Instagram
English
A A A A A
2 සාමුවෙල් 7:1-29
1. දාවිත් රජුගේ සියලු සතුරන්ගෙන් සමිඳාණන් වහන්සේ ඔහුට හැම අතින් ම නිදහස දුන් පසු, ඔහු සිය නිවෙසෙහි වාසය කෙළේ ය.
2. එසේ සිටින අතර රජතුමා නාතාන් නම් දිවැසිවරයාට කතා කොට, “මෙන්න, මම දැන් කිහිරි ගෙයක වසමි; එහෙත්, දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව කූඩාරමක් ඇතුළේ තිබේ ය”යි කීවේ ය.
3. එවිට නාතාන් පිළිතුරු දෙමින්, “ඔබ ගොස් ඔබේ සිතේ තිබෙන සියල්ල කරන්න; මන්ද, සමිඳාණන් වහන්සේ ඔබ සමඟ වැඩ සිටින සේකැ”යි රජුට කීවේ ය.
4. තවද, එම රාත්‍රියේ සමිඳාණන් වහන්සේගේ පණිවුඩය නාතාන් වෙත පැමිණියේ ය.
5. උන් වහන්සේ මෙසේ වදාළ සේක: “නුඹ ගොස්, සමිඳාණන් වහන්සේ මෙසේ කියන සේකැ යි මගේ මෙහෙකරු වන දාවිත්ට කියන්න:
6. ‘මාගේ වාසස්ථානය සඳහා මට මාලිගාවක් ගොඩනඟන්නට යන්නේ නුඹ ද? මම ඉශ්රායෙල් සෙනඟ මිසරයෙන් ගෙනා දවසේ පටන් අද දක්වා ගෘහයක වාසය නො‍කොට කූඩාරමක ද මණ්ඩපයක ද වාසය කෙළෙමි.
7. මාගේ සෙනඟ වන ඉශ්රායෙල් පාලනය කරන පිණිස මා අණ දුන් වීර පුරුෂයන්ගෙන්, ‘නුඹලා මට කිහිරි ලීවලින් ගෘහයක් ගොඩනොනැඟුවේ මන්දැ’යි සියලු ඉශ්රායෙල් සෙනඟ හැසුරුණ කිනම් ස්ථානයක දී ඇසුවෙම් ද?
8. “එබැවින්, මාගේ මෙහෙකරු දාවිත්ට මෙසේ කියන්නැ යි සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක. මාගේ සෙනඟ වන ඉශ්රායෙල් කෙරෙහි අධිපතියා වන පිණිස තණ බිමෙන් ද බැටළුවන් පස්සේ යාමෙන් ද මම නුඹ කැඳවාගතිමි.
9. නුඹ ගිය හැමතැන්හි ම මම නුඹ සමඟ සිට, නුඹේ සතුරන් නුඹ ඉදිරියෙන් සිඳදැමුවෙමි. මිහි පිට සිටින උත්තමයන්ගේ නාමය මෙන් උසස් නාමයක් නුඹට සලසා දෙන්නෙමි.
10. මාගේ සෙනඟ වන ඉශ්රායෙල් ඔවුන්ට ම හිමි ස්ථානයෙහි වාසය කරමින්, තවත් බැහැර කරනු නො‍ලබන ලෙස මම ඔවුන්ට ස්ථානයක් නියම කොට ඔවුන් ස්ථිර කොට පිහිටුවන්නෙමි. දුෂ්ටයෝ පෙර කළා සේ තවත් ඔවුන්ට හිරිහැර නො‍කරන්නාහ.
11. එසේ කරන්නේ, මා ඉශ්රායෙල් කෙරෙහි වීර පුරුෂයන් පත් කළ කාලයේ දී මෙන් ය. නුඹේ සියලු සතුරන්ගෙන් නිදහස ලැබෙන්නට සලස්වන්නෙමි. ඇරත්, සමිඳාණන් වහන්සේ නුඹට වංශයක් උපදවා දෙන බව සමිඳාණන් වහන්සේ ම නුඹට දන්වන සේක.
12. නුඹේ ආයු කාලය සම්පූර්ණ වී නුඹේ පියවරුන් සමඟ සැතපුණ කල්හි, මම නුඹෙන් පැවත එන නුඹේ ම දරුවෙකු නුඹට පසු ව රජකමට නංවා ඔහුගේ රාජ්‍යයෙහි ඔහු ස්ථිර කරන්නෙමි.
