A A A A A
අවුරුද්දකින් බයිබලය
අප්රේල් 24

වීරාවලිය 13:1-25
1. ඉශ්රායෙල් සෙනඟ නැවතත් සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි පව් කළෝ ය. සමිඳාණන් වහන්සේ ඔවුන් පිලිස්තිවරුන්ගේ අතට සතළිස් අවුරුද්දකට පාවා දුන් සේක.
2. දාන්ගේ වංශයට අයිති ශොරාහි එක්තරා මිනිසෙක් සිටියේ ය. ඔහුගේ නම මානෝවා ය. ඔහුගේ භාර්යාව වඳ වූ බැවින් දරුවන් නොලැබ සිටියා ය.
3. සමිඳාණන් වහන්සේගේ දූතයා ඒ ස්ත්‍රියට පෙනී මෙසේ කීවේ ය: “නුඹ වඳ ව දරුවන් නොලැබ සිටින්නෙහි ය. එහෙත්, නුඹ පිළිසිඳගෙන පුත්‍රයෙකු ලබන්නෙහි ය.
4. ඒ නිසා දැන් ඉතින් මුද්‍රික පානය වත්, සැර බීම වත් නොබී, අපවිත්‍ර දෙයක් නොකා සිටින හැටියට වගබලාගන්න.
5. මන්ද, නුඹ පිළිසිඳගෙන පුත්‍රයෙකු ලබන්නෙහි ය. දැළි පිහියකින් ඔහුගේ කෙස් නොකැපිය යුතු ය. මන්ද, දරුවා ගර්භයේ පටන් දෙවියන් වහන්සේට කැප කරන ලද නාසරීයයෙකු විය යුතු බැවිනි. ඔහු පිලිස්තිවරුන්ගේ අතින් ඉශ්රායෙල්වරුන් ගළවා ගන්නේ ය.”
6. එවිට ඒ ස්ත්‍රිය ඇගේ පුරුෂයා වෙත අවුත් මෙසේ කීවා ය: “දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයෙක් මා ළඟට ආවේ ය. ඔහුගේ පෙනීම දේව දූතයෙකුගේ පෙනීම හා සමාන ව ඉතා ප්‍රතාපවත් ව තිබුණේ ය. ඔහු කොතැනින් ආවේ ද කියා මම නොඇසීමි. ඔහු තමාගේ නම මට දැන්වූයේ නැත.
7. එහෙත්, ඔහු මට කතා කොට, ‘බලන්න, නුඹ පිළිසිඳගෙන පුත්‍රයෙකු ලබන්නෙහි ය; ඒ නිසා දැන් ඉතින් මුද්‍රික පානය වත්, සැර බීම වත් නොබී, අපවිත්‍ර කිසි දෙයක් නොකා සිටින්න. මන්ද, ඒ දරුවා ගර්භයේ පටන් මැරෙන දවස දක්වා දෙවියන් වහන්සේට කැප කරන ලද නාසරීයයෙකු විය යුතු ය’යි කීවේ ය.”
8. එවිට මානෝවා සමිඳාණන් වහන්සේට කන්නලව් කරමින්, “අහෝ, සමිඳුනි, ඔබ විසින් එවන ලද දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා නැවත අප ළඟට අවුත්, උපදින්නට යන දරුවාට අප විසින් කරනු ලැබිය යුතු දේ ඉගැන්වුව මැනවැ”යි කීවේ ය.
9. දෙවියන් වහන්සේ මානෝවාගේ කන්නලව්වට ඇහුම්කන් දුන් සේක. දේව දූතයා ඒ ස්ත්‍රිය කෙතේ සිටිය දී යළිත් ඈ ළඟට පැමිණියේ ය. එහෙත්, ඇගේ පුරුෂයා වන මානෝවා ඈ ළඟ නොසිටියේ ය.
10. ස්ත්‍රිය ඉක්මනින් දුව ගොස්, “මෙන්න, එදා මා ළඟට ආ මනුෂ්‍යයා මට දැන් පෙනුණේ යැ”යි ඇගේ පුරුෂයාට දැන්වූවා ය.
