන තමන්ගේ පවුල් අනුව ඔහුගේ සහෝදරයෝ නම්: ප්‍රධානියා වූ ජෙයීයෙල් සහ ශෙකරියා ය,
8. ජෝවෙල්ගේ පුත්‍ර වූ ෂෙමාගේ පුත්‍රයා වන ආශාශ්ගේ පුත් බෙලා ය. ඔහු අරෝයෙර්හි ද නෙබෝ සහ බාල්-මෙයොන් දක්වා ද වාසය කෙළේ ය.
9. නැගෙනහිරට ඔව්හු යුප්‍රටීස් ගංගාවේ පටන් පාළුකරයට ඇතුළු වන තැන දක්වා වාසය කළෝ ය. මන්ද, ඔවුන්ගේ සිවුපාවෝ ගිලියද් දේශයෙහි බහුල ව සිටියෝ ය.
10. ඔව්හු සාවුල්ගේ දවස්වල දී හග්රීවරුන් සමඟ යුද්ධ කොට ඔවුන් නැතිකර, ගිලියද්ට නැගෙනහිරෙන් තිබෙන දේශය මුළුල්ලෙහි ඔවුන්ගේ කූඩාරම්වල වාසය කළෝ ය.
11. ගාද්ගේ පුත්‍රයෝ ඔවුන්ට ඉදිරිපිටින් බාෂාන් දේශයේ සලෙකා දක්වා වාසය කළෝ ය.
12. ඔව්හු නම්: ප්‍රධානියා වූ ජෝවෙල්, දෙවැනියා වූ ෂාපාම්, ජානයි සහ ෂාපාත් ය. ඔව්හු බාෂාන්හි සිටියෝ ය.
13. තමන්ගේ පිය වංශ ප්‍රකාරයට ඔවුන්ගේ සහෝදරයෝ නම්: මිකායෙල් ද මෙෂුල්ලාම් ද ෂෙබා ද ජෝරයි ද ජාකාන් ද ෂිය ද ඒබෙර් ද යන සත්දෙනා ය.
14. මොවුහු බුශ්ගේ පුත්‍රයා වන ජාඩෝගේ පුත් ජෙෂිෂයිගේ පුත්‍රයා වන මිකායෙල්ගේ පුත් ගිලියද්ගේ පුත්‍රයා වන ජාරොවාගේ පුත් හුරීගේ පුත්‍රයා වන අබිහයිල්ගේ පුත්‍රයෝ ය.
15. ගුනීගේ පුත් අබ්දියෙල්ගේ පුත්‍රයා වන අහී ඔවුන්ගේ පිය වංශවල ප්‍රධානියා ය.
16. ඔව්හු ගිලියද්හි ද බාෂාන්හි ද එහි නුවරවල ද ෂාරොන්හි සියලු තණ බිම්වල ද තමන්ගේ සීමා දක්වා වාසය කළෝ ය.
17. මේ සියල්ලෝ ම ජුදාහි රජ වූ ජෝතාම්ගේ දවස්වල දී ද ඉශ්රායෙල් රජ වූ ජෙරොබෝවම්ගේ දවස්වල දී ද පෙළපත් වශයෙන් ලියවුණෝ ය.
18. රූබන්වරුන්ගෙන් ද ගාද්වරුන්ගෙන් ද මනස්සේගේ අර්ධ ගෝත්‍රයෙන් ද පලිහත්, කඩුවත් පාවිච්චි කරන දුන්නෙන් විදින යුද්ධයට දක්ෂ වික්‍රමාන්විත මනුෂ්‍යයෝ හතළිස්හාරදාස් හත්සිය හැටක් වූවෝ ය. ඔව්හු යුද්ධයට යන්න පුළුවන් අය වෙත්.
19. ඔව්හු හග්රීවරුන් ද ජෙටුර් ද නාපීෂ් ද නෝදාබ් ද සමඟ යුද්ධ කළෝ ය.
