A A A A A
අවුරුද්දකින් බයිබලය
මැයි 8

1 සාමුවෙල් 18:1-30
1. දාවිත් සාවුල්ට කතා කොට නිම වූ කල ජොනතන්ගේ සිත දාවිත් දෙසට තදින් ඇදී ගොස්, ජොනතන් සිය පණට මෙන් දාවිත්ට ප්‍රේම කෙළේ ය.
2. ඒ දවසේ පටන් සාවුල්, දාවිත් තමා සමඟ නවතාගෙන ඔහුගේ පියාගේ ගෙදරට යන්නට ඔහුට ඉඩ නුදුන්නේ ය.
3. ජොනතන් සිය පණට මෙන් දාවිත්ට ප්‍රේම කළ බැවින් ඔහු සහ දාවිත් ගිවිසුමක් කරගත්හ.
4. ජොනතන් තමාගේ සළුව ගලවා ඒ සමඟ ඔහුගේ කඩුවත්, දුන්නත්, ඉඟපටියත් ඇතුළු ව තමාගේ යුද්ධ ඇඳුම ද දාවිත්ට දුන්නේ ය.
5. සාවුල් විසින් දාවිත් යවනු ලැබූ හැම කාර්යයක දී ම ඔහු ජයගත්තේ ය. සාවුල් ඔහු හේවායන් කෙරෙහි ප්‍රධානියා කෙළේ ය. මුළු සෙනඟ ද සාවුල්ගේ සේවකයෝ ද ඊට ප්‍රසන්න වූ හ.
6. දාවිත් පිලිස්තියයා මරා පෙරළා එන විට, ඉශ්රායෙල්හි සියලු නගරවලින් කාන්තාවෝ නික්ම ගායනා කරමින් ද නටමින් ද රබන් ගසමින් ද ප්‍රීති හඬ නඟමින් ද අත්තාලම් ගසමින් ද සාවුල් රජු හමු වීමට ආහ.
7. කාන්තාවෝ නට නටා ගී ගයමින්, “මැරී සාවුල් දහස් ගණනක්, මැරී දාවිත් දස දහස් ගණනක් ය”යි කී හ.
8. සාවුල් මේ කීමට අප්‍රසන්න ව ඉතා කෝප වී, “ ‘දාවිත් දස දහස් ගණන් මැරුවේ ය’යි ඔව්හු කියති; ‘සාවුල් දහස් ගණන් පමණක් මැරුවේ ය’යි කියති. දැන් ඔහුට ලැබෙන්නට ඉතිරි ව ඇත්තේ රජකම පමණකැ”යි කීවේ ය.
9. එදා පටන් සාවුල් දාවිත් දෙස බැලුවේ ඊර්ෂ්‍යා සහගත ඇසිණි.
10. පසු දා දෙවියන් වහන්සේගෙන් දුෂ්ටාත්මයක් සාවුල්ට ආවේශ විය. ඔහු නිවෙස ඇතුළේ පිස්සෙකු මෙන් දෙඩෙවුවේ ය. දාවිත් පෙර ලෙස වීණාව වාදනය කරන විට සාවුල්ගේ අතේ හෙල්ලයක් තිබිණි.
11. “මම දාවිත් බිත්තියට ම ඇණ තබමි”යි සිතා ඔහු හෙල්ලය දාවිත් දෙසට දෙවරක් විසි කෙළේ ය. දාවිත් අහකට පැන බේරුණේ ය.
12. සමිඳාණන් වහන්සේ දාවිත් සමඟ වැඩ සිටි නිසාත්, සාවුල්ගෙන් පහ ව වැඩිය නිසාත් සාවුල් දාවිත්ට බිය විය.
13. ඒ නිසා සාවුල් තමා වෙතින් දාවිත් අහක් කොට, ඔහු සහශ්‍රාධිපතියෙකු කෙළේ ය. දාවිත් මූලිකත්වය දරා සෙනඟ කැටුව සටනට ගියේ ය.