11. මානෝවා නැඟිට සිය භාර්යාව කැටුව ගොස්, ඒ මනුෂ්‍යයා ළඟට පැමිණ, “මේ ස්ත්‍රියට කතා කළ මනුෂ්‍යයා ඔබ දැ”යි ඔහුගෙන් ඇසී ය. ඔහු ද, “ඔව්, මම යැ”යි පිළිතුරු දුන්නේ ය.
12. එවිට මානෝවා කතා කොට, “ඔබ කී දේ ඉටු වූ විට, දරුවා හැසිරිය යුත්තේ කෙසේ ද? ඔහු කළ යුත්තේ කුමක් දැ”යි ඇසුවේ ය.
13. සමිඳාණන් වහන්සේගේ දූතයා මානෝවාට කතා කොට, “මා ස්ත්‍රියට කී සියල්ල කිරීමට ඈ වගබලාගනී වා.
14. මුද්‍රික වැලෙන් උපදින කිසිවක් නොකා, මුද්‍රික පානය වත් සැර බීම වත් නොබී, අපවිත්‍ර කිසිවක් නොකා සිටීවා. මා විසින් ඈට අණ කරන ලද සියල්ල ඈ කළ යුතු යැ”යි කී ය.
15. මානෝවා සමිඳාණන් වහන්සේගේ දූතයාට කතා කොට, “අප විසින් ඔබට එළු පැටවෙකු උයා පිළියෙළ කරනු ලබන තුරු, ඔබ නවත්වාගන්නට අපට අවසර ලැබේවා”යි කීවේ ය.
16. සමිඳාණන් වහන්සේගේ දූතයා, “නුඹ මා නවත්වාගන්න නමුත්, නුඹේ කෑමෙන් නොකන්නෙමි; එහෙත්, නුඹ දවන යාග පූජාවක් පිළියෙළ කරන්නෙහි නම්, ඒ නුඹ විසින් සමිඳාණන් වහන්සේට ඔප්පු කරනු ලැබිය යුතු යැ”යි මානෝවාට කීවේ ය. ඔහු සමිඳාණන් වහන්සේගේ දූතයා බව මානෝවා නොදැන සිටියේ ය.
17. මානෝවා ද, “ඔබ කී ලෙස සිද්ධ වූ කල අප ඔබට ගෞරව කරන පිණිස ඔබේ නාමය කිමෙක් දැ”යි සමිඳාණන් වහන්සේගේ දූතයාගෙන් ඇසුවේ ය.
18. සමිඳාණන් වහන්සේගේ දූතයා පිළිතුරු දෙමින්, “නුඹ මාගේ නාමය ගැන විචාරන්නේ මන් ද? එය අබිරහසකැ”යි කීවේ ය.
19. එවිට මානෝවා එළු පැටවාත්, ආහාර පූජාවත් ගෙනවුත්, අරුමපුදුම දේ කරන සමිඳාණන් වහන්සේට පර්වතය මත පූජා කෙළේ ය.
20. ගිනි ජාලාව පූජාසනයෙන් අහස දෙස නඟින අතර, සමිඳාණන් වහන්සේගේ දූතයා ගිනි ජාලාවෙහි නැඟී ගියේ ය. මානෝවා ද ඔහුගේ භාර්යාව ද බලාගෙන සිටියෝ ය. එවිට ඔව්හු මුණින්තළා වැටුණෝ ය.
21. ඉන්පසු සමිඳාණන් වහන්සේගේ දූතයා මානෝවාට වත්, ඔහුගේ භාර්යාවට වත් නොපෙනුණේ ය. එවිට මානෝවා ඔහු සමිඳාණන් වහන්සේගේ දූතයා බව දැන ගත්තේ ය.
22. මානෝවා කතා කොට, “අප දෙවියන් වහන්සේ දුටු නිසා ඒකාන්තයෙන් නසින්නෙමු”යි තම භාර්යාවට කීවේ ය.
