A A A A A
අවුරුද්දකින් බයිබලය
අප්රේල් 2

ද්විතීය නීති සංග්‍රහය 27:1-26
1. මෝසෙස් ඉශ්රායෙල් ජනතාවගේ ප්‍රජා මූලිකයන් කැටුව සෙනඟට මෙසේ කී ය: “අද දින මා ඔබට නියම කළ සියලු අණපණත් පිළිපදින්න.
2. ජොර්දාන් ගඟෙන් එතෙර වී, දෙවි සමිඳාණන් වහන්සේ ඔබට දෙන්න යන දේශයට ඔබ ගිය පසු, විශාල ගල් කණු සිටුවා, ඒවාට හුණු බදාමක් ගෑ යුතු ය.
3. මෙසේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබේ පියවරුන්ට පොරොන්දු වූ ප්‍රකාර, උන් වහන්සේ ඔබට දෙන්න යන, කිරෙන් සහ මී පැණියෙන් ඉතිරෙන දේශයට එතෙර වී, ඇතුළු වූ පසු මේ ආඥාව මුළුමනින් ම ඒ ගල්වල කෙටිය යුතු ය.
4. ජොර්දාන් ගඟින් එතෙර වූ පසු මා ඔබට අණ කරන, හුණු බදාම යෙදු ඒ ගල් කණු සිටුවිය යුත්තේ ඒබාල් කන්දේ ය.
5. එහි දී දෙවි සමිඳාණන් වහන්සේට, ගලින් පූජාසනයක් ගොඩනැගිය යුතු ය. එහෙත්, කිසි ම යකඩ ආයුධයක් ඒ ගල්වලට නොතැබිය යුතු ය.
6. දෙවි සමිඳාණන් වහන්සේගේ පූජාසනය නොකැපූ ගලින් ඉදි කළ යුතු ය. උන් වහන්සේගේ මහිමයට ඒ පූජාසනය මත දවන යාග පූජා ඔප්පු කළ යුතු ය.
7. සහභාගිකමේ පූජා ද එහි ඔප්පු කොට, ඒවා එහි අනුභව කොට, දෙවි සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ප්‍රීති ප්‍රමෝද විය යුතු ය.
8. තවද, ඒ ගල් කණු මත මේ ආඥාව සම්පූර්ණයෙන් ම පැහැදිලි ව කෙටිය යුතු ය.”
9. නැවතත් මෝසෙස් සහ ලෙවී පූජකවරු ඉශ්රායෙල් ජනතාව අමතමින්, “ඉශ්රායෙල් ජනයෙනි, සාවධානයෙන් සවන් දෙන්න. අද දින ඔබ හැම දෙවි සමිඳාණන් වහන්සේගේ සෙනඟ වූවහු ය.
10. එබැවින් ඔබ හැම දෙවි සමිඳාණන් වහන්සේට කීකරු වී මා මෙදින නියම කරන උන් වහන්සේගේ ආඥා ද නීති නියෝග ද ඉටු කළ යුතු ය”යි කී හ.
11. එදින ම මෝසෙස් සෙනඟට අණ කරමින් මෙසේ කී ය:
12. “ජොර්දාන් ගඟෙන් එතෙර වූ පසු, ගෙරිසීම් කන්ද මත, සෙනඟට ආශීර්වාද කරන පිණිස සිමියොන් ද ලෙවී ද ජුදා ද ඉස්සාකර් ද ජෝසෙප් සහ බෙන්ජමින් ද යන අයගේ ගෝත්‍ර සිටිය යුතු ය.
13. ඒබාල් කන්ද මත සෙනඟට සාප කරන පිණිස, රූබන් සහ ගාද් ද ආෂෙර් සහ සාබුලොන් ද දාන් සහ නප්තලී ද යන අයගේ ගෝත්‍ර සිටිය යුතු ය.
14. ඉන්පසු ලෙවීවරු, මුළු ඉශ්රායෙල් ජනතාව අමතමින්, හඬ නඟා මෙසේ කිව යුතු ය:
15. ‘සමිඳාණන් වහන්සේට පිළිකුලක් වන ශිල්පියෙකුගේ හස්ත කර්මාන්තයක් ද වන නෙළූ රූපයක් හෝ වාත්තු පිළිමයක් හෝ සාදා එය රහසින් තබාගන්න මිනිසාට සාප වේ වා!’ මුළු සෙනඟ පිළිතුරු දෙමින්, ‘ආමෙන්’ කිව යුතු ය.
16. ‘තම මවට හෝ පියාට හෝ අගෞරව කරන්නාට සාප වේ වා!’ මුළු සෙනඟ ‘ආමෙන්’ කිව යුතු ය.