13. ඔහු ම මාගේ නාමයට මාලිගාවක් ගොඩනඟන්නේ ය. ඔහුගේ රාජ්‍යයේ සිංහාසනය ද සදහට ම ස්ථිර කරන්නෙමි.
14. මම ඔහුට පියෙක් වන්නෙමි; ඔහු මට පුත්‍රයෙක් වන්නේ ය. ඔහු අයුතුකම් කළො‍ත් මම පියෙකු මෙන් ඔහුට ඉපලෙන් දඬුවම් කරන්නෙමි; මිනිසුන් පහර දෙන සේ ඔහුට පහර දෙන්නෙමි.
15. එහෙත්, නුඹේ මාර්ගයෙන් මා විසින් අහක් කරන ලද සාවුල්ගෙන් මාගේ ස්ථිර ප්‍රේමය පහ කළ ලෙස ඒ රජුගෙන් එය පහ නො‍කරන්නෙමි.
16. නුඹේ වංශය ද රාජශ්‍රීය ද මා ඉදිරියෙහි සදහට ම ස්ථිර කරනු ලබන්නේ ය. නුඹේ සිංහාසනය සදහට ම පිහිටුවනු ලබන්නේ ය.”
17. මේ සියලු වචනවල හැටියටත්, මේ මුළු දර්ශනයේ හැටියටත් නාතාන් දාවිත්ට දැන්විය.
18. එවිට දාවිත් රජ ඇතුළට ගොස් සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි හිඳගෙන, මෙසේ යැදී ය: “දෙවි ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේ මෙපමණ දුර මා ගෙන ඊමට තරම් මම කවරෙක් ද? මාගේ වංශය කුමක් ද?
19. එහෙත්, දෙවි ස්වාමීන් වහන්ස, මේ දේ වුව ද, ඔබ ඇස් හමුයෙහි සුළු දෙයකි. මතු බොහෝ කලකට පවතින ඔබේ මෙහෙකරුවාගේ වංශය ගැනත් ඔබ වහන්සේ කතා කළ සේක. දෙවි ස්වාමීන් වහන්ස, මතු පරම්පරා ද මට පෙන්වා ඇත.
20. දාවිත් ඔබ වහන්සේට තවත් කුමක් කියන්න ද? දෙවි ස්වාමීන් වහන්ස, ඔබ නම් ඔබේ මෙහෙකරුවා දන්නා සේක.
21. ඔබ මේ සියලු උසස් දේ කොට ඔබේ මෙහෙකරුවාට එය දැන්වූයේ ඔබේ පොරොන්දුව නිසා ය. ඔබේ සිතට එකඟ ලෙස ය.
22. එබැවින් දෙවි ස්වාමීන් වහන්ස, ඔබ උතුම් ව සිටින සේක. ඔබ වහන්සේට සමාන කෙනෙකු ගැන අප කන්වලින් කවදාවත් අසා නැත; ඔබ හැර වෙන කිසි දෙවි කෙනෙක් ද නැත.
23. මිහි පිට කුමන ජාතියක් ඔබේ සෙනඟ වන ඉශ්රායෙල්ට සමාන ද? දෙවි ස්වාමීන් වහන්ස, තමන් සෙනඟ වන පිණිස දෙවියන් වහන්සේ විසින් වහල්කමින් මුදාගන්න ලද තවත් ජාතියක් ඇද් ද? ඔබ වහන්සේ කීර්තිය දිනාගන්න පිණිස උදාර වූ, භයානක වූ දේ කර දුන් තවත් ජාතියක් ඇද් ද? අන්‍ය ජාතීන් ද පන්නා දමා, ඔවුන්ගේ දෙවිවරුන් ද පන්නා දමා, මිසර දේශයෙන් තමන් වහන්සේ උදෙසා මුදාගත් ජාතියට සමාන අන් ජාතියක් ඇද් ද?
24. මෙසේ ඔබේ සෙනඟ වන ඉශ්රායෙල්, සදහට ම ඔබට සෙනඟක් වශයෙන් ස්ථිර කරගෙන, සමිඳුනි ඔබ ම ඔවුන්ගේ දෙවියන් වහන්සේ ව සිටින සේක.