14. සමිඳාණන් වහන්සේ ඔහු සමඟ වැඩ සිටි නිසා ඔහු කළ හැම දේ සාර්ථක විය.
15. දාවිත් ජයගන්න බව සාවුල් දැක වඩ වඩා ඔහුට බිය විය.
16. එහෙත්, මුළු ඉශ්රායෙල් ජනයා ද ජුදා වැසියෝ ද දාවිත් ජයග්‍රාහී මූලිකයෙකු වූ බැවින් ඔහුට ප්‍රේම කළහ.
17. සාවුල් දාවිත්ට කතා කොට, “මෙන්න, මාගේ වැඩිමහල් දුව වන මේරබ් ඔබට භාර්යාව කොට දෙන්නෙමි. ඔබ මා උදෙසා වික්‍රමාන්විත ව සමිඳාණන් වහන්සේගේ යුද්ධවල සටන් කරන්නැ”යි කීවේ ය. සාවුල් එසේ කීවේ, ‘දාවිත් ඔහුගේ අතින් නොව පිලිස්තිවරුන්ගේ අතින් මරනු ලැබිය යුතු ය’යි අදහස් කළ බැවිනි.
18. දාවිත් සාවුල්ට පිළිතුරු දෙමින්, “රජතුමාණන්ට බෑණා වන්නට මම කවරෙක් ද? ඉශ්රායෙල්හි සිටින මාගේ පියාගේ වංශයටත්, මාගේ ඥාතීන්ටත් ඇති වැදගත්කම කුමක් දැ”යි ඇසුවේ ය.
19. එහෙත්, සාවුල්ගේ දුව වන මේරබ් දාවිත්ට පාවා දෙන්නට නිසි කාලය පැමිණි විට, ඈ මෙහොලාතියේ වැසියෙකු වන අද්‍රියෙල්ට භාර්යාව කොට දෙන ලද්දී ය.
20. ඒ අතරතුරේ දී සාවුල්ගේ දුව මීකල් දාවිත්ට ආදරේ වූවා ය. ඒ බව සාවුල්ට දන්වන ලද්දේ ය. සාවුල් ඒ ගැන ප්‍රීති විය.
21. එවිට සාවුල්, “මම මීකල් දාවිත්ට දෙන්නෙමි. ඈ උගුලක් අටවා පිලිස්තිවරුන් ලවා ඔහු මරවනු ඇතැ”යි අදහස් කරගෙන, දෙ වන වතාවටත් දාවිත්ට කතා කොට, “ඔබ අද මාගේ බෑණා වන්නට ඕනෑ ය”යි කීවේ ය.
22. සාවුල් තමාගේ සේවකයන්ට අණ කරමින්, “දාවිත් සමඟ රහසින් කතා කොට, රජ්ජුරුවෝ ඔබ කෙරෙහි ප්‍රිය මනාප ය. එතුමන්ගේ සියලු සේවකයෝ ද ඔබට කැමැති ය; එබැවින් රජ්ජුරුවන්ගේ බෑණා වන්න කියා කියන්නැ”යි කී ය.
23. සාවුල්ගේ සේවකයෝ එපවත් දාවිත්ට සැළ කළහ. දාවිත් පිළිතුරු දෙමින්, “මම නම් වැදගැම්මක් නැති දිළිඳු කෙනෙක්මි. ඉතින් රජ්ජුරුවන්ගේ බෑණා වීම සුළුපටු දෙයක් නොවන බව ඔබට පෙනෙනු ඇතැ”යි කීවේ ය.
24. සාවුල්ගේ සේවකයෝ දාවිත් කී දේ ඔහුට දැන්නූ හ.