20. ඒ අයට විරුද්ධ ව ඔවුන්ට පිහිට ලැබුණු බැවින් හග්රීවරු ද ඔවුන් සමඟ සිටි සියල්ලෝ ද ඔවුන් අතට පාවා දෙන ලද්දෝ ය. මන්ද, සටනේ දී ඔව්හු දෙවියන් වහන්සේට යාච්ඤා කළෝ ය. ඔවුන් උන් වහන්සේ කෙරෙහි විශ්වාස කළ බැවින් උන් වහන්සේ ඔවුන්ට ඇහුම්කන් දුන් සේක.
21. ඔව්හු ඔවුන්ගේ සිව්පාවුන් වන ඔවුන්ගේ ඔටුවන් පණස්දහසක් ද බැටළුවන් දෙලක්ෂ පණස්දහසක් ද කොටළුවන් දෙදහසක් ද මිනිසුන් ලක්ෂයක් ද අල්ලාගෙන ගියෝ ය.
22. යුද්ධය දෙවියන් වහන්සේ කෙරෙන් වූ නිසා බොහෝ දෙනෙක් ම මැරුම්කා වැටුණෝ ය. වහල්කමට ගෙන යාම දක්වා ඔව්හු මොවුන්ගේ දේශයෙහි වාසය කළෝ ය.
23. මනස්සේගේ අර්ධ ගෝත්‍රයේ ජනයා බාෂාන් පටන් බාල්-හෙර්මොන් ද සෙනීර් ද හෙර්මොන් කන්ද ද දක්වා දේශයෙහි වාසය කළෝ ය. ඔව්හු ගණනින් වැඩි වූවෝ ය.
24. ඔවුන්ගේ පිය වංශවල ප්‍රධානියෝ මොවුහු ය: ඒපෙර්, ඉෂී, එලියෙල්, අශ්රියෙල්, ජෙරමියා, හෝදවියා සහ ජාදියෙල් ය. ඔව්හු බලවන්තයන් ව, කීර්තිමත් මනුෂ්‍යයන් ව, තමන්ගේ පිය වංශවල ප්‍රධානියන් ව සිටියෝ ය.
25. එහෙත්, ඔව්හු තමන්ගේ පියවරුන්ගේ දෙවියන් වහන්සේට අවිශ්වාසවන්ත වී උන් වහන්සේ ඔවුන් ඉදිරියෙන් විනාශ කළ රට වැසියන්ගේ දෙවිවරුන් වැළඳ ගත්තෝ ය.
26. ඉශ්රායෙල්වරුන්ගේ දෙවියන් වහන්සේ ද අසිරියාවේ රජ වූ පූල්ගේ සිතත් අසිරියාවේ රජ වූ තිල්ගත්-පිලෙසෙර්ගේ සිතත් පොළඹවා, ඔවුන් එනම්, රූබන්වරුන් ද ගාද්වරුන් ද මනස්සේගේ අර්ධ ගෝත්‍රය ද ගෙන ගොස්, හලාටත්, හාබෝර්ටත්, හාරාටත්, ගෝශාන්හි ගංගාව ළඟටත් පැමිණෙවු සේක. ඔව්හු අද දක්වා එහි සිටිති.

1 වංශාවලියේ 6:1-81
1. ලෙවීගේ පුත්‍රයෝ නම්: ගේර්ෂොම්, කොහාත් සහ මෙරාරී ය.
2. කොහාත්ගේ පුත්‍රයෝ නම්: අම්රාම්, ඉශ්හාර්, හෙබ්‍රොන් සහ උශ්ශියෙල් ය.
3. අම්රාම්ගේ දරුවෝ නම්: ආරොන්, මෝසෙස් සහ මීරියම් ය. ආරොන්ගේ පුත්‍රයෝ නම්: නාදාබ්, අබිහු, එලෙයාසර් සහ ඊතාමාර් ය.
