A A A A A
අවුරුද්දකින් බයිබලය
මැයි 25

2 සාමුවෙල් 21:1-22
1. දාවිත් රජුගේ දවස, තුන් අවුරුද්දක් මුළුල්ලේ ම සාගතයක් ඇති විය. ඒ ගැන දාවිත් සමිඳාණන් වහන්සේගෙන් විමසූ විට උන් වහන්සේ පිළිතුරු දෙමින්, “සාගතයට හේතුව, සාවුල් සහ ඔහුගේ පවුලේ අය මිනීමරුවන් නිසාත්, සාවුල් ගිබියොන්වරුන් මැරූ නිසාත් ය”යි වදාළ සේක.
2. ගිබියොන්වරු ඉශ්රායෙල් ජාතිකයන් නොව, අමෝරිවරුන්ගෙන් ඉතිරි ව සිටි කොට්ඨාශයකි. ඉශ්රායෙල් සෙනඟ ඔවුන් නො‍මරන්නට දිවුරුම් දී තිබුණු නමුත්, සාවුල් ඉශ්රායෙල් සෙනඟටත්, ජුදා සෙනඟටත් ඇති තමාගේ උද්‍යෝගය නිසා ඔවුන් මරන්නට සෙව්වේ ය.
3. දාවිත් රජ ගිබියොන්වරුන් කැඳවා ඔවුන්ට කතා කොට, “ඔබ උදෙසා මම කුමක් කරම් ද? ඔබ සමිඳාණන් වහන්සේගේ සෙනඟට ආශීර්වාද කරන පිණිස මා වන්දි ගෙවීමක් වශයෙන් කුමක් කළ යුතු දැ”යි ඔවුන්ගෙන් ඇසී ය.
4. ගිබියොන්වරු පිළිතුරු දෙමින්, “සාවුල්ට සහ ඔහුගේ පවුලට විරුද්ධ ව ඇති අපේ ආරාවුල් රන් රිදීවලින් බේරිය නො‍හැකි ය; තවද, ඉශ්රායෙල්හි කිසිවකු මැරීමට අපට වුවමනාවක් නැතැ”යි කී හ. ඔහු ද, “ඔබ කියන දෙයක් මම ඔබට කර දෙමි”යි කී ය.
5. ඔව්හු රජුට කතා කොට, “ඉශ්රායෙල්හි කිසි ම තැනක අපට ජීවත් වන්නට නො‍හැකි වන ලෙස සාවුල් අප නැතිනාස්ති කරන්නට සෙව්වේ ය.
6. ඔහුගේ පුත්‍රයන්ගෙන් සත්දෙනෙකුන් අපට පාවා දුන මැනව. අපි ද සමිඳාණන් වහන්සේ විසින් තෝරාගනු ලැබූ සාවුල් සිටි ගිබියාහි සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ඔවුන් එල්ලා තබන්නෙමු”යි කී හ. එවිට රජ “මම ඔවුන් පාවා දෙන්නෙමි”යි කී ය.
7. එහෙත්, දාවිත් සහ සාවුල්ගේ පුත් ජොනතන් තම තමන් අතර සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි කරන ලද දිවුරුම නිසා රජ සාවුල්ගේ පුත්‍ර වන ජොනතන්ගේ පුත් මෙපිබොෂෙත් ඉතුරු කෙළේ ය.
8. එසේ වුව ද, ඔහු අයාගේ දුව වූ රිශ්පා සාවුල්ට දාව ලැබූ අර්මෝනි සහ මෙපිබොෂෙත් යන පුත්‍රයන් දෙදෙන ද සාවුල්ගේ දුව වූ මීකල් මෙහොලාතිය බර්ශිල්ලයිගේ පුත් අද්‍රියෙල්ට දාව ලැබූ පුත්‍රයන් පස්දෙනා ද ගෙන,
9. ගිබියොන්වරුන් අතට පාවා දුන්නේ ය. ඔව්හු සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි කන්දේ ඔවුන් එල්ලා දැමුවෝ ය. මෙසේ ඒ සත්දෙනා එක විට ම වැනසුණෝ ය. ඔවුන් මරනු ලැබුවේ යව කපන්නට පටන්ගන්න කාලයේ මුල් ම දවස්වල දී ය.