25. එවිට සාවුල් සේවකයන්ට අණ කරමින්, “රජ්ජුරුවන්ගේ සතුරන්ගෙන් පළිගන්න පිණිස පිලිස්තිවරුන් සිය දෙනෙකුගේ චර්මාග්‍ර මිස රජ්ජුරුවන්ට අන් කිසි දායාදයක් වුවමනා නැත කියා දාවිත්ට කියන්නැ”යි කී ය. සාවුල් පිලිස්තිවරුන්ගේ අතින් දාවිත් මරවන්නට අදහස් කෙළේ මේ අයුරින් ය.
26. ඔහුගේ සේවකයන් මේ බව දාවිත්ට දැන්වූ කල දාවිත්, සාවුල් රජුගේ බෑණා වන්නට සතුටු විය. නියමිත කාලය ගත වන්නට පෙර,
27. දාවිත් ඔහුගේ සෙනඟ සමඟ නික්ම ගොස්, පිලිස්තිවරුන්ගෙන් මිනිසුන් දෙසියයක් මැරී ය. දාවිත් ඔවුන්ගේ චර්මාග්‍ර ගෙන ගොස්, ඔහු රජුගේ බෑණා වීමේ අයිතිය ලබන පිණිස ඒවා රජු ඉදිරියෙහි ගණන් කොට තැබුවේ ය. එවිට සාවුල් තමාගේ දුව මීකල් ඔහුට භාර්යාව කොට පාවා දුන්නේ ය.
28. සමිඳාණන් වහන්සේ දාවිත් සමඟ සිටින බවත්, මුළු ඉශ්රායෙල් ජනයා ඔහුට ප්‍රිය බවත් සාවුල්ට හැඟී ගියේ ය.
29. ඒ නිසා සාවුල් වඩ වඩාත් දාවිත්ට භය වුණේ ය. සාවුල් ජීවිතාන්තය දක්වා ම දාවිත්ට වෛර කෙළේ ය.
30. පිලිස්තිවරුන්ගේ අධිපතීහු වරින් වර සටනට පැමිණියහ. ඔවුන් පැමිණි සෑම අවස්ථාවක දී ම දාවිත් සාවුල්ගේ සියලු සේවකයන්ට වඩා උසස් ලෙස ජය ගත්තේ ය. ඒ නිසා ඔහු ඉතා කීර්තිමත් කෙනෙක් විය.

1 සාමුවෙල් 19:1-24
1. දාවිත් මරන ලෙස සාවුල් තම පුත් ජොනතන්ටත්, තමාගේ සියලු සේවකයන්ටත් කීවේ ය. එහෙත්, සාවුල්ගේ පුත් ජොනතන් දාවිත්ට බොහෝ සේ ප්‍රේම කෙළේ ය.
2. ඔහු දාවිත්ට කතා කොට, “මාගේ පියා වන සාවුල් ඔබ මරන්නට සොයන්නේ ය. ඒ නිසා හෙට උදේ ප්‍රවේසම් වී රහසේ සැඟවී සිටින්න.
3. ඔබ සිටින කෙතෙහි මාගේ පියා ළඟට පැමිණ ඔබ ගැන මාගේ පියා සමඟ කතා කරන්නෙමි. ඔබට දන්වන්න යම් කරුණක් ඇත්නම් මම ඔබට දන්වන්නෙමි”යි දාවිත්ට කීවේ ය.
4. ජොනතන් තම පිය සාවුල්ට දාවිත්ගේ ගුණ වර්ණනා කරමින් මෙසේ කී ය: “පිය රජතුමෙනි, ඔබේ සේවකයා වන දාවිත්ට විරුද්ධ ව පව් නොකරන්න. මන්ද, ඔහු ඔබට විරුද්ධ ව පව් කෙළේ නැත. ඇරත් ඔහු කළ හැම ක්‍රියාවක් ම ඔබට ඉතා ප්‍රයෝජනවත් විය.
