A A A A A
අවුරුද්දකින් බයිබලය
ජූනි 18

2 රාජාවලියේ 25:1-30
1. ශෙදෙකියා රජකමට පත් වී නව වන අවුරුද්දේ දහ වන මාසයේ දහ වන දා බබිලෝනියේ රජු වන නෙබුකද්නෙශර් තමාගේ මුළු සේනාව සමඟ ජෙරුසලමට විරුද්ධ ව අවුත් ඊට විරුද්ධ ව කඳවුරු බැඳ, එය වටා බලකොටු ගොඩනැඟුවේ ය.
2. මෙසේ ශෙදෙකියා රජුගේ එකොළොස් වන අවුරුද්ද දක්වා නුවර වටලා තිබිණි.
3. සතර වන මාසයේ නව වන දා දේශයේ සෙනඟට කෑම නැති වන තරමට සාගතය නුවර තුළ බලවත් විය.
4. එකල නුවර සතුරන්ට අසු වී කල්දිවරුන් වටකර සිටිය දී, සියලු යුද්ධ භටයෝ රජ උයන ළඟ පවුරු දෙක අතරේ තිබෙන දොරටුවෙන් රාත්‍රියේ පලා ගියහ. රජ අරබා සමභූමි පාරෙන් පලා ගියේ ය.
5. එහෙත්, කල්දිවරුන්ගේ සේනාව රජු පසුපස්සේ එලවාගෙන ගොස්, ජෙරිකෝවේ සමභූමිවල දී ඔහු කිට්ටු කර ආවෝ ය. ඔහුගේ මුළු සේනාව ද ඔහු වෙතින් විසිර ගියහ.
6. ඔව්හු රජු අල්ලාගෙන රිබ්ලා නුවර සිටි බබිලෝනියේ රජු ළඟට ගෙන ගියහ. එවිට රජ ඔහු ගැන තීන්දුව දුන්නේ ය.
7. ඔව්හු ශෙදෙකියාගේ පුත්‍රයන් ඔහුගේ ඇස් හමුයෙහි මරා, ඔහුගේ ඇස් අන්ධ කොට, ඔහුට විලංගු දමා බබිලෝනියට ගෙන ගියෝ ය.
8. බබිලෝනියේ රජු වන නෙබුකද්නෙශර් රජුගේ දහනව වන අවුරුද්දේ පස් වන මාසයේ සත් වන දා බබිලෝනියේ රජුගේ සේවකයෙකු වූ රැකවලුන්ගේ අධිපති වූ නෙබුසරදාන් ජෙරුසලමට අවුත්,
9. සමිඳාණන් වහන්සේගේ මාලිගාව ද රජගෙය ද ජෙරුසලමේ සියලු ගෙවල් ද ගිනිබත් කෙළේ ය. ලොකු ගෙවල් සියල්ල ම ඔහු ගින්නෙන් දවාදැමී ය.
10. රැකවලුන්ගේ අධිපතියා සමඟ සිටි කල්දිවරුන්ගේ මුළු සේනාව ජෙරුසලමේ පවුරු හාත්පසින් ම බිඳ දැමූ හ.
11. සෙනඟගෙන් නගරයේ ඉතිරි ව සිටි අය ද සැඟවී ගොස් බබිලෝනියේ රජුගේ පක්ෂයට වූ අය ද සමූහයාගෙන් අනික් අය ද රැකවලුන්ගේ අධිපති වූ නෙබුසරදාන් තෙමේ අල්ලාගෙන ගියේ ය.
12. එහෙත්, මිදි වතු වවන්නටත්, ගොවිතැන් කරන්නටත් රැකවලුන්ගේ අධිපතියා දේශයේ ඉතා දිළිඳුන්ගෙන් සමහරෙකු ඉතිරි කොට ගියේ ය.
13. තවද, කල්දිවරු සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙහි තිබූ ලෝකඩ කණු ද මැසි ද එහි තිබූ ලෝකඩ බඳුන් ද කඩාගෙන ඒවායේ ලෝකඩ බබිලෝනියට ගෙන ගියහ.