10. එවිට අයාගේ දුව වූ රිශ්පා ගෝණි රෙදි අරගෙන ගොස් පර්වතය පිට අතුරා ඉඳගෙන, ගොයම් කපන කාලය පටන්ගැන්මේ සිට අහසින් වැසි වසින තෙක් දවල් ආකාශයේ පක්ෂීන්ට වත්, රෑ වනයේ මෘගයන්ට වත් ඒ මළකඳන් ළඟට පැමිණෙන්නට ඉඩ නො‍දී සිටියා ය.
11. අයාගේ දුව වූ, සාවුල්ගේ උපභාර්යාව වූ රිශ්පා කළ දෙය දාවිත්ට දන්වන ලද්දේ ය.
12. එවිට ඔහු ගොස්, ජාබෙෂ්-ගිලියද් වැසියන්ගෙන් සාවුල්ගේ ද ඔහුගේ පුත් ජොනතන්ගේ ද ඇටකටු අරගත්තේ ය. ඔවුන් ඒ ඇටකටු බෙත්ෂාන්හි ප්‍රසිද්ධ චතුරශ්‍රයෙන් සොරාගෙන ගොස් තිබිණි. සාවුල් ගිල්බෝවා කන්දේ දී මරනු ලැබූ දවසේ දී පිලිස්තිවරුන් ඔහුගේ ද ජොනතන්ගේ ද සිරුරු එල්ලුවේ ඒ චතුරශ්‍රයෙහි ය.
13. දාවිත් ගොස් සාවුල්ගේ ඇටකටු සහ ඔහුගේ පුත් ජොනතන්ගේ ඇටකටු එතැනින් ගෙනාවේ ය. එල්ලා දමන ලද තැනැත්තන්ගේ ඇටකටුත් ඔව්හු එකතු කළෝ ය.
14. සාවුල්ගේ ද ඔහුගේ පුත් ජොනතන්ගේ ද ඇටකටු බෙන්ජමින් රටේ ශේලාහි තිබෙන සාවුල්ගේ පිය වූ කිෂ්ගේ සොහොන් ගෙයි තැන්පත් කොට රජු විසින් අණ කරන ලද සියල්ල ඔව්හු කළෝ ය. ඉන්පසු දේශය වෙනුවෙන් කරන ලද කන්නලව්වට දෙවියන් වහන්සේ සවන් දුන් සේක.
15. ඉශ්රායෙල්වරුන්ට විරුද්ධ ව පිලිස්තිවරු යළිත් යුද්ධයක් කළහ. දාවිත් තමාගේ සේවකයන් සමඟ ගොස් පිලිස්තිවරුන්ට විරුද්ධ ව සටන් කෙළේ ය. දාවිත් විඩාවට පත් විය.
16. එවිට රෙපායිම් නම් යෝධයන්ගෙන් පැවත ආ කෙනෙකු වන ඉෂ්බි-බෙනො‍බ්, දාවිත් මරන්නට සිතා ගත්තේ ය. ඔහුගේ ලෝකඩ හෙල්ලයේ බර කිලෝග්‍රෑම් තුනහමාරක් ය. ඔහු අලුත් කඩුවක් ද ඉණේ බැඳගෙන සිටියේ ය.
17. එහෙත්, ශෙරුයාගේ පුත් අබිෂයි රජුට සහාය වී පිලිස්තියයාට පහර දී ඔහු මැරුවේ ය. එවිට දාවිත්ගේ සෙනඟ, “ඉශ්රායෙල්වරුන්ගේ පහන වැනි බලාපොරොත්තුව වන ඔබ, නො‍නිවෙන පිණිස තවත් අප සමඟ යුද්ධයට නො‍යා යුතු ය”යි දිවුරුම් දී දාවිත්ට කියා සිටියෝ ය.
18. ඉන්පසු නැවතත් පිලිස්තිවරුන් සමඟ ගෝබ්හි යුද්ධයක් විය. එවිට හුෂාතිය සිබ්බෙකයි, යෝධයාගේ පුත්‍රයන්ගෙන් එක් කෙනෙකු වූ සප් මැරුවේ ය.