23. එහෙත්, ඔහුගේ භාර්යාව, “සමිඳාණන් වහන්සේ අප නසන්නට කැමැති සේක් නම්, උන් වහන්සේ අපේ අතින් දවන යාග පූජාවක් හා ආහාර පූජාවක් පිළිගන්නේ වත්, උන් වහන්සේ මේ සියල්ල අපට පෙන්වන්නේ වත්, මේ කාලයේ දී අපට මෙබඳු දේවල් දන්වන්නේ වත් නැතැ”යි ඔහුට කීවා ය.
24. ඒ ස්ත්‍රිය පුත්‍රයෙකු ලැබූ පසු ඈ ඔහුට සම්සොන් යන නම තැබුවා ය. දරුවා වැඩුණේ ය. සමිඳාණන් වහන්සේ ඔහුට ආශීර්වාද කළ සේක.
25. සම්සොන් ශොරාටත් එෂ්තායොල්ටත් අතරෙහි වූ දාන්ගේ කඳවුරේ සිටිය දී, සමිඳාණන් වහන්සේගේ ආත්මානුභාවය ඔහු ක්‍රියාවේ පොළඹවන්නට පටන්ගත්තේ ය.

වීරාවලිය 14:1-20
1. සම්සොන් තිම්නා නගරයට ගියේ ය. එහි දී ඔහු පිලිස්ති ජාතික එක් කාන්තාවක දුටුවේ ය.
2. ඔහු අවුත් තම පියාටත් මවටත් කතා කොට, “පිලිස්තිවරුන්ගේ දූවරුන්ගෙන් එක් කාන්තාවක තිම්නාහි දී මම දිටිමි. ඈ මාගේ බිරිඳ කරගන්න පිණිස මට ඈ ලබාදෙන්නැ”යි කීවේ ය.
3. එවිට ඔහුගේ මවුපියෝ ඔහුට කතා කොට, “ඔබ අචර්මඡේදිත පිලිස්තිවරුන්ගෙන් බිරිඳක ගන්නට යන්නේ, ඔබේ ඥාතීන්ගේ දූවරුන් අතරේ වත්, අපේ සෙනඟ අතරේ වත් කාන්තාවක නැති නිසා දැ”යි ඔහුගෙන් ඇසූ හ. එහෙත් සම්සොන්, “ඒ කාන්තාව මට ලබා දෙන්න, මම ඈට කැමැත්තෙමි”යි තම පියාට කීවේ ය.
4. මේ කටයුත්ත සම්බන්ධයෙන් ක්‍රියා කෙළේ, සමිඳාණන් වහන්සේ බව ඔහුගේ දෙමවුපියෝ නොදැන සිටියෝ ය. මන්ද, සමිඳාණන් වහන්සේ පිලිස්තිවරුන්ට විරුද්ධ ව සටන් කිරීමට අවස්ථාවක් සොයමින් සිටි සේක. ඒ කාලයේ දී පිලිස්තිවරු ඉශ්රායෙල්වරුන් පාලනය කළෝ ය.
5. සම්සොන් ඔහුගේ මවුපියන් සමඟ තිම්නා නගරයට පිටත් ව ගියේ ය. තිම්නාහි මිදිවතුවලට පැමිණි කල, සිංහ නාම්බෙකු ඔහුට ගොරවනවා ඇසුණේ ය.
6. එවිට සමිඳාණන් වහන්සේගේ ආත්මානුභාවය බලවත් ලෙස ඔහු කෙරෙහි පැමිණියේ ය. සම්සොන් තමාගේ අතේ කිසිදු අවියක් නැති ව, එළු පැටවෙකු ඉරා දමන ලෙස ඌ ඉරා දැමුවේ ය. එහෙත්, ඔහු කළ දේ ඔහුගේ පියාට වත්, මවට වත් ඔහු දැන්නුවේ නැත.
7. ඉන්පසු ඔහු ගොස් ඒ කාන්තාව සමඟ කතා කෙළේ ය. ඈ ඔහුට බොහෝ ප්‍රියමනාප වූවා ය.
8. ස්වල්ප දවසකට පසු සම්සොන් ඈ සරණ පාවාගන්නට ආපසු යද්දී සිංහයාගේ මළකුණ බලන පිණිස ඉවතට හැරී ගියේ ය. ඔහු බැලූ කල සිංහයාගේ ශරීරයේ මී මැසි රංචුවක් ද මී පැණි ද තිබිණි.