14. ඇතිලි ද හැඳි ද පහන් කතුරු ද පාත්‍ර ද මෙහෙයට පාවිච්චි කළ ලෝකඩ බඩු සියල්ල ද ඔව්හු ගත්හ.
15. ගිනි කබල් ද තාලි ද රන් බඩුවල රන් ද රිදී බඩුවල රිදී ද රැකවලුන්ගේ අධිපතියා විසින් ගන්නා ලදී.
16. සලමොන් විසින් සමිඳාණන් වහන්සේගේ මාලිගාවට සාදන ලද කුළුණු දෙකත්, ලෝකඩ බඳුනේ මැසිත් යන සියලු බඩුවල ලෝකඩවල බර මනින්නට බැරි තරමට තිබිණි.
17. එක කුළුණේ උස මීටර් අටකි. එහි පිට ලෝකඩ පේකඩයක් විය. පේකඩයේ උස මීටර් එකයි දශම තුනකි. පේකඩය පිට වටකරින් දැල් වැඩක් සහ දෙළුම් ගෙඩිත් තිබිණි. ඒ සියල්ල ලෝකඩින් විය. දෙ වන කුළුණ පිටත් එයාකාර ව දැල් වැඩ තිබිණි.
18. රැකවලුන්ගේ අධිපතියා නායක පූජකයා වූ සෙරායා ද දෙ වන පූජකයා වූ ශෙපතියා ද දොරටු පාලකයන් තුන් දෙනා ද අල්ලාගත්තේ ය.
19. ඔහු යුද්ධ භටයන්ගේ අධිපතියෙකු වූ ඇමතියෙකු ද රජු ඉදිරියෙහි සිටි මනුෂ්‍යයන්ගෙන් නුවර සිටි පස්දෙනෙකු ද දේශයේ සෙනඟ යුද්ධයට රැස්කළ සේනාපතියාගේ ලේකම් ද නුවර සිටි සම්භාවනීය අය හැටදෙනෙකු ද අල්ලාගත්තේ ය.
20. එවිට රැකවලුන්ගේ අධිපතියා වූ නෙබුසරදාන් ඔවුන් බබිලෝනියේ රජු වෙත රිබ්ලා නගරයට ගෙන ගියේ ය.
21. බබිලෝනියේ රජ හමාත් රටේ රිබ්ලාහි දී ඔවුන්ට පහර දී ඔවුන් මරාදැමී ය. මෙසේ ජුදාවරු තමන්ගේ ප්‍රවේණි භූමියෙන් විප්‍රවාසයට ගෙන යන ලදහ.
22. ඔහු ජුදා දේශයෙහි ඉතිරි ව සිටි, බබිලෝනියේ රජ වූ නෙබුකද්නෙශර් ඉතිරි කර ගිය සෙනඟගේ අධිපතියා කොට ෂාපාන්ගේ පුත්‍රයා වන අහිකාම්ගේ පුත් ගෙදලියා පත් කෙළේ ය.
23. බබිලෝනියේ රජු ගෙදලියා ආණ්ඩුකාරයා කොට පත් කළ බව සේනාවල සියලු අධිපතීන් ද ඔවුන්ගේ මිනිසුන් ද ඇසූ විට ඔව්හු එනම්, නෙතනියාගේ පුත් ඉෂ්මායෙල් ද කාරියාගේ පුත් ජෝහානාන් ද නෙටොපාතිය තන්හුමෙත්ගේ පුත් සෙරායා ද මයකාති-යයාගේ පුත් ජාශනියා ද ඔවුන්ගේ මිනිසුන් ද මිශ්පා නගරයෙහි සිටි ගෙදලියා වෙත ආ හ.
24. ගෙදලියා ඔවුන්ටත්, ඔවුන්ගේ මිනිසුන්ටත් දිවුරුම් දී කතා කොට, “කල්දිවරුන්ගේ සේවකයන්ට බිය නොවී දේශයෙහි වාසය කොට බබිලෝනියේ රජුට සේවය කරන්න. එවිට ඔබට ශුභසිද්ධ වන්නේ ය”යි කී ය.
