A A A A A
අවුරුද්දකින් බයිබලය
මැයි 3

1 සාමුවෙල් 8:1-22
1. සාමුවෙල් මහලු වයසට පත් වූ කල ඔහු තමාගේ පුත්‍රයන් ඉශ්රායෙල්වරුන්ගේ විනිශ්චයකාරයන් වශයෙන් පත් කෙළේ ය.
2. ඔහුගේ කුලුඳුල් පුත්‍රයාගේ නම ජෝවෙල් ය; දෙවැන්නාගේ නම අබියා ය. ඔව්හු බෙයර්-ෂෙබාහි විනිශ්චයකාරයෝ වූ හ.
3. එහෙත්, සාමුවෙල්ගේ පුත්‍රයෝ ඔහුගේ අඩි පාරේ නොගොස්, වස්තු තණ්හාවෙන් අල්ලස් ගෙන, යුක්තියට පිටුපා ක්‍රියා කළහ.
4. එවිට ඉශ්රායෙල්වරුන්ගේ සියලු ප්‍රජා මූලිකයෝ එක් රැස් වී රාමාහි සිටි සාමුවෙල් වෙත අවුත්,
5. ඔහුට කතා කොට, “ඔබ මහලු ව සිටින්නෙහි ය, ඔබේ පුත්‍රයෝ ඔබේ අඩි පාරෙහි ගමන් නොකරති. ඉතින් අන් ජාතීන්ට මෙන් අප පාලනය කරන පිණිස අපටත් රජ කෙනෙකු පත් කළ මැනවැ”යි කී හ.
6. “අප පාලනය කරන පිණිස අපට රජ කෙනෙකු දුන මැනවැ”යි කී කීම ගැන සාමුවෙල් අසතුටු වී සමිඳාණන් වහන්සේට යාච්ඤා කෙළේ ය.
7. සමිඳාණන් වහන්සේ ඔහුට කතා කොට, “සෙනඟ නුඹට කී සියල්ල ගැන ඔවුන්ගේ හඬට සවන් දෙන්න. ඔවුන් ප්‍රතික්ෂේප කර ඇත්තේ නුඹ නොවේ, ඔවුන් ප්‍රතික්ෂේප කර ඇත්තේ මා ය. මන්ද, මා ඔවුන් කෙරෙහි රජකම් කිරීමෙන් වළක්වන පිණිස
8. මා ඔවුන් මිසර දේශයෙන් ගෙනා දා පටන් අද දවස දක්වා ඔව්හු මා අත්හැර අන් දෙවිවරුන්ට වැඳුම්පිදුම් කළෝ ය. ඔව්හු සෑම කල්හි ම මට කළ දේ දැන් නුඹටත් කරති.
9. දැන් ඉතින් ඔවුන්ගේ හඬට ඇහුම්කන් දෙන්න. එසේ වී නමුත්, ඔවුන් කෙරෙහි රජකම් කරන රජු ඔවුන් සම්බන්ධයෙන් ක්‍රියා කරන අන්දම ගැන ඔවුන්ට විස්තර කර දෙන්නැ”යි වදාළ සේක.
10. එවිට සාමුවෙල් තමාගෙන් රජෙකු ඉල්ලා සිටි සෙනඟට සමිඳාණන් වහන්සේ වදාළ සියලු දේ කීවේ ය.
11. ඔහු ඔවුන්ට මෙසේ කීවේ ය: “ඔබ කෙරෙහි රජකම් කරන රජ මෙවැන්නෙක් වන්නේ ය. ඔහු ඔබේ පුත්‍රයන් ගෙන තමාගේ රියැදුරන් හා අසරුවන් වශයෙන් ද තමාගේ රථවලට පෙරටුව දුවන පිණිස ද පත් කරගන්නේ ය.
12. ඔහු ඔවුන් සහශ්‍රාධිපතීන් ද පණසාධිපතීන් ද වශයෙන් පත් කරගන්නේ ය; සමහරුන් තමාගේ බිම් හාන්නට ද තමාගේ ගොයම් කපන්නට ද තමාගේ යුද්ධ ආයුධත්, රථායුධත් සාදන්නට ද පත් කරගන්නේ ය.