17. ‘තම අසල්වැසියාගේ ඉඩමේ මායිම් ඉවත් කරන්නාට සාප වේ වා!’ මුළු සෙනඟ ‘ආමෙන්’ කිව යුතු ය.
18. ‘අන්ධයා මංමුළා කරවන්නාට සාප වේ වා!’ මුළු සෙනඟ ‘ආමෙන්’ කිව යුතු ය.
19. ‘විදේශිකයාගේ ද අනාථයාගේ ද වැන්දඹුවන්ගේ ද අයිතිවාසිකම් හෙළා දමන්නාට සාප වේ වා!’ මුළු සෙනඟ ‘ආමෙන්’ කිව යුතු ය.
20. ‘තම පියාගේ බිරිඳ සමඟ සයනය කොට, පියාට නින්දා කරන්නාට සාප වේ වා!’ මුළු සෙනඟ ‘ආමෙන්’ කිව යුතු ය.
21. ‘යම්කිසි මෘගයෙකු සමඟ ලිංගික සම්බන්ධකම් ඇති කරගන්නාට සාප වේ වා!’ මුළු සෙනඟ ‘ආමෙන්’ කිව යුතු ය.
22. ‘තම සොහොයුරිය හෝ තම පියාගේ දුව හෝ තම මවගේ දුව හෝ සමඟ සයනය කරන්නාට සාප වේ වා!’ මුළු සෙනඟ ‘ආමෙන්’ කිව යුතු ය.
23. ‘තම නැන්දම්මා සමඟ සයනය කරන්නාට සාප වේ වා!’ මුළු සෙනඟ ‘ආමෙන්’ කිව යුතු ය.
24. ‘තම අසල්වැසියා රහසින් මරා දමන්නාට සාප වේවා!’ මුළු සෙනඟ ‘ආමෙන්’ කිව යුතු ය.
25. ‘නිර්දෝෂී යමෙකු මරනු පිණිස අල්ලස් ගන්නාට සාප වේ වා!’ මුළු සෙනඟ ‘ආමෙන්’ කිව යුතු ය.
26. ‘මේ නීතිය පිණිස එය සම්පූර්ණයෙන් අනුමත නොකරන්නාට සාප වේ වා!’ මුළු සෙනඟ ‘ආමෙන්’ කිව යුතු ය.

ද්විතීය නීති සංග්‍රහය 28:1-68
1. “මා අද දින ඔබට නියම කරන අණපණත් සියල්ල පිළිපදින පිණිස ඔබේ දෙවි සමිඳාණන් වහන්සේගේ හඬට ඔබ කීකරු වන්නහු නම්, උන් වහන්සේ මිහි පිට සියලු ජාතීන්ට වඩා ඔබ උසස් කරන සේක.
2. උන් වහන්සේගේ හඬට කීකරු වන්නහු නම්, පහත දැක්වෙන ආශීර්වාද සියල්ල ඔබ පිට පැමිණ ඔබ සමඟ වන්නේ ය.
3. “ඔබේ නගරයේ දී ඔබ ආශීර්වාද ලද්දෝ වන්නහු ය. ඔබේ කෙත්වතුවල දී ඔබ ආශීර්වාද ලද්දෝ වන්නහු ය.
4. “ඔබේ දරුසම්පතට ද භවභෝගසම්පතට ද ගවයන්ගේ සහ එළු බැටළුවන්ගේ බෝ වීමට ද ආශීර්වාද ලැබෙන්නේ ය.
5. “ඔබේ පැසට ද පිටි අනන බඳුනට ද ආශීර්වාද ලැබෙන්නේ ය.
6. “ඔබ ඇතුළට එන විට ද පිටතට යන විට ද උන් වහන්සේ ඔබට ආශීර්වාද කරන සේක.
7. “ඔබට විරුද්ධ ව නැඟිටින ඔබේ සතුරන්, ඔබ ඉදිරියෙහි පරාජය වීමට සමිඳාණන් වහන්සේ සලසන සේක. ඔව්හු ඔබට විරුද්ධ ව එක මඟකින් අවුත් හත් මඟකින් ඔබෙන් පලා යන්නෝ ය.
8. “ඔබේ ගබඩාවලට ද ඔබේ සියලු වැඩකටයුතුවලට ද සමිඳාණන් වහන්සේ ආශීර්වාද කරන සේක. දෙවි සමිඳාණන් වහන්සේ ඔබට දෙන දේශයෙහි ඔබට ආශීර්වාද කරන සේක.