25. එහෙත්, සත් වන මාසයේ දී රාජ වංශයේ එලිෂාමාගේ පුත්‍රයා වන නෙතනියාගේ පුත් ඉෂ්මායෙල් මනුෂ්‍යයන් දසදෙනෙකුත් සමඟ අවුත් ගෙදලියාටත්, මිශ්පාහි ඔහු සමඟ සිටි ජුදෙව්වරුන්ටත්, කල්දිවරුන්ටත් පහර දී මරාදැමී ය.
26. එවිට ලොකු කුඩා සියලු දෙනා ද සේනාවන්ගේ අධිපතීහු ද කල්දිවරුන්ට බිය වී මිසරයට පලා ගියෝ ය.
27. ජුදාහි රජ වූ ජෙහෝයාකින් බබිලෝනියට ගෙනයනු ලැබ, තිස්හත් වන අවුරුද්දේ දොළොස් වන මාසයේ විසිහත් වන දා බබිලෝනියේ රජ වූ එවිල්මෙරොදක් තමා රජකමට පත් වූ අවුරුද්දේ දී ජුදාහි ජෙහෝයාකින්ට සමාව දී, හිරගෙයින් ඔහු නිදහස් කර,
28. ඔහුට කරුණාව පෙන්වා, බබිලෝනියෙහි ඔහු සමඟ සිටි රජුන්ගේ රාජ බලයට වඩා උසස් රාජ බලයක් ඔහුට දුන්නේ ය.
29. ඔහුගේ හිරඇඳුම් ද මාරු කෙළේ ය. තවද, ඔහු තමාගේ ජීවිතයේ ඉතිරි කාලයේ නිතර ම රජු ඉදිරියෙහි ආහාර වැළඳුවේ ය.
30. ඔහුගේ ආහාර කොටස ද නියම ලෙස දවස්පතා ම ඔහුගේ මුළු ජීවිත කාලය තුළ ම රජු වෙතින් ඔහුට දෙන ලද්දේ ය.

ගීතාවලිය 75:1-10
1. ආසාප්ගේ කාව්‍යයකි. ගීතයකි. දෙවිඳුනි, අපි ඔබට තුති කරමු; ඔබේ ප්‍රබල ක්‍රියා ප්‍රකාශ කරමු; ඔබේ නාමයට අයැද තුති කරමු.
2. දෙවි තුමාණෝ මෙසේ වදාරන සේක: “විනිශ්චය කරන කාලය මා නියමකර ඇත. එවිට මම යුක්තිසහගත ව විනිශ්චය කරන්නෙමි.
3. පොළොවත්, එහි සියලු වැසියෝත් කම්පා වන්නෝ ය. එසේ වුවත්, පොළොවේ කණු සවිමත් ව තබන්නේ මම ය.”
4. මම මෙසේ කියමි: “පාරට්ටු කරන්නෙනි, පාරට්ටු නවතාලන්න; දුදනෙනි, අහංකාරකමින් උදම් නොවන්න;
5. මහෝත්තමයාණන්ට විරුද්ධ ව අහංකාර නොවන්න; මැවුම්කරුන් හට විරුද්ධ ව උඩඟුවෙන් කතා නොකරන්න.
6. පෙර අපර දෙදිගින් හෝ උතුරු දකුණු දෙදිගින් හෝ විනිශ්චය නොවන්නේ ය, එය නොඑන්නේ ය.
7. එහෙත්, විනිශ්චය පැමිණෙන්නේ දෙවිඳුන්ගෙන් ය. කෙනෙකු පහතට හෙළන්නේ ද කෙනෙකු ඉහළට ඔසවන්නේ ද උන් වහන්සේ ම ය.
8. සමිඳුන් අතෙහි කුසලානකි; කෝපයෙන් පැසුණු මිදි රසින් එය පිරී ඇත. එතුමාණෝ එයින් බිඳක් වත්කරන සේක. මිහි පිට දුදනෝ එහි අන්තිම බිඳ දක්වා ම බොන්නෝ ය.
9. මම සදහට ම ජාකොබ්ගේ දෙවිඳුන් පසසන්නෙමි; එතුමන් හට සදහට ම ගී ගයන්නෙමි.
10. දුදනන්ගේ ඔද මම බිඳ ලන්නෙමි. එහෙත්, සුදනන්ගේ බලය ඔසවනු ලබන්නේ ය.”

