A A A A A
අවුරුද්දකින් බයිබලය
මැයි 17

2 සාමුවෙල් 5:1-25
1. එකල සියලු ඉශ්රායෙල් ගෝත්‍රයෝ හෙබ්‍රොන්හි සිටි දාවිත් වෙත අවුත්, “අපි ඔබේ ම ලේ නෑයෝ වමු.
2. පසු ගිය කාලයේ දී, සාවුල් අපේ රජ ව සිටි කාලයෙහි ඉශ්රායෙල්වරුන් සටනට ගෙන ගියේත්, ඔවුන් ආපසු ගෙනාවේත් ඔබ ම ය. සමිඳාණන් වහන්සේ ඔබට කතා කොට, ‘නුඹ මාගේ ඉශ්රායෙල් සෙනඟ පාලනය කරමින්, ඉශ්රායෙල් කෙරෙහි අධිපතියා වන්නෙහි ය’යි වදාළ සේකැ”යි කීවෝ ය.
3. මෙසේ ඉශ්රායෙල්හි සියලු ප්‍රජා මූලිකයෝ හෙබ්‍රොන්හි සිටි රජ්ජුරුවන් වෙත පැමිණියෝ ය. දාවිත් රජු හෙබ්‍රොන්හි දී සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ඔවුන් සමඟ ගිවිසුමක් කෙළේ ය. ඔව්හු දාවිත් ඉශ්රායෙල්වරුන්ගේ රජු වශයෙන් අභිෂේක කළෝ ය.
4. දාවිත් රජකමට පත් වුණ විට ඔහුගේ වයස අවුරුදු තිහකි. ඔහු සතළිස් අවුරුද්දක් රජකම් කෙළේ ය.
5. ඔහු හෙබ්‍රොන්හි ජුදෙව්වරුන් කෙරෙහි රජකම් කෙළේ සත් අවුරුදු හය මාසයකි; ජෙරුසලමේ ඔහු සියලු ඉශ්රායෙල්වරුන් ද ජුදෙව්වරුන් ද කෙරෙහි රජකම් කෙළේ තිස්තුන් අවුරුද්දකි.
6. රජු ද ඔහුගේ සෙනඟ ද රටේ වැසියන් වූ ජෙබුසිවරුන්ට විරුද්ධ ව ජෙරුසලමට ගියෝ ය. ඔව්හු ද, “දාවිත්ට මෙහි ඇතුළු වන්නට බැරි ය”යි කියමින් දාවිත්ට කතා කොට, “ඔබ මෙහි ඇතුළු නොවන්නෙහි ය. අන්ධයන් හා කොරුන් ඔබ පහකරදමනු ඇතැ”යි කීවෝ ය.
7. එසේ වුව ද, දාවිත් සියොන් බලකොටුව අල්ලාගත්තේ ය; එය දාවිත්ගේ නුවර විය.
8. ඒ දවසේ දාවිත් කතා කොට, “ජෙබුසිවරුන්ට පහර දෙන සියල්ලෝ ම දිය අගල තුළින් ගොස් මා ද්වේෂ කරන මේ කොරුන්ටත්, අන්ධයන්ටත් පහර දෙත් වා”යි කී ය. ‘අන්ධයන් ද කොරුන් ද දේව මාලිගාවට ඇතුළු නො‍විය යුතු ය’ යන කීම ඇති වූයේ මේ නිසා ය.
9. දාවිත් බලකොටුවේ වාසය කෙළේ ය. එය දාවිත්ගේ නුවර යයි නම් කරන ලදී. දාවිත් මිල්ලෝ පටන් වටකරින් ද ඇතුළතින් ද නගර ගොඩනැඟුවේ ය.
10. කල් යත් යත් දාවිත් බලවත් විය. එසේ වූයේ, සියලු බලැති දෙවි සමිඳාණන් වහන්සේ ඔහු සමඟ සිටි බැවිනි.
11. තවද, තීර්හි රජ වූ හීරාම් තෙමේ පණිවුඩකාරයන් ද කිහිරි ලී ද වඩුවන් ද ගල් වඩුවන් ද දාවිත් වෙත එව්වේ ය. ඔව්හු දාවිත්ට මාලිගාවක් ගොඩනැඟුවෝ ය.