13. ඔහු ඔබේ දූවරුන් සුවඳ ද්‍රව්‍ය සාදන පිණිස ද කෑම පිසින පිණිස ද රොටි පුළුස්සන පිණිස ද ගන්නේ ය.
14. ඔහු ඔබේ කෙත් ද මිදි වතු ද ඔලීව වතු අතරෙන් ඉතා හොඳ ඒවා ද රැගෙන තමාගේ නිලධාරීන්ට දෙන්නේ ය.
15. ඔබේ ධාන්‍යවලින් ද මුද්‍රික ඵලයෙන් ද දසයෙන් කොටසක් ගෙන තමාගේ රජ වාසලේ නිලධාරීන්ටත්, සෙසු නිලධාරීන්ටත් දෙන්නේ ය.
16. ඔබේ දාස දාසීන් ද ඔබේ හොඳ ම ගවයන් ද කොටළුවන් ද තමාගේ වැඩට පත් කරගන්නේ ය.
17. ඔහු ඔබේ බැටළුවන්ගෙන් දසයෙන් කොටසක් ගන්නේ ය; ඔබ ඔහුගේ වහල්ලු වන්නහු ය.
18. ඒ කාලය පැමිණි විට ඔබ ම තෝරාගත් ඔබේ රජු ගැන ඔබ දැඩි ලෙස පැමිණිලි කරනු ඇත. එහෙත්, සමිඳාණන් වහන්සේ ඒ දවසේ දී ඔබට උත්තර නොදෙන සේක.”
19. එහෙත්, සෙනඟ සාමුවෙල් කී දේට සවන් නොදී, “නැත. අපටත් රජ කෙනෙකු ඕනෑ ම ය.
20. එවිට අප විනිශ්චය කරන, අපට පෙරටුව ගොස් අපේ යුද්ධවල දී සටන් කරන රජ කෙනෙක් අපට ඇත. අපිත් අන් ජාතීන් මෙන් වන්නෙමු”යි කී හ.
21. සාමුවෙල් සෙනඟගේ සියලු වචන අසා, ඒවා සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි කීවේ ය.
22. සමිඳාණන් වහන්සේ පිළිතුරු දෙමින්, “ඔවුන්ගේ හඬට සවන් දී, ඔවුන්ට රජෙකු පත් කරන්නැ”යි සාමුවෙල්ට වදාළ සේක. සාමුවෙල් ද ඉශ්රායෙල් සෙනඟගේ සියලු දෙනාට කතා කොට, “තම තමන්ගේ නිවාසවලට යන්නැ”යි කීවේ ය.

1 සාමුවෙල් 9:1-27
1. බෙන්ජමින්ගේ ගෝත්‍රයට අයත් කිෂ් නම් මිනිසෙක් සිටියේ ය. ඔහු වූ කලී මහා ධනවතෙකි. ඔහු අබියෙල්ගේ පුත්‍රයා ය; ශෙරොර්ගේ මුණුබුරා ය; අපියාගේ වංශයට අයත් බෙකෝරත්ගේ පවුලේ කෙනෙකි.
2. ඔහුට සාවුල් නම් කඩවසම් පෙනුමක් ඇති තරුණ පුත්‍රයෙක් සිටියේ ය. ඔහුට වඩා පෙනුමක් ඇති කෙනෙක් ඉශ්රායෙල්වරුන් අතර සිටියේ නැත. ඔහු අන් හැමට වඩා උස කෙනෙක් විය.
3. දිනක් සාවුල්ගේ පිය වූ කිෂ්ගේ කොටළුවෝ නැති වුණෝ ය. කිෂ් තම පුත් සාවුල්ට කතා කොට, “ඔබ වැඩකාරයන්ගෙන් එක් කෙනෙකු අඬගසා ගෙන පිටත් ව ගොස් කොටළුවන් සොයන්නැ”යි කීවේ ය.
4. ඔහු එප්‍රායිම් කඳුකරයෙහි සිට ෂාලීෂා රට දක්වා ඇවිද්ද නමුත්, කොටළුවන් සම්බ වුණේ නැත. ඔවුන් ෂාලීම් රටේත් ඇවිද්ද නමුත්, කොටළුවන් එහි ද නො වූ බැවින්, ඔව්හු බෙන්ජමින්ගේ රටෙහි ද ඇවිද්දෝ ය. එහෙත්, ඔවුන්ට උන් සම්බ වුණේ නැත.
