A A A A A
අවුරුද්දකින් බයිබලය
මැයි 15

2 සාමුවෙල් 1:1-27
1. සාවුල්ගේ මරණයෙන් පසු දාවිත් අමලෙක්වරුන් නසා, පෙරළා අවුත් දෙදවසක් ශික්ලග්හි නැවතී සිටියේ ය.
2. තුන් වන දවසේ දී මිනිසෙක් තමාගේ ඇඳුම් ඉරාගෙන, හිසේ පස් දමාගෙන සාවුල්ගේ කඳවුරෙන් නික්ම ආවේ ය. ඔහු දාවිත් ළඟට පැමිණි විට බිම වැටී වැන්දේ ය.
3. “ඔබ කොතැනින් ආවෙහි දැ”යි දාවිත් ඔහුගෙන් ඇසී ය. ඔහු ද, “මම ඉශ්රායෙල් කඳවුරෙන් ගැළවී ආවෙමි”යි ඔහුට පිළිතුරු දුන්නේ ය.
4. එවිට දාවිත්, “එහි සිදු වූයේ කිමෙක් දැ යි මට කියන්නැ”යි ඔහුට කීවේ ය. ඔහු පිළිතුරු දෙමින්, “සෙනඟ යුද්ධයෙන් පලා ගියහ; ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් මැරී වැටුණෝ ය; සාවුල් ද ඔහුගේ පුත් ජොනතන් ද මැරුණෝ ය”යි කීවේ ය.
5. එකල දාවිත් මෙපවත් සැළ කළ ඒ තරුණයාගෙන්, “සාවුල් හා ඔහුගේ පුත් ජොනතන් මළ බව ඔබ දන්නේ කොහොම දැ”යි ඇසී ය.
6. එපවත් ඔහුට සැළ කළ තරුණයා ඔහුට කතා කොට, “මම ගිල්බෝවා කන්දට අහම්බෙන් පැමිණියෙමි. ඒ වේලාවේ දී සාවුල් තමාගේ හෙල්ලයට හේත්තු වී සිටියේ ය; රථ හා අසරුවෝ ඔහු පසුපස වේගයෙන් එළවාගෙන ආහ.
7. ඔහු පස්සට හැරී මා දැක මට අඬගැසී ය. ‘මම මෙහි ය’යි මම උත්තර දිනිමි.
8. ‘ඔබ කවුදැ’යි ඔහු මාගෙන් ඇසී ය. ‘මම අමලෙක් ජාතිකයෙක්මි’යි ඔහුට පිළිතුරු දිනිමි.
9. ඔහු මට කතා කොට, ‘මා ළඟ සිට මා මරන්න. මන්ද, මට තවමත් පණ තිබුණත් මම බොහෝ වේදනාවෙන් පසු වෙමි’යි කී ය.
10. එවිට මම ඔහු ළඟ සිට ඔහු මැරුවෙමි. මා එසේ කෙළේ, ඔහු වැටුණු වහා ම ජීවත් නොවන බව සහතික ලෙස මා දැන සිටි බැවිනි. මම ඔහුගේ හිස මත තිබුණු කිරීටය ද අතේ දමා තිබුණු වළල්ල ද රැගෙන මෙහි මාගේ ස්වාමියා ළඟට ගෙනාවෙමි”යි කීවේ ය.
11. එවිට දාවිත් ශෝකයෙන් පිරී තමාගේ වස්ත්‍ර ඇද ඉරා දැමුවේ ය. ඔහු සමඟ සිටි සියලු සෙනඟ ද එසේ කළහ.
12. ඔව්හු සාවුල් ද ඔහුගේ පුත් ජොනතන් ද සමිඳාණන් වහන්සේගේ සෙනඟ ද ඉශ්රායෙල් වංශය ද යුද්ධයේ දී මැරුම් කෑ බැවින් ඔවුන් ගැන හඬා වැලපෙමින් හවස දක්වා නිරාහාර ව සිටියහ.
13. දාවිත් තමාට ඒ සිද්ධිය සැළ කළ තරුණයාට කතා කොට, “ඔබ කොහේ කෙනෙක් දැ”යි ඇසී ය. “මම විදේශිකයෙකු වන අමලෙක් ජාතිකයෙකුගේ පුතෙක් වෙමි”යි ඔහු පිළිතුරු දුන්නේ ය.