5. ඔහු සිය දිවිත් නොතකා ගොස් අර පිලිස්තියයා මැරුවේ ය. එයින් සමිඳාණන් වහන්සේ සියලු ඉශ්රායෙල්වරුන්ට විශිෂ්ට ජයග්‍රහණයක් අත් කර දුන් සේක. ඔබ එය දැක ප්‍රීති වූයෙහි ය. එබැවින් නිකරුණේ දාවිත් මරා නිදොස් ලේ වැගිරීමෙන් ඔබ පව් කරන්නට හදන්නේ මන් ද?”
6. සාවුල් ජොනතන්ගේ බසට ඇහුම්කන් දී, ඔහු දාවිත් නොමරන බව සමිඳාණන් වහන්සේගේ නාමයෙන් දිවුරා කීවේ ය.
7. ජොනතන් දාවිත්ට අඬගසා ඒ සියල්ල ඔහුට දන්වා, සාවුල් ළඟට ඔහු කැඳවාගෙන ගියේ ය. දාවිත් ද පෙර ලෙස සාවුල් ඉදිරියෙහි සේවය කෙළේ ය.
8. නැවතත් යුද්ධයක් ඇති විය. දාවිත් පිටත් ව ගොස් පිලිස්තිවරුන්ට විරුද්ධ ව යුද්ධ කොට ඔවුන් අතරේ මහා විනාශයක් කෙළේ ය. ඔව්හු ද ඔහු ඉදිරියෙන් පලා ගියහ.
9. දිනක් සාවුල් තමාගේ හෙල්ලය අතේ තබාගෙන නිවෙසේ හිඳින අතර සමිඳාණන් වහන්සේ එවූ දුෂ්ටාත්මයක් ඔහුට ආවේශ විය. දාවිත් තමාගේ වීණාව වාදනය කරමින් සිටියේ ය.
10. දාවිත් බිත්තියට ඇණ තබන අදහසින් සාවුල් හෙල්ලයෙන් දාවිත්ට අනින්නට උත්සාහ කෙළේ ය. එහෙත්, දාවිත් සාවුල් ඉදිරියෙන් අහකට පැන්නේ ය; හෙල්ලය බිත්තියට වැදුණේ ය. දාවිත් පලා ගොස් පණ බේරාගත්තේ ය.
11. එදා රෑ සාවුල්, දාවිත්ගේ නිවෙස මුර තියා පසු දින උදේ ඔහු මරන පිණිස සේවකයන් සමහර දෙනෙකු යැවී ය. මීකල් ඒ ගැන දාවිත්ට දන්වමින්, “අද රාත්‍රියේ ඔබේ පණ බේරා නොගත්තොත්, හෙට ඔබ මරනු ලබනු ඇතැ”යි ඔහුට කීවා ය.
12. මීකල් ද දාවිත් කවුළුවෙන් පහළට බැස්සුවා ය. එවිට ඔහු ද පලා ගොස් ගැළවුණේ ය.
13. මීකල් තෙරපීම් රූපය රැගෙන ඇඳේ තබා, ඒකේ හිසට එළු ලොම් කොට්ටයක් තබා, එය රෙදිවලින් වැසුවා ය.
14. දාවිත් අල්ලාගෙන යන්නට සාවුල් එවූ සේවකයන් පැමිණි කල, “ඔහු ලෙඩින් ය”යි ඈ කීවා ය.
15. ඔවුන්ගේ ඇසින් දාවිත් බලන පිණිස සාවුල් නැවතත් සේවකයන් යවා, ඔහු මරා දැමීම පිණිස, “ඇඳ පිටින් ඔහු මා වෙත ගෙනෙන්නැ”යි කීවේ ය.
16. ඒ සේවකයෝ ගේ ඇතුළට ගිය කල, හිසට තබා තිබුණ එළු ලොම් කොට්ටය සමඟ තෙරපීම් රූපය ඇඳේ තිබෙන බව දුටුහ.
