Instagram
English
A A A A A
ජෝෂු 1:1-18
1. සමිඳාණන් වහන්සේගේ සේවක වූ මෝසෙස්ගේ මරණයෙන් පසු, ඔහුගේ සහකාර වූ නූන්ගේ පුත් ජෝෂුවාට උන් වහන්සේ කතා කොට, මෙසේ වදාළ සේක:
2. “මාගේ සේවක වූ මෝසෙස් මළේ ය. දැන් ඉතින් නුඹත්, මේ මුළු සෙනඟත් නැඟිට, ඔවුන්ට එනම්, ඉශ්රායෙල් ජනතාවට මා දෙන්නට යන දේශයට ජොර්දාන් ගඟින් එගොඩ වී යන්න.
3. මා මෝසෙස්ට දැන්වූ පරිදි නුඹලා පා තබන සෑම ස්ථානයක් ම මම නුඹලාට දෙමි.
4. පාළුකරය හා මේ ලෙබනොන් දේශය පටන් මහා ගංගාව වන යුප්‍රටීස් ගංගාව දක්වා ඇති, හිත්තීවරුන්ගේ මුළු රට ද අපරදිග මහ මුහුද දක්වා ද නුඹලාගේ දේශ සීමා වනු ඇත.
5. දිවි ඇති තාක් නුඹලාට විරුද්ධ ව කිසිවෙකුට නැඟී සිටින්නට නොහැකි වන්නේ ය. මම මෝසෙස් සමඟ සිටියාක් මෙන් නුඹ සමඟත් සිටින්නෙමි. මම නුඹ කෙරෙන් අහක් ව යන්නේ වත්, නුඹ අත්හරින්නේ වත් නැත.
6. ශක්තිමත් ව ද ධෛර්යවත් ව ද සිටින්න. මන්ද, මේ සෙනඟට දෙන හැටියට මා ඔවුන්ගේ පියවරුන්ට දිවුළ දේශය නුඹ ඔවුන්ට උරුම කොට දෙන්නෙහි ය.
7. මාගේ සේවක වූ මෝසෙස් අණ කළ සියලු නීති අනුව ක්‍රියා කිරීමට බලාගන්නා ලෙස ශක්තිමත් ව ද ධෛර්යවත් ව ද සිටින්න. නුඹ යන යන සෑම තැන දී ම නුඹට ශුභසිද්ධ වන පිණිස එම නීතිය අකුරට ම පිළිපදින්න.
8. මේ නීති සංග්‍රහය නුඹ නිතර ම කියවිය යුතු ය. එහි ලියා තිබෙන සියල්ල අනුව ක්‍රියා කරන පිණිස ඒ ගැන දිවා රෑ දෙක්හි භාවනා කළ යුතු ය. එවිට නුඹ කරන දේ සඵල වී නුඹට ශුභසිද්ධිය සැලසෙනු ඇත.
9. ශක්තිමත් ව, ධෛර්යවත් ව සිටීමට ද බිය නොවීමට ද නොකැළඹීමට ද මා නුඹට අණ කළා නොවේ ද? මන්ද, නුඹ යන සෑම තැනක ම නුඹේ දෙවි සමිඳාණන් වහන්සේ නුඹ සමඟ වැඩසිටින සේක.”
10. එවිට ජෝෂුවා සෙනඟගේ නිලධාරීන් අමතා,
11. “ඔබ කඳවුර මැදින් ගොස් සෙනඟට කතා කොට, ‘දෙවි සමිඳාණන් වහන්සේ උරුමය වශයෙන් ඔබට දෙන දේශය හිමි කරගැනීමට තව දවස් තුනකින් ඔබ හැම මේ ජොර්දාන් ගඟින් එතෙර යන හෙයින් ඒ සඳහා කෑම සූදානම් කරගන්න’ කියා අණ කරන්නැ”යි කීවේ ය.