25. “ඉතින් දෙවි ස්වාමීන් වහන්ස, ඔබේ මෙහෙකරුවා හා ඔහුගේ වංශය ගැනත් ඔබ වදාළ වචන සදහට ම ස්ථිර කොට, ඔබ වදාළ ලෙස කළ මැනව.
26. ‘ඉශ්රායෙල් කෙරෙහි දෙවියන් වහන්සේ ව සිටින්නේ සියලු බලැති සමිඳාණන් වහන්සේ ය’යි කියනු ලැබීමෙන් ඔබේ නාමය සදහට පසසනු ලැබේ වා! ඔබේ මෙහෙකරු වන දාවිත්ගේ වංශය ද ඔබ ඉදිරියෙහි ස්ථිර ව තිබේ.
27. මන්ද, ඉශ්රායෙල්වරුන්ගේ දෙවි වන සියලු බලැති සමිඳාණන් වහන්ස, ඔබ කතා කොට, ‘මම නුඹට වංශයක් සාදා දෙන්නෙමි’යි ඔබේ මෙහෙකරුවාට එළිදරව් කළ සේක. එබැවින් මේ යාච්ඤාව ඔබට ඔප්පු කරන්නට ඔබේ මෙහෙකරුවා ධෛර්ය ගත්තේ ය.
28. “ඉතින් දෙවි ස්වාමීන් වහන්ස, ඔබ ම දෙවියන් වහන්සේ ය, ඔබේ වචනය සැබෑ ම ය, ඔබ ද ඔබේ මෙහෙකරුවාට මේ යහපත් දේ පොරොන්දු වූ සේක.
29. එබැවින් ඔබේ මෙහෙකරුවාගේ වංශය ඔබ ඉදිරියෙහි සදහට ම පවතින පිණිස ඊට ආශීර්වාද කරන්නට ඔබ කැමැති වන සේක් වා! මන්ද, දෙවි ස්වාමීන් වහන්ස, ඔබ එසේ වදාළ සේක. ඔබේ ආශීර්වාදය මඟින් ඔබේ මෙහෙකරුවාගේ වංශය සදහට ම ආශීර්වාද කරනු ලැබේ වා!”

2 සාමුවෙල් 8:1-18
1. ඉන්පසු දාවිත් පිලිස්තිවරුන්ට පහර දී ඔවුන් යටත් කරගෙන, අගනුවර පාලනය පිලිස්තිවරුන් අතින් පැහැර ගත්තේ ය.
2. ඔහු මෝවබ්වරුන්ටත් පහර දී, ඔවුන්ට බිම දිගා වන්නට සලස්වා ලණුවකින් මැන්නේ ය. මරණයට පත් කිරීමට පේළි දෙකක් ද ඉතුරු කරන පිණිස එක සම්පූර්ණ පේළියක් ද මැන වෙන් කෙළේ ය. මෙසේ මෝවබ්වරු දාවිත්ට මෙහෙකරුවන් වී කප්පම් ගෙවූ හ.
3. තවද, රෙහෝබ්ගේ පුත්‍රයා ද ශෝබාහි රජු ද වන හදද්-එශෙර් යුප්‍රටීස් ගංගාව ළඟ තමාගේ බලය නැවත පිහිටුවන්නට යද්දී දාවිත් ඔහුටත් පහර දී,
4. අසරුවන් එක්දහස් හත්සියයක් ද පාබළ සෙනඟ විසිදහසක් ද ඔහුගෙන් අල්ලාගෙන, එයින් රථ සියයකට අසුන් ඉතිරි කරගෙන අනික් සියලු අශ්වයන්ගේ කුදිකපා අබලන් කෙළේ ය.
5. දමස්කයෙහි සිරියන්වරු ශෝබාහි රජ වූ හදද්-එශෙර්ට උපකාර කරන්නට ආහ. එවිට දාවිත් සිරියන්වරුන්ගෙන් මිනිසුන් විසිදෙදාහක් මැරුවේ ය.
6. සිරිය දමස්කයේ මුරකාර හමුදා තැබුවේ ය. සිරියන්වරු ද දාවිත්ට මෙහෙකරුවන් වී කප්පම් ගෙවූ හ. දාවිත් ගිය ගිය තැන සමිඳාණන් වහන්සේ ඔහුට ජය අත් කර දුන් සේක.