9. “ඔබ උන් වහන්සේගේ ආඥා පිළිපැද දෙවි මඟ යන්නහු නම්, දෙවි සමිඳාණන් වහන්සේ දිවුළ ප්‍රකාර ඔබ උන් වහන්සේට කැප වූ සෙනඟක් කරගන්නා සේක.
10. උන් වහන්සේගේ නාමය ඔබ දරන බව දුටු විට, මිහි පිට සියලු ජාතීහු ඔබට බිය වන්නෝ ය.
11. සමිඳාණන් වහන්සේ ඔබට දෙනු පිණිස ඔබේ පියවරුන්ට දිවුළ දේශයේ දී උන් වහන්සේ ඔබට දරුසම්පත ද ගවසම්පත ද භවහෝගසම්පත ද බහුල ව දානය කරන සේක.
12. උන් වහන්සේ තම ඉසුරු බර අහස් ගබඩා විවෘත කොට, නිසි කලට කෙත්වතුවලට වැසි වස්වන සේක. ඔබ කරන වැඩකටයුතු සියල්ලට ආශීර්වාද කරන සේක. ඔබ බොහෝ ජාතීන්ට ණයට දෙන්නහු ය; ණයට ඉල්ලා නොගන්නහු ය.
13. මා අද දින ඔබට අණ කරන දෙවි සමිඳාණන් වහන්සේගේ ආඥාවලට කීකරු වී, ඔබ ඒවා පිළිපදින්නහු නම්, සමිඳාණන් වහන්සේ ඔබ අන්තිමයන් නොකොට, ප්‍රධානීන් කරන සේක; පහත් නොකොට උසස් කරන සේක.
14. මා ඔබට මෙදින නියම කරන දේවල් ඔබ අකුරට ම පිළිපැදිය යුතු ය. අන් දෙවිදේවතාවන්ට වැඳුම්පිදුම් නොකළ යුතු ය.”
15. “මා අද දින ඔබට නියම කරන දෙවි සමිඳාණන් වහන්සේගේ ආඥා ද නීති හා නියෝගයන් ද පිළිපදිනු සඳහා උන් වහන්සේගේ හඬට කීකරු නොවන්නහු නම්, පහත දක්වන සාප සියල්ල ද ඔබ වෙත පැමිණ, ඔබ සමඟ පවතින්නේ ය.
16. “ඔබේ නගරවල දී ඔබ සාප ලද්දෝ වන්නහු ය. ඔබේ ග්‍රාමයේ දී සාප ලද්දෝ වන්නහු ය.
17. “ඔබේ පැසට ද පිටි අනන බඳුනට ද සාප ලැබෙන්නේ ය.
18. “ඔබේ දරුසම්පතට ද භවභෝගසම්පතට ද ගවසම්පතට හා එළු බැටළු පැටවුන්ට ද සාප ලැබෙන්නේ ය.
19. “ඔබ එන විට ද යන විට ද සාප ලද්දෝ වන්නහු ය.
20. “ඔබේ නපුරු ක්‍රියාවලින් ඔබ සමිඳාණන් වහන්සේ අත්හළ නිසා උන් වහන්සේ ඔබ නාස්ති වී, විගස වැනසී යන තෙක් ඔබටත් ඔබේ වැඩකටයුතු සියල්ලටත් සාපය ද වියවුල් ද තර්ජන ද පමුණුවන සේක.
21. ඔබ අයිති කරගන්නට යන දේශයෙන් ඔබ නැති කරදමන තෙක් උන් වහන්සේ වංසගත පිට වසංගත ඔබට පමුණුවන සේක.
22. සමිඳාණන් වහන්සේ ක්ෂය රෝගය සහ උණ ද ඉදිමුම සහ උණසන්නිපාතය ද ඔබට වැළඳෙන්න සලස්වා පීඩා කරන සේක. ඔබේ පලදාවන් නියඟයෙන් ද කොළ රෝගයෙන් සහ හතු රෝගයෙන් ද වනසාලන සේක. ඔබ නාස්ති වී යන තෙක් ඒවා ඔබ ලුහුබැඳ එනු ඇත.
23. ඉහළින් ඇති අහස පිත්තල මෙන් වියළී ගොස් වැසි නොවසිනු ඇත. පහළින් ඇති පොළොව යකඩ මෙන් දැඩි වෙනු ඇත.
24. ඔබ වැනසී යන තෙක් උන් වහන්සේ දේශය පුරා වැසි, වැලි කුණාටු හා දූවිලි බවට පත් කර අහසින් හමන්නට සලසන සේක.