14. දාවිත් ද, “සමිඳාණන් වහන්සේගේ අභිෂේක ලත් තැනැත්තා නැසීමට භය නැති ව ඔබේ අත එසෙව්වේ කෙසේ දැ”යි ඔහුට කියා,
15. තරුණයන්ගෙන් එක් කෙනෙකුට අඬ ගසා, “ඔබ ගොස් ඔහුට පහර දෙන්නැ”යි කී ය. ඔහු ද පහර දී ඒ තරුණයා මැරුවේ ය.
16. දාවිත් කතා කරමින්, “මේ ලේ වැගිරීමේ වරදට වගකිව යුත්තේ ඔබ ම ය. මන්ද, ‘මම සමිඳාණන් වහන්සේගේ අභිෂේක ලත් තැනැත්තා මැරුවෙමි’යි කීමෙන් ඔබ ඔබේ ම කටින් ඔබට විරුද්ධ ව සාක්ෂි දුන්නෙහි ය”යි කීවේ ය.
17. සාවුල් හා ඔහුගේ පුත් ජොනතන් ගැන මේ විලාප ගීය ගයමින් දාවිත් වැලපිණි.
18. ඒ ගීය ජුදා ජනයාට උගන්වන්නටත් නියම කෙළේ ය. එය ජාෂාර්ගේ පොතේ සඳහන් වී ඇත.
19. “අහෝ, ඉශ්රායෙල් දේශය! ඔබේ තේජස ගිරිකුළු මුදුනෙහි අතුරුදන් වී ඇත. අහෝ! බලවතුන් වැටුණු හැටි!
20. ඒ ගැන ගාත්හි නො‍කියන්න; අෂ්කෙළො‍න් වීදිවල පළ නො‍කරන්න; එසේ කළො‍ත්, පිලිස්තිවරුන්ගේ දූවරුන් ප්‍රීති වනු ඇත; විජාතිකයන්ගේ දූවරුන් ජය ඝෝෂා නඟනු ඇත.
21. එම්බා ගිල්බෝවා කඳු හෙල්! තොප පිට පිනි වත්, වැසි වත් නොවැටේ වා! එහි කෙත්වතු පාළු වී යේ වා! මන්ද, බලවතුන්ගේ පලිහ කෙලෙසී ඇත. සාවුල්ගේ පලිහ තෙලින් ආලේප නො‍කර ඇත.
22. එහෙත්, මරන ලද්දවුන්ගේ ලෙයින් ද සෙබළුන්ගේ තෙලින් ද එය ආලේප කර ඇත. ජොනතන්ගේ දුන්න මාරක අවියක් විය. සාවුල්ගේ කඩුව ද ජයෙන් තොර ව හැරී නාවේ ය.
23. සාවුල් හා ජොනතන් ජීවත් ව සිටිය දී සෙනෙහසින් හා සතුටින් බැඳී සිටියහ. ජීවිතේ දී හෝ මරණයේ දී හෝ ඔවුහු වෙන් නො‍ වූ හ. ඔවුහු රාජාලීන්ට වඩා වේගවත් වූ හ; සිංහයන්ට වඩා බලවත් වූ හ.
24. ඉශ්රායෙල් දූවරුනි, පියකරු රතු වස්ත්‍ර ඔබට පැළඳවූ, ඔබේ වස්ත්‍ර රන් ආභරණවලින් සැරසූ සාවුල් ගැන හඬන්න.
25. අහෝ, බලවතුන් රණ බිම මැද දී වැටුණු හැටි! අහෝ ජොනතන්! ගිරිකුළු මුදුනෙහි ඔබ මැරුම් කෑවෙහි ය.
26. මාගේ සොහොයුරු වන ජොනතන්, ඔබ ගැන මම වියෝ දුකින් පසු වෙමි. ඔබ මට ඉතා පියකරු ව සිටියෙහි ය. මා කෙරෙහි වූ ඔබේ ආදරය පුදුම ය; වනිතාවකගේ ආදරයට වඩා මහත් ය.
27. අහෝ, බලවතුන් වැටුණු හැටි! යුද්ධ ආයුධත් විනාශ වුණ හැටි!