17. සාවුල් මීකල්ට කතා කොට, “ඔබ මෙසේ මා රවටා, මාගේ සතුරාට ගැළවී යන්නට ඉඩ හැරියේ මන්දැ”යි ඇසී ය. මීකල් උත්තර දෙමින්, “ ‘ඔබ මට බේරී යන්නට උදව් නොකළොත් මම ඔබ මරන්නෙමි’යි ඔහු මට කී නිසා ය”යි කීවා ය.
18. දාවිත් ගැළවී පලා ගොස් රාමාහි සිටි සාමුවෙල් වෙත පැමිණ, සාවුල් තමාට කළ සියල්ල දැන්නුවේ ය. එවිට දාවිත් සහ සාමුවෙල් නායොත්ට ගොස් එහි විසූ හ.
19. “දාවිත් රාමායේ නායොත්හි සිටින්නේ ය”යි සාවුල්ට දන්වන ලද්දේ ය.
20. දාවිත් අල්ලාගෙන එන පිණිස සාවුල් මිනිසුන් යැවී ය. ඔවුන් එහි පැමිණි කල්හි, දිවැස් වැකි පවසමින් සිටි දිවැසිවරුන් මණ්ඩලය ද සාමුවෙල් ඔවුන්ගේ මූලිකයා ව ද සිටින බව දුටු විට, දෙවියන් වහන්සේගේ ආත්මානුභාවය සාවුල් එවූ මිනිසුන් කෙරෙහි පැමුණුණේ ය. ඔව්හු ද දිවැස් වැකි පැවසුවෝ ය.
21. ඒ බව සාවුල්ට දැන්වූ කල, ඔහු වෙන සේවකයන් යැවී ය. ඔව්හු ද දිවැස් වැකි පැවසූ හ. සාවුල් නැවතත් තුන් වන වර සේවකයන් යැවී ය; ඔව්හු ද දිවැස් වැකි පැවසූ හ.
22. එවිට සාවුල් ද රාමාට ගොස් සේකුහි තිබෙන මහ ළිඳ ළඟට පැමිණ, “සාමුවෙල් සහ දාවිත් මෙතැන සිටිත් දැ”යි ඇසී ය. “අන්න, ඔව්හු රාමායේ නායොත්හි සිටිති”යි කෙනෙක් ඔහුට කීවේ ය.
23. සාවුල් රාමායේ නායොත්ට ගියේ ය. ඔහු මෙසේ යන අතර දෙවියන් වහන්සේගේ ආත්මානුභාවය ඔහු කෙරෙහි ද පහළ විය. ඔහු රාමායේ නායොත්ට පැමිණෙන තුරු දිවැස් වැකි පවස පවසා ගියේ ය.
24. ඔහු තමාගේ ඇඳුම් ගලවා දමා, සාමුවෙල් ඉදිරියෙහි දිවැස් වැකි පවසා, ඒ මුළු දවාලේත්, ඒ මුළු රාත්‍රියේත් නග්න ව වැටී සිටියේ ය. “සාවුලුත් දිවැසිවරයන් අතරේ දැ”යි යන කීම ඇති වූයේ මෙසේ ය.

ගීතාවලිය 58:1-11
1. දාවිත් ලියූ සෙල් ලිපියකි. බලවතුනි, ඔබ සාධාරණ තීන්දු දෙන්නහු ද? නායකයෙනි, ඔබ යුතු ලෙස සෙනඟ පාලනය කරන්නහු ද?
2. එහෙත්, ඔබ එසේ නොකර දුෂ්ට අදහස් සිත්හි මවාගන්නහු ය; නීතියට පිටුපා සැහැසිකම් කරන්නහු ය.
3. දුදනෝ මවු කුස පටන් නොමඟ යන්නෝ ය; උපන් දා සිට ම ඔව්හු බොරු කියන්නෝ ය.