5. ඔව්හු ශුප් රටට පැමිණි කල, සාවුල් තමා සමඟ සිටි සිය වැඩකාරයාට කතා කොට, “අපි ආපසු හැරී යමු; නැත්නම්, මාගේ පියා කොටළුවන් ගැන කල්පනාව අත්හැර අප ගැන ශෝක වනු ඇතැ”යි කීවේ ය.
6. සේවකයා ඔහුට පිළිතුරු දෙමින්, “දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයෙක් මේ නගරයේ සිටියි; ඔහු ගරු කටයුතු කෙනෙකි; ඔහු කියන සියල්ල නොවරදවා ඉෂ්ට වන්නේ ය. අපි ඔහු වෙත යමු; සමහර විට, අප යා යුත්තේ කොහේ දැ යි ඔහු අපට දන්වනු ඇතැ”යි කීවේ ය.
7. එවිට සාවුල් වැඩකාරයාට කතා කොට, “අපි යන්නෙමු නම්, ඒ මිනිසාට කුමක් ගෙන යමු ද? අපේ භාජනවල තිබුණු කෑම දැන් ඉවර ය; දෙවියන් වහන්සේගේ මනුෂ්‍යයාට ගෙන යන්නට කිසි තෑග්ගක් නැත. අප ළඟ කුමක් තිබේ දැ”යි ඇසුවේ ය.
8. වැඩකාරයා යළිත් සාවුල්ට පිළිතුරු දෙමින්, “මා අතේ කුඩා රිදී කාසියක් තිබේ. අප යා යුතු මාර්ගය දන්වන පිණිස එය දෙවියන් වහන්සේගේ මනුෂ්‍යයාට දෙන්නෙමි”යි කීවේ ය.
9. පෙර කාලයේ දී ඉශ්රායෙල්හි මිනිසෙක් දෙවියන් වහන්සේගෙන් යම් කරුණක් විමසන්නට යන විට, “දිවැස් ඇත්තා ළඟට යමි”යි කියන්නේ ය. දැන් දිවැසිවරයා යයි කියන තැනැත්තා පෙර කාලයේ දී අනාගතවක්තෘ යයි කියනු ලැබී ය. එවිට සාවුල් කතා කොට, “ඔබේ යෝජනාව හොඳයි; එන්න, අපි යමු”යි තම වැඩකාරයාට කීවේ ය. මෙසේ ඔව්හු දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා සිටි නුවරට ගියෝ ය.
10. ***
11. ඔව්හු කන්ද නඟිමින් නුවරට යන කල, වතුර අදින පිණිස නුවරින් පිටතට එන තරුණියන් ඔවුන්ට සම්බ වී, “අනාගතවක්තෘ මෙහි ඉන්නවා දැ”යි ඔවුන්ගෙන් විමසුවෝ ය.
12. ඔව්හු උත්තර දෙමින්, “ඔව්, ඔහු ඉන්නවා; බලන්න, ඔහු ඔබ ඉදිරියෙහි ය. ඉක්මන් කරන්න, මන්ද, කඳු මත පූජාස්ථානයෙහි අද සෙනඟ පූජාවක් පවත්වන බැවින් ඔහු අද නුවරට අවුත් සිටියි.
13. ඔබ නුවරට ඇතුළු වූ වහා ම කෑම කන පිණිස කඳු මත පූජාස්ථානයට ඇතුළු වීමට මත්තෙන් ඔහු සම්බ වනු ඇත. මන්ද, ඔහු පූජාවට ආශීර්වාද කරන බැවින් ඔහු එන තුරු සෙනඟ කන්නේ නැත. කැඳවන ලද්දන් කෑම කන්නේ ඉන්පසු ය. ඒ නිසා යන්න; මේ වේලාවට ඔහු ඔබට සම්බ වනු ඇතැ”යි කීවෝ ය.
14. ඔවුන් නුවරට ගොස්, නුවර ඇතුළට පිවිසෙද්දී සාමුවෙල් කඳු මත පූජාස්ථානයට යන පිණිස ඔවුන් දෙසට පිටත් වී ආවේ ය.