7. දාවිත් හදද්-එශෙර්ගේ සේවකයන්ට තිබුණු රන් පළිස් රැගෙන ජෙරුසලමට ගෙනාවේ ය.
8. බෙටා ද බෙරොතයි ද යන හදද්-එශෙර්ගේ නගරවලින් දාවිත් රජ ලෝකඩ බොහෝ සෙයින් ගත්තේ ය.
9. දාවිත්, හදද්-එශෙර්ගේ මුළු සේනාවට පහර දුන් බව හමාත්හි රජු වන තොයි ඇසූ විට, දාවිත් එසේ හදද්-එශෙර්ට විරුද්ධ ව සටන් කොට ඔහුට පහර දුන් නිසා දාවිත්ට ආචාර කරන්නටත්,
10. ඔහුට ආශීර්වාද කරන්නටත් ඔහු වෙත තමාගේ පුත් ජෝරාම් යැව්වේ ය. මන්ද, හදද්-එශෙර් හා තොයි අතරේ යුද්ධ පැවතුණේ ය. ජෝරාම් රන් බඩු ද රිදී බඩු ද ලෝකඩ බඩු ද ගෙනාවේ ය.
11. මේවා ද දාවිත් රජු යටත් කරගත් සියලු ජාතීන්ගෙන් ගත් රන් රිදී ද ඔහු සමිඳාණන් වහන්සේට කැප කෙළේ ය.
12. ඔහු ඒ රන් රිදී ගත්තේ, ඒදොම්වරුන්ගෙන් ද මෝවබ්වරුන්ගෙන් ද අම්මොන්වරුන්ගෙන් ද පිලිස්තිවරුන්ගෙන් ද අමලෙක්වරුන්ගෙන් ද රෙහෝබ්ගේ පුත් ශෝබාහි රජ වූ හදද්-එශෙර්ගෙන් ද ගත් කොල්ලයෙන් වේ.
13. දාවිත් ලුණු මිටියාවතෙහි ඒදොම්වරුන්ගෙන් දහඅට දාහකට පහර දී, හැරී ආ කල ඔහු කීර්තියට පත් විය.
14. ඔහු ඒදොම්හි හැම තැන ම මුරකාර හමුදා තැබුවේ ය. සියලු ඒදොම්වරු දාවිත්ට මෙහෙකරුවෝ වූ හ. දාවිත් ගිය ගිය තැන්හි සමිඳාණන් වහන්සේ ඔහුට ජය අත් කර දුන් සේක.
15. දාවිත් මුළු ඉශ්රායෙල් කෙරෙහි රජකම් කරමින් තමාගේ මුළු සෙනඟට විනිශ්චය හා යුක්තිය ඉෂ්ට කෙළේ ය.
16. ශෙරුයාගේ පුත් ජෝවාබ් සේනාපතියා ව සිටියේ ය. අහිලුද්ගේ පුත් ජෙහෝෂාපාට් වාර්තාකරුවා ව සිටියේ ය.
17. අහිතුබ්ගේ පුත් ශාදොක් හා අබියාතර්ගේ පුත් අහිමෙලෙක් පූජකයන් ව සිටියහ. සෙරායා ලේකම් ව සිටියේ ය.
18. ජෙහෝයාදාගේ පුත් බෙනායා කෙරෙතිවරුන් ද පෙලෙතිවරුන් ද කෙරෙහි අධිපතියා ව සිටියේ ය. දාවිත්ගේ පුත්‍රයෝ පූජකවරුන් ව සිටියහ.

ගීතාවලිය 64:1-10
1. දාවිත්ගේ ගීතයකි. දෙවිඳුනි, මා පැමිණිලි කරන විට මා හඬට කන් දුන මැනව; මේ භයානක සතුරන්ගෙන් මාගේ ජීවිතය ආරක්ෂා කළ මැනව.
2. දුෂ්ටයන්ගේ උපායවලින් මා රැකගත මැනව; කලහකාරී සෙනඟගෙන් මා ආරක්ෂා කළ මැනව.
3. ඔව්හු අසිපත් මෙන් තමන්ගේ දිව් මුවහත් කරගනිති; ඔව්හු ඊගස් මෙන් පරුෂ වචන විදිති.