12. තමා ඉශ්රායෙල්වරුන්ගේ රජු වශයෙන් සමිඳාණන් වහන්සේ විසින් පත් කරනු ලැබූ බවත්, උන් වහන්සේගේ සෙනඟ වන ඉශ්රායෙල් උදෙසා තමාගේ රාජ්‍යය උසස් කරනු ලැබූ බවත් දාවිත් දැනගත්තේ ය.
13. දාවිත් හෙබ්‍රොන්හි සිට පැමිණි පසු තවත් උපභාර්යාවන් ද භාර්යාවන් ද ජෙරුසලමෙන් පාවාගත්තේ ය. තව පුත්‍රයෝ ද දූවරු ද දාවිත්ට දාව උපන්නෝ ය.
14. ජෙරුසලමෙහි දී දාවිත්ට උපන් අයගේ නම් මේ ය: ෂම්මුවා, ෂෝබාබ්, නාතාන්, සලමොන්;
15. ඉබ්හාර්, එලිෂුවා, නෙපෙග්, ජපියා;
16. එලිෂාමා, එලියාදා සහ එලිපෙලෙත් ය.
17. දාවිත් ඉශ්රායෙල්වරුන්ගේ රජු වශයෙන් අභිෂේක කරනු ලැබූ බව පිලිස්තිවරුන් ඇසූ කල ඔව්හු සියල්ලෝ ම දාවිත් සොයා ආවෝ ය. දාවිත් ඒ අසා බලකොටුවට බැස ගියේ ය.
18. පිලිස්තිවරු අවුත් රෙපාවරුන්ගේ මිටියාවතේ පැතිර සිටියෝ ය.
19. දාවිත් සමිඳාණන් වහන්සේගෙන් විචාරමින්, “මා පිලිස්තිවරුන්ට විරුද්ධ ව යන්න ද? ඔබ වහන්සේ ඔවුන් මාගේ අතට පාවා දෙන සේක් දැ”යි ඇසුවේ ය. සමිඳාණන් වහන්සේ පිළිතුරු දෙමින්, “යන්න, මම සැබැවින් පිලිස්තිවරුන් නුඹ අතට පාවා දෙමි”යි දාවිත්ට වදාළ සේක.
20. දාවිත් බාල්-පෙරාශීම් නගරයට අවුත්, එහි දී ඔවුන්ට පහර දී, “ගඟක් ඉවුරු තළා යන්නා සේ සමිඳාණන් වහන්සේ මා ඉදිරියේ මාගේ සතුරන් බිඳ දැමූ සේකැ”යි කීවේ ය. එබැවින් ඔහු ඒ ස්ථානයට භංගස්ථානය යන අරුත ඇති බාල්-පෙරාශීම් යන නම තැබී ය.
21. ඔව්හු තමන්ගේ දේව රූප එහි දමා ගියෝ ය. දාවිත් ද ඔහුගේ සෙනඟ ද ඒවා රැගෙන ගියෝ ය.
22. පිලිස්තිවරු යළිත් පැමිණ රෙපාවරුන්ගේ මිටියාවතේ පැතිර සිටියෝ ය.
23. දාවිත් සමිඳාණන් වහන්සේගෙන් විචාළ කල්හි උන් වහන්සේ කතා කරමින්, “නුඹ ඉස්සරහට නො‍යන්න; වටකරින් ඔවුන්ට පිටුපසින් ගොස් ඇඹිල්ල ගස්වලට ඉදිරිපිටින් ඔවුන් ළඟට පැමිණෙන්න.
24. තවද, ඇඹිල්ල ගස් මුදුන්වල අඩි තබා යන ශබ්දයක් නුඹට ඇසෙන කල කඩිසර වන්න. මන්ද, ඒ වේලාවේ දී සමිඳාණන් වහන්සේ පිලිස්තිවරුන්ගේ සේනාවට පහර දෙන පිණිස නුඹට පෙරටුව යන සේකැ”යි වදාළ සේක.
25. දාවිත් සමිඳාණන් වහන්සේ අණ කළ පරිදි කර, ගෙබාහි සිට ගෙශෙර්ට පැමිණෙන තෙක් පිලිස්තිවරුන්ට පහර දුන්නේ ය.

