A A A A A
අවුරුද්දකින් බයිබලය
මැයි 29

1 රාජාවලියේ 5:1-18
1. සලමොන් ඔහුගේ පිය රජුට පසු ව රජු වශයෙන් අභිෂේක කරනු ලැබූ බව තීර්හි රජ වූ හීරාම් අසා තමාගේ තානාපතීන් ඔහු වෙත එව්වේ ය. මන්ද, හීරාම් නිතර ම දාවිත් රජුගේ හිතමිතුරෙක් විය.
2. සලමොන් රජ ද හීරාම් වෙත පණිවුඩයක් යවමින්,
3. “සමිඳාණන් වහන්සේ මාගේ පිය වූ දාවිත්ගේ සතුරන් පරාජය කරන තෙක් හාත්පසින් තිබුණු යුද්ධ නිසා ඔහුගේ දෙවි සමිඳාණන් වහන්සේගේ නාමයට මාලිගාවක් ගොඩනඟන්නට ඔහුට බැරි වූ බව ඔබ දන්නෙහි ය.
4. එහෙත්, දැන් මාගේ දෙවි සමිඳාණන් වහන්සේ හැම අතින් ම මට විවේකය දී තිබේ. එදිරිකාරයෙක් වත්, විපත්ති ගැන බියක් වත් මට නැත.
5. සමිඳාණන් වහන්සේ මාගේ පිය වූ දාවිත්ට කතා කොට, ‘නුඹ වෙනුවට නුඹේ සිංහාසනය පිට මා තබන නුඹේ පුත්‍රයා මාගේ නාමයට මාලිගාවක් ගොඩනඟනු ඇතැ’යි වදාළ හැටියට මාගේ දෙවි සමිඳාණන් වහන්සේගේ නාමයට ගෘහයක් ගොඩනඟන්නට මම අදහස් කරමි.
6. එබැවින් ලෙබනොන් දේශයෙන් කිහිරි ගස් කපා මට දෙන්න අණ කළ මැනව. මාගේ වැඩකාරයෝ ඔබේ වැඩකාරයන් සමඟ සිටින්නෝ ය. ඔබේ වැඩකාරයන්ගේ කුලී ඔබ කියන ප්‍රකාරයට ඔබට දෙන්නෙමි. මන්ද, සීදොන් නගරවාසීන් මෙන් ලී කපන්න දන්න අය අප අතර නැති බව ඔබ දන්නෙහි ය”යි කියා යැවී ය.
7. හීරාම් රජ සලමොන්ගේ වචනය අසා ඉතා ප්‍රීති වී, “ඒ ශ්‍රේෂ්ඨ ජාතිය ආණ්ඩු කරන පිණිස ප්‍රඥාවන්ත පුත්‍රයෙකු දාවිත්ට දුන් සමිඳාණන් වහන්සේට අද ප්‍රශංසා වේ වා!”යි කීවේ ය.
8. තවද, ඔහු සලමොන් වෙත පණිවුඩයක් යවමින්, “ඔබ මට කියා එවූ කාරණය ඇසීමි. කිහිරි ලී ගැන ද දේවදාර ලී ගැන ද ඔබේ මුළු කැමැත්ත ඉෂ්ට කරන්නෙමි.
9. මාගේ වැඩකාරයෝ ලෙබනොන් දේශයේ සිට මුහුද ළඟට ඒවා ගෙන එන්නෝ ය. මම ඒවා එක් කොට, පහුරු බඳවා ඔබ මට කියා එවන තැනකට මුහුදෙන් එවන්නෙමි. තවද, ඔබ ඒවා භාරගැනීම පිණිස එහි දී ඒවා ලිහන්න සලස්වන්නෙමි. ඔබ වනාහි මාගේ ගෙයි වැසියන්ට ආහාර දීමෙන් මාගේ කැමැත්ත ඉෂ්ට කරන්නෙහි ය”යි කියා එව්වේ ය.
10. මෙසේ හීරාම් රජ සලමොන්ගේ මුළු කැමැත්ත ලෙස කිහිරි ලී ද දේවදාර ලී ද ඔහුට දුන්නේ ය.