12. ඉන්පසු ජෝෂුවා රූබන්වරුන්ට ද ගාද්වරුන්ට ද මනස්සේගේ අර්ධ ගෝත්‍රයට ද කතා කොට,
13. “සමිඳාණන් වහන්සේගේ සේවක මෝසෙස් ඔබ හැමට අණ කරමින් කී දේ, එනම්, ‘දෙවි සමිඳාණන් වහන්සේ ඔබ හැමට විවේක ස්ථානයක් සඳහා මේ දේශය දෙන සේක’ යන්න සිහිකරන්න.
14. මෝසෙස් ජොර්දාන් ගඟින් මෙගොඩ ඔබට දී තිබෙන දේශයෙහි ඔබේ භාර්යාවන් ද කුඩා දරුවන් ද ගවමහිෂයන් ද පදිංචි වනු ඇත. එහෙත්, ඔබ අතර සියලු බලසම්පන්න පුරුෂයන් සන්නාහ සන්නද්ධ ව ඔබේ සහෝදරයන්ට පෙරටුව යමින් ඔවුන්ට උපකාර කරනු ඇත.
15. දෙවි සමිඳාණන් වහන්සේ ඔබට මෙන් ඔබේ සහෝදරයන්ට විවේකය දෙන තෙක් ද උන් වහන්සේ ඔවුන්ට දෙන දේශය අයිති කරගන්න තෙක් ද ඔබ එලෙස ඔවුන්ට උපකාර කළ යුතු ය. ඉන්පසු සමිඳාණන් වහන්සේගේ සේවක මෝසෙස් ජොර්දාන් ගඟින් එහා පෙරදිග දිශාවෙහි ඔබ හැමට දුන්, ඔබට අයිති වන දේශයට හැරී අවුත් එය භුක්ති විඳීමට පටන්ගන්නෝ ය”යි කීවේ ය.
16. එවිට ඔව්හු ජෝෂුවාට පිළිතුරු දෙමින්, “ඔබ අපට අණ කළ සියල්ල ම අපි කරන්නෙමු; ඔබ අප යවන කොතැනට වුව ද අපි යන්නෙමු.
17. සියල්ලේ දී අප මෝසෙස්ට කීකරු වූ ලෙස ඔබටත් කීකරු වන්නෙමු. දෙවි සමිඳාණන් වහන්සේ මෝසෙස් සමඟ වැඩ සිටියාක් මෙන් ඔබ සමඟ ද වැඩ සිටින සේක් වා!
18. යමෙක් ඔබේ අණපණත්වලට විරුද්ධ ව කැරලි ගසමින්, ඔබ ඔහුට අණ කරන සියල්ලේ දී ඔබට අකීකරු වුවොත්, ඔහු මරණයට පත් කළ යුතු වන්නේ ය. ඔබ ශක්තිමත් ව ද ධෛර්යවත් ව ද සිටින්නැ”යි කීවෝ ය.

ජෝෂු 2:1-24
1. නූන්ගේ පුත් ජෝෂුවා ෂිට්ටිම් නම් ස්ථානයේ සිට මිනිසුන් දෙදෙනකු ඔත්තු බැලීමට රහසින් පිටත් කර යවමින්, “ඔබ දෙදෙනා විශේෂයෙන් ගොස් ජෙරිකෝ ප්‍රදේශය පරීක්ෂා කර බලන්නැ”යි කීවේ ය. ඔව්හු ගොස් රාහාබ් නම් වෙසඟනකගේ ගෙදරට පැමිණ එහි නවාතැන් ගත්හ.
2. එවිට, “දේශයෙහි ඔත්තු බලන පිණිස ඉශ්රායෙල් ජනයාගෙන් කීප දෙනෙක් අද රෑ මෙහි ඇවිත් සිටිති”යි ජෙරිකෝවේ රජුට සැළ විය.
3. මේ දේ ඇසූ ජෙරිකෝවේ රජ, රාහාබ් වෙත පණිවුඩයක් යවමින්, “ඔබ වෙත පැමිණ ඔබේ ගෙට ඇතුළු වී සිටින මිනිසුන් පිටතට ගෙනෙන්න. මන්ද, ඔවුන් පැමිණ සිටින්නේ මුළු දේශයේ ඔත්තු බලන පිණිස ය”යි දැන්වී ය.