4. එලෙයාසර්ට දාව පිනෙහාස් ද පිනෙහාස්ට දාව අබිෂුවා ද;
5. අබිෂුවාට දාව බුක්කී ද; බුක්කීට දාව උශ්ශි ද
6. උශ්ශිට දාව ශෙරහියා ද ශෙරහියාට දාව මෙරායොත් ද;
7. මෙරායොත්ට දාව අමරියා ද අමරියාට දාව අහිතුබ් ද;
8. අහිතුබ්ට දාව ශාදොක් ද ශාදොක්ට දාව අහීමයාශ් ද;
9. අහීමයාශ්ට දාව අශරියා ද අශරියාට දාව ජොහානාන් ද;
10. ජොහානාන්ට දාව අශරියා ද උපන්නෝ ය. සලමොන් ජෙරුසලමේ ගොඩනැඟුවාවූ මාලිගාවෙහි පූජක තනතුරේ කටයුතු ඉෂ්ට කෙළේ ඔහු ය.
11. අශරියාට දාව අමරියා ද අමරියාට දාව අහීතුබ් ද;
12. අහීතුබ්ට දාව ශාදොක් ද ශාදොක්ට දාව ෂල්ලුම් ද;
13. ෂල්ලුම්ට දාව හිල්කියා ද හිල්කියාට දාව අශරියා ද;
14. අශරියාට දාව සෙරායා ද සෙරායාට දාව ජෙහෝශාදාක් ද උපන්නෝ ය.
15. සමිඳාණන් වහන්සේ නෙබුකද්නෙශර් අතින් ජුදාවරුන් ද ජෙරුසලමේ වැසියන් ද වහල්කමට හරින විට ජෙහෝශාදාක් ද ගියේ ය.
16. ලෙවීගේ පුත්‍රයෝ නම්: ගේර්ෂොම්, කොහාත් සහ මෙරාරී ය.
17. ගේර්ෂොම්ගේ පුත්‍රයන්ගේ නාම නම්: ලිබ්නි සහ ෂිමෙයි ය.
18. කොහාත්ගේ පුත්‍රයෝ නම්: අම්රාම්, ඉශ්හාර්, හෙබ්‍රොන් සහ උශ්ශියෙල් ය.
19. මෙරාරීගේ පුත්‍රයෝ නම්: මාලී සහ මුෂී ය. ලෙවීවරුන්ගේ පවුල් ඔවුන්ගේ පියවරුන්ගේ වංශ ප්‍රකාරයට මෙසේ ය:
20. ගේර්ෂොම්ගේ පුත්‍රයා ලිබ්නි ය; ඔහුගේ පුත්‍රයා ජහත් ය; ඔහුගේ පුත්‍රයා සිම්මා ය;
21. ඔහුගේ පුත්‍රයා ජෝවා ය; ඔහුගේ පුත්‍රයා ඉද්දෝ ය; ඔහුගේ පුත්‍රයා ශෙරා ය; ඔහුගේ පුත්‍රයා ජෙයාතෙරයි ය.
22. කොහාත්ගේ පුත්‍රයා නම්: අම්මිනාදාබ් ය; ඔහුගේ පුත්‍රයා කෝරා ය; ඔහුගේ පුත්‍රයා අස්සීර් ය;
23. ඔහුගේ පුත්‍රයා එල්කානා ය; ඔහුගේ පුත්‍රයා එබියාසාප් ය; ඔහුගේ පුත්‍රයා අස්සීර් ය;
24. ඔහුගේ පුත්‍රයා තහත් ය; ඔහුගේ පුත්‍රයා උරියෙල් ය; ඔහුගේ පුත්‍රයා උශ්ශියා ය; ඔහුගේ පුත්‍රයා ෂාවුල් ය.
25. එල්කානාගේ පුත්‍රයෝ නම්: අමාසයි සහ අහීමොත් ය.
26. ඔහුගේ පුත්‍රයා එල්කානා ය; ඔහුගේ පුත්‍රයා එල්කානා-ශෝපයි ය; ඔහුගේ පුත්‍රයා නහත් ය;
27. ඔහුගේ පුත්‍රයා එලියාබ් ය; ඔහුගේ පුත්‍රයා ජෙරොහාම් ය; ඔහුගේ පුත්‍රයා එල්කානා ය.
28. සාමුවෙල්ගේ පුත්‍රයෝ නම්: කුලුඳුලා වූ ජෝවෙල් සහ දෙවැනියා වූ අබියා ය.