19. නැවතත් පිලිස්තිවරුන් සමඟ ගෝබ්හි යුද්ධයක් විය; බෙත්ලෙහෙමීය ජාරේ-ඔරෙගීම්ගේ පුත්‍ර වූ එල්හානාන් ගිත්තීය ගොලියත්ගේ සහෝදරයා මැරුවේ ය. ඔහුගේ හෙල්ලයේ මිට වියන යන්ත්‍රයක දණ්ඩක් හා සමාන ය.
20. නැවතත් ගාත්හි යුද්ධයක් විය; එහි බොහෝ උස මහත මනුෂ්‍යයෙක් සිටියේ ය. ඔහුගේ අත්වලත්, පාවලත් හය හය බැගින් ඇඟිලි විසිසතරක් තිබිණි. ඔහුත් යෝධයාට දාව උපන් කෙනෙකි.
21. ඔහු ඉශ්රායෙල්වරුන්ට අභියෝග කළ කල, දාවිත්ගේ සහෝදරයා වන ෂිමෙයිගේ පුත්‍ර වූ ජොනතන් ඔහු මැරී ය.
22. ඒ සතරදෙනා ගාත්හි දී යෝධයාට දාව උපන්නෝ ය. ඔව්හු දාවිත් අතින් ද ඔහුගේ සේවකයන් අතින් ද මැරුම්කෑවෝ ය.

2 සාමුවෙල් 22:1-51
1. සමිඳාණන් වහන්සේ දාවිත්ගේ සියලු සතුරන් අතින් ද සාවුල් අතින් ද ඔහු මුදාගත් කල ඔහු සමිඳාණන් වහන්සේට ගැයූ ගීයේ වචන මෙසේ ය:
2. සමිඳාණෝ මාගේ පර්වතය ය, මාගේ බලකොටුව ය, මාගේ මිදුම්කාරයාණෝ ය.
3. මාගේ පර්වතය වන දෙවිඳාණෝ ය; මම එතුමාණන් සරණ කරගනිමි. එතුමාණෝ මාගේ පලිහ ය; මාගේ ගැළවීමේ බලය ය; මාගේ බලකොටුව ය; මාගේ රක්ෂස්ථානය ය; මාගේ විමුක්තිදායකයාණෝ ය; ඔබ බලහත්කාරකමෙන් මා ගළවන සේක.
4. සියලු පැසසුම්වලට හිමිකම් ඇති සමිඳුන් මම අයැද සිටිමි. මෙසේ මාගේ සතුරන්ගෙන් මම ගැළවෙන්නෙමි.
5. මන්ද, මරණය නමැති තරංගයෝ මා වට කළහ. අධර්මය නමැති ජලධාරාවෝ මා බියගැන්වූ හ.
6. පාතාලයේ රැහැන් මා වෙළා ගති, මරණයේ මලපත් මට අටවා තිබිණි.
7. මාගේ විපතේ දී මම සමිඳුන් යැදීමි. එසේ ය, මාගේ දෙවිඳුන්ට මොරගැසීමි. එතුමාණෝ සිය මාලිගාවේ සිට මාගේ හඬට සවන් දුන් සේක. මා යැදුම් එතුමන් වෙත නැඟිණි.
8. එවිට පොළො‍ව සෙලවී කම්පා විය; සග පදනම් ද වෙවුළා සෙලවිණි. මන්ද, එතුමාණෝ උදහස් වූ සේක.
9. එතුමාණන්ගේ නාස් පුඬුවලින් දුමක් නැඟිණි. එතුමන්ගේ මුවින් වනසන ගින්නක් නික්මිණි, එයින් ගිනි අඟුරු ඇවිළිණි.
10. එතුමාණෝ අහස නමා බැස වැඩිය සේක, එතුමන්ගේ පා යට ගන’ඳුර වී ය.
11. එතුමාණෝ කෙරුබ්වරයෙකු අරා පියාසර කළ සේක. එසේ ය, එතුමාණෝ සුළං පියාපත් පිට පියාඹා වැඩිය සේක.