4. ස්ත්‍රිය ද ඒ මිනිසුන් දෙදෙනා කැඳවාගෙන ගොස් ඔවුන් සඟවා තැබුවා ය. ඈ පණිවුඩකාරයන්ට කතා කොට, “මිනිසුන් මා වෙත පැමිණි බව ඇත්තකි. එහෙත්, ඔවුන් ආවේ කොහෙන් ද කියා මම නොදනිමි.
5. ඇරත්, කළුවර වැටී වාසල් දොරටුව වසන වේලාව පැමිණෙද්දී ඒ මිනිස්සු පිටත් ව ගියෝ ය. ඔවුන් කොහේ ගියා දැ යි මම නොදනිමි. ඉක්මනින් ඔවුන් ලුහුබැඳ යන්න. තවම ඔවුන් අල්ලාගන්නට හැකි වන්නේ ය”යි පැවසුවා ය.
6. රාහාබ් ඒ මිනිසුන් දෙදෙනා ගෙයි පියස්ස උඩට ගෙන ගොස්, එහි අහුරා තිබුණ හණ දඬු යට ඔවුන් සඟවා තැබුවා ය.
7. රාජ සේවකයෝ ජොර්දාන් ගඟට යන පාර දිගේ තොටුපළවල් දක්වා ඔවුන් ලුහුබැඳ ගියෝ ය. ඔවුන් නගරයෙන් පිට වූ වහා ම වාසල් දොරටුව වසන ලද්දේ ය.
8. ඒ මිනිසුන් දෙදෙනා නිදාගන්නට පෙර ඈ පියස්සේ සිටි ඔවුන් වෙත අවුත්,
9. ඔවුන්ට මෙසේ කීවා ය: “සමිඳාණන් වහන්සේ මේ දේශය ඔබට දී තිබෙන බව ද ඔබ නිසා අප අතර භීතිය පැතිරී ගොස් තිබෙන බව ද සියලු දේශ වාසීන් ඔබේ පැමිණීම හේතුකොටගෙන මහත් සේ තැතිගෙන සිටින බව ද මම දනිමි.
10. ඔබ මිසර දේශයෙන් පිටතට එන කල, සමිඳාණන් වහන්සේ ඔබ ඉදිරියෙහි රතු මුහුද වේළී යන්නට සැලැසූ හැටි ද ජොර්දාන් ගඟින් එතෙර සිටි අමෝරිවරුන්ගේ රජුන් දෙදෙනා වන සීහොන්ට සහ ඕග්ට ඔබ කළ දෙය, එනම්, ඔවුන් සහමුලින් විනාශ කළ හැටි ද අප අසා ඇත
11. මේ කරුණු ඇසූ කෙණෙහි ම අපි අධෛර්ය වී අතිශයෙන් කලකිරුණෙමු. ඔබට විරුද්ධ ව නැඟී සිටින්නට අප කිසිවෙකුට ධෛර්යයක් නො වී ය. මන්ද, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඉහළ අහසෙහිත්, පහළ පොළොවෙහිත් දෙවියන් වහන්සේ වන බැවිනි.
12. ඉතින් මා ඔබට කරුණාව පෙන්වූ බැවින්, දැන් ඔබ මාගේ පියාගේ පවුලට කරුණාව පෙන්වන බවට සමිඳාණන් වහන්සේගේ නාමයෙන් දිවුරා ඒ බවට මට සහතිකයක් දෙන්න.
13. මාගේ පියා ද මව ද සහෝදර සහෝදරියන් ද ඔවුන්ගේ සියලු පවුල් ද ආරක්ෂා කොට, අපේ ජීවිත මරණින් බේරාගන්න.”
14. එවිට ඒ මිනිස්සු ඈට පිළිතුරු දෙමින්, “අපේ මේ රහස ඔබ එළිදරව් නොකළොත්, ඔබ වෙනුවෙන් දිවි පුදන්නට අපි සූදානම් ය. සමිඳාණන් වහන්සේ මේ දේශය අපට දුන් කල, අපි ඔබ කෙරෙහි කරුණාවෙන් ද හිතවත්කමෙන් ද ක්‍රියා කරන්නෙමු”යි කීවෝ ය.