29. මෙරාරීගේ පුත්‍රයා නම්: මාලී ය, ඔහුගේ පුත්‍රයා ලිබ්නි ය; ඔහුගේ පුත්‍රයා ෂිමෙයි ය;
30. ඔහුගේ පුත්‍රයා උශ්ශා ය; ඔහුගේ පුත්‍රයා ෂිමෙයා ය; ඔහුගේ පුත්‍රයා හග්ගියා ය; ඔහුගේ පුත්‍රයා අසායා ය.
31. ගිවිසුම් කරඬුව පිහිටෙවු විට සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙහි ගීතිකා මෙහෙයට දාවිත් විසින් පත් කරනු ලැබුවෝ මොවුහු ය.
32. සලමොන් ජෙරුසලමෙහි සමිඳාණන් වහන්සේගේ මාලිගාව ගොඩනඟන තුරු ඔව්හු සම්මුඛ මණ්ඩපය ඉදිරිපිට ගීතිකා මෙහෙය පවත්වමින් තමන්ගේ පන්ති පරිද්දෙන් තමන්ගේ තනතුරෙහි යෙදී සිටියෝ ය.
33. එසේ සිටි අය සහ ඔවුන්ගේ පුත්‍රයෝ මොවුහු ය: කොහාත් පරපුරෙන් ගායනාකාර හේමන් ය. ඔහු ජෝවෙල්ගේ පුත්‍රයා ය; ඔහු සාමුවෙල්ගේ පුත්‍රයා ය;
34. ඔහු එල්කානාගේ පුත්‍රයා ය; ඔහු ජෙරොහාම්ගේ පුත්‍රයා ය; ඔහු එලියෙල්ගේ පුත්‍රයා ය; ඔහු තෝවාගේ පුත්‍රයා ය;
35. ඔහු ශුප්ගේ පුත්‍රයා ය; ඔහු එල්කානාගේ පුත්‍රයා ය; ඔහු මහත්ගේ පුත්‍රයා ය; ඔහු අමාසයිගේ පුත්‍රයා ය;
36. ඔහු එල්කානාගේ පුත්‍රයා ය; ඔහු ජෝවෙල්ගේ පුත්‍රයා ය; ඔහු අශරියාගේ පුත්‍රයා ය; ඔහු ශෙපනියාගේ පුත්‍රයා ය;
37. ඔහු තාහත්ගේ පුත්‍රයා ය; ඔහු අස්සීර්ගේ පුත්‍රයා ය; ඔහු එබියාසාප්ගේ පුත්‍රයා ය; ඔහු කෝරාගේ පුත්‍රයා ය;
38. ඔහු ඉශ්හාර්ගේ පුත්‍රයා ය; ඔහු කොහාත්ගේ පුත්‍රයා ය; ඔහු ලෙවීගේ පුත්‍රයා ය; ඔහු ඉශ්රායෙල්ගේ පුත්‍රයා ය.
39. ඔහුට දකුණෙන් සිටියේ ඔහුගේ සහෝදර ආසාප් ය. ආසාප් බෙරෙකියාගේ පුත්‍රයා ය; ඔහු ෂිමෙයාගේ පුත්‍රයා ය;
40. ඔහු මිකායෙල්ගේ පුත්‍රයා ය; ඔහු බයසෙයාගේ පුත්‍රයා ය; ඔහු මල්කියාගේ පුත්‍රයා ය;
41. ඔහු එත්නිගේ පුත්‍රයා ය; ඔහු ශෙරාගේ පුත්‍රයා ය; ඔහු අදායාගේ පුත්‍රයා ය;
42. ඔහු ඒතාන්ගේ පුත්‍රයා ය; ඔහු සිම්මාගේ පුත්‍රයා ය; ඔහු ෂීමෙයිගේ පුත්‍රයා ය;
43. ඔහු ජහත්ගේ පුත්‍රයා ය; ඔහු ගේර්ෂොම්ගේ පුත්‍රයා ය; ඔහු ලෙවීගේ පුත්‍රයා ය.