25. “සමිඳාණන් වහන්සේ ඔබේ සතුරන් ඉදිරියෙහි ඔබ පරාජය වන්නට සලසන සේක. ඔබ ඔවුන්ට විරුද්ධ ව එක මඟකින් අවුත් හත් මඟකින් පලා යන්නහු ය. මිහි පිට සියලු රාජධානීන්හි වැසියන්ට ඔබ ගොරතර භීතියක් වන්නහු ය.
26. ඔබේ මළකඳන් අහසේ පක්ෂීන්ටත්, පොළොවේ මෘගයන්ටත් ගොදුරු වන්නේ ය. උන් බියගන්වා එලවාදැමීමට කිසිවෙකු නොවනු ඇත.
27. සුව විය නොහැකි ලෙස සමිඳාණන් වහන්සේ ඔබට මිසරයේ වූ ගඩු රෝග ද පිළිකා ද වණ ද කුෂ්ඨ සහ හොරි ද වැළඳෙන්නට සලසන සේක.
28. උන් වහන්සේ ඔබ උමතු බවට පමුණුවා, ඔබේ ඇස් අන්ධ කොට, ඔබ අවුල් වියවුල් කරන සේක.
29. අන්ධයා අඳුරේ අතපතගාමින් යන්නාක් මෙන් ඔබ ද ඉර මුදුන් වේලාවෙහි අතපතගාමින් යන්නහු ය. ඔබ ගන්න පියවර සාර්ථක නොවන්නේ ය. ඔබ නිතර ම පීඩාවටත්, කොල්ලයටත් පාත්‍ර වන නමුත්, කිසිවෙක් ඔබ ගළවානොගන්නේ ය.
30. “ඔබ බිරිඳකට විවාහ ගිවිසුම් බස් දෙන නමුත්, වෙනත් මිනිසෙකු ඇය සමඟ සයනය කරනු ඇත. ඔබ ගෙයක් ගොඩනඟන නමුත්, එහි ඔබ පදිංචි නොවනු ඇත. ඔබ මිදි වත්තක් වවන නමුත්, එහි පල එකතු නොකරනු ඇත.
31. ඔබ බලා සිටිය දී ඔබේ ගොනා මරනු ලබන නමුත්, ඔබ උගේ මස් නොකන්නහු ය. ඔබ බලා සිටිය දී ඔබේ කොටළුවා බලහත්කාරයෙන් පැහැරගනු ලබන්නේ ය; ඔබට ආපසු ඌ නොලැබෙනු ඇත. ඔබේ බැටළුවෝ සතුරන් විසින් පැහැරගනු ලබන්නෝ ය. ඔබට උදව් දීමට කිසිවෙක් නොවන්නේ ය.
32. ඔබේ දරුදැරියෝ අන් ජනතාවකට පාවා දෙනු ලබන්නෝ ය, ඔවුන්ගේ පැමිණීම ගැන දවස පුරා ඔබ ආසාවෙන් බල බලා සිටීමෙන් ඔබේ ඇස් අඳුරු වනු ඇත, ඒ ගැන ඔබට කිසිවක් කළ නොහැකි වන්නේ ය.
33. ඔබේ ශ්‍රමය සහ වතුපිටිවල පලදාව ඔබ නොහඳුනන ජාතියක් භුක්ති විඳින්නේ ය. ඔබ නිතර ම පීඩා කරනු ලැබ, තැළී පොඩි වී යන්නහු ය.
34. ඔබ දකින මේ දේවල් නිසා ඔබ උමතු වන්නහු ය.
35. සමිඳාණන් වහන්සේ ඔබේ යටි පතුල සිට හිස් මුදුන දක්වා සුව විය නොහැකි වණ ද දණහිස්වලත්, පාදවලත් දරුණු ගඩු ද හටගන්නට සලසන සේක.
36. “සමිඳාණන් වහන්සේ ඔබත්, ඔබ පත් කරගන්න රජුත් ඔබ හෝ ඔබේ පියවරුන් හෝ නොදත් ජාතියක් වෙත ගෙන යන සේක. එහි දී ඔබ ලීයෙන් සහ ගලින් නෙළූ අන් දෙවිදේවතාවන්ට වැඳුම්පිදුම් කරන්නහු ය.
37. උන් වහන්සේ ඔබ පමුණුවන සියලු ජාතීන් අතර ඔබ ඔවුන්ගේ මවිතයට හේතු වනු ඇත. ඔව්හු ඔබ සමච්චලයට ද උපහාසයට ද ලක් කරන්නෝ ය.