2 සාමුවෙල් 2:1-32
1. ඉන්පසු දාවිත්, “මා ජුදාහි නගරයකට යන්නට දැ”යි සමිඳාණන් වහන්සේගෙන් විමසුවේ ය. “යන්නැ”යි සමිඳාණන් වහන්සේ වදාළ සේක. “මා කොයි නගරයට යන්නට දැ”යි දාවිත් ඇසුවේ ය. “හෙබ්‍රොන් නගරයට ය”යි උන් වහන්සේ වදාළ සේක.
2. එවිට දාවිත් ද ඔහුගේ භාර්යාවන් දෙදෙනා වන ජෙශ්‍රෙයෙලීය අහිනොවම් ද කර්මෙලීය නාබල්ගේ බිරිඳ ව සිටි අබිගායිල් ද එහි ගියහ.
3. දාවිත් තමා සමඟ සිටි තමාගේ මිනිසුන් ඔවුන් එකිනෙකාගේ ගෙයි වැසියන් සමඟ කැඳවාගෙන ආයේ ය. ඔව්හු හෙබ්‍රොන් නගරවල වාසය කළහ.
4. තවද, ජුදාහි සෙනඟ අවුත් එහි දී දාවිත් ජුදා වංශයේ රජු වශයෙන් අභිෂේක කළහ. “සාවුල් තැන්පත් කරනු ලැබුවේ ජාබෙෂ්-ගිලියද් මිනිසුන් විසින් ය”යි දාවිත්ට දන්වන ලද්දේ ය.
5. දාවිත් ජාබෙෂ්-ගිලියද් මිනිසුන් වෙත පණිවුඩයක් යවමින් මෙසේ කීවේ ය: “ඔබේ ස්වාමියා වූ සාවුල්ට ඔබ පක්ෂපාත ව සිට ඔහු තැන්පත් කළ බැවින් සමිඳාණන් වහන්සේගෙන් ඔබට ආශීර්වාද ලැබේ වා!
6. දැන් සමිඳාණන් වහන්සේ ඔබට කරුණාවත්, විශ්වාසවන්තකමත් පෙන්වන සේක් වා! ඔබ මේ දේ කළ නිසා මමත් එසේ ම ඔබට යහපත කරන්නෙමි.
7. එබැවින් ඔබේ අත් බලවත් වේ වා! වික්‍රමාන්විත ව සිටින්න. මන්ද, ඔබේ ස්වාමි වූ සාවුල් මිය ගිය නමුත්, ජුදා වංශය කෙරෙහි රජු වශයෙන් ඔව්හු මා අභිෂේක කළහ.”
8. තවද, නේර්ගේ පුත්, සාවුල්ගේ සේනාපති වූ අබ්නේර් සාවුල්ගේ පුත් ඊෂ්-බොෂෙත් කැඳවාගෙන මහනයිම්ට ගොස්,
9. ගිලියද්වරුන්, අෂූර්වරුන්, ජෙශ්‍රෙයෙල්වරුන්, එප්‍රායිම්වරුන්, බෙන්ජමින්වරුන් සහ සියලු ඉශ්රායෙල්වරුන් කෙරෙහි ඔහු රජකමට පත් කෙළේ ය.
10. සාවුල්ගේ පුත් ඊෂ්-බොෂෙත් ඉශ්රායෙල්හි රජකම් කරන්නට පටන් ගන්න කල ඔහු අවුරුදු සතළිසක් වයස් ව සිටියේ ය. ඔහු දෑවුරුද්දක් රජකම් කෙළේ ය. එහෙත්, ජුදා වංශය පමණක් දාවිත්ට පක්ෂපාත වුණේ ය.
11. දාවිත් හෙබ්‍රොන්හි ජුදා වංශයට රජ ව සිටි කාලය සත් අවුරුදු හය මාසයක් ය.
12. නේර්ගේ පුත් අබ්නේර් ද සාවුල්ගේ පුත් ඊෂ්-බොෂෙත්ගේ සේවකයෝ ද මහනයිම් සිට පිටත් ව ගිබියොන් නගරයට ගියහ.