44. ඔවුන්ගේ සහෝදරයන් වන මෙරාරීගේ පුත්‍රයෝ වමෙන් සිටියෝ ය. එනම්: ඒතාන් ය. ඔහු කිෂිගේ පුත්‍රයා ය; ඔහු අබ්දීගේ පුත්‍රයා ය; ඔහු මල්ලූක්ගේ පුත්‍රයා ය;
45. ඔහු හෂබියාගේ පුත්‍රයා ය; ඔහු අමශියාගේ පුත්‍රයා ය; ඔහු හිල්කියාගේ පුත්‍රයා ය;
46. ඔහු අම්ශීගේ පුත්‍රයා ය; ඔහු බානීගේ පුත්‍රයා ය; ඔහු ෂෙමෙර්ගේ පුත්‍රයා ය;
47. ඔහු මාලීගේ පුත්‍රයා ය; ඔහු මුෂීගේ පුත්‍රයා ය; ඔහු මෙරාරීගේ පුත්‍රයා ය; ඔහු ලෙවීගේ පුත්‍රයා ය.
48. ඔවුන්ගේ සහෝදරයන් වූ ලෙවීවරු දෙවියන් වහන්සේගේ මාලිගාව වන මණ්ඩපයේ මුළු මෙහෙයට පත් වී සිටියෝ ය.
49. එහෙත්, ආරොන් ද ඔහුගේ පුත්‍රයෝ ද දෙවියන් වහන්සේගේ මෙහෙකරු වූ මෝසෙස් විසින් අණ කරන ලද සියල්ල ලෙස දවන යාග පූජා පුදන පූජාසනයත්, දුම් පූජාසනයත් පිට ඔප්පු කරන්නට ද අතිශුද්ධස්ථානයේ මුළු මෙහෙය කරන්නට ද ඉශ්රායෙල්වරුන්ගේ පව් උදෙසා සහභාගිවීමේ පූජා ඔප්පු කරන්නට ද නියම වී සිටියෝ ය.
50. ආරොන්ගේ පුත්‍රයෝ මොවුහු ය: ඔහුගේ පුත්‍රයා එලෙයාසර් ය; ඔහුගේ පුත්‍රයා පිනෙහාස් ය; ඔහුගේ පුත්‍රයා අබිෂුවා ය;
51. ඔහුගේ පුත්‍රයා බුක්කී ය; ඔහුගේ පුත්‍රයා උශ්ශි ය; ඔහුගේ පුත්‍රයා ශෙරහියා ය;
52. ඔහුගේ පුත්‍රයා මෙරායොත් ය; ඔහුගේ පුත්‍රයා අමරියා ය; ඔහුගේ පුත්‍රයා අහිතුබ් ය;
53. ඔහුගේ පුත්‍රයා ශාදොක් ය; ඔහුගේ පුත්‍රයා අහීමයාශ් ය.
54. කොහාත්වරුන්ගේ පවුල් අතරෙන් ආරොන්ගේ පුත්‍රයන්ගේ වාසස්ථාන ඔවුන්ගේ සීමා තුළෙහි වූ ඔවුන්ගේ කඳවුරුවල හැටියට මේවා ය. මන්ද, පස ඇටය වැටුණේ ඔවුන්ට ය.
55. ජුදා දේශයෙහි වූ හෙබ්‍රොන් සහ ඒ වටකරින් වූ එහි තණ බිම් ද ඔවුන්ට දෙන ලද්දේ ය.
56. එහෙත්, නුවර කෙත් ද එහි ගම් ද ජෙපුන්නේගේ පුත් කාලෙබ්ට දෙන ලද්දේ ය.
57. ආරක්ෂා නගරයක් වූ හෙබ්‍රොන් ද ලිබ්නා සහ එහි තණ බිම් ද ජත්තීර් ද එෂ්තෙමොව සහ එහි තණ බිම් ද;
58. හිලේන් සහ එහි තණ බිම් ද දෙබීර් සහ එහි තණ බිම් ද;
59. ආෂාන් සහ එහි තණ බිම් ද බෙත්-ෂෙමෙෂ් සහ එහි තණ බිම් ද;
60. බෙන්ජමින් ගෝත්‍රයෙන් ගෙබා සහ එහි තණ බිම් ද අල්ලෙමෙත් සහ එහි තණ බිම් ද අනාතොත් සහ එහි තණ බිම් ද ආරොන්ගේ පුත්‍රයන්ට දෙන ලද්දේ ය. ඔවුන්ගේ මුළු පවුල් ප්‍රකාරයට ඔවුන්ගේ සියලු නගර දහතුනක් ය.