9. ඔහු මී පැණි අතින් ගෙන, කකා ගොස්, ඔහුගේ මවුපියන් ළඟට පැමිණ ඔවුන්ටත් දුන්නේ ය. ඔව්හු කෑවෝ ය. එහෙත්, ඒ මී පැණි සිංහයාගේ මළකුණෙන් ගත් බව ඔහු ඔවුන්ට කීවේ නැත.
10. ඔහුගේ පියා ඒ කාන්තාව සිටි තැනට ආවේ ය. සම්සොන් එහි දී මංගල්‍යයක් පිළියෙළ කෙළේ ය. මෙය තරුණයන් අතරේ පැවති සිරිතක් විය.
11. පිලිස්තිවරු සම්සොන් දුටු විට ඔහු සමඟ සිටින පිණිස යහළුවන් තිස්දෙනෙකු ගෙනාවෝ ය.
12. සම්සොන් කතා කොට, “මම දැන් ඔබ හැමට ප්‍රහේලිකාවක් කියමි. මංගල්‍ය දවස් සත ඇතුළත දී ඔබ එය විසඳා මට කීවොත්, මම ඔබ හැමට සිහින් සළු තිහක් ද ඇඳුම් කට්ටල තිහක් ද දෙන්නෙමි.
13. එය විසඳා මට කියන්නට ඔබට බැරි වුණොත්, ඔබ සිහින් සළු තිහක් ද ඇඳුම් කට්ටල තිහක් ද මට දිය යුතු යැ”යි කීවේ ය. ඔව්හු, “අපට ඇසෙන්නට ඔබේ ප්‍රහේලිකාව කියන්නැ”යි ඔහුට කීවෝ ය.
14. ඔහු මෙසේ කී ය. “කන්නා කෙරෙන් කෑමකි; බලවතාගෙන් මිහිරකි.” ඒ ප්‍රහේලිකාව තුන් දවසකින් විසඳා කියන්නට ඔවුන්ට නුපුළුවන් විය.
15. සතර වන දවසේ ඔව්හු සම්සොන්ගේ බිරිඳට කතා කොට, “ප්‍රහේලිකාව අපට කියා දෙන්නට ඔබේ පුරුෂයා චාටුවෙන් පොළොඹවන්න. එසේ නොකළොත්, ඔබත්, ඔබේ පියාගේ ගෙයත් ගිනිබත් කරන්නෙමු. ඔබ හැම අප කැඳෙව්වේ අප දිළිඳුන් කරන්න නොවේ දැ”යි ඇසුවෝ ය.
16. සම්සොන්ගේ බිරිඳ ඔහුගේ ගෙල බදාගෙන අඬමින්, “ඔබ මට ද්වේෂ කරනවා මිස මට ආදරේ කරන්නේ නැත. මාගේ මිතුරන්ට ඔබ ප්‍රහේලිකාවක් කී නමුත්, ඒක මට තෝරා දුන්නේ නැතැ”යි කීවා ය. ඔහු පිළිතුරු දෙමින්, “බලන්න, මම මාගේ පියාට වත්, මාගේ මවට වත් ඒ ගැන නොකීවෙමි. ඔබට කියන්නේ කෙසේ දැ”යි ඈට කීවේ ය.
17. ඔවුන්ගේ මංගල්‍ය පැවති සත් දවස මුළුල්ලේ ම ඈ ඔහුගේ ගෙල බදාගෙන හැඬුවා ය. ඈ ඔහුට පෙරැත්ත කළ බැවින් ඔහු සත් වන දවසේ දී තේරුම ඈට කී ය. ඈ ද ඇගේ රට වැසියන්ට ඒ තේරුම කීවා ය.