2 සාමුවෙල් 6:1-23
1. ඉශ්රායෙල්වරුන්ගෙන් තෝරාගත් සියල්ලන් වන මිනිසුන් තිස්දහසක් දාවිත් නැවත රැස් කෙළේ ය.
2. දාවිත් නැඟිට තමා සමඟ සිටි මුළු සෙනඟ කැටුව යනුයේ, කෙරුබ්වරුන් පිට සිහසුන් අරා සිටින සියලු බලැති සමිඳාණන් වහන්සේගේ නාමය දරන දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ගෙනෙන පිණිස ජුදාහි බායාලේට ගියේ ය.
3. ඔව්හු හෙල මත පිහිටා තිබුණු අබිනාදාබ්ගේ ගෙයින් දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව අලුත් රථයක තබා ගෙනාවෝ ය. අබිනාදාබ්ගේ පුත්‍රයන් වන උශ්ශා ද අහියෝ ද අලුත් රථය දක්කාගෙන ගියෝ ය.
4. ඔව්හු හෙල මත තිබුණ අබිනාදාබ්ගේ ගෙයින් දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ගෙන රථයේ තබාගෙන ගෙනාවෝ ය; ඒ ඉදිරියෙන් අහියෝ ගමන් කෙළේ ය.
5. දාවිත් සහ මුළු ඉශ්රායෙල් වංශය සියලු ආකාර තූර්ය භාණ්ඩවලින් ද කුඩා වීණාවලින් ද කයිතාලම්වලින් ද වීණාවලින් ද රබන්වලින් ද අත්තලවලින් ද නාද කරමින් සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි මහ හඬින් ගයමින් නැටුවෝ ය.
6. ඔවුන් නාකොන්ගේ කමතට පැමිණි විට හරකුන් දැඟලූ බැවින්, උශ්ශා දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුවට අත දිගු කොට එය ඇල්ලුවේ ය.
7. එවිට සමිඳාණන් වහන්සේගේ උදහස උශ්ශාට විරුද්ධ ව ඇවිළිණි. දෙවියන් වහන්සේ ඒ වරද නිසා එහි දී ඔහුට පහර දුන් සේක. ඔහු දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ළඟ මැරුණේ ය.
8. සමිඳාණන් වහන්සේ උශ්ශාට පහර දුන් බැවින්, දාවිත් ශෝකයට පත් වී ඒ ස්ථානයට උශ්ශා ප්‍රහාරය යන අරුත ඇති පෙරෙශ්-උශ්ශා යන නම තැබුවේ ය. ඒ නාමය අද දක්වා පවතී.
9. ඒ දවසේ දී දාවිත් සමිඳාණන් වහන්සේට භය ව, “සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව මා ළඟට එන්නේ කෙසේ දැ”යි කීවේ ය.
10. එබැවින් දාවිත් සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව දාවිත්ගේ නුවරට ගෙනෙන්නට අකමැති ව, එය අහකට හරවා ගිත්තීය ඕබෙද්-ඒදොම්ගේ නිවෙසට ගෙන ගියේ ය.
11. සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ගිත්තීය ඕබෙද්-ඒදොම්ගේ නිවෙසේ තුන් මාසයක් තිබුණේ ය. සමිඳාණන් වහන්සේ ඕබෙද්-ඒදොම්ටත්, ඔහුගේ මුළු පවුලටත් ආශීර්වාද කළ සේක.
12. දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව නිසා සමිඳාණන් වහන්සේ ඕබෙද්-ඒදොම්ටත්, ඔහුට අයිති සියල්ලටත් ආශීර්වාද කරන සේකැ යි දාවිත්ට දන්වන ලද්දේ ය. එවිට දාවිත් ගොස් දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ඕබෙද්-ඒදොම්ගේ නිවසෙන් දාවිත්ගේ නුවරට ප්‍රීති සහගත ව ගෙනාවේ ය.
13. තවද, සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව උසුලන්නන් අඩි හයක් ගිය කල දාවිත් ගොනෙකු ද වස්සෙකු ද පූජා කෙළේ ය.
14. දාවිත් හණ ඒපොද් සැට්ටයක් හැඳගෙන සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි මුළු ශක්තියෙන් නැටුවේ ය.