4. ඔව්හු සැඟවී සිට නිදොස් අයට විදින්නෝ ය; අනතුරු ඇඟවීමක් නොකර හදිසියෙන් විදින්නෝ ය.
5. දුෂ්ට අරමුණු සඳහා ඔව්හු එකිනෙකාට අනුබල දෙන්නෝ ය; ඔවුන්ගේ උගුල කොතැන සඟවා අටවන්න දැ යි සාකච්ඡා කරන්නෝ ය. “අප දකින කෙනෙක් නැතැ”යි ඔව්හු සිතන්නෝ ය.
6. “අපේ අපරාධ සොයා ගත හැක්කේ කවරෙකුට ද? අපි කෛරාටික ලෙස උගුලක් ඇටවීමු.” මන්ද මනුෂ්‍යයාගේ සිතුවිලි හා අභ්‍යන්තරය ඉතා ගැඹුරු බැවිනි.
7. දෙවිඳාණෝ ඔවුන්ට ඊගසින් විදින සේක; අනතුරු ඇඟවීමක් නොකර හදිසියෙන් ඔවුන්ට තුවාළ කරන සේක.
8. අති උත්තමයාණෝ මුසා දොඩන්නන් වනසන සේක. ඔවුන් දකින සියල්ලෝ හිස් වනන්නෝ ය.
9. මිනිසුන් සැම දෙන බිය වී දෙවිඳුන්ගේ ක්‍රියා ප්‍රකාශ කරන්නෝ ය. “එතුමාණන් එසේ කෙළේ කුමක් නිසා දැ”යි ඔව්හු සිතන්නෝ ය.
10. දැහැමියා, සමිඳුන් තුළ ප්‍රීති ප්‍රමෝද වී එතුමාණන් සරණ සොයා යන්නේ ය; අවංක සිතැති තැනැත්තා ප්‍රීතියෙන් පිරී යන්නේ ය.

හිතෝපදේශ 16:18-19
18. විපතට පෙරටුවෙන් අහංකාරය ද වැටීමට පෙරටුවෙන් උඩඟුව ද යයි.
19. උඩඟු අය සමඟ කොල්ලය බෙදාගැනීමට වඩා, යටහත් සිතින් දිළිඳුන් ඇසුරු කිරීම යහපත.

ශුද්ධවර ජොහන් 5:24-47
24. “ඒකාන්තයෙන් මම ඔබට කියමි: මාගේ වචනය අසා, මා එවා වදාළ තැනැන් වහන්සේ අදහාගන්නාට සදාතන ජීවනය ඇත; ඔහු විනිශ්චයට නොපැමිණෙයි; ඔහු මරණයෙන් ජීවනයට පැමිණ සිටියි.
25. ඒකාන්තයෙන් මම ඔබට කියමි: දේව පුත්‍රයාණන්ගේ හඬ මළවුන් හට ඇසෙන පැය පැමිණෙන්නේ ය; දැනට ම පැමිණ ඇත; සවන් දෙන අය ජීවත් වෙති.
26. පියාණන් වහන්සේට තමන් තුළ ම ජීවනය තිබෙන්නාක් මෙන් ම, පුත්‍රයාණන්ටත් තමන් තුළ ජීවනය ඇති ව සිටින්නට උන් වහන්සේ වරය දුන් සේක.
27. තවද, උන් වහන්සේ මනුෂ්‍ය-පුත්‍රයාණන් වන බැවින් විනිශ්චය කිරීමේ අධිකාරි බලය ද උන් වහන්සේට දෙවා වදාළ සේක.
28. මේ ගැන මවිත නොවන්න; මන්ද, සොහොන්ගත සියල්ලන්ට උන් වහන්සේගේ හඬ ඇසෙන පැය පැමිණෙන්නේ ය.
29. එවිට, යහපත කළ අය සදාතන ජීවනය සඳහා උත්ථාන කරනු ලබති; අයහපත කළ අය විනිශ්චය සඳහා උත්ථාන කරනු ලබති.
30. “මාගේ තනි බලයෙන් මට කිසිත් කළ නො හැකි ය. අණ ලත් පරිද්දෙන් ම මම විනිශ්චය කරමි. මාගේ විනිශ්චය සාධාරණ ය. මන්ද, මාගේ අරමුණ, මාගේ ම කැමැත්ත ඉටු කිරීම නොව, මා එවා වදාළ උන් වහන්සේගේ කැමැත්ත ඉටු කිරීම ය.”