11. සලමොන් ද හීරාම්ගේ ගෙයි වැසියන්ට ආහාර පිණිස තිරිඟු මෙට්රික් ටොන් දෙදහසක් ද පිරිසිදු තෙල් ලීටර් ලක්ෂ හතරක් ද ඔහුට දුන්නේ ය. සලමොන් අවුරුදුපතා මෙසේ හීරාම්ට දුන්නේ ය.
12. සමිඳාණන් වහන්සේ සලමොන්ට පොරොන්දු වූ ලෙස ඔහුට ප්‍රඥාව දුන් සේක; හීරාම් සහ සලමොන් අතරේ සාමදානය පැවතුණේ ය. තවද, ඔව්හු දෙදෙනා එක් ව ගිවිසුමක් කර ගත්තෝ ය.
13. සලමොන් රජ සියලු ඉශ්රායෙල්වරුන් අතරෙන් රාජකාරියට මිනිසුන් බඳවාගත්තේ ය. එසේ බඳවාගත් මිනිස්සු තිස්දහසකි.
14. ඔහු මාසයකට දසදහසක් බැගින් මාරුවෙන් මාරුවට ඔවුන් ලෙබනොන් දේශයට යැවී ය. ඔව්හු එක මාසයක් ලෙබනොන්හි ද දෙමාසයක් ගෙදර ද සිටියෝ ය. අදොනිරාම් වනාහි රාජකාරියේ නිලධාරියා විය.
15. කඳුවල ගල් කැපීමට අසූදහසක් ද ඒ ගල් උසුලාගෙන යෑමට හැත්තෑදහසක් ද සෙනඟ සලමොන්ට සිටියෝ ය.
16. ඒ හැර වැඩ බලාගත්තා වූ, වැඩ කළ සෙනඟ පාලනය කළා වූ සලමොන්ගේ ප්‍රධාන නිලධාරීන්ගේ ගණන තුන්දහස් තුන්සියයක් විය.
17. කැපූ ගල්වලින් මාලිගාවේ අත්තිවාරම දමන පිණිස රජුගේ ආඥාව පිට විශාල වූ ද අනර්ඝ වූ ද ගල් ගෙනාවෝ‍ ය.
18. සලමොන්ගේ වඩුවෝ‍ ද හීරාම්ගේ වඩුවෝ‍ ද ගෙබලිවරු නම් ජනයා ද ඒවා කැපුවෝ‍ ය. මෙසේ දේව මාලිගාව තැනීමට ඔව්හු ලී දඬු ද ගල් ද සූදානම් කළෝ ය.

1 රාජාවලියේ 6:1-38
1. තවද, ඉශ්රායෙල් ජනයා මිසර දේශයෙන් පිටත් ව ආපසු පැමිණ හාරසිය අසූ වන අවුරුද්දේ එනම්, ඉශ්රායෙල්වරුන් කෙරෙහි සලමොන් රජකම් කිරීමට පටන්ගෙන සතර වන අවුරුද්දේ දෙ වන‍ මාසය වූ ශිව් මාසයේ දී ඔහු සමිඳාණන් වහන්සේගේ මාලිගාව ගොඩනඟන්නට පටන්ගත්තේ ය.
2. ඔහු සමිඳාණන් වහන්සේට ගොඩනැඟුවාවූ මාලිගාවේ දිග මීටර් විසිහතකි. පළල මීටර් නවයකි. උස මීටර් දහතුනයි දශම පහකි.
3. මාලිගාවේ ඉදිරියෙන් වූ ප්‍රවේශ ශාලාවේ දිග මාලිගාවේ පළල හැටියට ම මීටර් නවයක් ව ද එහි පළල මාලිගාව ඉදිරිපිට මීටර් හතරයි දශම පහක් ව ද තිබුණේ ය.
4. ඔහු මාලිගාවට ගරාදි සවිකරන ලද කවුළු සෑදුවේ ය.
5. ඔහු මාලිගාවත්, දිව්‍ය-වාක්‍යස්ථානයත් වටකර මාලිගාවේ බිත්ති වටේට, ඒවාට යා කර උඩුමහල් ගොඩනැඟී ය.