15. මෙසේ දාවිත් සහ මුළු ඉශ්රායෙල් වංශය ඔල්වර ශබ්දයත්, හොරණෑ ශබ්දයත් ඇති ව සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ගෙනාහ.
16. සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව දාවිත්ගේ නුවරට පැමිණි කල සාවුල්ගේ දුව වන මීකල් කවුළුවෙන් බලා, සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි දාවිත් රජ උඩ පනිමින් නටනු දැක ඇගේ සිතින් ඔහු හෙළා දැක්කා ය.
17. ඔව්හු සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ඇතුළට ගෙනවුත්, දාවිත් ඊට පිහිටුවා තිබුණු කූඩාරම මධ්‍යයෙහි ඊට නියම ස්ථානයෙහි, එය තැබූ හ. දාවිත් සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි දවන යාග පූජා සහ සහභාගිකමේ පූජා ඔප්පු කෙළේ ය.
18. දාවිත් දවන යාග පූජා ද සහභාගිකමේ පූජා ද ඔප්පු කර නිම කළ පසු සර්ව පරාක්‍රම සමිඳාණන් වහන්සේගේ නාමයෙන් සෙනඟට ආශීර්වාද කෙළේ ය.
19. තවද, ඔහු මුළු සෙනඟට එනම්, ඉශ්රායෙල් සමූහයාගෙන් එක එක පුරුෂයාට හා ස්ත්‍රියට රොටියකුත්, මස් කැබැල්ලකුත්, වියළි මුද්‍රික කැටියකුත් දුන්නේ ය. එවිට මුළු සෙනඟ තම තමන්ගේ නිවෙස්වලට යන්නට ගියහ.
20. දාවිත් ද තමන්ගේ ගෙවැසියන්ට ආශීර්වාද කරන පිණිස හැරී ගියේ ය. සාවුල්ගේ දුව වන මීකල් දාවිත්ගේ පෙරමඟට අවුත් කතා කොට, “කමකට නැති කෙනෙකු විලි ලජ්ජා නැති ව තමාගේ ඇඳුම් ගලවා දමන්නා සේ අද සිය මෙහෙකරුවන්ගේ දාසීන් ඉදිරියෙහි තමාගේ ඇඳුම් ගලවා දැමූ ඉශ්රායෙල් රජතුමා අද තේජවන්ත වී සිටින හැටි පුදුම ය”යි කීවා ය.
21. දාවිත් මීකල්ට කතා කොට, “එසේ කරන ලද්දේ, සිය සෙනඟ වන ඉශ්රායෙල් කෙරෙහි අධිපතියා කොට පත් කරන පිණිස ඔබේ පියාත්, ඔහුගේ මුළු වංශයත් පහ කොට මා තෝරාගත් සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ය. ඒ නිසා මම සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි නටන්නෙමි.
22. මම ඊටත් වඩා නීච ව මාගේ ම ඇස් හමුයෙහි පහත් වන්නෙමි, එහෙත්, ඔබ කී දාසීන්ගෙන් නම් ගෞරව ලබන්නෙමි”යි කීවේ ය.
23. එබැවින් සාවුල්ගේ දුව වන මීකල්ට මැරෙන තුරු දරුවෙක් නො‍ලැබුණේ ය.

ගීතාවලිය 63:1-11
1. ජුදා දේශයේ පාළුකරයේ දී දාවිත් ලියූ ගීතයකි. දෙවිඳුනි, මාගේ දෙවිඳුනි, දැඩි ආශාවෙන් මම ඔබ සොයන්නෙමි. මා හද ඉතා ගිජු ලෙස ඔබ කෙරෙහි පිපාසයෙන් පෙළෙන්නේ ය. වියළි බිම ජලයට පිපාසා වන පරිදි මම ඉතා ආශාවෙන් ඔබ වෙත ඇදී යන්නෙමි.
2. ඔබේ ශුද්ධස්ථානයේ දී මම ඔබ දෙස ඕනෑකමින් බලා සිටින්නෙමි. ඔබේ බලය ද මහිමාලංකාරය ද නරඹන්නෙමි.
3. ඔබේ තිර පෙම මාගේ ජීවිතයටත් වඩා මට අගනේ ය; මාගේ මුව ඔබට ප්‍රශංසා කරන්නේ ය.