38. “ඔබ කෙතට බොහෝ බීජ ගෙන යන නමුත්, අස්වැන්න ස්වල්ප වනු ඇත. මන්ද, පළඟැටියෝ ඒවා කාදමන්නෝ ය.
39. ඔබ මිදිවතු වවා සශ්‍රීක කරන නමුත්, මිදි පල නෙළාගෙන මිදියුස පානය නොකරන්නහු ය. පණුවෝ ඒවා කාදමන්නෝ ය.
40. ඔබේ දේශය පුරා ඔලීව ගස් තිබෙන නමුත්, ආලේප කරගැනීමට ඔලීව තෙල් බිඳක් වත් ඔබට ගත හැකි නොවන්නේ ය. එසේ වන්නේ ඔලීව ගෙඩි වැටී යන බැවිනි.
41. ඔබට දරුදැරියන් ලැබෙන නමුත්, ඔවුන් වහල්කමට යන බැවින් ඔව්හු ඔබට අයිති නොවන්නෝ ය.
42. ඔබේ රටේ ගස්කොළන් සහ පලදාව සියල්ල පළඟැටියෝ කාදමන්නෝ ය.
43. “ඔබ අතර සිටින විදේශිකයෝ වැඩිවැඩියෙන් උසස් වන්නෝ ය. ඔබ වැඩිවැඩියෙන් පහත් වන්නහු ය.
44. ඔහු ඔබට ණයට දෙනවා මිස ඔබ ඔහුට ණයට නොදෙන්නහු ය. ඔහු ප්‍රධානියා වනු ඇත. ඔබ අන්තිමයා වන්නහු ය.
45. “දෙවි සමිඳාණන් වහන්සේ ඔබට අණ කළ ආඥා නීති හා නියෝගවලට, ඔබ අකීකරු වී ඒවා නොපිළිපැදි බැවින් ඔබ වැනසී යන තෙක් මේ සාප සියල්ල ම ඔබ පිට පැමිණ, ඔබ ලුහුබැඳ ගොස් ඔබ අසු කරගන්නේ ය.
46. ඒවා ඔබටත්, ඔබේ පරපුරටත් සදහට ම ලකුණක් සහ අරුමපුදුම දෙයක් වනු ඇත.
47. සියලු සම්පතින් සමෘද්ධ ව සිටිය දී දෙවි සමිඳාණන් වහන්සේට ඔබ ප්‍රීතියෙන් ද සතුටු සිතින් ද සේවය නොකළ බැවින්
48. උන් වහන්සේ ඔබට විරුද්ධ ව එවන සතුරන්ට සාපිපාසයෙන් ද කයට වතක් නැති ව ද අගහිඟකමින් ද ඔබ සේවය කරන්නහු ය. ඔබ වැනසී යන තෙක් ඔව්හු ඔබේ කරපිට දරුණු වියගසක් තබන්නෝ ය.
49. ඔබට නොතේරෙන භාෂාවක් කතා කරන ජාතියක්, පොළොවේ බොහෝ දුරස්තර රටක සිට රාජාලියෙකු පියාඹා එන වේගයෙන් ඔබට විරුද්ධ ව පැමිණීමට සමිඳාණන් වහන්සේ සලසන සේක.
50. ඒ ජාතියට අයත් වූවෝ, රුදුරු මුහුණකින් යුක්ත වූ ද මහල්ලන්ට ගරුසරු නොකරන්නා වූ ද තරුණයන්ට අනුකම්පා නොදක්වන්නා වූ ද ඇත්තෝ වෙති.
51. ඔව්හු ඔබ වැනසී යන තුරු ඔබේ ගොවිසම්පත ද ගෙවතුවල පලදාව ද කාදමන්නෝ ය. ඔබට ධනධාන්‍ය හෝ මිදියුස හෝ තෙල් හෝ එළු බැටළු පැටවුන් හෝ ගව පට්ටි හෝ ඉතිරි නොකරන්නෝ ය.
52. ඔබ විශ්වාස තැබූ, උස, ශක්ති සම්පන්න රට පුරා ඇති ප්‍රාකාර බිඳ වැටෙන තුරු සතුරෝ ඔබේ නගර වටලන්නෝ ය. දෙවි සමිඳාණන් වහන්සේ ඔබට දුන් රට පුරා තිබෙන ඔබේ නගර සියල්ල ම ඔව්හු වටලන්නෝ ය.
53. “මෙසේ සතුරන් ඔබේ නගර සියල්ල වටලා, ඔබට අවහිර කිරීමෙන් වන දරුණු පීඩාවේ දී දෙවි සමිඳාණන් වහන්සේ ඔබට දුන්, ඔබ ජනිත කළ ඔබේ දරුදැරියන්ගේ මාංසය ඔබ කන්නහු ය.