4. ඔවුන්ගේ වස විස සර්ප විස මෙන් වන්නේ ය. ඔව්හු කන් බිහිරි කරගත් පොළඟුන් වැනි ය.
5. එවැන්නෝ නයි නටවන්නන්ගේ හඬට කන් නොදෙති; මතුරන්නන්ගේ මැතිරීමට සවන් නොදෙති.
6. අහෝ දෙවිඳුනි! ඔවුන්ගේ මුඛයේ දත් පොඩි කළ මැනව; මේ සිංහ පෝතකයන්ගේ දළ බිඳ දැමුව මැනව.
7. ඔව්හු වේගයෙන් ගලා යන වතුර මෙන් පහ ව යත් වා! පයට පෑගුණ තණ මෙන් වියළී යත් වා!
8. සෙවලෙහි ම දිරා යන ගොළුබෙල්ලන් මෙන් ඔව්හු දිරා යත් වා! මියගිය කළල රූප මෙන් ඔව්හු ඉරු එළිය නොදකිත් වා!
9. ඔව්හු මුලිනුපුටා දැමූ කටු පඳුරු මෙන් වෙත් වා! කෝපයෙන් උදලුගා දැමූ වල් පැළෑටි මෙන් වෙත් වා!
10. පවිටුන්ට දඬුවම් ලැබෙන විට දැහැමියා ප්‍රීති ප්‍රමෝද වන්නේ ය. දුදන ලෙයින් ඔහු තම පා සෝදා ගන්නේ ය.
11. එවිට සෙනඟ මෙසේ කියති: “දැහැමියාට විපාකයක් සත්තට ම හිමි වන්නේ ය; මිහි පිට යුක්තිය ඉටු කරන දෙවිඳාණෝ සැබැවින් ම වැඩ සිටින සේක.”

හිතෝපදේශ 15:27-30
27. ධන ලෝභී මිනිසා සිය පවුලට කරදර ගෙන දෙයි; අල්ලස් නුරුස්සන මිනිසා දිගායු වළඳයි.
28. දැහැමියා පිළිතුරක් දීමට පෙර සිතා බලයි; නොදැහැමියා වහා පිළිතුරු දෙයි; එයින් කරදර ගොඩක් ඇති වෙයි.
29. සමිඳාණෝ දුදනන් වෙතින් ඈත් ව සිටින සේක; එහෙත් සුදනන්ගේ යැදුමට සවන් දෙන සේක.
30. සිනහා මුහුණ මන පිනවයි; සුබ පුවත් ඇඟපතට සුව සැප දෙයි.

ශුද්ධවර ලූක් 24:1-35
1. සතියේ පළමු වන දින හිමිදිරි උදයේ තමන් සූදානම් කළ සුවඳ ද්‍රව්‍ය රැගෙන ස්ත්‍රීහු සොහොන් ගෙය ළඟට ගියාහු,
2. ගල සොහොන් ගෙයින් ඉවතට පෙරළා තිබෙනු දුටුවෝ ය.
3. ඔව්හු ඇතුළු වූ කල එහි ජේසුස් ස්වාමීන් වහන්සේගේ ශරීරය නුදුටුවෝ ය.
4. ඒ ගැන ඔවුන් වියවුල් ව සිටිය දී, කාන්ති විහිදුවන වස්ත්‍ර හැඳගත් මනුෂ්‍යයෝ දෙදෙනෙක් ඔවුන් ළඟ සිටියහ.
5. ඒ දුටු ඔවුන් බියපත් ව තමන්ගේ මුහුණු බිමට හරවාගත් කල ඒ මනුෂ්‍යයෝ කතා කොට, “ජීවමාන තැනැන් වහන්සේ මළවුන් අතර සොයන්නේ මන් ද?
6. උන් වහන්සේ මෙ‍හි නැත, උන් වහන්සේ උත්ථාන වූ සේක.