6. උඩුමහෙල් පහත ම තට්ටුවේ පළල මීටර් දෙකයි දශම දෙකකි. මැද එකේ පළල මීටර් දෙකයි දශම හතකි; තුන් වන එකේ පළල මීටර් තුනයි දශම එකකි. මාලිගාවේ බිත්තිවලට බාල්ක ඇතුළු නොකරන පිණිස පිටින් වටේට ම මාලිගාවේ බිත්තිවල තැනින් තැන පටු කළ කපොලු සෑදුවේ ය.
7. නියම කළ ප්‍රමාණයට ගල්වළෙහි දී කැපූ ගල්වලින් මාලිගාව ගොඩනැඟුව බැවින් මාලිගාව ගොඩනැඟීමේ දී මිටියක වත්, පොරවක වත්, වෙන කිසි යකඩ ආයුධයක වත් ශබ්දයක් නොඇසිණි.
8. මැද මහලට දොර ගෘහයේ දකුණු පැත්තෙන් විය. මැද මහලටත්, මැද මහලෙන් තුන් වන මහලටත් නඟින්නට දඟර සෝපාන මාලාවක් සාදා තිබුණේ ය.
9. මෙසේ ඔහු මාලිගාව තනා නිම කෙළේ ය. ඔහු මාලිගාව කිහිරි දැවවලින් ද ලෑලිවලින් ද වැසුවේ ය.
10. ඔහු මුළු මාලිගාවට යා කර මීටර් නවයක් බැගින් උස ඇති මහල් තල ගොඩනැඟුවේ ය. ඒවා කිහිරි ලීවලින් මාලිගාවට සවි කරන ලද්දේ ය.
11. සමිඳාණන් වහන්සේ සලමොන්ට කතා කොට,
12. “නුඹ ගොඩනඟන මේ ගෘහය ගැන මම මෙය කියමි: නුඹ මාගේ නීති අනුව හැසිර, මාගේ නියෝග ඉෂ්ට කර, මාගේ පණත් පවත්වමින්, ඒ ප්‍රකාර හැසිරෙන්නෙහි නම්, නුඹේ පිය වූ දාවිත්ට මා කී මාගේ වචනය නුඹට ඉෂ්ට කරන්නෙමි.
13. තවද, මාගේ සෙනඟ වන ඉශ්රායෙල් අත් නෑර ඉශ්රායෙල් ජනයා අතරෙහි වාසය කරන්නෙමි”යි වදාළ සේක.
14. මෙසේ සලමොන් දේව මාලිගාව ගොඩනඟා නිම කෙළේ ය.
15. ඔහු මාලිගාවේ බිත්තිවල ඇතුළතින් කිහිරි ලෑලි ඇල්ලුවේ ය. මාලිගාවේ බිම පටන් පියස්සේ පැති දක්වා ඇතුළතින් දේවදාර ලීවලින් වැසුවේ ය.
16. ඔහු මාලිගාවේ ඇතුළේ අන්තිම කොටසෙන් මීටර් නවයක් දිගට බිම සිට සීලිම දක්වා කිහිරි ලෑලි අල්ලා, වෙන් කොට ඒ ඇතුළු කොටස දිව්‍ය-වාක්‍යස්ථානයක් වූ අතිශුද්ධස්ථානය කොට සෑදුවේ ය.
17. ඊට ඉදිරියෙන් වූ මාලිගාවේ ඉතුරු කොටස මීටර් දහඅටක් දික් විය.
18. මාලිගාවේ ඇතුළත කැකිරි වැල් ද පිපුණු මල් ද කැටයම් කළ කිහිරි ලීවලින් වසා තිබුණු බැවින්, මුළු මාලිගාව ම කිහිරි ලීයෙන් විය. කිසි ගලක් පෙනෙන්නට නොතිබිණි.
19. ඔහු සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව තැබීමට ඇතුළතින් මාලිගාව තුළ දිව්‍ය-වාක්‍යස්ථානයක් පිළියෙළ කෙළේ ය.
20. ඇතුළතින් දිව්‍ය-වාක්‍යස්ථානයේ දිග මීටර් නවයකි; පළල මීටර් නවයකි; උස මීටර් නවයකි. ඔහු එහි පෙරූ රන් ගල්වා පූජාසනය කිහිරි ලීවලින් වැසුවේ ය.