13. ශෙරුයාගේ පුත් ජෝවාබ් ද දාවිත්ගේ සේවකයෝ ද පිටත් ව ගොස් ගිබියොන් පොකුණ ළඟ දී මුණගැසී, එක පක්ෂයක් පොකුණේ එක පැත්තක ද අනෙක් පක්ෂය පොකුණේ අනෙක් පැත්තේ ද නැවතුණාහ.
14. “තරුණයෝ නැඟිට අප ඉදිරියෙහි ක්‍රීඩා කරත් වා”යි අබ්නේර් ජෝවාබ්ට කී ය. ජෝවාබ් ද, “ඔව්හු එසේ කරත් වා”යි කීවේ ය.
15. එවිට සාවුල්ගේ පුත් ඊෂ්-බොෂෙත්ට අයිති බෙන්ජමින්වරුන්ගෙන් ගණන් වශයෙන් දොළො‍ස් දෙනෙක් ද දාවිත්ගේ සේවකයන්ගෙන් දොළො‍ස් දෙනෙක් ද නැඟිට ගියහ.
16. එවිට ඔව්හු එකිනෙකා තම තමාගේ විරුද්ධකාරයාගේ හිස අල්ලා, කඩුවෙන් ළපැත්තට ඇන එකට වැටුණෝ ය. එබැවින් ගිබියොන් ළඟ තිබෙන ඒ ස්ථානයට මුවහත් පිහියා කෙත යන අර්ථය ඇති හෙල්කත්-හශ්ශුරීම් යන නම තබන ලද්දේ ය.
17. ඒ දවසේ දී බලවත් සටනක් ඇති විය. අබ්නේර් ද ඉශ්රායෙල් සෙනඟ ද දාවිත්ගේ සේවකයන්ට පැරදුණෝ ය.
18. ශෙරුයාගේ පුත්‍රයන් තිදෙනා වන ජෝවාබ්, අබිෂයි සහ අසාහෙල් එහි සිටියහ. අසාහෙල්ට වනයේ මුවෙකුට මෙන් වේගයෙන් දිවීමේ ශූරතාව තිබුණේ ය.
19. අසාහෙල්, අබ්නේර් ලුහුබැඳ යනුයේ, දකුණට වත්, වමට වත් නො‍හැරී අබ්නේර් පස්සේ ගියේ ය.
20. එවිට අබ්නේර් පස්සට හැරී, “ඔබ අසාහෙල් දැ”යි ඇසී ය. “එසේ ය”යි ඔහු කී ය.
21. අබ්නේර්, “ඔබ දකුණට හෝ වමට හෝ හැරී, තරුණයන්ගෙන් එක් කෙනෙකු අල්ලාගෙන, ඔහුගේ ආයුධ පැහැරගන්නැ”යි ඔහුට කී ය. එහෙත්, අසාහෙල් ඔහු වෙතින් අහක් ව යන්නට කැමැති නො‍ වී ය.
22. නැවතත් අබ්නේර්, “මා වෙතින් අහක් ව යන්න. මා ඔබට ගසා බිම හෙළන්නේ කුමට ද? එසේ කළො‍ත්, මා ඔබේ සහෝදර වන ජෝවාබ්ට මුහුණ දෙන්නේ කොහොම දැ”යි අසාහෙල්ට කී ය.
23. එහෙත්, ඔහු අහක් ව යන්නට අකමැති විය. එබැවින් අබ්නේර් හෙල්ල මිටේ අගින් ඔහුගේ බඩට ඇන්නේ ය. ඇන්න හෙල්ලය ඔහුගේ පිට පසාරු කරගෙන එළියට ආවේ ය. ඔහු එතැන ම වැටී මළේ ය. තවද, අසාහෙල් වැටී මැරුණු ස්ථානයට ආ විට සියල්ලෝ ම නතර වූ හ.
24. එහෙත්, ජෝවාබ් සහ අබිෂයි, අබ්නේර් ලුහුබැඳ ගොස් ඉර බැස ගිය විට ගිබියොන් පාළුකරයට යන මාර්ගයෙහි ගීයා ඉදිරිපිට තිබෙන අම්මා හෙලට පැමිණියහ.
25. බෙන්ජමින්වරු අබ්නේර් වෙත රැස් වී එක කණ්ඩායමක් ව හෙලක් මුදුනේ නැවතී සිටියහ.