61. කොහාත්ගේ පුත්‍රයන්ට මනස්සේගේ අර්ධ ගෝත්‍රයෙන් ද නගර දහයක් පස ඇට දැමීමෙන් ලැබුණේ ය.
62. ගේර්ෂොම්ගේ පුත්‍රයන්ට තමන්ගේ පවුල් ප්‍රකාරයට ඉස්සාකර් ගෝත්‍රයෙන් ද ආෂෙර් ගෝත්‍රයෙන් ද නප්තලී ගෝත්‍රයෙන් ද බාෂාන්හි සිටි මනස්සේගේ අර්ධ ගෝත්‍රයෙන් ද නගර දහතුනක් ලැබුණේ ය.
63. මෙරාරීගේ පුත්‍රයන්ට ඔවුන්ගේ පවුල් ප්‍රකාරයට රූබන් ගෝත්‍රයෙන් ද ගාද් ගෝත්‍රයෙන් ද සාබුලොන් ගෝත්‍රයෙන් ද නගර දොළොසක් පස ඇට දැමීමෙන් ලැබුණේ ය.
64. ඉශ්රායෙල් පුත්‍රයෝ මේ නගර සහ ඒවායේ තණ බිම් ද ලෙවීවරුන්ට දුන්නෝ ය.
65. ජුදා පුත්‍රයන්ගේ ගෝත්‍රයෙන් ද සිමියොන් පුත්‍රයන්ගේ ගෝත්‍රයෙන් ද බෙන්ජමින් පුත්‍රයන්ගේ ගෝත්‍රයෙන් ද නම් වශයෙන් කියන ලද මේ නගර ඔව්හු පස ඇට දමා දුන්නෝ ය.
66. කොහාත්ගේ පුත්‍රයන්ගේ අනික් පවුල්වලට ඔවුන්ගේ සීමා තුළෙහි වූ නගර එප්‍රායිම්ගේ ගෝත්‍රයෙන් ලැබුණේ ය.
67. මෙසේ එප්‍රායිම් කඳු රටේ තිබෙන ආරක්ෂා නගරයක් වූ ෂෙකෙම් සහ එහි තණ බිම් ද ගෙශෙර් සහ එහි තණ බිම් ද;
68. ජොක්මෙයාම් සහ එහි තණ බිම් ද බෙත්-හෝරොන් සහ එහි තණ බිම් ද;
69. අයාලෝන් සහ එහි තණ බිම් ද; ගැත්-රිම්මෝන් සහ එහි තණ බිම් ද;
70. මනස්සේගේ අර්ධ ගෝත්‍රයෙන් ආනේර් සහ එහි තණ බිම් ද බිලෙයාම් සහ එහි තණ බිම් ද කොහාත් පුත්‍රයන්ගේ අනික් පවුල්වලට දෙන ලද්දේ ය.
71. ගේර්ෂොම්ගේ පුත්‍රයන්ට මනස්සේගේ අර්ධ ගෝත්‍රය යන පවුලෙන් බාෂාන්හි ගෝලාන් සහ එහි තණ බිම් ද අෂ්ටාරොත් සහ එහි තණ බිම් ද;
72. ඉස්සාකර් ගෝත්‍රයෙන් කෙදෙෂ් සහ එහි තණ බිම් ද දාබෙරත් සහ එහි තණ බිම් ද;
73. රාමොත් සහ එහි තණ බිම් ද ආනේම් සහ එහි තණ බිම් ද;
74. ආෂෙර් ගෝත්‍රයෙන් මාෂාල් සහ එහි තණ බිම් ද අබ්දොන් සහ එහි තණ බිම් ද;
75. හුකොක් සහ එහි තණ බිම් ද රෙහොබ් සහ එහි තණ බිම් ද;
76. නප්තලීගේ ගෝත්‍රයෙන් ගලීලයේ කෙදෙෂ් සහ එහි තණ බිම් ද හම්මෝන් සහ එහි තණ බිම් ද කිරියාතයිම් සහ එහි තණ බිම් ද ලැබුණේ ය.