21. මෙසේ සලමොන් මාලිගාවේ ඇතුළත පෙරූ රන් ආලේප කොට රන් දම්වැල් දිව්‍ය-වාක්‍යස්ථානයේ ඉස්සරහ පැත්තෙහි ඇද, ඒවායෙහි ද රන් ආලේප කෙළේ ය.
22. මුළු මාලිගාව සම්පූර්ණයෙන් නිම වන තෙක් රන් ගැල්වී ය. දිව්‍ය-වාක්‍යස්ථානය තුළ වූ පූජාසනයෙහි ද සම්පූර්ණයෙන් ම රන් ආලේප කෙළේ ය.
23. ඔහු දිව්‍ය-වාක්‍යස්ථානයෙහි ඇතුළේ ඔලීව ලීවලින් මීටර් හතරයි දශම හතර බැගින් උස ඇති කෙරුබ්වරුන්ගේ රූප දෙකක් සාදා තැබී ය.
24. එක කෙරුබ්වරයෙකුගේ රූපයක එක පියාපතක් මීටර් දෙකයි දශම දෙකක් ය. කෙරුබ්වරයාගේ රූපයේ අනික් පියාපත මීටර් දෙකයි දශම දෙකක් ය; එක් පියාපතක කෙළවර පටන් අනික් පියාපතේ කෙළවර දක්වා මීටර් හතරයි දශම හතරකි.
25. අනික් කෙරුබ්වරයාගේ රූපයත් මීටර් හතරයි දශම හතරකි, කෙරුබ්වරුන්ගේ රූප දෙක ම එක මිම්මට ද එක හැඩේට ද විය.
26. එක කෙරුබ්වරයෙකුගේ රූපයක උස මීටර් හතරයි දශම හතරකි. අනික් කෙරුබ්වරයාගේ රූපයත් එසේ ම ය.
27. ඔහු ඒ කෙරුබ්වරුන්ගේ රූප ඇතුළු ගෘහය තුළ පිහිටෙවුවේ ය. එක කෙරුබ්වරයෙකුගේ රූපයක පියාපතක් එක බිත්තියකට වදින හැටියටත්, අනික් කෙරුබ්වරයාගේ රූපයේ පියාපතක් අනික් බිත්තියට වදින හැටියටත්, ඒවායේ පියාපත් ඇතුළු ගෘහය මැද එකිනෙකට වදින හැටියටත් ඒවායේ පියාපත් විහිදුවා තබන ලද්දේ ය.
28. ඔහු කෙරුබ්වරුන්ගේ රූප රනින් ආලේප කෙළේ ය.
29. වටකර ඇතුළෙනුත්, පිටිනුත් මාලිගාවේ සියලු බිත්තිවල ඔහු කෙරුබ් රූප ද තාල වර්ගයේ ගස් ද පිපුණු මල් ද කොටා කැටයම් වැඩ කෙළේ ය.
30. ඔහු මාලිගාවේ ඇතුළත හා පිටත බිම රන් ආලේප කෙළේ ය.
31. දිව්‍ය-වාක්‍යස්ථානයේ දොරකඩ ඔලීව ලීවලින් ඔහු දොරවල් සෑදුවේ ය. උළුවස්සේ ඉහළ පඩිය ද උළුවහු කණු ද බිත්තියෙන් පහෙන් කොටසක් විය.
32. ඔලීව ලීවලින් සෑදූ ඒ දොරවල් දෙකේ ඔහු කෙරුබ්වරුන්ගේ රූප ද තල් ගස් ද පිපුණු මල් ද කැටයම් කර, රන් ආලේප කර, කෙරුබ්වරුන්ගේ රූප හා තල් ගස් පිටත් රන් ගෑවේ ය.
33. එසේ ම ඔහු මාලිගාවේ දොරකඩටත් ඔලීව ලීවලින් උළුවහු කණු සෑදුවේ ය. ඊට බිත්තියෙන් හතරෙන් කොටසක් ගියේ ය.
34. මාලිගාවේ දොරකඩට දේවදාර ලීවලින් දොරවල් දෙකක් ද සෑදුවේ ය. එක දොරකට අකුළන දේවදාර පියන් දෙකක් ද අනික් දොරට අකුළන දේවදාර පියන් දෙකක් ද විය.
35. ඔහු ඒවායේ කෙරුබ්වරුන්ගේ රූප ද තල් ගස් ද පිපුණු මල් ද කපා, ඒ කැටයම් පිට සම ලෙස රත්රන් ගෑවේ ය.