හිතෝපදේශ 19:4-5
4. සම්පත් ඇති තැන මිතුරෝත් බහුල ය; දුප්පතාට ඇති මිතුරාත් නැති වී යයි.
5. බොරු සාක්කි කියන්නාට දඬුවම් නියත ය; මුසාවාද දෙසන්නාට නිදහස් වීමක් නැත.

ක්‍රියා 3:1-26
1. දිනක් පේදුරු සහ ජොහන් යාච්ඤා වේලාව වූ සවස තුනට දේව මාලිගයට ගියහ.
2. උපන් දා පටන් කොර ව සිටි එක්තරා මිනිසෙක් විය. දේව මාලිගාවට ඇතුළු වන්නන්ගෙන් සිඟමන් ඉල්ලන පිණිස, දේව මාලිගාවේ ‘සුදර්ශන’ නම් ලත් දොරටුව ළඟ දිනපතා ඔහු තබන ලදී.
3. ඔහු පේදුරු සහ ජොහන් දේව මාලිගාවට ඇතුළුවන්නට යන බව දැක සිඟමන් ඉල්ලී ය.
4. පේදුරු ජොහන් සමඟ ඔහු දෙස නෙත් යොමා, “අප දෙස බලන්නැ”යි කී ය.
5. ඔහු ද ඔවුන්ගෙන් යමක් ලබන බලාපොරොත්තුවෙන් ඔවුන් දෙස ඕනෑකමින් බැලී ය.
6. එවිට පේදුරු, “රන් වත් රිදී වත් මට නැත. එහෙත් මට ඇති දේ ඔබට දෙමි; නාසරෙත්හි ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ නාමයෙන් ඇවිදින්නැ”යි කී ය.
7. එසේ කියා පේදුරු තුමා ඔහුගේ දකුණත අල්ලා ඔහු නැඟිටුවාලී ය. එකෙණෙහි ම ඔහුගේ පාද සහ වළලුකර ශක්ති සම්පන්න විය.
8. ඔහු උඩ පැන කෙළින් සිට ඇවිදින්නට විය. තවද, ඇවිදිමින් ද, උඩ පනිමින් ද, දෙවියන් වහන්සේට ප්‍රශංසා කරමින් ද ඔහු ඔවුන් සමඟ දේව මාලිගාවට ඇතුළු විය.
9. ඔහු ඇවිදිනවාත්, දෙවියන් වහන්සේට ප්‍රශංසා කරනවාත් සියලු දෙනා දුටුවෝ ය.
10. දේව මාලිගාවේ ‘සුදර්ශන’ දොරටුව ළඟ හිඳගෙන සිඟමන් ඉල්ලුවේ මේ මිනිසා බව හඳුනා ගත් ඔව්හු ඔහුට සිදුවූ දේ ගැන පුදුමයෙන් පුදුමයට පත් වූ හ.
11. පේදුරු සහ ජොහන් ඔහුගේ අතින් අල්ලාගෙන සලමොන්ගේ සක්මන් මළුවෙහි සිටිනු දුටු සමූහයා අතිශයින් පුදුම වී ඔවුන් වෙතට දිවූ හ.
12. පේදුරු ඒ සෙනඟට මෙසේ කී ය: “ඉශ්රායෙල් ජනයිනි, මේ ගැන ඔබ පුදුම වන්නේ කුමක්නිසා ද? අපේ ම බලයෙන් වත් යහපත්කමින් වත් අප මේ මිනිසා ඇවිදින්නට සැලසුවාක් මෙන් අප දෙස නෙත් යොමා මවිතයෙන් බලන්නේ මන් ද?
13. ආබ්‍රහම්ගේ ද ඊසාක්ගේ ද ජාකොබ්ගේ ද දෙවි වූ අපගේ පියවරුන්ගේ දෙවියන් වහන්සේ තමන් සේවකයා වූ ජේසුස් වහන්සේ මහිමයට පැමිණ වූ සේක. එහෙත් ඔබ උන් වහන්සේ නඩු ශාලාවට පැමිණෙව්වහු ය. තවද පිලාත් උන් වහන්සේ නිදහස් කරන්නට තීරණය කරගෙන සිටි විට ඔහු ඉදිරියේ ම ඔබ උන් වහන්සේ ප්‍රතික්ෂේප කළහු ය.