12. එතුමාණෝ අඳුර සිය ආවරණය කරගත් සේක. ඝන වැහි වලා සිය මණ්ඩපය කරගත් සේක.
13. එතුමාණන් ඉදිරියෙහි වූ දීප්තියෙන් ගිනි අඟුරු දැල්වී ගියේ ය.
14. සමිඳාණෝ අහසේ සිට ගිගුරුම් දුන් සේක: මහෝත්තමයාණෝ සිය හඬ නිකුත් කළ සේක.
15. එතුමාණෝ සිය ඊගස් විද ඔවුන් විසුරුවා හළ සේක; විදුලිය එවා ඔවුන් පරාජය කළ සේක.
16. එකල සමිඳුන්ගේ තරවටුවෙන් ද එතුමන්ගේ නාසයෙන් නික්මුණ වාත වේගයෙන් ද සමුද්‍ර පත්ල එළි පෙහෙළි විය; පොළො‍වේ පදනම් ද දිස් විය.
17. එතුමාණෝ උඩින් අත පොවා මා අල්ලාගත් සේක; ගැඹුරු දිය පාරින් මා ඇදගත් සේක.
18. මාගේ බලවත් සතුරන්ගෙන් ද මට වෛර කළවුන්ගෙන් ද එතුමාණෝ මා මුදා ගත් සේක. මන්ද, ඔව්හු මට වඩා බලවත් වූ හ.
19. මාගේ විපත්ති දවසේ දී ඔව්හු මට විරුද්ධ ව නැඟී ආහ. එහෙත්, සමිඳාණෝ මාගේ පිහිට වූ සේක.
20. එතුමාණෝ අවහිර නැති තැනකට මා ගෙනා සේක, මා කෙරෙහි ප්‍රසන්න වූ බැවින් මා මිදූ සේක.
21. සමිඳාණෝ මාගේ දැහැමිකම අනුව මට විපාක දුන් සේක. මාගේ නිදොස්කම අනුව මට ප්‍රතිඵල දුන් සේක.
22. මන්ද, මම සමිඳු මඟ හැසුරුණෙමි, මාගේ දෙවිඳුන් කෙරෙන් දුෂ්ට ලෙස අහක් ව නො‍ගියෙමි.
23. එතුමන්ගේ සියලු නියෝග මා ඉදිරියෙහි විය. එතුමන්ගේ පණත්වලින් ඉවත් ව නො‍ගියෙමි.
24. මම එතුමන් ඉදිරියෙහි නිදොස් ව සිටියෙමි; පවින් වැළකී සිටියෙමි.
25. එබැවින් සමිඳාණෝ මාගේ දැහැමිකම අනුව ද එතුමන්ගේ ඇස් හමුයෙහි මාගේ පිරිසිදුකම අනුව ද මට ප්‍රතිඵල දුන් සේක.
26. කරුණාවන්ත අයට ඔබ කරුණාවන්ත ය. නිදොස් අයට ඔබ නිදොස් ය.
27. පිරිසිදු අයට ඔබ පිරිසිදු ය. හිතුවක්කාර අයට ඔබ විරුද්ධ ය.
28. ඔබ පීඩිත සෙනඟ ගළවන සේක. එහෙත්, උඩඟු වූවන් පහත් කරන පිණිස ඔබේ ඇස් ඔවුන් දෙස යොමා තිබේ.
29. මන්ද, සමිඳුනි, ඔබ මාගේ පහන ය, සමිඳාණෝ මාගේ අඳුර එළිය කරන සේක.
30. ඔබේ පිහිටෙන් මට හමුදාවක් වැනසිය හැකි ය. ඔබේ පිහිටෙන් පවුරු උඩින් පැන්න හැකි ය.
31. මේ දෙවිඳුන්ගේ මාර්ගය පරිපූර්ණ ය; සමිඳුන්ගේ වචන නිර්මල ය. තමන් සරණ යන අයට එතුමාණෝ පලිහක් වන සේක.
32. මන්ද, සමිඳුන් මිස දෙවි වන්නේ කවරෙක් ද? අපේ දෙවිඳුන් මිස පර්වතයක් වන්නේ කවරෙක් ද?