15. සාවුල් පැමිණෙන්නට දවසකට පෙර, සමිඳාණන් වහන්සේ සාමුවෙල්ට කතා කොට,
16. “මම හෙට මේ වේලාවට පමණ බෙන්ජමින්ගේ රටෙන් මිනිසෙකු නුඹ ළඟට එවන්නෙමි; ඔහු මාගේ සෙනඟ වන ඉශ්රායෙල් කෙරෙහි අධිපතියා කොට අභිෂේක කරන්න; ඔහු පිලිස්තිවරුන්ගේ අතින් මාගේ සෙනඟ ගළවන්නේ ය. මාගේ සෙනඟගේ මොරගැසීම මා වෙත පැමිණි හෙයින් මම ඔවුන් දෙස බැලුවෙමි”යි දන්වා තිබුණේ ය.
17. සාමුවෙල්, සාවුල් දුටු විට, සමිඳාණන් වහන්සේ සාමුවෙල්ට කතා කොට, “මෙන්න, මා නුඹට කී මිනිසා! මොහු මාගේ සෙනඟ පාලනය කරන්නේ ය”යි වදාළ සේක.
18. එවිට සාවුල් දොරටුව ළඟ සාමුවෙල් වෙත ගොස්, “අනාවැකි කියන්නාගේ ගෙය තිබෙන්නේ කොතැන ද කියා මට දන්වන්නැ”යි කී ය.
19. සාමුවෙල් ද සාවුල්ට පිළිතුරු දෙමින්, “අනාවැකි කියන්නා මම ය; මට පෙරටුව කඳු මත පූජාස්ථානයට ඔබ දෙපළ ම යන්න. මන්ද, ඔබ ද මා සමඟ ආහාර වැළඳිය යුතු ය. හෙට උදේ ඔබ යන්නට අරින්නෙමි; ඔබේ සිතේ තිබෙන සියල්ල ද ඔබට දන්වන්නෙමි.
20. තුන් දවසකට පෙර නැති වූ ඔබේ කොටළුවන් ගැන කරදර නොවන්න. උන් සම්බ වී ඇත. ඉශ්රායෙල් ජනයා අතිශයෙන් අපේක්ෂා කරන්නේ කවරෙක් ද? ඔබ උදෙසාත්, ඔබේ පියාගේ මුළු පවුල උදෙසාත් නොවේ දැ”යි කීවේ ය.
21. සාවුල් පිළිතුරු දෙමින්, “මම ඉශ්රායෙල් ගෝත්‍රවලින් ඉතා කුඩා එකක් ව තිබෙන බෙන්ජමින් ගෝත්‍රයට අයත් කෙනෙක් නොවෙම් ද? බෙන්ජමින්ගේ සියලු පවුල්වලින් මාගේ පවුල ඉතා සුළු එක නොවේ ද? එසේ නම්, ඔබ මෙලෙස මට කතා කරන්නේ මන්දැ”යි ඇසුවේ ය.
22. එවිට සාමුවෙල්, සාවුල් සහ ඔහුගේ වැඩකාරයා කැඳවාගෙන, කෑම ශාලාවට ඇතුළු වී, ගණනින් තිහක් පමණ වූ ආරාධිතයන් අතරේ ප්‍රධාන ස්ථානයෙහි ඔවුන්ට අසුන් දුන්නේ ය.
23. සාමුවෙල් අරක්කැමියාට කතා කොට, “මම ඔබට ‘වෙන් කර තබන්නැ’යි දුන් කොටස මෙහි ගෙනෙන්නැ”යි කීවේ ය.
24. අරක්කැමියා ගාතය ද ඒ පිට තිබුණු දේ ද ගෙනවුත් සාවුල් ඉදිරිපිට තැබුවේ ය. සාමුවෙල් කතා කොට, “මෙන්න, ඔබ උදෙසා තැබූ කොටස. එය වළඳන්න. මා ආරාධනා කළ සෙනඟ සමඟ එය මේ මොහොතේ දී වළඳන පිණිස ඔබ උදෙසා මම එය වෙන් කොට තැබුවෙමි”යි කීවේ ය. මෙසේ සාවුල් එදා සාමුවෙල් සමඟ ආහාර වැළඳුවේ ය.