14. ඔබ සුවිශුද්ධ වූ ධර්මිෂ්ඨ වූ තැනැන් වහන්සේ ප්‍රතික්ෂේප කර ඒ වෙනුවට මිනීමරුවෙකු මුදා දෙන මෙන් ඉල්ලා සිටියහු ය.
15. මෙසේ ඔබ ජීවනේශ්වරයාණන් මරණයට පත් කළහු ය. එහෙත් දෙවියන් වහන්සේ උන් වහන්සේ මරණයෙන් උත්ථාන කර වදාළ සේක. අපි ඊට සාක්ෂිකාරයෝ වම්හ.
16. දැන් ඔබ ඉදිරියේ සිටින ඔබ හඳුනන මේ මිනිසා සම්පූර්ණ සුවය ලැබුවේ උන් වහන්සේගේ නාමයෙන් හා ඒ නාමය කෙරෙහි ඇති ඇදහිල්ල කරණකොටගෙන ය.
17. “දැන් ඉතින් සහෝදරවරුනි, ඔබගේ ප්‍රධානීන් මෙන් ම, ඔබ ද, නොදැනුම්කමින් ක්‍රියා කළ බව මම දනිමි.
18. එසේ වුවත්, ස්වකීය ක්‍රිස්තුන් වහන්සේ දුක් විඳිය යුතු යයි දෙවියන් වහන්සේ සියලු දිවැසිවරයන්ගේ මුවින් පෙර දන්වා වදාළ දේ, මෙසේ සම්පූර්ණ කළ සේක.
19. එබැවින්, ඔබේ පව් මකාලන පිණිස ද දෙවියන් වහන්සේ කෙරෙන් නව ජීවන යුගයක් පැමිණෙන පිණිස ද
20. ඔබ උදෙසා පෙර නියම කරන ලද ක්‍රිස්තුන් නම් ජේසුස් වහන්සේ එවා වදාරන පිණිස ද පසුතැවී සිත් හරවා ගෙන දෙවියන් වහන්සේ වෙතට හැරෙන්න.
21. ආදි යුගවල සිට දෙවියන් වහන්සේ ස්වකීය ශුද්ධ දිවැසිවරයන්ගේ මුවින් දැන්වූ, මුළු ලොවට නව ජීවනය දීමේ කාලය පැමිණෙන තුරු උන් වහන්සේ ස්වර්ගයේ වැඩ විසිය යුතු ය.
22. මන්ද, ‘ඔබගේ දෙවි ස්වාමීන් වහන්සේ මා එවා වදාළාක් මෙන් ඔබේ සහෝදරයන් අතුරෙන් ම දිවැසිවරයෙකු ඔබ හට එවා වදාරන සේක. ඔහු ඔබට වදාරන සියල්ලට ඔබ සවන් දිය යුතු ය.
23. ඒ දිවැසිවරයාට සවන් නොදෙන හැම කෙනෙක් ම සෙනඟ අතරෙන් සහමුලින් ම විනාශ කරනු ලැබෙති’යි මෝසෙස් කී ය.
24. තවද, සාමුවෙල් පටන් පහළ වූ සියලු දිවැසිවරු ද එසේ ම පැවසූ හ; මේ දවස් ගැනත් නිවේදනය කළහ.
25. ඔබ වනාහි දිවැසිවරුන්ගේ ද ‘ඔබේ වංශය කරණකොටගෙන මිහි පිට සියලු පවුල් ආශීර්වාද කරනු ලබන්නේ ය’යි දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට වදාරමින් ඔබේ පියවරුන් සමඟ කළ ගිවිසුමේ ද පුත්‍රයෝ වන්නහු ය.
26. දෙවියන් වහන්සේ ස්වකීය සේවකයාණන් උත්ථාන කොට, පළමුවෙන් ම උන් වහන්සේ එවා වදාළේ ඔබ වෙතට ය. එසේ කෙළේ ඔබ හැම කෙනෙකු ම තම තමාගේ අදමිටුකම්වලින් හරවා ආශීර්වාද කරනු පිණිස ය.”