15. රාහාබ්ගේ ගෙය නගරයේ පවුර පිට තිබුණේ ය; ඈ ද පවුර පිට වාසය කළා ය. එබැවින් ඈ කඹයකින් ඒ මිනිසුන් දෙදෙනා කවුළුවෙන් බැස්සුවා ය.
16. ඈ ඔවුන්ට කතා කොට, “ලුහුබැඳ ගිය අයට ඔබ අසු නොවන පිණිස කඳුකරයට පලා යන්න. ඔවුන් ආපසු හැරී එන තුරු එහි තුන් දවසක් සැඟවී සිටින්න. ඉන්පසු ඔබේ ගමන යන්නැ”යි කීවා ය.
17. ඒ මිනිස්සු ද ඈට පිළිතුරු දෙමින් මෙසේ කී හ: “ඔබ අපෙන් ගත් දිවුරුම අපි ඉටු කරන්නෙමු.
18. එසේ කරන්නට නම්, අප මේ දේශයට ආ කල මේ රතු නූල් පටිය ඔබ අප බැස්සෙව් කවුළුවේ බැඳ තබා, ඔබේ පියා ද මව ද සහෝදරයන් ද පියාගේ ගෙයි වැසි සියල්ලන් ද ඔබ සමඟ නිවෙසට එක්රැස් කරගන්න.
19. කිසිවෙකු ඔබේ ගෙදරින් පිට වී වීදියට ගොස් මරණයට පත් වුවහොත් වරද ඔහුගේ ම ය; ඒ ගැන අපි නිදොස් ය. ඔබ සමඟ ගෙදර සිටින යමෙකුට අනතුරක් සිදු වුවහොත් ඔහුගේ මරණය ගැන අප වගකිවයුතු වන්නේ ය.
20. එහෙත්, ඔබ අපේ මේ රහස් එළිදරව් කළොත්, ඔබ අප ලවා දිවුරුම් ගත් දිවුරුමෙන් අපි නිදහස් වන්නෙමු.”
21. රාහාබ් පිළිතුරු දෙමින්, “ඔබ කී ලෙස ම වේ වා”යි ඔවුන් පිටත් කර යැව්වා ය. ඔව්හු ද පිටත් ව ගියෝ ය. එවිට ඈ රතු පටිය කවුළුවේ බැන්දා ය.
22. ඒ මිනිසුන් දෙදෙනා පිටත් වී ගොස් කඳුකරයට පැමිණ, ඔවුන් ලුහුබැඳ ගිය අය ආපසු හැරී එන තුරු තුන් දවසක් එහි නැවතී සිටියෝ ය. ලුහුබැඳ ගිය අය ඒ මිනිසුන් සෑම තැන ම සෙවූ නමුත් ඔවුන් සම්බවුණේ නැත.
23. එවිට ඒ මිනිසුන් දෙදෙනා ආපසු හැරී, කඳුකරයෙන් බැස, ගඟෙන් එතෙර වී, නූන්ගේ පුත් ජෝෂුවා වෙත පැමිණ තමන්ට සිදු වූ සියල්ල ඔහුට දැන්වූ හ.
24. ඔව්හු ජෝෂුවාට කතා කොට, “සැබැවින් ම සමිඳාණන් වහන්සේ මේ මුළු දේශය අප අතට පාවා දී තිබේ. දේශයේ වැසියන් සියල්ලෝ ම අප කෙරෙහි භීතියෙන් සිටිති”යි කීවෝ ය.

ගීතාවලිය 41:1-13
1. දාවිත්ගේ ගීතයකි. දිළින්දා සලකන්නා ආසිරි ලද්දේ ය. ඔහුගේ විපතින් සමිඳාණෝ ඔහු මුදන සේක.