7. මනුෂ්‍ය-පුත්‍රයාණන් පව්කාර මිනිසුන්ගේ අත්වලට පාවාදෙනු ලබන්නටත්, කුරුසියෙහි ඇණ ගසනු ලබන්නටත්, තුන් වන දා නැවත නැඟිටින්නටත් යුතු ම යයි කියා උන් වහන්සේ ගලීලයේ සිටිය දී පැවසූ හැටි සිහි කරන්නැ”යි ඔවුන්ට කී හ.
8. එකල ඔව්හු උන් වහන්සේගේ වචන සිහි කොට සොහොන් ගෙයින් හැරී අවුත්,
9. එපවත් සියල්ල එකොළොස් දෙනාට ද සෙසු සියල්ලන්ට ද දැන්වූ හ.
10. ඒ ස්ත්‍රීහු නම්: මග්දලායේ මරියා, ජොවන්නා සහ ජාකොබ්ගේ මව වූ මරියා ය. ඔවුන් සහ අනිකුත් ස්ත්‍රීහු ද ප්‍රේරිතයන්ට එපවත් කී හ.
11. මෙ‍පුවත ඔවුන්ට ප්‍රලාපයක් සේ පෙනී ගියෙන්, ඔව්හු ඔවුන්ගේ කීම විශ්වාස නොකළහ.
12. එහෙත්, පේදුරු නැඟිට සොහොන් ගෙය ළඟට දුව ගොස්, නැමී බලා, හණ රෙදි පමණක් තිබෙනු දැක, සිදුවූ දේ ගැන පුදුම වෙමින් සිය නිවෙසට ගියේ ය.
13. එම දවසෙහි ශ්‍රාවකයන්ගෙන් දෙදෙනෙක් ජෙරුසලමේ සිට කිලෝමීටර් එකොළහක් පමණ දුර වූ එම්මාවුස් නම් ගමට යමින් සිටියහ.
14. එසේ යද්දී, ඔව්හු සිදුවූ සියල්ල ගැන කතා කරමින් ගියහ.
15. තවද, ඔවුන් සාකච්ඡා කරමින් යද්දී, ජේසුස් වහන්සේ ම ඔවුන් සමීපයට වැඩ, ඔවුන් හා සමඟ ගමන්ගත් සේක.
16. ඔවුන් උන් වහන්සේ දුටු නමුත්, ඔවුන්ට උන් වහන්සේ හඳුනා ගත නොහැකි විය.
17. උන් වහන්සේ ඔවුන්ට කතා කොට, “මේ ඔබ තර්ක කරමින් යන්නේ කුමන කාරණා ගැන දැ”යි ඇසූ සේක. ඔව්හු දුක්මුසු මුහුණින් යුක්ත ව නතර වූ හ.
18. ඔවුන්ගෙන් ක්ලේයෝපස් නම් තැනැත්තා උත්තර දෙමින්, “මේ දවස්වල ජෙරුසලමෙහි සිදුවූ කාරණා නොදැන සිටින අමුත්තා ඔබ පමණක් දැ”යි උන් වහන්සේට කී ය.
19. “කවර කාරණා දැ”යි උන් වහන්සේ ඔවුන්ගෙන් ඇසූ සේක. ඔව්හු උත්තර දෙමින්, “නාසරෙත්හි ජේසුස් වහන්සේ පිළිබඳ කාරණා ය. උන් වහන්සේ දෙවියන් වහන්සේ හා සකල ජනතාව ඉදිරියෙහි ක්‍රියාවෙහි ද කතාවෙහි ද බලසම්පන්න දිවැසිවරයෙකු ව සිටි සේක.
20. නායක පූජකවරු ද අපගේ ප්‍රධානීහු ද උන් වහන්සේ මරණයට නියම කොට කුරුසියෙහි ඇණ ගැසූ හ.