26. එවිට අබ්නේර් ජෝවාබ්ට අඬගසා, “මේ ඝාතනය සදහට ම කළ යුතු ද? එයින් අවසානයේ දී උග්‍ර දුක හටගන්න බව ඔබ නො‍දන්නෙහි ද? එසේ වී නම්, තමන්ගේ සහෝදරයන් ලුහුබැඳ යාමෙන් හැරී එන්නට කියා අණ නො‍කර ඔබ කොපමණ කල් සිටින්නෙහි දැ”යි ඇසී ය.
27. ජෝවාබ් කතා කරමින්, “සැබැවින් ම ඔබ කතා නො‍කෙළෙහි නම්, සෙනඟ තමන්ගේ සහෝදරයන් උදේ වනතෙක් ලුහුබැඳ යන්නට ඉඩ තිබිණි යයි ජීවමාන දෙවියන් වහන්සේගේ නාමයෙන් මම දිවුරා කියමි”යි කීවේ ය.
28. එවිට ජෝවාබ් හොරණෑව පිම්බේ ය; මුළු සෙනඟ ද නැවතුණාහ. ඔවුන් තවත් ඉශ්රායෙල්වරුන් පසුපස ලුහුබැඳ ගියේ වත්, යුද්ධ කෙළේ වත් නැත.
29. අබ්නේර් සහ ඔහුගේ සෙනඟ ඒ රාත්‍රිය මුළුල්ලෙහි අරබා සමභූමිය මැදින් ගොස් ජොර්දානින් එගොඩ ව, මුළු උදේ වරුවේ ගමන් කොට මහනයිම් නගරයට පැමිණියහ.
30. ජෝවාබ්, අබ්නේර් ලුහුබැඳ යාමෙන් හැරී අවුත් මුළු ජනයා රැස් කෙළේ ය. එවිට දාවිත්ගේ සේවකයන්ගෙන් මිනිසුන් දහනවදෙනෙකු ද අසාහෙල් ද නැති බව පෙනී ගියේ ය.
31. එහෙත්, දාවිත්ගේ සේවකයෝ බෙන්ජමින්වරුන්ගෙන් ද අබ්නේර්ගේ මිනිසුන්ගෙන් ද තුන්සිය හැටදෙනෙකුට පහර දී මැරූ හ.
32. ඔව්හු අසාහෙල් රැගෙන බෙත්ලෙහෙම්හි තිබුණ ඔහුගේ පියාගේ සොහොන් ගෙයි තැන්පත් කළෝ ය. ජෝවාබ් ද ඔහුගේ සෙනඟ ද මුළු රාත්‍රියේ ගමන් කර එළි වන විට හෙබ්‍රොන් නගරයට පැමිණියහ.

ගීතාවලිය 62:1-4
1. දාවිත්ගේ ගීතයකි. මාගේ සිතට සහනය ඇත්තේ දෙවිඳුන් තුළ පමණකි; මට ගැළවීම ලැබෙන්නේ එතුමාණන්ගෙන් පමණකි.
2. මාගේ පර්වතයත්, ගැළවීමත්, බලකොටුවත් එතුමාණෝ පමණකි; එබැවින් මම නොසැලී සිටින්නෙමි.
3. මම ඇල වුණ බිත්තියක් ද සෙලවෙන තාප්පයක් ද වැනි මිනිසෙක් වෙමි; ඔබ කොපමණ කල් මට තාඩන පීඩන කරන්නහු ද?
4. උසස්කමෙන් ඔහු නෙරපාදැමීමට ඔව්හු උපා යොදති; බොරු කීමට ප්‍රිය වෙති; මුවින් ආසිරි පතන නමුත්, සිතින් සාප කරති.

හිතෝපදේශ 16:10-12
10. රජ තෙම දෙවි අනුහසින් කතා කරයි. එබැවින් ඔහුගේ තීරණ නිවැරදි ය.
11. තුලා සහ තරාදි හරි ව තිබීම දෙවි තුමන්ගේ කැමැත්ත ය, හරි පඩි භාවිතය එතුමන්ගේ අදහස ය.