2. සමිඳාණෝ ඔහු රක්නා සේක; ඔහුට රැකවරණය දෙන සේක; මිහි මත ඔහුට ආසිරි දෙන සේක; සමිඳාණෝ සතුරන් අතට ඔහු පාවා නොදෙන සේක.
3. ලෙඩ ඇඳේ සිටින විට සමිඳාණෝ ඔහුට පිහිට වන සේක; රෝගාතුර ව සිටින විට සුවය දෙන සේක.
4. “සමිඳුනි, මට කරුණා කළ මැනව; ඔබට විරුද්ධ ව පව් කෙළෙමි, මෙමා සුව කළ මැනව”යි මම පවසමි.
5. “ඔය මිනිසා කවදා මැරේ ද? කවදා ඔහුගේ නාමය මැකී යන්නේ දැ”යි මාගේ සතුරෝ මා ගැන අවලාද කියති.
6. මා බලන්න එන අය අවංක නැත. ඔවුහු මා ගැන කිව හැකි නපුරු දේ රැස් කරගනිති; පිටත ගොස් හැම තැන ම ඒවා පළ කරති.
7. මට වෛර කරන්නෝ මට විරුද්ධ ව රහස් කියති; මා වැනසීමට රහසින් උපා යොදති.
8. “අසාධ්‍ය ලෙඩක් ඔහුට වැළඳී ඇත. කවදාවත් ඇඳෙන් නොබසිනු ඇතැ”යි ඔවුහු පවසති.
9. මාගේ හොඳ ම විශ්වාසය දිනාගත් යහළුවා, එක පිඟානෙන් බත් කෑ කල්‍යාණ මිත්‍රයා පවා මට එරෙහි ව සතුරුකම් කෙළේ ය.
10. මාගේ සතුරන්ට යස පාඩමක් උගන්වන පිණිස සමිඳුනි, මට කරුණා කළ මැනව; ලෙඩ ඇඳෙන් මා නැඟිටවුව මැනව.
11. ඔවුන්ට ජය අත් නොවන විට ඔබ මා කෙරෙහි ප්‍රිය බව මම දනිමි.
12. මා හරි දේ ඉටු කරන බැවින් ඔබ මට පිහිට වන සේක; සදහට ම ඔබ අබිමුව මා තබාගන්න සේක.
13. ඉශ්රායෙල් ජනතාවගේ දෙවි සමිඳුන් හට ප්‍රශංසා වේ වා! සදාකාලයෙන් සදාකාලයට ම ප්‍රශංසා වේ වා! ආමෙන්, ආමෙන්.

හිතෝපදේශ 13:15-16
15. හොඳ නැණනුවණ නිසා කරුණාව ලැබෙයි; ද්‍රෝහීන්ගේ මාර්ගය විනාශය බලා යයි.
16. බුද්ධිමතා හිතාමතා ක්‍රියා කරයි; අඥානයා සිය අනුවණකම ගැන පාරට්ටු කරයි.

ශුද්ධවර ලූක් 8:26-56
26. ඔව්හු ගලීලය ඉදිරියෙහි වූ ගෙරසේනයන්ගේ රටට පැමිණියහ.
27. උන් වහන්සේ ගොඩ බසිත් ම, නුවරින් ආ දුෂ්ටාත්මාවේශ වූ මිනිසෙක් උන් වහන්සේට හමු විය. ඔහු බොහෝ කලක් ම නිර්වස්ත්‍ර ව, ගෙයක නොව, සොහොන් ගෙවල වාසය කෙළේ ය.
28. ඔහු ජේසුස් වහන්සේ දැක, මොරගසා, උන් වහන්සේ ඉදිරියෙහි වැඳ වැටී, “පරමෝත්තම දෙවියන්ගේ පුත් ජේසුස් වහන්ස, ඔබත්, මාත් අතර මොන ගනුදෙනුවක් ද? මට වද නොදෙන මෙ‍න් අයැදිමි”යි මහ හඬින් කීවේ ය.