4. මුළු ජීවිතයේ දී ම මම ඔබට ප්‍රශංසා කරන්නෙමි; ඔබේ නාමයෙන් අයැදිමින් මම ඔබ දෙසට දෑත නඟන්නෙමි.
5. රස මස’වුලින් මෙන් මම සෑහීමට පත් වන්නෙමි; මා මුවින් තුති ගී ගයා මම ඔබ පසසන්නෙමි.
6. යහනේදීත් මම ඔබ ගැන සිතන්නෙමි; රෑ යාමවල දී ඔබ ගැන මෙනෙහි කරන්නෙමි.
7. මන්ද, ඔබ වහන්සේ මාගේ ආධාරය වූ සේක. ඔබේ පියාපත් සෙවණෙහි මම ප්‍රීති වන්නෙමි.
8. ම සිතෙහි ඔබ කෙරෙහි තද ඇල්මක් ඇත; ඔබ දකුණතින් මා උසුලන සේක.
9. මා වනසනු වස්, මා සොය සොයා සිටින අය ඇත; ඔව්හු පාතාල ලෝකයේ පත්ලට ම යත් වා!
10. ඔව්හු කඩු මුවහතින් පහර කත් වා! ඔවුහු සිවලුන්ට ගොදුරු වෙත් වා!
11. එහෙත්, රජ තෙම දෙවිඳුන් තුළ ප්‍රීති ප්‍රමෝද වන්නේ ය. මුසා දොඩන්නවුන්ගේ මුව පියවෙන විට සමිඳුන් නමින් දිවුරන්නෝ ප්‍රීතිමත් වන්නෝ ය.

හිතෝපදේශ 16:16-17
16. රනට වඩා පැණ ද රිදියට වඩා නැණ ද ප්‍රසන්න ය.
17. නපුරෙන් වැළකීම අවංක අයගේ රාජ මාවත ය; ඔබේ ක්‍රියා මාර්ග ගැන ප්‍රවේසම් වී දිවි රැකගන්න.

ශුද්ධවර ජොහන් 5:1-23
1. ඉන්පසු ජුදෙව්වරුන්ගේ මංගල්‍යයක් විය. ජේසුස් වහන්සේ ද ජෙරුසලමට වැඩම කළ සේක.
2. ජෙරුසලමෙහි බැටළු දොරටුව ළඟ, හෙබ්‍රෙව් බසින් ‘බෙතෙස්දා’ යයි නම් ලත් පොකුණක් විය. එය අවට ද්වාර මණ්ඩප පහක් විය.
3. ඒවායෙහි අන්ධ වූ ද කොර වූ ද අංශභාග වූ ද රෝගීන් සමූහයක් ඔත්පළ ව සිටියෝ ය.
4. ඔව්හු වතුර කැළඹෙන තෙක් බලා සිටියාහ. මන්ද, සමිඳාණන් වහන්සේගේ දුතයෙක් කලින් කල පොකුණට බැස වතුර කැළඹුවේ ය. වතුර කළඹනු ලැබූ පසු එහි බට පළමුවැන්නා කවර රෝගයකින් පෙළුණු නමුත් සුවකරනු ලැබී ය.
5. එහි තිස් අට අවුරුද්දක් රෝගී ව සිටි එක් මිනිසෙක් විය.
6. ඒ මිනිසා හාන්සි වී සිටිනු ජේසුස් වහන්සේ දැක, ඔහු බොහෝ කලක් එහි සිටි බව දැන, “ඔබ සුව වීමට කැමැති දැ”යි ඔහුගෙන් ඇසූ සේක.
7. රෝගියා උන් වහන්සේට උත්තර දෙමින්, “ස්වාමීනි, වතුර කැළඹෙන විට මා පොකුණට බස්වන්නට කිසිවෙක් නැත. මා එන අතර, අන් කෙනෙක් මට පළමුවෙන් බසින්නේ ය”යි කීවේ ය.
8. “නැඟිට ඔබේ පැදුර රැගෙන යන්නැ”යි ජේසුස් වහන්සේ ඔහුට වදාළ සේක.
9. එකෙණෙහි ම මිනිසා සුවපත් වී, සිය පැදුර රැගෙන යන්නට ගියේ ය. එය සබත් දවස විය.