54. ඔබ අතර සිටින ශිෂ්ට සම්පන්න, විනීත ගතිපැවතුම් ඇති මිනිසා පවා, තම සොහොයුරා දෙස ද තම ප්‍රේමවන්ත බිරිඳ දෙස ද ඉතිරි ව සිටින අනෙක් දරුදැරියන් දෙස ද අකාරුණික ලෙස බැල්ම හෙළන්නේ ය.
55. ඔහු තමා කන තම දරුදැරියන්ගේ මාංසයෙන් කොටසක් කිසිවෙකුට දීමට අකමැති වන්නේ ය. ඔහු එසේ කරන්නේ සතුරන් ඔබේ නගර සියල්ල වටලා, ඔබට අවහිර කිරීමෙන් වන දරුණු පීඩාවේ දී ඔබට කන්න දෙයක් ඉතිරි නොවන බැවිනි.
56. ඔබ අතර සිටින ශිෂ්ට සම්පන්න, විනීත ගතිපැවතුම් ඇති, සුමුදු සිව්මැලි ගතිය නිසා තම පය බිම තැබීමටවත් වුවමනාවක් නොතිබුණු ස්ත්‍රිය පවා, තම ප්‍රේමවන්ත සැමියා දෙස ද දරුදැරියන් දෙස ද අකාරුණික බැල්ම හෙළන්නී ය.
57. සතුරන් ඔබේ නගර සියල්ල වටලා ඔබට අවහිර කිරීමෙන් වන දරුණු පීඩාවේ දී ඇයට කන්න යමක් නැති ව, ඇය අලුත ලැබූ දරුවා වැදෑමහත් සමඟ ම රහසින් කන්නී ය.
58. “මේ පොතේ ලියා ඇති නීති සියල්ලට අවනත වී නොපිළිපදින්නහු නම්, දෙවි සමිඳාණන් වහන්සේ යන බියජනක, ශ්‍රී නාමයට ගරුබිය දක්වන පිණිස,
59. සමිඳාණන් වහන්සේ ඔබටත්, ඔබේ පෙළපතටත් පුදුමාකාර, භයානක, කල් පවතින වසංගත හා කල් පවතින දරුණු ලෙඩරෝග පමුණුවන සේක.
60. තවද, උන් වහන්සේ මිසර දේශයේ වූ බියකරු ලෙඩරෝග සියල්ල ඔබ පිට යළි පමුණුවන සේක. ඒවා ඔබෙන් තුරන් නොවන්නේ ය.
61. මේ නීති සංග්‍රහයේ ලියා නැති ලෙඩරෝග සහ වසංගත සියල්ල ම උන් වහන්සේ ඔබ වනසාලන තෙක් ඔබ පිට පමුණුවන සේක.
62. ඔබ ගණනින් අහසේ තරු මෙන් වැඩි වුවත්, දෙවි සමිඳාණන් වහන්සේගේ හඬට අකීකරු වූ බැවින් ගණනින් ස්වල්පයක් මෙන් ඉතිරි වන්නහු ය.
63. ඔබට ශුභසිද්ධිය සැලසීමටත්, ඔබ වැඩි වර්ධනය කිරීමටත් සමිඳාණන් වහන්සේ ප්‍රීති ප්‍රමෝද වූවාක් සේ, ඔබ වනසාලීමටත්, නැත්තටම නැතිකිරීමටත් උන් වහන්සේ ප්‍රීති ප්‍රමෝද වන සේක. ඔබ අයිති කරගන්නට යන රටින් උන් වහන්සේ ඔබ සම්පූර්ණයෙන් පිටමං කරදමන සේක.
64. “පොළොවේ එක් කොණක සිට අනික් කොණ දක්වා ජාති ජාතීන් අතරෙහි උන් වහන්සේ ඔබ විසුරුවා හරින සේක. එවිට ඔබ හෝ ඔබේ පියවරුන් හෝ නොදත්, ලීයෙන් සහ ගලින් නෙළූ අන් දෙවිදේවතාවන්ට ඔබ වැඳුම්පිදුම් කරන්නහු ය.
65. මෙකී ජාතීන් අතර ඔබට කිසි පහසුවක් නොවන්නේ ය. ඔබේ පයට විවේකයක් නොවනු ඇත. එහි දී සමිඳාණන් වහන්සේ ඔබේ හද කම්පා කරන සේක; නෙත අඳුරු කරන සේක; සිත දුක් ගන්වන සේක.