29. මෙ‍සේ කීවේ, ඒ මිනිසාගෙන් දුරු වන්න උන් වහන්සේ අශුද්ධාත්මයට අණ කළ බැවිනි. ඒ අශුද්ධාත්මය නොයෙක් වර ඔහුට ආවේශ වූ බැවින්, යදම්වලින් ද විලංගුවලින් ද බැඳ ඔහු මුර කරන ලද්දේ ය; එහෙත්, ඔහු ඒ බැඳුම් කඩා දැමී ය. දුෂ්ටාත්මය විසින් ඔහු පාළුකරයට පලවා හරින ලද්දේ ය.
30. “තාගේ නම කුමක් දැ”යි ජේසුස් වහන්සේ ඔහුගෙන් ඇසූ සේක. බොහෝ දුෂ්ටාත්මයන් ආවේශ ව සිටි නිසා, ඔහු, “සේනා”යි කී ය.
31. එවිට දුෂ්ටාත්මයෝ පාතාලයට යන පරිදි තමන් හට අණ නොකරන ලෙස උන් වහන්සේගෙන් ඉල්ලූ හ.
32. එතැන කන්දේ මහා ඌරු රැළක් ගොදුරු කමින් සිටියෝ ය. ඌරන්ට වැහෙන පිණිස දුෂ්ටාත්මයෝ උන් වහන්සේගෙන් අවසර ඉල්ලූ හ. උන් වහන්සේ අවසර දුන් සේක.
33. දුෂ්ටාත්මයෝ ඒ මිනිසාගෙන් දුරු ව ගොස් ඌරන්ට ආවේශ වූ හ; එකල ඌරු රැළ ප්‍රපාතයෙන් පහළ විලට වේගයෙන් දිව ගොස් ගිලී මළෝ ය.
34. ඌරු ගොව්වෝ සිදු වූ දේ දැක, පලා ගොස් නුවරෙහි ද ගම්මානයෙහි ද එපවත් දැන්වූ හ.
35. ඒ සිද්ධිය බලන පිණිස මිනිස්සු පිටත් ව අවුත්, ජේසුස් වහන්සේ වෙත පැමිණ, දුෂ්ටාත්මයන් දුරු කරනු ලැබූ මිනිසා ඇඳුම් ඇඳ, හොඳ සිහි කල්පනාවෙන් ජේසුස් වහන්සේගේ පාමුල ඉඳිනු දැක බිය වූ හ.
36. එය සියැසින් දුටු අය දුෂ්ටාත්මාවේශ ව සිටි මිනිසා සුවය ලැබූ සැටි ඔවුන්ට කී හ.
37. එවිට ගෙරසේනයන්ගේ ප්‍රදේශය අවටින් වූ මුළු සෙනඟ මහා භීතියට පැමිණ, තමන් වෙතින් අහක් ව යන ලෙස උන් වහන්සේගෙන් අයැදියහ. උන් වහන්සේ ද ඔරුවකට නැඟී පෙරළා වැඩිය සේක.
38. දුෂ්ටාත්මයන් දුරු කරනු ලැබූ මිනිසා උන් වහන්සේ සමඟ නවතින්න අවසර ඉල්ලී ය. එහෙත්, උන් වහන්සේ ඔහු යවමින්,
39. “ඔබේ ගෙදරට හැරී ගොස්, දෙවියන් වහන්සේ ඔබට කළ සියල්ල ම ප්‍රකාශ කරන්නැ”යි වදාළ සේක. ඔහු ගොස්, ජේසුස් වහන්සේ තමාට කොපමණ මහත් දේ කළ සේක් දැ යි නුවර පුරා ප්‍රචාරය කෙළේ ය.
40. ජේසුස් වහන්සේ ආපසු පැමිණි කල සමූහයා උන් වහන්සේ පිළිගත්හ. සියල්ලෝ ම උන් වහන්සේගේ පැමිණීම බලා සිටියහ.
41. එවිට, ධර්මශාලා ප්‍රධානියෙකු වන යායිරස් නම් කෙනෙක් අවුත්, ජේසුස් වහන්සේගේ පාමුල වැටී සිය නිවෙසට වඩින ලෙස උන් වහන්සේගෙන් උදක් ම ඉල්ලී ය.