33. මේ දෙවි තුමාණෝ මාගේ බලකොටුව ය; එතුමාණෝ මාගේ මාර්ගය නිදොස් කරන සේක.
34. එතුමාණෝ මාගේ පාද මුව දෙනුන්ගේ පාද මෙන් කරන සේක. කඳු මුදුන්හි මා සුරක්ෂිත ව තබන සේක.
35. මාගේ බාහුවෙන් ලෝකඩ දුන්නක් නමන්න පුළුවන් වන පිණිස එතුමාණෝ මාගේ දෑත සටනට පුහුණු කරන සේක.
36. ඔබේ ගැළවීම නමැති පලිහ ඔබ මට දුන් සේක. ඔබේ පිහිට මා උසස් කළ සේක.
37. ඔබ මාගේ දෙපා යට මාගේ අඩි පාර පළල් කළ සේක. මාගේ පාද නො‍ලිස්සුවේ ය.
38. මම මාගේ සතුරන් ලුහුබැඳ ගොස් ඔවුන් විනාශ කෙළෙමි. මම ඔවුන් වනසන තුරු හැරී නායෙමි.
39. නැඟිටින්න බැරි වන ලෙස මම ඔවුන්ට පහර දී ඔවුන් වැනසුවෙමි. එසේ ය, ඔවුහු වැටී මාගේ පාදවලට යට වූ හ.
40. මන්ද, ඔබ සටන් පිණිස ශක්තියෙන් මාගේ ඉඟටිය සවිමත් කරන සේක. මට විරුද්ධ ව නැඟුණ අය ඔබ මා ඉදිරියෙහි අවනත කරවූ සේක.
41. ඔබ මාගේ සතුරන්ට පසු බැස යන්න සැලැසූ සේක. මට ද්වේෂ කරන්නන් මම විනාශ කරමි.
42. ඔවුන් බැලූ නමුත්, ඔවුන් ගළවන්න කිසිවෙක් නො‍ වූ හ. සමිඳුන්ට මොරගැසූ නමුත් එතුමාණෝ උත්තර නුදුන් සේක.
43. එකල මම පොළො‍වෙහි ධූලි මෙන් ඔවුන් සුණු විසුණු කෙළෙමි. වීථිවල මඩ මෙන් ඔවුන් පාගා දැමුවෙමි.
44. කැරලිකාර සෙනඟගෙන් ඔබ මා මිදූ සේක; ජාතීන්ට ප්‍රධානියා වන පිණිස මා රක්ෂා කළ සේක; මා නො‍හඳුනන සෙනඟක් මට මෙහෙ කරති.
45. විදේශීහු බැගෑපත් ව මාගේ පිහිට පතා එන්නෝ ය. මා ගැන ඇසූ කෙණෙහි ම ඔවුහු මට කීකරු වෙති.
46. විදේශීහු මලානික වී තමන් සැඟවී උන් හිටි තැන්වලින් වෙවුළමින් පිටත එති.
47. සමිඳාණෝ ජීවමාන ය; මාගේ පර්වතයාණන්ට ප්‍රශංසා වේ වා! මාගේ ගැළවීමේ පර්වතය වන දෙවිඳාණෝ උසස් වන සේක් වා!
48. එතුමාණෝ, මා උදෙසා සතුරන්ගෙන් පළිගන්න, ජාතීන් මට යටත් කර දෙන,
49. මාගේ සතුරන්ගෙන් මා මුදාගන්න දෙවියන් වහන්සේ ය. එසේ ය, මට විරුද්ධ ව නැඟී සිටින්නාට වඩා ඔබ මා උසස් කරන සේක; සැහැසි මිනිසුන්ගෙන් මා ගළවන සේක.
50. එබැවින් සමිඳුනි, විජාතීන් අතරේ ඔබට ස්තුති කරන්නෙමි; ඔබේ නාමයට ප්‍රශංසා ගී ගයන්නෙමි.
51. උන් වහන්සේ තමන් රජු හට ඉමහත් ජය අත් කර දෙන සේක. තමන්ගේ අභිෂේක ලත් තැනැත්තා වන දාවිත්ටත්, ඔහුගේ වංශයටත් සදහට කරුණාව පෙන්වන සේක.