21. එහෙත්, ඉශ්රායෙල් මුදාලීමට සිටි එක ම තැනැන් වහන්සේ උන් වහන්සේ ය යනු අපගේ බලාපොරොත්තුව විය. එපමණක් නොවේ. මේ දේ සිදුවී අදට තුන් දවසක් ගත වී ඇත.
22. තවද, අපේ කණ්ඩායමේ ඇතැම් ස්ත්‍රීහු අද හිමිදිරි උදයේ සොහොන් ගෙය ළඟට ගොස්,
23. උන් වහන්සේගේ සිරුර නොදැක අවුත්, ඔවුන්ට දර්ශනය වූ දේව දූතයන් ‘උන් වහන්සේ ජීවමාන ව සිටින සේකැ’යි පැවසූ බව කියා අප විස්මිත කළහ.
24. අප හා සමඟ සිටි අයගෙන් සමහරෙක් සොහොන් ගෙය ළඟට ගොස් ඒ ස්ත්‍රීන් කී ලෙස ම දුටුවෝ ය. එහෙත්, ඔව්හු උන් වහන්සේ නුදුටුවෝ ය”යි කී හ.
25. එවිට උන් වහන්සේ ඔවුන් අමතා, “බුද්ධිහීන වූ ද දිවැසිවරයන් පැවසූ සියල්ල විශ්වාස කිරීමට මැළි වූ ද තැනැත්තෙනි,
26. ක්‍රිස්තුන් වහන්සේ ඒ දුක් විඳ ඉක්බිති ස්වකීය තේජශ්‍රීයට පැමිණිය යුතු ව තිබුණා නොවේ ද” කියා,
27. මෝසෙස් හා සියලු දිවැසිවරයන්ගෙන් පටන්ගෙන, මුළු ශුද්ධ ලියවිල්ලෙහි තමන් ගැන සඳහන් කරුණු ඔවුන්ට පහදා දුන් සේක.
28. ඔව්හු යමින් සිටි ගමට ළං වූ හ. එහෙත් උන් වහන්සේ තවත් දුර යන බවක් දැක්වූ සේක.
29. එවිට ඔව්හු: “දවස ගෙවී සවස් වේගන එන බැවින්, අප සමඟ නතර වුව මැනවැ”යි උන් වහන්සේට පෙරැත්ත කළහ. උන් වහන්සේ ඔවුන් සමඟ නතර වීමට ගෙට ඇතුළු වූ සේක.
30. තවද උන් වහන්සේ ඔවුන් හා සමඟ කෑමට හිඳගත් කල්හි, රොටි ගෙන ආශීර්වාදය පවසා, කඩා ඔවුන්ට දුන් සේක.
31. එවිට ඔවුන්ගේ ඇස් ඇරී, ඔව්හු උන් වහන්සේ කවරෙක් දැ යි හැඳින ගත්හ. එවිට උන් වහන්සේ ඔවුන් කෙරෙන් අතුරුදහන් වූ සේක.
32. එකල ඔව්හු, “උන් වහන්සේ අප හා සමඟ මඟ දී කතා කරද්දීත්, ශුද්ධ ලියවිල්ල පහදා දෙද්දීත්, අපේ හදවත දැවී ඇවිළී ගියා නොවේ දැ”යි එකිනෙකාට කී හ.
33. ඔව්හු ඒ වේලේ ම නැඟිට ජෙරුසලමට පෙරළා ගොස්, එකොළොස් දෙනා ද ඔවුන් සමඟ සිටි අනෙක් අය ද,
34. “ඒකාන්තයෙන් ම සමිඳාණන් වහන්සේ නැඟිට සිටින සේක, සීමොන්ට ද පෙනුණු සේකැ”යි කියමින් සිටිනු දුටහ.
35. එවිට ඔව්හු ද මඟ දී තමන්ට සිදු වූ කාරණා සහ රොටි කැඩීමෙ‍හි දී ඔවුන්ට උන් වහන්සේ ප්‍රකාශ වූ හැටි ද පැවසූ හ.