12. පව්කම් නිරිඳුන්ට පිළිකුලකි, සිහසුන රඳන්නේ දැහැමිකම මත ය.

ශුද්ධවර ජොහන් 4:1-30
1. ජේසුස් වහන්සේ ජොහන්ට වඩා ශ්‍රාවකයන් බඳවාගෙන බව්තීස්ම-ස්නාපනය කරති යි පරිසිවරුන්ට සැළ විය.
2. (ඇත්ත වශයෙන් උන් වහන්සේගේ ශ්‍රාවකයන් මිස, උන් වහන්සේ ම බව්තීස්ම-ස්නාපනය නොකළ සේක.)
3. ඒ බව දැනගත් කල, සමිඳාණන් වහන්සේ ජුදයෙන් පිට වී යළිත් ගලීලයට වැඩම කළ සේක.
4. සමාරිය පසු කොට යා යුතු ව තිබුණු බැවින්
5. උන් වහන්සේ, ජාකොබ් තම පුත් ජෝසෙප්ට දුන් ඉඩම ළඟ වූ සිකාර් නම් සමාරියේ නගරයකට පැමිණි සේක.
6. ජාකොබ්ගේ ළිඳ එහි විය. ගමන් විඩාවෙන් සිටි උන් වහන්සේ ළිඳ ළඟ හිඳගත් සේක. එය මධ්‍යාහ්න වේලාව පමණ විය.
7. එකල, සමාරීය ස්ත්‍රියක් වතුර අදිනු පිණිස පැමිණියා ය. “මට වතුර ටිකක් දෙන්නැ”යි උන් වහන්සේ ඇයට වදාළ සේක.
8. එවේලේ, උන් වහන්සේගේ ශ්‍රාවකයෝ කෑම මිලයට ගනු පිණිස, නගරයට ගොස් සිටියෝ ය.
9. සමාරීය ස්ත්‍රිය ද, “ජුදෙව්වෙකු වන ඔබ, සමාරීය ස්ත්‍රියක වන මගෙන් බොන්නට ඉල්ලන්නේ, කෙසේ දැ”යි උන් වහන්සේගෙන් ඇසුවා ය. එසේ කීවේ, ජුදෙව්වරුන් හා සමාරියයන් අතර ගනුදෙනුවක් නුවූ බැවිනි.
10. ජේසුස් වහන්සේ ඇයට පිළිතුරු දෙමින්, “දෙවියන් වහන්සේගේ දීමනාවත්, ‘මට වතුර ටිකක් දෙන්නැ’යි ඔබට කියන්නේ කවරෙක් ද කියාත් ඔබ දැන සිටියෙහි නම්, ඔබ ඔහුගෙන් ඉල්ලනු ඇත; එවිට ඔහු ජීවන ජලය ඔබට දෙනු ඇතැ”යි වදාළ සේක.
11. ස්ත්‍රිය ද, “මහතාණෙනි, වතුර අදින්නට ඔබට භාජනයක් නැත; ළිඳත් ගැඹුරු ය; එබැවින් ඒ ජීවන ජලය ඔබට කොයින් ද?
12. මේ ළිඳ අපට දුන්නේ අපේ පියා වන ජාකොබ් ය. ඔහු ද, ඔහුගේ පුත්‍රයෝ ද ගවයෝ ද මෙයින් පානය කළෝ ය. ඔබ ඔහුට වඩා උතුම් දැ?”යි විචාළා ය.
13. ජේසුස් වහන්සේ ඇයට පිළිතුරු දෙමින්, “මේ වතුර බොන හැම කෙනෙකුට ම නැවත පිපාසය ඇති වන්නේ ය.
14. එහෙත් මා දෙන වතුර බොන කවර කෙනෙකුට වුවත් කිසි කලෙක පිපාසය ඇති නොවන්නේ ය. මා ඔහුට දෙන වතුර සදාතන ජීවනය පිණිස ඔහු තුළ දිය උල්පතක් වන්නේ ය”යි වදාළ සේක.
15. ස්ත්‍රිය කතා කරමින්, “මහතාණෙනි, මට තවත් පිපාසය ඇති නො වන පිණිසත්, වතුර ඇදීමට මෙපමණ දුර නැවත නොඑන පිණිසත් ඒ වතුර මට දුන මැනවැ”යි කීවා ය.