ගීතාවලිය 68:1-6
1. දාවිත්ගේ ගීතයකි, කාව්‍යයකි. දෙවිඳාණෝ නැඟිට සතුරන් විසුරුවා හරින සේක. එතුමන්ට වෛර කරන්නෝ එතුමන් ඉදිරියෙන් පලා යන්නෝ ය.
2. සුළඟට ගසාගෙන යන දුමක් මෙන් එතුමාණෝ ඔවුන් පහකරන සේක; ගිනි ළඟ දිය වන ඉටි මෙන් දෙවිඳුන් අබිමුව දුදනෝ වැනසී යෙත් වා!
3. එහෙත්, දැහැමියෝ දෙවිඳුන් අබිමුව ප්‍රීති ප්‍රමෝද වෙත් වා! ප්‍රීතියෙන් කුල්මත් වී ගී ගයත් වා!
4. දෙවිඳුන්ට ගී ගයන්න; එතුමන්ගේ නම කියා එතුමන් පසසන්න. වලාකුළු අරා වඩින සමිඳුන් හට මාවතක් පිළියෙළ කරන්න; එතුමන්ගේ නාමය සමිඳාණෝ ය, එතුමන් අබිමුව ප්‍රීතියෙන් සිටින්න.
5. එතුමාණෝ, අනාථයන්ගේ පියාණෝ ද වැන්දඹුවන්ගේ ආරක්ෂකයාණෝ ද වන සේක. සිය ශුද්ධ නිවාසයෙහි වසන එතුමාණෝ දෙවිඳාණෝ ය.
6. දෙවිඳාණෝ අනාථ වූවන්ට නිවෙස් තනා දෙන සේක; හිරකරුවන්ට නිදහස දෙන සේක; එහෙත්, කැරලිකරුවන් මරුකතරේ විසීමට හරින සේක.

හිතෝපදේශ 17:2-4
2. නාස්තිකාර පුතෙකු සිටින තැන සිහි නුවණ ඇති දාසයා පාලකයා වෙයි. සොහොයුරන් අතර උරුමයෙන් කොටසක් ද ඔහු ලබයි.
3. රිදී සෝදිසි කර බැලීමට කෝවය ද රන් සෝදිසි කර බැලීමට උදුන ද ඇත; මිනිස් සිත සෝදිසි කර බැලීම සමිඳුන් අතේ ය.
4. නපුරා නපුරු කතාවලට කන් දෙයි; බොරුකාරයා බොරු වදනට සවන් දෙයි.

ශුද්ධවර ජොහන් 8:28-59
28. එබැවින් ජේසුස් වහන්සේ කතා කොට, “ඔබ මනුෂ්‍ය-පුත්‍රයාණන් ඔසවා ලූ කල මා උන් වහන්සේ ම බවත්, පියාණන් වහන්සේ මට ඉගැන්වූ ලෙස මෙසේ කතා කරනවා මිස, මාගේ ම අධිකාරිත්වයෙන් මා කිසිවක් නොකරන බවත්, ඔබට අවබෝධ වනු ඇත.
29. මා එවා වදාළ තැනැන් වහන්සේ මා සමඟ වැඩ වසන සේක. උන් වහන්සේ මා තනි වෙන්නට නොහැරිය සේක. මන්ද, මා නිරතුරු උන් වහන්සේට ප්‍රිය මනාප දේ කරන බැවිනි”යි වදාළ සේක.
30. උන් වහන්සේ මෙසේ කතා කරන අතර, බොහෝ දෙනෙක් උන් වහන්සේ අදහාගත්හ.
31. එබැවින්, තමන් වහන්සේ අදහාගත් ජුදෙව්වරුන්ට ජේසුස් වහන්සේ කතා කොට, “ඔබ මාගේ ධර්මයෙහි පිහිටා පවතින්නහු නම්, සැබැවින් ම ඔබ මාගේ ශ්‍රාවකයෝ ය;
32. ඔබ සත්‍යය අවබෝධ කරගන්නහු ය; සත්‍යය ඔබ නිදහස් කරන්නේ ය”යි වදාළ සේක.