42. එසේ කෙළේ දොළොස් වසරක් පමණ වයස් වන ඔහුගේ එක ම දියණියන් මරණාසන්න ව සිටි බැවිනි. උන් වහන්සේ වඩිනා කල සමූහයා උන් වහන්සේ ව තෙරපමින් ගියහ.
43. එකල කිසිවෙකුට සුව කළ නොහැකි වූ, දොළොස් වසරක් මහලේ රෝගයෙන් පෙළුණු ස්ත්‍රියක්
44. පසුපස්සෙන් අවුත්, උන් වහන්සේගේ සළුවේ දාවල්ල ස්පර්ශ කළා ය. ඒ ඇසිල්ලෙහි ම ඇගේ ලේ ගැලීම නැවතිණි.
45. එවිට ජේසුස් වහන්සේ, “මගේ ඇඟට අත තැබුවේ කවරෙක් දැ”යි ඇසූ සේක. එසේ නොකළ බව හැම දෙන ම කී කල්හි, පේදුරු කතා කොට, “ස්වාමීනි, සමූහයා ඔබට හැපෙමින් තෙරපෙමින් සිටිති”යි කී ය.
46. එහෙත්, ජේසුස් වහන්සේ, “කවුරු නමුත් මගේ ඇඟට අත තැබී ය; මන්ද මගෙන් අනුහස නික්ම ගිය බව මට දැනුණේ ය”යි වදාළ සේක.
47. කරුණ හෙළි වූ බව දුටු ඒ ස්ත්‍රිය වෙවුලමින් අවුත්, උන් වහන්සේ ඉදිරියෙහි වැඳ වැටී ඈ උන් වහන්සේට අත තැබුවේ මන්ද කියාත්, එකෙණෙහි ම ඈ සුව වූ හැටිත් මුළු සමූහයා ඉදිරියෙහි ප්‍රකාශ කළා ය.
48. දියණියෙනි, ඔබේ ඇදහිල්ල ඔබ සුවපත් කෙළේ ය; ශාන්ත සිතින් යන්නැ”යි උන් වහන්සේ ඇයට වදාළ සේක.
49. උන් වහන්සේ මෙ‍වදන් පවසද්දී ම, ධර්මශාලා නායකයාගේ ගෙදරින් කෙනෙක් අවුත්, “ඔබේ දුව මළා ය; ගුරුදේවයන් නොවෙහෙසන්නැ”යි කී ය.
50. ජේසුස් වහන්සේ ඒ අසා, “බිය නොවන්න, ඇදහිල්ලෙන් ම සිටින්න, ඈ සුව වනු ඇතැ”යි උත්තර දුන් සේක.
51. උන් වහන්සේ ගෙදරට පිවිසි කල, පේදුරු ද ජොහන් ද ජාකොබ් ද දැරියගේ පියා ද මව ද හැර අන් කිසිවෙකුට තමන් සමඟ ඇතුළු වන්න අවසර නුදුන් සේක.
52. සියල්ලෝ ම ඈ ගැන හඬමින් වැලපෙමින් සිටියහ. එහෙත්, උන් වහන්සේ කතා කොට, “නාඬන්න, ඈ මැරී නැත, ඈ නිදන්නී ය”යි වදාළ සේක.
53. ඔව්හු ඈ මළ බව දැන උන් වහන්සේ උපහාසයට ලක් කළහ.
54. එහෙත්, උන් වහන්සේ ඇගේ අත අල්ලා, “දැරිය නැඟිටින්නැ”යි ශබ්ද නඟා වදාළ සේක.
55. එවිට ඇගේ ප්‍රාණය නැවත ආයේ ය. ඈ එකෙණෙහි ම නැඟිට්ටා ය. ඇයට යමක් කන්න දෙන ලෙස උන් වහන්සේ අණ කළ සේක.
56. ඇගේ මවුපියෝ විස්මිත වූ හ; එහෙත්, මේ සිද්ධිය කිසිවෙකුට නොකියන ලෙස උන් වහන්සේ ඔවුන්ට අණ දුන් සේක.