36. ඇතුළු මළුව කැපූ ගල් පේළි තුනකින් ද කිහිරි දැව පේළියකින් ද සෑදුවේ ය.
37. සතර වන අවුරුද්දේ ශිව් මාසයේ දී සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ අත්තිවාරම් දමන ලදී.
38. එකොළොස් වන අවුරුද්දේ අට වන මාසය වන බූල් මාසයේ දී මාලිගාව එහි සියලු කොටස් ඇතුළු ව අඳින ලද සම්පූර්ණ සැලැස්ම අනුව නිම කරන ලදී. මෙසේ ඔහු සත් අවුරුද්දක් එය නොඩනැඟීමෙහි යෙදී සිටියේ ය.

ගීතාවලිය 68:21-27
21. දෙවිඳාණෝ සතුරන්ගේ හිස් පොඩි කරදමන සේක; පවිටු මඟෙහි ඇලී ගැලී සිටින අයගේ හිස් ගසාදමන සේක.
22. සමිඳාණෝ මෙසේ වදාරන සේක: “මම බාෂාන් දේශයෙන් ඔබේ සතුරන් ආපසු ගෙනෙන්නෙමි; සමුදුර පත්ලෙන් ඔවුන් ආපසු ගෙනෙන්නෙමි.
23. එවිට ඔබේ පාද ඔවුන්ගේ ලෙයින් සෝදාගත හැකි වන්නේ ය; ඔබේ බල්ලෝ සතුරන්ගේ ලේ ඕනෑ පමණ ලෙව කන්නෝ ය.”
24. දෙවිඳුනි, සියල්ලෝ ඔබේ ජය පෙරහර දකින්නෝ ය; සිය ශුද්ධස්ථානයට යන මඟ මාගේ දෙවි රජිඳුන්ගේ ගමන නරඹන්නෝ ය.
25. ගායකයෝ පෙරටුවෙන් ද සංගීතකරුවෝ පසුපසින් ද යන්නෝ ය; ලලනාවෝ සිඟිති රබන් පොඩි ගසමින් මැදින් ගමන් කරන්නෝ ය.
26. සභාව තුළ දෙවිඳාණන් පසසන්න. ඉශ්රායෙල් ජනතාවෙනි, සමිඳාණන් පසසන්න.
27. කුඩා ම පෙළපත වන බෙන්ජමින්ගේ පෙළපත මුලින් ම ගමන් කරන්නෝ ය. ඉන්පසු ජුදාගේ ද සාබුලොන්ගේ ද නප්තලීගේ ද කුමරුවෝ ගමන් කරන්නෝ ය.

හිතෝපදේශ 17:13-15
13. කළ හොඳට නරකක් කරන මිනිසාගේ නිවසින් විපත පහ ව යන දවසක් එන්නේ ම නැත.
14. නඩුහබ පටන්ගැනීම අමුණක් බිඳීම වැනි ය; වාද විවාද හටගන්න පෙර ඒවා වැළැක්වීම හොඳ ය.
15. දුදනන් නිදොස් කරන මිනිසා ද සුදනන් සදොස් කරන මිනිසා ද සමිඳුන්ට එක සේ පිළිකුලකි.

ශුද්ධවර ජොහන් 10:24-42
24. එබැවින් ජුදෙව්වරු පැමිණ උන් වහන්සේ වටකරගෙන, “ඔබ කොතෙක් කල් අප සැක පිට තබන සේක් ද? ඔබ ක්‍රිස්තුවරයාණෝ නම් පැහැදිලි ලෙස අපට කිව මැනවැ”යි කී හ.
25. ජේසුස් වහන්සේ ඔවුන්ට පිළිතුරු දෙමින්, “ඔබට මම කීවෙමි; එහෙත් ඔබ විශ්වාස නොකරන්නහු ය. මාගේ පියාණන් වහන්සේගේ නාමයෙන් මා කරන ක්‍රියාවෝ ම මා ගැන සාක්ෂි දෙති.
26. එහෙත්, ඔබ මාගේ බැටළුවන් නොවන බැවින්, මා විශ්වාස නොකරන්නහු ය.