66. ඔබේ ජීවිතය ගැන ඔබට සැක පහළ වනු ඇත. දිවා රෑ බියට පත් වෙමින් ජීවිතය ගැන අවිශ්වාසයක් වනු ඇත.
67. ඔබේ හදවත බියෙන් ගැහි ගැහී පුදුමාකාර දේවල් දකින විට, උදය කාලයේ, ‘අනේ! හවස් වුණා නම් කෙතරම් හොඳ ද’ කියාත්, හවස් කාලයේ දී ‘අනේ! උදය වුණා නම් කෙතරම් හොඳ ද’ කියාත් ඔබ කියන්නහු ය.
68. ඔබ මිසර දේශය නැවත නොදකින්නෙහි යයි මා කී නමුත් සමිඳාණන් වහන්සේ ගොඩින් සහ මුහුදින් ඔබ මිසර දේශයට නැවත යවන සේක. එහි දී ඔබ වහල් දැසිදසුන් මෙන් ඔබේ සතුරන්ට විකුණනු ලබන්නහු ය. එහෙත් කිසිවෙකු ඔබ මිලට නොගනු ඇත.”

ගීතාවලිය 39:12-13
12. සමිඳුනි, මාගේ අයැදුම ඇසුව මැනව; මාගේ මොරගෑමට සවන් දුන මැනව; මාගේ කඳුළු දැක නිහඬ ව නොසිටිය මැනව. මන්ද, ඔබ සමඟ ආගන්තුකයෙක් ද මාගේ පියවරුන් මෙන් කලක් නේවාසිකයෙක් ද වෙමි.
13. මා මෙලොවින් චුත වී, නැති වී යන්නට පෙර, මඳ කලකට ප්‍රීති වන පිණිස මට ඉඩ සැලසුව මැනව.

හිතෝපදේශ 13:7-8
7. පොහොසත් යයි පෙන්වතත් ඇතැමෙක් දුප්පත් ය; දුප්පත් යයි පෙන්වතත් ඇතැමෙක් පොහොසත් ය.
8. ධනවතා සිය ධනය ගෙවා දිවි බේරාගත යුතුයි; දිළිඳාට එවැනි තර්ජනයක් නැත.

ශුද්ධවර ලූක් 6:27-49
27. “මට සවන් දෙන ඔබට මෙ‍ය කියමි: ඔබේ සතුරන්ට ප්‍රේම කරන්න; ඔබට වෛර කරන්නන්ට යහපත කරන්න;
28. ඔබට සාප කරන්නන්ට සෙත් පතන්න; ඔබට ගැරහුම් කරන්නන් උදෙසා යාච්ඤා කරන්න;
29. ඔබේ එක කම්මුලකට අතුල් පහර දෙන අයට අනික් කම්මුල පාන්න; ඔබේ උතුරු සළුව පැහැර ගන්නාගෙන් ඔබේ අඳනය වුව ද වළක්වා නොගන්න.
30. ඔබෙන් ඉල්ලන හැමට ම දෙන්න; ඔබ සතු දේ පැහැර ගන්නාගෙන් යළිත් එය නොඉල්ලන්න.
31. අනුන් ඔබට යමක් කරනවාට ඔබ කැමැත්තහු ද ඔබත් ඔවුන්ට ඒ දේ ම කරන්න.
32. “ඔබට ප්‍රේම කරන්නන්ට පමණක් ඔබ ප්‍රේම කරන්නහු නම්, ඉන් ඔබට කවර නම් ප්‍රශංසාවක් වේ ද? පව්කාරයෝ පවා තමන්ට ප්‍රේම කරන්නන්ට ප්‍රේම කරති.
33. ඔබට යහපත කරන්නන්ට පමණක් ඔබ යහපත කරන්නහු නම්, ඉන් ඔබට කවර නම් ප්‍රශංසාවක් වේ ද? පව්කාරයෝ පවා එසේ කරති.
34. ඔබ නැවත ලබන බලාපොරොත්තුවෙන් ණයට දෙන්නහු නම්, ඉන් ඔබට කවර නම් ප්‍රශංසාවක් වේ ද? පව්කාරයෝ පවා දෙන ප්‍රමාණය නැවත ලබන පිණිස පව්කාරයන්ට ණයට දෙති.
35. එහෙත්, ඔබේ සතුරන්ට ප්‍රේම කරන්න, යහපත කරන්න, ආපසු ලබන බලාපොරොත්තුවක් නැති ව ම ණයට දෙන්න. එවිට ඔබේ පල විපාක මහත් වේ; ඔබ පරමෝත්තමයාණන්ගේ පුත්‍රයෝ වන්නහු ය. මන්ද, කෙළෙහි ගුණ නොදත් අයට ද දුෂ්ටයන්ට ද උන් වහන්සේ කාරුණික ය.