25. ඔවුන් කඳු මත පූජාස්ථානයෙන් බැස නගරයට ආ කල, ඔව්හු පියස්ස උඩ සාවුල්ට යහනක් සකස් කර දුන්නෝ ය. සාවුල් එහි නිදාගත්තේ ය.
26. පහන් වන වේලාවේ දී සාමුවෙල් පියස්ස උඩ සිටි සාවුල්ට අඬගසා, “නැඟිටින්න, මම ඔබ පිටත් කර යවමි”යි කීවේ ය. සාවුල් නැඟිට්ටේ ය. ඔහු සහ සාමුවෙල් එකට වීදියට ගියේ ය.
27. ඔවුන් නුවර සීමාවට පැමිණි විට සාමුවෙල් සාවුල්ට කතා කොට, “අපට පෙරටුව ඔබේ වැඩකාරයාට යන්න කියන්න. මා ඔබට දෙවියන් වහන්සේගේ වචනය දන්වන පිණිස දැන් මෙහි මොහොතක් නවතින්නැ”යි කීවේ ය. වැඩකාරයා පෙරටුවෙන් ගියේ ය.

ගීතාවලිය 55:9-15
9. සමිඳුනි, ඔවුන්ගේ කතාව වියවුල් කළ මැනව. මන්ද, නුවර තුළ සැහැසිකම ද ආරාවුල ද මට පෙනේ.
10. දිවා රෑ දෙක්හි ඒවා පවුරු මත සැරිසරන්නේ ය; එහි අපරාධය ද මැරවරකම ද ඇත්තේ ය.
11. නුවර මැද දුෂ්ටකම් බහුල ව ඇත්තේ ය. එහි වෙළෙඳ පොළෙහි ඇති අපරාධයට හා වංචාවට කෙළවරක් නැත්තේ ය.
12. මට අපවාද කළෝ සතුරෝ නම්, එය මට ඉවසා ගන්නට තිබුණේ ය; මට සතුරු ව නැඟිට සිටියෝ එදිරිකාරයෝ නම්, මට ඔවුන්ගෙන් සැඟවෙන්නට තිබුණේ ය.
13. එසේ කෙළේ, මා හා සමාන කෙනෙකු වන ඔබ ය; මාගේ හිත මිතුරා ද සහකාරයා ද ඔබ ය.
14. අපි එකට සතුටු සාමීචි කතාවේ යෙදුණෙමු; එකට දෙව් මැදුරෙහි නමස්කාර කෙළෙමු.
15. අකාල මරණය සතුරන් පිට පැමිණේ වා! ඔව්හු පණපිටින් පාතාලයට යත් වා! මන්ද, ඔවුන්ගේ සිත්හි හා නිවෙස්හි දුෂ්ටකම ඇත්තේ ය.

හිතෝපදේශ 15:15-17
15. පීඩිතයන්ට හැම දවස ම අසුබ දිනයකි; සතුටු සිත ඇති අයට හැමදා ම මඟුල් උළෙලකි.
16. කරදර සහිත විපුල සැප සම්පතට වඩා, සමිඳුන් කෙරේ ගරුබිය ඇති ව හිඟකම හොඳ ය.
17. වෛරය ඇති ව රස මස’වුළු බුදීමට වඩා, සෙනෙහස ඇති ව ලුණු කැඳ බීම හොඳ ය.

ශුද්ධවර ලූක් 22:1-23
1. පාස්කුව නම් වූ නුමුහුන් රොටි මංගල්‍යය ළං විය.
2. නායක පූජකයෝ ද විනයධරයෝ ද උන් වහන්සේ නැසීමට උපා සෙවූ හ; එසේ කෙළේ ඔවුන් ජනතාවට භයින් සිටි බැවිනි.
3. ඒ අතර දොළොස් දෙනාගෙන් කෙනෙක් වූ ඉස්කාරියොත් නම් ජූදස්ගේ සිතට සාතන් ඇතුළු විය.
4. ඔහු ගොස් උන් වහන්සේ පාවා දෙන්නේ කෙසේ ද කියා නායක පූජකයන් හා දේව මාලිගාවේ මුර සෙබළුන් සමඟ කතා කර ගත්තේ ය.
5. ඔව්හු ඉතා සතුටු ව ඔහුට මුදල් දීමට පොරොන්දු වූ හ.