18. සත් වන දවසේ දී ඉර බසින්නට පෙර නුවර වැසියෝ ඔහුට කතා කොට මෙසේ කී හ: “මී පැණිවලට වඩා මිහිරක් ඇද් ද? සිංහයෙකුට වඩා බලවෙතක් ඇද් ද?” සම්සොන් ඔවුන්ට මෙසේ පිළිතුරු දුන්නේ ය: “ඔබ මාගේ නෑම්බිය මඟින් සීසෑවේ නැත්නම්, මාගේ ප්‍රහේලිකාව දැනගන්නට නොහැකි වන්නේ ය.”
19. එවිට සමිඳාණන් වහන්සේගේ ආත්මානුභාවය බලවත් ලෙස ඔහු කෙරේ පැමිණියේ ය. ඔහු අෂ්කෙලොන්ට ගොස්, එහි මිනිසුන් තිස්දෙනෙකු මරා, ඔවුන්ගෙන් කොල්ලකාගෙන ප්‍රහේලිකාව තෝරා දුන් අයට ඇඳුම් කට්ටල දුන්නේ ය. ඔහු ඉමහත් කෝපයෙන් ඇවිළී තමාගේ පියාගේ ගෙදරට ගියේ ය.
20. සම්සොන්ගේ බිරිඳ, ඔහු යහළුවා කොටගත් ඔහුගේ මිතුරාට දෙන ලද්දී ය.

ගීතාවලිය 50:16-23
16. එහෙත්, දුදනා හට දෙවි තුමාණෝ මෙසේ වදාරන සේක: “නුඹ මාගේ ආඥා කටපාඩමින් කියන්නේත්, මාගේ ගිවිසුම ගැන කතා කරන්නේත් කුමකට ද?
17. මන්ද, නුඹ මාගේ අවවාදය නුරුස්සන්නෙහි ය; මාගේ වචනවලට පිටුපා යන්නෙහි ය.
18. නුඹ සොරෙකු දුටු විට ඔහුගේ මිතුරා වන්නෙහි ය; කාමමිථ්‍යාචාරීන් ඇසුරු කරන්නෙහි ය.
19. නුඹේ කට නපුරට පාවා දී ඇත; නුඹ කට ඇරියොත් කියන්නේ බොරු ම ය.
20. එක් කුසේ උපන් නුඹේ සොහොයුරන්ට විරුද්ධ ව කතා කිරීමට ද ඔවුන්ට දොස් පැවරීමට ද නුඹ සූදානම් ය.
21. මේ සියල්ල නුඹ කෙළෙහි ය; මම කිසිවක් නොකීවෙමි. ඒ නිසා ‘මාත් නුඹ වාගේ ම ය’යි නුඹ සිතුවෙහි ය. එහෙත්, දැන් මම නුඹට දොස් පවරන්නෙමි; නුඹට කරුණු පහදා දෙන්නෙමි.
22. මට පිටුපා යන්නෙනි, මෙය කල්පනාවට ගන්න; නැතහොත්, මම නුඹලා වනසන්නෙමි. නුඹලා ගළවන්නට කිසිවෙකු නොසිටිනු ඇත.
23. ස්තුති පූජා පුදන තැනැත්තේ මට ගෞරව කරයි; මට කීකරු වන හැම දෙන ම මම සැබැවින් ගළවාගන්නෙමි.”

හිතෝපදේශ 14:29-30
29. කෝපයට පමා වන්නා ඉතා නුවණැති කෙනෙකි; වහා කිපෙන්නා සිය මෝඩකම විදහා පාන්නේ ය.
30. නිසල් සිත, ගතට සුවය දෙයි; ඊර්ෂ්‍යාව, ඇටකටුවලට පිළිකාවකි.

ශුද්ධවර ලූක් 17:20-37
20. “දෙවියන් වහන්සේගේ රාජ්‍යය කවර කලෙක පහළ වන්නේ දැ”යි පරිසිවරුන් ඇසූ බැවින්, උන් වහන්සේ ඔවුන්ට උත්තර දෙමින්, “දෙවියන් වහන්සේගේ රාජ්‍යය ඇසට පෙනෙන අයුරින් නොපැමිණෙයි.
21. මෙ‍න්න මෙ‍තැන ය, අන්න අතැන යයි කිසිවෙකුට කිව නොහැකි ය; මන්ද, දෙවියන් වහන්සේගේ රාජ්‍යය ඔබ අතරෙහි ය”යි වදාළ සේක.