31. “මම, මා ගැන ම සාක්ෂි දෙන්නෙම් නම්, මාගේ සාක්ෂිය සැබෑ නොවේ.
32. එහෙත්, මා ගැන සාක්ෂි දරන වෙන කෙනෙක් වෙති. උන් වහන්සේ මා ගැන දරන සාක්ෂිය සැබෑ බව මම දනිමි.
33. ඔබ ජොහන් වෙත මිනිසුන් යැව්වහු ය. ඔහු සත්‍යය පිළිබඳ සාක්ෂිය දරා ඇත.
34. එහෙත්, මා මේ දේ ඔබට කියන්නේ, මිනිසාගෙන් සාක්ෂියක් ලබන පිණිස නොව, ඔබ ගැළවීම ලබන පිණිස ය.
35. ජොහන් වනාහි, දිළෙන, බැබළෙන පහනක් විය. ඔබ කලක් ඔහුගේ ආලෝකයෙහි ප්‍රමුදිත වන්නට කැමැති වූවහු ය.
36. එහෙත් මට ඇති සාක්ෂිය ජොහන්ගේ සාක්ෂියට වඩා උතුම් එකකි. මන්ද, මා විසින් පරිපූර්ණ කරනු ලබන පිණිස පියාණන් වහන්සේ මට පැවරූ කටයුතු, එනම්, මා කරන කටයුතු ම, පියාණන් වහන්සේ මා එවා වදාළ බවට සාක්ෂි වෙයි.
37. තවද, මා එවා වදාළ පියාණන් වහන්සේ ම මා පිළිබඳව සාක්ෂි දරා ඇත. උන් වහන්සේගේ හඬ කිසි කලෙක ඔබ අසා නැත. ස්වරූපය ද දැක නැත.
38. තවද, උන් වහන්සේගේ වචනය ඔබ තුළ නිදන්ගත වී නැත. මන්ද, ඔබ උන් වහන්සේ එවා වදාළ තැනැන් වහන්සේ විශ්වාස නොකරන බැවිනි.
39. ඔබ ශුද්ධ ලියවිල්ල හදාරන්නහු ය. එසේ කරන්නේ, ඒවායෙහි ඔබට සදාතන ජීවනය ඇතැ යි ඔබ සිතන බැවිනි. ඒවා ම මා ගැන සාක්ෂි දරන්නේ ය.
40. එහෙත්, ජීවනය ලබන පිණිස මා වෙතට එන්නට ඔබ කැමැති නොවන්නහු ය.
41. “මම මිනිසුන්ගෙන් ගෞරවය නොසොයමි.
42. එහෙත් මම ඔබ හොඳින් අඳුනමි. ඔබ තුළ දෙවියන් වහන්සේගේ ප්‍රේමය නොමැති බව මම දනිමි.
43. මම මාගේ පියාණන් වහන්සේගේ නාමයෙන් පැමිණියෙමි. එහෙත්, ඔබ මා නොපිළිගන්නහු ය. වෙන තැනැත්තෙකු තමාගේ ම නාමයෙන් පැමිණියහොත්, ඔබ ඔහු පිළිගනු ඇත.
44. එක ම දෙවියන් වහන්සේගේ ගෞරවය නොසොයන, එකිනෙකාගෙන් ගෞරව ලබන්නට ප්‍රිය කරන ඔබ, අදහාගන්නේ කෙසේ ද?
45. ඔබට විරුද්ධ ව මම පියාණන් වහන්සේට චෝදනා කරන්නෙමි යි නො සිතන්න. ඔබට විරුද්ධ ව චෝදනා කරන්නෙක් ඇත; එනම්, මෝසෙස් ය. ඔබේ බලාපොරොත්තුව ඔබ තබා ඇත්තේ ඔහු පිට ය.
46. ඔබ මෝසෙස් විශ්වාස කළාහු නම්, මා ද විශ්වාස කරන්නහු ය. මන්ද, මෝසෙස් මා ගැන ලියූ බැවිනි.
47. ඔබ මෝසෙස්ගේ ලියවිලි විශ්වාස නොකරන්නහු නම්, මාගේ වචන විශ්වාස කරන්නේ කෙසේ ද?”