36. ඔබේ පියාණන් වහන්සේ දයානුකම්පා ඇති ව සිටින්නාක් මෙ‍න් ම ඔබ ද දයානුකම්පා ඇති ව සිටින්න.”
37. “අනුන් විනිශ්චය නොකරන්න; එවිට ඔබත් විනිශ්චය කරනු නොලැබේ. අනුන් වරදට පත් නොකරන්න; එවිට ඔබත් වරදට පත් කරනු නොලැබේ; සමාව දෙන්න; එවිට ඔබට ද සමාව දෙනු ලැබේ.
38. අනුන්ට දෙන්න, එවිට ඔබටත් දෙනු ලැබේ. ඔව්හු නියම මිම්ම පිරී ඉතිරී යන තරමට එය සොලව සොලවා, තළ තළා ඔබගේ ඔඩොක්කුවට මැන දමන්නහු ය. ඔබ යම් මිම්මකින් මැන දෙන්නහු ද, ඒ මිම්මෙ‍න් ම ඔබටත් ආපසු මැන දෙනු ලැබේ ය”යි වදාළ සේක.
39. තවද, උන් වහන්සේ ඔවුන්ට මේ උපමාව වදාළ සේක: “අන්ධයෙකුට මඟ පෙන්වීමට අන්ධයෙකුට හැකි ද? ඔවුන් දෙදෙනා ම වළක වැටෙන්නේ නැද් ද?
40. ගෝලයා ගුරුවරයාට වඩා උසස් නොවේ. එහෙත්, පූර්ණ පුහුණුව ලත් සැම දෙන ම තම ගුරුවරයා හා සම වන්නෝ ය.
41. ඔබේ ම ඇසෙහි තිබෙන ලී කොටය නොබලා සහෝදරයාගේ ඇසෙහි තිබෙන ලී කුඩ සොයන්නේ මන් ද?
42. නොහොත් ඔබේ ම ඇසෙහි තිබෙන ලී කොටය නොබලා, ‘සහෝදරය, ඔබේ ඇසෙහි තිබෙන ලී කුඩ ඉවත ලන්නට ඉඩ දෙන්නැ’යි සහෝදරයාට කියන්නට ඔබට කෙසේ හැකි වේ ද? කෛරාටික ය, පළමු කොට ඔබේ ම ඇසින් ලී කොටය ඉවත ලන්න. එවිට සහෝදරයාගේ ඇසෙහි තිබෙන ලී කුඩ ඉවත ලන්න ඔබට මැනවින් පෙනෙනු ඇත.”
43. “නරක පල දෙන හොඳ ගසක් වත්, හොඳ පල දෙන නරක ගසක් වත් නැත.
44. එක එක ගස එහි පලවලින් හඳුනාගනු ලැබේ. මිනිස්සු කටු ගස්වලින් අත්තික්කා පල නෙළා නොගනිති; ගොකටු පඳුරකින් මිදි පල කඩා නොගනිති.
45. යහපත් මිනිසා තම සිතෙහි නිදන් කළ යහපත් දෙයින් යහපත් දෙය ද, අයහපත් මිනිසා අයහපත් දෙයින් අයහපත් දෙය ද උපදවයි. මන්ද, සිතෙන් උතුරා යන දෙය කටින් පිට වේ.”
46. “මා වදාරන දෙය නොකර, මට ‘ස්වාමීනි, ස්වාමීනි’යි කියන්නේ මන් ද?
47. මා වෙතට විත් මාගේ අනුශාසනා අසා ඒවා පිළිපදින අය කවරෙකුට සමාන දැ යි ඔබට පෙන්වමි.
48. ඔහු ගැඹුරට පොළොව කැණ, පර්වතය මත අත්තිවාරම දමා, ගෙයක් සෑදූ මිනිසෙකුට සමාන ය. ජල ගැල්මක් පැමිණ, සැඩ පහර ඒ ගෙට ගැසූ නමුත් එය මනා ලෙස ඉදි කොට තිබුණු බැවින් සොලවන්න නොහැකි විය.
49. එහෙත් වචනය අසා, නොපිළිපදින තැනැත්තා අත්තිවාරමක් නැති බිමෙ‍හි ගෙයක් තැනූ මිනිසෙකුට සමාන ය. සැඩ පහර ඒ ගෙට ගැසී ය, එවේලේ ම එය ඇද වැටුණේ ය. එහි විනාශය ද භයංකර විය.”