22. උන් වහන්සේ ශ්‍රාවකයන්ට මෙ‍සේ වදාළ සේක: “මනුෂ්‍ය-පුත්‍රයාණන් වැඩ සිටින දවස්වලින් එකක් වුව ද දැකීමට ඔබ ආශාවන කාලයක් පැමිණෙයි; එහෙත් ඔබ එය නොදක්නාහු ය.
23. ‘අන්න, එතැන ය! මෙ‍න්න මෙ‍තැන ය!’යි ඔවුන් කියන කල, පිටත් වී එය පසුපස්සේ නොයන්න.
24. අහසෙහි එක් දිශාවකින් පහළ වන විදුලිය අහසේ අනෙක් දිශාව දක්වා බබළන්නාක් මෙ‍න්, මනුෂ්‍ය-පුත්‍රයාණෝ පහළ වන දවසේ දී බබළන සේක.
25. එහෙත් පළමුකොට එතුමාණෝ බොහෝ දුක් විඳ මේ පරම්පරාව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබිය යුත්තාහ.
26. තවද නෝවාගේ දවස්වල දී වූ ලෙස ම, මනුෂ්‍ය-පුත්‍රයාණන්ගේ දවස්වල දී ද වන්නේ ය.
27. නෝවා නැවට පිවිසුණු දිනය දක්වා මිනිස්සු කමින්, බොමින්, ආවාහ විවාහ වෙමින් කල් යැවූ හ. එවිට ජල ගැල්ම පැමිණ ඔවුන් සියල්ලන් විනාශ කර දැමී ය.
28. ලොත්ගේ දවස්වල දී ද එසේ ම විය; ඔව්හු කමින්, බොමින්, වෙළහෙළඳාම් කරමින්, වවමින්, ගෙවල් සාදමින් කල් යැවූ හ:
29. එහෙත් ලොත් සොදොම්හි සිට නික්ම ගිය දා, අහසින් ගිනි සහ ගෙන්දගම් වැසි වැස, සියල්ලන් විනාශ කර දැමී ය.
30. මනුෂ්‍ය-පුත්‍රයාණන් ප්‍රකාශ වන දිනයේ දී ද ඒ අයුරින් ම වන්නේ ය.
31. ඒ දවසේ දී පියස්ස මත සිටින්නා ගෙයි තිබෙන තම බඩු බාහිරාදිය ගෙනයනු පිණිස බිමට නොබසීවා. එසේ ම කෙතේ සිටින්නා පෙරළා නොඒවා.
32. ලොත්ගේ භාර්යාව සිහි කරන්න.
33. සිය ජීවිතය රැකගන්නට සොයන්නා එය නැති කර ගන්නේ ය. සිය ජීවිතය නැති කරගන්නා එය රැක ගන්නේ ය.
34. මෙ‍ය ඔබට කියමි, ඒ රැයේ දී මනුෂ්‍යයන් දෙදෙනෙක් එක යහනක සිටිති; එක් කෙනෙක් ගනු ලබන්නේ ය, අනෙකා හැර දමනු ලබන්නේ ය.
35. ස්ත්‍රීහු දෙදෙනෙක් එකට ධාන්‍ය අඹරමින් සිටිති; එක තැනැත්තියක් ගනු ලබන්නී ය, අනෙක් තැනැත්තිය හැර දමනු ලබන්නී ය.
36. මනුෂ්‍යයන් දෙදෙනෙක් කෙතෙහි සිටිති; එක් කෙනෙක් ගනු ලබන්නේ ය; අනෙකා හැර දමනු ලබන්නේ ය.”
37. එවිට ඔව්හු උත්තර දෙමින්, “ස්වාමීනි, ඒ කොතැන්හි දැ”යි උන් වහන්සේගෙන් ඇසූ හ. උන් වහන්සේ උත්තර දෙමින්, “මළකුණ කොතැන ද, ගිජු ලිහිණියෝ එතැන රැස්වෙති”යි වදාළ සේක.