16. ජේසුස් වහන්සේ ඈ අමතා, “යන්න, ඔබේ ස්වාමි පුරුෂයා කැඳවාගෙන මෙහි එන්නැ”යි වදාළ සේක.
17. ස්ත්‍රිය පිළිතුරු දෙමින්, “මට ස්වාමි පුරුෂයෙක් නැතැ”යි කීවා ය. ජේසුස් වහන්සේ ද, “ ‘මට ස්වාමි පුරුෂයෙක් නැතැ’යි ඔබ කීවා හරි ය;
18. මන්ද, ඔබට පුරුෂයෝ පස් දෙනෙක් සිටියාහ; දැන් සිටින තැනැත්තේ ඔබේ පුරුෂයා නො වේ; මේ දේ ඔබ සැබෑ ලෙස පැවසුවෙහි ය”යි වදාළ සේක.
19. ස්ත්‍රිය උන් වහන්සේ අමතමින්, “මහතාණෙනි, ඔබ දිවැසිවරයකු බව මට පෙනේ; අපේ පියවරු මේ කන්ද මත නමස්කාර කළහ.
20. එහෙත්, මිනිසුන් නමස්කාර කළ යුතු ජෙරුසලමෙහි ය යි ඔබතුමන්ලා කියන්නහු ය”යි කීවා ය.
21. ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, “ස්ත්‍රිය, මා විශ්වාස කරන්න. මේ කන්දේ දී වත්, ජෙරුසලමේ දී වත් ඔබ පියාණන් වහන්සේට නමස්කාර නොකරන කාලයක් පැමිණෙන්නේ ය.
22. ඔබ නමස්කාර කරන්නේ ඔබ හරියට ම නො දන්නා කෙනෙකුට ය; අප නමස්කාර කරන්නේ අප දන්නා කෙනෙකුට ය. මන්ද, ගැළවීම පැමිණෙන්නේ ජුදෙව්වරුන්ගෙන් ය.
23. එහෙත්, නමස්කාර කරන්නන්, ආත්මානුභාවයෙන් ද අවංක සිතින් ද, පියාණන් වහන්සේට නමස්කාර කරන කාලයක් සැබැවින් ම පැමිණෙන්නේ ය; දැනටමත් පැමිණ ඇත. තමන් වහන්සේට නමදින පිණිස පියාණන් වහන්සේ සොයන්නේ එවැන්නන් ය.
24. දෙවියන් වහන්සේ ආත්මය ය; උන් වහන්සේට නමස්කාර කරන්නන් ආත්මයෙන් ද අවංක සිතින් ද නමස්කාර කළ යුතු ය”යි වදාළ සේක.
25. ස්ත්‍රිය පිළිතුරු දෙමින්; “ ‘ක්‍රිස්තුස් වහන්සේ’ ය යි කියන මෙසියස් තුමාණන් එන බව දනිමි; උන් වහන්සේ පැමිණි කල සියල්ල අපට දන්වා වදාරන සේකැ”යි කීවා ය.
26. “මේ ඔබ සමඟ කතා කරන මම, ඒ තැනැත්තා වෙමි”යි ජේසුස් වහන්සේ වදාළ සේක.
27. ඒ මොහොතේ දී, පැමිණි උන් වහන්සේගේ ශ්‍රාවකයෝ උන් වහන්සේ ස්ත්‍රියක සමඟ කතා කරනු දැක මවිත වූ හ. එහෙත් කිසිවෙක්, “ඔබ කුමක් සොයන්නෙහි ද” කියාවත්, “ඔබ ඈ සමඟ කතා කරන්නේ මන් ද?” කියාවත් ඇසුවේ නැත.
28. ස්ත්‍රිය ඇගේ වතුර කළය එතැන තබා, නුවරට ගොස්,
29. “එන්න ඇවිත් බලන්න, මා කළ සියල්ල මට කී මනුෂ්‍යයෙක් සිටියි. එතුමා ක්‍රිස්තුස් විය නොහැකි දැ”යි සෙනඟට කීවා ය.
30. ඔව්හු නුවරින් නික්ම ජේසුස් වහන්සේ වෙත එන්නට පටන්ගත්හ.