10. එබැවින් ජුදෙව්වරු, “අද සබත් දවස ය, පැදුර රැගෙන යෑම නීති විරෝධී ය”යි සුවය ලැබූ මිනිසාට කී හ.
11. එහෙත්, ඔහු ඔවුන්ට පිළිතුරු දෙමින්, “මා සුවපත් කළ තැනැත්තා ම ‘ඔබේ පැදුර රැගෙන යන්නැ’යි මට කීවේ ය”යි කී ය.
12. “ ‘පැදුර රැගෙන යන්නැ’යි ඔබට කී මිනිසා කවරෙක් දැ”යි ඔව්හු විමසූ හ.
13. එහෙත් සුවපත් කරනු ලැබූ මිනිසා, ඔහු කවරෙක් දැ යි නොදත්තේ ය. මන්ද, ඒ ස්ථානයේ සමූහයා අතරින් ජේසුස් වහන්සේ සොයාගත නො හැකි වූ බැවිනි.
14. ඉන්පසු, ජේසුස් වහන්සේ දේව මාලිගාවේ දී ඔහු මුණගැසී, “බලන්න, ඔබ සුවපත් වී ඇත. මීට වඩා භයානක දෙයක් සිදු නොවන පිණිස තවත් පව් නොකරන්නැ”යි වදාළ සේක.
15. ඒ මිනිසා ද ගොස්, තමා සුවපත් කෙළේ, ජේසුස් වහන්සේ බව ජුදෙව්වරුන් හට සැළ කෙළේ ය.
16. ජේසුස් වහන්සේ මෙවැනි දේ සබත් දවසේ දී කළ බැවින්, ජුදෙව්වරු උන් වහන්සේට පීඩා කළහ.
17. එහෙත්, ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, “මාගේ පියාණන් වහන්සේ නොනැවතී ම වැඩ කරන සේක; මමත් වැඩකරමි”යි වදාළ සේක.
18. මේ කරුණ නිසා ජුදෙව්වරු උන් වහන්සේ මරන්නට වඩ වඩා උත්සාහ දැරූ හ. මන්ද, උන් වහන්සේ සබත කඩ කළා පමණක් නොව, “දෙවියන් වහන්සේ තමන්ගේ ම පියාණෝ ය”යි කියමින්, තමාත් දෙවියන් වහන්සේට සමාන යයි ප්‍රකාශ කළ නිසා ය.
19. ජේසුස් වහන්සේ ඔවුන්ට මෙසේ පිළිතුරු දුන් සේක: “ඒකාන්තයෙන් ම මම ඔබට කියමි: පුත්‍රයාණන්ට කිසිවක් තනි බලයෙන් කළ නොහැකි ය; පියාණන් වහන්සේ යමක් කරනවා පුත්‍රයා දකින්නේ ද, ඒ දෙය මිස තනි ව ම කිසිවක් කරන්නට උන් වහන්සේට නො හැකි ය. මන්ද, උන් වහන්සේ යම් දෙයක් කරන සේක් ද, ඒ දෙය පුත්‍රයාණෝ ද එසේ ම කරන සේක.
20. මන්ද, පියාණන් වහන්සේ පුත්‍රයාණන්ට ප්‍රේම කරන බැවින්, තමන් වහන්සේ කරන සියලු ක්‍රියා උන් වහන්සේට දක්වා වදාරන සේක. තවද, ඔබ මවිත කරවන සුලු, මීටත් වඩා මහත් ක්‍රියා ද දක්වා වදාරන සේක.
21. පියාණන් වහන්සේ මළවුන් උත්ථාන කොට ජීවත් කරවන්නාක් මෙන්, පුත්‍රයාණෝ ද තමන්ට අභිමත වූවන් ජීවත් කරවන සේක.
22. සැබැවින් ම පියාණන් වහන්සේ කිසිවකු විනිශ්චය නොකරන සේක. සම්පූර්ණ විනිශ්චය පුත්‍රයාණන් හට පවරා ඇත.
23. එසේ කෙළේ, සියලු දෙනා පියාණන්ට මෙන් ම පුත්‍රයාණන්ට ද ගෞරව කරන පිණිස ය. පුත්‍රයාණන්ට ගෞරව නොකරන්නා, පුත්‍රයාණන් එවා වදාළ පියාණන්ට ද ගෞරව නොකරන්නේ ය.