33. ඔව්හු පිළිතුරු දෙමින්, “අපි ආබ්‍රහම්ගේ වංශයෙන් වම්හ; කිසි කලෙක කිසිවෙකුට අපි වහල් නොවීමු. එබැවින් ‘අප නිදහස් වනු ඇත’ කියා ඔබ කියන්නේ කෙසේ දැ”යි ඇසූ හ.
34. ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, “ඒකාන්තයෙන් මම ඔබට කියමි, පව් කරන හැම කෙනෙක් ම පාපයට වහලෙකි.
35. වහලෙකුට පවුලේ විසීමට නිත්‍ය හිමිකමක් නැත. එහෙත් පුත්‍රයෙකුට නිත්‍ය හිමිකමක් ඇත.
36. එබැවින් පුත්‍රයාණෝ ඔබ නිදහස් කරන සේක් නම්, ඔබ සැබැවින් ම නිදහස් ය.
37. ඔබ ආබ්‍රහම්ගේ වංශයෙන් පැවත එන බව මම දනිමි. එසේ වුව ද, ඔබ තුළ මාගේ දහමට ඉඩක් නොවන බැවින් ඔබ මා මරන්නට සොයන්නහු ය.
38. මාගේ පියාණන් වහන්සේ ඉදිරියෙහි මා දුටු දේ මම පවසමි; ඔබේ පියාගෙන් ඇසූ දේ ඔබ කරන්නහු ය”යි වදාළ සේක.
39. “අපේ පියාණෝ ආබ්‍රහම් ය”යි ඔව්හු උන් වහන්සේට පිළිතුරු දුන්හ. උන් වහන්සේ ද, “ඔබ ආබ්‍රහම්ගේ දරුවෝ නම් ආබ්‍රහම් කළ ක්‍රියා ඔබත් කරනු ඇත.
40. එසේ වුව ද, දෙවියන් වහන්සේගෙන් අසා දැනගත් සත්‍යය ප්‍රකාශ කළ මිනිසෙකු වන මා මරන්නට ඔබ සොයන්නහු ය. ආබ්‍රහම් නම් එසේ කෙළේ නැත.
41. ඔබ කරන්නේ ඔබේ පියාගේ ක්‍රියා ය”යි වදාළ සේක. එවිට ඔව්හු; “අපි අවජාතක දරුවෝ නොවෙමු. අපට ඇත්තේ එක ම පියෙකි; එනම්, දෙවියන් වහන්සේ ම ය”යි කී හ.
42. ජේසුස් වහන්සේ ඔවුන්ට පිළිතුරු දෙමින්, “දෙවියන් වහන්සේ ඔබේ පියාණෝ නම් ඔබ මට ප්‍රේම කරනු ඇත. මන්ද, මම දෙවියන් වහන්සේ කෙරෙන් පහළ වී දැන් මෙහි සිටිමි. මාගේ ම කැමැත්තෙන් මා පැමිණියා නොව, උන් වහන්සේ මා එවා වදාළ සේක.
43. මා කියන දේ ඔබට අවබෝධ නොවන්නේ මන් ද? මාගේ දහම තේරුම් ගැනීමට ඔබ අපොහොසත් බැවිනි.
44. ඔබේ පියා යක්ෂයා ය. එබැවින් ඔබේ කැමැත්ත ඔබේ පියාගේ ආශාවන් ඉටු කිරීම ය. මුල සිට ම ඔහු මිනීමරුවෙකි. සත්‍යය ඔහු තුළ පිහිටා නැති බැවින්, ඔහු සත්‍යයෙහි නොපිහිටියේ ය. ඔහු බොරු කියන කල ඔහුගේ නියම ගතියෙන් ම කතා කරයි. මන්ද, ඔහු බොරුකාරයෙකි. ඔහු බොරුවේ පියා ය.
45. මා ඔබට සත්‍යය පවසන බැවින් ඔබ මා විශ්වාස නොකරන්නහු ය.