27. මාගේ බැටළුවෝ මාගේ කටහඬ අසති. මම ද ඔවුන් අඳුනමි; ඔව්හු ද මා පසුපස්සේ එති.
28. මම ඔවුන්ට සදාතන ජීවනය දෙමි. ඔව්හු කිසි කලෙකත් විනාශ නොවෙති. කිසිවෙක් ඔවුන් මා අතින් පැහැර නොගනිති.
29. ඔවුන් මා හට දෙවා වදාළ මාගේ පියාණන් වහන්සේ සියල්ලන්ට ම වඩා ශ්‍රේෂ්ඨ ය. පියාණන් වහන්සේගේ අතින් ඔවුන් පැහැර ගන්නට කිසිවෙකුට නොහැකි ය.
30. මාත් මාගේ පියාණන් වහන්සේත් එක ම ය”යි වදාළ සේක.
31. උන් වහන්සේට ගසන්නට ජුදෙව්වරු නැවත ගල් අතට ගත්හ.
32. එවිට ජේසුස් වහන්සේ කතා කොට, “පියාණන් වහන්සේ කරණකොටගෙන බොහෝ යහපත් ක්‍රියා ඔබට දැක්වීමි. එයින් කවර ක්‍රියාවක් නිසා ඔබ මට ගල් ගසන්නහු දැ”යි ඇසූ සේක.
33. ජුදෙව්වරු උන් වහන්සේට පිළිතුරු දෙමින්, “අප ඔබට ගල් ගසන්නේ යහපත් ක්‍රියාවක් නිසා නොව, ඔබ කළ දේවාපහාසය නිසා ය; මිනිසෙකු වන ඔබ දෙවියන් වහන්සේ වෙන්නට බලන නිසා ය”යි කී හ.
34. ජේසුස් වහන්සේ ඔවුන්ට පිළිතුරු දෙමින්, “ ‘ඔබ දෙවිවරු ය’යි කීමි යි ඔබේ ව්‍යවස්ථාවලියේ ලියා තිබෙනවා නොවේ ද?
35. එය ප්‍රතික්ෂේප කළ නොහැකි ය. ඒ ශුද්ධ ලියවිල්ලේ කියා ඇති පරිදි, දෙවියන් වහන්සේගේ වචනය දෙනු ලැබූවන්ට දෙවිවරු යයි උන් වහන්සේ වදාළ සේක. ඒ ශුද්ධ ලියවිල්ල ප්‍රතික්ෂේප කළ නොහැකි ය.
36. එසේ නම්, දෙවියන් වහන්සේ විසින් කැප කරනු ලැබ ලොවට එවන ලද තැනැත්තා වන මා ‘මම දෙවියන් වහන්සේගේ පුත්‍රයා’යි කී නිසා, ‘ඔබ දේවාපහාස කරන්නෙහි ය’යි මා ගැන කියන්නහු ද?
37. මම මාගේ පියාණන් වහන්සේගේ ක්‍රියා නොකරම් නම්, මා විශ්වාස නොකරන්න.
38. එහෙත් මම ඒවා කරම් නම්, ඔබ මා විශ්වාස නොකරතත්, මාගේ ක්‍රියා විශ්වාස කර පියාණන් වහන්සේ මා තුළ ද, මා පියාණන් වහන්සේ තුළ ද සිටින බව අවසාන වශයෙන් දැනගන්නැ”යි වදාළ සේක.
39. නැවතත් ඔව්හු උන් වහන්සේ අල්ලාගන්නට උත්සාහ කළහ. එහෙත් උන් වහන්සේ ඔවුන් අතින් මිදී ගිය සේක.
40. උන් වහන්සේ ජොර්දානෙන් එගොඩ ජොහන් පළමුවෙන් බව්තීස්ම-ස්නාපනය කරමින් සිටි ස්ථානයට යළිත් ගොස්, එහි නැවතී සිටි සේක.
41. බොහෝ දෙනෙක් උන් වහන්සේ වෙතට පැමිණ: “ජොහන් කිසි හාස්කමක් නොකළ නමුත් ජේසුස් වහන්සේ ගැන ජොහන් කී සියල්ල ම සැබෑ ය”යි කී හ.
42. එහි දී බොහෝ දෙනෙක් උන් වහන්සේ අදහාගත්හ.