6. ඔහු ඊට එකඟ වී, සෙනඟ නැති වේලාවක උන් වහන්සේ ඔවුන් අතට පාවා දෙනු පිණිස සුදුසු අවස්ථාවක් සෙවී ය.
7. පාස්කු බැටළුවා පූජා කළ යුතු නුමුහුන් රොටි මංගල්‍යය පවත්වන දවස පැමිණියේ ය.
8. එවිට උන් වහන්සේ පේදුරු ද ජොහන් ද යවමින්, “ඔබ ගොස් අප විසින් පාස්කු භෝජනය වළඳන පිණිස පිළියෙළ කරන්නැ”යි වදාළ සේක.
9. “කොතැන පිළියෙළ කරනවාට ඔබ වහන්සේ කැමැති සේක් දැ”යි ඔව්හු ඇසූ හ.
10. උන් වහන්සේ, “ඔබ නුවරට ඇතුළු වූ විට, වතුර කළයක් ගෙන යන මිනිසෙක් ඔබට හමු වන්නේ ය; ඔහු පස්සේ ගොස් ඔහු යන ගෙදරට ඇතුළු වී,
11. ගෘහ මූලිකයාට කතා කොට, ‘මා විසින් මාගේ ශ්‍රාවකයන් සමඟ පාස්කු භෝජනය වැළඳීම සඳහා වෙන් කර ඇති කාමරය කොයි ද කියා ගුරුදේවයාණෝ අසන සේකැ’යි කියන්න.
12. සූදානම් ව ඇති ලොකු උඩුමහල් කාමරයක් ඔහු ඔබට පෙන්වනු ඇත. එහි පිළියෙළ කරන්නැ”යි වදාළ සේක.
13. ඔව්හු ගොස්, උන් වහන්සේ වදාළ ලෙස ම සියල්ල සම්බවූයෙන්, පාස්කු භෝජනය පිළියෙළ කළහ.
14. නියම වේලාව පැමිණි කල, උන් වහන්සේ කෑමට හිඳගත් සේක. ප්‍රේරිතයෝ ද උන් වහන්සේ සමඟ හිඳගත්හ.
15. උන් වහන්සේ ඔවුන්ට කතා කොට, “මා වද විඳීමට පළමුවෙන්, මේ පාස්කු භෝජනය ඔබ සමඟ වළඳන්නට අතිශයින් ආශා වීමි.
16. ඒ මන්දැ යි මම ඔබට කියමි, දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ දී එය මුදුන්පත් වනතුරු මම එය තවත් නොවළඳමි”යි වදාළ සේක.
17. උන් වහන්සේ කුසලානක් ගනිමින්, තුති පුදා, “මෙ‍ය ගෙන ඔබ අතරෙහි බෙදාගන්න.
18. මන්ද, මම ඔබට කියමි, මෙ‍තැන් පටන්, දෙවියන් වහන්සේගේ රාජ්‍යය පැමිණෙන තුරු, මම මිදියුස පානය නො කරන්නෙමි”යි වදාළ සේක.
19. උන් වහන්සේ රොටි ගෙන තුති පුදා, ඒවා කඩා, ඔවුන්ට දී, “ඔබ උදෙසා දෙනු ලබන මාගේ ශරීරය මේ ය; මා සිහි කිරීම පිණිස මෙ‍ය කරන්නැ”යි වදාළ සේක.
20. එලෙස ම භෝජනයෙන් පසු කුසලාන දී, “මේ කුසලාන ඔබ උදෙසා වගුරුවනු ලබන මාගේ රුධිරයෙන් කළ නව ගිවිසුම ය.
21. එහෙත්, දැන් මා පාවා දෙන්නාගේ අත මා ළඟින් ම මේසය මත තිබේ.
22. මන්ද, මනුෂ්‍ය-පුත්‍රයාණෝ නියමිත ගමන යන සේක් ම ය. එහෙත්, ඔහු පාවා දෙන ඒ මනුෂ්‍යයාට වන විපතක මහතැ”යි උන් වහන්සේ වදාළ සේක.
23. එවිට එය කරන්නට යන්නේ ඔවුන්ගෙන් කවරෙක් දැ යි ඔව්හු තම තමන් අතර විමසන්නට පටන්ගත්හ.