46. පාපය ගැන මට විරුද්ධ ව චෝදනා කළ හැක්කේ ඔබ අතුරෙන් කවරෙකුට ද? මම සත්‍යය පවසන්නෙම් නම්, ඔබ මා විශ්වාස නොකරන්නේ මන් ද?
47. දෙවියන් වහන්සේගෙන් පැවතෙන තැනැත්තේ දෙවියන් වහන්සේගේ වචන අසයි. ඔබ සවන් නොදෙන්නේ ඔබ දෙවියන් වහන්සේගෙන් නොවන බැවිනැ”යි වදාළ සේක.
48. ජුදෙව්වරු උත්තර දෙමින්, “ඔබ සමාරියයෙකු බවත්, ඔබට දුෂ්ටාත්මයෙකු ආවේශ වී ඇති බවත් අප කියන විට එය ඇත්ත නොවේ දැ”යි ඇසූ හ.
49. උන් වහන්සේ එයට පිළිතුරු දෙමින්, “මට දුෂ්ටාත්මයක් ආවේශ වී නැත. මා ගෞරව කරන්නේ මාගේ පියාණන් වහන්සේට ය. එහෙත් ඔබ මට අගෞරව කරන්නහු ය.
50. එසේ වුව ද, මම මාගේ ම ගෞරවය නොසොයමි. එය සොයන, විනිශ්චය කරන, කෙනෙක් සිටිති.
51. ඒකාන්තයෙන් ම මම ඔබට කියමි, යමෙක් මාගේ ධර්මය පිළිපදින්නේ නම්, ඔහු කිසි කලෙක මරණය නොදකින්නේ ය”යි වදාළ සේක.
52. ජුදෙව්වරු කතා කරමින්, “ඔබට දුෂ්ටාත්මයෙකු ආවේශ වී ඇති බව දැන් අපි දනිමු. ආබ්‍රහම් මියගියේ ය; දිවැසිවරයෝ ද මියගියහ. එහෙත් ඔබ, ‘යමෙක් මාගේ ධර්මය පිළිගන්නේ නම්, ඔහු කිසි කලෙක නොමැරෙන්නේ ය’යි කියන්නෙහි ය.
53. මියගියා වූ අපේ පිය වූ ආබ්‍රහම්ට වඩා ඔබ උතුම් ද? දිවැසිවරයෝ පවා මියගියහ. ඔබ කවරෙකු කියා සිතන්නෙහි දැ”යි ඇසූ හ.
54. ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, “මම මට ම ගෞරව කරන්නේ නම්, මාගේ ගෞරවයෙහි වැදගැම්මක් නැත. මට ගෞරව කරන්නේ මාගේ පියාණන් වහන්සේ ය. ඔබේ දෙවියන් වහන්සේ යයි ඔබ කියන්නේ උන් වහන්සේ ගැන ම ය.
55. ඔබ උන් වහන්සේ නොහඳුනන්නහු ය. එහෙත් මම උන් වහන්සේ හඳුනමි. මම උන් වහන්සේ නොහඳුනමි යි කීවොත්, මමත් ඔබ හා සමාන බොරුකාරයෙක් වන්නෙමි. එහෙත් මම උන් වහන්සේ හඳුනමි; උන් වහන්සේගේ වචනය ද පිළිපදිමි.
56. ඔබේ පිය වූ ආබ්‍රහම් මාගේ පැමිණීමේ දවස දැකීමට පුල පුලා සිටියේ ය. ඔහු එය දැක ප්‍රීති වී ය”යි වදාළ සේක.
57. ජුදෙව්වරු පිළිතුරු දෙමින්, “තව ම වයස අවුරුදු පණහක් වත් නැති ඔබ ආබ්‍රහම් දුටුවේ කෙසේ දැ”යි ඇසූ හ.
58. “ඒකාන්තයෙන් ම මම ඔබට කියමි, ආබ්‍රහම් උපදින්නටත් පෙර මම වෙමි”යි උන් වහන්සේ වදාළ සේක.
59. ඔව්හු උන් වහන්සේට ගසන පිණිස ගල් අතට ගත්හ. එහෙත් ජේසුස් වහන්සේ රහසිගත ව, දේව මාලිගාවෙන් පිට වී ගිය සේක.