77. මෙරාරීගේ අනික් පුත්‍රයන්ට සාබුලොන් ගෝත්‍රයෙන් රිම්මොන් සහ එහි තණ බිම් ද තාබෝර් සහ එහි තණ බිම් ද;
78. ජෙරිකෝව ළඟ ජොර්දානෙන් එගොඩ ජොර්දානට නැගෙනහිරෙන් රූබන් ගෝත්‍රයෙන් පාළුකරයෙහි තිබෙන බෙශෙර් සහ එහි තණ බිම් ද ජහශා සහ එහි තණ බිම් ද;
79. කෙදෙමොත් සහ එහි තණ බිම් ද මේපයත් සහ එහි තණ බිම් ද;
80. ගාද් ගෝත්‍රයෙන් ගිලියද්හි රාමොත් සහ එහි තණ බිම් ද මහනයිම් සහ එහි තණ බිම් ද
81. හෙෂ්බොන් සහ එහි තණ බිම් ද ජාශර් සහ එහි තණ බිම් ද ලැබුණේ ය.

ගීතාවලිය 77:1-3
1. ආසාප්ගේ ගීතයකි. මම දෙවිඳුන් හට මොරගසමි; එසේ ය, උස් හඬින් දෙවිඳුන් හට මොරගසමි. එතුමාණෝ මට සවන් දෙන සේක.
2. විපත්ති කාලයේ දී මම මාගේ සමිඳුන්ට යදිමි. මුළු රැය ම එතුමන් වෙත දෑත ඔසවා යැදුම් යදිමි. එහෙත්, මට සැනසුම සොයාගත නොහැකි ය.
3. දෙවිඳුන් ගැන සිතමින් මම සුසුම් හෙළන්නෙමි; මා භාවනා කරන විට මම අධෛර්ය වන්නෙමි.

හිතෝපදේශ 19:10-12
10. මෝඩයෙකුට නායකත්වය නොහොබී; අධිපතිකම් කිරීම වහලුන්ට කිසිසේත් නොහොබී.
11. සිහිකල්පනාව ඇත්තා වහා නොකිපෙන සුලු ය; අනුන්ගේ වරද නොතකා හැරීම උදාර ගුණයකි.
12. රජුගේ උදහස සිහ රදෙකුගේ ගර්ජනාව වැනි ය, ඔහුගේ කරුණාව තණ මත පිනි බිඳු වැනි ය.

ක්‍රියා 5:1-21
1. අනනියස් නම් එක්තරා මිනිසෙක්, සපිරා නම් තම භාර්යාව සමඟ ඉඩමක් විකුණා,
2. ඇය දැනුවත් ව මුදලෙන් කොටසක් තබාගෙන, ඉතිරි කොටස ගෙනැවිත් ප්‍රේරිතයන්ගේ පාමුල තැබී ය.
3. එවිට පේදුරු කතා කොට, “අනනියස්, ශුද්ධාත්මයාණන් වහන්සේ රවටා, ඉඩමේ මුදලෙන් කොටසක් තබාගන්නට සාතන් ඔබේ සිත පෙළෙඹෙව්වේ කෙසේ ද?
4. විකුණන්නට පෙර ඉඩම ඔබට ම අයිති ව තිබුණා නොවේ ද? විකුණූ පසු මුදලත් ඔබගේ ම නොවේ ද? එසේ නම්, මේ ක්‍රියාව කිරීමට ඔබේ සිත පෙළඹුණේ කෙසේ ද? ඔබ රැවටුවේ මිනිසුන් නොව, දෙවියන් වහන්සේ ය”යි කී ය.
5. අනනියස් ඒ වචන අසා මැරී වැටුණේ ය. ඒ ඇසූ සියල්ලෝ අතිශයින් බියපත් වූ හ.
6. තරුණයෝ අවුත් මළ මිනිය ඔතා, පිටතට ගෙන ගොස් වැළැලූ හ.
7. පැය තුනකට පමණ පසු, සිදු වූ දේ නොදැන ඔහුගේ බිරිඳ එතැනට පිවිසියා ය.
8. පේදුරු ඇය අමතා, “මට කියන්න, ඔබ ඉඩම විකුණා ලැබූ මුදල මෙපමණ දැ”යි ඇසී ය. “එසේ ය, එපමණ ය”යි ඈ පිළිතුරු දුන්නා ය.
9. එවිට පේදුරු ඇය අමතා, “ස්වාමීන්ගේ ආත්මයාණන් පරීක්ෂා කරන්නට ඔබ දෙපොල එකඟ වූයේ කෙසේ ද? අන්න, ඔබේ පුරුෂයා ගෙන ගොස් වැළැලූ අය දොර ළඟ සිටිති. ඔව්හු ඔබ ද එලෙස ම ගෙන යන්නෝ ය”යි කී ය.
10. ඈ එකෙණෙහි ම පේදුරුගේ පාමුල මැරී වැටුණා ය. තරුණයෝ ඇතුළු වී, ඇය මැරී සිටිනු දැක, පිටතට ගෙන ගොස් පුරුෂයා ළඟ වැළැලූ හ.
11. මුළු සභාව ද එය ඇසූ සියල්ලෝ ද අතිශයින් බියපත් වූ හ.
12. ප්‍රේරිතයන් විසින් ජනයා අතර කරන ලද ලකුණු ද අරුමපුදුම දේ ද බොහෝ විය. ඔව්හු සියලු දෙනා ම එක්සිත් ව සලමොන්ගේ සක්මන් මළුවෙහි රැස් වූ හ.
13. සෙසු අයගෙන් කිසිවෙක් ඔවුන් හා එක් වන්නට තරම් ධෛර්යවත් නො වූ හ. එසේ වුව ද ජනයා ඔවුන් පැසසූ හ.
14. සමිඳාණන් වහන්සේ අදහාගත් අයගේ සංබ්‍යාව තව තවත් වැඩි විය. ඒ මහා ජනකාය ස්ත්‍රී-පුරුෂ දෙපක්ෂයෙන් සමන්විත විය.
15. එබැවින් පේදුරු මඟ යන විට, ඔහුගේ සෙවණැල්ල වත් රෝගීන් මත වැටෙන පිණිස, ඔව්හු ඔවුන් මහ මඟට ගෙනැවිත් යහන්වල ද පැදුරුවල ද තැබූ හ.
16. ජෙරුසලම අවට නුවරවලින්, රෝගාතුරයන් ද දුෂ්ටාත්මයන්ගෙන් පීඩිත වූවන් ද රැගත් ජනකායක් රැස් වූ හ. ඒ සියල්ලෝ ම සුවය ලැබූ හ.
17. එවිට උත්තම පූජකයා සහ ඔහු සමඟ එහි සිටි සද්දුසි පක්ෂයේ අය, ඊර්ෂ්‍යාවෙන් පිරී නැඟී සිට,
18. ප්‍රේරිතයන් අල්ලා පොදු හිරගෙයි දැමූ හ.
19. එහෙත් රාත්‍රියේ දී සමිඳාණන් වහන්සේගේ දුතයෙක් හිරගෙයි දොරවල් ඇර, ඔවුන් පිටතට ගෙන ගොස්, ඔවුන්ට කතා කොට,
20. “යන්න, දේව මාලිගාවේ සිට මේ ජීවන මඟ පිළිබඳ සියලු දේ සෙනඟට ප්‍රකාශ කරන්නැ”යි කී ය.
21. ඔව්හු ඒ අසා අලුයම දේව මාලිගාවට පිවිස ඉගැන්වූ හ. ඒ අතරතුර, උත්තම පූජකයා ද පිරිවර ද පැමිණ, මුළු ඉශ්රායෙල් උත්තර මණ්ඩලය ඇතුළු මන්ත්‍රණ සභාව රැස් කරවා, ප්‍රේරිතයන් ගෙනෙන පිණිස හිරගෙදරට නියෝගයක් යැවූ හ.